අවිද්‍යාවෙන් වැසී තෘෂ්ණාවෙන් සසරට බැඳුනා වූ සියලු ලෝකයන්හි සත්වයෝ වෙත් ද ඒ සියල්ලෝ ම යම් දෙයක් ඇසීමට අකමැත්තේ ද යමක් අසා තැති ගනිත් ද “මරණය” යන්න තරමට වෙන කිසිවක් නො වේ. මරණය යන වචනය පවා සත්වයාට දනවන්නේ එතරම් දුකකි. භයකි. දුක දැක සංවේග උපදවා ගත යුතු තැන් අට ගැන කෙරෙන විමසුමක සතරවන දිග හැරුම ය, ‘මරණය දුකකි’.
සංසාරික සියලු සත්වයනට ම දුකක් වන්නා වූ මරණය යනු කුමක් ද? “ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව ලෝකවලින් යම් චුත වීමක්, චුතවන ස්වභාවයක්, බිඳී යාමක්, අතුරුදහන් වීමක්, මරණයට පත් වීමක්, කළුරිය කිරීමක්, ස්කන්ධයන්ගේ බිඳී යාමක්, ශරීරයේ බැහැර දැමීමක්, ජීවිත ඉන්ද්රියෙහි සිඳීයාමක් වේ ද එය යි.”
(විභංග සූත්‍රය – සං. නි. 2)
මේ අනුව කවර භවයක කිනම් ආකාරයේ උපතක් ලැබුව ද මරණය යනු ඒකාන්ත ධර්ම ස්වභාවයක් බව පැහැදිලි ය. මරණය සත්වයාට දුකක් වන්නේ කිම? එනම් මරණය හා සබැඳි කායික දුකයි. අනෙක් කරුණ නම් ඒ ඒ තැන සතුටින් අල්ලා ගැනීම ලක්ෂණ කොට ගත් තෘෂ්ණා සහිත සත්ව තෙම තමා උපන් තැනට ඇති කර ගන්නා බැඳීමයි. සත්‍ය ලෙස ම පවතින හුදු සංස්කාර ගුලියක් පමණක් වන්නා වූ පංචඋපාදානස්කන්ධය ‘මම ය, මාගේ ය, මාගේ ආත්මය ය’ ලෙසින් ගැනීම ය. භාග්‍යවතුන් වහන්සේ ජානුස්සෝණි බ්‍රාහ්මණයාට එකරුණ දේශනා කළේ මෙලෙසිනි.
“බ්‍රාහ්මණය, මෙහිලා ඇතැමෙක් කාමයන් කෙරෙහි…. තම ශරීරය කෙරෙහි රාගය දුරු නො කළේ ද කැමැත්ත, ප්‍රේමය, පිපාසය, දාහය, තෘෂ්ණාව දුරු නො කළේ වෙයි ද මරණය අබියස සන්ත්‍රාසයට පත් වෙයි නම් මොහුත් එබන්දෙකි. තවද ඇතැමෙක් පින් නො කළේ වෙයි, කුසල් නො කළේ වෙයි, බියට රැකවරණයක් සලසා නො ගත්තේ වෙයි. දරුණු පව් කිලිටි පව් කර ගන්නේ වෙයි ද තවද ඇතැමෙක් බුදුන් කෙරේ සැක ඇත්තේ වෙයි, විචිකිච්ඡා ඇත්තේ වෙයි, සද්ධර්මය පිළිබඳ ව නිෂ්ඨාවට නො ගියේ වෙයි, මරණය අබියස සන්ත්‍රාසයට පත්වෙයි නම් මොහුත් එබන්දෙකි.”
මිළිඳු රජු නාගසේන මහරහතුන් වෙතින් මෙසේ අසත්, පිළිතුරු ලබත්.
“නිරය යනු ඒකාන්ත දුක් ඇති තැනක් නො වේ ද? කවර කරුණක් නිසා නිරි සත්තු ඒකාන්ත දුක් ඇති නිරයෙන් චුත වෙද්දී මරණයට බිය වෙත් ද? කවර කරුණක් නිසා නිරයේ ඇලෙත් ද?”
“මහරජාණෙනි, මරණය යනු මේ චතුරාර්ය සත්‍ය නො දුටු පුද්ගලයන් හට බියජනක තැනකි. මරණයෙහිලා ජනයා තැති ගනියි. චකිත වෙයි.
මහරජාණෙනි, මරණයෙහි හැඟීම්වල වේගයෙන් උණුසුම් වන බවක් ඇත්තේ ය. කෙලෙස් සහිත සත්වයෝ ඒ හැඟීම්වල වේගයෙන් උණුසුම්ව මරණයට තැති ගනිති. භය වෙති.” මෙයින් ද පැහැදිලි වන්නේ මරණයෙහි ඇති දුක යි. පීඩාව යි.
අප නොදන්නවාට, අපට මතක නැතිවාට ගෙවුණු සසරේ මරණයට පත් වෙද්දී අප විඳි දුක මේ යැයි සිහි ගන්වන උතුම් බුද්ධ දේශනාවකි සංයුත්ත නිකායේ නිදාන වර්ගයේ එන තිංසමත්ත සූත්‍රය. එහි දී අරහත්වයට පත් නො වූ, සෙසු මග ඵල ලැබූ භික්ෂූන් වහන්සේලා තිස්නමක් අරහත්වයට පත්කරවන ධර්මය වශයෙන් භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරන සේක.
“පින්වත් මහණෙනි, ඔබ දීර්ඝ කාලයක් පුරාවට ගව යෝනියෙහි ඉපදිලා හිස ගැසුම් පහර කද්දී වැගිරී ගිය රුධිරයක් වෙයි නම්, ඒ රුධිරය ම යි වැඩි. මේ සතර මහ සාගරයේ ජලය නම් නො වෙයි. එයට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, මේ ඉපදෙමින් මැරෙමින් පවතින ස්වභාවය (සංසාරය) අවසන් නොවන ගමනක්. මෙහි ආරම්භක කෙළවරක් දකින්න බැහැ.”
මේ ආකාරයට ම මී හරක් ව, එළුවන් ව, බැටළුවන් ව, මුවන් ව, කුකුළන් ව, සොරුන් ව, පර ස්ත්‍රීන් වෙත ගියවුන් ව වශයෙන් එකී වෙන් වෙන් ජාති තුළ හිස ගසා දමද්දී ගලා ගිය රුධිරය මේ සතර මහා සාගරයේ ජලයට වැඩි බව ම භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සේක. එනයින් ම මේ සසරේ ඇති මරණය ඉදිරියේ විඳි දුක් කන්දරාව කවරේදැයි සිතා ගත හැකිවා මෙන් ම අපගේ කැමැත්ත ආයෙ ආයෙම සසරේ යාම නම්, අපට විඳින්න තිබෙනා දුක ගැන ද සිතා ගත යුතුව ඇත.
ගෙවෙන හැම මොහොතක් පාසා ම අප ළං වෙමින් සිටින්නේ මරණය වෙත ය. ඔරලෝසුවේ කටු දෙස මඳක් වේලා බලා සිටින්න. ඒ ගෙවී යන්නේ කාලය නො වේ. අපේ ආයුෂය යි. නො වේ නම් අපට මනුෂ්‍ය ලෝකයේ ජීවත් වීමට ඇති පින යි. යම් දවසක පින අවසන් වේ ද එදිනට මේ සියල්ල විනාශ වන බව භාග්‍යවතුන් වහන්සේ වරෙක දේශනා කළ සේක. එහෙයින් දැන්වත් අපට සිහි එළවා ගන්නට කාලය පැමිණ ඇත.
“කාලය වේගෙන් ගෙවිලා යනවා. රැය පහන් වෙන්නේ ජීවිතය ගෙවාගෙනයි. ජීවත් වෙන්න තියෙන කාලය ටික ටික අහිමි වෙනවා. මරණය අබියස තියෙන ඔය භය දකින කෙනා ඒ අමා නිවන් සුව ලබනු කැමතිව ලෝකාමිසය අත් හරින්න ඕන.”
(අච්චෙන්ති සූත්‍රය – සං. නි. 1)
එසේ නො වන්නේ නම් සිදුවන්නේ මෙවර ද හේතුඵල දහම තුළ හටගත් හුදු සංස්කාර ධර්මයන් රාශියක් ‘මම ය, මගේ ය, මාගේ ආත්මය ය’ ආදී වශයෙන් මුළාවෙන් දකිමින් (තණ්හා මාන දිට්ඨි වශයෙන් ගෙන) සසරට වැද ආයෙ ආයෙමත් දුක් විඳීම මිස අන් දෙයක් නම් නො වේ.
(මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි)
Recent Comments