භාග්‍යවතුන් වහන්සේට පූජා කරන බුද්ධ පූජාවෙහි පවා නොපැහැදෙන නින්දා අපහාස කරන මිනිසුන් අප සමාජයෙහි දක්නට ලැබෙයි. ධාතූන් වහන්සේලා උදෙසා, චෛත්‍ය වන්දනාවන්හි දී විශේෂයෙන් සකසා පූජා කරන දාන වස්තූන් කුසගින්නේ සිටින මිනිසෙකුට දෙන්නේ නම් එය පූජාවට වඩා සුදුසු යැයි ඔවුහු කියති. අනුන් විසින් දෙන දනක් පවා සතුටු සිතින් අනුමෝදන් වීමට අකමැති එවන් මනුෂ්‍යයෙකු පෙර වචනයෙන් අකුසල් රැස්කර මහත් අනතුරකට පත්වූ කථා පුවතක් මෙම මහා පේෂකාර ප්‍රේත වස්තුවෙන් ඉතා හොඳින් පැහැදිලි කර දෙයි.
දිව්‍ය මනුෂ්‍ය ලෝසතුනට ශාස්තෘ වූ තථාගතයන් වහන්සේ සැවැත්නුවර වැඩ වසන කාලයෙහි එක්තරා පේෂකාර ප්‍රේතියක අරභයා මේ ප්‍රේත වස්තුව වදාළ සේක. දොළොස්නමක් පමණ වූ භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් ගෙන වස් කාලය ද ආසන්න බැවින් වාසයට තැනක් සොයමින් වඩින අවස්ථාවේ දී සිහිල් සෙවණින් හා ජලයෙන් යුක්ත වූ සිත්කලු එක්තරා අරණ්‍යයක් හා ඊට ඉතා ම ළඟින් පිහිටා ඇති ගම්මානයක් ද දැක එම ආරණ්‍යය රැයක් වාසය සඳහා තෝරා ගත්හ.
උන්වහන්සේලා දෙවන දිනයෙහි එම නුදුරු ගම්මානයට පිඬු පිණිස වැඩියහ. එම ගම්මානයෙහි පේෂකර්මාන්තය හෙවත් රෙදි විවීමෙන් ජීවත් වන එකළොස් දෙනෙක් වාසය කරති. ඔවුන් භික්ෂූන් වහන්සේලා දැක සතුටට පත්ව තම තමන්ගේ නිවෙස් වෙත වැඩමවා ප්‍රණීත ආහාර පානවලින් යුත් දන් පූජා කළෝ ය.
“ස්වාමීනී, ඔබ වහන්සේලා කුමන ස්ථානයකට වඩින්නේ ද?”
“අපට යම් තැනක වාසයට සුදුසු ද අප එවන් ස්ථානයක් වෙත යන්නෙමු.” යි උන්වහන්සේලා පැවසූහ.
“එසේ නම් මෙහි වාසය කරන සේක්වා.” යනුවෙන් පවසා ගම්වාසීහු වස් විසීමට ආරාධනා කළෝ ය. භික්ෂූන් වහන්සේලා එම ආරාධනාව පිළිගත් සේක.
උපාසකවරු ඒ භික්ෂූන් වහන්සේලාට එම ආරණ්‍යයෙහි ආවාස ආදී පහසුකම් කර දුන්නෝ ය. භික්ෂූන් වහන්සේලා එහි වස් එළඹියාහු ය.
එම ගම්මානයේ ප්‍රධාන පේෂකාරයා භික්ෂූන් දෙනමකට සිව්පසයෙන් උපස්ථාන කරයි. අනිකුත් පේෂකාර පිරිස එක් එක් භික්ෂුනමකට බැගින් උපස්ථාන කළහ.
ජ්‍යෙෂ්ඨ පේෂකාරයාගේ බිරිඳ ශ්‍රද්ධාවක් නැති තැනැත්තියකි. තුනුරුවන් කෙරෙහි ඇය ප්‍රසාදයක් නැත්තී ය. මිථ්‍යා දෘෂ්ටි ඇත්තී ය. එම නිසා ඇය භික්ෂූන් වහන්සේලා හට නිසි පරිදි උපස්ථාන කරන්නේ ද නැත.
එය දුටු ප්‍රධාන පේෂකාරවරයා ඇයගේ නැගණිය තම නිවසට ගෙන්වා ඇයට එම කටයුතු සියල්ල බාර දුන්නේ ය. ඇය ඉතා ශ්‍රද්ධා සම්පන්න ව එම කටයුතු සියල්ල නිසි පරිදි ඉටු කළා ය. එම සියලු පේෂකාරයෝ තමන් විසින් උපස්ථාන සිදු කළ භික්ෂූන් වහන්සේලාට එක් සළුව බැගින් පූජා කළහ. එම අවස්ථාවේ දී පළමු පේෂකාරයාගේ බිරිඳ දුෂ්ට සිතින් යුතුව තම ස්වාමි පුරුෂයාට බැණ වැදුණා ය.
“නුඹ විසින් ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට යම් ආහාර පාන දානයක් දෙන ලද්දේ ද එම දානය නුඹට පරලොව දී මල මුත්‍ර ද සැරව හා ලේ ද වී පහළ වේවා. වස්ත්‍ර දිලිසෙන අයෝමය වස්ත්‍ර වේවා.” යි ඇය කීවා ය.
එම ගම විසූ ප්‍රධාන පේෂකාරයා පසු කලෙක මරණයට පත්ව වින්ධ්‍යා පර්වතය ආශ්‍රිත වනයේ ආනුභාව සම්පන්න රුක් දෙවියෙක් ව උපන්නේ ය. එම පේෂකාරයාගේ මසුරු භාර්යාව මරණයට පත්ව එම රුක් දෙවියා වසන තැනට ආසන්න ස්ථානයක ප්‍රේතියක් ව උපත ලැබුවා ය.
ඒ ප්‍රේතිය නිර්වස්ත්‍ර ව, දුර්වර්ණ ව බඩගින්නෙන් සහ පිපාසයෙන් පීඩාවට පත්ව එම භූමාටු දෙවියා ළඟට ගොස් “ස්වාමීනී, මම වස්ත්‍රයක් ද නොමැතිව බලවත් කුසගින්නෙන් හා පිපාසයෙන් ඇවිදිමි. මට වස්ත්‍ර හා ආහාරපාන ද දුන මැනවි.” යි කීවා ය. එවිට එම භූමාටු දිව්‍ය පුත්‍රයා ඇයට දිව්‍ය ආහාරපාන ලබා දුන්නේ ය. එම ආහාරපාන ප්‍රේතිය විසින් විසින් ලබාගත් සැණින්ම මල මුත්‍ර හා සැරව බවට පත්වෙයි. දෙන ලද සළුව ද ඇය විසින් වැළඳ ගත් කල්හි දිලිසෙන යකඩ පටයක් බවට පත් වෙයි. ඒ ප්‍රේතිය මහත් දුක් විඳිමින් එම වස්ත්‍රය හැර දමා හඬමින් ඇවිදින්නී ය.
එම කාලයෙහි එක්තරා භික්ෂූන් වහන්සේනමක් වස් කාලය නිමවා බුදුරජුන් වැඳීමට යන අතර හමුවූ විශාල ගැල් සමූහයක් සමඟින් වින්ධ්‍යා වනයට පැමිණියේ ය. ගැල්කරුවෝ රාත්‍රියෙහි මඟ ගෙවා ගොස් දවල් කාලයෙහි වනයෙහි හොඳින් සෙවණ වූ ජලයෙන් යුක්ත වූ ප්‍රදේශයක ගැල් මුදාහැර විවේක ගත්තෝ ය. එම භික්ෂුව විවේකය කැමති බැවින් එම ස්ථානයෙන් මඳක් ඉවත්ව සිහිල් සෙවණින් යුත් වන ලැහැබින් වැසුනා වූ එක්තරා ගසක් මුල සඟල සිවුර පනවා වැඩ හුන්නේ ය. වෙහෙසට පත්ව සිටි උන්වහන්සේ ගස මුල නින්දට පැමිණියේ ය. ගැල් පදවන්නෝ විඩාව සන්සිඳුවාගෙන නැවත ගමන් ආරම්භ කළහ. භික්ෂූන් වහන්සේ ඒ වන විටත් අවදි වී නො සිටියේ ය.
සවස් කාලයෙහි අවදි වූ උන්වහන්සේට තමන් සමඟ පැමිණි ගැල්කරුවන් දැකගත නො හැකි විය. ගමන් ආරම්භ කළ උන්වහන්සේට මාර්ගය වැරදුනි. මාර්ගය ඔස්සේ ගමන් කරමින් සිටි භික්ෂූන් වහන්සේ රුක් දෙවියා වාසය කරන ස්ථානයට පැමිණියේ ය. භික්ෂූන් වහන්සේනමක් වඩින අයුරු දුටු දිව්‍ය පුත්‍රයා මනුෂ්‍ය රුවකින් යුතුව උන්වහන්සේ හමුවට පැමිණ පිළිසඳර කථා කොට තම විමානයට කැඳවාගෙන ගියේ ය. පාදයට යොදන ඖෂධ ආදිය පූජා කොට උන්වහන්සේ සමීපයට වී සිටියේ ය.
එම අවස්ථාවේ දී ද ප්‍රේතිය පැමිණ “මට අහාරපාන සහ වස්ත්‍ර දුන මැනව.” යි කීවා ය. දිව්‍යපුත්‍රයා ඇයට ආහාරපාන හා වස්ත්‍ර ලබා දුන්න ද ඒ සියල්ල පෙර මෙන් මල මුත්‍ර සහ සැරව බවට ද අයෝමය වස්ත්‍ර බවට ද පත් වී ය. භික්ෂූන් වහන්සේ එය දැක මහත් සංවේගයට පත්ව දිව්‍යපුත්‍රයාගෙන් එම සිදුවීම පිළිබඳ ව විමසා සිටියේ ය.
“පින්වත් දිව්‍යපුත්‍රය, මේ ස්ත්‍රිය අසූචි හා මුත්‍ර ද ලේ හා සැරව ද අනුභව කරයි. මේ කවර කර්මයක විපාකයක් ද? මැයට දෙන ලද ඉතා යහපත්, මෘදු, පිරිසිදු පැහැයක් ඇති, සිරුරට ස්පර්ශ වන විට සැපයක් දනවන වස්ත්‍ර යකඩ පට හා සමාන වෙයි. එසේ වීමට මෙම ස්ත්‍රිය කුමන අකුසල කර්මයක් කරන ලද්දේ ද?”
“ස්වාමීනී, මැය මාගේ පෙර අත්භවයෙහි භාර්යාව විය. කිසිවෙකුට කිසිවක් දීමට අකමැති ඇය මහණ බමුණන්ට දන් දෙන අවස්ථාවල දී මා හට පරුෂ වචනයෙන් බැණ වදියි. ‘දානය නුඹට පරලොව දී මල මුත්‍ර ද සැරව හා ලේ ද වී පහළ වේවා. වස්ත්‍ර දිලිසෙන අයෝමය වස්ත්‍ර වේවා.’ ආදී ලෙස පවසයි. මෙම ප්‍රේත ආත්මයට පැමිණි ඇය බොහෝ කාලයක් මුළුල්ලෙහි අසූචි ආදිය ම අනුභව කරයි.යම් අන්දමකින් ඇය අමනාපයෙන් යුතුව දානය උදෙසා බැණ වැදුනා ද මරණයෙන් මතු වෙනත් තැනක උපත ලැබූ විට පොළොව මතුපිටට හෙණ වැටෙන්නා සේ විපාකය තමන් මත කඩා වැටෙයි.ස්වාමීනී, ඇය ව මේ දුකින් ගලවා ගැනීමට කළ හැකි උපායක් නොමැති ද? ස්වාමීනී, එය පවසනු මැනවි.” යි දිව්‍යපුත්‍රයා ආයාචනා කර සිටියේ ය.
“භාග්‍යවතුන් වහන්සේට හෝ ආර්ය මහා සංඝ රත්නයට නොමැති නම් එක් භික්ෂුනමකට දන් දී ඇයට අනුමෝදන් කරනු ලබයි නම්, එම ප්‍රේතියත් එය අනුමෝදන් වන්නේ නම් එම දුකින් ඇයගේ මිදීම වන්නේ ය.” යි භික්ෂූන් වහන්සේ පැවසී ය.
එය ඇසූ දිව්‍යපුත්‍රයා භික්ෂූන් වහන්සේට ප්‍රණීත ආහාරපාන දන් දී එම පින ප්‍රේතියට අනුමෝදන් කළේ ය. එම අවස්ථාවේ දී ම ප්‍රේතිය දිව්‍ය ආහාර ලබා සුවපත් භාවයට පැමිණියා ය. නැවත දිව්‍ය සළු දෙකක් බුද්ධ පූජාව උදෙසා දන් දී එම දානය ද ප්‍රේතියට අනුමෝදන් කළ විට ඇය දිව්‍ය වස්ත්‍රයෙන් යුක්තව කාම සම්පත්වලින් සමෘද්ධ දිව්‍ය අප්සරාවක් මෙන් බැබළීමට පත් වූවා ය.
භික්ෂූන් වහන්සේ ඉන් අනතුරුව දිව්‍යපුත්‍රයාගේ ඍද්ධියෙන් ජේතවනාරාමයට වැඩම කොට භාග්‍යවතුන් වහන්සේට එම දිව්‍ය වස්ත්‍ර යුගලය පූජා කළේ ය. ප්‍රේත ස්ත්‍රිය හා සම්බන්ධ කථා පුවත ද බුදුරජාණන් වහන්සේට සැල කර සිටියේ ය. භාග්‍යවතුන් වහන්සේ එම පුවත අර්ථය ලෙස ගෙන ධර්මය දේශනා කළ සේක. එම දේශනාව මහජනයා හට සාර්ථක විය.
අශ්‍රද්ධාවත්, තද මසුරු සිත් ඇති අය අනුන් දෙන දනෙහි පවා සතුටු නො වී බැණ වැදීමෙන් මතු මහත් විපතට පැමිණෙන බැව් මේ කථාවෙන් අවබෝධ කළ යුතු ය.
ඇසුර – ප්‍රේත වස්තු වර්ණනාව ග්‍රන්ථය
සටහන – හර්ෂ නිලංක පෙරේරා
Recent Comments