අානාපානසතිය තුළ ඉදිරියට
ආනාපානසති භාවනාවට අදාළ මූලික දහම් කරුණු අපි ගියවර කලාපයෙන් ඉගෙන ගත්තා. එහි දී භාවනාවට වාඩි විය යුතු ආකාරය, කොන්ද කෙලින් තබාගත යුතු ආකාරය, ආශ්වාස, ප්‍රශ්වාස පැවැත්වීමේ දී සිහිය පවත්වාගත යුතු ආකාරය, අපි ඉගෙන ගත්තා. මෙවර අපි ආනාපානසතිය දියුණු කිරීමේ දී ඇලීමටත්, ගැටීමටත් ඉඩ නොදී කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව, කෙලෙසුන් ප්රහාණය කරන නුවණින් යුක්තව, සිහිය පවත්වන හැටි තවදුරටත් බුද්ධ දේශනාවට අනුව ම ඉගෙන ගනිමු.
සම්මා සතිය දියුණු කරගන්න
සම්මා සතිය තමයි ජීවිතාබෝධය කරා අපව සකස් කරවන්නේ. සම්මා සතිය දියුණු කරගන්න බැරිවුනොත් අපේ ජීවිත අවබෝධය කරා යන්නේ නෑ. එහෙම නම් සම්මා සතිය කියන්නේ අපේ ජීවිතයට අතිශයින් ම උපකාරී වන දෙයක්. එ් පිණිස භාග්‍යවතුන් වහන්සේ වදාළ ශී‍්‍ර සද්ධර්මය එ් ආකාරයෙන් ම ඉගෙන ගෙන, එ් ධර්මයට අනුව මෙනෙහි කරමින් සිහිය දියුණු කරගත යුතුයි.
භාග්‍යවතුන් වහන්සේගේ ශ්රාවකයා වෙමි මම්
භාග්‍යවතුන් වහන්සේ වදාලේ ධර්මය ප්‍රගුණ කරගැනීමේ දී, ශ්රාවකයා සිතිය යුත්තේ මේ අයුරින් කියායි. එනම් “භාග්‍යවතුන් වහන්සේ දන්නා සේක.” (ජානාති භගවා) “මම වනාහී නොදනිමි.” (අහං න ජානාමි) “භාග්‍යවතුන් වහන්සේ ශාස්තෘන් වහන්සේ වන සේක” (සත්ථා මේ භන්තේ භගවා) “මම වනාහී ශ්රාවකයා වෙමි.” (සාවකෝ හමස්මී) කියාය. එහෙම නම් අපි ආනාපානසති භාවනාව ඉගෙන ගත යුත්තේත්, ප්‍රගුණ කරගත යුත්තේත් භාග්‍යවතුන් වහන්සේ වදාළ ආකාරයට ම යි.
ආනාපානසතියේ පළමු පියවර
ගියවර කලාපයේ දී ආනාපානසති භාවනාව තුළ හුස්ම ඉහලට ගනිද්දීත්, පහල හෙලද්දීත් හොඳට සිහිය පිහිටුවාගෙන කරන හැටි අපි තේරුම් ගත්තා. සිහියෙන් යුක්තව හුස්ම ගන්නත් හෙලන්නත් පුරුදු වෙනකොට ඔබේ සිහිය හුස්ම රැල්ල කෙරෙහි ම පිහිටන්න පටන් ගන්නවා. එ් කියන්නේ බාහිරට සිත විසිරෙන්නේ නැතිව හුස්ම ගනිද්දිත්, හෙලද්දිත් එ් කෙරෙහි ම සිහිය පවත්වාගන්න පුළුවන් වෙනවා. (සතෝව අස්සසති – සතෝව පස්සසති) එ්ක තමයි ආනාපානසති භාවනාවේ පළමු පියවර.
සුසුම් පොදේ වෙනස්කම්
ඔබ එ් විදිහට සිහියෙන් යුතුව හුස්ම ගන්නකොට, හෙළනකොට, හුස්ම රැල්ලේ තියෙන වෙනස්කම් ඔබට දැනගන්න ලැබෙනවා. හිටපු ගමන් දිගට ආශ්වාසයක් දැනෙනවා. එ් කියන්නේ ඔබ දිගට හුස්ම ගන්නවා. එවිට ඔබ සිහියෙන් හිටපු නිසා ඔබ තේරුම් ගන්නවා දිග හුස්මක් ගන්නවා කියා. (දීඝං වා අස්සසන්තෝ දීඝං අස්සසාමීති පජානාති.) එ් වගේ ම දීර්ඝව හුස්ම හෙලන අවස්ථා එනවා. සිහියෙන් ඉන්න නිසා ඔබ තේරුම් ගන්නවා දැන් දිග හුස්මක් හෙලනවා කියා. (දීඝං වා පස්සසන්තෝ දීඝං පස්සසාමීති පජානාති) හිටපු ගමන් මේ ආශ්වාස කෙටි වෙනවා. එවිට ඔබ සිහියෙන් යුතුව සිටින නිසා තේරුම් ගන්නවා කෙටි ආශ්වාසයක් කියා. (රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති.) කෙටියෙන් හුස්ම හෙලනකොට ඔබ සිහියෙන් සිටින නිසා කෙටියෙන් හුස්ම හෙලීමක් කියා තේරුම් ගන්නවා. (රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමීති පජානාති.)
යතු කැටයෙකි උපමාවට ගන්නේ
බුදුරජාණන් වහන්සේ මෙතැන දී ලස්සන උපමාවක් පෙන්වා දෙනවා. උපමාව තමයි යතු ගාන්නට දක්ෂ බාස්සුන්නැහැ කෙනෙක් හරි, දක්ෂ ගෝලයෙක් හරි ඉන්නවා. සමහර වෙලාවට යතු කැටේ අතට අරගෙන අත දිග ඇරලා, දිගට යතුගාන කොට ඔහු දන්නවා දිගට යතු ගාන බව. (දීඝං වා අඤ්ඡන්තෝ දීඝං අඤ්ඡාමීති පජානාති.) සමහර අවස්ථාවලදී යතුකැටේ අතට අරගෙන කෙටියෙන් යතු ගානවා. එතකොටත් ඔහු දන්නවා කෙටියෙන් යතු ගානබව. (රස්සං වා අඤ්ඡන්තෝ රස්සං අඤ්ඡාමීති පජානාති) මෙන්න මේ වගේ කියලා දේශනා කරනවා. ආනාපානසති භාවනාවේ දී ත් දිගට ආශ්වාසයක් කරනකොට දිග ආශ්වාසයක් කියලා දැන ගන්නවා. අර බාස්සුන්නැහේ දිගට යතුගානකොට එ් බව දැනගන්නවා වගේ. එ් වගේ. එ් වගේ ම යත්ත ආපහු ගන්නකොට එ් බව දැනගන්නවා වගේ දිගට ප්රාශ්වාස කරනකොට දීර්ඝ ප්රාශ්වාසයක් කියා ශ්රාවකයා දැනගන්නවා. (එ්වමේව ඛෝ භික්ඛවේ භික්ඛු දීඝං වා අස්සසන්තෝ දීඝං අස්සසාමීති පජානාති. දීඝං වා පස්සසන්තෝ දීඝං පස්සසාමීති පජානාති.) කෙටියෙන් යතුගානකොට එ්ක බාස්සුන්නැහේ දැනගන්නවා වගේ, ශ්රාවකයා කෙටියෙන් ආශ්වාස – ප්‍රශ්වාස කරනකොට එ්කත් දැනගන්නවා. (රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති. රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමීති පජානාති.)
සාර්ථකත්වය රඳා පවතින්නේ ඔබේ උත්සාහය හා නුවණ මතයි
දැන් බලන්න, බුදුරජාණන් වහන්සේ මොනතරම් ලස්සන උපමාවක් ද මේක තේරුම්ගන්න දේශනාකොට වදාලේ. මේ විදිහට ආශ්වාස ප්‍රශ්වාස හොඳින් දැනගන්න කොට භාවනාව සම්බන්ධයෙන් ඔබේ සිහිය ආශ්වාස ප්‍රශ්වාස තුළ පිහිටලා තියෙන්නේ. දැන් ඔබට බාහිරට සිත විසිරෙන්නේ නැතිව ආශ්වාස ප්‍රාශ්වාසයේ ම සිත රඳවාගන්න පුළුවන්කම තියෙනවා. නමුත් එ්ක කරන්නේ ඔබේ උත්සාහය මත. ඔබේ නුවණ මත. ඔබේ සිහිය පැවැත්වීම මත. එ් කියන්නේ ඔබේ උත්සාහය අඩු කලොත්, ඔබ ආයෙමත් කලින් හිටපු තත්වයට වැටෙනවා. එම නිසා ඔබ කළ යුත්තේ දිගින් දිගට ම ආශ්වාස ප්රශ්වාසයේ ම සිහිය රඳවාගන්න එකයි. දැන් ඔබ දිගට හුස්ම ගන්න එක, දිගට හුස්ම හෙලන එක, කෙටියෙන් හුස්ම ගන්න එක, කෙටියෙන් හුස්ම හෙලන එක, හොඳට තේරෙනකොට, ඔබට පුළුවන්කම ලැබෙනවා සම්පූර්ණ ආශ්වාසය තේරුම් ගන්න. (සබ්බකාය පටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති) එ් කියන්නේ ආශ්වාසය ඇතුලු වීම, ආශ්වාසය ඇතුළු වෙලා ගමන් කරලා ඉවර වෙන කොට, සම්පූර්ණ ආශ්වාසය ගැන ඔබ තේරුම් ගන්නවා. එ් වගේ ම ප්‍රශ්වාසය ඉවරවෙනකොටත් ඔබ සම්පූර්ණ ප්‍රශ්වාසය ගැනම තේරුම් ගන්නවා ප්‍රශ්වාසය ඉවර වුනා කියා. (සබ්බකාය පටිසංවේදී පස්සසිස්සාමීතී සික්ඛතී)
ආශ්වාස ප්‍රශ්වාස ද එක්තරා කයකි
ආශ්වාස ප්‍රශ්වාස එක්තරා කයක් හැටියට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා. එ්කට හේතුව ආශ්වාස ප්‍රශ්වාස කය හා බැඳී පවතින දෙයක්. එ්කට කාය සංස්කාර කියලත් කියනවා. එතකොට ආශ්වාස ප්‍රශ්වාස කෙරෙහි සම්පූර්ණ අවධානයෙන් ආශ්වාස කිරීමත් ප්‍රශ්වාස කිරීමක් තේරුම් අරගෙන ඔබ එහි ම සිහිය රඳවනකොට, ඔබේ සිත සමාධිමත් වෙන්න පටන් ගන්න කොට, මේ ආශ්වාස ප්‍රශ්වාස සැහැල්ලු වෙනවා. (පස්සම්භයං කාය සංඛාරං අස්සසිස්සාමීති සික්ඛතී.)
ආශ්වාස ප්‍රශ්වාස සැහැල්ලු වෙනකොට, එය තේරුම් ගනිමින්, එ් ආශ්වාස ප්රශ්වාසයේ ම සිත පිහිටුවා ගන්නවා. එ් කියන්නේ හුස්ම ගන්නකොට හුස්ම සැහැල්ලූ වෙනවා. එ්ක තේරුම් ගනිමින් ආශ්වාස කරනවා. හුස්ම හෙලනකොට හුස්ම සැහැල්ලු වෙනවා. එ්ක තේරුම් ගනිමින් ප්‍රශ්වාස කරනවා. (පස්සම්භයං කාය සංඛාරං පස්සසිස්සාමීති සික්ඛති.) එතකොට ඔබ ආනාපානසතිය තුළ හුස්ම ගන්න හැටි, හුස්ම හෙලන හැටි, දීර්ඝ වශයෙන් හුස්ම ගන්න හැටි, දීර්ඝ වශයෙන් හුස්ම හෙලන හැටි, කෙටියෙන් හුස්ම ගන්න හැටි, කෙටියෙන් හුස්ම හෙලන හැටි, සම්පූර්ණ හුස්ම රැල්ල තේරුම් ගන්න හැටි, හුස්ම රැල්ල සැහැල්ලු වෙන හැටි තේරුම් ගනිමින් සිහියෙන් යුතුව ආනාපානසතිය තුළ කායානුපස්සනා සතිපට්ඨානය වඩන කෙනෙක් වෙනවා.
මතු සබැඳි…
මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් සම්පාදිතයි…
I want to practice this.