‘න තේ කාමා යානි චිත්‍රානි ලෝකේ – සංකප්පරාගෝ පුරිසස්ස කාමෝ
තිට්ඨන්ති චිත්‍රානි තථේව ලෝකේ – අථෙත්ථ ධීරා විනයන්ති ඡන්දං’

‘ලොව පවත්නා විශේෂ වස්තූන් කාමය නො වේ. කාමය වූ කලී මිනිසාගේ සිතේ ඇතිවන රාග කල්පනාවන් ය. ලෝකයේ හටගෙන තිබෙන සෑම විචිත්‍ර දැයක් ම එසේ ම නො වෙනස් ව පවතී. නුවණැත්තෝ ඒ කෙරෙහි ඇති වන ඡන්ද රාගය හෙවත් ඇල්ම දුරු කරති…’

මිනිසුන් ඇතුළු සියලු සතුන් හට ජීවිත කාලය තුළ දී බොහෝ ගැටලුවලට මුහුණපෑමට සිදු වේ. සැබවින් ම “ජීවත් වීම” නම් ක්‍රියාවලිය පවා විසඳා ගැනීමට දුෂ්කර ප්‍රහේලිකාවක් වැනි ය. විටෙක සිනාසෙමින් ද විටෙක හඬමින් ද කර කියා ගැනීමට නො හැකි ව අසරණ වන මිනිසුන් ඇතැම් විට යම් ගැටලුවකට සොයා ගන්නා විසඳුම ද පෙර තිබූ සියල්ලට ම වඩා හානිකර විය හැක.

යම් ගැටලුවකට විසඳුම් සෙවීමට ප්‍රථම ගැටලුව කුමක් දැයි නිවැරදිව හඳුනාගත යුතු ය. උදාහරණයක් ලෙස බොහෝ දෙනෙකු තරහා ගන්නා අවස්ථාවක් සලකමු. ඔබ මාර්ගයක ගමන් ගන්නා අවස්ථාවක මාර්ගය පසෙක සිටින පුද්ගලයෙකුගේ ඇඟේ යන්තමින් වැදී ගිය විට ඔහු ඔබට දරුණු වචනයෙන් බැණ වදියි නම් එවිට ඔබට කුමක් සිතෙයි ද? සැබවින් ම ඔබේ සිත තුළ ද්වේෂයක් හට ගනී. ඔබ ද ඇතැම් විට ඔහුට බැණ වැදීමට ඉඩ ඇත. නමුත් ඒ අසල සිටි පුද්ගලයෙක් මෙලෙසින් පැවසුවොත්

“ඔහු මානසික රෝගියෙක්. ඔහුගේ ස්වභාවය එය යි. ඔහු මානසික රොගියෙක් වුණේ ඔහුගේ පවුලේ සියලු දෙනා මියගිය නිසයි….”

ඉන් පසුවත් ඔහු දරුණු වචනයෙන් බැණ වදින නමුත් තව දුරටත් ඔබේ සිත තුළ ඔහු පිළිබඳ ව ද්වේෂයක් හට ගනීවි ද..? නැත. ඒ වෙනුවට ඔබ තුළ ඇතිවන්නේ අනුකම්පාවකි. ඔබේ කනට ඇසෙන වචන එලෙසින් ම ඇති මුත් සිත තුළ ද්වේෂයක් හට නොගන්නේ ඔබේ සිතිවිල්ලක ඇති වූ වෙනස් වීමක් නිසාවෙනි.

තවත් උදාහරණයක් සලකමු. යම් පුරුෂයෙකු බොහෝ කාලයක් සූරූපී වූ කාන්තාවක් ඇසුරු කරයි. කාලයක් යන විට ඔහුගේ සිත තුළ සුරූපි කාන්තාව පිළිබඳ රාගයක් හට ගනී. මේ නිසා ඇය සමඟ කථා කරන, ඇය දකින සෑම මොහොතක ම ඔහුගේ සිතේ ඇතිවනුයේ රාගයකි. වෙනත් අයෙක් ඇයගේ අසලට පැමිණෙන විට සිතේ හටගන්නේ අමනාපයකි. දිනෙක ඔහුට බලාපොරොත්තු නො වූ කරුණක් දැනගන්නට ලැබේ. එනම්, “ඔබ ඇසුරු කරන කාන්තාව කුඩා කල ම ඔබෙන් වෙන් වුණු ඔබ නො දුටු ඔබේ ම එක කුස උපන් සහෝදරිය යි…”

මේ කරුණ දැන ගැනීමෙන් පසු ඔහුට තවදුරටත් ඇයගේ හඬ ඇසීමෙන්, ඇයගේ රූපය දැකීමෙන් රාගයක් හට ගනීවි ද..? මෙහි දී ද ඇසට පෙනෙන රූපයත් හෝ කනට ඇසෙන ශබ්දයත් ඇයගේ ම වුවත් සිතේ ඇතිවුණ වෙනසකින් ඇය කෙරෙහි ඔහුගේ රාගය දුරු වී ගියේ ය.

මේ උදාහරණවලින් පැහැදිලි වන්නේ කුමක්ද…?

මෙම උදාහරණ යම් විශේෂ අවස්ථාවන්වල දී ඒ ඒ ගැටලුව විසඳී ගිය ආකාරය දක්වා ඇතත් එය ජීවිතයේ ඇති සියලු ගැටලු, දුක් දොම්නස් විසඳා ගැනීමට ඉදිරිපත් කළ සරල ඉඟියකි. සැබවින් ම ගැටලුව ඇත්තේ බාහිර දෙයක නොව තමන්ගේ ම සිත තුළයි. බාහිර ගැටලු එලෙස ම පැවතුනත් ඔබේ ම සිතිවිල්ලක ඇතිවන වෙනසකින් තවදුරටත් එය ගැටලුවක් නොවනු ඇත. ඒ සඳහා අප කළ යුත්තේ අප සිතන රටාව වෙනස් කර ගැනීම පමණකි.

එය කළ යුත්තේ කෙසේ ද…?

මැටියෙන් සූරූපී ස්ත්‍රී හෝ පුරුෂ රූපයක් තනා යමෙකුගේ සිතේ රාගයක් ඇති කළ හැක. භයානක රූපයක් තනා බිය ඇති කළ හැක. නමුත් නිකන් ම තැබූ මැටි ගොඩකට එවන් කිසිදු හැඟීමක් ඇති නො වේ. යම් කෙනෙකුට මැටි මැටි ලෙස ම තිබුණත්, සූරූපී ලෙස තිබුණත්, බියජනක ලෙස තිබුණත් එය මැටි ම බව දැකිය හැකි නම් කිසිදු අයුරකින් ඔහුගේ සිතේ රාගයක් හෝ බියක් හෝ ඇති කළ නො හැක. ඔහු මුළා කළ නො හැක. එසේ නම් අප කළ යුත්තේ ඇත්ත ඇත්ත ඇති සැටියෙන් දැකීමට හුරු වීම යි. අපගේ සියලු ම ලෞකික ගැටලුවලට හේතුව වී ඇත්තේ නැති දෙයක් ඇති ලෙස දැකීම යි.

මේ හුරුව අප ලබා ගන්නේ කෙසේ ද…?

මේ සඳහා සතර සතිපට්ඨානය තුළ සිත පිහිටුවා ගත යුතු ය. මේ සඳහා අපට ඇති එක ම පිළිසරණ වන්නේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය යි. ඒ උතුම් ධර්මය තවමත් නො නැසී පැවතීම සැබැවින් ම අප ලද මහත් භාග්‍යයකි. ඒ උතුම් පිළිසරණ ලබාගෙන සියලු දුකින් මිදී චතුරාර්ය සත්‍යය ධර්මයන් මේ ගෞතම බුද්ධ ශාසනයේ දී ම අවබෝධ කර ගැනීමට සියලු දෙනාට වාසනාව උදාවේවා..!

තරිඳු නිශ්ශංක
අනුරාධපුරය