ඔහු නමින් තිස්ස ය. මේ සැවැත් නුවර ම සිටු කුලයක දායාද වූවෙකි. අසූ කෙළක් ධනස්කන්ධය හිමි ධනවතෙකි. හේ වීදියට පැමිණියේ මොනයම් හෝ කටයුත්තකට ය. එහෙත් දැන් එ් අමතක වූ හැඩයි. නිහඬ ගමනින්, සුවඳ මල් නෙළාගෙන, ප‍්‍රීතිමත් මුහුණු ඇතිව තරුණයෝ ද තරුණියෝ ද මහල්ලෝ ද මැහැල්ලියෝ ද දෙමාපියන් සමග ළපැටියෝ ද එක ම දිශාවකට මේ ඇදෙන්නේ කොහිට ද?
‘‘ඇයි සිටුතුමා දන්නේ නැති ද? ශාක්‍ය රජ දහනෙන් රජසිරි අතහැර ශ‍්‍රමණයෙක් බවට පත් වූ සුෙදාවුන් රජුගේ දෙටුපුත් සිද්ධාර්ථයන් වහන්සේ සම්මා සම්බෝධියට පත් වූ වග. එ් භාග්‍යවත් ශ‍්‍රමණ ගෞතමයාණන් වහන්සේ අර වීදියේ කෙළවර පිහිටි ජේතවනයේ විහාරයක යි වැඩ ඉන්නේ. උන් වහන්සේ අපූරුවට දහම් දෙසනවා. එ් අසනු පිණිසයි මේ හැම දෙනා ම ඔය යන්නේ. මාත් පමා නො වී යන්නම් එහෙනං. නැති නම් වාඩිවෙන්ටවත් ඉඩකඩ මදිවෙනවා.”
තිස්ස සිටුතුමාත් නො දැනුම්වත්ව ම වාගේ ජන කැළ සමග ම සැවැත් නුවර ජේතවනයට සේන්දු විණි. ඉතා ම මනරම් වූ විහාර මන්දිරයකි. අවට පරිසරය ද සිත්කලූ ය. ඊටත් වඩා පුදුමාකාර නිවී සැනසිල්ලකි මෙහි දැනෙන්නේ. විශාල ජනකායක් එකතු වී ඇතත් අරුම පුදුම නිහැඬියාවකි. මේ මිහිපිට නො වේ ෙදා්? තිස්ස සිටුතුමා විස්මයට පත් සිතින් ඉඩකඩක් බලා වාඩි විණි. නිහඬ පිරිස දෙස සීරුවෙන් බලමින් සිටි ඔහුට එකවර ම දිස් වූයේ, පිරිසට ඉදිරියේ තරමක් උසින් තැනුණු වේදිකාව මත චාම් අසුනක නිසොල්මනේ ම වාඩි වී සිටින සම්බුදුරජාණෝ ය.
කාංචන පැහැයෙන් බබළන පිළිමයක් සේ ය. මඳක් වැඩුණු කෙස් නිල්වන් ය. එකෙණෙහි ම උන් වහන්සේ හිස ඔසවා පිරිස දෙස බැලූ සේක, බ‍්‍රහ්ම ස්වරයෙන් පිරිස ඇමතූ සේක. එ් සම්බුදු රූපශ‍්‍රීයෙන් වසඟව සිටි තිස්ස, එ් මියුරු සම්බුදු ස්වරයෙන් දෙගුණ තෙගුණ වසඟ වී, දෙසවන් යොමා එ් අපූර්ව වූ දම් දෙසුම් අසා සිටියේ ය.
මෙතුවක් කලකට කිසිවෙකුගෙන් නොම ඇසූවකි මේ. ජීවිතයේ යථාර්ථය යි මේ. ඇස කුල්මත් කර වූ රූපයන්ට, මියුරු ශබ්දයන්ට, සුමිහිරි සුගන්ධයන්ට අමයුරු රසයන් , කායික සුව පහස වසඟ ව මුළාවෙන් ගතකරන මේ දිවිය ගැන තිස්ස සිටුතුමාට නොඇල්මක් ම හටගැණිනි. තමා සතු අසූ කෙළක් ධනය මාපියන්ගෙන් ලැබුණකි. රෑ දිවා නොබලා වෙහෙස වී එ් මහත් ධනස්කන්ධය ඉපැයූ තම මවත් පියාත් ඉන් තඹ ෙදායිතුවක්වත් නො ගෙන ම ය මිය ගියේ. භෞතික ධනයන් සෙවීමට මුවා වී මේ මිනිසුන් ගත කරන නිසරු දිවි පෙවෙත තිස්ස සිටුවරයාට මනාව තේරුම් ගියේ ය.
සැදැහැවතුන් සාධුකාර දෙමින් අවසන් වූ දම්දෙසුම අනුමෝදන් වූහ.
එකෙණෙහි ම වහා නැගී සිටි තිස්ස සිටුතුමා ඉක්මන් ගමනින් සම්බුදුරජාණන් අබියසට පැමිණියේ ය. මෙසේ ආයාචනා කළේ ය.
‘‘අහෝ ! ස්වාමීනි, මෙතරම් වයසින් මෝරායන තෙක් ම මේ දිවියේ සැබෑව මා නො දැන සිටියේ ය. එහෙත් දැන් දනිම් මේ ජීවිතය ගැන. මටත් අවශ්‍යයි ඔබ වහන්සේ සමීපයේ ම වාසය කරන්නට. කසාවත් දැරූ මේ අනෙක් ශ‍්‍රමණයන් වහන්සේලාට මෙන් මා හට ද ඔබ වහන්සේ ම පිළිසරණ වන සේක්වා!”
දුර දී නො දුටු එ් සම්බුදු සමිඳුන්ගේ කාරුණික වූ අභිනීල නෙතු සඟල දැන් තිස්සට මනාව පෙනේ. සිහින් ස්වරයෙන් සම්බුදු සමිඳාණෝ ඔහුට මෙසේ පැවසූ සේක.
‘‘පින්වත් තිස්ස, හැකියි ඔබ හට මා සමීපයේ පැවිදි වන්නට. එ්ත් ඊට පළමුව තම භාරකරුවන්ට එ් ගැන දැනුම් දී පැමිණිය යුතු ය.”
මහත් සේ සොම්නසට පත් තිස්ස තෙමේ ‘‘එසේ ය ස්වාමීනි” යි පිළිතුරු දී වන්දනා කොට නැගී සිටියේ ය. ඉක්මනින් ම සිටුමැදුර වෙත ගිය ඔහු තම බාල සොහොයුරාත්, ඔහුගේ බිරිඳත් කැඳවා තමා සතු ධනයේත්, ඉඩකඩම්වලත් අයිතිය පවරා දුන්නේ ය. සියලූ ඥතීන්ට ද තමාගේ පැවිදි වීමේ අදහස සැලකොට පණිවිඩ යැවී ය. ඔව් ! දැන් එ් තිස්සයන් කුඩා වූත්, මහත් වූත් දේපළයන්ගෙන් නිදහස් ය. කුඩා වූත්, මහත් වූත් ඥාති වර්ගයාගෙන් නිදහස් ය. ප‍්‍රීතිමත් සිතින් පාරට බැස ඔහු ජේතවනය දෙසට ගමන් කළේ සොහොයුරාගේත්, ඔහුගේ බිරිඳගේත් ඥතීන්ගේත් හැඬුමන් නො තකා ම ය.
සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සමීපයේ ඔහුට පැවිදි උපසම්පදාව ලැබිණි. නව හිරුමඬලක් පෑයූ කලක මෙන් ඔහුගේ දිවිය ආලෝකවත් විය. ධර්ම විනය මැනැවින් හැදෑරූ තිස්ස තෙරුන් වහන්සේ ශාස්තෘන් වහන්සේගේ අවසරය ගෙන හුදෙකලා වීම පිණිස වනයට වැඩම කළේ ය. රුක් සෙවණ සෙනසුන කර ගත්, තුන් සිවුරෙන් ම යැපෙමින්, පිණ්ඩපාතයෙන් භික්‍ෂාව සොයාගෙන උන් වහන්සේ ඉතාමත් අල්පේච්ඡ දිවියක් ගත කළේ ය. කෙලෙස් තැවීමේ වීරියෙන් යුතුව නිරතුරු වෙහෙසුණේ ය.
තිස්ස තෙරුන්ගේ ගිහි කල සිටුමැදුරේ ස්වභාවය නම් හාත්පස වෙනස් වී ය. සොහොයුරාගේ බිරිඳ එ් පැවිද්ද ගැන සිතුවේ වෙනස් අයුරකිනි. ඈ දැන් දහෙදාළොස් වතාවක් ම තම සැමියාට මෙලෙසින් කරුණු කියන්නී ය.
‘‘ඇයි ඔයා මා කියන දේ මායිමකටවත් නො ගන්නෙ? ඔයාගේත්, මගේත්, දරුවන්ගේත් හොඳටනේ මං මේ අදහස නිතර ම කියන්නේ. අයියණ්ඩි නරක කෙනෙක් නොවන බව මාත් දන්නවා. එ්ත් පැවිද්දේ නො ඇලී ගිහි වන උදවිය කොතෙක් ද? අයියණ්ඩිටත් ආයේ ගිහි දිවියට කැමැත්ත ඇති වුණොත් මේ ධනය ඔහුට ම හිමි වේවි. එදාට මං කීවේ මොකක් දැයි ඔහේටත් තේරේවි !”
ඇය කෝපයෙන් ම පවසා කාමරයෙන් එළියට ගියා ය.
බිරිඳ කොතෙක් කීව ද තම එක කුස උපන් සොහොයුරා ඝාතනයට කොන්ත‍්‍රාත්තුවක් දීමට ඔහුට සිත් නො දේ. එනමුත් ඇවිටිලි වැඩි වෙද්දී ඔහුගේ සිත වෙනස් විය. දරුණු සොර මුලකට ඔහු කොන්ත‍්‍රාත්තුවක් දුන්නේ ය. පැවසූ ලකුණු අනුව රුක් සෙවණේ වැඩහුන් තිස්ස තෙරුන් හඳුනාගැනුම සොරුන්ට අපහසු වූයේ නැත. එකවර ම එතැනට කඩා පැනගත් සොරු උන් වහන්සේව අල්ලා ගත්තෝ ය. දෙටු සොරා මෙසේ ප‍්‍රශ්න කළේ ය.
‘‘අපට ඇත්ත කියාපිය ! උඹ ද සැවැත්නුවර සිටපු තිස්ස සිටුතුමා?”
‘‘හ්ම් ! එ් මං තමා, උඹලා කවු ද?”
ඉණේ තිබූ කඩුව අතට ගත් දෙටු සොරා මහ හඬින් සිනා සී මෙසේ කීවේ ය.
‘‘අපි කවුරු වුණා ම උඹට මොකද? දැන් ඉතින් මැරෙන්ට ලෑස්ති වෙයං.”
තරමක් තැති ගත්ත ද උන් වහන්සේ මෙසේ කීවේ ය.
‘‘මං ඔබලාට වරදක් කරලා නැහැනේ ! ඔබලාට දීමට ධනයකුත් මා සතුව නැහැ. ඇයි මාව මරන්නේ?”
‘‘මේක කොන්ත‍්‍රාත්තුවක්…”
දෙටු සොරා තරමක් හඬින් පැවසී ය.
බේරුමක් නම් නැති හැඩයි. එ්ත් තිස්ස තෙරුන් තාමත් පැවිද්දේ අරුතට ළඟා වී නැත. මේ කෙලෙස් සහිත දිවියට වඩා මරණය උතුම් ය. එ්ත් කෙලෙස් දුරුකොට මියගිය හොත් යළි මේ කෙලෙසුන්ගෙන් සැදුණු සංසාර චක‍්‍රයට නො එන්නේ ය. නොසන්සුන්ව හිටි සොරුන්ට සන්සුන් හඬින් තිස්ස තෙරුන් මෙසේ පැවසී ය.
‘‘මං මේ කසාවත දරාගත්තේ යම් කටයුත්තක් කිරීම පිණිසයි. එ්ත් මට තාම කර ගන්ට බැරි වුණා. මා හට එක් දිනක් ජීවිතය දීමට ඔබලාට නො හැකි ද?”
දෙටු සොරා තවත් නොසන්සුන් වී, ”බෑ උඹ හිතුව ද අපිව රවටන්ට? හ්ම්… තෝ මහ ? පැනලා යාවී. දැන් ම ලෑස්ති වෙයං.” යි මහ හඬින් මොර ගෑයේ ය.
‘‘නෑ, මට රවටන්ට වුවමනාවක් නෑ, පැනල ගිහිං රැුකගන්ට දේකුත් මට නෑ. මට එක රැයක් කල් දෙන්න.”
‘‘පැනල නො යනවා කියන්ට උඹට මොකක් ද ඇති සාක්කිය….. හ්ම් ! කියාපිය.”
සාක්කියට කෙනෙකු නැත. දීමට ධනයක් ද නැත. උන් වහන්සේ සෙමින් වටපිට බැලී ය. තරමක් විශාල ගලක් රුක් සෙවණේ ඇත.
‘‘මං සාක්කියක් දෙන්නං…. මට මේ ගස යට වාඩිවෙන්ට ඉඩ දෙන්න. ඔබලාගෙන් කෙනෙක් මට අර ගල ගෙනැවිත් දෙන්න.”
ගස් සෙවණේ හිඳගත් තිස්ස තෙරුන් අතට එ් ගල ලැබිණි. උන් වහන්සේ දෙපා දිගහැර දණහිස් මතට එ් ගලින් වැරෙන් පහර ගැසී ය. එ් දසුන දුටු ඇතැම් සොරුන් ද දෑස් පියා මුහුණ හරවා ගති. පරිසරය නිහඬ ය. තිස්ස තෙරුන් දෑස් පියාගත්තේ ය. උන් වහන්සේට තනිවීමට ඉඩදුන් සොරු ද නුදුරේ රුක් සෙවණකට ගියෝ ය. දණහිස් කැඞීමෙන් සැදුණු දරුණු තුවාල වේදනා දෙද්දී, එ් තුවාල මත මැසි කෝඳුරුවන් වසද්දී, අරුණ උදාවෙන තුරු වධකයෝ බලා සිටිද්දී තිස්ස තෙරණුවෝ සම්බුදු රජුන්ගේ අනුශාසනය ම සිහි කළේ ය. එ් වීරියත්, කැපකිරීමත් හිස් වූවක් නො වේ. දණහිස් කඩාගෙන රුක් සෙවණේ හිඳගත් භික්‍ෂුව වෙනුවට දැන් එහි නිකෙලෙස් මුනිවරයෙකු වැඩ සිටී.
රෑ පහන් විය. පිරිස සමග දෙටු සොරා පැමිණියේ ය.
‘‘හ්ම් දැන් කාලෙ ඉවරයි.” කඩුව ඔසවාගෙන ඔහු පැවසුවේ ය. සිහින් ප‍්‍රීතිමත් ස්වරයෙන් උන් වහන්සේ මෙසේ පැවසූ සේක.
‘‘උභෝ පාදානි ජින්දිත් වා
– සංයමිස්සාමි වෝ අහං
අට්ටියාමි හරායාමි
– සරාග මරණං අහං”
‘‘දෙපා බිඳගෙන මඳ කලකට මම ජීවිතය වෙනුවෙන් අයැදීමි. එ් මාගේ සරාගී වූ මරණය මම පිළිකුල් කරමි. දිවි යැදීම ගැන ලැජ්ජා වෙමි.”
උන් වහන්සේ නිහඬ විය. සිත් පිත් නැත්තෙකුගේ එක කඩු පහරින් ම හිස කඳින් වෙන් වී කෙලෙස් රහිත උතුමෙකුගේ උණුසුම් රුධිරයෙන් එබිම තෙමී ගියේ ය.
මහාමේඝ 2015 පොසොන් කලාපය
WWW.MAHAMEGHA.LK
මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි.
Recent Comments