වන වදුළු පිසගෙන හමා එන මඳ සුළඟ මහ සයුර වන් වැව් තලයේ හැපී විත් ගත දැවටෙද්දී හිරු රැුසින් දැනෙන පීඩාව මඳ පමණකින් හෝ තුනී වෙයි. වම්පසින් දැවැන්ත ජලාශයක මනස්කාන්ත දසුනත්, දකුණුපසින් අනන්තය තෙක් පෙනෙන තුරු වියනත් මැදින් ඉද්ද ගැසූවාක් මෙන් වැටී ඇති මාවත ඔස්සේ පවනට බඳු වේගයෙන් අපි ගමන් කරමින් සිටිමු.

දකින දසුන් පෙළින් සිත පුරවාලූ සොම්නසට මඳ විරාමයක් තබමින් හදිසියේ ම මට ඇත් පැටියෙක් මතකයට නැගින. උඩවලව ජලාශයේ එක් කෙළවරක පිපාසය නිවා ගැනීමට නො හැකිව, සුන් වුණ මුවට හොඬවැලෙන් ජලය විදින අසරණ ඇත් පැටවා….. පසුගිය මහාමේඝ කලාපයක පළ වූ එ් අනුවේදනීය කථාව කියා පාන්නේ ඉපදීම උරුම කොට ගත් සත්වයෙකුට විඳින්නට සිදු වන දුක්ඛ දෝමනස්සයන්ගෙන් බිඳුවක් නො වේ ද?…

එ් සියලූ දුක් කඳින් සදහට ම එතෙර වී ගිය රහතුන්ගේ පහසින්පාරිශුද්ධ වූ වන අරණක හුදෙකලාව පවතින පින් බිමක් සොයා අපි ගමන් කරමින් සිටිමු…

කොළඹ සිට රත්නපුර හරහා උඩවලව, තණමල්විල, වැල්ලවාය පසු කොට ඓතිහාසික වෙල්ලස්ස පුරවරයට ළඟා වන විට ? බෝ වී තිබිණි. පසුදින අලූයමින් අවදි වූ අප මොනරාගල නගරයේ සිට පොතුවිල් මාර්ගයේ කි. මී. 04ක් පමණ මග ගෙවා පැමිණ වම් පස ඇති මයුරගිරි කණිටු විදුහල ආසන්නයේ රථය නැවැත්වීමු. අනතුරුව විදුහල ඉදිරිපිට කුඩා තේ පැන් කඩයෙන් අපි මේ පින් බිම ගැන තොරතුරු විමසීමු.

‘‘ආ…. මහත්තයලා මේ අහන්නේ පුරාණ මයුරගිරි ලෙන් විහාරය ගැන නෙ… යං, මම කන්දට පාර පෙන්වන්නම්…” කරුණාබර පෙනුමක් ඇති මේ තරුණයා අප මඳක් විමතියට පත් කරමින් තමා කරමින් සිටි කටයුත්ත පසෙකලා අනාරාධිතව ම පෙරමුණ ගත්තේ ය. මමත්, රියදුරු කීර්තිත් ඔහු අනුව පියවර එසවීමු.

තේ කඩය අද්දරින් කන්ද දෙසට වැටී ඇති පටු මාවත දිගේ ඔහු ගමන් කරයි. යාර සීයක් පමණ යන විට හමුවන්නේ දිගු පුළුල් ගල් තලාවකි. එ් අසල වම් පැත්තේ ගෙවල් කීපයක් ඇති අතර ඉන් පසුව කිසිදු ජනාවාසයක් හමු නො වේ. මාර්ගය කෙමෙන් පටු මෙන් ම දළ බෑවුම් හා වංගු සහිත වන අතර ගලින් ගලට නැග ඉදිරියට යන අඩිපාර වසර ගණනාවකින් ප‍්‍රතිසංස්කරණය කළ බවට සටහනක් නම් හමු නො වේ.
මිනිත්තු කීපයක ඇවෑමෙන් අප මුළුමනින් ම වනය විසින් ගිල ගනු ලැබ ඇත. මොනරාගල පොතුවිල් මාර්ගයේ ඉඳ හිට වාහනයක් ධාවනය වන හඬ පවා දැන් නෑසේ.

ස්වභාවයෙන් ම වනයේ නිහඬතාවයේ හඬ වන රැහැයියන් හා එක්ව සියොත් කැළ නිදහසේ ගීතය ගයති. මග දෙපස ඝනව වැවී ඇති වන බූටෑව අතරින් පතර දියසෙවල බැඳුන ස්වාභාවික ගල් කුළුවලින් මාවතට කදිම පෙනුමක් ලැබී ඇත.

අප හා එක්වූ අලූත් ගමන් සගයා කීර්තිත් සමග දිගු කතා බහකට වැටී ඇත. ඔවුන්ගේ කතාව මේ සැඟවුණ වන සෙනසුන ගැන බවට සැකයක් නැතත් මට දැන් එය නෑසෙන මානයට ගොස් ඇත්තේ ස්වභාවයෙන් ම මා කඳු නැගීමෙහි සමතෙකු නොවන බැවිනි.

අඩ හෝරාවකට මඳක් වැඩි තරමක් වෙහෙසකර කඳු තරණයකින් පසුව සුදු වැලි මළුවකින් සැදුන තැනිතලා බිමකට ළඟා වීමට හැකි විය. එහි එක් පසෙක පැරණි ආවාස ගෙයක් යැයි සිතිය හැකි ගොඩනැගිල්ලකි.
කීර්තිත්, අපගේ මගපෙන්වන්නාත් සමග තවත් මැදිවියේ පුද්ගලයෙක් මා එන මග බලා හිඳිති. හදිසියේ මේ හුදෙකලා ගිරිශිඛරයට පැමිණි මේ තැනැත්තා කවුද?

ඔහු විශ‍්‍රාමික විදුහල්පතිවරයෙකි. නමින් එඞ්මන් ගාර්දිආරච්චි මහතා ය. ඉපැරණි මයුරගිරි විහාරස්ථ දායක සභාවේ ගරු ලේකම්තුමා ය. මම ඔහුගේ හඬට සවන් යොමු කළෙමි.

‘‘මහත්තයට තේරෙන්න ඇති නේ ද වන බූටෑව මැදින් මේ කන්ද නගින එක එච්චර ලේසි දෙයක් නෙවෙයි කියල…? මම සිය වතාවකට වඩා මෙහෙ ඇවිල්ල තියෙනව. මේව පෙර කාලේ රහතුන් වැඩ හිටිය, සිරි දළදා හාමුදුරුවො වැඩ හිටිය පුණ්‍ය භූමි. අපිවත් ඉඳහිටල හරි මෙහෙම ඇවිදිල්ල මේව හෙළි පෙහෙළි කරල මලක් පහනක් පත්තු කළේ නැත්නම් මේව මහ වනන්තරේට වැහිල යනව.

අද උදේ ම මායි, අපේ ගෙදර ඇත්තොයි අහල පහළ කීප දෙනෙකුයි මේ කන්ද නැග්ගෙ මෙතන එළිපෙහෙළි කරල, පිරිසිදු කරල, දානෙ ඩිංගිත්තක් හදල බුද්ධපූජාව තියල, සමන් දෙයි හාමුදුරුවන්ට දේව දානයක් පූජා කරල මේ පින් බිම රැක දෙන්නට කියල ඉල්ලා හිටින්ටයි. නැත්නම් මහත්තයෝ මේව නිදන් හොරුන්ට ම ඇරිල යනව…”

වන වදුලූවලින් වට වුණ වෙල්ලස්සේ මේ ගම් පියස් තුළ සැඟව ඇත්තේ පුරාවස්තු පමණක් නොවන බව මට වැටහුනි. දුලබ මිනිසත්කම්වලින් පිරුනු මෙබඳු මිනිසුන් තවමත් සිටීම දේශයේ වාසනාවකි.

එඞ්මන් මහතා පිරිනැමූ කහට කෝප්පයෙන් විඩා නිවාගත් මම ආවාස ගෙය අසලින් උතුරු දිසාවට පියවර එසවීමි. ඈතින් පිළිවෙළකට සිටවූ ගල් කණු සමූහයක් දිස් වෙයි. මම එ් කරා පියවර මැන්නෙමි. එඞ්මන් මහතා ඇතුළු පිරිස විසින් බිම එළිපෙහෙළි කොට අතුගා පහන් දල්වා ඇති බැවින්දෝ එහි අමුතු ම ශාන්ත සිරියක් පිරී ඇති වග මට දැනෙයි.

‘‘මහත්තයෝ මේ තමයි දළදා වහන්සේ වැඩ උන්න මාලිගය.”

මා පසුපසින් පැමිණි එඞ්මන් මහතා කට හඬ අවදි කළේ ය.

‘‘පොළොන්නරු යුගයේ සුගලා දේවීන් වහන්සේ දළදා වහන්සේ වඩා හිඳුවා තබාගෙන පුද සත්කාර කළ ස්ථානය මෙතන බවයි සැලකෙන්නේ.”

‘‘ඓතිහාසික සාධක තියෙනව ද?”

‘‘ඇයි නැත්තේ? දළදා පූජාවලියෙත් මේ බව සඳහන් වෙනවනේ…”

දළදා වහන්සේ වැඩ හුන් පින් බිමට සිරස නවා වන්දනා කළ අපි යළි ආපසු හැරී වම්පසට ඇති සුදු වැලි අතුළ මාවත ඔස්සේ විත් යළි ගල් පඩි නැංගෙමු.

අප ඉදිරියේ ඇත්තේ දැවැන්ත ගල් කුළු සමූහයකි. ඉහළින් වැඩුණු තුරුවියනින් නිරන්තර සෙවණ සැලසෙන මෙම ගල් කුළුවල පහත මායිමේ වැසි ජලය පහළට රූටා නො එන ලෙස කදිමට කටාරම් කොටා ඇත. මේ අතරින් වම්පස කෙළවරට වන්නට ඇති ගලේ ස්වභාවිකව පිහිටා ඇති පර්වත කුහරය තුළ ලෙන් විහාරය නිර්මාණය කොට තිබී ඇත. විහාර ද්වාරය දෙපස ඇති අත් පා කැඞී ගිය ශෛලමය ප‍්‍රතිමා රජවරුන්ගේ හෝ දෙවිවරුන්ගේ එ්වා විය හැකි ය. බිඳුනු සඳකඩපහණ මතින් ද්වාරයට ළං වන විට දෙපස ම ජලය දැමිය හැකි සේ සකස් කළ ගල් භාජන දෙකකි. එ් අතරින් පැමිණි මම විහාරයට ඇතුල් වීමි.

එ් තුළ ඇත්තේ ඝන අඳුරකි. අඳුර ඉරාගෙන දැල්වෙන පොල්තෙල් පහනේ සැලෙන එළියෙන් අවට දැක ගැනීමට නෙත් යොමු කළ මාගේ හද කම්පිත විය.

වැඩසිටින පිළිම වහන්සේලා නිදන් හොරුන් විසින් හාරා විනාශ කොට ඇත්තේ සිත් පිත් නොමැති ලෙසිනි. විහාර බිත්ති හා වහලය මත ඇඳි සිතුවම් වියැකී යමින් පවතී. පෙර රහතන් වහන්සේලා මල් පිදූ විහාර ගෙය අද වවුලන්ගේ වාසභවනයකි. අනිත්‍ය සිහි කොට සුසුමක් හෙළා ළය සැහැල්ලූ කර ගත් මම පිටතට පැමිණ ඉහළ ගල් පව්ව දෙස නෙත් යොමු කළෙමි.

ගල් පව්ව මතට නැගීමට හැකි ලෙස ගල මත පඩි කපා තිබෙනු දුටුවේ එවිට ය. අසලින් වැවුන දැවැන්ත පුස් වැලක අත්වාරුවෙන් ගල් පව්ව තරණය කළ මම විඩා නිවා ගන්නට වාඩි වෙන්නට තැනක් සෙව්වෙමි. සුමට ලෙස ගල මත ගෙවී ඇති ස්ථාන දුටුවේ එවිට ය. එසේ නම් මෙහි බොහෝ වාර ගණනක් ස්වාමීන් වහන්සේලා බවුන් වඩා ඇති බව නිසැක ය. ඉහළින් තුරු වියන ය. පහළින් දළදා මැදුර දක්වා පැහැදිලිව දිස් වේ. වනය නිහඬ ය. වනයට ම ආවේණික රැහැයි හඬ එ් නිහඬතාවය තවත් තීව‍්‍ර කරනවා විනා එකඟ වන සිතට බාධාවක් නො වේ ය යැයි මට සිතේ. ගල මත වාඩි වූ මම මොහොතක් දෑස පියා ගතිමි.

අමරගිරි ලෙන් විහාරය අසලින් මීටර් පනහක් පමණ වන්ට තරමක බෑවුමක් බැස ගිය විට හමුවන්නේ තවත් ගල් ලෙනකි. එ් තුළ මිහිඳු ගුහාවේ ඇති ආකාරයේ ම ගල් ඇඳක් සහ කොට්ටයක් කදිමට නිමවා ඇත්තේ එකල වැඩ සිටි මහ තෙරුන් වහන්සේලාගේ පහසුව පිණිස ම විය යුතු ය.

මයුරගිරි ලෙන් විහාර සංකීරණය පුරා ම තැනින් තැන අවශ්‍යතාවය පරිදි ගල් මත පඩි කපා ඇත. විහාර බිම පුරා ම කුඩා ප‍්‍රමාණයේ ස්ථූප රැසක් දක්නට ඇතත් නිදන් හොරුන්ගේ කුරිරු පහසට ලක් වූ එ්වා අද ඇත්තේ නටබුන් බවට පත් වෙමිනි.

සංඝාවාසයට උතුරු දෙසින් ඇති ගල් පඩි මතින් අඩි 150ක් පමණ ඉහළට නැග ගිය විට හමු වන්නේ තවත් සුවිසල් ලෙන් විහාරයකි. මෙය අද ඝනඳුරින් වැසී ගෙස් තිබුණ ද මෙහි වැඩ හිඳින 18 රියන් සැතපෙන පිළිම වහන්සේ අබියස මහ සඟරුවන වැඩසිටි පෙර දවස, පහන් ආලෝකය පරදන දහම් ආලෝකයෙන් හාත්පස කෙතරම් ආලෝකවත් ව තිබෙන්නට ඇද්ද? මේ විහාරය පුරා ම ඇද තිබෙන සිතුවම්වලට ලක් වෙමින් යන ඉරණම දෙනෙතට කඳුළු නංවයි.

වන මැද ගිරිශිඛරයක සැඟවී ඇති පුරාවෘතයක් බඳු වූ මේ විහාරාරාම සංකීර්ණය නිදන් හොරුන්ගේ ම රජ දහනක් වන්නට ඉඩ නො දී යළි මහ සඟරුවන දැහැන් වඩන, මුළු වෙල්ලස්සට ම පින් කෙතක් බඳු පින් බිමක් කරන්නට සැදැහැ සිත් ඇත්තෝ වහා එක් විය යුතු නො වේ දැයි සිතමින් හෙමින් හෙමින් ගල් පඩි මතින් පහළට පියමැන්නෙමි.

ආවාස ගෙය අසල සිහිලැල් තුරු සෙවණේ එඞ්මන් මහතා මා එනතුරු බලා සිටින්නේ තවත් අමුත්තෙක් සමගිනි. සුන්දර සිනහවකින් මුව සරසාගත් ඔහු පාංශුදේහධාරී කඩවසම් තරුණයෙකි.

”මහත්තයෝ ඔන්න මේ විහාරය මේ මට්ටමට හරි රැකගන්න අප‍්‍රමාණ වෙහෙසක් ගත් කෙනෙක්. ඕනෑම ඓතිහාසික තොරතුරක් තියෙනවා නම් අහන්න.”

මම තරමක් විස්මයට පත් වීමි. කි. මී. 02ක් පමණ කන්ද නැග මෙහි ළඟා වීම පවා පහසු කටයුත්තක් නො වන බව මම අත්දැකීමෙන් දනිමි. එවන් පරිසරයක් තුළ රටට දැයට ආගමට පුරාවස්තූන්ට ආදරය කරන
තරුණයන් මෙවන් පුණ්‍ය භූමි රැුකගැනීමට උර දී සිටීම දැයේ වාසනාවක් නො වේ දැයි සිතමින් මම ඔහුගේ හඬට සවන් යොමු කළෙමි.

‘‘කාවන්තිස්ස රජ්ජුරුවන්ගේ කාලේ අනුරාධපුර මහා විහාරයේ මයුරගිරි නමින් රහතන් වහන්සේනමක් පන්සීයක් භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන වැඩ සිටියා. උන්වහන්සේගේ කල්‍යාණමිත‍්‍ර අමරගිරි වනරතන සංඝරාජ හිමියන් වහන්සේත් පන්සීයක් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන වැඩ සිටියා. උන්වහන්සේලා දෙනම ඇතුළු දහසක් මහ සඟරුවන පොළොන්නරුවට වැඩලා එතනින් තිස්සමහා විහාරයට වැඩම කළා. මෙහි දී කාවන්තිස්ස රජතුමා විහාර මහා දේවිය සමග උන්වහන්සේලාගෙන් දහම් ඇසුවා. එ් වෙලාවේ මයුරගිරි මහ රහතන් වහන්සේ වදාළා, ‘රජතුමනි, ඔබතුමා මීට පෙර භවයක අමරුප්පල නමින් වැදි රජෙකුව ඔය මයුරගිරි ලෙනෙහි වාසය කළා. එ් කාලයේ පවා ඔබ වැලිවලින් සෑයක් හදා එය මත මල් තබා පූජා කොට තිබෙනවා.’

මේ අතීත කතාව අහපු කාවන්තිස්ස රජතුමාට විශාල ආසාවක් ඇති වුණා එ් ලෙන් සමූහය බලන්න. විහාර මහා දේවිය සමග මේ බිමට ආපු රජතුමා මේ මයුරගිරි විහාරය කරවා මයුරගිරි මහ රහතන් වහන්සේ ප‍්‍රමුඛ මහ සඟරුවනට පූජා කළා. විහාර මහා දේවිය අමරගිරි මහා විහාරය කරවා අමරගිරි මහ රහතන් වහන්සේ ප‍්‍රමුඛ මහ සඟරුවනට පූජා කළා. පසු කාලයක තමයි සුගලා දේවිය දළදා වහන්සේ පවා මෙහි වඩා හිඳුවලා තියෙන්නේ.”

මට මෙහි දී දුටු සෙල් ලිපියක් සිහි විය. ‘නඝ තෙරෙන කරපිතෙ චතුදිසෙ ශගශ’ ‘නාග තෙරුන් විසින් කැරුණු ලෙන සිව්දිගින් වඩින සංඝයාට පූජා කරන ලදී.’

අතීතය පුදුමාකාර ය. අද හුදෙකලා මේ වන අරණ තුළ කාලයේ වැලි තලයට යටින් මහ රහතන් වහන්සේලා ඇතුළු දහස් ගණන් භික්ෂුන් වහන්සේලා වැඩ වාසය කරන්නට ඇත. එ් අතීතය කාලයෙන් මෙන් ම වනයෙන් ද සදහට ම වැසී යාමට ඉඩ නො දී මේ අතීත උරුමයන් රැුකගැනීමට දහදිය හෙළන මෙවැනි තරුණයන් අද පවා සිටීම ජාතියේ වාසනාවකි.

මම ඔහුගේ වත ගොත විමසීමි. ඔහු නමින් පද්ම උදය ශාන්ත ගුණසේකර නම් විය. වෙල්ලස්සෙන් බිහිවූ නිදහස් සටනේ පුරෝගාමියෙකු වූ කොහුකුඹුරේ රටේ රාලගේ මුණුපුරෙක් වන ඔහු මයුරගිරි
ලෙන් විහාරස්ථ දායක සභාවේ ගරු සභාපතිවරයා ය. ඔවුන් එක් වී දරන ලද මහ මෙහෙය නො වන්නට අද මේ අතීත උරුමයන් වන වදුලූ තුළ ම සැඟවී හමාර ය.

බසින හිරුගේ රන්වන් රැස් දහර මයුරගිරි කන්දට ගලා හැළෙද්දී අපි හෙමිහිට කන්ද බසින්නට වීමු. පෙර රහතුන්ගේ පිරිත් ස්වරයෙන් එ්ක නින්නාද වූ මේ වන සෙනසුන යළිත් මිනිස් පහසින් මඳින් මඳ ඈත් වෙමින් නිහඬතාවයේ ගිලී යන්නට විය. යළිත් කවදා හෝ දවසක එඞ්මන් මහතා හෝ උදයශාන්ත මහතා මේ කන්ද තරණය කර එනු ඇත. එතෙක් මේ නිහඬතාවය සුරැකේ ද? නො එසේ නම් ඊට පෙර නිදන් කොල්ලකරුවෙකුගේ යකඩ ඉනි පහරකින් එය බිඳී යාවි ද? එසේ නො වන්නට නම් සැදැහැ සිත් ඇත්තෝ වහා එක් වී මේ දෑත් මීට වඩා ශක්තිමත් කිරීමට කාලය එළඹ ඇත.

සටහන
සුදර්ශන ශ්‍රී විජේසිංහ