සත් දහස් සත් සියයක් වූ මනරම් ප්‍රාසාදයන්ගෙන්, මනරම් පොකුණෙන් ශෝභමාන වූ විසල්පුරයට අරුණෝදය උදා වූවා පමණක් ම ය. බොහෝ මහේශාක්‍ය වූ ලිච්ඡවී රජවරුන් ද රජ කුමරුවන් ද එකී නොකී විසල්පුරවාසී වූ දැසි දස්සන් පවා ද විමතියට පත්ව කුමක්දෝ විස්මිත දෙයක් ගැන කථා බස් කරන්නට වූහ. විසල්පුර වැස්සන්ට අරහත් ධජය වූ කසාවත අරුමයක් නොවිණි. ඒ මේ අත පිඬු සිඟා වඩින ශාන්ත සිත් ඇති, ශාන්ත පැවතුම් ඇති ශාක්‍ය පුත්‍ර වූ ශ්‍රමණයන් වහන්සේලාගෙන් ලිච්ඡවී රට බැබළී ගියේ ය. එපමණක් නොව අප භාග්‍යවතුන් වහන්සේ ද වැඩ සිටියේ විසල්පුර මහ වනයේ වූ කූටාගාර මහා ප්‍රාසාදයේ ය. එනමුදු හිරු උදා වත් ම අභිෂේක පොකුණු තෙරින් වඩින කසාවත් දැරූ උතුමන් පිරිසක් සියලු දෙනාගේ සිත් සසල කරන්නට සමත් විය.

ඒ අන් කවුරුන්වත් නොව නොබෝදා ශාක්‍ය රජදහනින් නික්මුණු, පැවිදි වෙස් ගත්, අප භාග්‍යවතුන් වහන්සේගේ කිරි මව් ප්‍රමුඛ වූ ශාක්‍ය වංශික උත්තමාවන් පිරිසයි. ඉතා දිගු, යොදුන් ගණනින් දුර වූ ඒ ගමන කෙළවර වූයේ විසල්පුර මහ වනයේ වූ කූටාගාර මහා ප්‍රාසාදයෙනි. බොහෝ ලිච්ඡවී රජදරුවන් පිරිවර සේනා සහිතව කුහුලින් මඩින ලද සිතින් යුතුව මහවනයට සේන්දු වූවෝ ය. පස්වනක් පැහැයෙන් සැරසූ අශ්ව රථයෙන් බසින විට ඔවුන් දුටුවේ, කූටාගාර දොරටුව අබියස ඒ මේ අත විසිර තැන තැන සුසුම්ලන පැවිදි වෙස් ගත් ශාක්‍ය වනිතාවන් ය. ඒ අතර වෘද්ධ වයසේ වුව ද ශාක්‍ය රාජකීය අභිමානවත් පෙනුම නොමැකී ගිය, එහෙත් ගමන් විඩාවෙන් විඩාපත් වූ උත්තමාව සුදොවුන් ශාක්‍ය නිරිඳුන්ගේ මහේෂිකාව ලෙස සිටි අප භාග්‍යවතුන් වහන්සේගේ සුළු මව වූ ප්‍රජාපතී ගෝතමිය යි.

නෙත් කෙවෙණි කඳුළින් බරව, විමුක්තියේ විරාගී ඡායාවන් පතා සුසුමන් හමා ගියේ ය. භාග්‍යවතුන් වහන්සේ මොහොතකට පෙර පැවසූ වදන් ඇගේ සවනත පුරා දෝංකාර දෙන්නට විය. “පින්වත් ගෞතමිය, කුමක්ද මේ සිදු කර ගත්තේ? මේ පැවිදි දිවිය කොතරම් උත්තරීතර වුවත් දිවි පුදා දහමේ හැසිරුනත්, සලෙළුන්ගෙන් එන විපතින් කෙසේ නම් බේරෙන්නට ද? පින්වත් ගෞතමිය, නැවත යන්න, ඔබට පැවිද්ද රුචි නොවේවා!”

අහෝ! නැවත යන්ටලු, නැවත එසේ නොකරන්ටලු. පැවිද්දට ආසා නොකරන්ටලු. අහෝ! කෙලෙස නම් දරා ගන්න ද?

උපදින්නේ, දිරන්නේ, ලෙඩ දුකට පත් වන්නේ, සිත් තැවුල් සෝ හට ගන්නේ සසර දුකට වැටුනේ පුරුෂයන් පමණ ද? දරු දුකින් ස්ත්‍රියකට පමණක් ආවේණික වූ දුකකින් මැඩෙමින් වසර සිය දහස් ගණනක් බමුණන්ගේ මනු නීතියට යටත්ව වහල් දිවියක් ගෙවන ස්ත්‍රිය දුකින් නොමිදිය යුතු ද? මෙතරම් මහා කාරුණික වූ මුනිඳුන්ගෙන් කරුණා වදන් ලබන්නට වාසනා නැති මේ ළාමක දිවිය කුමට ද?

සන්සුන් පියවරින් පැමිණි රන් පායුග ගෝතමියගේ සෝ දැහැන බිඳින ලද්දේ ය. ඒ අප භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායක වූ ආනන්ද හිමියන් ය.

“මෑණියනි කුමක් වූයේ ද? දුක් නොවන්න. මම තව වරක් භාග්‍යවතුන් වහන්සේට කරුණු දක්වන්නම්. මොහොතක් රැඳී සිටින්න.”

පන්සියයකට නොඅඩු ශාක්‍ය වංශික පැවිදි වෙස් ගත් ශාක්‍ය වනිතාවන්ට මොහොතකට බලාපොරොත්තුවේ පහන් සිළක් දැල්වී ගියේ ය.

කාරුණික වූ අප ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ පා යුග වැඳ මෙසේ විමසූ සේක.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේගේ සුළු මව වූ ප්‍රජාපතී ගෝතමිය කෙස් කපා දමා කසට වත් පොරවා තවත් බොහෝ ශාක්‍ය වනිතාවන් සමඟ ලේ වැකුණ පාදයෙන් යුතුව, දූවිලි වැකුණු පාදයෙන් යුතුව දුකින් දොම්නසින් කඳුළු වැකුණු මුහුණින් භාග්‍යවතුන් වහන්සේ කාන්තාවන්ට පැවිද්ද අනුනොදත් නිසා බාහිර දොරටුව ළඟ හඬමින් සිටින්නී ය.

ස්වාමීනී, කාන්තාවන්ට තථාගත සාසනයේ ගිහිගෙයින් නික්ම අනගාරික පැවිද්ද ලැබෙනවා නම් කොතරම් හොඳ ද?”

“නැත ආනන්ද, කාන්තාවන්ට පැවිද්ද රුචි නොවේවා!”

“ස්වාමීනී, එසේ නම් යම් කාන්තාවකට තථාගත ශාසනයේ පැවිදිව සෝතාපත්ති ඵලය, සකෘදාගාමී ඵලය, අනාගාමී ඵලය, අරහත් ඵලය සාක්ෂාත් කරන්නට නො හැකි ම ද?”

“හැකි ය ආනන්ද, යම් කාන්තාවක් දහමට දිවි පුදා බඹසර හැසිරෙන්නේ වේ ද ඇය අප්‍රමාද ව සයුරට වදිනා නදියක් සේ අම නිවනට පැමිණෙන්නී ම ය.”

“එසේ නම් ස්වාමීනී, කාන්තාවන්ට තථාගත සසුනේ පැවිදිව නිවන් සාක්ෂාත් කළ හැක්කී නම්, ස්වාමීනී, ගෝතමිය තථාගතයන් වහන්සේට බොහෝ උපකාර කළ දෑ ය. අත්පා වැඩූ දෑ ය. මව් කිරෙන් පෝෂණය කළ දෑ ය. භාග්‍යවතුන් වහන්සේගේ මෑණියන් කළුරිය කළ පසු රැකවරණ සැලසූ දෑ ය.

ස්වාමීනී, එනිසා කාන්තාවන් ද තථාගත සාසනයේ අනගාරික පැවිදි බව ලබනවා නම් කොතරම් හොඳ ද…!”

“එසේ නම් ආනන්ද, ප්‍රජාපතී ගෝතමිය ගරු ධර්ම අටක් පිළිගන්නී නම් එය ම ඇයට උපසම්පදාව වේවා!”

“ස්වාමීනී, ඒ අටක් වූ ගරු ධර්ම මොනවාද?”

“1. ආනන්ද, උපසපන් සියවස් ඇති භික්ෂුණියක් විසිනුත් එදින ම උපසම්පදා වූ භික්ෂුවට ගරු සත්කාර වන්දනා මානන කළ යුතු ය.

2. භික්ෂුණිය අවවාද දෙන භික්ෂුවක් නැති ආවාසයේ වස් නො එළඹිය යුතුයි.

3. අඩමසක් පාසා (සති 2කට වරක්) භික්ෂු සංඝයා කෙරෙන් උපෝසථය හා අවවාද පිණිස එළඹිය යුතු ය.

4. වස් විසූ භික්ෂුණිය උභය සංඝයාගෙන් තම පිරිසිදු බව ගැන දැකීමෙන්, ඇසීමෙන්, සැක කිරීමෙන් යන තුන් තැනින් පැවරිය යුතු ය.

5. බරපතළ ඇවැත් සිදු වූ විට උභය සංඝයා කෙරෙහි පක්ෂ මානත් පිරිය යුතු ය.

6. වසර දෙකක් ධර්ම හයක හික්මුණ සික්ඛමානාව උභය සංඝයාගෙන් උපසම්පදාව ලැබිය යුතු ය.

7. කිසිම කරුණකින් භික්ෂුණියක්, භික්ෂුවකට ආක්‍රෝෂ පරිභව නොකළ යුතු ය.

8. අද පටන් භික්ෂුණිය භික්ෂුව කෙරෙහි වචනය වසන ලද්දී ය (අවවාද කළ නොහැක). භික්ෂුවට භික්ෂුණීන් කෙරෙහි වචනය විවෘත වූයේ ම ය.

පින්වත් ආනන්ද, මේ ගරු දහම් අට සකස් කොට ගෞරවයෙන් පූජා සත්කාර කොට දිවි තිබෙන තුරාවට ඉක්මවා නොයා යුතු ය.

ඉදින් ආනන්ද, ප්‍රජාපතී ගෝතමිය මේ අෂ්ට ගරු ධර්ම පිළිගන්නී නම් ඇයට එය ම උපසම්පදාව වේ.”

අප කාරුණික වූ ආනන්දයන් වහන්සේ දොරටුව අබියස වැළපෙමින් සිටි පැවිදි වෙස් ගත් ගෝතමිය වෙත එළඹ සියලු තතු සැල කළ සේක.

සියලු ශාක්‍ය කතුනගේ හදවත් මොහොතකට නතර වූවා සේ ය. සියලු සෝ තැවුල් පිසදා ප්‍රජාපතී ගෝතමිය නැඟී සිටියා ය.

“ස්වාමීනී, යම් රූපසම්පත් ඇති, සැරසෙනු කැමති තරුණියක් හෝ තරුණයෙක් දිය සනහා සමන් මල් දමක් ගෙන උතුම් අංගය වන සිරසේ රඳවා සතුටු වන්නේ යම් සේ ද ස්වාමීනී, එලෙසින් ම දිවි හිමියෙන් නොඉක්මවිය යුතු වූ මේ අටක් වූ ගරු ධර්මයෝ සතුටින් පිළිගනිමි.”

සම තැන තබා තම හිමි තැනත් අහිමි වූ ස්ත්‍රීත්වයට විමුක්තියේ ධජ ලෙළදෙන්නට විය. ප්‍රඥාවෙන් බැබළුණු, ඉර්ධි බලයෙන් දිලිහී ගිය උතුම් අරහත් මුනිවරියන් බිහි වී ය. අපිස් ගුණයෙන්, දහම් කථාවෙන්, ගෞතම සසුන බබුළුවන ඒ අරහත් තෙරණිවරුන් ධරණීමාතාව සනසමින් පියවර තබා වැඩියාහු ය.

දෑඟුල් නුවණ ඇතැයි පැවසූ සියුමැලි කාන්තාවෝ දෙව් ලොව, බඹ ලොව ඉක්මවා අමා නිවනට බැසගත්තෝ ය. ස්ත්‍රීත්වය කෙළි බඩුවක් ව ගිය කලක සම තැන සොයා නොවෙහෙසී හිමි තැනට උරුමකම් කියා වනිතාවන්ගේ විමුක්ති දායිකාව වූ ප්‍රජාපතී ගෞතමී මහරහත් තෙරණින් වහන්සේට අපගේ නමස්කාරය වේවා!

අනගාරිකා මෑණියන් වහන්සේ නමක් විසිනි