බුදුරජාණන් වහන්සේ ලොවට පහළ වූයේ එකම ඉලක්කයක් පිණිස ය. එනම් ලෝක සත්වයාගේ නිමක් නොමැති සසර සැරිසරායාම නැවැත්වීම පිණිස ය. මේ දුක්ඛිත සසර සයුරින් එතෙර කරවීම පිණිස ය. මෙය කළ හැක්කේ බුදුවරුන්ට පමණි. බුදුරජාණන් වහන්සේ විසින් එ් සඳහා දේශනා කරන ලද්දේ එකම මගකි. එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය යි.
සමහර විට ඔබ දැනටමත් ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන අසා ඇති. කුමක්ද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය? එනම්: සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මෙය යි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කොටස් තුනකින් යුක්ත වෙයි. මෙහි සම්මා දිට්ඨි, සම්මා සංකල්ප අයත් වන්නේ ප‍්‍රඥා කොටසට යි. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව අයත් වන්නේ සීල කොටසට යි. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි අයත් වන්නේ සමාධි කොටසට යි. බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය පිළිබඳ හරි ලෙස නොදත් කෙනෙකුට බැලූ බැල්මට පෙනෙන්නේ ප‍්‍රඥා, සීල, සමාධි වශයෙනි. නමුත් බුදුරජාණන් වහන්සේ මෙය සෑම අවස්ථාවකදී ම පෙන්වා දෙන්නේ ප‍්‍රඥා, සීල, සමාධි වශයෙන් නොවෙයි. සීල, සමාධි, ප‍්‍රඥා වශයෙනි. ප‍්‍රඥා, සීල, සමාධි වශයෙන් පෙනෙන මෙය බුදුරජාණන් වහන්සේ විසින් සීල, සමාධි, ප‍්‍රඥා වශයෙන් දක්වන ලද්දේ මක් නිසා ද? දැන් අපි එය විමසා බලමු.
ප‍්‍රඥාවන්ත පුද්ගලයෙකුට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසන්නට ලැබෙයි. ඔහුට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලෙස අසන්නට ලැබිය යුතු වන්නේ චතුරාර්ය සත්‍යය යි. චතුරාර්ය සත්‍යය යනු කුමක්ද? පළමු ආර්ය සත්‍යය දුක ය. දෙවන ආර්ය සත්‍යය දුක උපදවන්නට හේතු වූ කාරණා ය. තුන්වෙනි ආර්ය සත්‍යය දුක නිරුද්ධ වීම ය. සතරවෙනි ආර්ය සත්‍යය දුක නිරුද්ධ වීම පිණිස පවතින ප‍්‍රතිපදාව ය. මාර්ගය ය. බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයා මේ චතුරාර්ය සත්‍යය පියවර තුනකින් සම්පූර්ණ අවබෝධයකට පත්වෙයි. එනම් සත්‍ය ඤාණ, කෘත්‍ය ඤාණ, කෘත ඤාණ වශයෙනි.
චතුරාර්ය සත්‍යයෙන් විස්තර වන්නේ ලෝකයේ තිබෙන, වෙනස් නොවන අකාලික සත්‍යයකි. මෙය එබඳු සත්‍යයක් බවට පළමුවෙන්ම ඇතිවන අවබෝධයට සෝතාපන්න වීම යයි කියනු ලැබේ. එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසීම යි. මේ අවබෝධය පිණිස ඔහුට තමා තුළ ඇති එක්තරා දෙයක් මහෝපකාරී වෙයි. එය ඔහුගේ ප‍්‍රඥාව යි.
මෙසේ සෝතාපන්න වීමෙන් පසු ඔහු බුදුරජාණන් වහන්සේ ගේ ධර්මයට අවබෝධයෙන් ම පැමිණි ප‍්‍රඥාවන්ත ශ‍්‍රාවකයෙක් වෙයි. ඔහු ධර්මය සැක නොකරයි. ඔහු තමාට පිහිට විය හැකි වෙනත් ආගම් තිබේදැයි නොසොයයි. ලෝකය පුරා පැතිරී තිබෙන නොයෙක් විශ්වාස පසුපස නොයයි. ජීවිතාවබෝධය පිණිස වෙනත් බාහිර මතිමතාන්තර අනුගමනය නොකරයි.
බුදුරජාණන් වහන්සේ පළමු ආර්ය සත්‍යය ලෙස පෙන්නුවේ දුක ය. උන්වහන්සේ දුක වශයෙන් පෙන්නූ යමක් ඇද්ද එය කොතැනක තිබුණත් දුක ම ය. කොයි කාලයක තිබුණත් දුක ම ය. කාහට තිබුණත් දුක ම ය. ලොව කාට වුණත් දුක දුක ම ය. එය රටකට හෝ ජාතියකට හෝ දේශයකට හෝ සීමා වී නැති දෙයකි.
බුදුරජාණන් වහන්සේ පැවසූ දුක කුමක් ද? එ් එ් සත්වයන් ගේ එ් එ් සත්ව යෝනි තුළ යම් ඉපදීමක් ඇද්ද, එහි උපදින කෙනා දුක අත්විඳියි. ලෝකයේ කවුරුවත් සිනහසෙමින් නූපදිත්. උපදින හැම කෙනාම දුක විඳියි.
උපන් සත්වයා වයසට යයි. වයසට යන විට ඉන්ද්‍රියයන් දුර්වල වෙයි. ඇස් නොපෙනී යයි. කන් නොඇසී යයි. සිරුර දුබල වෙයි. මෙවැනි දෙයකින් කෙනෙකුට සැපක් වින්ද නොහැකිය. එ් තුළින් ඔහු අත්විඳින්නේ දුකකි. එය වැළැක්වීමට කොතරම් පිළියම් කළද නොනවත්වා ම වයසට යමින් දුබල වෙයි.
උපන් සත්වයා රෝගයන්ට බඳුන් වීම නොවැළැක්විය හැකි දුකකි. ලෝකයේ මිනිසුන්ට වැළඳෙන නොයෙක් ලෙඩ රෝග ඇත. එ් කොයි ලෙඩ රෝගය වැළඳුනත් ඔහු දුක අත්විඳියි. එ් නිසා ලෙඩ දුක් ඇති වීම වළක්වා ගන්නට අපි කවුරුත් බොහෝ මහන්සි ගනිමින් සිටින නමුත් කොයි මොහොතක කුමන රෝගයකට ගොදුරු වේදැයි කවුරු දනිත් ද? ලෙඩ වීමට අපි අකැමැතිව සිටින්නේ එය දුකක් නිසාය.
අපි කවුරුත් මැරෙන අය වෙමු. අප කිසිවෙකුටවත් එය වැළැක්විය නොහැකිය. අප මැරෙන්නේ කවදා ද? කොතැනක ද? කුමකින් ද? යි අපි නොදනිමු. සත්‍යය අවබෝධ නොකළ කාහටත් එ් මරණය ඉතා දුක්ඛිත අත්දැකීමකි. මෙසේ අප කවුරුත් කායිකවත් මානසිකවත් දුක් අත්විඳිමින් සිටිමු. මෙය ක‍්‍රමයෙන් ගැඹුරට අවබෝධ කිරීමට ධර්මයෙන් උගන්වයි.
මේ ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ දුක වශයෙන් පැවසූ ධර්මය ලෝකයේ කොතැනක ඉපදී සිටියත්, කොයි කාලයක සිටියත්, කාහටත් සාධාරණ පොදු සත්‍යයකි. එය ආර්ය සත්‍යයක් වන්නේ එනිසා ය.
චතුරාර්ය සත්‍යයේ දෙවැනි ආර්ය සත්‍යය වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ දුක් උපදවන්නට හේතු වූ කරුණුය. එ් හේතු කොතැනක තිබුණත් එයින් දුක උපදියි. එ්වා කොයි කාලයක කා තුළ තිබුණත් දුක උපදියි. කොයි රටේ සිටියත් යම් කෙනෙකු තුළ එ් දුක් උපදවන හේතු තිබේ නම් දුක හටගැනීම වළක්වාලිය නොහැක. හේතූන් නිසා ඵල හටගැනීම ලෝකයේ පවතින ධර්මතාවකි.
බුදුරජාණන් වහන්සේ දුක් උපදවන හේතුව වශයෙන් වදාළේ කුමක්ද? එනම් තණ්හාව යි. තණ්හාව යනු ගසක් වැනි දෙයකි. තණ්හා ගසෙහි ද පැතිර ගිය බොහෝ අතු තිබේ. එ් කොයි අත්තෙනුත් හටගන්නේ එ් ගසට අයත් මල් සහ ගෙඩිය. එමෙන්ම තණ්හා ගසෙහි ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පළිගැනීම, එකටඑක කිරීම, මාන්නය, අනුන්ගේ ගුණ මකාදැමීම, අනුන් සතු දෙයට ආසා කිරීම, ලෝභය, තමා හුවා දැක්වීම, අනුන් හෙළා දැකීම ආදි බොහෝ අතු ඇත්තේය. එ් කුමකින් නමුත් හටගන්නේ එකම ප‍්‍රතිඵලය යි. එනම් එයට අනුරූප වූ දුකක් හටගැනීම යි. මෙය ලෝකයේ පවතින ආර්ය සත්‍යයක් වන්නේ එනිසාය. ශ‍්‍රාවකයා හට ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසීමට මේ අවබෝධය බොහෝ ප‍්‍රයෝජනවත් ය.
චතුරාර්ය සත්‍යයේ තුන්වෙනි ආර්ය සත්‍යය වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ දුක නිරුද්ධ වීම යි. නිර්වාණය වශයෙන් හඳුන්වන්නේ ද එයයි. කෙනෙකු තුළ දුක් උපදවන්නට හේතු වූ කරුණු සියල්ල ම නිරුද්ධ වුවහොත්, ඔහු තුළ යළි කිසිදා දුක හටනොගනියි. එවිට ඔහු දුකින් නිදහස් වෙයි. ඔහු විමුක්තිය අත්දකියි.
විමුක්තිය යනු ශූන්‍යතාවය නොවෙයි. විමුක්තිය යනු කිසිවක් නැති තැනක් නොව දුක නැති තැනයි. දුක නොපිහිටන තැනයි. දුක නොපිහිටන තැන ඉපදීම නැත්තේය. වයසට ගොස් ඉඳුරන් විනාශ වීමක් නැත්තේය. රෝග නැත්තේය. මරණය නැත්තේය. එහි සතර මහා ධාතු නොපිහිටයි. එය දුකින් නිදහස් වූ තැනයි. එහි විමුක්තිය අත්දකියි. එය ගැඹුරු නින්දක් වැනි තැනක් නොවෙයි. එය මනා සිහියෙන්, මනා සමාධියෙන්, මනා ප‍්‍රඥාවෙන් ඉතා හොඳින් ඉතා දැනුම්වත් ව අත්දකින දෙයකි. එය බුදුරජාණන් වහන්සේ අත්දැක්කාහ. උන්වහන්සේ ගේ ශ‍්‍රාවක වූ සියලූ රහත් භික්ෂූහු එය අත්දැක්කාහ. ඔවුහු එය අත්වින්දාහ. කිසිදු තණ්හාවක් නැති එ් නිර්වාණය යනු ෆැන්ටසියක් (සිතින් මවා ගත් දෙයක්) නොවේ. එය සත්‍ය වූ දෙයකි. එය කිසිදු සංස්කාරයකින් සැදුනු දෙයක් නොවෙයි. කිසිදු භෞතික මානසික අංශුවකින් සැදුනු දෙයක් නොවෙයි.
තෘෂ්ණාව සම්පූර්ණයෙන් ම නැති වූයේ කවර ජාතියක හෝ භික්ෂුවකට නම් ඔහුට එය අත්දැකිය හැකිය. නිර්වාණය අත්දකිනවා යනු කෙලෙස් සහිත සියලූ තෘෂ්ණාව නැත්තට ම නැති වී ගිය බව අත්දැකීම යි. එ් නැති වී ගිය කෙලෙස් ඔහු තුළ කිසිදා නූපදී. සෝවාන් ශ‍්‍රාවකයා එය පටිච්ච සමුප්පාද නිරෝධය ලෙස නිතර නුවණින් මෙනෙහි කරයි.
කෙලෙස් දුරු නොකළ සියලූ දෙනා තමා තුළ හටගන්නා සියලූ කෙලෙස් අනුව දැනුම්වත්ව හෝ, නොදැනුම්වත් ව හෝ කයෙන් ක‍්‍රියා කරයි. වචනයෙන් ක‍්‍රියා කරයි. මනසින් ක‍්‍රියා කරයි. රහත් භික්ෂූහු ඊට හාත්පසින් වෙනස් ය. ඔවුන් සාමාන්‍ය විදිහට ජීවත් වුණත් කෙලෙස් නැති බව නිසා ඇති විමුක්ති සිත ඔවුන් ගේ සිත, කය, වචනය තුළ පවතියි. මෙසේ දුක නිරුද්ධ වීම ආර්ය සත්‍යයකි.
ඊළඟට චතුරාර්ය සත්‍යයේ සතරවන ආර්ය සත්‍යය වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ දුක් නිරුද්ධ වීම පිණිස පවතින මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. දුක් නිරුද්ධ වීම යනු නිර්වාණයයි. එ් නිර්වාණය අත්දැකීම පිණිස ඇති එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. බුදුරජාණන් වහන්සේ දෙසූ අයුරින් ම කොතැනක හෝ කොයි කාලයක හෝ යම් ශ‍්‍රාවකයෙකු එ් මාර්ගය අනුගමනය කළහොත් ප‍්‍රතිඵල ලැබීම ඔහුගේ ප‍්‍රඥාවේ දියුණුවට අනුව සිදුවනු ඇත. අප කවර ජාතිකයෙක් වේවා, කවර භාෂාවක් කතා කරන්නෙක් වේවා, ලොව කොහේ සිටියත් එ් මාර්ගය බුදුරජාණන් වහන්සේ දෙසූ අයුරින් ම අනුගමනය කරයි නම් ප‍්‍රතිඵල ලැබිය හැකි විය යුතුය.
ගස කොහේ තිබුණත් එය කැපීම පිණිස අනුගමනය කරන ක‍්‍රමය නිවැරදි නම් එය කවුරුන් කළත් ගස කැපී වැටෙනු ඇත. එ් ගස කපන්නා මොන ජාතිකයෙක් ද, ඔහු කතා කරන භාෂාව කුමක්ද, ඔහු ගස කැපීම ගැන ඉගෙන ගත්තේ කොයි භාෂාවෙන්ද, ඔහු කන්නේ මොනවාද යන්න එතැනට වැදගත් නැත. එතැනට වැදගත් වන්නේ ගස කැපීමට ඔහු ගත් ආයුධය කුමක්ද? එහි මුවහත කෙබඳුද? ඔහු අනුගමනය කරන ක‍්‍රමය හරිද? යනාදිය යි.
එසෙයින් ම ආර්ය මාර්ගය සඳහා වැදගත් වන්නේ ඔහු එ් ආර්ය අෂ්ටාංගික මාර්ගය නිවැරදිව තේරුම් ගෙන තිබේද? එ් සඳහා ඔහු අවංකද? ගුණවත්කම් තිබේද? ඔහු ප‍්‍රඥාවන්ත ද? ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත ද? මායා කපටිකම් වලින් තොරද? නිහතමානී ද? යනාදිය යි. කොටින්ම විමුක්තිය සොයන ශ‍්‍රාවකයා සතුව ඇති හැම ගුණවත්කමකින් ම අනුබල ලැබෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට යි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය යනු නොවෙනස් වන සත්‍යයකි.
යම් ශ‍්‍රාවකයෙක් මෙසේ දුකත්, දුක් උපදවන හේතුත්, දුක නිරුද්ධ වීමත්, දුක් නිරුද්ධ වීම පිණස පවතින මාර්ගයත් යන චතුරාර්ය සත්‍යය අවබෝධ කළ විට ඔහුට ඤාණයක් ලැබෙයි. එය හඳුන්වන්නේ ‘සත්‍ය ඤාණය’ යන නමිනි. එය චතුරාර්ය සත්‍යය පිළිබඳ නිවැරදි අවබෝධයට පත්වීම යි. සෝවාන් වීම යනු මෙය යි. සම්මා දිට්ඨියට පත්වීම යනු මෙය යි.
සම්මා දිට්ඨිය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළමු අංගය යි. මෙම පළමු අංගයට පැමිණෙන තාක් කෙනෙක් සෝවාන් නොවෙයි. සෝවාන් වීමත්, ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීමත් යනු දෙකක් නොවේ. එකකි. එවිට ඔහුට දහම් ඇස ලැබෙයි. ධර්මය තුළින් තමාගේ ඉදිරි ගමන දැක්ක හැකිය.
එ් සෝවාන් ශ‍්‍රාවකයා තමන් ගේ සම්මා දිට්ඨිය ධර්මය තුළින් විග‍්‍රහ කරගනියි. එ් සම්මා දිට්ඨිය වනාහී චතුරාර්ය සත්‍යය එ්කාන්ත සත්‍යයක් බව වටහාගත් සත්‍ය ඤාණයයි. එ් චතුරාර්ය සත්‍යයේ ඊළඟට තවත් පියවර දෙකක් තිබේ. එනම් කෘත්‍ය ඤාණයත්, කෘත ඤාණයත් ය.
චතුරාර්ය සත්‍යය පිළිබඳ කෘත්‍යඤාණය යනු කුමක්ද? එනම් එක් එක් ආර්ය සත්‍යය පිළිබඳ තමා විසින් ඉදිරියට කළයුතු දෙයයි.
දුක්ඛ ආර්ය සත්‍යයට අයත් සියල්ල ප‍්‍රඥාවෙන් අවබෝධ කළ යුතුය. එය කෘත්‍ය ඤාණයයි. කළයුතු දෙය ගැන අවබෝධය යි. බුදුරජාණන් වහන්සේ දුක ගැන වදාළේ හඬ හඬා සිටින්නට නොවෙයි. ප‍්‍රඥාවෙන් අවබෝධ කිරීමට ය. ගැඹුරට ම අවබෝධ කිරීමට ය. මේ ඇස, කන, නාසය, දිව, කය, මනස යනාදියත්, සියලූ විඳීම්, සියලූ සංඥා, සියලූ සංස්කාර, සියලූ විඤ්ඤාණ, සියලූ සතරමහා ධාතු ආදි සියල්ල ද, ආධ්‍යාත්මික බාහිර සියල්ල ද අයත් වන්නේ දුකටයි. එ් දුක කෙරෙහි ඇති ඇල්ම නැති වෙන තුරු අවබෝධ කිරීමට ය. සෝවාන් ශ‍්‍රාවකයා වෙහෙසිය යුත්තේ එ් සඳහා ය.
යම් හේතූන් ගෙන් දුක උපදියි නම්, දුක උපදවන්නට හේතු වන එ් සියල්ල ප‍්‍රහාණය කළ යුතුය. නැති කළ යුතුය. එය දෙවන ආර්ය සත්‍යය පිළිබඳ කෘත්‍ය ඤාණය යි. එ් සඳහා කළයුතු දෙය කෙලෙස් ප‍්‍රහාණය ගැන අවබෝධය යි.
දුකත්, දුක් උපදවන හේතූනුත් එකිනෙක බැඳී කි‍්‍රයා කරන ආකාරය බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ පටිච්ච සමුප්පාදය තුළිනි. ආර්ය මාර්ගයට පැමිණි ශ‍්‍රාවකයා පටිච්ච සමුප්පාදය අවුල් කර නොගනියි. එහි හේතුඵල සම්බන්ධතාව ඔහු ප‍්‍රඥා ඇසින් දකියි. ඔහු දුක් උපදවන හේතූන්ගේ ප‍්‍රහාණය පිණිස උත්සාහවත් වෙයි.
එසේ දුක අවබෝධ කිරීම පිණිසත්, දුක් උපදවන හේතූන් නැති කිරීම පිණිසත් දිගින් දිගට ම කරන උත්සාහය මත ඔහුගේ ආර්ය මාර්ගයේ දියුණුව පවතී. එසේ දිගින් දිගට ම කරන උත්සාහය සම්මා වායාමය යි.
එවිට ඔහු සතිය දියුණු කරයි. තමාගේ කයේ ඇති සත්‍ය ස්වභාවය අවබෝධ කරගැනීම පිණිසත්, විඳීම් වල පවතින සත්‍ය ස්වභාවය අවබෝධ කරගැනීම පිණිසත්, සිතේ පවතින සත්‍ය ස්වභාවය අවබෝධ කරගැනීම පිණිසත්, ආර්ය මාර්ගය තුළ තමා දියුණු වෙන අයුරු අවබෝධ කරගැනීම පිණිසත් සිහිය හොඳින් පිහිටුවා ගනියි. මෙය සම්මා සතිය යි.
ඔහු කුසල් සිතුවිලි සමාධිමත් කරයි. ඔහු පළමු ධ්‍යානයත්, දෙවන ධ්‍යානයත්, තුන්වෙනි ධ්‍යානයත්, සතරවැනි ධ්‍යානයත් දියුණු කරගැනීමට සමත් වෙයි. මෙය සම්මා සමාධියයි. සිත ධ්‍යානයකට පත් වූ විට බොහෝ දෙනෙක් සිතන්නේ තමන් නිර්වාණයට ළං වූ බවයි. එය වැරදි අදහසකි. එපමණක් නොවෙයි එය මුළාවට පත්වීමකි. සමාධිය වඩන්නෝ බෞද්ධයන් පමණක් නොවෙති. ඉන්දියාවේ හිමාල වනයේත් සමාධිය වඩන්නෝ සිටිති. ධර්මය ගැන නොදන්නා බොහෝ සමාධිලාභීහු සිටිති. සමාධියෙන් බොහෝ වේලාවක් සිටිය හැකි අය සිටිති. එ් සමාධි කිසිවක් සම්මා සමාධියට අයත් නොවෙයි. සම්මා සමාධිය පටන් ගන්නේ සෝවාන් ශ‍්‍රාවකයා ගේ සිටය. මක් නිසා ද යත්: ඔහු තුළ සම්මා දිට්ඨිය ඇති නිසාය. අනික් මාර්ගාංගයන් තේරුම් ගත යුත්තේ මේ අයුරිනි.
බුුදුන් වහන්සේ මිථ්‍යා සමාධියක් ගැන ද වදාළ බව අප අමතක නොකළ යුතුය. මිථ්‍යා ඤාණ හා මිථ්‍යා විමුක්ති ගැනත් උන්වහන්සේ වදාළහ. සම්මා දිට්ඨියෙන් තොර පුද්ගලයා තම සමාධියෙන් මිථ්‍යා ඤාණයටත් මිථ්‍යා විමුක්තියටත් පැමිණීම සාමාන්‍ය දෙයකි. එවිට ඔහු සිතන්නේ අවබෝධයට පත්වූ බවයි. මාර්ගඵල ලැබූ බවයි. නිර්වාණය අත්දුටු බවයි. එ් සඳහා ඔහුම තමා පිළිබඳව නිශ්චයකට පැමිණෙයි. එය ඔහු තුළ තිබෙන්නේ අවබෝධයක් වශයෙන් නොව මාන්නයක් වශයෙනි. තමා තුළ කෙලෙස් ඇති වෙද්දීත් එය නොසලකා හරින්නට තරම් ඔහු ආඩම්බර වෙයි. සම්මා දිට්ඨිය නොමැති වීම නිසා එය තේරුම්ගන්නට ඔහු අසමත් වෙයි. එවිට ඔහු කරන්නේ තමාගේ සමාධිය ම පැසසීම යි. සමාධියෙන් ම නිවනට පත්විය හැකි බව පැසසීම යි. එ් සඳහා වෙහෙස මහන්සි වී ධර්මය ඉගෙනීම එතරම් අවශ්‍ය නැතැයි පවසයි. එක් සූත‍්‍රයක් ඇතොත් ප‍්‍රමාණවත් යැයි පවසයි. සමහරු ධර්මය අවශ්‍ය ම නැතැයි පවසති. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ඇති ප‍්‍රඥාවේ වැදගත්කම ඔහුට අමතක වෙයි. දැන් බලන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවසාන අංගය ලෙස ධර්මයෙහි දැක්වෙන්නේ සම්මා සමාධිය යි. මෙම මාර්ගය පටන් ගන්නේ සම්මා දිට්ඨියෙනි. එහෙත් මෙය ප‍්‍රඥාවෙන් පටන් ගෙන සමාධියෙන් අවසන් වන දෙයක් නොවෙයි. මෙය අවසන් වන්නේ විමුක්තියෙනි. මේ සියලූ මාර්ග අංගයන් උදව් කරන්නේ විමුක්තිය පිණිසය. එනම් දුකට හේතු වන සියල්ල නසා දුකෙන් නිදහස් කරවීමට ය. එනිසා මෙය ප‍්‍රඥාසම්පන්නව කළ යුත්තකි. ප‍්‍රඥාවෙන් පටන් ගෙන අනිත් සියලූ අංගයන් දියුණු කරන්නේ ප‍්‍රඥාව මුල් කරගෙන මිස තමන්ගේ හදිසි තීරණ මුල් කරගෙන නොවෙයි.
ප‍්‍රඥාවන්ත ශ‍්‍රාවකයා සමාධිය දියුණු වන විට එ් තුළින් දියුණු වන්නේ සිත බව හඳුනා ගනියි. එය සමථය වැඞීම යි. විදර්ශනාව දියුණු වන විට ඔහු අනිත්‍ය දේ අනිත්‍ය වශයෙනුත් දුක් දේ දුක් වශයෙනුත් අනාත්ම දේ අනාත්ම වශයෙනුත් තේරුම් ගන්නට සමත් වෙයි. එයින් දියුණු වන්නේ ප‍්‍රඥාවයි. අවබෝධ වන්නේ දුකයි. ප‍්‍රඥාව දියුණු නොවී කොයිතරම් චිත්ත සමාධිය දියුණු කළත් එය සම්මා සමාධිය බවට පත් නොවෙයි. දුක් උපදවන සියලූ හේතූන් ප‍්‍රහාණය වෙන්නේ ප‍්‍රඥාව මුල්කොට ය. මෙසේ සම්මා දිට්ඨියෙන් පටන් ගෙන සීලයෙන් යුතුව, සමාධියෙන් යුතුව, ප‍්‍රඥාවෙන් යුතුව මග වඩන ශ‍්‍රාවකයා ඉතිරි මාර්ගඵල ලැබීම සඳහා සුදුස්සෙක් වෙයි.
යම් හෙයකින් අප ප‍්‍රඥා, සීල, සමාධි වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය තේරුම් ගතහොත් සමාධිය ඇති වීමෙන් පසු නිවන් මග සම්පූර්ණ වූයේ යැයි මුළාවෙන්නට ඉඩ තිබේ. නමුත් බුදුරජාණන් වහන්සේ දෙසූ පරිදි ම පිළිගෙන සීල, සමාධි, ප‍්‍රඥා වශයෙන් තේරුම් ගත් විට කිසි අවුලක් ඇති නොවෙයි. මුළාවක් ඇති නොවෙයි. මෙසේ වැඩිය යුතු මාර්ගය හොඳින් පැහැදිලි කරගැනීම සතරවන ආර්ය සත්‍යය පිළිබඳව ඇති කෘත්‍ය ඤාණයයි.
මෙසේ චතුරාර්ය සත්‍යයේ එ් එ් ආර්ය සත්‍යය පිළිබඳව තමන් කළ යුතු දේ කළ යුතු වන්නේ කොපමණ දුරකට ද? සියලූ කෙලෙස් නැසීයාම තෙක්ය. දුක් උපදවන්නට හේතුවන සියල්ල නැසී යන තෙක්ය. එ් දුක් උපදවන සියල්ල අවස්ථා සතරකදී පිළිවෙළින් නැසී යයි. එනම් සෝවාන් වීමේදී, සකදාගාමී වීමේදී, අනාගාමී වීමේදී සහ රහත් වීමේදී ය.
මෙසේ චතුරාර්ය සත්‍යයේ කළයුතු සියල්ල අවසන් කළ පසු අවසන් ඤාණය උපදියි. එනම් කෘත ඤාණයයි. කළ යුතු සියල්ල කිරීමෙන් අවසන් කළ බවට වූ අවබෝධය යි. එනම් දුක සම්පූර්ණයෙන් ම අවබෝධ කළ බවයි. දුක් උපදවන හේතූන් සම්පූර්ණයෙන් නැති කළ බවයි. දුක් නිරුද්ධ වීම සම්පූර්ණයෙන් ම සාක්ෂාත් කළ බවයි. දුක් නිරුද්ධ වන ප‍්‍රතිපදාව සම්පූර්ණයෙන් ම දියුණු කරගත් බවයි.
මේ අනුව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මූලික මාර්ගෝපදේශකයා සම්මා දිට්ඨිය මිස වෙන දෙයක් නොවෙයි. සම්මා දිට්ඨියෙන් ආරම්භ වන ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්මා සමාධියෙන් සම්පූර්ණ වූ විට එ් ශ‍්‍රාවකයා සියලූ ප‍්‍රතිඵල ලබයි. එවිට හේ රහත් භික්ෂුවකි. එ් රහත් භික්ෂුව තුළ තව අංග දෙකක් පිහිටයි. එනම් සම්මා ඤාණයත් සම්මා විමුක්තියත් ය.
සම්මා ඤාණය යනු චතුරාර්ය සත්‍යය පිළිබඳ වූ සත්‍ය ඤාණයත්, එ් එ් ආර්ය සත්‍යය පිළිබඳව කළයුතු දේ ගැන දන්නා කෘත්‍ය ඤාණයත්, එ් එ් ආර්ය සත්‍යය පිළිබඳව කළයුතු දේ කිරීමෙන් අවසන් කළ බව දන්නා කෘත ඤාණයත් ය. එවිට එ් වෙනුවෙන් කළයුතු වෙන කිසිවක් නැතැයි අවබෝධයෙන්ම දනියි. මේ සම්මා ඤාණය යි.
සම්මා විමුක්තිය යනු දුක සම්පූර්ණයෙන් අවබෝධ වීම නිසා දුක් උපදවන සියලූ හේතූන්ගෙන් තමා සදහට ම නිදහස්ව ගිය බව ප‍්‍රත්‍යක්ෂ කරගැනීම යි. එනිසා සියලූ දුකින් තමා නිදහස් වූ බව තමාට ම ප‍්‍රත්‍යක්ෂ වීම යි. දුක්ඛ නිරෝධය වූ නිර්වාණය නිවැරදි සේ අත්දැකීම යි. නිර්වාණ අත්දැකීම යනු සම්මා විමුක්තිය යි. එය සීල, සමාධි, ප‍්‍රඥා සම්පූර්ණ වීමෙන් ලැබෙන දෙයකි. එය නැති දෙයක් නොව ඇති දෙයකි. තිබෙන දෙයකි. නිකෙලෙස් වීමෙන් ම අත්දැක්ක යුතු දෙයකි. නිකෙලෙස් වූවෝ අත්දුටු දෙයකි. එ් අමරණීය අත්දැකීම අප හට පෙන්වා වදාළේ ගෞතම බුදුරජාණන් වහන්සේ ය.
එ් අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!
මහාමේඝ 2015 අධි ඇසළ කලාපය
WWW.MAHAMEGHA.LK
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද
ස්වාමීන් වහන්සේ විසිනි
Recent Comments