ලෝකය තරම් ලෝකයේ ගවේෂණයට නතු වූ වෙනත් තේමාවක් ඉතිහාසයේ ද වර්තමානයේ ද නැහැ. කිසි කලෙක නොසිඳෙන පවසකින් ලෝකය ගවේෂණයේ යෙදන මානව වර්ගයා නිසාවෙන් එය අනාගතයේ ද එසේ ම වනු ඇති. ලෝකය සෑම කල්හි ම ලෝකයට අද්භූතයක්, විස්මිතයක්, අබිරහසක්… එවන් ලෝකයක් තුළ අධ්‍යාත්මික බාහිර සියලු ලෝකයන් අවබෝධ කිරීම ද ඒ සියලු ලෝකයන්ගෙන් නිදහස් වීම ද මහා ප්රාතිහාර්යයක් ම නො වන්නේ ද? සම්මා සම්බුදුවරු වනාහි ඒ විස්මිත ප්‍රාතිහාර්යයෙන් සියලු ලෝක ජයගන්නා අසිරිමත් පුරුෂ රත්නයෝ යි. ලොව විනිවිද දුටු විස්මිත ප්‍රඥා ඇති ලෝකවිදූ තථාගතයාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!
අප විසින් දක්නා ලෝකයක් අප අවට තිබෙනවා. මසැසින් දකිනු ලබන ඒ ලෝකයට ජනී ජනයා ද සත්ව වර්ගයා ද අහස පොළොව ඉර හඳ තාරකා ග්‍රහලෝක ද ඇළ ෙදාළ ගංගා සාගර ද තුරු ලතා ආදිය ද අයිතියි. අපට නො පෙනෙනා ලෝකයක් ගැනත් අපි ළමා කාලයේ පටන් අසා තිබෙනවා. දෙවියන් ද යක්ෂයන් ද භූත පිශාචයන් ද නිරිපල්ලන් ද අයත් වන්නේ අපට නො පෙනෙන ඒ ලෝකයට යි. මේ දේවල් හැර ලෝකය කියා අප දන්නා යමක් නැහැ, සොයනා යමක් ද නැහැ. ලෝකය යනු එපමණක් ම වූයේ නම් කිසි කලෙක මේ ලෝකයේ කෙළවරක් දකින්නට අපට හැකි වන්නේ ද නැහැ. එහෙත්, ලෝකය එදා සිට අද දක්වා ම සොයා යන්නේ මෙපමණකට සීමා කර ගත් ලෝකයේ කෙළවරයි.
මේ ලෝකයේ කෙළවරක් සොයා ඇවිද ගිය දිව්‍යපුත්‍රයෙකු ගැන අපට පෙළ දහමේ මුණගැසෙනවා. රෝහිතස්ස නම් වූ ඔහු සම්බුදුරජුන් හමුවට පැමිණ විමසා සිටියේ මේ ලෝකයේ කෙළවරක් තිබෙනවා ද යන්නයි. එවැන්නක් නො පවතින බව සම්බුදුරජාණන් වහන්සේ වදාළා.
පෙර ගත කළ දිව්‍ය ජීවිතයක අතිශය වේගයකින් ගමන් කළ හැකි ව සිටි ඒ දිව්‍යපුත්‍රයා ලෝකයේ කෙළවර සොයා ගමන් ඇරඹූ බවත්, එහෙත් ලෝකයේ කෙළවර නො දැක ම ආයුෂ ගෙවී තමන් ඒ දිව්‍ය ජීවිතයෙන් චුත වූ බවත් ඔහු සම්බුදුරජාණන් වහන්සේ හමුවේ එවිට ප්‍රකාශ කළා. සැබැවින් ම මේ ලෝකයේ කෙළවරක් ඇවිද යාමෙන් දැකිය නො හැකි නමුත් විශිෂ්ට ඤාණයෙන් යුතු ව උපදවා ගන්නා අවබෝධය තුළින් නාම රූප ප්‍රත්‍යයෙන් හට ගන්නා ඇස නම් වූ ලෝකයේ ද කන නම් වූ ලෝකයේ ද නාසය නම් වූ ලෝකයේ ද දිව නම් වූ ලෝකයේ ද කය නම් වූ ලෝකයේ ද මනස නම් වූ ලෝකයේ ද කෙළවර දැකිය හැකි බවට සම්බුදුරජාණන් වහන්සේ එහි දී ධර්මය දේශනා කොට වදාළා.
බීජයකින් ගසක් හට ගත් පසු ඒ ගසෙන් යළි බීජ ඇති වනවා. මේ ආකාරයෙන් බීජ පරම්පරාවන් හා ගස් පරම්පරාවන් ඉදිරියට නො සිඳී පවතිනවා. ඒ ආකාරයෙන් ම පෙර පහළ වූ සංස්කාරයන් නිසා පසු සංස්කාරයන් ද ඇති වීමෙන් ඒ අනුව සත්ව ලෝක, සංස්කාර ලෝක, අවකාශ ලෝක යන ලෝක තුන ඇති වන බව සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා.
හේතුවකින් සකස් වන ඵල අනුව යන ගමනක් මෙහි ඇති බව දේශනා කළේ ඒ සියලු ලෝකයන් අවබෝධ කළ සම්බුදුරජාණන් වහන්සේ ම යි. හේතු පවතින තාක් කල් මේ ඵලයන් සකස් වනවා. තණ්හාව සහිත වූ සිතින්, කයින්, වචනයෙන් කළ කර්මයන්ගේ විපාක වශයෙන් නැවත නැවත ඉපදීම් සිදු වෙමිනුයි අප සියල්ලෝ ම මේ ගමනේ පැමිණියේ.
යම් දෙයක් තිබෙනවා නම් එහි පටන්ගැනීමකුත් තිබිය යුතු යි කියන මතය බොහෝ දෙනෙකු තුළ තිබෙනවා. නමුත් මේ න්‍යාය සියලු දෙයට සාධාරණ වන්නේ නැහැ. හොඳ ම නිදසුනක් තමයි අහස. අහස තිබෙන බව අප දකිනවා. සැකයකින් තොරව ම අප එය පිළිගන්නවා. එහෙත් ඒ අහසේ පටන්ගැනීමක්, අගක්, මුලක් පනවන්නට බැහැ නේ ද? එසේ පටන්ගැනීමක්, අගක් මුලක් පනවන්නට බැරි වුණා කියා අහස කියා දෙයක් නොපවතිනවා වන්නේ නැහැ.
ඒ ආකාරයෙන් ම යි, ලෝක සත්වයා සසර සැරිසරා පැමිණෙන මේ අති දීර්ඝ ගමනේ ආරම්භක කෙළවරක්, අගක්, මුලක් පනවන්නට පුළුවන්කමක් නැති බව සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. සත්වයන් සසරේ ගෙන ආ සංස්කාරයන් පටන් ගත් තැන මෙතැනයි කියා පෙන්වන්නට හැකියාවක් නැහැ. එය අතිශයින් පැරණි, අතිශයින් දීර්ඝ ගමනක්. ඇති වෙමින්, නැති වෙමින්, පවතින දෙය තුළ ම වෙනස් වෙමින් යන මේ ජීවිත ස්වභාවයන් තුළ සෑම විට ම අලුත් වීමක්, වෙනස් වීමක් තිබෙන බව සැබෑවක්. මිනිසුන් හා සතුන් පමණක් නො වෙයි, අහස ඉර හඳ තාරකා සහිත මේ සකල ලෝකධාතූන් පවා කලෙක දී විනාශ වී නැවත හට ගැනෙනවා.
ලෝකය ප්‍රමාණයෙන් මෙතෙකැයි කියා කියන්නට සමත් වූවෙක් නැහැ. අභ්‍යවකාශ තාක්ෂණය සහ ශිල්පීය ඤාණය බොහෝ දියුණු මේ යුගයේ පවා ලෝකයේ ප්‍රමාණය පිළිබඳ මතවාද වරින් වර වෙනස් වනවා. අප ජීවත්වන ක්ෂීරපථය නම් වූ මේ මන්දාකිණිය වැනි තවත් මන්දාකිණි ලක්ෂ ගණනක් අප වටා පවතින බව මෑතක දී නාසා ආයතනය පවසා සිටියා. තම තම නැණ පමණින් සහ යන්ත්‍ර සූත්‍රවල දියුණු බවේ තරමින් තමයි ඔවුන් මේ අදහස් ඉදිරිපත් කරන්නේ. ඒ පිරිසට සිතින් සිතා ගන්නටවත් නො හැකි ආකාරයේ විස්මිත හෙළිදරව්වක් ලෝකය ගැන සිදු කෙරුණේ මෙවැනි යන්ත්‍ර සූත්‍ර, ශිල්පීය කුසලතා කිසිවක් ම නො වූ යුගයක. සියලු ලෝක අවබෝධ කළ සම්බුදුවරයෙකුට ම පමණක් විෂය වූ ඒ හෙළිදරව්ව අපට දරා ගත හැක්කේ ශ්‍රද්ධාවෙන්. මන්ද, ප්‍රඥාවෙන් එය දකින්නට හැක්කේ ද සම්මා සම්බුදුවරයෙකුට ම පමණක් නිසාවෙන්…
අපට ආලෝකය ගෙන එන මේ සූර්යයාගෙන් සහ චන්ද්‍රයාගෙන් ආලෝකවත් කෙරෙන අපාය භූමි හතරත්, මිනිස් ලොව සහ සදෙව් ලොව යන කාම සුගති ලෝක හතත්, ප්‍රථම ධ්‍යාන භූමි තුනත්, දෙවන ධ්‍යාන භූමි තුනත්, තුන්වන ධ්‍යාන භූමි තුනත්, සතරවන ධ්‍යාන භූමි හතත් යන දහසයක් වූ රූපාවචර භූමීනුත්, අරූපාවචර භූමි හතරත් යන භූමි තිස් එකකින් යුතු වන තැන එක ලෝකධාතුවක් ලෙස හැඳින්වෙනවා.
එවැනි ලෝක ධාතු දහසක් සහශ්‍රී / චූලනිකා ලෝක ධාතුව කියා හඳුන්වනවා. චූලනිකා ලෝක ධාතු දහසක් දහසකින් ගුණ කිරීමෙන් ලැබෙන චූලනිකා ලෝක ධාතු දස ලක්ෂය, ද්වීසහශ්‍රී / මධ්‍යම ලෝක ධාතුව ලෙස නම් කෙරෙනවා. දස ලක්ෂයක් වූ ඒ ලෝක ධාතු යළිත් දහසකින් ගුණ කළ විට කෝටි ලක්ෂයක් ලෝක ධාතු ලැබෙනවා. ඒ කෝටි ලක්ෂයක් සක්වළ ත්‍රිසහශ්‍රී / මහා සහශ්‍රී ලෝක ධාතුව කියා හැඳින්වෙනවා.
සම්බුදුරජුන්ගේ ඍද්ධිබල සම්පන්න ශ්‍රාවකයන්ට චූලනිකා ලෝක ධාතුව විෂය වනවා. උන්වහන්සේලාට ඒ ලෝක ධාතු දහසට ඇසෙන්නට කථා කරන්නට හැකියි. ඒ තුළ ආලෝකය හෝ අන්ධකාරය හෝ පතුරාලන්නට ද හැකියි.
ද්වීසහශ්‍රී මධ්‍යම ලෝක ධාතුව හැඳින්වෙන්නේ සම්බුදුවරුන්ගේ ජාති ක්ෂේත්රය කියලයි. මහ බෝසතාණන් වහන්සේ මව්කුස පිළිසිඳ ගැනීම, මව්කුසින් බිහි වීම, අබිනික්මන් කිරීම, සම්මා සම්බුද්ධත්වයට පත් වීම, දම්සක පැතිරවීම, ආයු සංස්කාරය අත්හැරීම, පිරිනිවන් පෑම යන අවස්ථාවල දී ඒ මධ්‍යම ලෝක ධාතුව කම්පා වන බව අංගුත්තර නිකාය අටුවාවේ දැක්වෙනවා.
ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලෝක ධාතුව හැඳින්වෙන්නේ සම්බුදුවරුන්ගේ ආඥා ක්ෂේත්රය ලෙසිනුයි. සම්බුදු මුවින් දේශිත පිරිත් ධර්මයන්ගේ බලය එහි පවතින බව පැවසෙනවා.
ත්‍රිසහශ්‍රී ලෝකධාතුවෙන් ඔබ්බෙහි ඇති සියලු සක්වළ සම්බුදුවරුන්ගේ විෂය ක්ෂේත්රය ලෙසයි හැඳින්වෙන්නේ. එහි ප්‍රමාණයක් දක්වන්නට පුළුවන්කමක් නෑ. සම්බුදුරජාණන් වහන්සේට ඒ අනන්ත සක්වළ පුරා ආලෝකය හෝ අන්ධකාරය හෝ පතුරාලන්නට පුළුවනි. ඒ කවර තැනක වුවත් වෙසෙන සත්වයනට ඇසෙන සේ කථා කරන්නට ද පුළුවනි.
අප සරණ ගිය සම්බුදුරජාණන් වහන්සේගේ ලෝකය පිළිබඳ ව වූ ඒ අවබෝධය සම වන්නේ තවත් සම්බුදුරජාණන් වහන්සේනමකට ම පමණයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේලා එපමණ ම මහානුභාව සම්පන්නයි.
කිසි කලෙක අසත්‍ය වචන නො පවසන සම්බුදුරජාණන් වහන්සේ දෙව් මිනිස් ලෝකය ඉදිරියේ මෙසේ නිර්භය ව, අභීත ව, විසාරද ව සිංහනාද කරනවා.
“යං භික්ඛවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්රහ්මකස්ස සස්සමණබ්රාහ්මණියා පජාය සදේවමනුස්සාය දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා, යස්මා තං තථාගතේන අභිසම්බුද්ධං තස්මා තථාගතෝ’ති වුච්චති.”
“පින්වත් මහණෙනි, දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ මේ ලෝකයා විසින් ද දෙව් මිනිස් ප්‍රජාව විසින් ද දක්නා ලද යමක් ඇද්ද, අසනා ලද යමක් ඇද්ද, ආඝ්‍රාණය කරන ලද යමක් ඇද්ද, රස විඳින ලද යමක් ඇද්ද, පහස ලැබුවා වූ යමක් ඇද්ද, සිතින් දැන ගන්නා ලද යමක් ඇද්ද, ලබා ගත් යමක් ඇද්ද, සොයා ගත් යමක් ඇද්ද, සිතින් විමසන ලද යමක් ඇද්ද ඒ සියල්ල ම තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද්දේ වෙයි ද එම නිසා තථාගත යැයි කියනු ලබන්නේ ය.”
තථාගතයන් වහන්සේගේ අවබෝධයට අභියෝග කළ හැකි කිසිවෙක් තුන්ලෝකයේ ම නැහැ. දුක නම් වූ ලෝකය උන්වහන්සේ විසින් අවබෝධ කරනු ලැබුවා. දුකෙහි හේතු උන්වහන්සේ විසින් නසනු ලැබුවා. දුක් නැති කිරීම උන්වහන්සේ විසින් සාක්ෂාත් කරනු ලැබුවා. දුක් නැති කරන ප්‍රතිපදාව උන්වහන්සේ විසින් ප්‍රගුණ කරනු ලැබුවා. අවබෝධය ලබා ලෝකයෙන් එතෙර වූ උන්වහන්සේ අවබෝධය ලබා ලෝකයෙන් එතෙර වීම පිණිස ධර්මය දේශනා කොට වදාළා. ඒ ධර්මය ම යි, අප සියලු ලෝකයන් තුළ ශ්‍රේෂ්ඨ කරවන්නේ. ඒ ධර්මය ම යි අපට සියලු ලෝකවලින් නිදහස් වන්නට උපකාරක වන්නේ…
“ධම්මෝහි වාසෙට්ඨා සෙට්ඨෝ ජනේතස්මිං දිට්ඨේ චේව ධම්මේ, අභිසම්පරායේ ච.”
“පින්වත් වාසෙට්ඨයෙනි, මෙලොවෙහිත් පරලොවෙහිත් ජනයා අතර ධර්මය ම ශ්‍රේෂ්ඨ වෙයි.”
(අග්ගඤ්ඥ සූත්‍රය – දී. නි. 3)
දෙලොවෙහි ම ශ්‍රේෂ්ඨ වූ ඒ ශ්‍රී සද්ධර්මය ම පිළිසරණ කර ගනිමින්, පසැසින් ලොව දුටු, සියලු ලෝකයන්ගෙන් නිදහස් වූ, ලෝකවිදූ ගුණයෙන් යුතු වූ, අපගේ ශාස්තෘ වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ රාජ්‍යය තුළ දී ම මිසදිටු බිඳ හෙළා ලෝකයෙන් නිදහස් වන්නට අපට උතුම් තෙරුවනේ ආශීර්වාදය වේවා!
සටහන – උදුලා පද්මාවතී
Recent Comments