ගෙවත්තක් වගා කරමු

ගෙවතු වගාව අපට අලුත් සංකල්පයක් නො වේ. තම නිවස අවට අවම වශයෙන් අලංකාරය සඳහා මල් ගස් කීපයක්වත් වගා කර නොමැති ඉඩමක් අපට කිසි තැනකදී දක්නට ලැබෙන්නේ නැත.

ගෙවත්ත යන වචනයෙන් විවිධ තරාතිරම්වල අයට විවිධ පින්තුර මැවෙන්නට පුළුවන. ග්‍රාමීය පරිසරයක, එනම් අවට ප්‍රමාණවත් ඉඩමක් තිබෙන විට ගෙවත්තක් බොහෝ විට නිවස අවට වගාවක් ලෙස පමණක් නොව වාණිජ ආර්ථික ප්‍රතිලාභ ද ලබා ගැනීමේ වැඩපිළිවෙළක් වෙයි. ඇතැම් විට ග්‍රාමීය වුව ද සීමිත ඉඩක් පවතින තත්ත්වයක දී වැඩි ආර්ථික ප්‍රතිලාභ ඉන් බලාපොරොත්තු විය නො හැක. නාගරික පරිසරයක දී, එමෙන් ම ඉතා සීමිත භූමි ප්‍රමාණයක් සහිත ගෙවත්තක් යනු නිවස අලංකාරය සඳහා මල් සහ විසිතුරු පැළ වර්ග වගාවක් ලෙස පමණක් සලකනු ලබනවා විය හැකි ය.

නාගරික, එමෙන් ම තට්ටු නිවාසවල වසන, එමෙන් ම බිම් අඟලක්වත් නැති අය වුව ද තම බැල්කනියේ හෝ ඉඩ ඇති වෙනත් තැනක ඉතා සුළු මට්ටමේ වුව ද යමක් වවා ගැනීමට උත්සාහයක් ගනිති.

මේ කුමන තත්ත්වයක දී වුව ද කෙනෙක් යම් උත්සාහයක් දරන්නේ නම් ලැබෙන ප්‍රතිලාභ අති විශාල ය.

ආර්ථිකඃ

නිතර ම පාහේ ඉහළ යන එළවළු, පළා සහ පලතුරු වර්ගවල මිල සම්බන්ධයෙන් නිතර නිතර කතා වනු අසන්නට ලැබේ. අඩු වශයෙන් එළවළු, පළා සහ පලතුරුවලට යන වියදම අඩක් පමණ අඩු කර ගැනීමට ගෙවත්තකට හැකියාවක් ඇත. අතිරික්තයක් ඇත්නම් අලෙවි කර ආදායමක් ලබා ගත හැකි වීම අමතර වාසියකි.

සෞඛ්‍යඃ

වෙළඳපළේ ඇති එළවළු, පළා සහ පලතුරු වර්ගවලට යොදා ඇති කෘෂිරසායන ද්‍රව්‍ය නිසා ඒවා අප පරිභෝජනය කරනු ලබන්නේ ද සෞඛ්‍ය ගැටලු පිළිබඳ සැක සංකා සහිත ව ය. අඩු වශයෙන් සතියකට වේල් කීපයකටවත් සෑහෙන ලෙස එළවළුවක් පළාවක් ගෙවත්තෙන් ලබා ගත හැකි නම් එයින් සෞඛ්‍ය ගැටලු අඩු කර ගැනීමට හැකි වනු ඇත.
පාරිසරික සහ ආධ්‍යාත්මිකඃ ඉඩකඩක් ඇති ගෙවතුවල මල් වැවීම විනෝදාංශයක් ලෙස කරන අය කෙතරම් ඇත්ද? නිවස අවට සෞන්දර්යාත්මක පරිසරයක් තිබීම තුළ නිවැසියනට ලැබෙන යම් මානසික සහනයන් පිළිබඳ ව ඔබ දනී. වවන මල්වලට අමතරව ආහාරය සඳහා ගත හැකි බෝග කීපයක් සහිත ගෙවත්තක් වවා ගැනීම යනු අමුතුවෙන් වෙහෙසක් ගෙන කළ යුතු කාර්යයක් නො වේ.

ඒ සඳහා වෙනම කාලයක් වෙන් කර ගනු වෙනුවට දිනපතා පහසු වෙලාවක් විනාඩි කීපයක් ගත කිරීම ප්‍රමාණවත් බව ඔබ අත්දැකීමෙන් ම දනී. ජෛව විවිධත්වය සහිත ඇසට ප්‍රියකර ම පරිසරයක ජීවත් වීමට ලැබීම කෙතරම් අගනා ප්‍රතිලාභයක් ද?

ගෙවතු වගාවක් ගැන මතකයට එත්ම යමෙකුගේ සිතෙහි මතුවන කාරණා කීපයක් ඇත. ඉඩකඩ සහිත බිමක්, බීජ හෝ පැළ ද්‍රව්‍ය, පොහොර සහ ජලය ඉන් ප්‍රධාන ය. අමතරව කෘමි හානි ගැන ද ඔබට මතක් වෙන්නට බැරි නැත. දැනටමත් යම් ගෙවතු වගාවක යෙදී සිටින්නේ නම් ඇතැම් විට ඔබ මේවාට යම් යම් විසඳුම් සොයාගෙන තිබෙනවා විය හැකි ය. එහෙත්… අලුතින් ම වගාවක් සඳහා සිතෙන අයෙකුටත් ප්‍රයෝජන වන අන්දමට මූලික කරුණු ස්වල්පයක් සාකච්ඡා කිරීම මෙම ලිපි පෙළෙහි අරමුණ ය.

නිවසක් සෑදීමේ දී එහි අවට පරිසරයේ වැවීමට සුදුසු ගස් සම්බන්ධව වාස්තු විද්‍යාත්මක විග්‍රහයන් ඇත. සූර්යාලෝකය ලැබීම, සුළං හමන දිසාව, සෙවණ ලබා ගැනීම, මුල්වලින් නිවසට සිදුවිය හැකි හානි වැනි තත්ත්වයන් සලකා බලා, ඒ අනුව වැවීමට උචිත ගස් වර්ග ප්‍රාදේශීය තත්ත්වයන් අනුව වෙනස් වන හෙයින් ඒ ගැන වාස්තු විද්‍යාව සම්බන්ධව අවබෝධයක් ඇත්තකුගෙන් අසා දැන ගැනීම වඩා උචිත ය. ගෙවත්තක් වවා ගැනීම සම්බන්ධව කරන්නට අදහස් කරන මෙම ලිපිවලින් ඒ සම්බන්ධව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු නො වේ.

වගා බිමඃ

ගෙවත්තක් සඳහා අලුතින් ම ඉඩමක් යමෙකු ගන්නේ නැත. එය ඔබ නිවසක් ගන්නා විට හෝ තනා ගන්නා විට නිතැතින් ම ලැබෙන්නකි. ඔබ මුලින් ම කළ යුතු වන්නේ දැනට තමා වෙත ඇති ඉඩම ගැන යම් තක්සේරුවක් කර ගැනීම ය. අලුතින් ම නිවස සාදා ගත්තා නම් ඇතැම් විට ඔබට බොහෝ විට කිසිදු වගාවකින් තොර හිස් ඉඩමක් තිබෙනවා විය හැක. ඇතැම් විට දැනටමත් යම් යම් විශාල ගස්වලින් යුතු ඉඩමක් විය හැකි ය. ඇතැම් ගස් ප්‍රයෝජනවත් විය හැකි හෙයින් තබා ගත යුතු ය. ඇතැම් ගස් හානිකර හෝ අනවශ්‍ය බැවින් ඉවත් කළ යුතු ය.

වගාවක් ආරම්භ කිරීමට පෙර අප සලකා බැලිය යුතු ප්‍රධාන කාරණා කීපය ගැන මුලින් ම අවධානය යොමු කරමු.

පස

පස සම්බන්ධව පසු ගිය මහාමේඝ කලාපයකින් මඳක් විස්තරාත්මක ව සාකච්ඡා කර ඇති හෙයින් මෙහිදී ප්‍රධාන කරුණු කීපයක් ගැන පමණක් අවධානය යොමු කරමි.
පසෙහි සංයුතිය ඕනෑම වගාවක් සඳහා බලපාන ප්‍රධාන සාධකය යි. පැළෑටි තම වර්ධනයට අවශ්‍ය පෝෂක කොටස් උකහා ගන්නේ පසෙනි. පස සරු යයි මනින නිර්ණායකය වන්නේ එහි ඇති කාබනික හෙවත් කාබන් සංයුතිය යි.

ගෙවත්තේ ඇති පස්වල සංයුතිය දෙස අවධානයෙන් බලන්න. ඔබට එහි පහත සඳහන් දේ දක්නට ලැබෙනවා ඇත. එනම් වැලි, මැටි සහ ඒ අතරට එක්ව ඇති කාබනික ද්‍රව්‍යයන් ය.
මැටි අධික පසක් නම් එහි පාංශු කොටස් තුළ වාතය ගමන් කිරීමට බාධාවක් ඇති බැවින් පැළෑටි හොඳින් වැවෙන්නේ නැත. වැලි අධික පසක් නම් එහි හොඳින් වාතය ගමන් කිරීම සහ ජලවහනය වන නමුත් පස සෝදා යාමට භාජනය වීමේ ගැටලුවකට ඔබට මුහුණ දීමට සිදු විය හැක. කාබනික ද්‍රව්‍ය පසට එක් කර ගැනීම තුළ පසෙහි සරු බව තීරණය වන බව ඉහතදී සඳහන් කළෙමි. කාබනික ද්‍රව්‍ය යනු පසෙහි සජීවී බව රඳවා ගන්නා පදනම යි. ක්ෂුද්‍ර ජීවීන් සඳහා අවශ්‍ය පරිසරය සහ ආහාර සැපයෙන්නේ කාබනික ද්‍රව්‍ය මගිනි. පසෙහි අවශ්‍ය උෂ්ණත්වය රඳවා ගන්නේ කාබනික ද්‍රව්‍ය මගිනි. ජලය සහ වාතය රඳවා ගැනීමට උපකාර වන්නේ ද කාබනික ද්‍රව්‍ය යි. වගාව සඳහා ප්‍රශස්ත පසක් වන්නේ වැලි මැටි සහ කාබනික ද්‍රව්‍ය සම සමව පවතින තත්ත්වයකි.

තම ගෙවත්තෙහි ඇති පසෙහි තත්ත්වය ගැන ඔබට තක්සේරුවක් තිබීම වගා කළ යුතු භෝග තෝරා ගැනීමේ දී වැදගත් වේ. කාබනික ද්‍රව්‍ය අඩු නම් ඒවා පසට එක් කළ යුතු ය.

ජලය

වගාව සැලසුම් කර ගැනීමේදී ජලය සුලබ බව ගැන අවධානය යොමු කළ යුතු වන්නේ පැළෑටි වැඩීමට අවශ්‍ය ප්‍රමාණයට ජලය යෙදිය යුතු බැවිනි. කුඩා නාගරික ගෙවත්තක් සඳහා ඇතැම් විට ඔබ නාගරික ජල සැපයුම උපයෝගී කර ගන්නවා විය හැක. නැති නම් ළිඳකින් ජලය ලබා ගන්නවා විය හැක. එහෙත් පානීය ජලය සපයා ගැනීම පවා දුෂ්කර ස්ථානවල ගෙවතු වගාවකට පවා ජලය යෙදීම ගැටලු සහගත විය හැකි ය. විශේෂයෙන් ම වියළි කලාපයේ ගොවිබිම් සඳහා මෙම කරුණ අදාළ ය.
ජල කළමනාකරණය ගැන ඔබගේ අවධානය යොමු විය යුත්තේ එබැවිනි. ජල කළමනාකරණය ගැන පහත සඳහන් කරුණු සිතා බලන්න.

සෙවණඃ

පසෙහි මතුපිට ජලය ඉක්මනින් වාෂ්ප වන්නේ අධික හිරු තාපයට නිරාවරණය වීමෙනි. වැට දිගට හෝ පහසු වෙනත් තැන්වල උස් හෝ මධ්‍යම උස සහිත ගස් වවා ගැනීම තුළින් හිරු තාපය අඩු කර ගැනීම එක් ක්‍රමයකි. එමෙන් ම පියස්සක් සහිත කෘත්‍රිම ව ආවරණ සකසා ගැනීමෙන් ද සෙවණ ලබා ගත හැකි ය.

පැළෑටි ස්ථානගත කිරීමඃ ජලය වැඩිපුර අවශ්‍ය පැළ වර්ග ළිඳට හෝ ජල මුලාශ්‍රය අසලමත්, ජලය නිතර එතරම් අවශ්‍ය නොවන පැළෑටි මඳක් ඈත්වත් සිටුවීම තුළ ජලය කළමනාකරණය පහසු විය හැක.

වසුන්ඃ

ඍජු හිරු තාපය පසට එල්ල වීම තුළ ජලය ඉක්මනින් වාෂ්ප වේ. මෙය වැළැක්වීම සඳහා පස මත ආවරණයක් යෙදීම තවත් ක්‍රමයකි. ගස්වලින් වැටෙන කොළ සහ ගලවන ලද වල් පැළෑටි මෙලෙස වසුන් ලෙස යෙදීමෙන් ජලය වාෂ්ප වීම අඩු වනවා මෙන් ම ඒවා දිරාපත් වන විට පසට කාබනික ද්‍රව්‍ය එකතු වීමක් ද සිදු වේ. වසුන් යෙදීම සම්බන්ධව දීර්ඝ වශයෙන් පසු අවස්ථාවල ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.

හිරු එළිය සහ සුළඟඃ හිරු එළිය පැළෑටිවලට අත්‍යවශ්‍ය සාධකයකි. විවිධ පැළෑටිවල වර්ධනයට අවශ්‍ය හිරු එළියේ ප්‍රමාණය විවිධ ය. වාර්ෂික භෝග සහ එළවලු වගාවල වැඩීමට හිරු එළිය අත්‍යවශ්‍ය කරුණක් වේ. එහෙත් ඍජු හිරු එළිය එතරම් අවශ්‍ය නොවන, එනම් සෙවණ ප්‍රිය කරන කහ, ඉඟුරු, ගම්මිරිස්, ගහල අල වැනි පැළෑටි සඳහා සූර්යාලෝකය ආවරණයක් අවශ්‍ය ය. ගස් ආවරණ යට හෝ කෘත්‍රිම ව සපයන ලද සෙවණ ඒ සඳහා වුවමනා වේ.

සුළඟ ගැන ද අප අවධානය යොමු කළ යුතු වන්නේ ඇතැම් ප්‍රදේශවල වසරේ ඇතැම් කාලවල අධික සුළං හමන බැවිනි. අධික සුළං හමන විට නිරාවරණ පසක තෙතමනය ඉක්මනින් වියළී යයි. තව ද ඍජු ව ම සුළං නිසා පැළෑටිවලට හානි සිදු විය හැකි ය.

ජෛව විවිධත්වය.
ගෙවත්ත ප්‍රියජනක පරිසරයක් වන්නේ ජෛව විවිධත්වය මත ය. පාංශු ජෛව විවිධත්වය මෙන් ම අවට පරිසරයේ ජෛව විවිධත්වය ද සෞඛ්‍ය සම්පන්න වගාවකට අවශ්‍ය ය. පක්ෂීන්, සමනලයන්, සලබයන්, මී මැස්සන් මෙන් ම වේයන්, කුහුඹුවන්, ගැඩවිලුන් පසෙහි සහ වගා සෞඛ්‍යය සඳහා තීරණාත්මක සාධක වේ. ඉඩමක් සහ වගාවක් කෙතරම් සරු ද යන්න තීරණය කිරීමේ නිර්ණායකයක් වන්නේ ද එහි දක්නට ලැබෙන ජෛව විවිධත්වය යි. මේ සම්බන්ධව ද වැඩි දුර ඉදිරි ලිපිවලදී සාකච්ඡා කිරීමට අදහස් කෙරේ.

සටහන – කේ. ඒ. ජේ. කහඳව