සියල්ල ගැන සියල්ල දන්නා සර්වඥතා ඥානයෙන් යුතු භාග්‍යවතුන් වහන්සේ පින හා කුසලය ගැන පහදා දී ඇත්තේ මෙලෙසින්. “මහණෙනි, පිනට බිය වන්නට එපා. පින යනු සැපයට කියන තවත් නමකි. ඉෂ්ඨ වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය වූ දෙයට කියන තවත් නමකි.” (මා භික්ඛවේ පුඤ්ඤානං භායිත්ථ. සුඛස්සේතං භික්ඛවේ අධිවචනං ඉට්ඨස්ස කන්තස්ස පියස්ස මනාපස්ස යදිදං පුඤ්ඤානි) කියා යි. එමෙන් ම භාග්‍යවතුන් වහන්සේ යහපත සැපත සලසන පින් රැස්කර ගැනීමට ශ්‍රාවකයන් ව නිරන්තරයෙන් ම උනන්දු කොට වදාළා.
පුඤ්ඤං චේ පුරිසෝ කයිරා – කයිරාථේ’තං පුනප්පුනං
තම්හි ඡන්දං කයිරාථ – සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ
“යම් කිසි පුද්ගලයෙක් ශ්‍රද්ධාවෙන් යුක්තව, සිත කය වචනය යන තිදොරින් පින් කළොත්, ආයෙ ආයෙමත් කර ගන්න ඕනෑ වෙන්නේ ඒ පින ම යි. පින් කිරීම ගැන ම යි හිතේ කැමැත්ත ඇතිකර ගන්න ඕනෑ. සැප කියා කියන්නේ පිනට ම යි.”
කුසලය ගැන භාග්‍යවතුන් වහන්සේ විස්තර කර දී ඇත්තේ මෙලෙසින් ය.
යං අලෝභ පකතං කම්මං, අලෝභජං, අලෝභ සමුදයං, තං කම්මං කුසලං. තං කම්මං සුඛ විපාකං. තං කම්මං කම්ම නිරෝධාය සංවත්තති. “යම් කර්මයක් අලෝභය තුළ පිහිටා සිදු කරනවා ද අලෝභයෙන් උපදිනවා ද අලෝභයෙන් හටගන්නවා ද එම කර්මය කුසලයකි. එම කර්මයෙන් සැප විපාක ලැබේ. එමෙන්ම එම කර්මය කර්ම නිරුද්ධ වීම පිණිස පවතී.”
එම නිසා, අප නිහතමානී ශ්‍රාවකයන් ලෙස, ශාස්තෘ ගෞරවයෙන් යුක්තව, පින් රැස්කර ගනිමින්, කුසල් වඩමින් දුර්ලභ ක්ෂණ සම්පත්තිය තුළ අපේ ජීවිතයට ධර්මයෙන් රැකවරණයක් සාදා ගැනීමට උනන්දු විය යුතුයි.
Recent Comments