මොනව ද මේ ආහාර?
‘ආහාර’ යන වදන ඇසුණ සැණින් අපට සිහිපත් වන්නේ අප බොහෝ සෙයින් ඇළුම් කරන කෑම බීමයි. නොයෙක් රසයෙන් යුතු, විවිධ ස්වභාවයෙන් යුතු ආහාරයන් ගැන සිහි කළ පමණින් ශරීරය පවා එයට අනුව උත්තේජනය වෙයි. ප්‍රතිකියා දක්වයි. ප්‍රණීත ආහාර අනුභව කරන්නට සියල්ලෝ ම පාහේ කැමති වෙති. මේ මේ ආහාර ශරීරයට හිතකර වන්නේ ය, මේ ආහාර අහිතකර වන්නේ ය, මේ ආහාරවලින් ශරීරය ශක්තිමත් කරන්නේ ය, මේවා ශරීරය වර්ධනය කරන්නේ ය, මේ ආහාරයන් ශරීරය ලෙඩ රෝගවලින් ආරක්ෂා කරන්නේ ය ආදි වශයෙන් අපි කොතෙකුත් දේවල් ආහාර ගැන කථා කරමු.
අප දැන සිටියේ ආහාරය විසින් කය පෝෂණය කරන බව පමණකි. කයේ පැවැත්මට හේතුවන බව පමණකි. සියල්ල දන්නා, සියල්ල දකිනා අපගේ ශාස්තෘන් වහන්සේ වන භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ආහාර මුල්කරගෙන කය පමණක් නොව සසර ගමන ද සකස් වන අයුරු දේශනා කළ සේක. කයේ පැවැත්මට ආහාර පාන මුල්වන්නා සේ සසරේ පැවැත්මට ආහාර හතරක් මුල්වන බව භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කළ සේක.
“පින්වත් මහණෙනි, උපන් සත්වයන්ගේ පැවැත්ම පිණිසත්, උපදින්නට සිටින සත්වයන්ට අනුග්‍රහ පිණිසත් හේතුවන ආහාර හතරකි.
01. ගොරෝසු හෝ සියුම් හෝ කබලිංකාර ආහාරය
02. ස්පර්ශය නම් වූ ආහාරය.
03. මනෝසංචේතනාව නම් වූ ආහාරය.
04 විඤ්ඤාණය නම් වූ ආහාරය.
පින්වත් මහණෙනි, උපන් සත්වයන්ගේ පැවැත්ම පිණිසත්, උපදින්නට සිටින සත්වයන් හට අනුග්‍රහ පිණිසත් මේ ආහාර හතර හේතුවන්නේ ය.
(අත්ථිරාග සූත්‍රය – සං. නි. 2)
කබලිංකාර ආහාරය
අනුභව කරන කෑම බීම වර්ග කබලිංකාර ආහාර යි. දෙවියන් ආදී සියුම් ශරීරවලින් යුතු සත්වයන් සියුම් ආහාර අනුභව කරති. මිනිසුන්, තිරිසන් සතුන් ආදී ගොරෝසු ශරීරවලින් යුතු සත්වයන් ගොරෝසු ආහාර අනුභව කරති. මේ කබලිංකාර ආහාරවල පංචකාම ගුණයන් ම තිබේ. ආහාරය ඇසින් දුටු විට ඇල්ම හටගනී. ආහාර ගැන කථා කරන විට (කනින් අසන විට) ඇල්ම හටගනී. ආහාරයේ සුවඳට ඇල්ම හටගනී. දිවට රස දැනෙන විට ඇල්ම හටගනී.
ආහාරයේ පහස කයට දැනෙන විට ද ඇල්ම හටගනී. කබලිංකාර ආහාර පිළිබඳ ව මෙසේ හටගන්නා රාගය දුරු නො කළ කල්හි, ආශාව දුරු නො කළ කල්හි, තණ්හාව දුරු නො කළ කල්හි එහි විඤ්ඤාණය පිහිටයි. යම් තැනක විඤ්ඤාණය පිහිටයි ද එතැන නාමරූපයෝ බැසගනිත්. යම් තැනක නාමරූප බැසගැනීම වෙයි ද එතැන සංස්කාරයන් වර්ධනය වෙයි. යම් තැනක සංස්කාරයන්ගේ වර්ධනය වීමක් වෙයි ද එතැන යළි ඉපදීම සැකසෙයි. යම් තැනක ඉපදීමක් වෙයි ද එතැන ජරා මරණ සෝක වැලපුම් දුක් දොම්නස් සියල්ල හටගනියි. යම් තැනක ඉපදීමක් ජරා මරණයක් වෙයි ද එය ඉතා කරදර සහිත, ශෝක පීඩා සහිත, දුක් දොම්නස් සහිත, මහත් ආයාසකර දෙයක් බව බුදු සමිඳුන් වදාළ සේක.
ආහාර අනුභව කරන්නටත්, ආහාර ගැන වර්ණනා කරන්නටත් පමණක් දැන සිටි ලෝක සත්වයා හට, එම ආහාරය ගැන ඇති ඇල්ම දුරු නො කළ නිසා ම සසර ගමන සකස්වන බව අවබෝධයෙන් යුතුව දේශනා කළේ භාග්‍යවතුන් වහන්සේ විසිනි. ඇතැම් ආගමික නායකයන් ද කබලිංකාර ආහාරය ගැන නොයෙක් අදහස් ප්‍රකාශ කර ඇතත් ආහාරය පිරිසිඳ දුටු පරිපූර්ණ අවබෝධයක් ඔවුන් තුළ නැත. ඇතැමුන් පවසන පරිදි ආහාරය ගැන අවබෝධ කරන්නට නම් නිරාහාරව සිටිය යුතු ය. ආහාර අනුභව නො කර සිටීම ආහාරය අවබෝධ කරන මග නො වේ. සියලු සත්වයෝ ආහාරයෙන් යැපෙති. එබැවින් නුවණින් සලකා තම ශරීරයේ පැවැත්ම පිණිස පමණක් ආහාර අනුභව කළ යුතු බව සදහම් ඇස් ඇති බුදු සමිඳාණෝ වදාළ සේක.
කාන්තාර මාර්ගයකට පිළිපන් මවත්, පියාත්, කුඩා දරුවෙකුත් කෑම බීම අවසන්ව වෙහෙස වී ගමන් කරයි. අවසානයේ දරුවා මිය යයි. දෙමාපියන් කෑම බීම නොමැතිකමින් තම ආදරණීය දරුවාගේ මස් අනුභව කරමින් ජීවිතය රැකගනී. මෙසේ කරන්නේ හැකි ඉක්මනින් කාන්තාරයෙන් එතෙරවන තුරු ජීවිතය රැකගැනීම පිණිස පමණි. එසේ නොමැතිව තම සිරුරේ අලංකාරය පිණිස දරුවාගේ මස් කන්නේ නැත. ශරීරය මහත් කර ගැනීම පිණිස දරු මස් කන්නේ නැත. රසයෙන් මත්වී දරු මස් කන්නේ නැත. අපගේ එක ම පුතු කොහිදැයි හඬමින් ය ඔවුන් පුත්‍ර මාංශය බුදින්නේ. කාන්තාර ගමන අවසන් වනතුරු ජීවිතය පවත්වා ගැනීමට පමණි.
මේ උපමාව භාග්‍යවතුන් වහන්සේ වදාළේ කබලිංකාර ආහාරය ගැන වටහාදීමටයි. සසර කතරින් එතෙර වීම පිණිස පිළිපන් ශ්රාවකයා හට නුවණින් සලකා, රසයට ගිජු නො වී ආහාර අනුභව කරන්නැයි මෙසේ පෙන්වා දුන් සේක. එනම්,
“මේ ආහාරය වළඳන්නේ ජවය පිණිස නො වේ. සිරුර මහත් කර ගැනීම පිණිස නො වේ. සිරුර පැහැපත් කර ගැනීම පිණිස නො වේ. මේ ආහාරය වළඳන්නේ කයේ පැවැත්ම පිණිස ය. යැපීම පිණිස ය. කුසගිනි දුරුකර ගැනීම පිණිස ය. නිවන් මගට අනුග්‍රහ පිණිස ය. ජීවිතය පහසුවෙන්, නිවැරදි ලෙස පවත්වා ගැනීම පිණිස ය.”
මේ ආකාරයට නුවණින් සලකා අනුභව කළ යුතු කබලිංකාර ආහාරය යම් කිසි ශ්‍රාවකයෙක් පරිපූර්ණ ලෙස අවබෝධ කරයි. ඒ ආර්ය ශ්රාවකයා තුළ කාම ලෝකයට නැවත නැවතත් පැමිණෙන සංයෝජනයන් දුරු වෙයි. අනාගාමී ශ්‍රාවකයෙක් බවට පත්වෙයි.
ස්පර්ශ ආහාරය
ස්පර්ශය යනු කරුණු තුනක එකතුවකි. එහි ආකාර සයකි. ඇසත් රූපත් ඇසේ විඤ්ඤාණයත් එකට එකතුවීම ඇසේ ස්පර්ශය යි. කනත් ශබ්දයත් කනේ විඤ්ඤාණයත් එකතුවීම කනේ ස්පර්ශය යි. මේ අයුරින් නාසයේ දිවේ කයේ සහ මනසේ ද ස්පර්ශය හටගනී. මේ ආයතන හය මුල්කරගෙන ස්පර්ශය හටගැනීම නිරන්තරයෙන් ම සිදුවේ. කොටින් ම කියතොත් ස්පර්ශය හටනොගන්නා මොහොතක් නොමැති තරම් ය. මෙය වටහාදීම පිණිස භාග්‍යවතුන් වහන්සේ මෙසේ උපමාවක් වදාළ සේක.
ගවදෙනකගේ හම ගලවා දැමූ විට ඉදින් ඒ ගවදෙන බිත්තියකට හේත්තු වන්නේ නම් ඒ බිත්තිය ඇසුරු කරගෙන සිටින සතුන් විසින් ඈ ව කනු ලබයි. ගසකට හේත්තු වන්නේ නම් ගස ඇසුරු කරගෙන සිටින සතුන් ගවදෙන කනු ලබයි. ජලයට බැස්ස විට ජලයේ සිටින සතුන් විසින් කනු ලබයි. එළිමහනක සිටින විට එළිමහනේ සිටින සතුන් විසින් ද කනු ලබයි. ඒ ගවදෙන යම් යම් තැනකට යන්නී ද ඒ ඒ තැන්වල සිටින සතුන් විසින් ඈ ව කනු ලබයි.
මෙසේ ඒ ගවදෙන සතුන්ගෙන් පීඩාවට පත් නොවන මොහොතක් නැත. ස්පර්ශය ද එසේ ය. ස්පර්ශය හට නො ගන්නා මොහොතක් නැත. යම් ශ්‍රාවකයෙක් සද්ධර්මයෙහි පිහිටා ස්පර්ශය මනාකොට අවබෝධ කර ගන්නට දක්ෂ වුවහොත් ඔහු (සැප, දුක්, දුක් සැප රහිත යන) ත්‍රිවිධ වේදනාව ම පරිපූර්ණ ලෙසට ම අවබෝධ කර ගන්නා බවත් එබඳු ශ්රාවකයෙකුට නිවන පිණිස මතුවට කළ යුතු කිසිවක් නොමැති බවත් භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
මනෝ සංචේතනා ආහාරය
චේතනා පහළ කිරීම ද සසර පැවැත්ම පෝෂණය කරන ප්‍රධාන සාධකයකි. ආහාරයකි. ඇසින් දකින රූප කෙරෙහි චේතනා පහළ වෙයි. කනින් අසන ශබ්දයට අනුව චේතනා පහළ වෙයි. නාසයට දැනෙන ගඳ සුවඳ අනුව චේතනා පහළ වෙයි. දිවට දැනෙන රසයට අනුව චේතනා පහළ වෙයි. කයට දැනෙන පහසට අනුව චේතනා පහළ වෙයි. මනසට සිතෙන අරමුණුවලට අනුව චේතනා පහළ වෙයි. මෙසේ ආයතන හය ඔස්සේ එන අරමුණුවලට අනුව චේතනා පහළ වීම නිරතුරුව සිදුවේ.
පුරුෂයෙකුගේ ප්‍රමාණයට වඩා ගැඹුර ඇති, ගිනි දැල් රහිත වූ, දුම් රහිත වූ, ගිනි අඟුරු වළක් වෙත බලවත් පුරුෂයන් දෙදෙනෙකු විසින් දුර්වල පුරුෂයෙකු අත්වලින් අල්ලාගෙන ඇදගෙන එයි. ඒ දුර්වල පුරුෂයා ජීවත්වනු කැමති, මරණයට නොකැමති, සැපයට කැමැති, දුක පිළිකුල් කරන කෙනෙකි. එනිසා ඒ පුද්ගලයා තුළ ගිනි අඟුරු වළෙන් ඈත් වන අදහස ම ඇතිවේ. එයින් දුරුවන පැතුම ම ඇති වේ. එම ගිනි අඟුරු වළෙන් ඈත්වන අපේක්ෂාව ම ඇතිවේ. වෙන කිසිම දෙයක් ඒ මොහොතේ ඔහුගේ සිතට එන්නේ නැත. එසේ ම ඇස් කන් ආදි ඉඳුරන් මුල් කරගෙන නිරන්තරයෙන් චේතනා පහළ වෙයි. මෙසේ පහළ වන යහපත් අයහපත් චේතනා මුල් කරගෙන සිතින් කයින් වචනයෙන් ක්‍රියා කරන විට එයට අනුව සසර ගමන පෝෂණය වෙයි.
යම් කිසිවෙක් මනෝ සංචේතනා ආහාරය ගැන පරිපූර්ණ ලෙස අවබෝධ කළහොත් ඔහුට කාම තණ්හා භව තණ්හා විභව තණ්හා යන ත්‍රිවිධ තණ්හාව ම පරිපූර්ණ වශයෙන් අවබෝධ වෙයි. ඒ උත්තම වූ ශ්‍රාවකයන් වහන්සේට නිවන පිණිස මතුවට කළ යුතු කිසිවක් නොමැති බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක.
විඤ්ඤාණ ආහාරය
‘විඤ්ඤාණ’ යනු දැන ගැනීමයි. ඇසින් රූප දැනගැනීම ඇසේ විඤ්ඤාණය යි. ඇසත් රූපත් නිසා ඇසේ විඤ්ඤාණය හටගනී. කනත් ශබ්දයත් නිසා කනේ විඤ්ඤාණය හටගනී. නාසයත් ගඳ සුවඳත් නිසා නාසයේ විඤ්ඤාණය ද, දිවත් රසයත් නිසා දිවේ විඤ්ඤාණය ද, කයත් පහසත් නිසා කයේ විඤ්ඤාණය ද, මනසත් අරමුණුත් නිසා මනසේ විඤ්ඤාණය ද හටගනී. විඤ්ඤාණය ද හට නො ගන්නා මොහොතක් නැත.
“පින්වත් මහණෙනි, සොරෙකු අල්ලාගත් රාජ පුරුෂයන් විසින් සොරා ව රජු ඉදිරියට පමුණුවති. රජතුමා ඔහුට උදේ කාලයේ දී හෙල්ල පහර සියයක් අනින්නට නියම කරයි. දහවල් කාලයේ දී තවත් හෙල්ල පහර සියයක් ද රාත්‍රියට තවත් හෙල්ල පහර සියයක් ද අනින්නට නියම කරයි. මෙසේ ඒ සොරා විසින් දිනකට හෙල්ල පහර තුන්සියයකින් පහර කද්දී බොහෝ දුක් දොම්නස් විඳියි. ඒ සොරා දවස පුරා ම දුකින් තොරව සිටින මොහොතක් නැත.”
මේ ආකාරයට විඤ්ඤාණ ආහාරය ගැන වටහාගත යුතු බව භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. යම් කෙනෙක් විඤ්ඤාණ ආහාරය මැනවින් අවබෝධ කළහොත් ඔහු නාමරූපයන් ගැන මනාකොට අවබෝධ කරයි. යම් ඒ ශ්‍රාවකයෙක් නාමරූපයන් ගැන පරිපූර්ණ අවබෝධයකට පැමිණේ ද ඔහුට නිවන පිණිස මත්තෙහි කළ යුතු කිසිවක් නොමැති බව බුදු සමිඳුන් වදාළ සේක.
රාගය තිබුණොත්….
“පින්වත් මහණෙනි, එය මෙවන් දෙයකි. රෙදි පාට කරන්නෙක් හෝ සිත්තරෙක් හෝ සිටියි. ඔහු මටසිළිටි පුවරුවක හෝ බිත්තියක හෝ වස්ත්‍රයක හෝ යම් කිසි වර්ණයකින් ස්ත්‍රියකගේ හෝ පුරුෂයෙකුගේ සියලු අඟපසඟ සහිත චිත්‍රයක් මවයි. පින්වත් මහණෙනි, ඔය අයුරින් ම කබලිංකාර ආහාර ගැන හෝ ස්පර්ශ ආහාරය ගැන හෝ මනෝ සංචේතනා ආහාරය ගැන හෝ විඤ්ඤාණ ආහාරය ගැන රාගය ඇත්නම්, ආශාව ඇත්නම්, තණ්හාව ඇත්නම් එතැන විඤ්ඤාණය පිහිටයි. එතැන නාමරූප බැසගනියි. එතැන සංස්කාරයන් වර්ධනය වෙයි. යළි යළි ඉපදීම සිදුවෙයි. පින්වත් මහණෙනි, එය ඉතා ශෝක සහිත පීඩා සහිත මහත් ආයාසකර දෙයක් බව පවසමි.”
රාගය නැති නම්….
”මේ ආහාර සතර ගැන රාගය නැති නම්, ආශාව නැති නම්, තණ්හාව නැති නම් එතැන විඤ්ඤාණය නො පිහිටයි. යම් තැනක විඤ්ඤාණය නො පිහිටයි ද එතැන නාමරූපයේ බැසගැනීමක් නැත. යම් තැනක නාමරූපයේ බැසගැනීමක් නැති නම් එතැන සංස්කාරයන්ගේ වර්ධනයක් නොමැත. යම් තැනක සංස්කාර වර්ධනයක් නැති නම් යළි යළි උපතක් නැත. යළි ඉපදීමක් නැති නම් එහි ජරාවක්, මරණයක් නැත. පින්වත් මහණෙනි, එය ශෝක රහිත වූ පීඩා රහිත වූ වෙහෙසකර නො වූ දෙයක් බව පවසමි. පින්වත් මහණෙනි. එය මෙවැනි දෙයකි. හිරු නැග එද්දී යම් කිසි ගොඩනැගිල්ලක ජනේලයෙන් හිරු රැස් පැමිණ බටහිර පැත්තේ බිත්තියට වැටෙයි. බටහිර පැත්තේ බිත්තිය නො තිබුණොත් එම හිරු රැස් පොළොවට වැටෙයි. යම් හෙයකින් පොළොව නොමැති නම් හිරු රැස් වැටෙන්නේ ජලයට යි. යම් හෙයකින් ජලයත් නොමැති නම් හිරු රැස් කිසි ම තැනක නො පිහිටයි.”
මෙලෙස මේ ආහාරයන් ගැන තණ්හාවෙන් යුක්ත වීම නිසා සසර ගමන යළි යළි සැකසෙන අයුරුත් එම තණ්හාව ම නිරුද්ධ වූ විට සසර ගමන අවසන් වන අයුරුත් බුදුරජාණන් වහන්සේ මැනවින් පෙන්වා දුන් සේක. සම්මා සම්බුදුරජාණන් වහන්සේනමක් විසින් මෙවැන්නක් නො වදාරන්නට දෙව් මිනිසුන් කිසිවෙකුත් භවය පෝෂණය වීමක් හෝ එයින් නිදහස් වීමක් දන්නේ නැත. තථාගත ධර්මයේ පිහිටා කටයුතු කරන ශ්රාවකයා අවිද්‍යාව දුරු කරයි.
තණ්හාව දුරුකරයි. විද්‍යාවත්, විමුක්තියත් සාක්ෂාත් කරයි. එවිට මේ ආහාරයන්ගෙන් ඔහුගේ සසර ගමන පෝෂණය ලබන්නේ නැත. ඒ උත්තම ශ්රාවකයා පහන් සිලක් නිවෙන සේ පිරිනිවී වඩින සේක. මෙවන් දහමක් වදාළ ශාස්තෘන් වහන්සේ ඒකාන්තයෙන් ම ආශ්චර්යවත් වන සේක. ඒ නිවන් මග වැඩි මහ සඟරුවනත් ආශ්චර්යවත් වන සේක. මේ සොඳුරු දහම අවබෝධ කර ගන්නට අපට ද වාසනාව උදා වේවා!
මහමෙව්නාවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් සම්පාදිතයි.
Recent Comments