පූර්ව ජාතිවල දී මනුෂ්‍ය ආත්ම භාව ලබා සිටිය දී දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව, සමානාත්මතාවය යන උතුම් සංග්‍රහ වස්තූන් සතරෙන් ජනයාට සංග්‍රහ කළ නිසාවෙන් අප තථාගත අරහත් ගෞතම මහා මුනීන්ද්‍රයාණන් වහන්සේ (මුදුතළුණහත්ථපාද) මෘදු යොවුන් අත් පා ඇති බව හා (ජාල හත්ථපාද) ඉතා නම්‍යශීලි අත් පා ඇති බව යන මහා පුරුෂ ලක්ෂණයන් ද්වය ලැබූ සේක. මේ දෙකක් වූ මහා පුරුෂ ලක්ෂණයන් ලද නිසාවෙන් මහා වීර බුදුරජාණන් වහන්සේ ලොව වසා ඇති මෝහ පටලය සිඳ බිඳ දමා අරහත් සම්මා සම්බුදුවරයෙකු වන විට බුදුරජුන් විසින් මැනවින් සංග්‍රහ කරන ලද බොහෝ පිරිවර ජනයා ලබනා සේක.
තුන්ලොව දිනා අමා සදහම් දෙසනා විට අප මුනිරජාණන් වහන්සේගේ දහම් අසා සිත් සනසාගෙන, ඒ ධර්මයට අනුව ම කටයුතු කරන භික්ෂු භික්ෂුණී යන පැවිදි ශ්‍රාවක පිරිවරක් බිහිවිය. එමෙන් ම මැනවින් දහම් මගේ දමනය වූ උපාසක උපාසිකා යන ගිහි ශ්‍රාවක පිරිසක් ද බිහිවිය. මේ සිව්වණක් පිරිස බුදුරදුන් සසරේ පිරූ පුණ්‍යානුභාවයට ම ඒ මහා වීරයාණන් වහන්සේ වටා එක්වීමේ භාග්‍යය ලද බුදු පිරිස යි.
ඒ බුදු පිරිස ධර්මානුධර්ම වූ නිසාවෙන් ම, ඉතා සැදැහැවත් වූ නිසාවෙන් ම, උතුම් ගුණ දරා සිටි නිසාවෙන් ම ගොයුම් බුදු සසුන දීප්තිමත් කරවමින්, සංඝයා ශෝභමාන කරමින් ය දිවි ගත කළේ.
“මහණෙනි, යමෙක් ව්‍යක්ත වූයේ, විසාරද වූයේ, බහුශ්‍රැත වූයේ, ධර්මධර වූයේ ධර්මයට අනුකූලව ධර්මයේ හැසිරෙන්නේත් වෙයි නම් එබඳු ශ්රාවකයා සංඝයා ශෝභමාන කරන්නේ යැයි කියනු ලැබේ.
සීල සම්පන්න වූ භික්ෂුවක් වෙයි ද බහුශ්‍රැත වූ භික්ෂුණියක් වෙයි ද සැදැහැවත් උපාසකයෙක් වෙයි ද යම් උපාසිකාවක් සැදැහැ ඇත්තී ද මේ සියලු දෙනා සංඝයා ශෝභමාන කරති. මොවුහු වනාහි සංඝයා ශෝභමාන කරන්නෝ ය.”
(සෝභෙන්ති සූත්‍රය – අං. නි. 2)
සසුන ශෝභමාන කළ, ශ්‍රාවක පිරිස ශෝභමාන කළ උදාර භික්ෂු භික්ෂුණී ශ්‍රාවක පිරිස ගැන අප බොහෝ කරුණු ඉගෙනගෙන, දැනගෙන, කියවා, අසා තිබෙනවා. ඒ උතුම් පැවිදි පිරිසට කිසිලෙසකවත් සම වන්නට නො හැකි වුවත් ගිහි ජීවිතය ගත කරමින්, බුදුරජුන්ගේ ශ්‍රාවක බවට පත්ව, අඹු දරුවන් පෝෂණය කරමින්, ආශ්චර්ය අද්භූත ගුණ උපදවා ගත් ශ්‍රාවක චරිත උපාසක උපාසිකාවන් තුළත් බොහෝ හමු වෙනවා.
“අපට ගිහි ව ඉඳිමින් මේ ධර්ම මාර්ගය පුරුදු කරන්ට පුළුවන් වෙයි ද මන්දා. අපි හරි කාර්යබහුලයි, ඒ නිසා අපට දහමේ හැසිරෙන්ට අමාරුයි..” ආදි නා නා ආකාරයේ මැසිවිලි නඟමින් දහමේ හැසිරීම ප්‍රමාද කර ගන්නා උදවියට අප්රමාදී වීම පිණිසත්, ගිහි ශ්‍රාවකයෙකු ලෙස ටිකෙන් ටික දහම් මග දියුණු කර ගන්නට මහන්සි වෙන පිරිසට දහමේ හැසිරීමට තව තවත් වීරියක් ඇතිකර ගන්නටත්, ප්‍රීති සිතක් උපදවා ගන්ටත්, මේ ගිහි උපාසක උපාසිකා ශ්‍රාවක චරිත ගැන දැන ගැනීම බොහෝ උපකාරී වේවි.
තුන්ලොවට ළහිරු මඬලක් වූ, අප සැමට ශාස්තෘ වූ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක් කලෙක වජ්ජි ජනපදයේ හස්ති ග්‍රාමයේ වැඩ වාසය කළ සේක.
“පින්වත් මහණෙනි” යි භික්ෂු පිරිස අමතා බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා.
“මහණෙනි මේ හස්ති ග්‍රාමයේ උග්ග නම් ගෘහපතියා ආශ්චර්ය අද්භූත කරුණු අටකින් යුක්ත බව දරා ගන්න.”
මෙසේ වදාළ භාග්‍යවතුන් වහන්සේ නිහඬ ව ම හුනස්නෙන් නැගිට විහාරයට වැඩම කොට වදාළා. ඔය භික්ෂු පිරිස අතරේ උන්නු එක් භික්ෂුවකට “හැබෑට ඔය උග්ග ගෘහපතියා මොන වගේ ආශ්චර්ය අද්භූතයන්ගෙන් යුක්ත ඇතිදැ” යි දැන ගන්නට ආශාවක් ඇතිවුණා. ඉතිං ඒ භික්ෂුව අදහසක් ඇති කර ගත්තා ඔය ගැන මං ඒ උග්ග ගෘහපතියගෙන් ම අහලා දැන ගන්නවා කියලා.
පසුදින පෙරවරුවේ ඒ භික්ෂුව මනාව සිවුරු පොරවා පාත්‍රයත් රැගෙන හස්ති ග්‍රාමයේ උග්ග ගෘහපතියාගේ නිවසට වැඩම කළා. නිවසේ සේවක පිරිස විසින් උන්වහන්සේට මනා අසුනක් පනවනු ලැබුවා. සුළු මොහොතකට පසු උග්ග ගෘහපතිතුමා ඒ භික්ෂුව කරා පැමිණ සකසා වන්දනා කොට එකත් පසෙකින් හිඳ ගත්තා. ඒ මොහොතේ සිට උග්ග ගෘහපතිතුමාත් ඒ භික්ෂුවත් අතර සංවාදය සිදුවූයේ මේ විදිහටයි.
“පින්වත් ගෘහපතිය, අපගේ භාග්‍යවතුන් වහන්සේ ඔබ ගැන ආශ්චර්ය අද්භූත කරුණූ අටකින් සමන්විත යැයි වදාරා නිහඬ ව ම විහාරයට වැඩම කොට වදාළා. ඒ ගැන විස්තර වශයෙන් පෙන්වා වදාළේ නෑ. හැබෑවට ම ගෘහපතිය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ඔබ තුළ ඇති ඒ ආශ්චර්ය අද්භූත කරුණු අට මොනවා ද?”
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ආශ්චර්ය අද්භූත කරුණු අට මොනවා ද කියලා නම් මා දන්නේ නෑ. එහෙත් ස්වාමීනි, මා විසින් ම මා තුළ පවතින්නේ යැයි දුටු ආශ්චර්ය අද්භූත කරුණු අටක් මා නුඹ වහන්සේට පවසන්නම්. එය ඉතා හොඳින් අසනු මැනවි. නුවණින් මෙනෙහි කළ මැනවි.”
“හොඳයි ගෘහපතිය! පවසන්න.”
“ස්වාමීනි, අපගේ පරපුරට අයත් සොඳුරු නාග වන නම් උයනේ දී තමයි මා පළමු වරට ඒ භාග්‍යවතුන් වහන්සේ ව දුටුවේ. එදා ස්වාමීනී, නාගවන උද්‍යානයේ මධුවිත පානය කරමින් විනෝද වෙමිනුයි මා සිටියේ. දුටු දුටුවන්ගේ නෙත් සිත් පහන් කරවන, ප්‍රසාදනීය රූපකාය ඇති භාග්‍යවතුන් වහන්සේ උතුම් සන්සිඳීමෙන් යුතුව වඩින අයුරු දුර දී ම දකිද්දී මගේ වෙරි සිඳී ගියා. ඒ පළමු දැක්මෙන් ම මගේ සිත අතිශයින් ම පැහැදී ගියා. ස්වාමීනි, මේ මාගේ පළමු ආශ්චර්ය අද්භූත කරුණයි.
ඉතින් ස්වාමීනී, මා පැහැදුනු සිතින් යුතු ව ම අපගේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කළා. භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ මා හට දානය ගැනත්, සීලය ගැනත්, සුගතියේ උපත ගැනත්, කාමයන්ගේ ආදීනව ගැනත්, කෙලෙස් නිසා කිලිටි වී යන අයුරුත්, නෙක්ඛම්මයේ ආනිශංසත් දේශනා කරමින් අනුපිළිවෙළ කථාව වදාළා. ඒ අසා සිටිද්දී ස්වාමීනී මං යම් කලෙක ඉතා ප්‍රබෝධවත් වූ, මෘදු වූ, නීවරණ රහිත වූ, ඔද වැඩුණු පහන් සිත් ඇති වූයේ ද එවිට භාග්‍යවතුන් වහන්සේ දුකත්, සමුදයත්, නිරෝධයත් මාර්ගයත් ගැන වදාරමින් බුදුවරුන්ගේ සාමුක්කංසික ධර්ම දේශනය සිදුකොට වදාළා.
ඒ දේශනය අසා සිටිද්දී ඉතා පිරිසිදු වූ වස්ත්‍රයකට මැනවින් සායම් උරා ගන්නා සේ මා හට දහම් ඇස පහළ වුණා. ඔව්… හේතුප්‍රත්‍යයන්ගෙන් හටගන්නා යමක් ඇත්ද, ඒ හේතු නිරුද්ධ වීමෙන් ඒ සියල්ල නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයි යන මේ කෙලෙස් රහිත, අවිද්‍යා මලකඩ රහිත දහම් ඇස මා හට පහළ වුණා.
ස්වාමීනී, මම ඒ දහම දැක, දහමට පැමිණ, දහම පසක් කොට ගෙන, දහමේ බැසගෙන, සැකයෙන් එතෙර වී ‘කෙසේ ද කෙසේ ද’ යන්න බැහැර කොට ශාස්තෘ ශාසනයේ අන්‍ය උපකාර අනවශ්‍ය කෙනෙකු ලෙසයි, විසාරදව යි, බුද්ධ, ධම්ම, සංඝ යන උතුම් තෙරුවන සරණ ගියේ. ඊ ළඟට මම බඹසර පස්වෙනි කොට ශික්ෂාවේ සමාදන් වුණා. ස්වාමීනී, මේ මා තුළ ඇති දෙවෙනි ආශ්චර්ය අත්භූත කරුණයි.
ස්වාමීනී, මට උන්නා යොවුන් බිරින්දෑවරු හතර දෙනෙක්. ඉතින් මා උන්දැලා ව කැඳවලා මෙහෙම කිව්වා. “සොයුරියනේ… අද පටන් මා බඹසර සහිත ව පන්සිල් සමාදන් වුණා. ඒ නිසා අදින් පසු යම් තැනැත්තියක් කැමති නම් මෙහෙ සිට ම භෝග සම්පත් අනුභව කරන්න. පිනුත් කරන්න. එහෙම නැති නම් තම තමන්ගේ ඤාතීන් වෙත යන්න. එසේත් නැතිව යම් පුරුෂයෙකු අපේක්ෂා කරයි නම් මා හට කියන්න. මා ඔහුට ඇයව සරණ පාවා දෙන්නම්” කියලා.
ඒ වෙලාවේ ස්වාමීනී, මාහට සිටි ජ්‍යෙෂ්ඨ බිරිඳ වෙනත් පුරුෂයෙකුට කැමති බව පැවසුවා. මා ඔහු මේ නිවසට ගෙන්වා වම් අතින් බිරිඳ ගෙන, දකුණු අතින් පැන් කෙණ්ඩිය ගෙන ඒ පුරුෂයාට පැන් වඩා භාර දුන්නා. හැබැයි ස්වාමීනී, ඒ යොවුන් බිරිඳ අත්හරින විට මගේ සිතේ කිසිදු වෙනසක් වූ බව මා දකින්නේ නෑ. මේ තමයි ස්වාමීනී මා තුළ ඇති තුන්වන ආශ්චර්ය අද්භූත කරුණ.
ස්වාමීනී, මා තුළ ඇති සිව්වැනි ආශ්චර්ය අද්භූත කරුණ නම් මේ මාගේ නිවසේ ඇති භෝග සම්පත් සිල්වත් උතුමන් හට ‘මෙය නො දෙමි, මෙය දෙමි’ වශයෙන් සිතක් නොමැතිව බෙදන ස්වභාවයක් ඇතුවයි මා වාසය කරන්නේ.
ඊ ළඟට ස්වාමීනී, මා යම් භික්ෂුවක් කරා එළඹෙන්නේ සකස් කරලා ම යි. ඒ භික්ෂුව මා හට දහම් දෙසයි නම් ඉතා හොඳින් සකසා ම යි මා ධර්මය අසන්නේ. ඒ භික්ෂුව මා හට දහම් කතා නො කරයි නම් ස්වාමීනී, මම දහම් කතා කරනවා. මෙය මා තුළ ඇති පස්වන ආශ්චර්ය අද්භූත කරුණයි.
ස්වාමීනී, මෙහෙම දෙයක් තියෙනවා. මා සංඝයාට දන් බෙදන විට දෙවිවරු මට ඇහෙන්න මෙහෙම කියනවා. “ගෘහපතිය, ඔය භික්ෂුව ප්‍රඥා විමුක්තයි. අසවල් භික්ෂුව ‘කායසක්ඛී’ ආදී වශයෙනුත් “ගෘහපතිය, ඔය භික්ෂුව නම් පවිටු දහම් ඇති දුස්සීලයෙකි” වශයෙනුත් ය. හැබැයි ස්වාමීනී, ඒ දෙවිවරුන්ගේ කතා අහලා ගුණවත් භික්ෂුවට වැඩිපුර බෙදන්නෙමි යි කියා හෝ පාපී භික්ෂුවට අඩුවෙන් බෙදන්නෙමි යි කියා හෝ සිතිවිල්ලක්වත් සංඝයාට දන් බෙදනා විට මා උපද්දවා නෑ. මේ මා තුළ ඇති හයවෙනි ආශ්චර්ය අද්භූත කරුණයි.
ස්වාමීනී, දෙවිවරු නිතර මා වෙත පැමිණ කතා කරනවා. එහි ඇති ආශ්චර්යයක් නෑ. දෙවිවරු මට කියනවා “ගෘහපතිය, භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය මැනවින් වදාරලයි තියෙන්නේ” කියලා. එතකොට ස්වාමීනී මං දෙවිවරුන්ට උත්තර දෙනවා “දෙවිවරුනි, ඔහේලා කිව්වත් නැතත් භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය මනාකොට වදාරලයි තියෙන්නේ” කියලා. ස්වාමීනී, මා තුළ තියෙන හත්වන ආශ්චර්ය අද්භූත කරුණ තමයි මා කරා දෙවියන් පැමිණෙනවා නොවැ. මා සමඟ දෙවියන් කතා කරනවා නොවැ කියලා මට මාන්නයක් හටගත් බවක් නම් මා දකින්නේ නෑ.
ස්වාමීනී, මා තුළ ඇති අටවැනි ආශ්චර්ය අද්භූත කරුණ තමයි ඉදින් මා භාග්‍යවතුන් වහන්සේට පළමුව කළුරිය කළහොත් භාග්‍යවතුන් වහන්සේ විසින් යම් සංයෝජනයකින් බැඳී ගිය හස්ති ගම්වැසි උග්ග ගෘහපති තෙමේ යළි මේ මිනිස් ලොවට පැමිණෙයි නම් එබඳු සංයෝජනයක් ඔහු තුළ නැත්තේ යයි මෙසේ මා ගැන පැවසීම ආශ්චර්යක් නො වෙයි.
ස්වාමීනී මේ ආශ්චර්ය අද්භූත කරුණු මා තුළ තිබෙනා බව මට දිස්වෙයි. එහෙත් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ආශ්චර්ය අත්භූත කරුණු අට නම් මොනවාදැයි මා දන්නේ නෑ.”
උග්ග ගෘහපතිතුමාගේ මේ අපූරු දහම් කතාව අසා සතුටු වූ ඒ පින්වත් භික්ෂුව උග්ග සිටුවරයාගේ නිවසේ දී ම දන් වළඳා අනතුරුව භාග්‍යවතුන් වහන්සේ හමුවට වැඩම කළා. භාග්‍යවතුන් වහන්සේ හමුවට පැමිණ සකසා වන්දනා කොට එක් පසෙකින් හිඳගත් ඒ භික්ෂුව උදෑසන කාලයේ හස්ති ගම්වැසි උග්ග ගෘහපතියා සමඟ හටගත් කථා සල්ලාපය ඒ අයුරින් ම භාග්‍යවතුන් වහන්සේ හමුවේ පවසා සිටියා.
“සාදු! සාදු! භික්ෂුව, හස්ති ගම්වැසි උග්ග ගෘහපතියා ඉතා මැනවින් ඒ කරුණු පවසලා නොවැ. මා විසින් දේශනා කළත් ඔහු ගැන පවසන්නේ ඔය අයුරින් ම යි. ඒ නිසා පින්වත් භික්ෂුව ඔය අටක් වූ ආශ්චර්ය අද්භූත කරුණු හස්ති ගම්වැසි උග්ග ගෘහපතියා තුළ තිබෙන්නේ යැයි දරාගන්න.” යි අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
තුන්ලොව ජයගත් අපගේ ශාස්තෘන් වහන්සේගේ උතුම් සම්බුදු මුව මඬලින් සාදුකාරයක් ලබන්නට තරම් උදාර ජීවිතයක් උපදවාගෙන සිටි ඒ හත්ථිගාමක උග්ග ගෘහපතියාගේ අසිරිමත් බව දැන ගන්න ලැබීම අපට කොයි තරම් වාසනාවක් ද?
තෙරුවන් සරණයි!
මහමෙව්නාවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් සම්පාදිතයි.
Recent Comments