අපි ගෙවාගෙන ආව මේ ජීවිතේ දිහා ආපහු හැරිලා බැලූවොත් හීනයක් දැක දැක ඉඳලා ඇහැරුණා වගෙයි.

එ් හීනය ආයෙත් මතක් කරනවා වගේ අපේ මේ ජීවිතය ගෙවපු අවුරුදු කීපය තුළ සැප විඳපු හැටි, දුක් විඳපු හැටි ටිකක් හරි සිහිපත් කරගන්නවත් පුළුවන් වෙයි. එ්ත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අපි ගෙවාගෙන ආව සංසාර ගමනේ ආරම්භක කෙළවරක් දකින්න බෑ කියලා. එතකොට එ් පරක් තෙරක් නො පෙනෙන සසර ගමනේ දී එක එක විදිහට නොයෙක්, නොයෙක් ආකාරයේ ජීවිත ගෙවද්දී ඇස්, කන්, නාස, දිව, කය, මනස නිසා වින්ද සැප, දුක්, උපේක්ෂා විඳීම් කොච්චර ඇද්ද?

අද අපට මතක නැති වුණාට, ආයෙ ආයෙමත් ඉපදීම හදල දෙන විදිහට ලැබුණ ඇස්, කන්, නාසය, දිව, කය, මනස සතුටින් පිළිඅරන්, ආශ්වාදයට ඇලිලා විඳපු විඳීම්, කළ කී දේවල් ප‍්‍රමාණ කරන්න බැරි තරම් සසර පුරාවට ම බොඳ වෙලා ගියා.

හොඳට වතුර පිරුණ තැනකට වැහි බින්දු වැටෙද්දී, එ් වැහි බින්දුවක්, වැහි බින්දුවක් ගාණේ බුබුළු හැදි හැදී, බිඳි බිඳී යනවා වගේ තමයි විඳීම් අනිත්‍ය වෙන්නේ… ස්පර්ශයෙන් හට ගත්ත සැප, දුක්, දුක් සැප රහිත (උපේක්ෂා) විඳීම් හට ගෙන, වෙනස් වෙවී පැවතිලා, නැති වෙලා යන අනිත්‍ය වූ ස්වභාවය දකින්න කියල තමයි අපට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. බලන්න අපිට මේ ලැබිල තියෙන ඇසෙන් රූප බලලා, ඉෂ්ට කාන්ත වූ, ප‍්‍රියමනාප වූ රූප නිසා කොච්චර සතුටු වෙනව ද? එ් වගේ ම අනිෂ්ට අකාන්ත වූ, අප‍්‍රිය අමනාප වූ රූප නිසා කොච්චර දුක් වෙනව ද?

සතුට ඇති කරලා දීපු එ් රූප අනිත්‍ය වෙලා යද්දී…, අපේ වසඟයේ පවත්වන්න බැරි වෙද්දී…. එ් රූප ම කොච්චර දුක් දෙනව ද?

එ් වගේ ම කනෙන් ශබ්ද අහලත් අපි ඕන තරම් සතුටු වෙනවා, දුක් වෙනවා, දැඩි දුකට පත් වෙනවා. අපි ව සතුටු කරපු ශබ්ද ම අනිත්‍ය වෙලා, අනාත්ම වෙලා යද්දී ආයෙත් දුකට ම පත් වෙනවා. නාසයයි – ගඳ සුවඳයි එකතු වෙලත්, දිවයි – රසයයි එකතු වෙලත්, කයයි – පහසයි එකතු වෙලත්, මනසයි – අරමුණුයි එකතු වෙලත් ඔය විදිහට ම යි සිද්ධ වෙන්නේ. දුකට ම යි පත් වෙන්නේ. ඔය විදිහට දුක ම ඉතිරි වෙන ජීවිත මේ දීර්ඝ සංසාරේ පුරාවට කොච්චර ගෙවා දමන්න ඇද්ද?

ඉතින් ඔය තරම් ජීවිත ගෙවා දැම්මත් අපිට මේ ආයතන හයේ ආස්වාදය ආස්වාදය විදිහටත්, ආදීනවය ආදීනවය විදිහටත්, නිස්සරණය නිස්සරණය විදිහටත් ඇත්ත ඇති සැටියෙන් අපි තුළ ම ප‍්‍රකට වුණ අවබෝධ ඤාණයක් ඇති වුණේ නෑනේ…

මේ ඇසේ, කනේ, දිවේ, කයේ, මනසේ තියෙන සතුට – සොම්නස ඇති කරලා දෙන ස්වභාවය නිසා එ්වාට අශාවෙන් බැඳිලා ගියා. මේ ආයතන හයේ තියෙන තියෙන අනිත්‍යය වූ, දුක් වූ, අනාත්ම වූ ස්වභාවයන් කියන ආදීනව ඇති වෙද්දී, අවබෝධයෙන් ම නො වුණත් එ්වා අපිට එපා වෙලා කලකිරිලත් හිටියා. එ්ත් මේ ආයතන හය හදල දෙන දුක නැත්තට ම නැති කරලා නිදහස් වෙන්නට පුළුවන් කියන නිස්සරණ ප‍්‍රඥව ඇති නො වන නිසා ම ආයෙ අයෙමත් භවයට වැටුණා.

ලෝක සත්වයාට නො පෙනුන මේ සත්‍යය තමන් වහන්සේගේ නුවණින් ම අවබෝධ කර ගෙන ලෝකයට විවෘත කළේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් ම යි.

එ් භාග්‍යවතුන් වහන්සේ ආයතන හය ගැන මේ විදිහට දේශනා කරනවා.

‘‘පින්වත් මහණෙනි, ඇස, කන, නාසය, දිව, කය මනස වනාහී පැරණි කර්මයකි (පුරාණං කම්මං). (භව පැවැත්ම සඳහා) විශේෂයෙන් සකස් වූ දෙයකි. (අභිසංඛතං). (විපාක පිණිස කර්ම රැස් කරදෙන* චේතනාවෙන් සකස් කළ දෙයකි. (අභිසඤ්චේතයිතං). විඳීමක් තුළ දැනගත යුතු දෙයකි. (වේදනීයං දට්ඨබ්බං).”

මේ විදිහට ඇස, කන, නාසය, දිව, කය, මනසට පුළුවන්, ආයෙමත් ඇසක්, කනක්, නාසයක්, දිවක්, කයක්, මනසක් උපද්දවලා දෙන්න. එ් විදිහට සංසාරික පැවත්ම සකස් කරලා දෙන නිසා, නිෂ්පාදන ක‍්‍රියාවලියක යෙදෙන නිසා තමයි ආයතන හය විදිහට හඳුන්වන්නේ. මේ ආයතන හයේ උපකාරයෙන් දුක හටගන්නා බව භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට දේශනා කරනවා.

‘‘පින්වත් මහණෙනි, (ඇසෙහි…, කනෙහි.., නාසයෙහි…, දිවෙහි…, කයෙහි…, මනසෙහි…,) යම් ඉපදීමක් ඇද්ද, යම් පහළ වීමක් ඇද්ද එය වනාහි දුකෙහි හට ගැනීම යි, රෝගයන්ගේ පැවැත්ම යි, ජරා මරණවල පහළ වීමයි.”
උප්පාද සුත‍්‍රය (සං.නි. 4)

එ් විදිහට එ් දුක හදන ආයතන හය යම් කෙනෙක් සතුටින් පිළිගන්නවා නම් එයාට දුකින් නිදහස් වීමක් නෑ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා.

‘‘පින්වත් මහණෙනි, යම් කෙනෙක් (ඇස.., කන.., නාසය.., දිව…, කය…., මනස…) සතුටින් පිළිගන්නවා නම් එයා පිළිගන්නේ දුකයි. ඉතින් යම් කෙනෙක් සතුටින් පිළිගන්නේ දුක නම් ඔහු දුකෙන් නිදහස් වෙලා නෑ කියලයි මා කියන්නේ.”
අභිනන්දන සූත‍්‍රය (සං.නි. 4)

යම් කෙනෙකුට පුළුවන් නම් ආයතන හය නො පිළිගෙන ඉන්න, එයා එය නො පිිළිගන්නේ දුක නිසා, එයා දුකෙන් නිදහස් වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ අභිනන්දන සුත‍්‍රයේ දී ම දේශනා කරනවා.

දුක සතුටින් නො පිළිගෙන, දුකේ හට ගැනීම නැති වෙන විදිහට ආර්ය ශ‍්‍රාවකයා කටයුතු කරන ආකාරය දුතිය අජ්ඣත්තානිච්ච සුත‍්‍රයේ දී මේ විදිහට දේශනා කරනවා.
‘‘පින්වත් මහණෙනි, අතීත වූත්, අනාගත වූත් ඇස අනිත්‍ය යි. ඉතින් වර්තමාන ඇසේ අනිත්‍ය බව ගැන කවර කතා ද? පින්වත් මහණෙනි, ශ‍්‍රැතවත් ආර්ය ශ‍්‍රාවකයා ඔය අයුරින් දකින විට අතීතයට ගිය ඇස පිළිබඳ ව අපේක්ෂා රහිත (මධ්‍යස්ත) වෙනවා. අනාගත ඇස පිළිගන්නේ නෑ. වර්තමානයෙහි ඇති ඇස පිළිබඳ ව කලකිරීම පිණිස, නො ඇල්ම පිණිස, තණ්හාව නිරුද්ධ වීම පිණිස ධර්මයෙහි හැසිරෙනවා.

කන අනිත්‍ය යි… නාසය අනිත්‍යයි… දිව අනිත්‍යයි… කය අනිත්‍යයි… අතීත වුත්, අනාගත වුත් මනස අනිත්‍යයි… ඉතින් වර්තමාන මනසේ අනිත්‍ය බව ගැන කවර කතා ද?
පින්වත් මහණෙනි, ශ‍්‍රැතවත් ආර්ය ශ‍්‍රාවකයා අතීතයට ගිය මනස පිළිබඳ ව අපේක්ෂා රහිත (මධ්‍යස්ත) වෙනවා. අනාගත මනස පිළිගන්නේ නෑ.

වර්තමානයෙහි ඇති මනස පිළිබඳ ව කලකිරීම පිණිස, නො ඇල්ම පිණිස, තණ්හාව නිරුද්ධ වීම පිණිස ධර්මයෙහි හැසිරෙනවා.
(දුතිය අජ්ඣත්තානිච්ච සුත‍්‍රය)

මේ විදිහට අතීතයට ගිය ආයතන හය ගැන අපේක්ෂා රහිත වෙන්නටත්, අනාගතයේ දී හට ගන්නා ඇස්, කන් ආදි ආයතන නො පිළිගන්නටත්, වර්තමාන ඇස, කන, නාසය, දිව, කය, මනස ගැන කලකිරීමටත්, මේ ආයතන හය අර්ථ රහිත වූ, අසාරවත් වූ, හිස් දෙයක් බව දියුණු කරන ලද ප‍්‍රඥවෙන් යථාර්ථය අවබෝධ වන අයුරින් දැක ගත යුතු වෙනවා. එ් විදිහට සිත සකස් කර ගන්නා ආර්ය ශ‍්‍රාවකයා සිතිය යුතු ආකාරය අජ්ඣත්තානිච්ච සුත‍්‍ර දේශනාවේ දී භාග්‍යවතුන් වහන්සේ මනාකොට දේශනා කරනවා.

‘‘පින්වත් මහණෙනි, ඇස යනු අනිත්‍ය දෙයක්. අනිත්‍ය වූ යමක් ඇද්ද එ්ක තමයි දුක. දුක් වූ දෙයක් ඇද්ද එ්ක (තමාගේ වසඟයේ පවත්වන්න බෑ) අනාත්මයි. අනාත්ම වූ දෙයක් ඇද්ද අන්න එ් දෙය ‘මෙය මගේ නො වේ, මෙය මම නො වෙමි, මෙය මාගේ ආත්මය නො වේ.’ කියා ඔය අයුරින් දියුණු කළ ප‍්‍රඥවෙන් යථාර්ථය දැක්ක යුතු ය.

පින්වත් මහණෙනි, කන යනු (නාසය යනු.. දිව යනු… කය යනු… මනස යනු…) අනිත්‍ය දෙයක්. අනිත්‍ය වූ යමක් ඇද්ද එ්ක තමයි දුක. දුක් වූ යමක් ඇද්ද එ්ක (වසඟයේ පවත්වන්න බෑ) අනාත්මයි. අනාත්ම වූ දෙයක් ඇද්ද අන්න එ් දෙය ‘මෙය මගේ නො වේ, මෙය මම නො වෙමි, මෙය මාගේ ආත්මය නො වේ.” කියා ඔය අයුරින් දියුණු කළ ප‍්‍රඥවෙන් යථාර්ථය දැක්ක යුතු යි.

පින්වත් මහණෙනි, ශ‍්‍රැතවත් ආර්ය ශ‍්‍රාවකයා ඔය අයුරින් දකින විට ඇස කෙරෙහිත් කලකිරෙනවා. කන කෙරෙහිත් කලකිරෙනවා. නාසය කෙරෙහිත් කලකිරෙනවා. දිව කෙරෙහිත් කලකිරෙනවා. කය කෙරෙහිත් කලකිරෙනවා. මනස කෙරෙහිත් කලකිරෙනවා.

කලකිරුණු විට එ් කෙරෙහි ඇල්ම නැතිව යනවා. ඇල්ම නැති වීම නිසා එයින් නිදහස් වෙනවා. නිදහස් වූ විට නිදහස් වූ බවට අවබෝධ ඥානය ඇති වෙනවා.

‘ඉපදීම් ක්ෂය වුණා. බඹසර වාසය සම්පූර්ණ කළා. නිවන පිණිස කළ යුතු දෙය කළා. නැවත ඉපදීමක් නැත්තේ ම ය’ යයි අවබෝධයෙන් ම දැනගන්නවා.”
(අජ්ඣත්තානිච්ච සුත‍්‍රය)

මේ ධර්මයන් ජීවිතයට පුරුදු කර ගැනීම පිළිබඳ ව නිවැරදි වැටහීමකින් යුක්තව ධර්මයේ හැසිරීම පිණිස අප සියලූ දෙනාට ම මෙම අසිරිමත් බුද්ධ දේශනා තුළින් වටහා ගත් කරුණු එ්කාන්තයෙන් ම උපකාර වේවා!

මහාමේඝ 2013 උඳුවප් කලාපය
WWW.MAHAMEGHA.LK

මහමෙව්නාව භාවනා අසපුවාසී
පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් සම්පාදිතයි.