පුංචි කාලේ පාසලේ පන්ති කාමරේ යාළුවෝ කල්ලි ගැහිලා එක එක කෙළිසෙල්ලම් කරද්දි මං ඔහේ පැත්තකට වෙලා තනියෙන් හිටියා. එහෙම වුණේ කවුරුවත් මාව එයාලගේ සංගමේට එකතු කර නො ගත්ත නිසා නෙමෙයි, මට තනියෙන් ම ඉන්න වුවමනා වුණ නිසා…
එහෙම තනියම ඉඳගෙන මං ලෝකෙ කෙළවරට යනකල් ගොඩක් දේවල් ගැන කල්පනා කළා. ගස්, වැල්, මල්, කුරුල්ලෝ, සතාසිව්පාවෝ මගේ හුදෙකලා ලෝකය ගොඩාක් හැඩ කළා. අතු-ඉති පාත්කර ගෙන හුළඟ හමායද්දි, මුණුමුණුවේ දිය සීරාවන් ගලා බහිද්දි මම ආසාවෙන් එ් දිහා බලා හිටියා. එ් හැම මොහොතෙ ම මගේ හිතේ ප‍්‍රශ්නයකුත් තිබුණා. එ් තමයි ‘හැබෑවට ම මොකක් ද මේ ලෝකය?’ කියන එක.
මේ ලෝකේ හැදුණෙ කොහොම ද? කවුද මේ දේවල් මේ විදිහට හැදුවේ? කුරුල්ලන්ට තටු ලැබුණෙ කොහොම ද? කොතැනින් ද මේ දේවල් පටන් ගන්නෙ? මොකක් ද
කෙළවර??? මේ වගේ ප‍්‍රශ්න ගොඩක් මතු වෙන කොට මට ලෝකෙ ගැන හිතන එකත් එපා වුණා. හැබැයි මං ලෝකය දිහා බලන එක නම් නැවැත්තුවේ නෑ…
ලෝකය ගැන එක එක කතන්දරත් අහන්න ලැබුණා. එ් කතාවලින් මං ගොඩක් ආසා කළේ මේ ලෝකය ඔසවන් ඉන්නවා ය කියපු ඇට්ලස් යෝධයා ගැන කියැවුණ ගී‍්‍රක ප‍්‍රවාදයට. මේ ලෝකයේ භූමිකම්පා ඇති වෙන්නේ ඇට්ලස්ට කිවිසුමක් යනකොටයි කියලා පිළිගැනීමකුත් තියෙනවා. එ්වා අහද්දි නම් ‘‘අනේ මෝඩ මිනිස්සු……” කියලා මට පුංචි හිනාවකුත් ආවා.
ලෝකය තැටියක් වගේ පැතලියි කියලා හිතාගෙන හිටපු අයට ලෝකය ගෝලාකාරයි කියපු කොපර්නිකස්ගේ මතය ම තහවුරු කරන්න හදලා හිරබත් කන්න වුණ ගැලීලියෝ ගැලීලි ගැන මට අනුකම්පාවක් හිතුණා. ඇත්තට ම ලෝකේ කවුරුවත් තම තමන් මුල්බැසගත් අදහස් වෙනස් කරන්න සත්‍යයටවත් ඉඩ දෙන්නෙ නැති ද කියන සාධාරණ ප‍්‍රශ්නය මට මුලින් ම ඇති වුණෙත් එදා………. ලෝකයේ සුලමුල සොයා ගැනීම කියන පඹගාලේ පැටලි පැටලී යන ලෝක ප‍්‍රජාව දකිද්දි මට හිතුණා අංශක විසිතුනහමාරක් ඇදට තියෙනවා කියලා ඔවුන් ම කියන මේ ලෝකය දිහා ඔවුන් බලන්නෙත් ඇදවෙලා නේ ද කියලා. ඇත්තට ම ලෝකය මේකයි කියලා අපි කාටවත් තේරුම් ගන්න අමාරු ලෝකය ඇදට තියෙන නිසා නෙමෙයි, අපි ලෝකය දිහා ඇදට බලන නිසා.
තම තමන්ගේ නැණ පමණින් තේරුම් ගත යුතු සම්මා සම්බුදු දහම අහන කොට දැන ගන්න ලැබුණා මේ කෙළවරක් නො දුටු ලෝකය ගැන කෙළවරක් නැතිව හිතපු, කෙළවරක් නැතිව එ් ලෝකය එක්ක ම පැටලි පැටලී ගියපු මිනිසුන් වගේ ම දෙවියනුත් හිටපු බව. එ් නිසානේ රෝහිතස්ස දිව්‍ය පුත‍්‍රයා වරෙක ලෝකයේ කෙළවර හොයාගෙන ආයුෂ ඉවරවෙනකල් ම ගමන් කළේ. ලෝකාවබෝධය උපදවා ගත්ත එ් සම්බුදුරජුන්ගේ අවබෝධය අදහා නො ගන්නට අපට සිදුවෙන්නෙත් ලෝක අමාරුවක වැටෙන්න තමයි.
දෙවියන්, බඹුන්, මරුන් සහිත, ශ‍්‍රමණ බ‍්‍රාහ්මණයන් සහිත මේ මුළු මහත් ලෝකයට ම හැමදාටමත් තියෙන මේ ප‍්‍රශ්නෙ දවසක් එක්තරා ස්වාමීන් වහන්සේ නමක් තථාගතයන් වහන්සේගෙන් විමසා සිටියා.
‘‘ස්වාමීනී, ලෝකය, ලෝකය කියල කියනවා. ස්වාමීනී ලෝකය කියලා කියන්නේ කවර කරුණු මත ද?”
තුන්ලොව අතැඹුලක් ලෙස දැකපු තථාගතයන් වහන්සේ මෙහෙම වදාරණවා.
‘‘පින්වත් භික්ෂුව, ‘සිඳී බිඳී යයි’ යන අරුතින් තමයි ලෝකය කියලා කියන්නේ. කුමක් ද සිඳී බිඳී යන්නේ? පින්වත් භික්ෂුව, ඇසයි සිඳී බිඳී යන්නේ. රූපයි සිඳී බිඳී යන්නේ. ඇසේ ස්පර්ශයයි සිඳී බිඳී යන්නේ. ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක්සැප රහිත වේවා යම් විඳීමක් ඇද්ද එයයි සිඳී බිඳී යන්නේ. පින්වත් භික්ෂුව, ‘සිඳී බිඳී යයි’ යන අරුතින් තමයි ලෝකය කියල කියන්නේ.”
(ලෝක සූත‍්‍රය, සළායතන සංයුක්තය)
එ් අසිරිමත් සම්බුදුනුවණට නමස්කාර වේවා! ‘ලෝකය’ කියන්නේ ඇයි කියලා වගේ ම ‘ලෝකය’ කියන්නේ මොකක් ද කියලත් අපි දැන ගන්නේ මේ බුද්ධභාෂිතයන්ගෙන්. ස්පර්ශ ආයතන හය තුළ ම යි නේ ද අපි දකින මේ ලෝකය නිර්මාණය වෙලා තියෙන්නේ? සිඳී, බිඳී යන, මොහොතින් මොහොත වෙනස් වන ආයතන සයක ස්පර්ශය නේ ද අපි ලෝකය කියලා නම් කරන්නේ? බඹයක් පමණ වූ මේ ශරීරයේ ස්පර්ශයෙන් හට ගන්නා විඳීම් නේ ද අපි මම ය, මාගේ ය, මගෙ ආත්මය ය කියලා පිළිගන්නේ? පැතලිව වේවා, ගෝලාකාරව වේවා, ඇදට වේවා, කෙළින් වේවා කවර ආකාරයකින් පිහිටා තිබුණත් මෙය ම තමයි දුක හදන ලෝකය… මෙයින් නිදහස්වීමෙන් ම යි දුකෙන් නිදහස් වෙන්න ලැබෙන්නේ.
ස්පර්ශය නිරෝධයෙන් දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරන මඟ සුගත බුදු හිමි වැඩි එ් අරිඅටඟි මඟ ම යි…
සියල්ලෝ ලෝකයෙන් නිදහස් වීම පිණිස ම වීරිය කරත්වා!!!
මහාමේඝ 2013 නිකිණි කලාපය
WWW.MAHAMEGHA.LK
Recent Comments