ගණඳුරින් වැහිල තියෙන ලෝකය අපි දකින්නේ වස්තූන් දෙකක පහළ වීමෙන්… මේ ලෝකෙට කවදාවත් හිරු මඬල කියල එකක් පෑයුවෙ නැත්නම් අපිට කතා කරන්නට ලෝකයක් ඉතිරි වෙන්නේ නෑ… කිසිවක් කිසිදා නියම ආකාරයෙන් දකින්නට ලැබෙන්නෙත් නෑ… අඳුර කියල එකක් ලෝකයේ තියෙන බව අපි දැනගන්නෙත් ආලෝකය යම් දවසක උදාවීමෙන් පසුව ම යි…. එ් වගේ ම යි සඳ මඩල. සඳ මඬල පායා ආවේ නැත්නම් හිරු මඬල ගිලී ගිය සැණෙකින් ලෝකය අඳුරේ ගිලී යනවා… හිරු මඬලෙන් ලබාගත්ත ආලෝකයෙන් ම යි සඳ මඬල දිලෙන්නෙත්. එ්ත් මේ සඳ මඬලත්, හිරු මඬලත් ලෝකයට එක විට පායන්නේ නම් නෑ… එ්ත් ඉතා ම කලාතුරකින් උදා වුණු දවසක එහෙම දෙයක් සිදුවුණා…

බොහෝ කාලයකට ඉස්සර මේ වෙසක් සඳ මඬල ලස්සනට පායා ආපු එක්තරා සුන්දර දවසක මේ ලෝකේ අසිරිමත් දෙයක් සිදු වුණා.. මේ ලෝකය සදහම් ආලෝකයෙන් එ්කාලෝක කළ බුදුරජාණන් වහන්සේනමක් මහ සඟ රුවන පිරිවරාගෙන මාවතේ වඩිනවා… තවමත් වැඩ නිම නො වූ එ් මාවත අද්දර අධිෂ්ඨානයක් හිත දරාගත් මහා පිනැති ජටාදර තවුසෙක් වැඩ සිටියා. මාවත මැද මඩ වළක්… එ් මග දිගේ වැඩියොත් සම්බුදු සිරිපතුල්වල මඩ තැවරෙනවා. ‘අනේ එ් සම්බුදු සිරිපා පියුම් මත මඩ බිඳක්වත් නො තැවරේවා! සම්බුදුරජුන් ඇතුළු මේ මහා සඟ පිරිස මාගේ සිරුර මතින් වැඩම කරත්වා…!’ කියා එ් ජීවිතයේ දී ම අරහත්වයට පත් වීමට තරම් පින තිබූ එ් සුමේධ නම් තවුසා දෙවරක් නො සිතා තම ජීවිතය බුදු සමිඳුන් වෙනුවෙන් අත්හැරියා.

එතුමා ළඟට වැඩම කළ එ් දීපංකර බුදුරජුන් මේ මහා පුරුෂයා දෙස බලා සම්බුදු මුව මඬල විවර කොට ලස්සන ගාථාවක් වදාළා.

පස්සථ ඉමං තාපසං
– ජටිලං උග්ගතාපනං
අපරිමෙයේය ඉතෝ කප්පේ
– බුද්ධෝ ලෝකේ භවිස්සති

‘‘උග‍්‍ර තපස් රකින මේ උතුම් තවුසා දෙස බලන්න. මෙයින් අසංඛෙයි්‍ය කල්ප ලක්ෂ හතරක් ඇවෑමෙන් මෙතුමා ගෞතම නමින් සම්බුදුරජාණන් වහන්සේනමක් බවට පත් වන්නේ ය.”

මේ විවරණ ආසිරි ලද එ් තවුසාණෝ එතැන් පටන් සම්බුද්ධත්වය වෙනුවෙන් පාරමී පිරුවා. සිතේ තිබුණා සුන්දර පැතුමක්.

බුද්ධෝහං බෝධයිස්සාමි
මුත්තෝහං මෝචයේ පරේ
තිණ්ණෝ හං තාරයිස්සාමි
සංසාරෝඝා මහබ්භයා

‘‘මමත් මේ වාගේ ම සම්බුද්ධත්වයට පත් වන්නෙමි. ලෝක සත්වයාට සත්‍යය අවබෝධ කරවන්නෙමි. දුකින් මිදී ලෝක සත්වයන් ද දුකින් මුදවා ගන්නෙමි. බියකරු සංසාර සැඩ පහරින් මිදී, ලෝ සතුන් ද එතෙර කරවන්නෙමි.”

එදා පටන් අසංඛෙයිය කල්ප ලක්ෂ හතරක් තිස්සේ මේ වෙසක් පුන් සඳ මඬල එ් උතුම් පැතුම වෙනුවෙන් අනන්ත දුක් දොම්නස් විඳිමින් පාරමිතා පුරන එ් බෝසතාණන් වහන්සේ දෙස බලා සිටියා.

තවත් දවසක එ් ලස්සන වෙසක් පුන් සඳ මඬල නැගෙනහිර ආකාසේ මෝදු වෙමින් තිබුණා. එදා ලෝකයේ කිසිවෙකුට නො දැනී අසිරිමත් සිදුවීම් රැුසක් සිදුවෙමින් තිබුණා… ගයාවේ ගං තීරයේ පුංචි බෝධි අංකුරයක ළා දලූපතක් මෝදු වෙමින් තිබුණා… එ් සම්බුදුරජුන් පහළ වු කල දෙසන දම් කඳ මතකයෙන් දරා වැඩ සිටින්නට තරම් මහා පුණ්‍යවන්ත වූ එ් ආනන්ද නම් වූ පින්වත් පුත් කුමරුගේ උපත සිදුවෙමින් තිබුණා… එදා දීපංකර පාද මූලයේ කළ පැතුමක් පරිද්දෙන් නිරන්තරයෙන් බෝසතුන්ට උපකාර කරමින් නොයෙකුත් ජීවිතවල දී පාද පරිචාරිකාව වූ එ් රාහුලමාතාවන්ගේ උපත සිදුවෙමින් තිබුණා… ගිහි කාලය පුරා ම එ් මහා බෝසතුන් පසුපස යමින් රැුකවරණය සලසන ඡුන්න නම් වූ පින්වත් පුතෙකුගේ උපත සිදුවෙමින් තිබුණා…. එ් මහා බෝසතුන් ගිහි ගෙය හැර යන උතුම් ගමනට උදවු දෙන කන්ථක නම් වූ අසුගේ උපත සිදුවෙමින් තිබුණා. එ් වාගේ ම එ් සම්බුදු වීරයාණන් වහන්සේට යම් දිනක ඤතී සංග‍්‍රහය පිණිස ධර්ම චාරිකාවේ වඩින්න යැයි ආරාධනා කරන කාළුදායි නම් පින්වත් පුතුගේ උපත ද සිදු වෙමින් තිබුණා… සතර මහා නිධානයේ පහළ වීමත් සිදුවෙමින් තිබුණා.

එ් මහ බෝසතාණන් වහන්සේගේ පාරමිතා බල මහිමයෙන් මේ සියල්ල කාටත් හොරා සිදුවෙමින් තිබිය දී එදා ලූම්බිණි සල් වනයේ සල් ගස් පවා සිත් පිත් ඇති අය බවට පත්වුණා. එ් බෝසත් පුතු නහවමින් මහ පොළවෙන් උණූ පැන්, ඇල් පැන් ලෙස දිය දහරා දෙකක් මතු වුණා. දහසක් සක් ලකුණින් ශෝභමාන වු එ් සිඟිති සම්බුදු සිරිපා මේ මහ පොළව මත පතිත වෙද්දී මහ පොළව කම්පිත වුණා. රත් පියුම් හතක් පැන නැංගා එ් බෝසත් සිරිපතුල් සිප ගන්නට.

එ් වාගේ ම තවත් දවසක එ් වෙසක් පුන් සඳ මඬල පායා එද්දී ගයාවේ ගංතීරයේ බෝ සත් උපතත් සමඟ ම පහළ වූ එ් ජය ශ‍්‍රී බෝධි මූලයේ සෙවණේ එ් මහා බෝසතුන් ලෝකයේ ඇත්ත දකින්නට තම නුවණැස මෙහෙයවමින් වැඩ සිටියා…

මේ අසහාය උත්සාහය පරදවන්නට වසවත් මරුන් දස බිම්බරක් මරසෙන් සමඟ පැමිණ සිටියා…

‘‘එම්බා පවිටු මාරය, මගේ මේ වීරියට පුළුවනි අර ගලා බසින නදිය වියළවා දමන්නට. ඉතින් මාගේ ලේ දහර වියළී යතොත් වියළී ගියාවේ. සම් මස් ඉතිරි වෙතොත් ඉතිරි වුණාවේ… කෙලෙස් සහිත ව ජීවත් වනවාට වඩා මේ සටනින් මිය යාම මට උතුම්.”

එ් වජ‍්‍රමය අධිෂ්ඨානය හමුවේ මහපොළව ගුගුරා ගියා. වසවත් මරු ඇතු පිටින් ඇද වැටී පැරද පලා ගියා.

එ් සම්බුදු නුවණට ලෝකයේ ආලෝකය උදා වුණා
දුක කියන්නේ මේකයි, එය අවබෝධ කළ යුතුයි කියලා පිරිසිඳ අවබෝධ වුණා.
දුකට හේතුව මේකයි, එය ප‍්‍රහාණය කළ යුතුයි කියල අවබෝධ වුණා.
දුක නැති වීම කියන්නේ මේකයි, එය අත්දැකිය යුතුයි කියල අවබෝධ වුණා.
දුක නැති කරන මඟ නම් මෙයයි, එය ප‍්‍රගුණ කළ යුතුයි කියා අවබෝධ වුණා.
ආශ‍්‍රව කියන්නේ මේවයි කියල අවබෝධ වුණා.
ආශ‍්‍රව හටගන්නෙ මෙහෙමයි කියල අවබෝධ වුණා.
ආශ‍්‍රව නැතිවන්නේ මෙහෙමයි කියල අවබෝධ වුණා.
එ් ආශ‍්‍රව නැතිකරන මාර්ගය වඩලා එ් ආශ‍්‍රව මුළුමනින් ම අවසන් කළ බව අවබෝධ වුණා.
මේ ලෝකයට මහා පුණ්‍ය ගංගාවල් තුනක උල්පත පහළ වුණා.

අන්න එ් වෙලාවේ සඳ මඬල පායා තිබිය දී ම මේ ලෝකේ මහා හිරු මඬල උදා වුණා. සඳ එළිය පරදා අවිද්‍යා ගණ අඳුරින් වැසී තිබුණ ලෝකය එ්කාලෝක කරමින් ප‍්‍රඥාලෝකය පහළ වුණා.

පන්සාලිස් වසක් ඇදහැළුන එ් සදහම් අමා වැස්ස තුරල් වන ලකුණූ පහළ වුණා…. එ් සම්බුදු කිස නිම වෙමින් තිබුණා. දඹදිව් තලය පුරා පා ගමනින් වැඩම කළ එ් සම්බුදු සිරිපතුල් ඉදිමී ගොස් තිබුණා. සල් ගස් අතරේ උතුරට හිස දමා එ් ලෝකනාථයන් වහන්සේ සැතපෙන යාමයේ ආයෙමත් එ් පුන්සඳ මඬල වලා අතරට වී සොවෙන් බලා සිටියා… ‘අහෝ… එ් මහා හිරු මඬල බැස යන්නටයි සූදානම… යළිත් මේ ලෝ තලයේ මා තනිවෙනවා නොවෙ ද?’

සම්බුදුරජුන් ලොව දෙස නෙත් යොමු කළා. සයුරෙන් වට වු රත්තරන් දිවයිනක් දෙස බුදු නෙත යොමු වුණා… එ් පුංචි රට වෙනුවෙන් එ් අවසන් නිමේෂයේ පවා අධිෂ්ඨාන පහක් කොට වදාළා.

පින්වත් සක් දෙවිඳුන්ට මෙසේ වදාළා.

පතිට්‌ඨිස්‌සති දේවින්‌ද
– ලංකායං මම සාසනං
තස්‌මා සපරිවාරං තං
– රක්‌ඛ ලංකඤ්‌ච සාධුකං

‘‘පින්වත් දෙවිඳුනි… මාගේ ශාසනය පිහිටන ලංකාව නම් වූ රන් දිවයිනක් තිබෙයි පිරිවර සමඟ ගොස් එ් රට හොඳින් සුරකින්න.”

එ් සම්බුදුරජුන් ශ‍්‍රාවක සංඝයා ව ඇමතුවා.

‘‘එසේ නම් මහණෙනි, දැන් ඔබ අමතමි. හේතු ප‍්‍රත්‍යයන්ගෙන් සකස් වූ සංස්කාරයෝ නැසෙන ස්වභාවයෙන් යුක්ත වෙති. අප‍්‍රමාදී ව නිවන් අවබෝධ කරනු පිණිස වෑයම් කරව්.”

එසේ පවසා වදාළ, ලෝකයේ එක ම දහම් ඇස නිවී ගියා… ලෝකය එ්කලෝක කළ එ් හිරු මඬල නිවී ගියා. එ්ත් එ් හිරු මඬලේ ආලෝකයෙන් ආලෝකවත් වුණ සඳ මඬල තාමත් පායා එනවා. අර නැගෙනහිර ආකාසේ මෝදු වෙමින් එන්නේ එ් පුන්සඳ මඬලයි… ‘‘බුදු සමිඳුන්ගේ බුදු නෙත යොමු වූ එ් ධාතු කරඩුවක් වන් වූ දේශය තුළ උපන් සුජාත දරුවනි… දැන් ඉතින් නො පමා වන්න… සිල්වත් වන්න… එ් දහම දකින්නට අප‍්‍රමාදී වන්න…” එ් සඳ මඬල නිහඬ ව එසේ පවසනු ඔබට ඇසෙනවා නො වෙ ද?

සටහන
සුදර්ශන ශ‍්‍රී විජේසිංහ