“යෝ ඛෝ වක්කලී ධම්මං පස්සති සෝ මං පස්සති. යෝ මං පස්සති සෝ ධම්මං පස්සති.”
“වක්කලී, යමෙක් ධර්මය දකිනවා නම් ඔහු තමයි මා ව දකින්නේ. යමෙක් මා ව දකිනවා නම් ඔහු තමයි ධර්මය දකින්නේ.
ඒ බුදුරජාණන් වහන්සේගේ වචනය යි. අපගේ ලෝකය එළිය කරන එක ම එක හිරු මඬල ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු වූ ගෞතම බුදුරජාණන් වහන්සේ යි. ඉතින් අප හැමදෙනා ද ඒ භාග්‍යවතුන් වහන්සේගේ උත්තම ශ්‍රී සදහම් ඉගෙනගෙන ඒ අනුව ජීවිතය දෙස බලන්නට පුරුදු වුවහොත් අපට ද ඒ භාග්‍යවතුන් වහන්සේ දැක ගැනීමේ දුර්ලභ වාසනාව ලැබේ.
ඒ බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ධර්මය තුළින් පෙන්වා දෙන්නේ අපගේ ජීවිතය දෙස නුවණැස විවර කොට බලන ආකාරයන් ය. ඒ තුළින් අපගේ ජීවිතය වසා තිබෙන අවිදු අඳුර ප්රහාණය වී යන බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සේක. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ යවකලාපී සූත්‍ර දේශනාවේ දී මෙසේ වදාළ සේක. “චක්ඛුස්මිං හඤ්ඤති මනාපාමනාපේහි රූපේහි.” “අශ්‍රැතවත් පෘතග්ජනයා කැමති අකැමති රූප නිසා ඇස තුළින් පීඩා විඳිනවා.”
“සෝතස්මිං හඤ්ඤති මනාපාමනාපේහි සද්දේහි.” “කැමති අකැමති ශබ්ද නිසා කන තුළින් පීඩා විඳිනවා.” “ඝානස්මිං හඤ්ඤති මනාපාමනාපේහි ගන්ධේහි.” “කැමති අකැමති ගන්ධ නිසා නාසය තුළින් පීඩා විඳිනවා.” “ජිව්හාය හඤ්ඤති මනාපාමනාපේහි රසේහි.” “කැමති අකැමති රස නිසා දිව තුළින් පීඩා විඳිනවා.” “කායස්මිං හඤ්ඤති මනාපාමනාපේහි ඵොට්ඨබ්බේහි.” “කැමති අකැමති පහස නිසා කය තුළින් පීඩා විඳිනවා.” “මනස්මිං හඤ්ඤති මනාපාමනාපේහි ධම්මේහි.” “කැමති අකැමති අරමුණු නිසා මනස තුළින් පීඩා විඳිනවා.”
භාග්‍යවතුන් වහන්සේගේ මෙම උතුම් අවබෝධයට අනුව යමින් අපගේ ජීවිත දෙස හැරී බලන විට අප බොහෝ සෙයින් දුක් පීඩා විඳින පිරිසකි. සුසුම් හෙළමින් වාසය කරන පිරිසකි. බලවත් ප’ඩාවන්ට පත් වී සිටින පිරිසකි. බුදුරජාණන් වහන්සේ වදාළේ ඇසට පෙනෙන ප්‍රිය රූපය නිසාත් අප පීඩාවට පත් වන බවයි. එසේ ම අප්‍රිය අමනාප දේවල් දැකීමෙනුත් පීඩාවට පත් වෙයි. මේ ලෝකයේ අප අවට නිතරම මේ දෙවර්ගයේ ම රූප දකින්නට ලැබේ. එනම්, අපි ආසා කරන, අපි දකින්නට කැමති, අපගේ ආශාව වැඩි කරන රූප දකින්ට ලැබේ. එසේ ම අපි දකින්නට අකැමති, දුටු විට තරහ යන, අමනාප සිතුවිලි උපදින, අපේ හිතේ සතුට නැතිවෙන රූපත් දකින්නට ලැබේ. භාග්‍යවතුන් වහන්සේ වදාළේ ඒ දෙවර්ගයේ ම රූප දකින්නට ලැබීමෙන් සත්වයා දුක සේ ජීවත් වෙන බව යි. මෙය මොන තරම් සත්‍යයක් ද?
බුදුරජාණන් වහන්සේ මාලුංක්‍යපුත්ත සූත්‍රයේදී මෙසේ වදාළ සේක.
“රූපං දිස්වා සති මුට්ඨා” – රූපයක් දැක සිහි මුළා වී, “පිය නිමිත්තං මනසි කරෝතෝ” – ප්‍රිය සටහන් මෙනෙහි කරද්දී, “සාරත්ත චිත්තෝ වේදේති” – එයට ඇළුනු සිතින් විඳී. “තඤ්ච අජ්ඣෝසාය තිට්ඨති” – එය තුළ සිත බැසගෙන පවතී.
එසේ නම් අප ඇසෙන් රූපයක් බලන විට, කනෙන් ශබ්දයක් අසන විට, නාසයෙන් ගඳ සුවඳක් ආඝ්‍රාණය කරන විට, දිවෙන් රසයක් විඳින විට, කයෙන් පහසක් විඳින විට, මනසින් අරමුණක් සිතන විට, අප තුළ මේ අර්බුදකාරී රාග, ද්වේෂ, මෝහ උපදින්නේත්, එය ප්රහාණය කළ නොහැකි තත්ත්වයෙන් අප පසු වන්නේත්, දුක් දොම්නස් පමණක් අපට සැම කල්හි ම ලැබෙන්නේත්, එක් කරුණක් අප සිත තුළ පිහිටුවාගෙන නැති නිසා ය. එනම් බුදුරජාණන් වහන්සේලා ලොවට පහළ වී කියා දෙන අසිරිමත් වූ, අද්භූත වූ මේ සුන්දර ධර්මයේ බොහෝ සෙයින් විස්තර සහිතව කියා දෙන ‘සිහිය’ නම් වූ උතුම් ධර්මය අප තුළ පිහිටුවා නොගැනීම නිසා ය. ‘නුවණ’ පිහිටුවා නොගැනීම නිසා ය. ‘වීරිය’ පිහිටුවා නොගැනීම නිසා ය.
බුදුරජාණන් වහන්සේ වදාළේ අප කරුණු සතරක් අවබෝධ කර නොගැනීම නිසා මේ සංසාර ගමනේ මෙසේ පැමිණෙන බව යි. එනම් ආර්ය සීල, ආර්ය සමාධි, ආර්ය ප්‍රඥා, ආර්ය විමුක්ති යන කාරණාවන් ය. එසේ නම් තවමත් අප තුළ පවතින්නේ එම දෝෂය ම නොවේ ද? එනිසා ම අපි මෙලොව ද දුක් විඳිමින්, පරලොව ද දුක් විඳිමින් අති දීර්ඝ සසර ගමනින් මිදිය නොහැකිව සිටිමු.
පෙර සඳහන් ගාථාවෙහි බුදුරජාණන් වහන්සේ මෙසේ ද වදාළ සේක.
“තස්ස වඞ්ඪන්ති වේදනා අනේකා රූපසම්භවා” – එතකොට ඔහුට රූපයෙන් හට ගත්තු නොයෙක් විඳීම් ලැබෙනවා. “අභිජ්ඣා ච විහේසා ච” – දැඩි ලෝභයත්, වෙහෙසත්, “චිත්තමස්සූපහඤ්ඤතී” – ඔහුගේ සිත පෙළනවා. “ඒවං ආචිනතෝ දුක්ඛං” – ඔය විදිහට දුක් රැස් කරන විට, “ආරා නිබ්බානන්ති වුච්චති” – නිවනින් දුරු වුණා කියල කියනවා.
ඉන් පසු බුදුරජාණන් වහන්සේ එම අකුසල් නිරුද්ධ වීම පිළිබඳ මෙසේ වදාළ සේක.
“න සෝ රජ්ජති රූපේසු – රූපං දිස්වා පතිස්සතෝ” – සිහිය පිහිටුවාගෙන ඉන්න ඔහු රූපයක් දැකලා රූපවලට ඇලෙන්නේ නෑ. “විරත්තචිත්තෝ වේදේති” – නොඇළුනු සිතිනුයි එය (ඒ රූපය) විඳින්නේ. “තඤ්ච නාජ්ඣෝසාය තිට්ඨති”
– ඒ රූපය තුළ සිත බැසගෙන පවතින්නේ නෑ. “යථාස්ස පස්සතෝ රූපං” – යම් ආකාරයකින් රූපය දකිනවා ද “සේවතෝ චාපි වේදනං” – (යම් ආකාරයකින්) විඳීම් සේවනය කරනවා ද “ඛීයති” – ඒ තුළින් ගෙවී යනවා “නෝ පචීයති” –
රැස් වෙන්නේ නෑ. “ඒවං සෝ චරතී සතෝ” – ඔය විදිහටයි ඔහු සිහියෙන් හැසිරෙන්නේ. “ඒවං අපචිනතෝ දුක්ඛං” – ඔය අයුරින් දුක් බැහැර කරනා විට, “සන්තිකේ නිබ්බානන්ති වුච්චති” – නිවන සමීපයේ කියලයි කියන්නේ.
එසේ නම් ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක රහතන් වහන්සේලා ඒ අමා නිවන අවබෝධ කළේ මේ අයුරින් ය. අනාගතයේ ද මේ බුද්ධ ශාසනයේ, යමෙක් අමා නිවන අවබෝධ කරයි ද කෙලෙස් දුරු කරයි ද සිත පිරිසිදු කරයි ද ඒ මේ අයුරිනි. වර්තමානයේ යමෙක්, අකුසල් දුරු කරයි ද සිත පිරිසිදු කරයි ද අමා නිවන අවබෝධ කරයි ද ඒ ද මේ අයුරිනි. එනම් මේ ස්පර්ශ ආයතන හය දමනය කිරීම තුළිනි. මෙම උතුම් ධර්මය නිවන් මඟෙහි ප්‍රධාන අංගයක් ව පවතින්නේ ය.
මේ ක්‍රමවේදය ධර්ම ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ නම් කොට වදාළේ ‘ඉන්ද්රිය සංවරය’ නමින් ය. බුදුරජාණන් වහන්සේගේ තවත් එක් සුන්දර දේශනාවක උන්වහන්සේ මෙසේ වදාළ සේක.
“තීහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ භික්ඛු දිට්ඨේව ධම්මේ සුඛ සෝමනස්ස බහුලෝ විහරති.” මහණෙනි, කරුණු තුනකින් සමන්විත වුණ භික්ෂුව මේ ජීවිතයේ දී පවා සැප සොම්නස් බහුලව වාසය කරනවා. “යෝනි චස්ස ආරද්ධා හෝති ආසවානං ඛයාය.” ඒ වගේම ආශ්‍රවයන් ක්ෂය වීම පිණිස ඔහුට කරුණු සම්පූර්ණ වෙලා තියෙනවා.“කතමේහි තීහි?” ඒ කවර තුනකින් ද යත්? “ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ හෝති.” ඉඳුරන් කෙලෙසුන්ගෙන් වළක්වා ගත් දොරටු ඇති බවත්, “භෝජනේ මත්තඤ්ඤූ හෝති.” දන් වැළඳීමේ අර්ථය දන්නා බවත්, “ජාගරියං අනුයුත්තෝ.” නිදි වරමින් භාවනාවෙන් කල් ගෙවීමත් යන කරුණු ය.
බුදුරජාණන් වහන්සේ එහි දී ඉන්ද්රිය සංවරය පිළිබඳ තුන් ලොව සියලු දෙවි මිනිසුන් හට මෙසේ වදාළ සේක. “කතඤ්ච භික්ඛවේ භික්ඛු ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ හෝති.” මහණෙනි, අකුසලයන් වැළැක්වූ දොරටු ඇති ඉන්ද්රියයන් තුළ ඉන්නේ කොහොමද? “ඉධ භික්ඛවේ භික්ඛු චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හෝති. නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමේතං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දෝමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං තස්ස සංවරාය පටිපජ්ජති. රක්ඛති චක්ඛුන්ද්රියං. චක්ඛුන්ද්‍රියේ සංවරං ආපජ්ජති.”
“මහණෙනි, මෙහිලා භික්ෂුව ඇසින් රූප දැක නිමිති ගන්නේ නෑ. නිමිත්තක කොටසක්වත් ගන්නේ නෑ. යම් හෙයකින් ඇස නමැති ඉන්ද්රිය අසංවර ව වසන කෙනෙකුට දැඩි ලෝභයත්, දොම්නසත්, පාපී අකුසලුත් ඇති වී අර්බුදයක් හට ගන්නවා නම්, එහි සංවරය පිණිස පිළිපදිනවා. ඇස රැක ගන්නවා. ඇස නමැති ඉන්ද්‍රියේ සංවරයට පැමිණෙනවා.”
(රථූපම සූත්‍රය – සං.නි. 4)
මෙසේ අපගේ ආදරණීය ශාස්තෘන් වහන්සේ අපට දේශනා කොට වදාළ මේ උත්තම වූ අති ශ්‍රේෂ්ඨ වූ ඉන්ද්රිය සංවරය නම් වූ මිහිරි ධර්මය අඩංගු උතුම් ශ්‍රී සද්ධර්මය සාදරයෙන් අපි සරණ යමු.
මහමෙව්නාව අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි
Recent Comments