සැදැහැ ධනයෙන් යුතු සිත් ඇති පින්වතුන් හට සඟරුවන කෙරෙහි ප්‍රසාදය බලවත් වීම පිණිස ලියැවෙන මෙය ගොයුම් බුදුසසුන සෝභමාන කළ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට උපහාර පූජාවක් වේවා! …………………….
මේ සේනිය බිම්බිසාර මහා නරේන්ද්‍රයන් විසින් ගෞතම බුදුසසුනට පූජා කළ සොඳුරු වේළුවනාරාම පින් බිමයි. රමණීය කඳු වළළු කිහිපයකින් වට වූ රජගහනුවර සුපිහිටි මේ ආරාමයෙහි තිලෝගුරු ගෞතම බුදුරජාණෝ වැඩ සිටිනා සේක.
එදින භික්ෂු පිරිස පිරිවරාගත් අප සම්මා සම්බුදු රජාණෝ එළිමහනේ වැඩහුන් මොහොතේ, වයෝවෘද්ධ වූ, වැවී ගිය කෙස් රැවුල් ඇති, වැහැරී ගිය සිවුරක් ගත දරා ගත්, ශාන්ත සංසුන් ඉරියව් ඇති භික්ෂුවක් වේළුවනාරාමය වෙත වැඩම කළේය. දුර සිටම සම්බුදු රජාණන් වහන්සේ දෙසට ම යොමු කරගත් නෙතින් යුතුව ගෞරවාන්විත ගමනින් පැමිණි මේ භික්ෂුව රැස්ව සිටි භික්ෂු පිරිස මධ්‍යයේ ම බුදුරජුන්ගේ සිරිපතුල් යුග අභියස සිරසින් වැඳ වැටිණි. ඒ ස්වර්ණ වර්ණ සිරිපා යුග්මය තම මුවින් සිඹින්නට පටන් ගති. නහර වැල් ඉල්පුණු තම දෙඅතින් ඒ සිරිපා යුග පිරිමදින්නට විණි.
එහි සිටි නවක භික්ෂූන් මුහුණට මුහුණ බලා ගත්තා විණා, කිසිවෙකුත් මේ උතුම් භික්ෂුව හඳුනා නොගත්තේය. මේ මහා මුනිඳුන්ව හඳුනාගත් භික්ෂූන් හදපිරි සතුටිනුත්, හටගත් ගෞරවයෙනුත් යුතුව බලා සිටියේ ය. සැබැවින් ම…. ශාස්තෘන් වහන්සේ කෙරෙහි මේ සා ප්‍රසාද ගෞරව දක්වමින් මෙහි වැඩසිටිනා මේ මහා මුනිඳුන් කවරෙක් ද?
…………………..
‘මා හට බුදුසසුනක ප්‍රථමයෙන් චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගන්නා භික්ෂුව බවට පත් වීමේ භාග්‍යය උදා වේවා!’ යන අදහසින් මින් කල්ප ලක්ෂයකට පෙර ලොව පහළ වූ පදුමුත්තර අර්හත් සම්මා සම්බුදු රජුන්ගේ උතුම් බුදුසසුනේ පටන් පින් පුරමින් පැමිණි මහා පින්වන්තයාණෝ මේ මුනිඳු ය.
මින් අනූඑක් කල්පයකට පෙර පහළ වූ විපස්සී සම්මා සම්බුදු රජාණන් වහන්සේ ප්‍රමුඛ මහාසඟරුවන විෂයෙහි සිය මුළු අස්වැන්න ම කැපකොට නව වරක් දන්පැන් පුදමින් මහා පින් රැස්කළ දානපතියාණෝ මේ මුනිඳු ය.
උතුම් තෙරුවනට සත්කාර කරමින් මනාකොට රැස්කළ පුණ්‍ය ධර්මයන්ගේ අනුහසින් දෙව්මිනිස් දෙගතියේ ම සැප විඳිමින් පැමිණි මහා පින්වන්තයාණෝ මේ මුනිඳු ය.
කපිලවස්තු නගරයට ආසන්න ද්‍රෝණවත්ථු නම් ග්‍රාමයේ මහාසාර බ්‍රාහ්මණ කුලයෙක ජන්ම ලාභය ලැබ යොවුන් වියට පත් වෙද්දී ම අංග ලක්ඛණ ශාස්ත්‍රය ඇතුළු ත්‍රිවේදයේ කෙළ පැමිණි නැණවතාණෝ මේ මුනිඳු ය.
රාම, භෝජ, ධජ, ලක්ඛණ, මන්තී, සුයාම, සුදත්ත යන වයෝවෘද්ධ පඬිවරුන් සමඟ සුදොවුන් නිරිඳුන්ට දාව මහාමායා බිසොවුන්ගේ කුසින් උපන් පින්වන්ත කුමාරයාණන් හට නම් තැබීමේ මංගල්‍යයට සම්බන්ධ වීමේ භාග්‍යය ලද වාසනාවන්තයාණෝ මේ මුනිඳු ය.
ලුමිබිණී සල් උයනේදී මහා අසිරිය කරමින් මනුලොවට වැඩියා යැයි අසන්නට ලැබුණු ඒ සිඟිති කුමාරයාණන්ගේ රන්පැහැ සිරුරේ මහා පුරිස ලකුණු මොනවට පිහිටා තිබෙනු දැක මහත් සේ සන්තෝෂයට පත් වූයේ මේ මුනිඳු ය.
අනෙක් බමුණු පඬිවරු ‘මේ කුමරා ගිහිගෙයි විසුවහොත් සක්විති රාජ බවට පත් වන්නෙකි, ගිහි දිවිය අත්හළහොත් ලොව්තුරා සම්බුද්ධ රාජ බවට පත් වන්නෙකි.’ යනුවෙන් තීරණ දෙකක සිටියදී ‘නැත, මේ කුමාරයාණන් ඒකාන්තයෙන් ම ගිහි බන්ධන සිඳබිදලා දෙව්මිනිසුන්ව දුකින් එතෙර කරවන විමුක්ති දායකයාණන් වූ සම්මා සම්බුදු රජාණන් බවට පත් වන්නේ ම ය.’ යනුවෙන් නියතව ප්‍රකාශ කළ මහා පඬිවරයාණෝ මේ මුනිඳු ය.
එකුමරුන් හට සිද්ධාර්ථ යැයි නම් තැබූ දිනයේ ම ‘මම මතු ශ්‍රී සම්බුද්ධත්වයට පත් වන බුදුරජුන්ගේ දහම් අසා අමා සුවයේ සැනසෙන්නෙමි’ යි ගෘහ බන්ධන අත්හැර උතුම් පැවිද්දට පත් වූ විමුක්තිකාමියාණෝ මේ මුනිඳු ය.
විසිනව හැවිරිදි වියේදී මහාභිනිෂ්ක්‍රමණය කළ සිද්ධාර්ථ මහබෝසතුන් හට අමා නිවන සොයමින් ආර්ය පර්යේෂණයේ යෙදෙන අවදියේ දුෂ්කර ප්‍රතිපදාවකට බැස ගත් කල්හී ඉතා ගෞරවයෙන් උපස්ථාන කළ ශ්‍රමණවරු පස්දෙනා අතරේ මූලිකයා ද මේ මුනිඳු ය.
වෙසක් පුන් පොහෝ දින දඹදිව බුද්ධගයාවේ නේරංජරා නදිය අසබඩ දසමර සෙන් පරදා ශ්‍රී සම්බුද්ධත්වයට පත් වූ අප ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ තම මංගල දම් දෙසුම පැවැත්වීම පිණිස සුදුස්සෝ කවරහු දැ යි ඤාණය මෙහෙයවන කල්හී ඒ සඳහා සුදුසු යැයි කියා සම්බුදු නේත්‍රයට හසු වූයේ වප්ප – භද්දිය – මහානාම – අස්සජී යන පින්වත් ශ්‍රමණවරු පිරිවරා සිටිනා මේ මුනිඳු ය.
ඇසළ මස පුන් පොහෝ දිනයේ පින්බර රාත්‍රියේ බරණැස් වන මිගදායේදී තිලෝගුරු ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඒ පරම ගම්භීර චතුරාර්ය සත්‍යය ප්‍රකාශිත දහම්සක ප්‍රවර්තනය කරද්දී මේ මනුලොව එය ඇසීමේ භාග්‍යය උදා වූ පස්වග භික්ෂූන් අතරේ ප්‍රධාන භික්ෂුව වූයේ මේ මුනිඳු ය.
අහෝ! අසිරියෙකි… කරන ලද පුණ්‍ය ප්‍රාර්ථනය සඵල වෙමින් මේ මහා භද්‍ර කල්පයේ පහළ වූ සතරවෙනි සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ දම් දෙසුමෙන් මේ මනුලොව යමෙක් පළමු කොට උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කර ගත් සේක් ද, සම්බුදු රජාණන් වහන්සේගේ ඒ පළමු ශ්‍රාවක රත්නය මේ මුනිඳු ය.
උතුම් සෝතාපන්න ඵලයට පත්ව ‘හේතූන්ගෙන් හට ගත් සියල්ල ඒ හේතු නැති වීමෙන් නැති වී යන්නේ ය’ යන දහම් ඇස ලබනා මොහොතේ (අඤ්ඤාසි වත භෝ කොණ්ඩඤ්ඤෝ, අඤ්ඤාසි වත භෝ කොණ්ඩඤ්ඤෝ) “භවත් කොණ්ඩඤ්ඤයෙනි, ඔබ ඒකාන්තයෙන්ම මේ දහම අවබෝධ කළා” යනුවෙන් ශාස්තෘන් වහන්සේ විසින් උදාන වාක්‍යයක් පහළ කළේ ද මේ මුනිඳුන් අරබයා ය. මේ ලෝකයට අනුත්තරීය පින්කෙත වූ ආර්ය මහා සංඝරත්නයේ පහළ වීම සිදුවූයේ කොණ්ඩඤ්ඤ නම් මේ මුනිඳුන්ගේ ධර්මාවබෝධයත් සමඟ ය.
ශාස්තෘන් වහන්සේගේ උදාන වැකිය නිසාවෙන් මේ මුනිඳුන්ව එදා සිට හැඳින්වූයේ “අඤ්ඤා කොණ්ඩඤ්ඤ” යන නාමයෙනි. අපගේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මුනිඳුන්ගේ දිවිය සැබැවින්ම අසිරියකි. බරණැස් වන මිගදායේදී ම මංගල දම්දෙසුමෙන් සත් දිනකට පසු සම්බුදු මුව මඬලින් දේශනා කළ අනත්ත ලක්ඛණ දෙසුම අසා උන්වහන්සේ උතුම් වූ අර්හත්වයට පත් වූ සේක. ඒ අපගේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ යනු මේ බුදුසසුනේ පැවිදිව වැඩිම කලක් ගත කළ චිරරාත්‍රඥ භික්ෂුව හෙවත් මේ බුදුසසුනේ වැඩිමහල් ම භික්ෂු රත්නය යි.
උන්වහන්සේ බොහෝ ප්‍රිය කළේ මිනිසුන්ගෙන් වෙන් වූ විවේකී වන සෙනසුන්වලටයි. ඒ ප්‍රියභාවයටත් වඩා පිරිසෙන් වෙන්ව හුදෙකලා වීමට හේතුවක් උන්වහන්සේට පෙනෙන්නට විය. පැවිදි වූ පිළිවෙළට ගරු සත්කාර දැක්වීම භික්ෂූන්ගේ පිළිවෙතයි. එහෙත් සසරේ පුරන ලද මහා පින් ඇතිව බුදුරජුන්ගේ අග්‍රශ්‍රාවක බවට පත් වූයේ සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම වහන්සේලා ය. දම්සභා මණ්ඩපයට රැස්වන භික්ෂූන් අතරේ ශාස්තෘන් වහන්සේට පසු මූලාසන පැණවෙන්නේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට ය. අපගේ අඤ්ඤා කොණ්ඩඤ්ඤයන් වහන්සේ වැඩසිටිද්දී එම මූලාසනවල වැඩ සිටීමට සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම වහන්සේලා හැකිළෙති, එසේ වැඩහිඳීමට සිදුවීමෙන් ලැජ්ජාවට පත් වෙති.
මෙය දැනගත් කෙනෙහි අග්‍රශ්‍රාවක දෙනම වහන්සේලාට ද පහසුවක් වෙමින් වන පියසට වැඩම කිරීමට අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහත් මුනිඳුන් තීරණය කළේය. සුදුසු අවස්ථාවක ඒ උදෙසා අවසරය ලබාගත් උන්වහන්සේ ශාස්තෘන් වහන්සේගේ පාකමල් වැඳ හිමාලයේ මන්දාකිනී විල්තෙර වෙත වැඩම කළ සේක.
ගන්ධමාන පර්වතය අසබඩ යොදුන් පනහක් පුරා පැතිරී ඇති මේ මන්දාකිනී විලේ පළිඟු වන් පිරිසිදු ජලය පිරී පවතී. රියසක බඳු රත්නෙළුම්, සුදුනෙළුම් මේ විලේ නිබඳ පිපී පවතී. විල අවට වනය දෑසමන්, චම්පක, සඳුන් ආදී නේක සුවඳැති පුෂ්පයන්ගෙන් ද, නොයෙක් ප්‍රණීත පළතුරු වලින් ද පිරී පවතී. එහෙත් මෙහි කිසිදු මිනිස් වාසයක් නම් නැත්තේ ය. අතීතයේ පසේබුදු රජාණන් වහන්සේලාට උපස්ථාන කරමින් වාසය කළ පරපුරකින් පැවත එන ඡද්දන්ත කුලයේ හස්තීන් අටදහසක් පමණ මෙහි වාසය කළේය. එනිසාම මෙය ඡද්දන්ත වනය කියා හැඳින්විණි.
වයෝවෘද්ධ, මේ මහාමුනිඳුන් තම වන පියසට වැඩම කිරීම ඒ ඡද්දන්ත හස්තීන්ට කිව නොහැකි තරම් සතුටකි. උන් ප්‍රීතියෙන් කුංචනාද කළෝය. තම මාපිය හස්තීන් සමඟ නේක ඵලවැල ගෙන පසේබුදු වරුන්ට දන්පැන් පිදූ අයුරුත්, නොයෙක් උවටැන් දැක් වූ අයුරුත් සිහිපත් වූ හස්තීන්ගේ දෑස් කෙවෙනි සතුටු කඳුළින් පිරී ගියේ ය. “අහෝ!… කාලෙකට පස්සේ අපට පින්කෙතක් පහළ වෙලා. ඔව්! පින්කෙතක් පහළ වෙලා.”
හස්තීන් එක්ව කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට වැඩහිඳීමට ගල්ලෙන පිරිසිදු කළෝය. ඒ ලෙනේ වැඩහිඳින උන්වහන්සේට දිනපතා උපස්ථාන කළෝය. අව්වේ තබා රත්කරගත් ගල් යොදාගෙන උන්වහන්සේට සීතල කලට පැන්පහසුව පිණිස උණුපැන් පිළියෙළ කර දුන්නේ හස්තීන් ය. මාසයකට දෙවතාවක් පමණ සිවුරු රැහැනේ දමා තිබෙන උන්වහන්සේගේ චීවරය මනාකොට අපුල්ලා ගෞරවයෙන් පිරිසිදු කළේ ද හස්තීන් ය. අතු අග පිපෙන මල් කිණිති කඩාගෙන විත් උන් ලෙන අවට සුවඳවත් කරති. සවස් කාලයට ගිලන්පසක් ලෙස වැළඳීමට පැණි වෑහෙන උක්දඬු ගෙනැවිත් පාත්‍රයට පැණි පුරවා පූජා කරති. සෑම දිනෙක ම නොයෙක් පලවැල සහිතව ප්‍රණීත දානයක් පූජා කරති. අටදහසක් හස්තීන් දිනපතා සාදර ගෞරවයෙන් අප මහරහතන් වහන්සේට වන්දනා කොට පින් පුරා ගනිති.
මෙසේ කාලය ගත වී ගියේය. දොළොස් අවුරුද්දක් ම ගත වී ගියේය. දැන් අඤ්ඤා කොණ්ඩඤ්ඤයන් වහන්සේගේ සිවුර බොහෝ සෙයින් වැහැරී ගොස්ය. කෙස් රැවුල් ද වැවී තිබේ. එසේම කාලයත් සමඟ මිහිමඬළ සනසාලමින් වැඩසිටි, දැක සිත පහදවාගැනීම් මාත්‍රයකින් පවා සුගති සැප ඉපදවීමට තරම් මහා ගුණ ඇති, ඡද්දන්ත හස්තීන්ට පින්කෙතක් වූ මුනිඳුන්ගේ ආයුෂය ද ගෙවී ගොස්ය. තමන් වහන්සේට පිරිනිවීමට කාලය බව දැනගත් විගසයි අපගේ කොණ්ඩඤ්ඤ මහරහත් මුනිඳුන් මේ ශාස්තෘන් වහන්සේ සොයා වැඩම කොට වදාළේ. ඒ සම්බුදු සිරිපා කමල් පිරිමදිමින් උන්වහන්සේ “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මම් වනාහී ඔබ වහන්සේගේ ශ්‍රාවක පුත්‍ර වූ කොණ්ඩඤ්ඤයන් වෙමි. ස්වාමීනී, මම කොණ්ඩඤ්ඤයන් වෙමි’යි පවසන්නට වූ සේක.
ඒ මොහොතේ වංගීස මහරහතන් වහන්සේ ශාස්තෘන් වහන්සේගේ අවසරය ගෙන මේ ගාථාවන්ගෙන් කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ ගුණ පසසන්ට විය.
“ඒ කොණ්ඩඤ්ඤ තෙරුන් බුද්ධානුබුද්ධ කෙනෙක්. බලවත් වීරියකින් දුකෙන් නිදහස් වෙච්ච කෙනෙක්. නිතරම චිත්ත විවේකය ඇති ධ්‍යාන සමාපත්ති සැප ලබන කෙනෙක්.
ශාස්තෘ ශාසනය අනුගමනය කරන ශ්‍රාවකයෙක් විසින් යම් ශ්‍රේෂ්ඨ දෙයක් ලැබිය යුතු නම්, අප්‍රමාදීව දහම තුළ හික්මෙන කොණ්ඩඤ්ඤයන් වහන්සේ ඒ හැම දෙයක්ම ලබාගත්තා.
කොණ්ඩඤ්ඤයන් වහන්සේ මහානුභාව සම්පන්නයි. ත්‍රිවිද්‍යාවෙන් යුක්තයි. අනුන්ගේ සිත් දකින්න හැබෑම දක්ෂයි. බුදු සමිඳුන්ගේ දායාදයක්. උන්වහන්සේ තමයි ශාස්තෘන් වහන්සේගේ සිරිපා වඳින්නේ.”
ශාස්තෘන් වහන්සේගේ ස්වර්ණ සිරිපා වන්දනා කළ කොණ්ඩඤ්ඤ මහරහත් මුනිඳුන් “ස්වාමීනී, මා හට පිරිනිවීමට කල් පැමිණිලා. එයට මා හට අවසර ලැබේවා!”යි පැවසූ සේක.
“මා ප්‍රිය පුත්‍රය, ඔබ පිරිනිවන් පාන්නේ කොහිද?”
“ස්වාමීනී, මාගේ උපස්ථායකයෝ මන්දාකිණී විල්තෙරයි වාසය කරන්නේ. මාගේ අදහස නම් ඒ විල්තෙරේදී ම පිරිනිවෙන්නට යි.”
“එසේ නම්, මා ප්‍රිය පුත්‍රය, ඔබ වන් භික්ෂුවකගේ දැකීමක් යළි මේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා හට යළි කිසිදා නොලැබේ. එහෙයින්, මොවුන් හට අනුශාසනා කොට ඔබ ඒ විල්තෙර වෙත වැඩම කරන්න.” ශාස්තෘන් වහන්සේගේ ඒ වදනත් සමඟ අවසන් වරට ඒ සම්බුදු සිරිපාද යුග්මය වන්දනා කළ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ අහස්ගැබට පැන නැඟුණි. මහා පෙළහර සහිතව භික්ෂූන් හට ධර්මය දේශනා කළ උන්වහන්සේ අහස් ගමනින් ම මන්දාකිනී විල්තෙර වෙත වැඩම කළ සේක.
මේ උන්වහන්සේ මන්දාකිනී විලේ සිහිල් දියෙන් පැන් පහසු වන අවසාන වතාවයි. පැන් පහසු වී අවසන ලෙනතුලට පිවිසි කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ මනා සිහිනුවණින් යුතුව සිංහ සෙය්‍යාවෙන් යහනේ සැතැපුණු සේක. පුරා රැය පිළිවෙළින් සමාපත්තීන්ට සමවැදෙමින් ගත කළ උන්වහන්සේ අළුයම උදා වෙත්ම, පහන් සිලක් නිවී යන පරිද්දෙන් පිරිනිවන්පා වදාළ සේක.
අනේ, මේ කිසිවක් නොදත් ඡද්දන්ත හස්ති පිරිසේ නායක හස්තියා වෙනදා මෙන්ම දැහැටි දඬු රැගෙන ලෙනදොර අසලට පැමිණියේ ය. වෙනදාට නම් කිසිම දිනයෙක උන්වහන්සේ ප්‍රමාද වී නැත. ගිලන් බවක්වත් දැ යි සිතූ හස්තියා වරක් සෙමෙන් හඬක් නැඟීය. එහෙත් කිසිදු හඬක් ලෙන තුළින් නොඇසිනි. තරමක් ලෙන තුළට එබී බලද්දී… හටගත්තේ මහත් සතුටෙකි. ඔව්! ඒ මහා මුනිඳුන් වැඩසිටී. යහනේ සැතපී වැඩසිටී.
ඒත්… බොහෝ වේලාවක් ගතවීත් තෙරුන් වහන්සේ අවදිවන හැඩක් නම් නැත. කුටිය තුළට තම හොඬය ප්‍රවිෂ්ට කළ හස්ති රාජයා තෙරුන් වහන්සේගේ සිරුරේ නොගැටෙන පරිදි නාස්පුඩු ඉදිරියේ හොඬය තබාගෙන හුස්ම රැල්ල විමසීය. අහෝ! හුස්ම හෙළනා බවක් නොදැනේ. ඒ සොඬවැල තෙරුන්ගේ හදවතේ රිද්මය විමසන්නට යොමු වූයේ නොදැනුවත්ව ම ය. “අහෝ!…. කෙලෙසින් ද මෙය වාවාගන්නේ. මෙතෙක් කලක් අපට පින්ඵල උපදවා දුන් අපේ පින්කෙත අපව අත්හැර දමා ගොසින්. ඒ හදවතේ රිද්මයත් නැවතිලා.”
දුක දරාගත නොහැකි වූ හස්තිරාජයා සියලු හස්තීන්ට ඇසෙන පරිදි කුංචනාද කළේය. “ප්‍රිය මිතුරනේ,… අපගේ උතුම් පින්කෙත අපට අහිමි වෙලා. උන්වහන්සේ අපිව හැරදමා ගිහිල්ලා…” කියමින් කුංචනාද දෙන හස්තිරාජයාගේ හඬඅසා ඒ අටදහසක් හස්තීන් මන්දාකිනිය ඒකනින්නාද වන පරිදි කුංචනාද කළෝය. ඒ හස්තීන්ගේ නාදය අකණිටාව තෙක්ම ඇසෙන්නට විය.
දෙව්බඹුන් එහි රැස්ව කොණ්ඩඤ්ඤ රහත් මුනිඳුන් උදෙසා මනරම් කුළුගෙයක් කරවීය. අවසන් බුහුමන් දැක්වීම පිණිස අටදහසක් හස්තීන් කොණ්ඩඤ්ඤ මහරහත් මුනිඳුන්ගේ දේහය තැන්පත් ඒ කුළුගෙය වටා තෙවරක් පැදකුණු කළෝය. දේවානුභාවයෙන් දැවුණු චිතකය නිවී ගිය පසු එහි උතුම් ධාතූන් වහන්සේලා ඉතිරි විය. එම ධාතූන් වහන්සේලා තැන්පත් කොට ධාතු සෑයක් ද ඉදිකෙරිණි. මින් මතු මේ ලොවට කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ නාමයෙන් වන්දනා කිරීමට ඉතිරිව ඇත්තේ ඒ උතුම් ධාතූන් වහන්සේලා ය.
ගෞතම බුදුසසුනේ පහළ වූ ඒ අසිරිමත් ශ්‍රාවක රත්නය වූ ආර්ය මහා ශ්‍රාවක සඟ පරපුරේ ආරම්භක භික්ෂුව වූ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට අපගේ ගෞරවාදර වන්දනාව වේවා!
– මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි
Recent Comments