ඉක්බිති කරන ලද ඉඩ ප්‍රස්ථා ඇති මිළිඳු රජ තෙමේ නාගසේනයන් වහන්සේගේ පා කමල් ඉදිරියේ බිම වැටී බද්ධාංජලී ව සිරසින් වන්දනා කොට මෙය පැවසුවේ ය.
“ස්වාමීනී, මේ අන්‍ය තීර්ථකයෝ මෙසේ කියති. ‘ඉදින් බුදුරජහු ශ්‍රාවකයන්ගේ පුද පූජා පිළිගනිත් නම් බුදුරජ තෙම පිරිනිවන් නොපෑවේ ය. ලෝකය හා එක් ව සිටියි. ලෝකයට ඇතුළත් ව සිටියි. ලෝකයෙහි අන්‍ය සත්වයන්ට සාධාරණ ව සිටියි. එහෙයින් බුදුරජුන් උදෙසා කරන ලද පුද පූජාවන්ගේ ඵල නැත්තේ ය. නිෂ්ඵල වන්නේ ය. ඉදින් පිරිනිවන් පෑවේ නම් ලෝකයෙන් වෙන් වී සිටින්නෙකි. ලෝකයෙහි සියලු භවයන්ගෙන් බැහැරට ගිය කෙනෙකි. එබඳු බුදුරජුන් උදෙසා පූජාවන් ප්‍රයෝජන නැත්තේ ය. පිරිනිවන් පෑ හෙයින් කිසිවක් නොපිළිගනියි. නොපිළිගන්නා කෙනෙකුන් උදෙසා කරන ලද පුද පූජාවන්ගේ ප්‍රතිඵල නැත්තේ ය. නිෂ්ඵල වන්නේ ය’යි.
මෙය උභතෝකෝටික ප්‍රශ්නයකි. රහත් ඵලය නොලැබූ කෙනෙකුට මේ ප්‍රශ්නය විෂය නොවෙයි. මහා ප්‍රඥාවන්තයන්ට ම මෙය විෂය වූවකි. මේ දෘෂ්ටි ජාලය බිඳිනා සේක්වා! ඒකාන්ත කොට සත්‍යය පිහිටුවන සේක්වා! ඔබ වහන්සේ වෙත මේ ප්‍රශ්නය පැමිණියේ ය. පරවාද නිග්‍රහ පිණිස, අනාගත බුද්ධ පුත්‍රයන් වහන්සේලාට ප්‍රඥා ඇස දෙවා වදාරණ සේක්වා!”
ඉක්බිති නාගසේන මහරහතන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහරජාණෙනි, අපගේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේ පුද පූජාවන් නොපිළිගන්නා සේක. භාග්‍යවතුන් වහන්සේ බෝධි මූලයෙහිදී ශ්‍රී සම්බුද්ධත්වය ලබා නික්ලේශී ව අරහත්වට පැමිණි මොහොතේදී පුදපූජා පිළිගන්නා ආශාව ප්‍රහීණ වූයේ ය. කිම, එසේ ඇති කල්හී අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ භාග්‍යවතුන් වහන්සේ පුද පූජා නොපිළිගනිති යි යන්න අමුතු කරුණක් ද?
මහරජාණෙනි, අපගේ සාරිපුත්ත ධර්ම සේනාධිපතීන් වහන්සේ මෙය වදාරණ ලද්දේ ය.”
(ගාථාවකි….)
අසමසම වූ සම්බුදුවරයන් වහන්සේලාට දෙව් මිනිසුන් විසින් පූජාවෝ පවත්වනු ලබති. ඒ පූජා සත්කාරයන් උන්වහන්සේලා නොඉවසති. මෙය බුදුවරුන්ගේ ධර්මතාවයකි.
එවිට මිළිඳු රජු මෙසේ කීවේ ය.
“ස්වාමීනී, නාගසේනයන් වහන්ස, පුත්‍රයා හෝ පියාගේ ගුණ කියයි. පියා හෝ පුත්‍රයාගේ ගුණ කියයි. මෙය පරවාදයන් නිග්‍රහයට කරුණක් නම් නොවෙයි. මෙය භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ප්‍රසාදයෙන් කරන ලද ප්‍රකාශයකි. එසේ නම් එහිලා ඔබවහන්සේ මා හට ස්වකීය පිළිතුර මනා ව පිහිටීම පිණිස, දෘෂ්ටි ජාලය ලිහා දැමීම පිණිස අන්‍ය කාරණයක් වදාරණ සේක්වා!”
නාගසේන මහරහතන් වහන්සේ මෙය වදාළ සේක.
“මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේ පුද පූජාවන් නොඉවසන සේක. එසේ පුද පූජා නොපිළිගන්නා වූ තථාගතයන් වහන්සේගේ ධාතු රත්නයන් වහන්සේලා මුල්කොට තථාගතයන් වහන්සේගේ බුදු නුවණ නම් වූ මහානීය රත්නය අරමුණු කොට, යහපත් ව ප්‍රතිපත්තිය සේවනය කරමින් දෙවිමිනිස්හු ත්‍රිවිධ සම්පත්තිය ලබා ගනිති.
මහරජාණෙනි, යම් සේ මහා ගිනි කඳක් ඇවිලී නිවී යයි ද, එකල්හී මහරජාණෙනි, ඒ මහා ගිනි කඳ වියළි තණ දර ආදිය වැළඳ සතුටින් ඉවසන්නේ ද?”
“ස්වාමීනී, දැල්වෙන්නා වූ ඒ මහා ගිනිකඳක ත්, වියළි තණ දර ආදිය වැළඳ සතුටින් ඉවසීමක් නැත්තේ ය. කිම, එසේ ඇති කල්හී නිවී ගිය සංසිඳී ගිය අචේතනික වූ දෙය ඉවසන්නේ ද?”
“මහරජාණෙනි, නිවී ගිය, ශාන්ත බවට පත් වූ ඒ ගිනි කඳ නිවුණු කල්හී ලොව ගින්නෙන් හිස් වී ගියේ ද?”
“නැත, ස්වාමීනී. වියළි තෘණ, දර ආදිය පමණක් ගින්නට මූලික අරමුණ වූයේ, හේතුව වූයේ නොවෙයි. යම්කිසි මනුෂ්‍යයෙක් ගින්න කැමති වෙත් ද, ඔවුහු තමන්ගේ සවිබල වීර්යයෙන් ද තමා තුළ ඇති පුරුෂ කාර්යයෙන් ද ගිනිගානා දණ්ඩෙහි වියළි දරකඩ මඩිමින් ගිනි උපදවා ඒ ගින්න කරණ කොට ගෙන ගින්නෙන් කළ යුතු කර්මාන්ත කරති.”
“එසේ වී නම් මහරජාණෙනි, නොඉවසන්නහුට කරන ලද පුද පූජා වඳ බවට පත්වන්නේ ය, නිෂ්ඵල වන්නේ ය යන තීර්ථකයන්ගේ වචනය බොරුවක් වෙනවා නොවැ.
මහරජාණෙනි, මහා ගිනි කඳ දැල්වෙන්නේ යම් සේ ද, එසෙයින් ම භාග්‍යවතුන් වහන්සේ දස සහශ්‍රී ලෝකධාතුව අසිරිමත් බුදු සිරියෙන් බැබළවූ සේක. ඒ මහා ගිනි කඳ බැබළී නිවී ගියේ යම් සේ ද, එසෙයින් ම භාග්‍යවතුන් වහන්සේ දස සහශ්‍රී ලෝකධාතුව බුද්ධශ්‍රීයෙන් බබුළුවා පිරිනිවන් පා වදාළ සේක.
මහරජාණෙනි, නිවී ගිය ගිනි කඳ තෘණ, දර ආදිය වැළඳ ගැනීමක් නැත්තේ යම් සේ ද, එසෙයින් ම ලෝකහිතයන් වහන්සේගේ පුද පූජා පිළිගැනීමේ ආශාව ප්‍රහාණය වී සංසිඳී ඇත්තේ ය.
මහරජාණෙනි, නිවී ගිය ගිනි කඳ කිසිවක් නොවැළඳ ගන්නා හෙයින් සවිබල වීරියෙන් යුතු මිනිස්සු ගිනිගානා දණ්ඩෙහි දරකඩ මඩිමින් ගිනි උපදවා ඒ ගින්නෙන් කළ යුතු කටයුතු කරත් ද, එසෙයින් ම මහරජාණෙනි, පිළිගැනීමේ ආශා නැති පිරිනිවියා වූ තථාගතයන් වහන්සේගේ ධාතු රත්නයන් වහන්සේලා පිදිය යුතු දේ වශයෙන් තබා තථාගතයන් වහන්සේගේ බුදු නුවණ රත්නය අරමුණු කොට මනා වූ පිළිවෙත් සේවනය කරමින් දෙවිමිනිස්සු ත්‍රිවිධ සම්පත්තිය අත්පත් කරගනිති.
මහරජාණෙනි, මෙකරුණෙනුත් පුද පූජා පිළිගැනීමේ ආශා නැති තථාගතයන් වහන්සේ උදෙසා කරන ලද පූජා සත්කාරයන් වඳ නැත්තේ ය. ඵල සහිත වන්නේ ය.
(උපුටා ගැනීම – මිළිඳු රාජ ප්‍රශ්නය)
Recent Comments