හැම අවුරුද්දක ම රටේ කොතැනක හරි මොනවා හරි විපතක් වෙලා යම් පිරිසක් අවතැන් වෙනවා. ගං වතුර, සුළි සුළං, නාය යෑම්… මේ වගේ විපතකින් සමහර වෙලාවට උන් හිටි තැන් පවා අහිමි වෙලා ඇඳිවතයි, අතට අසු වුණු දෙයයි විතරක් අරගෙන පාරට බහින්න කාට කාට හරි සිද්ධ වෙනවා. යුද්ධ කාලෙත් එහෙම වුණා. සුනාමියෙදිත් එහෙම වුණා. ඊට පස්සෙත් එහෙම වුණා. ඉස්සරහටත් එහෙම වෙනවා.

මේ හැම වෙලාවක දී ම උපද්‍රව නැතිව සිටින අනෙක් ජන පිරිස් තම තමන්ට හැකි පමණින් විපතට පත් සහෝදර ජනතාවට උපකාර කරන්න ඉදිරිපත් වෙනවා. මාධ්‍ය ඔස්සේ වගේ ම නොයෙක් ආයතන සහ සංවිධාන හරහාත් සහන සැලසීමේ ව්‍යාපෘතීන් දියත් වෙනවා. කෑම බීම, ඉඳුම් හිටුම්, ඇඳුම් පැලඳුම්, අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීම්, වෛද්‍ය සායන. බෙහෙත් හේත් ආදි වශයෙන් එ් එ් මොහොතට වුවමනා කරන උපකාර සියල්ලක් ම පාහේ නොපැකිල ව ලබා දෙන්න තරම් ත්‍යාගශීලී, නොමසුරු ගුණ ශෝභාවන් අපේ රටේ ජනතාව තුළ තවමත් තිබෙනවා. පසුගිය වෙසක් මාසයේ ඇති වූ ගංවතුර තත්ත්වයේ දීත් අපට මේ බව තහවුරු වුණා. දින ගණනාවක් පුරා අඛණ්ඩ ව සහන සලසපු පිරිස් නිසා විපතට පත් පිරිසට විශාල පහසුවක්, රැුකවරණයක් සැලසුනා.

එ් වගේ විපතක දී ලබා දෙන උපකාර උපද්‍රවය බැහැර වෙලා යම් කලක් යද්දි නුවමනා තත්ත්වයට පත් වෙනවා. තමන්ගේ ඕනෑ එපාකම් තනි තනියෙන් පිරිමහගන්න පුළුවන් මට්ටමකට ඔවුන් ළඟා වෙනවා. මේ විපතට ලක් වෙන්න කලින් තම තමන් උපයගෙන හරි හම්බ කරගෙන, තමන්ගෙ ම තැනක පාඩුවේ ජීවත් වුණේ යම් ආකාරයකින් ද එ් ආකාරය ජීවිතයට ළඟා කර ගන්න උපරිම කැපවීමකින් කටයුතු කරන්නට කාටත් සිද්ධ වෙනවා.

ඇත්තටම එ් වගේ විපතක ගොදුරු බවට පත් වුණාට පස්සේ කැමති වුණත්, අකැමති වුණත් අනුන්ගේ උපකාරයෙන් ජීවත් වෙන්න සිදු වෙන කාලයක් එනවා. උනන්දුව තියෙනවා නම් එ් කාලය හැකිතාක් අවම කර ගන්නට පුළුවනි. ඔව්. දෑත දෙපයේ සවි ශක්තිය තියෙනවා නම්, කර්මාන්තයක නියැළෙන්න පුළුවන්කම තියෙනවා නම්, රැක ගත් වස්තුවක් තියෙනවා නම් අහිමි වී ගිය ජීවන රටාව යළි ළඟා කර ගැනීම පිණිස උත්සාහයෙන්, වීර්යයෙන් කටයුතු කරන පිරිස් අනුන්ගේ කාරුණික හිත් මත යැපෙන කාලසීමාව අවම කර ගන්නවා. එහෙම නොවන පිරිස් විපත බැහැර ගොස් දිගු කාලයක් ගෙවී යද්දීත් කර්මාන්තයන්ගේ නියැළෙන්නට තරම් ජව සම්පන්න තම දෑත් දිගු කරමින් අන් අයගේ උපකාරය ම යදිනවා. නැති බැරි මොහොතේ බැරි අමාරුවෙන් වුණත් උපරිමයෙන් තමන්ට පිහිට වුණ, පිළිසරණ වුණ පිරිසට ම හිරිහැරයක්, කරදරයක් බවටත් එ් උදවිය පත් වෙනවා.

මේ ලෝකයේ සත්පුරුෂයන්ගේ ප‍්‍රශංසාව ලබන්නේ වීරියෙන් නැගී සිටින උදවිය මිස අනුන්ගෙන් යදින උදවිය නම් නෙවෙයි… පුළුවන් ආකාරයකින් නැගී සිටිමින් ඉහළට නැගෙන්නේ නැතිව අනුන්ගේ උපකාරයන් ම බලාපොරොත්තු වෙමින් එ් උපකාර ඉල්ලා සිටීම හීන දීන ස්වභාවයක් නෙවෙයි ද… මෙලොව ජීවිතය සැප සේ ගත කිරීම පිණිස වූ ප‍්‍රතිපදාව එය නෙවෙයි.

මෙලොව ජීවිතයේ හිත පිණිස, සැපය පිණිස උපකාරක වන බවට සම්බුදුරජාණන් වහන්සේ වදාළ කාරණා හතරක් ගැන අපට ධර්මයේ මුණගැසෙනවා. ව්‍යග්ඝපජ්ජ නමින් හඳුන්වන දීඝජානු කෝලිය පුත‍්‍රයා විසින් කාමභෝගී ගිහියන්ගේ දෙලොව යහපත පිණිස හේතු වන ධර්මයක් විමසා සිටි අවස්ථාවෙයි සම්බුදුරජාණන් වහන්සේ මේ ධර්ම පර්යාය වදාළේ.

‘‘ව්‍යග්ඝපජ්ජයෙනි, මේ ධර්මයන් සතරක් කුල පුත‍්‍රයා හට මෙලොව දී හිත පිණිසත්, මෙලොව දී සැප පිණිසත් හේතු වෙයි. එ් කවර සතරක් ද යත්; උට්ඨාන සම්පදා, ආරක්ඛ සම්පදා, කල්‍යාණමිත්තතා සහ සමජීවිකතා යි.

ව්‍යග්ඝපජ්ජයෙනි, නැගී සිටීමේ සම්පත්තිය නම් වූ උට්ඨාන සම්පදාව යනු කුමක් ද?

ව්‍යග්ඝපජ්ජයෙනි, මෙහිලා කුලපුත‍්‍රයෙක් යම් කර්මාන්තයකින් ජීවිතය ගෙවයි නම්, එනම්, ගොවිතැනින් වේවා, වෙළඳාමෙන් වේවා, ගව පාලනයෙන් වේවා, දුනු ශිල්පයෙන් වේවා, රාජ්‍ය සේවයෙන් වේවා, වෙනත් ශිල්පයකින් වේවා ජීවත් වෙයි නම් එහිලා ඔහු දක්ෂ වෙයි. කම්මැලි නො වෙයි. ක‍්‍රමානුකූල ව කිරීමට, පිළිවෙළකට කිරීමට, උපාය වීමංසන කුසලතාවයෙන් යුක්ත වෙයි. ව්‍යග්ඝපජ්ජයෙනි, මෙය නැගී සිටීමේ සම්පත්තිය යැයි කියනු ලැබේ.”

උට්ඨානසම්පදාවේ යෙදීම පිණිස අනුශාසනා කෙරූ සම්බුදුරජාණන් වහන්සේ එසේ නුවණින් යුක්ත ව ඉපැයූ ධනය, වස්තුව රැක ගනීමට කටයුතු කළ යුතු ආකාරයත් පෙන්වා වදාළා.

‘‘ව්‍යග්ඝපජ්ජයෙනි, රැුකීමේ සම්පත්තිය නම් වූ ආරක්ඛ සම්පදාව යනු කුමක් ද?

ව්‍යග්ඝපජ්ජයෙනි, මෙහිලා කුලපුත‍්‍රයා හට නැගී සිටි වීරියෙන් යුතු ව ලබන ලද, අතපය වෙහෙසීමෙන් රැුස් කරන ලද, ඩහදිය හෙළා උපදවන ලද, ධාර්මික වූ, ධාර්මික ව ලැබුණු යම් දේපළ වස්තුවක් ඇත්ද, එ්වාට නිසි ආරක්ෂාවත්, රැකවරණයත් යොදවයි. එනම්, ‘කිම, මාගේ මේ භෝගයෝ රජවරු පැහැර නො ගනිත් නම්, සොරු පැහැර නො ගනිත් නම්, ගින්නෙන් නො දැවෙයි නම්, ජලයෙන් ගසාගෙන නො යයි නම්, අප‍්‍රියයෝ ද දායාද කර නො ගනිත් නම් මැනැවැ’ යි. ව්‍යග්ඝපජ්ජයෙනි මෙය රැකීමේ සම්පත්තිය යැයි කියනු ලැබේ.”

මෙසේ නැගී සිටි වීරියෙන් යුක්ත ව උපයන, එසේ ඉපැයූ දේ මැනැවින් රැුකගන්නා කෙනාට කල්‍යාණමිත‍්‍රයන් මුණගැසීම මෙලොව ජීවිතය සාර්ථක කරවන තුන්වන කරුණ බවට පත් වනවා. ශ‍්‍රද්ධාවෙන් යුක්ත, සීල සම්පන්න, ත්‍යාගශීීලී, නුවණැති එ් කල්‍යාණමිත‍්‍රයා නිතර ඇසුරට සුදුසුයි. නිතර අල්ලාප සල්ලාපයට, නතර සාකච්ඡුාවට සුදුසුයි. එවන් කල්‍යාණමිත‍්‍රයන් ඇසුරට පත් වන කෙනා තුළත් දියුණු වන්නේ එ් ගුණධර්ම ම යි.

මේ ජීවිතයේ දී ම සාර්ථකත්වය ඇති කරලන හතරවන කරුණ තමයි ආදායමට සරිලන ලෙස වියදම් කළමනාකරණය කර ගැනීම. ලක්ෂයක් උපයන කෙනා, කෝටියක් වියදම් කරන්න කටයුතු යොදා ගන්නවා නම් එ් වියදම බොහෝ ප‍්‍රමාණයකින් ආදායම ඉක්මවා යනවා. ණය වන්නට සිද්ධ වනවා. නැති නම් වංචාවන් කරන්නට සිද්ධ වෙනවා. රටේ ලෝකයේ අන් අය කරන විදිහට කරන්න තමන්ට හැකි නො වෙන්න පුළුවනි. එහෙත් එ් කෙනා තමන්ගේ ආදායමට අනුව වඩාත් උසස් නො වූ වගේ ම වඩාත් හීන ද නො වූ ජීවිතයක් ගත කරනවා.

උට්ඨානසම්පදාව තිබුණා වුණාට, ආරක්ඛසම්පදාව තිබුණා වුණාට, කල්‍යාණමිත‍්‍රතාවය වගේ ම සමජීවිකතාවයත් තිබුණා වුණාට එ් කෙනා කෙරෙහිිත් උපද්‍රව නම් නෑවිත් තියෙන්නේ නෑ. හැබැයි මෙලොව දියුණුව සලසන මේ ධර්මයන් හතරෙන් සමන්විත කෙනා උපද්‍රවයකට පස්සේ ඉතා ඉක්මනින් නැගී සිටිනවා. ධාර්මිකව ම නැගී සිටිනවා. උපද්‍රවයක දී එ් කෙනාට විය හැකි හානියත් අවමයි. මොකද ඔහු ඉපැයූ දේ රැුකගැනීම පිණිස මැනැවින් කටයුතු යෙදූ කෙනෙක්. එ් කෙනා තවත් කෙනෙක් මත යැපෙන්නෙක් බවට පත් වන්නේ නැහැ. මඟ හැරිය නො හැකි ම අවස්ථාවක යැපෙන්නෙක් වූවත් ඉක්මනින් ම එ් යැපීම් තත්ත්වයෙන් නිදහස් වන්නට එ් කෙනා උත්සුක වනවා. එවැනි පුද්ගලයන්ට නැගී සිටින්නට අතහිත දෙන්න අන් අයත් පසුබට වන්නේ නැහැ.

මෙලොව ජීවිතය වගේ ම එ් කෙනාගේ පරලොව ජීවිතයත් සැපවත් කරවන කරුණු හතර දැනටමත් එ් කෙනා සතුයි. කල්‍යාණමිත‍්‍ර ඇසුරේ මේ පුද්ගලයා විසින් දියුණු කරන ශ‍්‍රද්ධා, සීල, චාග, ප‍්‍රඥ යන සම්පත්තීන් තමයි එ් කෙනාට පරලොව හිතසුව පිණිස පවතින්නේ.
නැගී සිටින වීර්යයෙන් යුක්ත වීම ම යි සෑම කල්හි ම සත්පුරුෂයන්ගේ ප‍්‍රශංසාවට ලක් වූයේ.

‘‘උට්ඨානවතෝ සතිමතෝ – සුචිකම්මස්ස නිසම්මකාරිනෝ
සඤ්ඤතස්ස ච ධම්මජීවිනෝ – අප්පමත්තස්ස යසෝහිවඞ්ඪති”

‘‘නැගී සිටින වීර්යයෙන් යුක්ත නම්, හොඳින් සිහිය පවත්වනවා නම්, පිරිසිදු ක‍්‍රියාවෙන් යුක්ත නම්, නුවණින් විමසා බලා කටයුතු කරනවා නම්, සංවර නම්, ධාර්මික ජීවිතයක් ගෙවනවා නම් අන්න එ් අප‍්‍රමාදී පුද්ගලයගේ කීර්ති රාවය ඉහළින් ම පැතිරෙනවා.”
(ධම්මපදය – අප්පමාද වර්ගය)

මුළුමහත් ලෝකය විසින් ම අසන ලද, දකින ලද, පර්යේෂණයට ලක් කරන ලද යම්තාක් දේවල් ඇත් ද එ් සියල්ල ම අවබෝධ කළ නිසාත් සම්බුදුරජාණන් වහන්සේට තථාගත කියා කියනවා. එ් තථාගතයන් වහන්සේ පරිපූර්ණ අවබෝධයකින් යුතු ව ම යි මේ දෙලොව සැපය, හිතසුව පිණිස පවතින ප‍්‍රතිපදාව ලෝකයට හෙළිදරව් කළේ. දෑත පා යදින්නට පෙර මේ එ්කාන්ත දියුණුව පිණිස පවතින, අභිවෘද්ධය පිණිස ම පවතින ෙදාරටු විවර කරගෙන සාර්ථකත්වය වෙත පියනැගීම පිණිස නැගී සිටින වීර්යයක් ඇති කර ගන්නට අපට හැකි නම්… කවර ව්‍යසනය නම් අප ව පසුපසට ඇද දමන්න ද…!

මේ, සම්බුදුරජාණන් වහන්සේනමකගේ පරිපූර්ණ වූ අවබෝධය ලොවට නිර්මල ව අසන්නට ලැබෙන කාලය යි එහෙයින් ම මේ යදින්නට නො ව, වීරියෙන් යුතු ව නැගී සිටින්නට ද කාලය යි…!

ඇසුර – ව්‍යග්ඝපජ්ජ සූත‍්‍රය, අං. නි. 5

සටහන
භාරත සූරියබණ්ඩාර