කුටියෙන් නික්මුණ නායක හිමියන් විශ්‍රාමශාලාව හා මුළුතැන්ගෙය දෙසට වැටී තිබූ වැලි පාර දිගේ ඇවිදගෙන ගියේ ය. පාර වැටී තිබුණේ සෙනසුන් බිම මායිම් කොට ගලා බසිනා ඇළට සමාන්තර ලෙසිනි. ඇළ දකිත් ම නායක හිමියන්ට අතීතය සිහි විය.

වසර කිහිපයකට පෙර විල්සන් උපාසක සමඟ මෙබිමට එද්දී මේ ඇළ කුඩා දිය පාරකි. අවුරුදු දහයක දොළහක දරුවෙකුට වුව ද පහසුවෙන් ම මෙගොඩ සිට එගොඩට අඩිය තබා යාමට තරමේ කුඩා එකකි. තමාත් විල්සන් උපාසකත් පැන් පහසු වූයේ ඒ කුඩා දිය පාරේ තැනක මඳක් පළල් කොට සාදාගත් ළිඳක් වැනි වළකිනි.

එදා කුඩා දිය පාර අද අඩි තිහකට ආසන්න තරමක ඇළකි. කාලයත් සමඟ ඇළ විශාල විය. කුඩා වූත් මහත් වුත් නේක තුරුලතාවන්ට ඉපිද වැඩෙන්නට තිබූ බිම පටු විය. වඳුරු ග්‍රහණය ද වැඩී ගියෙන් වඳුරු වසුරු ද එක්වී ජලය ද අපවිත්‍ර විය.

“ස්වාමීනී, විල්සන් උපාසකගෙ වැඩපිළිවෙළ හොඳ මදි වගේ. සෙනසුනේ පිරිසිදු කිරීමක්වත් හොයල බලන්නෙ නැතිව වගෙයි.”

විල්සන් උපාසක පිළිබඳ ව නායක හිමියන්ට කිහිප විටක් ම නේවාසික ස්වාමීන් වහන්සේලා වෙතින් මේ අදහස ඉදිරිපත් විය.

“අපි බලමු තව ටිකක්. දැන් හැත්තෑවකටත් කිට්ටුයි. පැවිදි වෙන්න පුතෙක් එනව ළඟදි ම. අපි එතකම් ඉවසල ඉමු.”

නායක හිමියන් ඒ හැම විට ම එසේ පවසා නිහඬ විය. එනවා ය කියූ කෙනා ආවේ ය. නායක හිමියන්ට නිහඬ ව සිටින්නට අවකාශයක් නො විණි.

“පුතා නවතින්න ම නේ ද ආවෙ?”

“එහෙමයි ස්වාමීනී, ඒත් අර උපාසක මාව පන්න ගන්න ම යි හැදුවෙ. මේ ස්වාමීන් වහන්සේ දැකල එක්කගෙන ආවෙ.”

තරුණයා කියන්නේ බොරුවක් නොවන බව තරුණ සාමණේරයෝ ද අනුමත කළේ ය.

“ඇයි මොකද උපාසක කිව්වෙ?”

“තවත් නම් මෙහෙ දර කොටන්වලට සිවුරු පොරවන්නෙ නැහැ. දැන් මහණ වෙන එකාලට බණක් දහමක් ඕනෙ නැහැ. නැටිල්ල විතරයි. වෙන අතක් හොයාගෙන පලයන් කිව්ව.”

තරුණයා සාක්ෂි පිණිස සාමණේරයන් දෙස බැලුවේ ය.

“ඔය දර කොටන් කියන්නෙ අපිට. දවසක් මගෙ මූණට ම කිව්ව. මම කාටවත් නොකිය උන්නා.”

“ආයුෂ්මතුන් මේ පුතාට සුදුසු තැනක් පෙන්නල කුටියට වඩින්න. මං බලන්නම් විල්සන් උපාසකට මේ මොකද වෙල තියෙන්නෙ කියල.”

නායක හිමියෝ ඇළ හරහා දමා තිබූ ලී පාලමෙන් එගොඩව මුළුතැන්ගෙයත්, ගිහි නේවාසිකාගාරයත් වටා ගොස් විල්සන් උපාසකගේ කාමරයට එබී බැලුවේ ය.

විල්සන් උපාසක භාවනා කරයි. වටපිට බලා කාර්යාල කවුළුවේ වූ පෑනත් කොළයකුත් ගත් නායක හිමියෝ විල්සන් උපාසකට පණිවිඩයක් ලියා තබා ආපසු වඩින්නට විය.

‘මාව මුණගැහෙන්න, නායක ස්ථවිර’

පණිවිඩය දුටු පමණින් විල්සන් උපාසක නායක හිමියන්ගේ කුටිය සොයා ගියේ ය.

“ස්වාමීනී උවමනාවක් ද?”

“එහෙමමත් නැහැ. මම ටික දවසක ඉඳල ටිකක් කථා කරන්නයි හිටියෙ.”

“විශේෂ කාරණාවක් ද ස්වාමීනී?”

නායක හිමියෝ මුවඟට මඳ සිනාවක් නඟා ගති.

“දැන් උපාසකට වයසනෙ. දැන් ඉතිං ඔය කරපු කාරිය අද ආව දරුවට භාර දීල නිදහසේ බණක් භාවනාවක් කරමු.”

ඒ හඬ දයාබර ය. දයාබර පියෙකුගේ ස්වරයකි.

“මට තව පුළුවන් ස්වාමීනී, අලුත් අයට මේව පිළිවෙළට බැහැ. ඔය දැන් කී දෙනෙක් ඇවිත් ගියා ද?”

“අපි බලමු උපාසක, මේ දරුව ආවෙ මෙහෙ පැවිදි වෙන්නනෙ. උපාසක පාඩුවෙ ඉන්න. මං අද කාමරයට ම ආව. මං දැක්ක වාඩිවෙලා ඉන්නව. මට ලොකු සතුටක් ඇති වුණා.”

විල්සන් උපාසක නිහඬව ම යෝජනාවට එකඟ විය. එහෙත් සතුටින් නොවුණි.

“ස්වාමීනී, ඔබ වහන්සේට ඉර්ධි පුළුවන් ද? මග ඵල ලබල ද ඉන්නෙ?”

උපාසක ඇසුවේ කිසිදා නො සිතූ අමුතු පැනයකි. නායක හිමියන් පුදුම විය.

“ඉර්ධි නේ ද. හ්ම්… ඔව් ඉතිං ඉවසීමත් ඉර්ධියක්. දයාව, කරුණාව, විශේෂයෙන් ම මාන්නයක් නැතිකම මේව තමයි මං දන්න ඉර්ධි.”

නායක හිමියන් තැනට සහ පුද්ගලයාට ගැළපෙන පිළිතුරක් දුන්නේ ය. විල්සක් උපාසකගේ සිත ගැඹුරට ම එරිණ. හේ නිහඬව ම වන්දනා කොට කුටියෙන් පිට විය. නායක හිමියන් පිළිබඳ ව අහිතක් ඇතිකර ගන්නටත් බැරි ය. තමා පතන දේ ලැබීමත් පහසු නැත. මග ඵල තවදුරටත් සිහිනයක් නො විය යුතු ය.

පසු දිනයේ අරුණටත් පෙර ම සුරංග නායක හිමියන් සොයා පැමිණ කුඩා කොළයක් නායක හිමියන්ට දිගු කරගෙන සිටියේ ය.

“මොකක්ද දරුවො?”

“ලියුමක් විල්සන් මාමගෙන්.”

“විල්සන් උපාසකගෙන්?”

“ඔව්.”

නායක හිමියෝ ලිපිය ගෙන කියවූහ.

‘අවසරයි ස්වාමීනී,

අපි විමුක්තිය සොයා පැමිණි ගමන විමුක්තියෙන් ම අවසන් කළ යුතුයි. ඒ සඳහා මම මෙහෙන් යනවා. ලද දවසක ඇවිත් වන්දනා කරන්නම්.
හිතෛෂී වූ විල්සන් උපාසක.’

“උපාසක මෙහෙන් ගිහින්…..”

නායක හිමියන්ට මහත් සංවේගයක් ඉපදිණි. ඈත්ව ගියේ තම සෙවණැල්ලයි.

“දරුවො වාඩිවෙන්න.”

හිත සැහැල්ලු කරගැනීමේ උවමනාවක් නායක හිමියන් තුළ විය.

“පුතාට මේව පාඩමක් කරගන්න. විල්සන් උපාසක මොරටුවෙ ලොකු ලී මෝලක් අයිතිකාරයෙකුගෙ පුතෙක්. මට භාවනා වැඩසටහනකදි මුණගැහිල මාත් එක්ක ධර්මය පුරුදු කරගන්න මෙහෙ ආවෙ.”

“එහෙමයි ස්වාමීනී.”

“තාත්ත ඇවිත් ගහල ගෙනියන්න හැදුව. මොන… පස්සෙදි මට විරුද්ධව පොලීසිත් ගියා මම බලෙන් නවත්වගෙන ඉන්නව කියල. ඒත් විල්සන් ගියේම නැහැ. දාසයෙක් වගේ උපස්ථාන කරගෙන හිටිය.

මේ හැමදෙය ම ගොඩනැගුවෙ විල්සන්. සසරෙ කොතනහරි වරදක් වෙලා ඇති පැවිදිවෙන්න හිත නැමුනෙ ම නැහැ.”

තමා පැමිණි දිනයේ වූ සිදුවීම නිසාවෙන් විල්සන් උපාසක පිළිබඳ ව සුරංගගේ සිත වූ අමනාපය ද පහව ගියේ ය.

“සුවසේ ම හතරවෙනි ධ්‍යානයත් උපදවා ගන්නව කියලයි කිව්වෙ. පසුගිය මාසෙ මෙහෙ ආව සංචාරක භික්ෂුවක්. උන්වහන්සේ තමයි ඔය ඉර්ධි විෂබීජය හරි වෙන මොකක්හරි තොයිලයක් ඔළුවට දාල තියෙන්නෙ. ඇත්තටම මට දුකයි විල්සන් ගැන. උන්වහන්සේගෙ පස්සෙ යන්න ඇති.”

සිදු වූයේ ද එය ම ය. සංචාරක භික්ෂුව ළඟ මොරටුවේ විල්සන් ‘මොරටුවේ විභාවි’ ලෙසින් පැවිදි විය. පැවිදි වීමට සිතක් නොවුණ ද යැපීමට මඟක් නොවුණෙන් හෙතෙම ඒ තීරණය ගත්තේ ය.

සතියකදී ගුරු ගෝල ඇසුර බිඳිණි. විභාවි සාමණේර තමා දන්නා ගම් පළාතකට වැඩියේ ගමට ආසන්න ගල් ලෙනක නතර විය. ඒ ජීවිතය ඉස්සර තරම් පහසු නැත. ධ්‍යාන සැපය ඇතියෙන් අස්වැසිලි විය. දානයට ගමට පිණ්ඩපාතයේ වැඩිය යුතු විය.

“මොනවද?”

විභාවි සාමණේර ඇසුවේ මස් සුවඳක් දැනුන නිසාවෙනි.

“හරක් මස්.”

ගැමියා හැන්ද පිරෙන්න ම ව්‍යංජනය පාත්‍රයට බෙදා අහවරව තිබුණි. විභාවි සාමණේර මස් වළඳන්නේ නැත. ප්‍රතික්ෂේප කරන්නට බැරි ය.

“අවසර වේවා”

හරක් මස් ගන්ධය හාත්පස පැතිරේ. ගෙදර හුන් බැල්ලිය ද සාමණේර පසුපස වැටුණා ය.

නිවස නොපෙනෙන දුරක් වැඩිය සාමණේර මස්කෑලි එකින් එක ගෙන බැල්ලියට දුන්නේ ය. ප්‍රමාණවත් තරමින් දානය ලැබී තිබුණෙන් හෙතෙම ගල් ලෙනට පැමිණියේ ය. බැල්ලිය ද ඔහුව අත් නොහැර ම පසුපසින් පැමිණ සිටියා ය.

දානය වළඳද්දී මස් ව්‍යංජනයේ රස දිවට දැනෙන්නට විය. මස් රස ප්‍රණීත ය. සාමණේරගේ දෙනෙත් පාත්‍රයේ පතුලට ම කිඳා බැස්සේ ය. බතට වැසී තිබූ මස් කැබලි දෙකකි. හෙතෙම එය කටට දමා ගත්තේ ය. අපූරු කිරි රසක් දැනුනි. බලා සිටින බැල්ලියට ලැබුණේ අවසන් බත් පිඬ පමණි.

සාමණේර පුරුදු මගින් ම පිණ්ඩපාතයේ වැඩියේ ය. හැමදාම බැල්ලිය ද පසුපසින් වූයේ හැමදාම කිනම් හෝ මසක් නොවැරදුන නිසාවෙනි. දානයෙන් හරි අඩක් බැල්ලියට ද ලැබිණ. අපූරු හිතවත්කමක් තිරිසන් සත්වයා හා පැවිද්දා අතර ගොඩනැඟී තිබුණි.

සාමණේරගේ ශරීරය තර විය. සිත පටු විය. ධ්‍යාන පිරිහී ගියේ ය. සිහිය උපදින විට හොඳට ම ප්‍රමාද වී ඇති බවක් ම සිතිණි. සාමණේරයන්ට සියදිවි නසා ගන්නට ද සිතිණි. එය මහත් ම පාපයකි. පසුව ඒ අදහස අත්හැර දැම්මේ ය.

සාමණේරනම ඉක්මනින් ම රෝගාතුර විය. සෙමත්, පපුවේ තද ගතියත් වඩාත් ප්‍රබලව හෙතෙමේ පීඩාවට පත් කළේ විය.

තෙවන දින වන විට රෝගය අසාධ්‍ය වූවේ ය. සෙම සමඟ ලේත් පිට විය. ලේ පිරී සෙම ගුලි සියල්ල බැල්ලිය සැණින් ගිල දමනු දුටු සාමණේර තුළ බැල්ලිය ගැන උපන්නේ අනුකම්පාවකි. පසුගිය දින දෙකෙහි ම ඕ මොහොතක්වත් තමාව අතහැර ගියා නො වේ. අවසන තමාට ඉතිරි වූයේ මේ තිරිසන් බැල්ලිය පමණක් නො වේ ද.

විභාවි සාමණේරයන්ගේ පපුව දැඩිව සිර විය. සෙමත් නැතිව ම ලේ ගුලියක් පිටවූයේ වේගයෙනි. බැල්ලිය විගස ලේ ගුලිය ලොවන්නට වූවා ය. බැල්ලියගේ දිවේ සීතල පහස ඒ සිරුරට නොදැනුණි.

එයින් පසු කිසිදිනක විභාවි සාමණේර පිණ්ඩපාතේ නොවැඩියේ ය. ගැබ් ගත් බැල්ලිය ගල්ලෙනෙහි පදිංචි වූවා ය.

ගියදා පටන් ම සොයා බැලූමුත් නායක හිමියන්ට විල්සන් උපාසක පිළිබඳ තොරතුරක් ලැබුණේ වසරකුත් ගතවූ පසුව ය.

“මාතලේට කිට්ටුව ගමකලු ඉන්නේ.”

පණිවිඩකරු කීවේ ය. වාහනයක් සොයාගත් නායක හිමියෝ පසුදින ම විල්සන් උපාසක සොයා ඒ ගමට වැඩියේ විය.

“ඔය කියන කෙනා තමයි. තැනත් ඈතක නෙවෙයි. ඒත් ඉතිං මීට මාස ගණනකට ඉස්සර අපවත් වුණා.”

“අපවත් වුණා….”

නායක හිමියෝ ද එය ම ප්‍රතිරාව කළහ.

“ඔව්. පිණ්ඩපාතෙ නොවඩින්නෙ මොකද බලන්නයි ගියෙ. එතකොටත් දවස් දෙක තුනක් වෙල. සත්තු කාල තිබුණෙ. ඉතිරි ටික අපි එකතුවෙල වළ දැම්ම.”

නායක හිමියන්ගේ හදවත කවදාවත් නො වූ ලෙසින් රිදෙන්නට විය.

“තැන ළඟයි නම් අපේ හාමුදුරුවනේ අපි ගිහින් බලමු.”

නායක හිමියන් සමඟ පැමිණි දායකයා කීවේ ය.

“අනේ මහත්තයො, දැන් ඒකෙ ඉන්නෙ බලු තඩියෙක්. කිසි කෙනෙකුට ළං වෙන්න දෙන්නෙ නැහැ. හරියට කොටියෙක් වගෙයි.”

“බලු තඩියෙක් කිව්ව.”

“එහෙමයි හාමුදුරුවනේ, උන්වහන්සේගෙ තනියට හිටිය බැල්ලිගේ පැටියෙක්. කොටිය ම තමයි.”

සුළු වෙලාවක් නිහඬව සිටි නායක හිමියෝ පෙරටු වූහ.

“අපි යමු. උන්නැහේ අපිට මඟ දුරක් හරි පාර පෙන්වනවනෙ.” කඩය වසා දැමූ මගියා ගමනට එක් වූයේ කැමැත්තකින් ම නො වේ.

නායක හිමියෝ පෙරටුව වඩී. දායකයා මැද ය. ගැමියා පසුපසිනි. ගල්ලෙනට සමීප වෙත් ම කොහේදෝ සිට බල්ලා බුරාගෙන ආවේ ය. සුදු ය. විශාල ය. රෞද්‍ර ය.

පෙරටුව සිටි නායක හිමියෝ ඍජුව සිට ගති. එක්වර ම නැවතී ගිය බල්ලා නායක හිමියන් දෙස බලාගෙන ම නිහඬ ව පසුවිය. ගැමියාත්, දායකයාත් භිරාන්තව සිටියහ.

“ළඟට වරෙන්.”

බල්ලා නායක හිමියන්ට අවනතව ළඟට ආවේ ය. දෙපා ලෙවකන්නට විය. ගැමියාත්, දායකයාත් අල්ලා සිටි හුස්ම අත් හළහ.

“පැටියො උඹ යමන් මාත් එක්ක. ඒක උඹේ පොරොන්දුවක්.”

රියදුරුත් දායකයාත් ඉදිරිපස ය. පිටුපස අසුනේ නායක හිමියන් සමඟ අමුත්තා විය. ‘සසර ගමන මෙවැන්නකි.’ නායක හිමියන්ට සිතුණි.

– මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි