ලෝකයේ ශ්‍රේෂ්ඨ යැයි සම්මත බොහෝ පුද්ගලයන්ගේ ඇතැම් ප්‍රකාශ ලෝ වැසියන් විසින් ඉතා ඉහළින් පිළිගැනේ. නොයෙකුත් පුවත්පත්, සඟරාවලින් ‘ජීවිතයට රුවන් වැකි, ලොව පතළ විද්වතුන්ගේ කියුම්, සුප්‍රකට ශ්‍රේෂ්ඨ වදන්’ යනාදී වශයෙන් ලෝකයේ පිළිගත් පුද්ගලයන්ගේ යම් යම් ප්‍රකාශ අපට නිතර කියවන්නට ලැබේ.
බොහෝ විට ඒවා මීට සියවසකට හෝ සියවස් කිහිපයකට පෙර ලොව බිහිවූ, යම් යම් ක්ෂේත්රවලින් ලොව සුප්‍රකට වූ බටහිර විද්වතුන්ගේ හා දාර්ශනිකයන්ගේ ප්‍රකාශ ය. ඇතැම් ප්‍රකාශවලින් ජීවිතය ගැන කියැවේ. තවත් ඒවායින් මිනිස් සමාජයේ නොයෙක් පැතිකඩවල් ගැන කියැවේ. තවත් සමහරක් ජීවිතය නගාසිටුවීම උදෙසා වූ ඔවදන් ස්වරූපයෙන් යුතු වූ ප්‍රකාශයන් ය. ඒවා නොවැදගත් යැයි හෙළා දැකීම මෙම ලිපියේ අරමුණ නො වේ. කෙසේ නමුත් බටහිර සමාජය විසින් ඒවාට ‘ශ්‍රේෂ්ඨ වදන්’ යැයි පැවසීමට සාධාරණ පදනමක් ඇත. ඔවුන්ට සැබැවින් ම ඒවා රුවන් වැකි වන්නට පුළුවන. ඒ මක් නිසා ද යත්, යථාර්ථවාදී සොඳුරු දහමක පහස ඔවුන් නො ලබන නිසා ය.
එහෙත් ලෝකයේ ශ්‍රේෂ්ඨ ජාතියක් වන සිංහලයන් හට නම් තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන් හැටියට පරාධීන මානසිකත්වයෙන් යුතුව ඒ මත හිස් මුදුනින් පිළිගැනීමට යාම තරම් නො වේ යැයි සිතේ.
ජීවිතය ගැනත්, මිනිස් සමාජය ගැනත්, සිත ගැනත්, සකල විශ්වය ගැනත්, ඉතා පරිපූර්ණ අවබෝධයකින් යුතු ලෝකයේ පරම ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය මාණික්‍ය රත්නය වන අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා තුළ මුළුමනින් ම පාහේ තිබෙන්නේ සැබෑ ම රුවන් වැකි ය. ඒ අමිල නිමල බුදු වදන් අප හද රුවාගෙන ඒ අනුව ජීවිතය දකින්නට නො සිතා කෙලෙස් සහිත පුද්ගලයන්ගේ ප්‍රකාශවලට ආවඩන්නට යාම අපගේ අභිමානවත් සිංහල ජාතියට නොදැනුම්වත්ව ම සිදු කරන අගෞරවයකි.
මෙහි සඳහන් වන්නේ අපගේ භාග්‍යවත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ නිකෙලෙස් හද මඩලෙහි පැන නැගී සම්බුදු මුවින් ගිලිහිනු සොඳුරු බුදු වදන් කිහිපයකි.
“අනුන්ට දුක් දීල තමන් විතරක් සැප විඳින්නට හිතුවොත් ඔහුට එකතු වෙන්නට වෙන්නේ වෛරය සමගයි. ඔහුට නම් වෛරයෙන් වෙන් වෙන්නට වෙන්නේ නෑ.”
(ධම්ම පදය – පකිණ්ණක වර්ගය)
“කටහඬ මිහිරට තිබුණයි කියලා, රූපෙ ලස්සනට තිබුණයි කියලා එපමණකින් කෙනෙක් යහපත් වෙන්නෙ නෑ. ඔහු තුළ ඉරිසියාව, මසුරුකම, කපටිකම තියෙනවා නම් ඔහු හොඳ කෙනෙක් නම් නෙමෙයි.”
“යම් විනිශ්චයකරුවෙක් අසාධාරණ විදිහට නඩු තීන්දු දෙනවා නම් ඔහුගේ විනිශ්චය තියෙන්නෙ ධර්මයේ පිහිටලා නෙමෙයි. නමුත් නුවණැති කෙනා සාධාරණ පැත්ත, අසාධාරණ පැත්ත හොඳට හඳුනාගෙනයි විනිශ්චය දෙන්නෙ. සාධාරණ විදිහට නඩු හබවල දී තීන්දු තීරණ ගන්නවා නම් ධර්මයෙන් සුරැකෙන ඒ ප්‍රඥාවන්ත කෙනා විනිශ්චයේ දී ද ධර්මයේ පිහිටන බවයි කියන්නට තියෙන්නේ.”
(ධම්ම පදය – ධම්මට්ඨ වර්ගය)
“ක්‍රෝධය ජයගන්නට තිබෙන්නේ ක්‍රෝධ නොකිරීමෙන් ම යි. අයහපත ජයගන්නට තිබෙන්නේ යහපතින් ම යි. ලෝභකම ජයගන්නට තිබෙන්නේ දන් දීමෙන් ම යි. බොරු කියන පුද්ගලයාව ජයගන්නට තිබෙන්නේ සත්‍ය වචනයෙන් ම යි.”
(ධම්ම පදය – ක්‍රෝධ වර්ගය)
“රන් කහවනු වැස්සක් වැස්සත් තනි පුද්ගලයෙක් මේ පංච කාමයන් ගැන තෘප්තියකට නම් පත්වෙන්නේ නෑ.
ඒ වුණාට මේ පංච කාමයන්ගේ ආස්වාදය නම් හරි ම චුට්ටයි. නමුත් දුක් නම් ගොඩාක් තියෙනවා. බුද්ධිමත් කෙනා ඔය ඇත්ත තේරුම් ගන්නවා.”
(ධම්ම පදය – බුද්ධ වර්ගය)
“අනුන්ගේ යටතේ තියෙන හැමදෙයක් ම දුකක්. සියලු ලොව්තුරු ඉසුරුමත් බව සැපයි. සාධාරණය ඉටුකර ගන්න යන හැම කෙනෙක් ම පීඩා විඳිනවා. මේ කෙලෙස් බන්ධනවලින් නම් මිදෙන එක ලේසි දෙයක් නෙවෙයි.”
(විශාඛා සූත්‍රය – ඛු. නි. 1)
“සතුරෙක් තවත් සතුරෙකුට හානියක් කරනවාට වඩා, වෛරක්කාරයෙක් තවත් වෛරක්කාරයෙක්ට කරන හානියකට වඩා වරදට යොමුකර ගත්තු සිත තමන්ව ඊටත් වඩා පව්කාරයෙක් බවට පත් කරනවා.”
(ගෝපාල සූත්‍රය – ඛු. නි. 1)
“අමිහිරි දේවල් මිහිරි ස්වරූපයෙන්, අප්‍රිය දේවල් ප්‍රිය ස්වරූපයෙන්, දුක් දේවල් සැප ස්වරූපයෙන් ප්රමාදී පුද්ගලයාව යට කරගෙන යනවා.”
(සුප්පවාසා සූත්‍රය – ඛු. නි. 1)
“තමා ම යි තමාට චෝදනා කළ යුත්තේ. තමන් ම යි තමන් ගැන විමසා බැලිය යුත්තේ. තමා විසින් තමාව රැකගෙන හොඳින් සිහිය පිහිටුවාගෙන සැපසේ ඉන්න.”
(ධම්ම පදය – භික්ඛු වර්ගය)
“උපකාරයක් ඕන වෙලාවට ඉදිරිපත් වන යාළුවා තමයි සැපය. ලද දෙයින් සතුටු වීමත් සැපයක්. ජීවිතය අවසන් වන විට පින තමයි සැපයකට තියෙන්නේ. සියලු සංසාර දුක නැතිකර දැමීමත් සැපයක්.”
(ධම්ම පදය – නාග වර්ගය)
“ඇස් පෙනෙන කෙනා අනතුර හඳුනාගෙන විෂම මාර්ගය බැහැර කරනවා වාගේ බුද්ධිමත් කෙනා ඇඟ පතේ වීරිය තියෙන කාලෙ මේ ලෝකේ තියෙන පව් බැහැර කරන්න ඕන.”
(උදාන පාළිය)
බලන්න, මේ උතුම් සුන්දර බුදු වදන් මොනතරම් අරුත්බරයි ද? අපේ ජීවිතයේ හදා ගතයුතු අඩුපාඩු ගැන නො වේ ද මේ කියන්නේ? සමස්ත මිනිස් වර්ගයාට ම පොදු වූ මේ සත්‍යයන්, රුවන් වැකි ලෙස අප සිත් තුළ තැන්පත් කර ගන්නට අප මැලි වෙනවා නම්, පෘථග්ජන ලෝකයේ අවිද්‍යා සහගත සිත්වලින් නිකුත්වන ප්‍රකාශවලට අප මීට වඩා තැනක් දෙනවා නම් එය අපේ අවාසනාවේ කොටසක් මිස අන් දෙයක් නො වේ.
පෘථග්ජන වදන් කාලික ය (කාලයකට අයිති ය). බොහෝ විට මේ ජීවිතය සීමාකොට කියන ලද ඒවා ය. සමහර විට නුවණින් සලකා බලන විට කරුණු සහිතව ඒ ප්‍රකාශවල යථාර්ථවාදී බව විසි වේ.
ඇතැම් විට ඒ ප්‍රකාශ එක් රටකට, ජාතියකට, ආගමකට පමණක් වැදගත් වේ. බොහෝ විට ඒ සියලු ම ප්‍රකාශ අගතිගාමී බවින් යුතු ය.
එනමුදු මේ බුදු වදන් සියලු මිනිස් ප්‍රජාවට අතිශයින් ම පොදු වූ පරම සත්‍යය ය. නුවණින් විමසා බලන විට කරුණු සහිතව බැහැර කළ නො හැකි ය. මෙවන් අති උදාර සම්බුදු වදන් සියදහස් ගණනින් යුතු නිර්මල සදහම් නිධානය පසෙක තබා මිථ්‍යා මතවල පැටලුන අප වැනි ම කෙලෙස් සහිත මිනිසුන්ගේ ප්‍රකාශ හිස් මුදුනේ තබා ගැනීම රන් රිදී මුතු මැණික් පිරුණු දියමන්ති බඳුනක් පසෙක ලා තිරිවානා ගල් බොරළු පිරුණු මැටි බඳුනක් හිස මත තබා ගැනීම වැනි දෙයකි.
එහෙයින් අප වහ වහා පරම්පරා ගණනක මුල් බැසගත් පරගැති මානසිකත්වය බැහැර කොට මේ ශ්‍රේෂ්ඨ බුදු වදන් අප හදවත් තුළ නිදන් කොට, ඒ අනුව සිත කය වචනය හසුරුවාගෙන ජීවිතය ජයගන්නට වෙහෙස විය යුතු ම ය.
ලෝකයාට ද අනුකම්පාවෙන් යුතුව මේ උත්තරීතර බුදු වදන් රුවන් වැකි ලෙසින් පතළ කළ යුතු ය. අපගේ අභිමානවත් සිංහල ජාතියේත්, පරම උත්තරීතර සම්බුදු දහමේත් ආශ්චර්යය ලොවට දක්වමින් මෙවන් අමිල නිමල බුදු වදන් ලොව ප්‍රකට කිරීමට කටයුතු කළ යුතු ය. එය බොහෝ දෙනාට හිත සුව පිණිස පවතිනු ඒකාන්ත ය. ‘සොඳුරු බුදු වදන් පහසින් ලෝ සතුන් හට සියලු යහපත සැලසේවා!’ යනු අපගේ පැතුම යි.
(මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේනමක් විසින් සම්පාදිතයි.)
පින්වත් මෑණියන් වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනයේම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා.
සාදු… සාදු… සාදු…