බුුදු සිරිත කවියෙන් පැවසීම ආරම්භ වූයේ අනුරාධපුර යුගයේ විසූ ජන කවියන්ගෙන් යැයි සිතන්නට අනුබල දෙන සාක්ෂි දුටුගැමුණු රාජ්‍ය සමයේ සිට ම පැවත එන පුරාණෝක්ති, සෙල්ලිපි හා පොතපතේ සඳහන් වන නිදසුන්වලින් අනාවරණය වෙයි. ඇල් ගෙවිලියන් ගායනා කළ දහම් කවි අසා සඟ සැට නමක් රහත් වූහ යි කියැවෙන්නේ සුත්ත නිපාතයට ලියූ අටුවා ග‍්‍රන්ථයක ය. එම සිදුවීම ව්‍යවහාර වර්ෂ පූර්ව දෙවැනි සියවස දක්වා දිවෙයි. අතීත යුගයේ බුදු සිරිත කවිකර ලියූවන් අතර රජවරු, සෙනවිවරු, රාජ සභා කවිවරු හා සාමාන්‍ය ජනයා ද වූහ. කවියෙන් බුදු සිරිත පැවසිය යුතු යැයි නියමයක් පනවන තරමට ම උසස් ධර්ම කාව්‍ය සාහිත්‍යයක් අනුරාධපුර යුගයේ දී බිහි වූ බවට සාධක ඒ සමයේ දී ලියැවුණු කාව්‍ය ග‍්‍රන්ථවලින් ගත් නිදසුන් පද්‍යවලින් හමු වේ. අනුරපුර අවධියට ම අයත් ඡුන්දස් ග‍්‍රන්ථයක් වන එලූ සදැස් ලකුණේ එන නිදසුන් කවි කිහිපයකි පහත දැක්වෙන්නේ:

‘‘දිවි සතරක් මස් ඉස් සුක දුන්නේ
සෙත් මඟ මොක් සුවපත් කර දුන්නේ
මින් දද මන් දද දප් සහ බුන්නේ
ඉන් වන මහ සත් සෙත් සත දෙන්නේ”
බුදුරජාණන් වහන්සේගේ ගුණ මහිමය එසේ වර්ණනා කරන අතර සදහම් මඟ නිවනට යොමු කරවන අයුරු මෙසේ දැක්වේ:

‘‘පැවසූ සදහම් තිගුණ කරා හා
විනෙයා කුමුදන් සිසිර කරා හා
දලවුල් සිරිපද කමල කරා හා
සිනිපා කරවනා නිවන කරා හා”
පොලොන්නරු යුගය වන විට සිංහල කවිය සකුවට නැඹුරු වීමත් සමඟ ම එය පොදු ජනකායගෙන් ඈත් විය. කවිය රසභාව විඳින අය ඉතා දුර්ලභ යැයි දෙවැනි පණ්ඩිත පරාක‍්‍රමබාහු රජතුමා සිය කව්සිළුමිණෙහි ලා සඳහන් කළේ පඩි ජනයා ගැන මෙනෙහි කළ නිසා විය හැකි ය. පසු කලෙක, එනම් කුරුණෑගල, කෝට්ටේ යුගයන්හි දී විල්ගම්මුල, වීදාගම හා වෑත්තෑවේ හිමිවරුන් යළි ජනකවි ජීවිතය අනුගමනය කිරීමත් සමඟ ම සිංහල ජනකවි පරපුරේ පිබිදීමක් ඇති විය. එම පිබිදුවේ ඵල වශයෙන් බිහි වූ ජනකාව්‍යාවලියේ අගනා නිර්මාණ කිහිපයක් අපට දැක ගන්නට ඉතිරි වී තිබීම, පැරණි බෞද්ධ ජනකායගේ අධ්‍යාත්ම තතු හඳුනා ගැනීමට කදිම පිටුබලයකි. කතුවරයාගේ නමක් පවා සඳහන් නො කොට හුදු බුදු බැතියම පෙරදැරි කොටගෙන ලියූ එම කාව්‍යවලින් අතර පුරාණ තුන්සරණය, විදුර ජාතක කාව්‍යය, පදමානවක ජාතක කාව්‍යය, වෙස්සන්තර කාව්‍යය, යසෝදරාවත හා දෙව්දත් කථාව වෙසසින් කෑපි පෙනේ. මෙම ජන කාව්‍ය සංග‍්‍රහ අතර වෙනස් මඟක් අනුගමනය කරමින් ලියූ කාව්‍යයක් හැටියට ”බුදුගුණ තරඟ මාලාව” සැලකිය හැකි ය.
තෙරුවන කෙරෙහි අපමණ ශ‍්‍රද්ධාවෙන් යුතු ව කල දවස ගත කළ පැරණි සිංහල ජනකාය සිය අධ්‍යාත්මය පෝෂණය කරගත්තේ ආගම දහමට නැඹුරු වූ සිතින් යුතු ව ය. බුදු සමය විසින් දැඩි ව හික්මවන ලද පරම්පරාගත උරුමය සහජ දායාදයක් කොට ගත් ඔවුන් ජිවිතයේ හැම කටයුත්තක දී ම බුදුගුණ සිහි කරමින් කල් ගෙවූ අයුරු පිටිසර ගැමි පරිසරයක උපත ලද අප ප‍්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කොට ගත් කරුණකි. වෙලේ, පැලේ, හේනේ, කමතේ ඇසුණ සිව්පද ගී රාවයෙන් ද ගලා ගියේ තෙරුවන් ගුණ හා මුසු වූ අපිස් දිවි පෙවෙතක ගුණ සුවඳ කැටිකර ගත් අත්දැකීම් සමුදායකි. අද මෙන් රූපවාහිනී නැරඹීමේ හෝ වෙනස් එබඳු විනෝදාස්වාදයක් ගෙන දෙන ප‍්‍රාසාංගික වැඩ සටහනකට හෝ යොමු වීමට අවස්ථා නො ලද පැරණි යුගයේ ගැමි ජනතාව දවසේ සන්ධ්‍යා භාගයේ නැතහොත් විවේක කාලය ගත කළේ බණකථා, කවිබණ පොත් ආදිය හඬ නඟා කියවමිනි.

දහම් කවි ගායනා කිරීමේ දී ප‍්‍රශ්නෝත්තර නියායෙන් ඉදිරිපත් කිරීම ඉතා ම ජනප‍්‍රිය වූත් ආස්වාදජනක වූත් ක‍්‍රමයක් විය. දහම් දැනුම උරගා බැලීම, කරුණු සිතේ ධාරණය කර ගැනීමට පහසුවීම, පවුලේ සියල්ලන්ට ම සහභාගී වීමට ඉඩකඩ ලැබීම හා ධර්ම ඥනය පුළුල් කරගැනීම ඉන් ලද යහපත් ප‍්‍රතිඵල විය. එක් අයකු කවියෙන් අසන විට ඊට පිළිතුරු කවිය ඉදිරිපත් කිරීම මෙම තරඟ කවි රීතියේ ස්වභාවය යි. මෙම සම්ප‍්‍රදායයේ අගනා ජන කාව්‍ය සංග‍්‍රහයක් වන බුදුගුණ තරඟ මාලාය ලියැවී ඇත්තේ මීට අවුරුදු එකසිය තිස්පහකට පෙර එනම් බුද්ධ වර්ෂ දෙදහස් හාරසිය විස්සේ වප් මැදි පොහොයලත් ඉරිදා දිනයක බව ග‍්‍රන්ථාවසානයේ දැක්වෙන අනූතුන් වැනි කවියෙන් පැවසේ.

බුදුගුණ තරඟ මාලය රචනා කිරීමේ දී වියත් කිවිවරයන්ගේ කෘති මෙන් ම ජන කාව්‍යයන්ගේ ද ඇසුර ලබා ඇති බව පෙනී යයි. කාව්‍යරම්භයේ දී දක්නට ලැබෙන පහත දැක්වෙන පද්‍ය පාද, අලගියවන්න මුකවැටි කිවිඳුන්ගේ සුභාෂිතය සිහිපත් කරවයි:

‘‘සත වෙත පතළ කුළුණැති අප මුනිඳු සඳ
සත් අත් තිනෙන් විදුරත් පුත්සිසි සොබන”
බුදු සිරිත ගැන ලියන කියන කවර ම යුගයක වුව ද කවියෙකුට යසෝදරාවත කාව්‍යයේ ආභාසය ලැබීම නිතැතින් ම සිදුවන්නෙකි. බුදු ගුණ තරඟ මාලය රචනා කිරීමේ දී යසෝදරාවගේ ඇතැම් පද්‍යයෙන් සුළු වෙනස් කිරීමක් සහිත ව යොදා ගෙන ඇත්තේ කවියා ඊට මහත් ඇල්මක් දැක්වූ බැවිනි.

‘‘කල් ගොසිනේ දසකඩ මස පිරුණු තැනේ
මල් පවනේ එන මඳ නල සිහිල් වුණේ
රැල් පුළුතේ බරකුත් බඩට නො දුනුණේ
සල් උයනේ දී වද කුමරු බිහි වුණේ”
‘‘කාරණාව ඇති සැටි පවසන් නිමල
බාවනාව කිය සකි බාවනා කළ”

තම අභිමතාර්ථය සාධනය කරගැනීම සඳහා කවියා එවක පැවති ප‍්‍රශස්ථ කාව්‍යයන්හි ආභාසය ලැබුව ද ඔහුගේ ස්වාධීන කවි ශක්තිය පොත පුරා ම දැකිය හැකි ය. තෙරුවන කෙරෙහි කවියා තුළ ඇති අචල ශ‍්‍රද්ධාව හැම පද්‍ය පාදයෙක් පාසා ම හුයක් මෙන් බැඳි ඇති සැටි කදිම ය. තම කාව්‍යය රචනා කිරීමේ අරමුණ කවියා පළ කොට ඇත්තේ මෙසේ ය:

‘‘වැඳ වැඳ දහම් සඳ ගණට ආලය
හොද සොඳ කුසල් කළ හොත් සත මේ කාලය
වඳ විඳ සිරි සැපත ගෙන දෙයි විසාලය
පද බැඳ කියමි මුනි ගුණ තරඟ මාලය”

මෙම පද්‍යයේ වදන් වැල නඟන ධ්වනිය, කවියාගේ හද තුළ උතුරා ගලා යන බුදු බැතිය නින්නාද වෙමින් මතු වන්නාක් වැන්න. සැදැහැ බැති පෙම තරංගාවලියක් සේ එකිනෙක ලූහුබැඳ යනු කියවන අසනල සහෘද කැළට දැනේ. ‘වැඳ වැඳ, සොඳ සොඳ, විඳ විඳ, පද බැඳ’ යන වදන් බුදු ගුණ තරඟ මාලයට ඇවුණූ අනගි මිණි කැට වැන්න.

ඉන් අනතුරු ව දෙබසක ස්වරූපයෙන් ප‍්‍රශ්නෝත්තර කවි යුගලය බැගින් ඉදිරිපත් කරමින් බුදු ගුණ වැයුමට මුල පිරේ. පැන විසඳුම ආරම්භ කෙරෙන්නේ ලොව්තුරා බුදුබව ලබා ගැනීමට හේතු වූ පළමුවන කුසල කර්මය අනාවරණය කිරීමෙනි.

‘‘රකිමු ව සිල් අපිත් මොක් පුර පැමිණෙන්නට
පතමු ව මෙත් මුනිඳු දෙනෙතින් දැකගන්නට
සතුටු ව අප සුගත ජීවිත දන් දෙන්ට
පළමු ව කළ කුසල කිය සකි බුදුවෙන්ට”
මෙයට දුන් පිළිතුර මෙසේ ය:
‘‘සිඳු වැද නැව් නැඟි යන සඳෙහි රටකට
නැව බිඳ ගියෙය දිය පිට ගැසෙන සුළඟට
මව් සඳ රැුගෙන නිසි ලෙස පීනා තෙරට
බුදු බව ඉටු කළේ බෝසත් එතන සිට”

කෘෂ්ට ජීවිතයට හුරු වී සිටි සිංහල ජනකායගේ එදිනෙදා ජීවිතයේ හැම කාර්යයක දීම මුල්තැන දෙන සාමූහිකත්වය පින් දහම් කිරීමේ දී ද පෙරටු කොට ගැනීම බෞද්ධ සම්ප‍්‍රදාය විසින් උරුම කොට දෙන ලද්දකි. ‘රකිමුව’, ‘පතමුව’ යන යෙදුම්වලින් ධ්වනිත වන්නේ සමාජ එකමුතු ව යි. ‘නැව බිඳ ගියෙය දිය පිට නැෙඟන සුළඟට’ යනු අපූර්ව කාව්‍යෝක්තියකි. ගැමි කවියාගේ සහජ කවි ශක්තිය එබඳු තැන්වලින් මතු වී පෙනේ.

‘බුදු ගුණ තරඟ මාලය’ කවි පොත සඳහා යොදා ගන්නා බස්වහර ප‍්‍රසාදජනක ය. එය අතිශයින් ම පi ම ය දෙබසකට ගැළපේ. ආයාසකර පද බැඳුමක් කොතැනක වත් හමු නොවේ:
‘‘බින්නේ නො වෙයි සකිසඳ මෙදහම් කන් ද
යන්නේ මෙඔබ මා හැර මොන සිතකින් ද
එන්නේ එබෝසත් බුදු බව පතමින් ද
දුන්නේ නියත විවරණ කොයි මුනිඳුන් ද”

මනුෂ්‍යත්වයේ දයාර්ද්‍ර භාවය දැවටී එන යෙදුම් ගැමි බස් වහරින් ම මිස වියත් බස් වහරින් සොයා ගත නො හැකි ය. එය අප උරුම කොට ගත් බෞද්ධ සම්ප‍්‍රදායේ උතුම් ඵලය යි. බුදු රජාණන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කොටගත් ධර්මදේශනා කිරීම සඳහා යොදා ගන්නේ වියත් වහර නො ව පොදු ජන බස් වහර ය. මේ කවිවල දක්නා ලැබෙන්නේ සාමාන්‍ය ජනයා භාවිත කළ බැවහැර බස ම ය.

‘‘පෙන්නා දෙන්ට හැකි ම ය බස සකිසඳු
දෙන්නා පමණකින් පවසමි කර පසිඳු
උන්නා කඳු රැුලිය පිට සැතපී තපසිඳු
දුන්නා නියත විවරණ දිවකුරු මුනිඳු”
බෝසතාණන් වහන්සේගේ පෙර ආත්ම භාවයන් ගැන කෙටියෙන් කරුණු විමසා ඊට පිළිතුරු ද සපයන කවියා සිද්ධාර්ථ කුමාරෝත්පත්තියෙන් පටන් ගෙන, ගිහිගෙයින් නික්ම බුද්ධත්වය ලබා පිරිනිවන් පා වදාළ අවස්ථාව දක්වා බුදුරජාණන් වහන්සේගේ උතුම් ජීවන පුවත් සියල්ල කවියෙන් පහදා දී තිබේ.

‘බුදු ගුණ තරඟ මාලයේ’ දක්නට ලැබෙන මෙම සංවාද ස්වරූපය වෙනත් සමකාලීන ජන කාව්‍යයන්ගෙන් පිළිබිඹු නො වේ. ධර්ම කරුණු පිළිබඳ ව ජනතාව තුළ පවත්නා දුරවබෝධ තැන් නිරාකරණය කරදීම හා කුකුස් යථාවබෝධයක් ලබා දීම කවියාගේ අපේක්ෂාව වී තිබේ. මේ එබඳු එක් තැනකි:

‘‘ගවුතම නම දරන මුනිඳුගේ ගුණ කන්ද
දෙව් ලොව උපන්නත් බුදු බව පතමින් ද
සවු සත වෙත පතළ මෙත් කරුණාවෙන් ද
මවු කළුරිය කළේ කුමරුගෙ පවකින් ද”
‘‘නිසැකින් අප කියන බස අසනුය සතත
සරොසින් පින් කළත් පත් වෙන්නේ විපත
කෙලෙසින් කීවත් සකි නුඹ නො සිතන් අහිත
පවකින් නො වෙයි පෙර මුනිඳුගෙ සිරිත”
බුද්ධ චරිතයට අදාළ තොරතුරු කවියෙන් පැවසීමට පැරැුන්නන් පෙළඹුණේ මතක තබා ගැනීමේ පහසුව නිසා ය. එය සංවාද ස්වරූපයෙන් ඉදිරිපත් කරතිබීමෙන් පවසන කරුණු වඩාත් ප‍්‍රබල අන්දමින් අසන්නාගේ සිතේ තැන්පත් වේ. එසේ ම එහි පවත්නා සජීවි ගුණය සිත් ඇදගන්නා සුළු ය. මෙම සංවාද ස්වරූපය ධාතූ වන්දනා කාව්‍යයේ ද දක්නට ලැබේ.
බුදුගුණ තරඟ මාලය කාව්‍යයේ දෙව්දත් තෙරුන් ගැන සඳහන් වන සංවාද කාව්‍ය යුගලයක් ඇතුළත් කොට ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ ගුණ මහිමය ඉස්මතු කොට දැක්වීමේ අරමුණ පෙරදැරි කරගෙන ය. ‘වයිර උනේ කවුරු ද අප මුනිඳු වෙත’ යනුවෙන් අවසාන කරන කවියට පිළිතුර වශයෙන් ‘බැන්දා වයිර නුගුණැති දෙව්දත් තෙරිඳු’ යනුවෙන් දක්වා තිබේ. බුදුරජාණන් වහන්සේට වෛර කළ දෙව්දත් තෙරුන් වැටුණ අපාය ගැන ද කවියා සඳහන් කරයි.

‘‘නැණවත් මිතුර අස මකියන උපායේ
ලැබුණොත් සොඳයි අපටත් මොක් සැපායේ
තිරිසන් දුක් විඳින නරලොව අපායේ
දෙව්දත් තෙරිඳු වැටුනේ කොයි අපායේ”
‘‘නො ව කොලේ පවසමි අසනු විස්තර
දස සීලේ සිල් දී මුනිඳු මෙත්කර
ගත් සීලේ හැර මුනිසඳුට රොස්කර
බව කීලේ වැටුණේ දෙව්දත් තෙර”
බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලාගේ පරිනිර්වාණය තව ම නිම වී නැති බැව් මෙම කාව්‍ය සංග‍්‍රහය අවසානයේ සඳහන් කරන කවියා අවුරුදු පන්දහසක් කල් ධාතූන් වහන්සේලා වැඩ සිටින බව ද දක්වයි. උතුම් තිසරණයේ පිහිටා සිට මේ කවි පබැª තමා රැුක දෙන ලෙස දෙවියන් අයැදිමින් කාව්‍යය නිමා කොට ඇත. පi අනූ හතරකින් සමන්විත ”බුදුගුණ තරඟ මාලයේ’ මුල සිට අවසානය පiය පාසා ම සංවේගය දනවන පරිසමාප්තියකින් නිර්මාණය කර ඇති බව පෙනේ.

”බොනූ සවන් දෝතින් මෙකවි රස දෙන
වනු මෙයින් තුටු සිතින් සතුනි දින දින
වනු වදන් පළ කළ මෙපොතෙහි පමණ
අනූ සතර නිව මිය මෙහි කවි ගණන”

මහාමේඝ 2011 ඉල් කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
මාටින් වික‍්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පරිපාලන ලේකම්
දයාපාල ජයනෙත්ති