සියලූ සතුනට මෙත් පැතිරවීමේ මූලික ධර්මතාව ඉතා ගැඹුරෙන් අවධාරණය කරන ලොවුතුරා බුදුරජාණන් වහන්සේ තරම් මනුෂ්‍ය ජීවිතයක අගය හුවා දැක් වූ අන් ශාස්තෘ වරයෙකු නැති තරම් ය. ඉතා දුර්ලභ මිනිසත් බව ලැබුවෙකුගේ ජීවිතය වෙනත් එබඳු ම දුර්ලභ ලාභයක් ලැබුවෙකු අතින් වැනසී යාම කෙතරම් අවාසනාවන්ත ද? අප දහම් දිවයිනෙහි ද කෙළවරක් නැති මනුෂ්‍ය ඝාතන දිනපතා අසන්නට ලැබිම මහත් අභාග්‍යයකි.

අපරාධයක තින්දුව ලිපි පෙලෙහි අද කතන්දරය ඔබට කියන්නට අවශ්‍ය තොරතුරු ලබා ගන්නට වැලිකඩ බන්ධනාගාරයට ගිය මට කතන්දරයේ සුලමුල අසා ගන්නට වුවමනා පුද්ගලයා මුණ ගැසුණේ නැත.

මීට වසර දෙකහමාරකට පමණ පෙර මිනී මැරුම් චෝදනාවකට වැරදි කරු වී මරණීය දණ්ඩනයට නියම කරනු ලැබූ විදුර ඇසුරු කළ සිර කරුවන් කීප දෙනෙකු ඉන් පසු සොයා ගියේ ඔහු පිළිබඳ තොරතුරු සොයා ගැනීමට ය.

විදුර සමග එක ම සිර මැදිරියේ වසර ගණනක් කල් ගත කළ මහතුන් සිද්ධිය තමා දන්නා අයුරෙන් මෙ සේ මා සමග පැවසී ය. විදුර වරින් වර මෙ සිද්ධිය පිළිබඳ ව තමා සමග පැවසූ තොරතුරු බැවින් ඒවායේ අනුක‍්‍රමික පිළිවෙල හා සිද්ධිමය කරුණු පිළිබඳ වැරදි සහ ඌණතා තිබිය හැකි බව මහතුන් මුලින් ම සඳහන් කළේ ය.

මෙම මිනි මැරුම් සිද්ධියට දැනට අවුරුදු 26ක් පමණ කල් ගත වී ඇත. එවකට අවුරුදු 23ක වයසේ පසු වූ විදුර ස්වභාව ගති ලක්ෂණයෙන් ම දඩබ්බර පුද්ගලයෙකි. ඉඩමක වැට මායිම් ආරවුලක් දුර දිග යාම නිසා විදුර තම දුරින් ඥාතියෙකු වූ ඬේවිඞ් මාමා සමග දැඩි අමනාපයකින් පසු විය. මේ අමනාපය කලක් මෝරමින් වැඩුනේ එකිනෙකා නැසීමේ චේතනාව පෙරදැරි කරගත් දැඩි ද්වේශයක ආකාරයෙනි. බුර බුරා නැග එන විදුරගේ කෝප ගින්නට ඬේවිඞ්ගේ පවුලෙන් නොඅඩු ව තෙල් සැපයින. ළඟින් ගියත් කියවෙන ඇණුම් පද අවලාද නිසා ආරවුල දිනපතා අලූත් විය.

දිනක් ගෙදර යමින් සිටි විදුරට මග රැක සිටි ඩේවිඞ් පහර දුන්නේ ය. තව තවත් වෛරයෙන් ඇවිල ගිය විදුරට ඬේවිඞ් වැනසීමේ චේතනාව පහළ විය. විදුර පවසා ඇති අන්දමට මේ වන විට තමා මරා දැමීමට ඬේවිඞ් ද මාන බලමින් සිට ඇත. ඒ අවාසනාවන්ත රාත‍්‍රියේ විදුර තමාගේ සහචරයින් තුන් දෙනා වූ සිරිසේන, බණ්ඩියා සහ කුලයා සමග මත්පැන් පානය කරමින් සිට ඇත. විදුර කෝලාහලයකට පටලවා ගැනීමේ අදහසින් ඬේවිඞ්, තම භාර්යාව සහ දුව සමග ඔහුට අපහාස කරමින් දිගින් දිගට ම බනින්නට පටන් ගෙන ඇත. ‘චන්ඩි නම් බැහැලා වරෙල්ලා’ ආදි වශයෙන් ඬේවිඞ් වහසිබස් දොඩන්නට පටන් ගත් විට ‘වැඩේ අවසානයක් කරමු’යි කතිකා කරගත් විදුරත් සගයන් තුන් දෙනාත් අතට හසු වූ ආයුධ ද රැගෙන කෝලාහලයට නික්මුණහ.

මුලින් ම තම ගෙවත්තේ කඩුල්ලෙන් පැන ඉදිරියට ආවේ ඬේවිඞ්ගේ භාර්යාවයි. ‘උඹත් ආවාදැ’යි අසා එක් වර ම ඇයට කඩු පහරක් ගසා ඇත. තුවාල සමග හඬාගෙන ඇය දිව යත් ම ඉදිරියට ආ ඬේවිඞ්ට හතර දෙනා ම පහර දෙන්නට පටන් ගත් අතර වියරු වැටී සිටි විදුරගේ කඩු පහරක් ඬේවිඞ්ගේ උරය හරහා වැදුණි. පරිසරය නිහඩ විය. විදුර තමන්ගේ ගෙදරට ගිය නමුත් සිය සහචරයින් තිදෙනා පාරේ වාඩි වී තත්ත්වය බලා සිට ඇත. ඔවුන්ට තිබූ බිය නිසා, තුවාල ලබා වැටී සිටි ඩේවිඞ් රෝහලකට ගෙන යාමටවත් කිසිවෙකු ඉදිරිපත් වුනේ නැත. අධික රුධිර වහනය නිසා ඩේවිඞ් මිය ගියේ ය.

අපරාධ සිද්ධියෙන් රක්ෂිත බන්ධනාගාරගත ව ඇප මත නිදහස් වූ විදුර මහාධිකරණයේ නඩු විභාගය ඇරඹෙන තෙක් ගමට පැමිණ සාමාන්‍ය දිවි පෙවෙතක් ගත කරන්නට උත්සාහ ගෙන ඇත. අඩි හයක් පමණ උස හා උසට සරිලන මහතකින් ද හැඩි දැඩි සිරුරකින් ද හෙබි විදුර, ශරීරය වෙහෙසා මහන්සි වී වැඩ කිරීමේ රුසියෙකි. කම්මැලිකම ඔහු වෙත ගෑවිලාවත් නැත. තමාට මුහුණ දීමට සිදු වූ ඉරණම පිළිබඳ ව නිරතුරු කණස්සල්ලෙන් කාලය ගත කළ විදුර තවත් කරදර ඇති කර නොගැනීමට වග බලා ගනිමින් දෑත වෙහෙසා ජීවන මාර්ගය සරි කොට සැළකිය යුතු ආර්ථික ශක්තියක් ද ගොඩනගා ගත්තේ ය. ගම් ප‍්‍රදේශයේ ම කරුණා නමැති තරුණියක් විවාහ කරගත් ඔහුට දුවක හා පුතෙකු ලැබුණි. මේ වන විට ඒ දුවට අවුරුදු 22ක් ද පුතාට අවුරුදු 17ක් ද වේ.

මහාධිකරණයේ දී අධිචෝදනා ලැබූ විදුර දීර්ඝ නඩු විභාගයකින් පසු ව එනම් සිද්ධියෙන් අවුරුදු 23ක් අවසානයේ වැරදිකරු බවට තීන්දු විය. මිනි මැරුම් චෝදනාවට වැරදිකරු වූ නිසා මරණීය දණඩනය ද, ඩේවිඩ්ගේ භාර්යාව මරණයට තැත් කිරීම සහ තුවාල කිරීමේ චෝදනාවන්ට අතිරේක අවුරුදු 29ක සිර දඬුවමක් ද ඔහුට නියම විය. මරණීය දණ්ඩනය නියම වීමෙන් බන්ධනාගාරගත වූ විදුර අභියාචනයක් ඉදිරිපත් කළේ ය.

මරණීය දණ්ඩනය සහ අනෙක් සිර දඬුවම් නියම වී අභියාචනයේ තීන්දුව ලැබෙන තෙක් සිර මැදිරියේ ගත කළ අවුරුදු දෙකහමාරක පමණ කාලය තුල විදුර තමා සමග ඉතා කිට්ටු ඇසුරක් පැවැත්වූ බවත් තමාට මහත් ආදරයක් හා ගෞරවයක් දැක්වූ බවත් මහතුන් කියයි. පසුගිය අගෝස්තු මාසයේ එක්තරා දිනයක ඔහු හොඳින් හැඳ පැළඳගෙන අභියාචනයේ තීන්දුව ලබා ගැනීමට ගියේ නිදහස ලබා ගෙන හෝ දඬුවම ලිහිල් කරගෙන හෝ ආපසු ඒමේ අදහසිනි. කොපමණ සිත් තැවුලෙන් සිටියත් තමාට යම් හෝ සහනයක් අභියාචනයෙන් ලබා ගත හැකි වේ යයි විදුර බරපතල විශ්වාසයකින් පසු විය. එදින ආපසු සිර මැදිරියට පැමිණි විදුරගේ වැඩි කතා බහක් නොවී ය. තමාට එම දඬුවම ම අභියාචනයෙන් ද තීන්දු වූ බැවින් මරණීය දණ්ඩනය සහ අවුරුදු 29 සිර දඬුවම තහවුරු වූ බව සිහින් ස්වරයෙන් පවසා විදුර හිස බිම ගසා ගත් බව මහතුන් පවසයි.

අභියාචනයේ තීන්දුවෙන් දින හතරකට පසු පොලිසැක් හාල් ගෝනියක හීන් පොලිතින් කෙඳි ගලවා ඒවායෙන් ලණු පොටක් හදාගත් විදුර කාටත් හොරෙන් හිස් ව තිබුණු පාලූ හිර මැදිරියකට ගොස් ගෙල වැල ලා මිය ගොස් තිබිණි. අපේ අද කථාවේ ප‍්‍රස්තුත පුද්ගලයාගෙන් කෙළින් ම තොරතුරු ලබා ගන්නට නොහැකි වුනේ එකී විදුර තමා අතින් ම තම දිවි තොර කර ගෙන තිබුණු නිසයි.

අමුත්තක් නොදැනෙන ලෙස කාලය ගත කරන්නට බලවත් උත්සාහයක යෙදුන ද අවසන් දවස් හතර තුල විදුරගේ චර්යාවන් වෙනස් වී තිබුණු බවත් ඒ නිසා ම ඔහු පසු පසින් ම වාගේ හිත හදමින් තමා සිටි බව මහතුන් පැවසී ය. එහෙත් ඉරණම වෙනස් කිරීමට මහතුන්ට හෝ වෙනත් මිතුරෙකුට හෝ නොහැකි විය. මොහොතක්වත් වැඩක් පලක් නොකර සිටීමට බැරි විදුර පොඩි රෙදි කැබල්ලක්වත් තිබෙන්නට නොදී සෝදා දමන බවත්, අතු පතු ගෑම පිරිසිදු කිරීම, තේ ටික සාදා දීම ආදී දේවල් සිදු කරමින් තම සිතේ ගින්දර නිවා ගැනීමට ආයාසයක් ගත් බවත් ඔහු පැවසී ය.

මහතුන් සහ විදුරගේ තවත් මිතුරන් පිරිසක් කීවේ බොහෝ විට ඔහු නිශ්ශබ්ද ගූඪ පුද්ගලයෙකු බවයි. වැඩි සිනහවක් හෝ කතා බහක් හෝ නැති ඔහු ඕනෑ ම දෙයක් ප‍්‍රකාශ නොකොට හිත ඇතුලේ තියා ගන්නා කෙනෙකු ලෙස ද පෙන්වා දෙනු ලැබිණි. තමා සිදු කළ අපරාධයේ ආදිනව නිසා හිතේ පසුතැවිල්ලෙන් කාලය ගත කළ ඔහු නිතර බන්ධනාගාරයේ විහාරයට ගියේ තම සිත සනසා ගන්නා අටියෙනි. කිසිදු අධ්‍යාපනයක් ලබා නොමැති විදුර දුර දිග බලා කටයුතු කරන්නට තරම් නිසි අවබෝධයක් හෝ ශික්ෂණයක් නොතිබුණු පුද්ගලයෙකි. ඔහු තුල ඇතැම් අමුතු ගති ගුණ ද තිබුණු අතර ගෙදර සිටි අවධියේ පාවිච්චි කර ඇත්තේ තමා ම මැද සකස් කර ගත් සුරා බව පවසා ඇත. කුඩා කාලයේ සිට ම දඩයම් කිරීමට සහ සතුන් මැරීමට තමා රුචියක් දැක් වූ කෙනෙකු බවත් මහතුන්ට පවසා ඇත. මරා ගත් සතාගේ මස් පිටස්තර කිසිවෙකුට නො දී තමා ම බුදින බවත්, සාමාන්‍යයෙන් මසුරු ගති ඇති බවත් පැවසී ය. තමා ඇති කළ බල්ලා නෑවීම සඳහා ගගට ගෙන එද්දී උගේ කට හා නාසය පමණක් එළියට සිටින සේ ගෝනියක දමා ගෙන එන බවත්, ඒ වෙනත් පුද්ගලයින් දැකීමෙන් බල්ලාගේ සැර අඩු වන නිසා බවත් ඔහු පවසා ඇත.

ගෙල වැල දා මිය යන විට වයස අවුරුදු 49ක් වූ ඔහු දැඩි සංතාපයෙන් පසු වී ඇත්තේ තමාට මරණීය දණ්ඩනය ක‍්‍රියාත්මක නොවුවත් සියලූ නීතිමය සහන ලැබීමෙන් පසු ව වුවත් අඩු තරමින් තවත් අවුරුදු 35ක් හෝ 40ක් හිර ගෙදර කල් ගෙවන්නට සිදු වන නිසා වයස අවුරුදු 80න් මෙපිට නිදහස් වී යා නොහැකි බව සිතමිනි. තමා අතින් මනුෂ්‍ය ඝාතනයක් හා පුද්ගලයින්ට ශාරීරික වධ හිංසා සිදු වූ බවත් ඒ නිසා තමන්ට පරලොව දී නිරා දුක් විඳීමට සිදු වන බව පසක් වන විට ඔහු මහත් ගින්දරකින් පසු වූ බවත් මෙලොව දී විඳින අනන්ත දුක් කන්දරාව ඉවසිය නොහැකි බවත් ඔහු නිතර පවසා ඇත. අවුරුදු 17ක් වයසැති තම පුතා දඩබ්බර ලෙස හැසිරෙන බව අසා ඔහු හඩා වැළපී ඇත්තේ තමා ගමේ සිටියානම් එසේ සිදු වන්නට ඉඩ නොතබන බව කියමිනි. තමාගේ පුතා ද සමාජ විරෝධි ක‍්‍රියාවන්ට පැටලී වැනසී යතැයි දැඩි බියකින් ඔහු පසු වී ඇත.

විදුරගේ මරණ පරීක්ෂණයේ දී කට උත්තරයක් දෙමින් ඔහුගේ භාර්යාව කරුණා කියා ඇත්තේ අභියාචනයේ තීන්දුව දෙන දා තමාට උසාවියට එන්නට බැරි වූ බවත්, විදුරගේ මල්ලී පැමිණි බවත්, තින්දුවෙන් පසු ව ඔහු මල්ලී දෙස බලා ඔලූව වනා බිම බලා ගෙන ඇති බවත් ය. එම තීන්දුව පරලොව නිරා දුකින් මෙපිට ලැබිය හැකි කර්ම විපාකය ලෙස ඔහු පෙළන්නට ඇත.

තීන්දුව දුන් දවසේ  විදුර නිදා සිටි පැත්තෙන් සර සර ගාන ශබ්දයක් ඇසී බලන විට ඔහු හිස රදයට පොලිතින් මල්ලෙන් ඇද පැනඩෝල් පෙති දෙකක් බොන බව කියා ඇත. තමාට වැටහෙන විධියට තීන්දුවෙන් පසු ව විදුරට නින්ද ගියේ නැති බව මහතුන් පවසයි. ඒ ගත කළ කාලය තුල ඔහු ලක්ෂ වාර ගණන් මැරි මැරී උපදින්නට ඇත.

මෙහි සුවිශේෂ සටහනක් ලෙස සඳහන් කළ හැකි යමක් ඇත. ඇප මත නිදහස් ව සිටි කාලය තුල රැකියාව ලෙස තැඹිලි කඩා විකුණමින් ජීවත් වූ බණ්ඩියා අසනිප වී මිය ගොස් ඇත. ඩේවිඩ්ගේ පවුල් වල අය සිරිසේනගේ කකුල් දෙක ම බිඳ දැමීමේ හේතුවෙන් ප‍්‍රතිකාර නොලබා ම කකුල් කුණු වී මිය ගියේ ය. කුලයා ද මේ කාලය තුල අවාසනාවන්ත ලෙස මරණයට පත් ව ඇත.

මේ භයානක සිද්ධිය නිසා අද වන විට සිද්ධියේ දී මරණයට පත් වූ ඩේවිඩ් ද, අපගේ කථාවේ ප‍්‍රස්තුත විදුර ද, ඔහුගේ සහචරයන් වූ සිරිසේන, බණ්ඩියා සහ කුලයා ද ජීවතුන් අතර නැත.

කර්මය යනු එබඳු දෙයකි. යමෙක් යම් අකුසලයක් සිදු කළේ නම්, එහි විපාකය ගොනු පසු පස එන කරත්ත රෝදය මෙන් ඔහු පසු පස ලූහු බඳින්නේ ය. මිනිස් නීතිය ඉක්මවා වුව, කර්මයේ දඬුවම වහ වහා ඔහු කරා පැමිණිය හැකි ය. විදුරටත් සගයින්ටත් මුහුණ පෑමට සිදු වූයේ තමන් විසින් සිදුකරන ලද, ඒ අවාසනාවන්ත අකුසල කර්මයේ විපාකයට ය. මුල පටන් ම දැහැමි දිවි පෙවෙතකට යොමු වීමට හැකි වූයේ නම්, අද වන විට, මොවුන් මනුලොවට බරක් නො වී මිනිසත් බවේ ඵල ලබන පිරිසකි. මිනිසත් බවේ දුර්ලභකම හා සසඳද්දී අහිමි වූ මේ ජීවිත පහේ වටිනාකම මිණිය හැක්කේ කෙසේ ද?

(සියලූ නම් ගම් මන:කල්පිත ය.)

 

සටහන
තරුණ කටයතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්
නීතිඥ සිරිපාල විරිතමුල්ල