අපේ ජීවිතයට දැනුම ලැබෙන ප්‍රධානතම මාධ්‍යයක් වන්නේ ශ්‍රවණය යි. වර්තමානයේ පාසැල් විශ්වවිද්‍යාල ආදි ආයතනයන්ගෙන් අධ්‍යාපනය ලබන්නේ ඇසීම කියන මූලික ක්‍රමය උපයෝගී කරගෙනයි. සමාජයේ දේශපාලන, සමාජ, ආගමික, ආර්ථික… මේ ආදි බහුතරයක් ප්රවාහයන් සමාජගත වෙලා තිබෙන්නේ ප්‍රධාන වශයෙන් ඇසීම මුල් කොටගෙනයි.
අපට එදිනෙදා නමුත් ඇසෙන දේ පිළිගන්නට නම්, කියන්නා කෙරෙහි ද කියන කාරණා කෙරෙහි ද අපේ සිතේ පිළිගැනීමක් කැමැත්තක් තිබෙන්න ඕන. නිහතමානී කීකරු කෙනාට, ගුණවත් බව ඇති සත්පුරුෂ කෙනාට, ශ්‍රද්ධාව ඇති කෙනාට කුසල් සහිත දේ ඇසෙන විට එය දරා ගන්නට හිත් පහළ වෙනවා. එ්ක ධර්මතාවයක්.
තථාගතයන් වහන්සේනමක් හෝ තථාගත ශ්‍රාවකයෙක් කියා දෙන බුද්ධ වචනයට අප කියන්නෙ ‘ ඕවාද’ නැතිනම් අවවාද කියලයි. අන්න එ් අවවාදය ම දරාගන්නා ශ්රාවකයා තමයි එ් අවවාද යෝනිසෝමනසිකාරය කරන්නේ. ඇයි අප තථාගතයන් වහන්සේනමකගේ අවවාද පිළිපැදිය යුත්තේ?
භාග්‍යවතුන් වහන්සේ කියා දෙනවා, ‘‘පින්වත් මහණෙනි, විශිෂ්ට ඤාණයකින් අවබෝධ නො කොට නොව, විශිෂ්ට ඤාණයකින් අවබෝධ කරගෙන ධර්මය දේශනා කරන්නා වූ, හේතු රහිතව නොව, හේතු සහිතව ධර්මය දේශනා කරන්නා වූ, ප්රාතිහාර්යය රහිතව නොව, ප්රාතිහාර්යය සහිතව ධර්මය දේශනා කරන්නා වූ එ් මාගේ අවවාදය පිළිපැදිය යුතුයි. අනුශාසනාව පිළිපැදිය යුතුයි.” කියලා.
පින්වත් මහණෙනි, ඔබට සතුටු වෙන්නට පුළුවනි. සතුටු සිත් ඇති කර ගන්න පුළුවනි. සොම්නසක් ඇති කර ගන්න පුළුවනි. ‘එ් භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ස්වාක්ඛාතයි. ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි’ කියලා.
තමාට ම අත් විඳිය හැකි ප්රාතිහාර්යයක් ඇති ධර්මයක් ඇහෙනවා නම් එ් තථාගත ධර්මයෙන් මිස වෙන කොයින් ද? අන්න එ් ප්රාතිහාර්යය ඇසෙන සත්පුරුෂයා මේ සසරින් නිදහස් වෙන මාර්ගයට ඉවසීමෙන් පිවිසෙනවා. ධර්මයේ හික්මීම උදෙසා සියලූ බුදුවරුන් අවවාද කරන්නේ මෙන්න මේ ආකාරයට යි. මේ තමයි ඕවාද ප්රාතිමෝක්ෂය කියා කියන්නේ.
ඛන්ති පරමං තපෝ තිතික්ඛා
නිබ්බාණං පරමං වදන්ති බුද්ධා
නහි පබ්බජිතෝ පරූපඝාති
සමණෝ හෝති පරං විහේඨයන්තෝ
ඉවසීම නම් වූ ක්ෂාන්තිය උතුම් තපසයි. බුදුවරු නිවන උතුම් යැයි පවසති. අනුන් පෙළන තැනැත්තා කිසිදා පැවිද්දකු නො වේ. අනුන් වෙහෙස කරන තැනැත්තා කිසිදා ශ්‍රමණයකු නො වේ.
අනූපවාදෝ අනූපඝාතෝ
පාතිමොක්ඛේච සංවරෝ
මත්තඤ්ඤුුතාච භත්තස්මිං
පන්ථංච සයනාසනං
අධිචිත්තේ’ච ආයෝගෝ
එ්තං බුද්ධානසාසනං
අනුනට අපවාද නො කිරීම ද, අනුන් තලා පෙළා හිංසා පීඩාවට පත් නො කිරීම ද ශික්ෂා පද සීලයේ මනාව සංවරව පිහිටා සිටිම ද සිව්පසය පමණ දැන පරිභෝග කිරීම ද විවේක ස්ථානවලට වී භාවනා කිරීම ද සමථ විපස්සනා ධ්‍යාන අභිඥා මාර්ග ඵල උපදවා ගැන්ම ද මෙය ලොව පහළ වූ සියලූ බුදුවරුන්ගේ අනුශාසනාව යි.
සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං
එ්තං බුද්ධානසාසනං
සියලූ අකුසල් නො කිරීම ද කුසල් වැඩි දියුණු කිරීම ද එයින් සිය සිත පිරිසිදු කර ගැන්ම යන මෙය ලොව පහළ වූ සියලූ බුදුවරුන්ගේ අනුශාසනාව යි.
බලන්න, මේ ආකාරයට අවවාදය ඇසෙන විට නො වේද සිත අප්‍රමාදයට පත් වන්නේ? භාග්‍යවතුන් වහන්සේ කොසොල් රජතුමාට පෙන්වා දෙනවා…
‘‘පින්වත් මහාරාජ, කල්‍යාණ මිත්‍රයන් ඇතුව, කල්‍යාණ යහළුවන් ඇතුව, කල්‍යාණ මිත්‍ර ඇසුරට නැඹුරු වෙලා ඉන්න කොට ඔබත් මේ එක ම එක ධර්මය ඇසුර කරගෙන ඉන්නට ඕන. එ්ක තමයි කුසල් දහම්වල අප්රමාදී බව…” සම්බුද්ධ ශාසනයක ආරම්භය සිතක සනිටුහන් වෙන්නේ අවවාදයට සිත නැමෙන සත්පුරුෂ සිතක් උපදවා ගැනීමෙන් ම යි. ශාන්ත සත්පුරුෂයා ධර්මය අහන විට ඔහු එ්ක දරා ගන්නවා. වචනයෙන් පුරුදු කරනවා. යෝනිසෝමනසිකාරයේ යෙදෙමින් සම්මා දිට්ඨියට පැමිණෙනවා.
එසේ නම් කෙනෙකුගේ ජීවිතයට නිවන් මඟ සම්පූර්ණයෙන් ම වැඞී යන්නට තිබෙන එ්කාන්ත උපකාරය තමයි සම්බුද්ධ අවවාදය. ආනන්ද මහරහතන් වහන්සේ මෙසේ වදාරනවා. ‘ස්වාමීනී, මේ නිවන් මාර්ගයේ හරියට ම භාගයක් පවතින්නේ කල්‍යාණ මිත්‍රත්වය මතයි. කල්‍යාණ යහළුවන් මතයි. කලණ මිතුරන්ගේ ඇසුර මතයි’ කියලා.
එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ‘‘පින්වත් ආනන්ද, එහෙම කියන්න එපා! පින්වත් ආනන්ද, එහෙම කියන්න එපා! පින්වත් ආනන්ද, මේ නිවන් මඟ සම්පූර්ණයෙන් ම පවතින්නෙ කල්‍යාණ මිත්‍රත්වය මතයි. කල්‍යාණ යහළුවන් මතයි. කලණ මිතුරන්ගේ ඇසුර මතයි. පින්වත් ආනන්ද, කල්‍යාණ මිත්‍රත්වය ඇති, කල්‍යාණ යහළුවන් ඉන්න, කලණ මිතුරන්ගේ ඇසුරට යොමු වුණ භික්ෂුව ‘ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවා, ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල වශයෙන් දියුණු කරනවා’ යන කරුණ කැමති වෙන්න ඕන.”
කලණ මිතුරු ඇසුරේ අවවාදයේ රැකවරණය ලබමින් නිවන් මඟ පුරුදු කරන්නට අප සියලූ දෙනාට වාසනාව උදා වේවා..!
Recent Comments