එක ම එක පුද්ගලයෙකුගේ පහළ වීම මේ ලෝකයේ බොහෝ දෙව් මිනිසුන්ට යහපත පිණිස, සැපය පිණිස පවතිනවා. ඒ වගේ ම ආශ්චර්යවත් මනුෂ්‍ය රත්නයක් ලෙස මේ ලෝකයේ උපදින එක ම එක පුද්ගලයෙක් ඉන්නවා. ඒ එක ම එක පුද්ගලයා තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේයි. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වුණේ වයස අවුරුදු තිස් පහේ දී. උන් වහන්සේ පිරිනිවන් පෑවේ වයස අවුරුදු අසූවේ දී. ඒ අවුරුදු හතළිස් පහක කාලසීමාව තුළ උන් වහන්සේ වැඩ සිටියේ මේ ලෝකයේ කිසිවෙකුට දෙවැනි නො වූ පරිපූර්ණ වූ සීලයක් දරාගෙනයි. පරිපූර්ණ වූ සමාධියක් දරාගෙනයි. පරිපූර්ණ වූ ප‍්‍රඥවක් දරාගෙනයි. අපි මේ ලිපියෙන් ඔබට පැහැදිලි කර දෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ ‘විජ්ජාචරණ සම්පන්න’ ගුණය පිළිබඳවයි.
‘විජ්ජා’ කියන්නේ විද්‍යාව. ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය, ප‍්‍රඥව, ඤණය විද්‍යාව ලෙසින් හඳුන්වනවා. උන් වහන්සේට පුළුවන් මේ සංසාරේ පෙර ගත කරපු ජීවිත ආත්ම භාව ලක්‍ෂ ගණන්, කල්ප ගණන් ආපස්සට සිහි කරන්න. කල්පය කියන්නේ ඉතා දීර්ඝ කාල පරිච්ෙඡ්දයකට කියන නමක්. කල්පයකට මෙතරම් අවුරුදු ගණනක් තියෙනවා කියලා සංඛ්‍යාවකින් කියන්න බැහැ. බුදුරජාණන් වහන්සේ කල්පය ගැන උපමාවක් වදාළා.
යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උස, යකඩ පවුරකින් වටවෙච්ච නගරයක් තියෙනවා. මේක ඇතුළේ සම්පූර්ණයෙන් ම අබ ඇට පුරවලා තියෙනවා. අවුරුදු සියයකට වතාවක් එක පුද්ගලයෙක් එතැනින් එක අබ ඇටය ගානේ අයින් කරනවා. මේ විදිහට අවුරුදු සියයකට වතාවක් එක අබ ඇටය ගානේ අයින් කරලා ඒ අබ ඇට සියල්ල ම අවසන් වීමට යම් කාලයක් ගත වෙනවා ද ඒත් කල්පය අවසන් වෙන්නේ නැහැ. ඒතරම් දීර්ඝ කාල පරිච්ෙඡ්ද සිය දහස් ගණන් අතීතයේ ගත කරපු ජීවිත සිහි කර බලන්න බුදුරජාණන් වහන්සේට පුළුවන්. ‘කොහේද ඉපදිලා හිටියේ? කවුරු වෙලා ද ඉපදිලා හිටියේ? ඒ කාලේ නම මොකක්ද? කෑවේ බිව්වේ මොනවා ද? සැප දුක් වින්ඳේ කොහොමද? කොහොමද මරණයට පත්වුණේ? ඒ මැරිලා නැවත කොහේද ඉපදුණේ?’ මේ විදිහට විස්තර වශයෙන් සිහි කරන්න පුළුවන්. එම හැකියාව හඳුන්වන්නේ ‘පුබ්බේ නිවාසනුස්සති ඤාණය’ ලෙසයි.
ඒ වගේ ම බුදුරජාණන් වහන්සේට පුළුවන් මේ ලෝක සත්වයන් කර්මානුරූපව සුගති, දුගති ලෝකවල උපදින හැටිත් – චුතවෙන හැටිත් දිවැසින් දකින්න, එයට කියන්නේ ‘චුතූපපාත ඤණය’ කියලයි. ඒ වගේ ම වෙනත් සත්වයන්ගේ – වෙනත් පුද්ගලයන්ගේ සිතේ පවතින ස්වභාවයත්, ඔවුන් සිතන දේත් දැනගන්න උන් වහන්සේට පුළුවන්. එය ‘පරචිත්ත විජාණන ඤණයයි.’ ලොකයේ ඕනෑම තැනක ඕනෑම දුරක සිටින දෙවියන් මිනිසුන් කතාබස් කරන දෙවල් අහන්නත් බුදුරජාණන් වහන්සේට පුළුවන්. එයට කියන්නේ ‘දිබ්බ සෝත ඤණය’ කියලයි.
බුදුරජාණන් වහන්සේට තිබුණු තවත් සුවිශේෂී හැකියාවක් තමයි නොයෙක් ආකාරයේ ඍද්ධි ප‍්‍රාතිහාර්යයන් පෑමේ හැකියාව. උන් වහන්සේට තනි කෙනෙක් හැටියට පෙනී ඉඳලා බොහෝ දෙනෙක් හැටියට පෙනී ඉන්න පුළුවන්. බොහෝ දෙනෙක් හැටියට පෙනී ඉඳලා තනි කෙනෙක් හැටියට පෙනී ඉන්නත් පුළුවන්. බිත්ති, ප‍්‍රාකාර, පර්වත හරහා සිරස් අතටත් තිරස් අතටත් විනිවිද ගමන් කරන්න පුළුවන්. ජලයෙහි කිමිදෙන්නා සේ පොළොවේ කිමිදීමත් උඩට මතුවීමත් කරන්න පුළුවන්. කුරුල්ලෙක් අහසේ පියඹා යනවා වගේ අහසේ පළඟක් බැඳගෙන වාඩිවෙලා ඉන්නත් පුළුවන්. සක්මන් කරන්නත් පුළුවන්. මේ සා මහා ඍද්ධිමත් මහානුභාව සම්පන්න හිරුත් සඳුත් අතින් ස්පර්ශ කරන්න පුළුවන්. බඹලොව දක්වා කයෙන් වසඟ කරන්නත් පුළුවන්. ඒ වගේ ම තම සිරුරින් එකවිට ගිනිදැල් හා දිය දහරා විහිදුවන්නත් පුළුවන්. ‘යමක මහා ප‍්‍රාතිහාර්යය’ කියන්නේ එයටයි.
මේ සියලූ ඤණයන් බුදුරජාණන් වහන්සේ ලබාගත්තේ තම සිත දියුණු කිරීමෙනුයි. උන් වහන්සේ නොයෙක් අවස්ථාවල ඍද්ධි ප‍්‍රාතිහාර්යය පෑවත් ඒ් පිළිබඳ වර්ණනා කළේ නැහැ. ප‍්‍රාතිහාර්යය දැක්වීමෙන් මිනිසුන් ව තමන් වෙත නම්මා ගැනීමට හෝ පහදවා ගැනීමට උන් වහන්සේ කිසිසේත් කැමති වුණේ නැහැ. මොකද මේ ප‍්‍රාතිහාර්යයන් නොයෙක් මන්තර ශාස්ත‍්‍ර බලයෙනුත්, මායා බලයෙනුත් පෙන්වන්න පුළුවන් නිසා. ඒ වගේ ම මේ ප‍්‍රාතිහාර්යය පෑම තුළින් මිනිසුන් තුළ තාවකාලික පැහැදීමක් ඇතිවන නමුත් එයට මිනිසාගේ ප‍්‍රඥව, බුද්ධිය දියුණු කළ නො හැකියි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සෑම විට ම මහන්සි ගත්තේ චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කිරීම තුළින් දෙව් මිනිසුන්ගේ ප‍්‍රඥව දියුණු කිරීමට යි.
ඒ වගේ ම බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ සිත තුළ පැවති සියලූ ආශ‍්‍රව ප‍්‍රහාණය කළා. ආශ‍්‍රව තුනක් තියෙනවා. පංච කාමයන් කෙරෙහි තියෙන ආශාව (කාම ආශ‍්‍රව), විපාක විඳින්න කර්ම සකස්වීම (භව ආශ‍්‍රව), චතුරාර්ය සත්‍යය පිළිබඳ අනවබෝධය (අවිද්‍යා ආශ‍්‍රව). මේ ආශ‍්‍රව බුදුරජාණන් වහන්සේ තම සිතින් මුල් පිටින් ම උදුරලා දැම්මා. නැවත හටනොගන්නා ලෙසට ම අභාවයට පත්කළා. ඒ ගැන ඇති අවබෝධය ‘ආසවක්ඛය ඤාණයයි’. මේ ලෝකයේ කිසිවෙකුටවත් ‘ඔබ වහන්සේ සියලූ කෙලෙස් ප‍්‍රහාණය කළා කිව්වට මේ මේ කෙලෙස් තවමත් ඔබ වහන්සේ තුළ තියෙනවා නෙව’ කියලා බුදුරජාණන් වහන්සේට චෝදනා කරන්න බැහැ, අභියෝග කරන්න බැහැ. මේ සියලූ ඤණයන් අයත් වන්නේ බුදුරජාණන් වහන්සේගේ විද්‍යාවටයි.
‘චරණ’ යනු හැසිරීමයි. සීලය, ඉන්ද්‍රිය සංවරය, සිහි නුවණ, සමාහිත සිත් ඇති බව, ඉවසීම, වීර්යය, අට ලෝ දහමින් කම්පා නො වීම ආදි ගුණධර්ම අයත් වන්නේ බුදුරජාණන් වහන්සේගේ චරණ ධර්මයන්ටයි. බුදුරජාණන් වහන්සේ කිසි ම දිනක කිසි ම සතෙකුට හිංසාවක් පීඩාවක් කළේ නැහැ. තමන් ජීවත් වීමට කැමති – මරණයට අකමැති කෙනෙකු සේ ම අන් සියලූ සත්වයෝමත් ජීවත් වීමට කැමති – මරණයට අකමැති අයයි. ඒ නිසා උන් වහන්සේ කිසි විටෙක බිලි පූජා අනුමත කළේ නැහැ. මිනිස් කළලයේ සිට මරණ මංචකය දක්වා කිසිඳු මනුෂ්‍යයෙකුව ඝාතනය කිරීම පිණිස උන් වහන්සේ වචනයකින් හෝ චේතනාවකින්වත් අනුබල දුන්නේ නැහැ. තමන් වහන්සේ ව විනාශ කිරීමට පැමිණි අය කෙරෙහි පවා මෙත් සිත ම පැතිරූ බුදුරජාණන් වහන්නේ තම ආගම ව්‍යාප්ත කිරීමේ අදහසින් මනුෂ්‍ය වර්ගයාට එරෙහිව අවි එසවූයේ නැහැ. එමෙන් ම උන් වහන්සේ අන් සතු වස්තුව සොරකම් කළේ හෝ බලහත්කාරයෙන් පැහැරගත්තේ නැහැ. උන් වහන්සේ පරම පාරිශුද්ධ වූ බ‍්‍රහ්මචාරී ජීවිතයක් ගත කොට වදාළා.
ඒ වගේ ම බුදුරජාණන් වහන්සේ මුසා බස් පවසා ලෝකයාව මුළා කළේ නැහැ. කේළාම් කියා එකිනෙකා බිඳවූයේ නැහැ. අන් අය තුළ ද්වේෂය ඇතිවෙන නපුරු වචන කථා කළේ නැහැ. අර්ථ ශූන්‍ය හිස් වචන, විහිළු තහළු, දේශපාලන කථා ආදිය උන් වහන්සේගේ කථාබහට සම්බන්ධ වුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ කථා කළේ ධර්මය පමණයි, හික්මෙන්නට වුවමනා දේ පමණයි. අර්ථවත් දේවල් පමණයි. සත්‍ය වූ දේවල් පමණයි. මතක තබාගැනීමට සුදුසු දේවල් පමණයි. එය ද සුදුසු කාලයටයි. සීමා සහිතවයි.
ඒ වගේ ම බුදුරජාණන් වහන්සේ ආරාමයෙන් පිටතට වඩින විට පළමුවෙන් ම පෙරට තබන්නේ තමන්ගේ දකුණු පාදයයි. උන් වහන්සේ ඉතා දුරින් පියවර තබන්නේ නෑ. ඉතා ළඟිනුත් පියවර තබන්නේ නෑ. ඉතා වේගයෙන් පියවර තබන්නේත් නෑ. ඉතා සෙමින් පියවර තබන්නේත් නෑ. උන් වහන්සේ වඩින විට සිරුර එහාට මෙහාට සොලවන්නේත් නෑ. බුදුරජාණන් වහන්සේ වඩිද්දී සෙලවෙන්නේ යටිකය විතරයි. උන් වහන්සේ බලද්දී මුළු කය ම හරවා බලනවා. කලබලයෙන් වටපිට බලන්නේත් නෑ. වික්ෂේපයෙන් බලන්නේත් නෑ. විය දණ්ඩක් පමණ දුර පමණක් බලනවා. උන් වහන්සේගේ සාමාන්‍ය බැලීම එසේ වුණත් ඤණ දර්ශනය නම් කිසි දේකින් වැහිලා නෑ.
බුදුරජාණන් වහන්සේ ගමට පිවිසුන විට, දෑතින් නො ගැළපෙන දෙයක් කරන්නෙත් නෑ. පාවලින් නො ගැළපෙන දෙයක් කරන්නෙත් නෑ. නිකටට අත තබාගෙන ඉන්නෙත් නෑ. ඒ වගේ ම උන් වහන්සේ කිසි විටෙක නිදි කිරා වැටෙමින් ඉඳල නෑ. ඈනුම් අරිමින් ඉඳල නෑ. අශෝභන ලෙස මහ හඬින් හිනාවෙලා නෑ. ඒ වගේ ම බුදුරජාණන් වහන්සේ රස තෘෂ්ණාවෙන් තොරව නුවණින් විමසමින් ජීවිතය පවත්වා ගැනීම පිණිස පමණක් දන් වැළª සේක. උන් වහන්සේ දන් වළඳා නැවත ආරාමයට වැඩම කොට අසුනෙහි වැඩ හිඳ දෙපා සෝදාගන්නවා. උන් වහන්සේ දෙපා සැරසීමේ අදහසින් සෝදන්නේ නැහැ. පා සෝදාගෙන පළඟක් බැඳ වාඩි වී කය සෘජු කොට තබාගෙන භාවනා අරමුණකට සිහිය යොදවා වැඩහිටිනවා.
බුදුරජාණන් වහන්සේ තමන් හට පීඩා පිණිස සිතන්නේ නැහැ. අනුන් හට පීඩා පිණිස සිතන්නේ නැහැ. දෙපාර්ශවයට ම පීඩා පිණිස සිතන්නේ නෑ. තමන් හට සිත පිණිසත්, අනුන්ු හට හිත පිණිසත්, සකල ලෝක සත්වයාට හිත පිණිසත් උතුම් සිතිවිලි සිතමිනුයි උන් වහන්සේ වැඩ ඉන්නේ. ඒ වගේ ම බුදුරජාණන් වහන්සේ පිරිසට ධර්ම කථාවෙන් කරුණු පෙන්වා දෙනවා. සමාදන් කරවනවා. වීරිය ඇති කරවනවා. සතුටු කරවනවා. බුදුරජාණන් වහන්සේ කිසි ම දිනක මොන ම හේතුවක් නිසාවත් බයට පත්වුණේ නෑ. තැතිගත්තේ නෑ. පසුබැස පළා ගියේ නෑ. ඒ, බිය හටගන්නා හේතු උන් වහන්සේ ප‍්‍රහීණ කළ නිසයි. ඒ නිසා උන් වහන්සේ බයක්. තැතිගැනීමක් ඇතිවුණු වෙලාවට බුදුරජාණන් වහන්සේව සිහි කරන ලෙසත් එවිට ඒ බය තැතිගැනීම පහවෙලා යන බවත් තම ශ‍්‍රාවකයන්ට දේශනා කොට වදාළා. උන් වහන්සේගේ ගමන බිමන, කථාබහ, ඉරියව් පැවැත්ම, හැසිරීම ඉතා ම සංවරයි, ශාන්තයි, ප‍්‍රසාදජනකයි. මේ සියලූ කරුණු අයත් වන්නේ බුදුරජාණන් වහන්සේගේ ‘චරණ’ ධර්මයන්ටයි.
ඒ වගේ ම බුදුරජාණන් වහන්සේට පුළුවන් කාමයන්ගෙන් වෙන්ව, අකුසල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්ක විචාර සහිත වූ, විවේකයෙන් හටගත් ප‍්‍රීතිය හා සැපය ඇති පළමුවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරන්න. හොඳින් දිය ඉස ඉස පිඬුු කරගත්ත නාන සුණු පිෙඬ් හැම තැන ම හොඳින් දිය පැතිරිලා තියෙනවා වගේ උන් වහන්සේ තම මුළු සිරුර ම විවේකයෙන් හටගත් ප‍්‍රීති සැපයෙන් හොඳින් තෙත් කරනවා.
ඒ වගේ ම උන් වහන්සේට පුළුවන් විතර්ක විචාර සන්සිඳවලා, තම සිත තුළ පැහැදීම ඇතිව, සිතේ එකඟ බවින් යුක්තව, විතර්ක විචාර රහිත, සමාධියෙන් හටගත් ප‍්‍රීතිය හා සැපය ඇති දෙවන ධ්‍යානය උපදවාගෙන වාසය කරන්න. ගැඹුරු විලක උල්පත්වලින් සීතල දිය දහරා මතුවෙලා ඒ විලේ ජලය මුළුමනින් ම සිහිල් කරනවා වගේ ඒ සමාධියෙන් හටගත් ප‍්‍රීති සැපය උන් වහන්සේ තම මුළු සිරුර පුරා ම පතුරුවනවා.
ඊ ළඟට ඒ ප‍්‍රීතියටත් ඇලෙන්නේ නැතුව උපේක්‍ෂාවෙන් වාසය කරනවා. සිහි නුවණින් යුක්තව කයෙන් සැපයකුත් විඳිනවා. නෙළුම් විලක ජලයේ ම හටගෙන, ජලයේ ම වැඩෙන, ජලයෙන් උඩට මතු නො වුණු, ඒ නෙළුම් පොහොට්ටු මුළුමනින් ම සීතල ජලයෙන් තෙත් වෙලා තියෙනවා වගේ තමන් වහන්සේගේ මුළු සිරුර පුරා ම ඒ ප‍්‍රීතිය රහිත සැපය පතුරුවන්න බුදුරජාණන් වහන්සේට පුළුවන්.
ඊ ළඟට සැප, දුක දෙක ම ප‍්‍රහාණය කරලා සොම්නස් ෙදාම්නස් ඉක්මවා ගිහිල්ලා, පිරිසිදු උපේක්‍ෂා සහගත සතරවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. හිසේ පටන් ම සුදු වස්ත‍්‍රයකින් පොරවාගෙන ඉන්න කෙනෙකුගේ ශරීරයේ සුදු වස්ත‍්‍රයෙන් නො වැසුනු තැනක් නෑ වගේ පිරිසිදු ප‍්‍රභාෂ්වර සිතින් තමන් වහන්සේගේ මුළු ශරීරය ම ස්පර්ශ කරන්නත් උන් වහන්සේට පුළුවන්.
මේ ආකාරයට ඉතා බලවත් ලෙස දියුණු කරන ලද සමාධිමත් සිතක් ඇතිවයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ.
ඒ වගේ ම බුදුරජාණන් වහන්සේට දවස් හතක් වුණත් ආහාර පාන ගන්නෙ නැතුව, වැසිකිළි කැසිකිළි කරන්නේ නැතුව, එක ම ඉරියව්වෙන් වාඩිවෙලා සමාධියට සමවැදිලා වාසය කරන්න පුළුවන්. එයට කියන්නේ ‘නිරෝධ සමාපත්තිය’ කියලයි. අකුණු ගසමින්, මහ හඬින් අහස ගුගුරුවමින් මහා ධාරානිපාත වැසි වසිද්දීත් බුදුරජාණන් වහන්සේට ඒ හඬ නො ඇසෙන ආකාරයේ ශාන්ත වූ සමාපත්තීන්ටත් සමවදින්න පුළුවන්කම තියෙනවා.
ඒ වගේ ම බුදුරජාණන් වහන්සේගේ ප‍්‍රඥව මොනතරම් ද කියනවා නම් උන් වහන්සේ හොඳට ම වයසට ගිහිල්ලා, අසනීප වෙලා ඇඳක සැතපිලා ඉඳිද්දී වයස අවුරුදු සියයක් ආයුෂ තිබෙන ශ‍්‍රාවකයන් හතර දෙනෙක් ඇඳේ හතර කොණේ ඉඳගෙන අවුරුදු සියයක් පුරා ප‍්‍රශ්න ඇසුවත් කිසිදු වෙහෙසක් නොමැතිව, පටලැවීමක් නොමැතිව ඒ සියලූ ප‍්‍රශ්නවලට පිළිතුරු දීමේ හැකියාවක්, එතරම් මහා ප‍්‍රඥවක් දරාගෙනයි බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ. උන් වහන්සේගේ මහා ප‍්‍රඥවේ ආලෝකය මේ හිරු සඳුගේ ආලෝකය පවා අභිබවා යනවා.
එක්තරා අවස්ථාවක දී බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා.
‘‘මිනිසුන් අතර ගෝත‍්‍ර පිළිවෙළ අනුව ශ්‍රේෂ්ඨ වන්නේ ක්‍ෂත‍්‍රියයායි (රාජවංශිකයායි). විද්‍යාවෙන් හා චරණ ධර්මයෙන් යුතු උත්තමයා දෙව් මිනිස් සියලූ සත්වයන් අතර ශ්‍රේෂ්ඨ වේ.”
දෙව් මිනිස් සියලූ සත්වයන් අතර ශ්‍රේෂ්ඨ වූ උතුම් සීලයෙන්, සමාධියෙන්, ප‍්‍රඥවෙන්, අවබෝධයෙන්, ඤණයෙන් යුතු වූ විජ්ජාචරණ සම්පන්න වූ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!!!
‘‘සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නං
විජ්ජාචරණ සම්පන්නං වත සෝ භගවා
තං භගවන්තං විජ්ජාචරණ සම්පන්නං සරණං ගච්ඡාමි
තං භගවන්තං විජ්ජාචරණ සම්පන්නං සිරසා නමාමි”
——————————————
‘‘මාගේ ස්වාමී වූ
බුදුරජාණන් වහන්සේ
විජ්ජාචරණ සම්පන්න වන සේක…!
විජ්ජාචරණ සම්පන්න වූ
භාග්‍යවතුන් වහන්සේ ව
සාදරයෙන් සරණ යමි…!
භාග්‍යවතුන් වහන්සේට
සිරස නමා වන්දනා කරමි…!”
———————————————–
(මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි.)
Recent Comments