අවුරුදු හතේ පටන් මානසික පීඩාවන් උසුලන්නට සිදු වීමෙන් නව යොවුන් තරුණ වියේ දී සමාජයෙන් වෙන් ව තනි වන්නට උත්සාහ කළ කල්පනීගේ කතාව පසුගිය මහාමේඝයෙන් අපි කියවූවෙමු. ඇයට නිවසේ ගැටලූ නො තිබුණු තරම් ය. එහෙත් ඇයව අගයන පරිසරයක් ද එහි නො වීම නිසා ඇය මානසිකව දුර්වල වී සිටියා ය. අවසානයේ කල්පනී එළඹි තීරණය වූයේ තමන් අවාසනාවන්තියක් බවත්, මේ සමාජයට තමන් වුවමනා නැති බවත්, එ් නිසා ජීවිතයෙන් සමුගත යුතු බවත් ය. එහෙත් වාසනාව ඇය සතු වූ නිසා ම එ් මානසික වියවුලෙන් නිදහස් වන්නටත්, ජීවිතය සාර්ථක කරගන්නටත් ඇයට හැකියාව ලැබුණි. එ් සියල්ලට ම මුල් වූයේ සම්බුදුරජාණන් වහන්සේගේ ලෝකානුකම්පාව ගැන අසා ඇති වූ පැහැදීම නිසාවෙන් ඇයගේ ජීවිතයේ එකම රැුකවරණය සම්බුදුරජාණන් වහන්සේ බව පිළිගන්නට ඇය යොමු වීම යි. මානසික අර්බුදයකින් නිදහස්ව සුවපත් වූ කල්පනීගේ කතාව කියැවූ අපට මෙවර මුණගැසෙන්නේ පවුල් පරිසරයේ වූ දුක්ඛිත ස්වභාවයන් මතත්, සමාජයෙන් ලද ගැරහුම් මතත් මානසිකව බිඳ වැටුණ ද පසුව එ් සියල්ලෙන් නිදහස්ව නැගී සිටි නදීකාගේ කතාවයි…
* * * * *
කරදරකාරී හිරිහැරයන්ට මම මුලින් ම ගොදුරු වෙද්දි මට වයස අවුරුදු 10 යි. මට එ් හිරිහැර බොහොම දරුණු ආකාරයෙන් බලපෑවා. කිසිම වරදක් නො කරපු මම අවාසනාවන්ත විදියට වධ වේදනාවන්ට මුහුණ දුන්නා. එ්ත් වාසනාවකට අද මම එ් සියල්ලෙන් ගැලවිලා නිදහසේ ජීවත් වෙන කෙනෙක්. එ්ත් හැම කෙනෙක්ටම එ් ආකාරයෙන් බේරෙන්න ලැබෙන්නෙ නෑ. බොහෝ තරුණ දරුවන් මේ හිරිහැර නිසා මානසික ආතතීන්ට වගේ ම ඇතැම් විට දිවිනසාගැනීම්වලට පවා යොමු වෙන අවස්ථා තියෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයක දී තමුන්ගේ දරුවාට ඇහුම්කන් දෙන්න මාපියන් තමන්ගේ කාලය කැපකරන්න ඕන. ඔවුන්ට සුදුසු ස්ථානයකින් උපකාර ලබා ගැනීමට එ් මානසික වියවුල සන්සිඳවීමට මාපියන් පියවර ගන්න ඕන.
මම උපතින් ම දුප්පත් කෙනෙක්. අපේ තාත්තා දිළිඳු කම්කරුවෙක්. අඳින්න වුණත් සුදුසු ඇඳුම් අපිට තිබුණෙ නෑ. මම ළමා කාලයේ සෙල්ලම් බඩුවලින් සෙල්ලම් කළ කෙනෙක් නෙවෙයි. එ් වගේ ම මගේ අම්මා පොඩිකාලෙදි ම මාව දාල ගියා.
ඔබට මතක් වෙයි ඔබ හිරිහැර විඳපු දවස්. ඔබේ ජීවිතේට එ්වා එකක් දෙකක් වගේ සිදුවෙලා තියෙන නිසා. එ්ත් මට මගේ ජීවිතේ පුරා ම සිදු වුණේ හිරිහැර පමණයි. එ් නිසා මට එ් දේවල් කොපමණ වුණා ද කියලවත් මතක නෑ. පාසැලේදි මම ඇවිදගෙන යනකොට මගේ කකුල්වලට වෙට්ටු දාලා මාව වට්ටනවා. මට විහිළු කරනවා. මම වැටිලා අඬනකොට මගේ යාළුවෝ වටවෙලා හිනාවෙමින් විනෝද වෙනවා. එ් වගේ වෙලාවට අම්මා ගැන හිතනකොට අම්මා මා ළඟ නෑ. තාත්තාට මාව තේරුම් ගන්න බෑ. ඉතින් මම හැම වෙලේ ම තනියම, හුදෙකලාවේ ජීවත් වෙන්නයි උත්සාහ කළේ. සමාජය දකිද්දි මට විශාල බියක් දැනෙන්න පටන් ගත්තා.
එ් නිසා ම මගේ ජීවිතේ කුණු ගොඩක් වගේ මට දැනුණා. මම කාටවත් චෝදනා කරනවා නෙවෙයි. මම එදා විඳපු අමිහිරි අත්දැකීම විස්තර කරන්න උත්සාහ කළා පමණයි. එ්ත් මගේ හිතේ දැන් තියෙන්නේ පුදුම සතුටක්. දැන් එ් හැම දේකින් ම මම නිදහස් වෙලා ඉන්නේ. ඉතින් මට උදව් කළ හැමෝටම ස්තුතිවන්ත වෙනවා මගේ සිත සුවපත් කළාට, මගේ හිතට සවියක් වුණාට.
මම ඉපදෙන්න දින නියමිත ව තිබුණු දවසට සති 5කට කලින් මාව මෙලොවට බිහි කළේ මගේ අම්මා. මා ගැන කිසිම හැඟීමක් දැනීමක් නැති මානසික රෝගයකින් පෙළුණු අම්මා කළ දෙයක් නිසයි සිසේරියන් සැත්කමකින් මාව බලෙන් එළියට ගන්න සිදු වුණේ. 70 දශකයේ අගභාගයේ තමයි මගේ ඉපදීම සිදු වුණේ. මම ඉපදුණු රෝහලේ පහසුකම් නො තිබුණු නිසා මගේ ශරීර ශක්තිය වැඩිකරවීමට පහසුකම් තිබූ රෝහලකට මාව රැගෙන ගොස් තිබුණා. මා එහි දින 4ක් ඉඳල තියෙනවා. වාසනාවකට මගේ ජීවිතය නම් බේරුණා. එ්ත් මගේ ඉපදීම අම්මා දැක්කේ මහා වධයක් විදියට යි. එයට හේතුව කුමක්ද කියා මට තවම තේරුම් ගන්න අපහසුයි.
මම ඇගෙන් කිරි උරා බොන විට ලේ උරන මදුරුවෙක් දෂ්ට කරනවා වගේ දැනෙන බව අම්මා එ් කාලයේ නිතර පැවසූ කරුණක් බව මම පසුව දැනගත්තා. අම්මා කෙනෙක් යනු දරුවෙකුට බොහෝ ආදරය කරන කෙනෙක්. නමුත් අපේ අම්මා යම් මානසික රෝගයකින් පෙළුණු නිසා මෙවන් තත්ත්වයක් මතු වන්නට ඇති. මම අද අම්මාට වුණත් වෛර කරන්නේ නෑ.
මගේ හිතට ගුණධර්ම රැසක් පුරුදු කරන්න ලැබුණ නිසා මම අද ඉන්නේ බොහොම සතුටින්. මගේ හිතට මෛත‍්‍රිය කරුණාව පුරුදු පුහුණු වීමට බුදු දහමෙන් විශාල අනුග‍්‍රහයක් ලැබුණා. මට එ් පොත්පත් කියවන්න ලැබුණේ මගේ පළමු රැකියාව කළ ස්ථානයේ දි. එය පුස්තකාලයක්. එ් නිසා ම මට සිත නිවන පොත්පත් කියවන්න ලැබුණා. එ් නිසා මම අද බොහෝ වැරදිවලට සමාව දී හිත නිදහස් කරගත් කෙනෙක්. අද මගේ අම්ම ව මට මුණ ගැහුණොත් මම ඇය ව දිවි ඇතිතෙක් රැකබලා ගන්නවා. මගේ හිතේ ඇයට වෛරයක් නෑ.
අද මම ළමුන් තුන් දෙනෙකුගේ අම්මා කෙනෙක්. ළදරුවන්ගේ මුල් මාස කීපය තුළ මවත් දරුවාත් අතර ඇතිවන සම්බන්ධය එ් දරුවාගේ මුළු ජීවිත කාලයට ම බලපාන බව මම තදින් ම විශ්වාස කරනවා. මවගේ වැළපීමක් පවා එ් දරුවන්ගේ මානසිකත්වයට බලපාන බව මම හිතනවා. දරුවන් කුඩා කාලයේ සිට ම දකින්නේ අම්මාගේ වැළපීම් නම් එ් දරුවන් ආත්ම ශක්තියෙන් හීන වී යන්න ඉඩ තියෙන බව මට හිතෙනවා. එ් නිසා මම මගේ දරුවන්ට හොඳ මානසිකත්වයක් ලබා දෙන්න නිතර ම උත්සාහ කරනවා. දරුවා දුර්වල මානසිකත්වයකින් යුක්ත නම් අනිත් මිනිසුන් ඉතා ම ලේසියෙන් එ් දරුවා ව විහිළුවට ලක්කරමින් අපහසුවට වධහිංසාවට ලක් කරන්න ඉඩ තියෙනවා. ඇත්තෙන් ම, මම විඳි දුක් මගේ දරුවන් ට නො ලැබේවා යන්නයි මම නිතර සිතන්නේ. නමුත් මගේ ළදරු කාලයේ දී මගේ පියා මේ යහපත් ගුණාංග කිසිවක් දැන හිටියේ නෑ. එ් නිසා ම යි මම බොහෝ පීඩාවට පත් වුණේ. මවගෙන් නො ලැබෙන රැකවරණය පියාගෙනුත් නො ලැබෙන විට එ් දරුවා කොයිතරම් අසරණ දැයි ඔබ ම සිතා බලන්න.
දවසක් ළමුන් පිරිසක් මට හිරිහැර කරමින් සිටි බව මගේ පියා දැක්කා. මම දුවගෙන ගිහින් ඔහුට එ් ගැන පැවසුවේ හැඬූ කඳුළින්. මම අපේක්ෂා කළේ රැකවරණයක්. එ්ත් මගේ පියා මට හොඳට ම බැණ්නා. හිරිහැර කරන ළමුන්ට පහර දෙන්නැයි ඔහු මට උපදෙස් දුන්නා. මම එ් ළමුන්ට පහර දුන්නේ නැත්නම් ඔහු මට හොඳට ම තලන බව කියා තර්ජනය කළා. ඔබ ම සිතා බලන්න මං වගේ දුර්වල කෙනෙක් කොයි තරම් අපහසුතාවට ලක් වෙන්න ඇත්ද කියා.
මම තාත්තට ගොඩක් බය යි. එ් ළමුන්ට ගැහුවෙ නැත්තම් තාත්තා මට ගහනවා කිව්ව නිසා මම ගොඩක් ම බියපත් වුණා. එ් කාලේ මම පාසැලේ දෙවැනි ශ්‍රේණියේ ඉගෙන ගත්තේ. එදා සිට සිදු වූ සෑම හිරිහැරයක දී ම මම එ් ළමුන්ට පහර දෙන්න උත්සාහ කළත් මට එ් තරම් මානසික ශක්තියක් තිබුණෙ නෑ. මම තාත්තා කී ආකාරයට ඔවුන්ට පහර නො දුන් නිසා, එ් ළමුන් මට වධ දෙන බව තාත්තාට කියන්නත් බිය වුණා. මට මගේ දුක පවසන්න කිසිම කෙනෙක් හිටියෙ නෑ. එ් නිසා මම හැම දෙයක් ම හිතේ සඟවාගෙන ඉන්න පටන් ගත්තා. එ් නිසා ම මම තව තවත් සමාජයට භයෙන් ජීවත් වෙන්න පෙළඹුනා.
කොයි මොහොතෙ මාව තල්ලූ කරයි ද, කොයි මොහොතෙ මගේ ඇඟට වතුර ගහයි ද, කොයි මොහොතෙ මගේ ගවුම කිලිටි කරයි ද, කොයි මොහොතෙ මම ඉඳගෙන ඉන්න පුටුව ඇදල මාව බිම වැටෙයි ද, කොයි මොහොතෙ මට පහර දෙයි ද කියා සිතමින් මා නිතර ම බියෙන් තැති ගැනීමෙන් ජීවත් වුණේ.
මගේ අම්මා මාව දාල ගියාට පස්සේ තාත්තාට ටිකෙන් ටික මාව බරක් වුණා. මුදල් අපහසුතා නිසා ම මම වැඩිමහල් වෙද්දි ඔහු ජීවත් වුණේ විශාල අපහසුවකින්. මේ අතරෙ දි දවසක්, නිවාඩුවකට කියල රවටලා මාව ළමා නිවාසයකට භාර දුන්නා. නමුත් අවුරුදු කිහිපයක් ම මට එහි ජීවත් වෙන්න සිදු වුණා. නිවාසයේ සිටින වැඩිහිටියන්ගේ බැණුම් මැදත්, අනෙක් ළමුන්ගේ හිරිහැර මැදත් මට හැදී වැඩෙන්න සිදු වූ නිසා මගේ මානසිකත්වයට නම් ඉන් පහසුවක් වුණේ නෑ. අඩු තරමින් තාත්තාට වත් ඉන් පහසුවක් වුණ නිසා මම අද එ් සියල්ල අමතක කොට දමා සතුටු වෙනවා.
කාලයත් සම`ග මගේ අධ්‍යාපනය නිසා මට සුළු රැුකියාවක් සොයාගන්න ලැබුණා. පුස්තකාලයක තමයි මට රැුකියාව ලැබුණේ. පසු කලෙක දී හොඳ ස්වාමියෙක් සමඟ විවාපත් වන්නට මට හැකි වුණා. ඔහුට විශාල ආදායමක් නැතත් මගේ සිතුම් පැතුම් තේරුම් ගත හැකි සුසිල්වත් මනුෂ්‍යයෙක් නිසා ම මගේ දිවිය වාසනාවන්ත වෙන්න පටන් ගත්තා. මට අවශ්‍ය වුණේ කාලා බීලා සැපෙන් ඉන්න නෙවෙයි. සිත සතුටින් තබාගෙන ජීවත් වෙන්න යි.
පසුගිය දිනෙක මා හට බරපතළ විදියට හිංසා පීඩා කළ පැරණි යෙහෙළියන් පිරිසක් මුණගැසුණා. මම ඔවුන් ඉදිරියට ගියේ බොහොම නිර්භීත ව, ‘අද නම් මම ගුටි කන්නේ නෑ’ කියන අදහසින්. අද මගේ රැකවරණයට ස්වාමියෙක් ඉන්න නිසා. නමුත් ඔවුන් එ් පැරණි ආකාරයට මා දෙස බැලූවේ නෑ. මා ද පුදුමයට පත් කරමින් එ් අය මගෙන් අතීතය වෙනුවෙන් සමාව ඉල්ලා සිටියා. ඇත්තෙන් ම එ් අය සමාව ඉල්ලන්න ප‍්‍රමාද වැඩියි. එ් කළ කී දේ නිසා කුඩා කාලෙ දි ම මම දිවි නසා ගත්තා නම්, ඔවුන්ට ඔවුන්ගේ හෘද සාක්ෂියෙන් වත් සමාවක් ලැබෙන එකක් නෑ. මම ජීවිතය නැති කරගත්තේ නැත්තේ මගේ වගේ ම ඔවුන්ගේත් වාසනාවකට කියලයි මට හිතෙන්නේ.
මම ඔවුන්ට සමාව දුන්නා. සමාව නො දී සංසාරයක් පුරාවට මේ ප‍්‍රශ්න ඇදගෙන යන්න මට අවශ්‍යතාවයක් නෑ. සමාව දීමෙන් මේ ජීවිතයේ දී ම මේ වධ වේදනා නවතිනු ඇතැයි එ් මොහොතේ මම කල්පනා කළා.
කුඩා කාලයේ සිට ම කායික මානසික වධ වේදනාවන්ට මුහුණ දුන් මවක් වශයෙන් මගේ දරුවන් ගැන මම වුවමනාවටත් වඩා සොයා බලන්න පුරුදු වුණා. ඔවුන්ගේ ක‍්‍රියාකාරකම්වල දී ඔවුන් සමඟ කාලය ගත කළා. ඔවුන්ගේ මිතුරියක් මෙන් ඔවුන් සම`ග සෙල්ලම් කළා. ඔවුන්ගේ අපහසුතා තේරුම් අරගෙන ඔවුන්ට උදව් කළා. මම හිතනවා මගේ දරුවන් හොඳ මානසික සෞඛ්‍යයකින් පසු වෙනවා කියා.
එ් වගේ ම මම ඔවුන්ගේ සමාජ ආශ‍්‍රය ගැන සොයා බැලූවා. ඔවුන්ගේ මිතුරන් මිතුරියන් සම`ග මා ද සුහද වුණා. එ් තුළින් ඔවුන් ට යහපත් මිතුරන් වෙන්කොට සමීප කරවීමට මට හැකි වුණා. මිතුරන් නිසා වන පීඩාවන්වල දී බුද්ධිමත් ව ඇහුම්කන් දීමටත් එ්වා නො සලකා නො හැර කුමන හෝ පිළියමක් ලබා දෙන බව දරුවන්ට එ්ත්තු ගැන්වීමටත් කටයුතු කළා. ඇත්තෙන් ම දරුවන්ට අවශ්‍ය දරුවන්ගේ ප‍්‍රශ්නය ගැන අපි සලකා බලනවා කියන හැඟීම ඇතිකරගැනීමට යි. ඔවුන් ට අපි ලබා දෙන පිළියම එ් තරම් වැදගත් නෑ. ඔවුන්ට අවශ්‍ය අපේ රැකවරණය ඔවුන් වෙත නිරන්තරයෙන් පවතින බව කාවැදීම බව මම මේ කටයුතුවල දී තේරුම් ගත් කාරණයක්.
ඔබේ දරුවෙකුට වුණත්, යම් හිරිහැරයක් වෙන බව දැනුණොත්, එය කිසිසේත් ම නො සලකා හරින්න එපා. එය නො දැක්කා වගේ ඉන්නත් එපා. එ් ගැන දරුවා ඔබට පැමිණිලි කරද්දි එය සුළු දෙයක් වුවත් නො සලකා හරින්න එපා. දරුවා එය ඔබ වෙත පවසන්නේ දරුවාගේ මානසිකත්වයට අනුව එය විශාල දෙයක් වන නිස යි.
ඔබේ දරුවන්ට උදව් කරන්න… දරුවන්ට අත දෙන්න… දරුවාගේ මානසිකත්වයට යෝධ ශක්තියක් වෙන්න. මාපියන්ගේ වගකීම සමාජයට ශක්තිමත් මනසකින් යුතු දරු පිරිසක් ලබා දීම යි. මගේ වාසනාවකට මම තනියම සුවපත් වුවත්, සමාජයේ බහුතරයක් මේ ගැටලූවලින් හිස ඔසවන්න නො හැකි ව දුක් විඳිනවා. එ් නිසා ඔවුන් වෙනුවෙන් උපකාරයක් වේවි යැයි අදහසිනුයි මම මේ කතාව ඔබ සමඟ පවසන්නට එකඟ වුණේ.
* * * * *
නදීකා මහත්මියගේ කතාව යි ඔබ එ් දැන ගත්තේ. ඇය කුඩා කාලයේ සිට ම විවිධ තාඩන පීඩනවලට ගොදුරු වූ කාන්තාවක්. ඇය පැවසූ සෑම කරුණක් ම අපි මෙහි සටහන් නො කළත් ඇගේ අතීතයේ වේදනාව යම්තමින් හෝ තේරුම් ගන්නට මේ විස්තරය ප‍්‍රමාණවත් වේවි. ඇය සැබැවින් ම දිරිය කාන්තාවක්. මානසික වධ වේදනාවක් තනියම ජය ගන්නට ලැබෙන්නේ කලාතුරකින් කෙනෙකුට පමණයි. මේ කතාව අප වෙත පවසද්දි ඇය සම්පූර්ණයෙන් ම සුව වී සැහැල්ලූවෙන් සිටියත් ඇගේත්, අපේත් අරමුණ වන්නේ මෙවන් ගැටලූවලට මුහුණ දී සුව නො වී තවමත් දුක් විඳින මිනිසුන් වෙනුවෙන් උපකාරයක් ලබා දීම ට යි. එ් නිසා මෙවන් ගැටලූවක දී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ ව අපි මහමෙව්නාව භාවනා අසපුවේ පින්වත් ස්වාමීන් වහන්සේනමකගෙන් අනුශාසනාවක් ලබා ගත්තා.
‘‘ඉතා ම සංවේදී කතාවක්. මේ තරම් සංවේදී මාතෘකා කතා කරන්නවත් සමාජය කැමති නැහැ. නමුත් එ් තුළින් සිදුවෙන්නේ තව තවත් මේ අහිංසක මිනිසුන් මානසික ව වධ විඳිමින් නිකරුණේ මිය යනවා.
මිනිස් දරු උපතක් බොහොම පිළිවෙළින් සිදු විය යුතු යි. දරුවෙක් අවශ්‍යයි කියන හැඟීම නිසා ම දරුවෙක් ඉපදවීම නො කළ යුතු යි. මුලින් ම, දරුවාගේ මවගේ මානසිකත්වය ගැන සලකා බැලිය යුතුයි. ඉන්පසු එම දරුවා ඉපදෙන්නට සුදුසු ම කාලය එය නම්, මුලින් ම මාපියන් විසින් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් බලසම්පන්න චෛත්‍යරාජයාණන් වහන්සේනමක් වෙත ගොස් තිසරණ සහිත ව පන්සිල් සමාදන් වී කිරි මිශ‍්‍ර ආහාර සහ පලතුරු වර්ග සෑයට පූජා කොට දම්සක් පැවතුම් සූත‍්‍රය දේශනා කරමින් දෙවියන්ට පින් අනුමෝදන් කළ යුතු යි. ඉන් පසු ව මව විසින් පියාට ද ඇසෙන පරිද්දෙන්, දෙව්ලොවින් චුත වන පින්වත් දෙවියෙකු මාගේ කුසේ පිළිසිඳගනිත්වා යැයි ආරාධනා කළ යුතු යි. එවිට මවත් පියාත් තමන්ට ඉපදෙන දරුවා පිළිගැනීමට සුදුසු මානසිකත්වයක් ඇතිකර ගන්නවා. එ් නිසා එ් ඉපදෙන දරුවාට පිළිසිඳගත් දිනයේ සිට ම ආදරයෙන් කරුණාවෙන් සිටිය හැකියි.
ඇතැම් අවස්ථාවල, නදීකා මහත්මියගේ මව මෙන් මානසික රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන මව්වරු සිටින්න ඉඩ තියෙනවා. මේ වගේ අවස්ථාවල දී මවගේ මානසිකත්වය හඳුනන බුද්ධිමත් ඥාතීන් විසින් ඉපදෙන්න සිටින දරුවා කෙරෙහි කරුණාවෙන් සෑම විට ම මවගේ මනස සුරැුකීමට කටයුතු කළ යුතුයි. අවශ්‍ය අවස්ථාවල දී ඖෂධ ප‍්‍රතිකාර ලබා දෙමින්, සුදුසු අවස්ථාවල බෝධි පූජා දාන මානාදි පින්කම්වල යොදවමින් මවගේ මනස සුවපත් කරවීමට ඥාතීන් වෙතත්, ස්වාමියා වෙතත් විශාල වගකීමක් පැවරෙනවා. මානසික රෝගයක් නැති මවක් වුණත් විශාල බරක් කුසේ දරාගෙන සිටින නිසා ඇයව තේරුම් ගෙන ඇගේ මනස නීරෝගිව සතුටින් තබා ගැනීමට සියලූ ඥාතීන් ස්වාමියා සමඟ එකතු වීම උසස් මිනිස් ගුණධර්මයක්.
දරුවා ඉපදුණු පසු, උපරිම වශයෙන් වසර 5ක් වත්, අවම වශයෙන් වසර 3ක් වත් මව් කිරි දීම අත්‍යාවශ්‍ය දෙයක්. ඉන්පසු ආදේශක කිරි වර්ග භාවිත කරන්න පුළුවන්. එ් සෑම අවස්ථාවක දී ම මවගේ හදවතට දරුවා සමීප වෙලා තමයි කිරි බොන්නේ. එ් නිසා දරුවා සමඟ සමීප සංවාද සිදු කරන්න, දරුවාගේ හිතට කාවදින බුදුගුණ කවි, ගාථා ආදිය මිහිරට සජ්ඣායනා කරන්න මේ අවස්ථාව තරම් සුදුසු ම අවස්ථාවක් නැවත ජීවිතකාලයට ම මුණ ගැසෙන්නේ නෑ. දරුවා කිරි බොන වයසේ දී තමයි දරුවා ගේ මනස හොඳින් පවත්වාගත යුතු වන්නේ.
කුඩා දරුවෙකුට මිතුරන්ගෙන් හෝ සොයුරන්ගෙන් ඇතිවන තාඩන පීඩනයක් ඔහුට ම තනිව ම විසඳා ගැනීමට කිසිසේත් ම ඉඩ නො දිය යුතු යි. ඔහු ට අපි ඉගැන්විය යුත්තේ ඉවසීමත්, සමාව දීමත් පමණයි. පහර දීමත්, පොර බැදීමත් කෙසේ කළ යුතු දැයි දරුවන්ට කියා දෙන්න මාපියන් අවශ්‍ය වන්නේ නෑ. එය දුෂ්ට මැරයෙකුට වුවත් කළ හැකියි. මාපියන් සෑම විට ම දරුවන්ගේ ප‍්‍රශ්න විසඳන්න මැදිහත් විය යුත්තේ බුද්ධිමත්ව යි. අවෛරී සිතකිනු යි. මැදහත් සිතකිනු යි. දරුවාට එ් ඉදිරිපත් වීම ම ප‍්‍රමාණවත්. ඉන්පසු ඔබ බුද්ධිමත් ව ප‍්‍රශ්නය විසඳා දරුවාගේ සිතේ තවකෙකු වෙත පැන නැඟුණු ද්වේෂය නැතිකොට ඔහුට සමාව දීමටත්, එ් හැම දෙයක් ම අමතක කොට නැවත මිතුරන් මෙන් සිටීමටත් කරුණාවෙන් උපදෙස් දිය යුතු යි.
වැඩිවියට පැමිණෙන දරුවන්ගේ සමාජ ආශ‍්‍රය පිළිබඳ ව මාපියන් අවධියෙන් සිටිය යුතු යි. ඔවුන් විනෝද ගමනක් යාමට සූදානම් වන්නේ නම්, ඔවුන් පිළිබඳ වඩාත් සෙවිල්ලෙන් සිටිය යුතු යි. එ් විනෝද ගමනේ දී, කුමන හෝ දිශාවකට දරුවාගේ ජීවිතය ඇදී යන්නට පිළිවන්. සමහර වැරදි ජීවිත කාලයට ම සකස ගන්න අපහසුයි. එ් නිසා එ් වැරදි සිදුවන්න පෙර සිට ම හරි වැරැුද්ද කියා දී කුසලය අකුසලය කියා දී දරුවන් දැනුවත්කර තිබීම බොහොම වැදගත්.
දරුවන්ගේ මිතුරන් සමග සමීප සම්බන්ධතාවයක් පැවැත්වීම තුළින් නදීකා මහත්මිය තම දරුවන් ප‍්‍රවේශම් කරගන්නා ආකාරයක් පිළිබඳ මේ කතාවේ දී පැවසුණා. ඇත්තෙන් ම එය ඉතා හොඳ උපක‍්‍රමයක්. දරුවන්ගේ මිතුරන් කවරාකාරදැයි දෙමාපියන් දැන සිටීමෙන් තම දරුවාගේ සුළු වෙනස්කමක් වුවත් කල්තියා හඳුනාගැනීමට හැකි වෙනවා. අනතුරක් සිදු වන්නට පෙර, එය කල්තියා දැනගන්නට ලැබීම කොයිතරම් වාසනාවක් ද!
ගැහැනු දරුවන් සිටින මාපියන්, තම දරුවන්ට සමීප වන පිරිමි දරුවන් පිළිබඳ ව වඩාත් සෙවිල්ලෙන් සිටිය යුතුයි. පිරිමි ළමුන් ඇසුරු කිරීම තහනම් කිරීමට වඩා, තම දියණියට නිසි වයසේ දී හරි වැරැද්දත්, සමාජය ගැනත්, කුසලය අකුසලය ගැනත් කියා දී ළඟ සැපත නො බලා දුර දිග කල්පනා කොට දීර්ඝකාලීන සැපතක් කරා යන ආකාරය ගැන සිත තුළ හැඟීමක් ඇති කරවිය යුතු යි. ඇගේ සිතේ යම් පිරිමි දරුවෙකු ගැන කැමැත්තක් ඇති වුව හොත් එය මිතුරියකට කියන පරිද්දෙන් මවට පැවසිය යුතු ආකාරයේ පසුබිමක් සකසා ගැනීමෙන් කල් තියා ම මව්වරුන්ට තම දියණියන් ප‍්‍රවේශම් කරගත හැකි වෙනවා. එහි දී මව ද කලබල නො වී ඉවසීමෙන් ඇයට සවන් දෙන්නේ නම්, ඇය අනාගතයේ දී ද ඔබට ඇගේ සිතැඟි පවසනු ඇති. නමුත් ඔබ කලබල වුවහොත්, ඇය අනාගතයේ සිදුවන දෑ ඔබට සඟවා දමාවි.
කරුණාවෙන් ලබාගත හැකි දේ බොහෝ යි. සැර පරුෂ වීමෙන් ලබාගත හැක්කේ අල්ප සුවයක් පමණයි.
නදීකා මහත්මියගේ අත්දැකීම්වලට මුහුණ දෙන තරුණ වියේ පසුවෙන කෙනෙකු විසින් කළ යුත්තේ,
හොඳින් බුදුරජාණන් වහන්සේගේ කරුණාව පිළිබඳ ව සිතමින් බුද්ධානුස්සති භාවනාව කිරීම යි. එ් වෙත තනිය ම යොමු විය නො හැකි නම්, එ් පිළිබඳ උපදෙස් ගත හැකි අයෙකුගෙන් ධාර්මික අනුශාසනාවක් ලබාගන්න. ඉන්පසු ක‍්‍රමානුකූල ව එ් කරුණාව සිත තුළින් මෙනෙහි කරන්න. භාග්‍යවතුන් වහන්සේගේ කරුණාව ඔබටත් ලැබෙන බව තේරුම් ගන්න. ඔබ කිසිසේත් ම අසරණ නැහැ. ඔබේ ජීවිතය බුදුරජාණන් වහන්සේට පූජා කොට, මේ මුළු ලෝකය ම මට නැතත් මා සමඟ බුදුරජාණන් වහන්සේ සිටින්නේ යැයි සිතා සතුටට පත් වන්න. එය ඔබේ විමුක්තියේ ඇරඹුම යි. ඔබේ විමුක්තිය පවතින්නේ ඔබ තුළ ම උපදවාගන්නා සැනසීමක් තුළ බව මතක තබා ගන්න.”
මානසික සහ කායික වධ වේදනාවන්ගෙන් පිරුණු ලෝකයට බුදුරජාණන් වහන්සේ සදා සැනසිල්ල ලබා දුන්නා… එ් සත්‍යානුභාවයෙන් ඔබ සැම සිත් සතන් නීවී සැනසී සුවපත් වේවා…!
තෙරුවන් සරණයි!
මෙහි සඳහන් නම් ගම් සියල්ල මනඃකල්පිතයි
සැකසුම
විශ්වනාත් දේවප‍්‍රිය
Recent Comments