‘‘හැපී බර්ත් ‍ඩේ ටූ යූ නිමේෂා, ඔයාට සුභ උපන් දිනයක් වේවා!”

ඇය වටා යෙහෙළියෝ පිරී සුභ පතති. ඇගේ සොහොයුරු සොහොයුරියන් ද දෙගුරුන් ද හිතවතුන් ද සාදයේ මිහිර විඳිමින් පසෙක ප‍්‍රීති වෙති. මත් වතුර වීදුරු ගැටෙන හඬත් සමගින් දුම් වැටි ද දැල්වෙයි. සත්සර මුසුවට වේග රිද්මයක් එක්වී බමන මතින් රැඟුමට ඇරයුම් කරයි. රස මසවුළු සහ නොයෙක් ලෙස සැකසූ කටගැස්ම කරලියට පැමිණෙයි. සියල්ලෝ ම අමුතු ලොවකට පිවිසියාක් මෙනි. ටිකෙන් ටික ලැජ්ජාව, බිය තුරන් වෙමින් පවතී. තැනින් තැන උස් හඬින් කථා කරනු, සිනාසෙනු ඇසේ. තවත් තැනක ගැටුමකට මුලපිරීමකි. මේස පුටු පෙරලාගෙන අයෙකු බිම පතිත වෙයි. සෙස්සෝ ඔහු ඔසවා යළි පුටුවේ හිඳුවති. තවත් මධුවිත වීදුරුවට පිරවෙන හඬ ඇසේ. පුරාජේරු, පම්පෝරි අවසන් වන පාටක් නැත.

උපන් දින තෑගිවලට මැදිවී ඇය තනිව ම එ් දෙස බලා සිටියා ය. කිසිවෙකුත් එ් අසල නැත. ඇය මල්පොකුරක් ගෙන එහි මල් එකින් එක කඩා බිම දැමුවා ය. ඇයට මහත් තනිකමක් දැනිණි. මේ ඇයගේ විසිඑක්වෙනි උපන් දිනයයි. දෙගුරුන් එ් වෙනුවෙන් මහත් වියදමක් දරා ඇත. එ් ඇය වෙනුවෙනි. එහෙත් ඔවුන් මේ වනවිට ඔවුන්ගේ ලෝක තුළ ය. බීමත් තරුණයෙකු ඈත සිට තමා දෙස බලා සිටිනු ඇය දුටුවා ය. ඔහුගේ මුහුණෙහි ඇත්තේ රාගික බැල්මකි. ඇයට මහත් බියක් දැනිණි. ඇය ඉක්මනින් ම උඩුමහලෙහි තම කාමරයට ගොස් දොර අගුළුලා බියෙන් හා සැකෙන් යුතුව එදින රැය නිදිවර්ජිතව ගත කළා ය. පසු දින උදය වන විට උපන් දින සාදය පැවැත්වූ ස්ථානය යුධ පිටියක සෙයක් ගෙන තිබිණි. දසත විසිරී ගොස් තිබූ මේස පුටු සහ සාදයේ සැරසිලිත්, හිස් මත් වතුර බෝතල් සහ දුම්වැටිත් තැන තැන විසිරී තිබුණි. ඇයට ඇති වූයේ මහත් කලකිරීමකි.

ඇත්තටම උපන් දිනය කියන්නේ කුමක් ද? එ් මරණයට තවත් වසරකින් ළංවීමක් නො වේ ද? එය ප‍්‍රීතියෙන් සමරන්නේ කෙසේ ද ? කාලය විසින් බොහෝ දේ අහිමි කරමින් සිටින විට, මොහොතින් මොහොත අතීතයට එක්වෙමින් තිබෙන විට එය සතුටින් සමරන්නේ නම් එ් තුළ කොතරම් මුළාවක් ගැබ්වී තිබිය යුතුදැයි ඇයට සිතිණි.

කුඩා කල තමා කැඩපතකින් දුටු තමාගේ රුව කොතරම් සුන්දර ද? එකල සියල්ලෝ ම ඇයට කීවේ පුංචි සුරංගනාවිය කියා ය. එහෙත් එ් පුංචි සුරංගනාවිය තවත් දක්නට නැත. දැන් සිටින්නේ තරුණ යුවතියකි. තවත් වසර ගණනාවකින් ඇය ද සමුගෙන යනු ඇත. ඇය මැහැල්ලක් වීමට කිසිසේත් ම කැමති නැත. නමුදු එ් මැහැල්ල අනාගතයේ සිට ඇයට ඇරයුම් කරයි. එදාට ද ලෝකය ඇය වෙනුවෙන් උපන් දිනය සමරනු ඇත. එ් වනාහී වසරින් වසර වසරින් වසර පිරිහෙන කායික, මානසික බලය – හැකියාව සැමරීමක් ලෙසට නිවැරදි අර්ථකථනයක් ලබාදීමට ලෝකය කිසිසේත් ම කැමති නැත. එය ද ලෝකයට වැසුනු සත්‍යයක් පමණි. එහෙත් භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රී සද්ධර්මය ඇසුරු කරන ආර්ය ශ‍්‍රාවකයන් හට නම් ජීවිතයේ යථා ස්වභාවය වැසුනු දෙයක් නොවන බව දහම් කැඩපත තුළින් ඇයට මනාසේ පසක් වෙමින් තිබිණි. උපන්නා වූ සත්වයන් හට යම් මොහොතක් එළඹෙයි ද එ් එළඹෙන සෑම මොහොතක් පාසා ම මරණයට ළංවීම හැරුණු කොට ලබන ස්ථිර සනාතන සොඳුරු ජීවිත ලාභයක් නැත.

එසේ ම අර්ථවත් ලෙස උපන් දිනය සැමරීමට උත්සාහ දරන්නේ යැයි සම්මත පිරිසක් ද ලෝකය තුළ සිටී. ඔවුන් තම උපන් දිනය වෙනුවෙන් කුමක් හෝ පුණ්‍ය කටයුත්තක, සමාජ සත්කාරයක නිරතවීමට උත්සුක වෙති. එය ඇගයිය යුත්තක් වුව ද ඔවුන් ද ජීවිතයේ අරුත මනා කොට පසක් කර ගෙන නොමැත. ජීවිතයේ යථා ස්වභාවය දැක්මට රිසි බුද්ධිමතුන් පමණක් මේ කරුණ වටහා ගනිමින් එ් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තුළ හික්මෙති. උපන් දිනයේ දී ඔවුන් තම වටිනා කාලය ජීවිතයේ අනිත්‍යයතාවය සිහිකිරීම පිණිස යොදා ගතිති. ඇත්ත ඇති සැටියෙන් දැකීමට මැලි නොවන ආර්ය ශ‍්‍රාවකයන් සරු දෙයක් ලැබීම ගැන පුදුම විය යුතු නැත. මන්ද යත් ඔවුන් දෙව් මිනිස් ලෝකය තුළ පහළ වූ පරම ශ්‍රේෂ්ඨ ශාස්තෘත්වයේ පිළිසරණ නොඅඩුව ලබමින් පරිපූර්ණ වූ ආර්ය සත්‍යාවබෝධය කරා ගමන් කරන බැවිනි. එසේ ම ජාති, ආගම්, කුලමල, පක්ෂ, පාට භේදයකින් තොරව ඕනෑම අයෙකුට තම නුවණ මෙහෙයවා සත්‍ය අසත්‍ය වටහාගෙන නිවැරදි වීමට හැකි ය. අවශ්‍ය වන්නේ නිදහස්ව, බුද්ධිමත්ව නුවණින් විමසීමේ හැකියාව පමණි.

සුවිශේෂී කරුණ නම් ආර්ය ශ‍්‍රාවකයන් කිසිදු දිනක තම උපන් දිනය සැමරීමට නො වෙහෙසීම ය. යම් හෙයකින් එවැනි වසරක් ගෙවී යාම සිහිපත් වූයේ නම් එහි දී සිදු කරනුයේ වඩ වඩාත් අප‍්‍රමාදී වීම ය. ධර්ම මාර්ගය දියුණු කිරීම පිණිස වඩ වඩාත් වීර්යය කිරීමට එකී කරුණ තුළින් සංවේගයට පත් වීම ය. එවිට එ් උතුමන් මෙසේ සිතන්නෝ වෙති. ‘‘අහෝ මාගේ ආයුෂය වේගයෙන් ගෙවී යයි. තවත් වසරකින් මා මරණයට ළංවී ඇත. එහෙත් තවමත් මම කෙලෙස් සහිත වූවෙක් වෙමි. බිහිසුණු සසර තුළ සතර අපායට වැටීමේ හැකියාව ඉක්මවා නොගියෙකු වෙමි. මාගේ මරණය වසරකින් වුව ද සිදුවිය හැකි ය. මාසයකින්, සතියකින් මෙන් ම දිනයකින් හෝ සමහර විටක තව මොහොතකින් වුව ද සිදු විය හැකි ය. නිතර ම වටපිටාව සකස් වී ඇත්තේ මරණයට අවැසි පරිද්දෙනි. එසේ නම් මාගේ යම් ප‍්‍රමාදයක් වෙතොත් එය මට මහත්වූ අනතුරකි. මා මේ උතුම් චතුරාර්ය සත්‍යාවබෝධය පිණිස මේ මොහොතේ පටන් දිවි දෙවෙනි කොට දහමේ නො හැසිරෙන්නේ නම් එය මට නොගැළපෙන්නකි. එබැවින් මා අප‍්‍රමාදීව යම් මේ ආර්ය ශ‍්‍රාවකයකු බුදු සසුනෙහි පැවිදිව ලබන්නා වූ උතුම් අර්ථයක් ඇති ද එ් උතුම් නිවනට පැමිණ වාසය කරන්නෙමි” ඔහු මෙසේ අදිටන් කර ගනී. අප‍්‍රමාදී වෙයි. එ් හේතුවෙන් ම හෙතෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනය අනුව යමින් මරණ සතිය මැනවින් පුරුදු කරයි. මුළාවූ මිනිසුන් සිටින ලොව තුළ නොමුළාව කටයුතු කරයි. ඉදින් නොබෝ කලකින් ම හේ උතුම් වූ අරහත්වය සාක්ෂාත් කොට නිකෙලෙස් සිතින් වාසය කරයි.

එසේ නම් බුද්ධිමත් කෙනෙකුට ගැළපෙන්නේ එ් තිසරණය තුළ පිහිටා භාග්‍යවතුන් වහන්සේ වදාළ නිවන් මග පුරුදු කිරීම විනා බිහිසුණු සසර පැතීම නො වේ. යළි යළිත් ජරා මරණයන්ට පත්වෙමින් නිරන්තරව දුක කරා යාම නො වේ.

ඇය තීරණයක් ගත්තා ය. ‘මා තව දුරටත් මේ අසරණ භාවයට ඉඩ නො තැබිය යුතු ය. මම එළැඹෙන සෑම මොහොතක ම මරණ සතිය වඩමි. සෑම උපන් දිනයක දී ම මරණ සතිය පුරුදු කරමි. එසේ ම මේ ජරා ව්‍යාධී මරණ දුකින් සදහට ම නිදහස් වන එ් උතුම් ශ්‍රී සද්ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරනු පිණිස මේ බාධක සහිත නිසරු ගිහිගෙයින් නික්ම යන්නෙමි. කලාතුරකින් ලැබුණු උතුම් ක්ෂණ සම්පත්තිය ඉක්ම යන්නට මත්තෙන් එ් තුළ සුරක්ෂිත වෙමි’.

ඇය සූත‍්‍ර පිටකයට අයත් අංගුත්තර නිකාය සිව්වන පොත් වහන්සේ පෙරළා බැලූවා ය. එහි වූ දුතිය මරණ සති සූත‍්‍රයෙහි මෙසේ දක්වා තිබිණි.

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ නාදිකා නම් ගෙඩිගෙයෙහි වාසය කරන අතර භික්ෂූන් වහන්සේලා ඇමතූ සේක.

පින්වත් මහණෙනි, මරණ සතිය භාවිත කිරීමෙන්, වඩ වඩාත් ප‍්‍රගුණ කිරීමෙන් මහත් ඵල මහානිශංස ලැබිය හැකි වන්නේ ය. නිවන කෙළවර කොට ඇත්තේ ය.

පින්වත් මහණෙනි, රැයෙහි, භික්ෂුව මෙසේ නුවණින් සලකයි. ‘මගේ මරණයට බොහෝ අවස්ථා ඇත්තේ ය. සර්පයෙකු, නුහුසුවෙකු හෝ පත්තෑයෙකු මා හට දෂ්ට කරන්නේ නම් එයින් මාගේ මරණය විය හැක්කේ ය. පය පැකිලී හෝ ගත් ආහාර දිරවා ගත නො හැකිව ද එසේත් නැති නම් පිත හෝ සෙම කිපී ද අවියක් ලෙසින් නපුරු ලෙස මාගේ වාතය කිපීමෙන් ද මගේ මරණය සිදු විය හැක්කේ ය. එය මට අනතුරක් විය හැකි ය’ වශයෙනි.

පින්වත් මහණෙනි, එ් භික්ෂුව මෙසේ නුවණින් සැලකීම සුදුසු ය. එනම් රාත‍්‍රියෙහි මරණයට පත් වන මා හට අනතුරු සහිත වූ යම් පාපී අකුසලයක් ඇති ද එ්වා මා තුළ ප‍්‍රහාණය වී තිබේ ද යනුවෙනි. එසේ සිතන කල්හි එම භික්ෂුව තම චිත්ත සන්තානයෙහි මුල් බැසගත් පාපී අකුසලයන් ප‍්‍රහාණය නො වී ඇතැයි දකී ද එම පාපී අකුසල ධර්මයන් ප‍්‍රහාණය පිණිස අධිමාත‍්‍ර වූ කැමැත්තක් වීර්යයක්, සිහියක්, නුවණක් පිහිටුවාගෙන කටයුතු කළ යුතු ය. එ් යම් කෙනෙකු හිස ගිනිගත් කලෙක එ් ගින්න නිවාදැමීමට දරන වෙහෙසක් පරිද්දෙනි.

ඉදින් පින්වත් මහණෙනි, එ් භික්ෂුව නුවණින් සැලකීමේ දී මෙසේ දනියි. ‘එනම් රාත‍්‍රියෙහි මරණයට පත්වන මට අනතුරු සහිත පාපී අකුසල ධර්මයන් ප‍්‍රහාණය වී ඇත.’ යනුවෙන් එ් භික්ෂුව එ් ප‍්‍රීති ප‍්‍රමුදිත බවින් දිවා ? කුසල් දහම්හි හික්මෙමින් වාසය කළ යුතු ය.”

මෙසේ එ් භික්ෂුව රාත‍්‍රී කාලයේ ගත කලේ යම් ආකාරයකින් ද දහවල ද එකී ධර්මයන් දහවලට ගළපා ගනිමින් වාසය කරන අයුරු මනා කොට විස්තර වශයෙන් මරණ සති සූත‍්‍ර දේශනය තුළ භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට ඇති බව ඇයට දැකිය හැකි විය.

ඇය දුතිය මරණ සති සූත‍්‍රය නැවත නැවතත් කියවා සිත්හි දරාගත්තා ය. ඊට අනුව කටයුතු කිරීම නොපමාව ඇරඹුවා ය. ඇයට මහත් වූ ප‍්‍රීතියක්, සැපයක් දැනෙන්නට විය. නිවැසියන්ගේ කැමැත්ත ද ලබා අරහත් චීවරය දරා ගත්තා ය. අකුසලයන් ප‍්‍රහාණය කරමින් කුසල ධර්මයන් මනා කොට දියුණු කර ගනිමින් නිවන් මග ඔස්සේ ගමන් කරන්නට වූවා ය. දැන් එ් නිවසෙහි හරසුන් උපන් දින උත්සව නැත. ධර්මය පුරුදු කරන දන් පැන් පුදන පින් දහම්හි නිරත, නිරන්තරව ප‍්‍රමුදිත සිතින් සැපසේ ගත කරන නිවැසියන්ගේ සතුටු පිරුණු මුහුණු අසල්වැසියන් හට නම් ගෙන දුන්නේ පුදුමයකි.

උපන් දිනයේ දී මරණ සතිය වැඞීම සුභ උපන් දිනයකට සැබෑම වූ මග යැයි දන්නෝ අතර, අපත් කෙනෙකු වේ නම් එය කොතරම් අගනේ ද…!

මහාමේඝ 2015 මැදින් කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
රොහාන් ඉන්ද්‍රජිත්