‘‘ලෝකය ගෝලාකාරයි, මිනිසුන් විවිධාකාරයි” කියලා කථාවක් අපි අතර තියෙනවා නේ ද? මෙහෙම මිනිස්සු, සත්තු විවිධාකාර වුණේ කොහොම ද කියලා හොයන්න ගියපු නිසා තමයි මේ ලෝකෙ මිනිස්සුන්ට හිතුණේ මේක මේ බලගතු දෙයියෙක් කරපු වැඩක් ය කියලා. ‘දුක, සැප දෙන්නේ දෙයියො ය, අපි දෙයියන්ගෙන් ඉල්ලූවොත් දෙයියො අපිට එ්වා දෙනව ය, අපි දුක් විඳින්නේ, එ්ක දෙයියන්ගේ කැමැත්ත ය…’ එ් එ් විදිහෙ නොයෙක් දෙයියන්ගෙ කතන්දරවලට මුල පෑදුනේ මේ ලෝක ස්වභාවය ගැන වැරදි විදිහට හිතුණු සිතිවිල්ලක් නිසා.
මිනිස්සු ගස් වැල් වඳින්න ගත්තෙ, නැකැත්, කේන්දර, හඳහන්, සුභ නිමිති අදහන්න ගත්තේ සත්වයන්ගෙ තියෙන මේ විවිධත්වයට හරියාකාර අදහසක් තේරුම් ගන්න බැරිවෙච්ච නිසා. නමුත්, මේ ලෝකෙ පින්වන්ත, නුවණ තියෙන මිනිසුන්ට තේරුම් ගන්නවා නම් තේරුම් ගන්න, අවබෝධ කරනවා නම් අවබෝධ කර ගන්න, මේ ලෝකෙට පිනට පහළ වුණ අපේ භාග්‍යවතුන් වහන්සේ මිනිසුන්ගේ විවිධාකාර ස්වභාවයට හේතුව විස්තර කළා. මේ මිනිසුන්ගේ දුක් විඳීමට, සැප විඳීමට හේතු විස්තර කළා. මේ දුක් සැප දෙකෙන් ම මිදිලා උතුම් නිවන අවබෝධ කර ගන්නා ආකාරයත් විස්තර කළා. මේ ගැන පිටු පිරෙන්න කරුණු දක්වන්න පුළුවන් වුණත් අද මේ කාරණාව ලියන්න මුල් වුණ හේතුවට අදාළ කාරණා කිහිපයක් පමණක් සටහන් කරන්න අවසරයි.
ඔබට මතක ද දන්නෙ නැති වුණාට මට අමතක නැති කාරණාවක් තියෙනවා. එ් තමයි මීට අවුරුදු දහයකට පහළොවකට කලින් මේ පුංචි රටේ ‘ධර්මය’ කියලා අපිට අහන්න ලැබුණු දේවල්. සමහරු බුදු වුණා, සමහරු ‘‘මම රහත්” කියලා ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළා. සමහරු සෝවාන්, සමහරු අනාගාමී කියලා මාධ්‍යවලට පෙනී හිටියා. තව සමහරු ‘‘එන්න යන්න සසර ගමනේ අපි ඔක්කොම මතු බුදු වෙමු” කියලා බොහෝ පිරිස් එක්කාසු කරගෙන තෙසැත්තෑ ඥාන පූජාවන් තිබ්බා. සමහරු බුදු පිළිම වන්දනාව බොරු වැඩක් ය කියලා චෛත්‍යය, පිළිම වන්දනා කිරීම නැවැත්තුවා, සමහරු කිව්වා දැන් සංඝයා වහන්සේලා ලෝකෙ නැහැ, එ් නිසා රත්න දෙකයි තියෙන්නේ කියලා. මේ මේ වගේ බෞද්ධ වේශයෙන් ආපු දෘෂ්ටිවලින් අපේ ඔළු ගෙඩි කුරෝලූ කරලා දාලා තිබ්බා.
ඔන්න ඔය කාලෙ මේ ලෝකෙට වැහිලා යමින් තිබුණු සූත‍්‍ර පිටකයත් අතින් අරගෙන, එකින් එක පදෙන් පදේ සරලව ම කියා දෙමින් ධර්මය කියන්නේ මෙයයි, විනය කියන්නේ මෙයයි කියලා එ් උතුම් ධර්ම විනයට ම ගෞරව සත්කාර කරන තමන්ගේ අදහස් ධර්මයේ නාමයෙන් නො කියන ලොවේ උතුම් පින් කෙතක් මතු වුණා. එ් උතුම් කල්‍යාණ මිත‍්‍රයන් වහන්සේ නො සිටින්න ඇත්තටම අපිටත් අද කොහේවත් නැති මිත්‍යා දෘෂ්ටි ගොඩකට හිරවෙලා, අන්ත අසරණ වෙලා පිනෙන් පිරිහුණු අය වගේ ඉන්න ඉඩකඩ ඕනවටත් වඩා තිබුණා. උතුම් බුද්ධ වචනය අපිට පෙන්වා දුන් එ් උතුම් කල්‍යාණ මිත‍්‍රයාණන් වහන්සේට නමස්කාර වේවා…!
මේ කාලේ ආයෙත් තැනින් තැන අපිට අහන්න ලැබෙනවා, ‘‘පින් කරලාත් වැඩක් නැහැ, පිනට වුණත් ආසා කිරීම තණ්හාවක්, එ් නිසා එ්කත් තේරුමක් නැති දෙයක්” ය කියලා, ධර්මය ඉගෙන ගන්න කැමැත්ත ඇතුව, නමුත් ධර්මය අධර්මය තේරුම් ගන්න නුවණ නැතුව ධර්මය පටලවා ගත්ත පිරිසක් කථා වෙනවා. එ් කථාව බොහෝ පිරිසකට අයහපත ඇතිකරයි කියලා හිතුණු නිසා අපි මේ පින ගැන භාග්‍යවතුන් වහන්සේ විසින් ම දේශනා කරපු කාරණා ටිකක් මතක් කරනවා.
ඛුද්දක නිකාය 1 කියන උතුම් පොත් වහන්සේගෙ සූත‍්‍ර දේශනාවක් තියෙනවා ‘මා පුඤ්ඤභායි’ කියලා. එ්කෙ තියෙන්නේ මෙන්න මේ කාරණාවයි.
‘භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ, අරහත් මුනිඳාණන් ම යි මෙය වදාළේ, මේ විදිහටයි මට අසන්නට ලැබුණේ,
‘‘පින්වත් මහණෙනි, පින්වලට භයවෙන්න එපා. පින්වත් මහණෙනි, ‘පින’ කියලා කියන්නේ මේ ඉතා යහපත් සිත්කලූ වූ සැපයට ම කියන නමක්. පින්වත් මහණෙනි, බොහෝ කාලයක් තිස්සේ මා විසින් කරපු පින් නිසා ඉතා සිත්කලූ වූ පි‍්‍රයමනාප වූ ආනිශංස විඳපු බව මම දන්නවා. අවුරුදු හතක් මෛත‍්‍රී සිත වඩපු නිසා සංවට්ට කල්ප (ලෝකය විනාශ වෙන) හතක් මේ ලෝකෙට ආවෙ නැහැ. පින්වත් මහණෙනි, කල්පය විනාශ වෙද්දී ආභස්සර බ‍්‍රහ්ම ලෝකයට යනවා. කල්පය ආරම්භ වෙද්දී හිස් බ‍්‍රහ්ම විමානයක උපදිනවා, පින්වත් මහණෙනි, මම තමයි එහෙ බ‍්‍රහ්මයා, මහා බ‍්‍රහ්මයත් මම තමයි, මම හැම දෙය ම මැඩ පැවැත්තුවා, අනභිභවනීය වුනා, සියලූ දෙය ම තේරෙන කෙනෙක් වුණා, සියලූ දෙය ම තම වසඟයට පමුණුවා ගත්තා.
පින්වත් මහණෙනි, මම තිස්හත් වතාවක් දෙවියන්ට අධිපති වූ ශක‍්‍ර දෙවියන් වෙලා ඉපදුණා, නොයෙක් වාර සිය ගණන් ධාර්මික, ධර්මරාජ වූ සෑම ජනපදයකට ම ස්ථිර රජු වෙච්ච ආශ්චර්යවත් වස්තු හතක් ලැබූ සක්විති රජු බවට පත් වුණා. ඉතින් එහෙම එකේ ප‍්‍රදේශයකට රජකම් කරපු වාර ගණන ගැන කියන්න තරම්වත් දෙයක් නැහැ, පින්වත් මහණෙනි, මට මෙන්න මෙහෙම හිතුණා. ‘මේ මොන විදිහේ පිනක විපාකයක් නිසා ද දැන් මට මේ තරම් ඉර්ධිමත් බවකුත්, මහානුභාව සම්පන්න බවකුත් ලැබිලා තියෙන්නේ’ කියලා. පින්වත් මහණෙනි, මට එ්ක මේ විදිහට අවබෝධ වුණා. මා විසින් කරපු පුණ්‍ය කර්ම තුනක යහපත් ඵල විපාක ලැබුණු නිසා තමයි දැන් මම මේ තරම් මහා ඉර්ධිමත් වෙන්නෙත්, මහා ආනුභාව සම්පන්න වෙන්නෙත් කියලා. එ්වා තමයි දානයත්, ඉන්ද්‍රිය දමනයත්, සිත කය වචනය සංවර කර ගැනීමත්.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්නට පුළුවනි.
‘‘යම් කෙනෙක් අනාගතේ සැප සේ වාසය කරන්නට කැමති නම් එ් කෙනා දානයත්, සම චරියාවත්, මෛත‍්‍රී සිත වැඞීමත් කියන මේ පුණ්‍ය ක‍්‍රියාවල ම හික්මෙන්න ඕන, ඤණවන්ත කෙනා සැප උපදවා දෙන මේ කාරණා තුන දියුණු කරලා දුක් නැති සැප ඇති ලොවක උපදිනවා”
තවත් තැනක දී අග‍්‍ර උපස්ථායක අනේපිඬු සිටුතුමාට භාග්‍යවතුන් වහන්සේ මේ විදිහටත් දේශනා කරනවා.
‘‘ගෘහපතිය, රූක්‍ෂ විදිහට වේවා, ප‍්‍රණීත විදිහට වේවා, (අසක්කච්චං දානං දේති* එය දෙන්නේ සකසලා නෙවෙයි නම්, (අචින්ති කත්වා දානං දේති) එය දෙන්නේ ගෞරව සහිතව නෙවෙයි නම්, (අසහත්ථා දානං දේති) සිය අතින් ම නොවෙයි නම් දෙන්නේ, (අප්පටිවිද්ධං දේති) බැහැර කරන අදහසින් නම් දෙන්නේ, (අනාගමනදිට්ඨිකෝ දේති) දෙන්නේ යම් සේ ද ලැබෙන්නේ එසේ ම ය කියා කර්ම ඵල විශ්වාස නො කර නම් දෙන්නේ එ්කට කියනවා අසත්පුරුෂ දානය කියලා. එහෙම දුන්නම එ්වට ලැබෙන විපාකත් එ් වගේ ම තමයි. ප‍්‍රණීත වූ ආහාර පාන අනුභව කිරීමට ඔහුගේ සිත නො නැමෙනවා, උදාර වූ වස්ත‍්‍රයන් හැඳීමට ඔහුගේ සිත නො නැමෙනවා, උදාර වූ වාහනවලින් යන්නට ඔහුගේ සිත නො නැමෙනවා, පංච කාමයන් උදාර ලෙසින් පරිභෝග කරන්නට ඔහුගේ සිත නො නැමෙනවා, ඔහුට යම් දරුවෝ සිටිත් ද, බිරින්දෑවරු සිටිත් ද, දාසයෝ සිටිත් ද, මෙහෙකරුවෝ සිටිත් ද ඔවුහු ද ඔහුගේ වචනය අසන්නට කැමති නො වෙනවා, ඇහුම්කන් දීමට කන් යොමු නො කර ඉන්නේ, කියන දේ තේරුම් ගැනීමට සිත නො පිහිටුවති. එ් මක් නිසා ද යත් ගෘහපතිය, නො සකස් කොට කළ කර්මයෙහි විපාක ලැබෙන්නේ එ් අයුරින් නිසා ය.
ගෘහපතිය, රූක්‍ෂ දෙයක් හෝ ප‍්‍රණීත දෙයක් හෝ දානයකට දෙයි නම්, එය වුණත් සකසා දෙයි නම්, ගරු සරු සහිතව දෙයි නම්, සියතින් ම දෙයි නම්, බැහැර නො කරන දෙයක් ලෙසින් දෙයි නම් ‘දෙන්නේ යම් සේ ද, ලැබෙන්නේ එසේ ය’ යන්න විශ්වාස කොට දෙයි නම්, යම් යම් තැනක එ් එ් දානයෙහි විපාක පහළ වෙයි ද, ප‍්‍රණීත වූ ආහාර පාන අනුභව කිරීමට ඔහුගේ සිත නැවෙයි, උදාරවූ වස්ත‍්‍රයන් හැඳීමට ඔහුගේ සිත නැවෙයි, උදාර වූ වාහනවලින් යන්නට ඔහුගේ සිත නැවෙයි, ඔහුට යම් දරුවෝ සිටිත් ද, බිරින්දෑවරු, දැසි දස්සෝ, මෙහෙකරුවෝ සිටිත් ද ඔවුහු ඔහුගේ වචනය අසන්නට කැමති වෙයි. ඇහුම්කන් දීමට කන් යොමු කරති. කියන දේ තේරුම් ගැනීමට සිත පිහිටුවති. එ් මක් නිසා ද යත් ගෘහපතිය සකස් කොට කළ කර්මයෙහි විපාක ලැබෙන්නේ එ් අයුරින් නිසා ය.
(වේලාම සූත‍්‍රය – අංගුත්තර නිකාය)
මිනිසුන් විවිධාකාර වුණු හේතුව මේ ටිකෙන් ඔබට යන්තමින් හරි තේරෙයි කියලා අපිට හිතෙනවා.
භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවකයෙක් හිටියා ධම්මික උපාසක, එ් උපාසක ජීවත් වෙලා ඉද්දී හිත පුරෝගෙන හිටිය ශ‍්‍රද්ධාවෙන්, භාග්‍යවතුන් වහන්සේ වදාළ දේ එ් අයුරින් ම විශ්වාස කරගෙන හිටියා, ධර්මය මෙයයි, අධර්මය මෙයයි, විනය මෙයයි, අවිනය මෙයයි කියලා අවබෝධ කරගෙන හිටියා. සත්පුරුෂයා, අසත්පුරුෂයා වෙන් කරලා හඳුනගන්න දක්‍ෂවෙලා හිටියා. යම් දවසක ද මේ ධර්මය අහලා තෙරුවන් සරණ ගියේ තෙරුවන ම එක ම සරණ කරගෙන හිටියා. වෙන වෙන ඇදැහිලි, ආගම් සරණ ගියේ නැතුව හිටියා, මැරෙන දවසෙ දෙවිවරු ඇවිත් ඇදිලි බැඳගෙන ‘‘අපේ දිව්‍යලෝකෙට එන්න, අපේ ලෝකෙට එන්න” කිව්වා. සමහරුන්ට මේවා කතන්දර විතරක් වෙයි. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය පිළිබඳව අල්පමාත‍්‍ර ශ‍්‍රද්ධාවක් තියෙන කෙනෙක් මේක එ්කාන්ත සත්‍යයක් කියලා හිස් මුදුනේ තියන් අදහාගෙන ඉන්නවා. එ් ධම්මික උපාසකතුමා අරබයා තව අවස්ථාවක භාග්‍යවතුන් වහන්සෙ මෙසේ වදාළා.
ඉධ මෝදති පෙච්ච මෝදති
කත පුඤ්ෙඤ් උභයත්ත මෝදති
සෝ මෝදති සෝ පමෝදති
දිස්වා කම්ම විසුද්ධි මත්තනෝ
‘‘මෙලොව සතුටු වෙන්නේත් පින් කර ගත්ත කෙනා තමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත්ත කෙනා තමයි. දෙලොව ම සතුටු වෙන්නේ පින් කර ගත්ත කෙනා තමයි. තමන් විසින් කර ගත්ත පිරිසිදු කර්මය දැකලා ඔහු සතුටින් පිනා යනවා.”
එහෙනම් අපිට හොඳාකාරව ම පේනවා අද කාලෙ කවුරු හරි කියනවා නම් ‘‘පින් කරන්න එපා, පිනට ආස කරන්නත් එපා, එ්කත් තණ්හාවක්” කියලා එ්ක භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙයක් නො වෙයි. අහසෙ පළඟක් බැඳගෙන වාඩිවෙලා, ඇෙඟන් ගිනි පිට කර කර කවුරු හරි භාග්‍යවතුන් වහන්සේ නො වදාළ දෙයක් වදාළා කියනවා නම් ‘‘බුද්ධං සරණං, ධම්මං සරණං, සංඝං සරණං ගච්ඡාමි” කිව්ව ඔයාට එ් කියන දේ ධර්මයට අනුකූලයි ද, ධර්මයට විරුද්ධයි ද කියලා තේරුම් අරන් එ් අධර්මය බැහැර කරන්න හැකියාව තියෙන්න ඕනැ. ”මම රහත් වෙලා ඉන්නේ” කියලා රහතන් වහන්සේනමක් ය කියලා ඉඳගෙන හරි භාග්‍යවතුන් වහන්සේ නො වදාළ දෙයක් කියනවා නම්, එ්ක අධර්මයක් කියලා බැහැර කරන්න ඔබට ඤණය තිබිය යුතුයි. මොකද? ඔබට ඔය මනුස්ස බව ලැබුණේ දුර්ලභව, ඔබට මේ ධර්මය ඇහෙන රටක ඉපදෙන්න ලැබුණෙ දුර්ලභව. එ් දුර්ලභව ලැබුණු ක්‍ෂණ සම්පත්තිය (අධර්මයකට හසුවීම නිසා) ඔබෙන් ගිලිහී නො යේවා…!
භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවක් තියෙනවා අංගුත්තර නිකාය 1 පොත් වහන්සේගේ.
‘‘පින්වත් මහණෙනි, සද්ධර්මයේ (ශාසනයේ) විනාශය පිණිස, අතුරුදහන් වීම පිණිස හේතුවෙන මේ කාරණා දෙකක් තියෙනවා. එ් දෙක මොනවා ද? වැරදි විදිහට ගළපා ගන්නා ලද වචන ප‍්‍රකාශ කිරීමත්, වැරදි විදිහට කරන්නා වූ අර්ථ විග‍්‍රහයත් ය. පින්වත් මහණෙනි, වැරදි විදිහට ගළපා ගන්නා ලද වචන ප‍්‍රකාශ කරන විට වැරදි අර්ථ මතුවෙනවා ම යි. පින්වත් මහණෙනි, මෙය වනාහි සද්ධර්මයේ විනාශය පිණිස, අතුරුදහන් වීම පිණිස හේතුවන්නා වූ කරුණු දෙකයි.”
එහෙනම් අපිට තේරෙනවා යම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය මෙයයි කියලා ධර්මය වැරදි විදිහට තේරුම් අරගෙන යම් දෙයක් කියනවා නම් එ්ක ධර්මයේ විනාශය පිණිසයි හේතු වෙන්නෙ. ධර්මය පුරාවට ම පින ගැන වර්ණනා කරලා පිනට මිනිසුන්ව යොමු කරලා තියෙද්දි එ් ගැන වැරදි විදිහට හිතලා අවමන් කරනවා නම් එ්ක ධර්මයට විරුද්ධ දෙයක්. පින් කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ අරමුණ විදිහට තියාගෙන මේ සසරින් නිදහස් වීම. එ්ක උතුම් අරමුණක්. එ් අරමුණට යන්න උපකාරි වෙන දේ තමයි පින කියන්නේ. නිධිකණ්ඩ දේශනාවෙදි එ්ක විස්තර වෙනවා.
‘‘පින්වත් මහණෙනි, යම් අයුරකින් ඉතාමත් ස්වල්ප වූ අසූචි දුගඳින් යුක්ත වෙයි ද, පින්වත් මහණෙනි, අන්න එ් වගේ ම යි ඉතා ස්වල්ප කාලයක් වූ භවයක් වුණත් මා වර්ණනා කරන්නෙ නැහැ. අඩු ගණනේ අසුරු සැණක් ගහන මොහොතක් තරම් වත් මා වර්ණනා කරන්නෙ නැහැ….”
එතනදි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ඉපදුණු මනුෂ්‍යයා, ධර්මය ලැබුණු කෙනා ප‍්‍රමාදී වීම භාග්‍යවතුන් වහන්සේ වර්ණනා කරන්නේ නැති බවයි. අප‍්‍රමාදීව කුසල් වැඞීම භාග්‍යවතුන් වහන්සේ වර්ණනා කරන බවයි. නැතුව ‘පින් කරන්න එපා’ කියන අදහසක්වත්, ‘කුසල් වඩන්න එපා’ කියන අදහසක්වත් එ්කෙන් අපිට හැඟවෙන්නේ නැහැ. හැඟවෙන්නෙ මේකයි. ‘ආයෙ ආයෙ ඉපදීම දුකක්, එ් දුකින් නිදහස් වීමට උත්සාහ ගන්න.’
‘‘පින්වත් මහණෙනි, හිසට හරි ඇඳුමට හරි ගිනි ඇවිළුනු කෙනෙක් එ් ගින්න නිවා දමන්න උත්සාහ කරනවාටත් වඩා මේ සක්කාය දිට්ඨිය ප‍්‍රහාණය කරන්න උත්සාහ කළ යුතුයි කියලයි මම නම් කියන්නෙ” කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ඉපදීම නිසා මිනිසුන්ට විඳින්න වෙන දුක දැකලයි. ඉපදීම නිසා විඳින දුක නැති කිරීමට උපකාරක ධර්ම තමයි ධර්මයේ සඳහන් මේ ‘පින’ හා ‘කුසලය’ කියන්නේ.
මාවමඤ්ඤේත පුඤ්ඤස්ස
න මන්තං ආගමිස්සති
උදබිංදු නිපාතේන
උදකුම්භෝපි පූරති
පූරති ධිරෝ පුඤ්ඤස්ස
ථෝකං ථෝකම්පි ආචිනං
”‘ ඕක ඉතිං පොඩි පිනක් නේ’ කියලා, තමන්ට විපාක දෙන්න තමන් කරා එන්නේ නැහැ කියලා ගණන් නො ගෙන ඉන්න එපා. වතුර වුණත් බිංදුව බිංදුව වැටිලා තමයි කළයක් පිරෙන්නේ. බුද්ධිමත් පුද්ගලයාත් ටික ටික වුණත් පින් කරන කොට එ් පින් එකතු වෙලා අන්තිමේදි ජීවිතේ ම පිනෙන් පිරිලා යනවා.”
අන්න එ් විදිහටයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. එ් කියපු දේ අහපු දේ පිළිගත්ත නුවණැති මිනිස්සු දෙන්න දෙයක් නැතත් කන්න තියෙන දේ හරි දනට දුන්නා, බැණුම් අහ අහා ගුටි කකා හරි අමාරුවෙන් හරි සිල් රැක්කා, ගුණධර්ම දියුණු කළා, ‘ආසාවෙන් පින් කළා.’ එ් අය නිසා තමයි දිව්‍ය, බ‍්‍රහ්ම ලෝක පිරිලා ගියේ. දිව්‍ය ලෝකවල ඉඳගෙන ”අපි මනුස්ස ලෝකෙදි මෙහෙම පින් කළා” කියලා සතුටු වුණා. විමාන වත්ථුවල පිරිලා තියෙන්නේ එහෙම ගියපු ස්වල්පයක් දෙනාගෙ විස්තර. එ්වා නිකම් ම කතන්දර විතරයි කියලා හිතන අය තමයි පිනට ඔය අගෞරව කරන්නේ.
සමහරවිට ඔය ‘‘පින් කිරීමත් තණහාවක්” කියන අය එහෙම කියන්නේ සල්ලි වියදම් කරලා දාන මාන දීම ගැන විතරක් හිතලා වෙන්න ඇති. නමුත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ දාන, සීල, භාවනා වශයෙන් පින් කිරීමක්. සල්ලි නැතත්, වියදම් නො කළත් කොහොමත් අපි සිතින් සිතලා කයින්, වචනින් ක‍්‍රියා කරනවා නම් එ් හැම විට ම අපි එක්කො පින් රැුස් කරනවා, නැත්නම් පව් රැුස් කරනවා. ‘‘පින කියන්නේ තණ්හාවක්, පින් කරන්න එපා” කියන අය එහෙනම් එ් කියන්නේ, ‘‘කයින්, වචනින්, මනසින් යහපත් දේ කරන්න එපා” කියන එක වෙන්න ඇති. එක වෙලාවක භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරනවා, ”පින්වත් ආනන්ද, එ්කාන්තයෙන් ම මේ කාය සුචරිතය, වචී සුචරිතය, මනෝ සුචරිතය කළ යුතුයි කියලයි මා කියන්නේ” කියලා. ‘‘එ්කාන්තයෙන් ම ආනන්ද යම් මේ කාය, වචී, මනෝ සුචරිතයක් වදාළා ද එ් කළ යුතු දේ කරන කොට මොනවගේ ආනිශංස ද කැමතිවෙන්න තියෙන්නේ? තමනුත් තමන්ට ෙදාස් කියන්නෙ නැහැ, ඤණවන්ත උදවියත් දැනගෙන ප‍්‍රශංසා කරනවා, යහපත් වූ කීර්ති රාවයකුත් පැතිරෙනවා, සිහි මුළාවෙන්නේ නැතුව මිය යනවා. පරලොව ගියාට පස්සේ සුගතිය නම් වූ දෙව් ලොව උපදිනවා.” අන්න එහෙමයි භාග්‍යවතුන් වහන්සේ නම් දේශනා කළේ.
එ් නිසා ධර්මයේ නාමයෙන් අද අහන්න ලැබෙන හැම දෙයක් ම විමසීමෙන් තොරව ඔබ විශ්වාස කරන්න පිළිගන්න යන්න එපා කියලා ආදරයෙන් ඉල්ලා හිටින්න කැමතියි. අපි මේ හැම දෙයක් ම කියන්න හිතුවේ මේ දුර්ලභව ලැබුණු උතුම් මොහොත ඔබට නම් මග නො හැරේවා! කියන අදහසින් යුක්තවයි. අපිට හොඳකාරව ම පේන කාරණාවක්් තමයි එන්න එන්න ම මේ ලෝකේ ‘හොඳ’ කියන දෙය, ‘මනුස්සකම’ කියන දෙය, ‘මෛත‍්‍රිය, කරුණාව’ කියන දෙය නැති වේගෙනයි යන්නේ. ඉස්සරහ ලෝකේ මොනවයින් මොනවා වෙයි ද කියලා හිතන්නවත් අමාරුයි. මේ ලංකාවෙ අහල පහළ ඉන්න අය ගැන විතරක් හිතලා ලෝකෙ ම හරි සුන්දරයිනේ කියලා හිතන්න එපා. අපේ ලොකු වාසනාවකට අපි බෞද්ධ වෙලා මේ පින්වන්ත රටේ ඉපදුණේ. ‘එ්ක නියතයි’ කියලා හිතන්න එපා. හැමදාම මේ බෞද්ධකම රැුකෙන්නේ නැහැ. අපි ඉන්නේ හරිම අමාරු තැනක, භාග්‍යවතුන් වහන්සේගේ දේශනා කියවන්න. එ්වයෙ තියෙනවා අනාගත ලෝකෙ, එ් කියන්නෙ මේ අපේ කාලෙ ගැන, සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලාවත් නැතිවෙලා යනවා. එ් නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ අපේ ගැන අනුකම්පාවෙන් ”අනාගතේ භික්‍ෂුවගෙ තියෙන ගුණධර්මවත් නැති, සිවුර විතරක් පොරවගෙන ගිහියො වගේ හැසිරෙන කසාව කණ්ඨක කියා පිරිසක් බිහි වෙනවා, එ් අයට පවා සංඝයා වෙනුවෙන් දෙන දානය මහත්ඵලයි මහානිශංසයි කියලයි මම කියන්නෙ” කියලා.
(දක්‍ෂිණා විභංග සූත‍්‍රය)
මේක අනුන්ගෙන් බල බල කරන්න බැහැ. ‘අරයා රහත්, එයා හරි, අරයා සෝවාන්, එයා හරි’ කියලා හොයන්න බැහැ. නමුත් හරි එක දෙයක් තියෙනවා. මෙච්චර කල් රැුකගෙන ආපු සූත‍්‍ර ධර්මයත්, විනයත්, අභිධර්මයත්, එනිසා ඔබට යෝජනා කරනවා ඔබේ නිවසේ තවමත් නැති නම් සූත‍්‍ර පොත් වහන්සේනමක්, ඔබ සූත‍්‍ර පොත් වහන්සේනමක් අරගෙන ළඟ තියාගන්න. දේශනා හොඳට කියවලා තේරුම් ගන්න බලන්න. කවුරු කිව්වත් එ්ක ධර්මයට ගැළපෙනව ද, එ්ක අනුගමනය කළොත් කුසල් වැඩෙනව ද, අකුසල් පිරිහෙනව ද කියල බලන්න. ඉක්මනට ඉක්මනට යහපත් කාය කර්ම, වචී, මනෝ කර්ම රැස් කර ගන්න.
අභිත්ථරේථ කල්‍යාණේ
පාපා චිත්තං නිවාරයේ
දන්ධංහි කරෝතෝ පුඤ්ඤං
පාපස්මිං රමතී මනෝ
‘‘දාන, සීල, භාවනා ආදි යහපත් පින්කම් ඉක්මනට කර ගන්න ඕන, එ් වගේ ම පාපයෙන් හිත වළක්ව ගන්නත් ඕන, ඕනකමක් නැතුව පමා වෙවී පින් කරන්න ගියොත් දන්නෙම නැතුව පව්වලට හිත ඇලෙනවා.”
පුඤ්ඤං චේ පුරිසෝ කයිරා
කයිරාථෙසං පුනප්පුනං
තම්හි ඡුන්දං කයිරාථ
සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ
‘‘යම් කිසි කෙනෙක් ශ‍්‍රද්ධාවෙන් යුතුව පිනක් කළොත් ආයෙ ආයෙත් කර ගන්න ඕන එ් පින ම යි. පින් කිරීම ගැන ම යි හිතේ කැමැත්ත ඇති කර ගන්න ඕන. ‘සැප’ කියලා කියන්නේ, පිනට ම යි.”
මේ උතුම් ධර්මය නිවැරදිව අහපු, නිවැරදිව දරාගත්ත, නිවැරදි මග වඩපු උතුම් පිරිසක් අතීතෙ හිටියා. වර්තමානෙත් එක්කෙනෙක්වත් නැහැ කියන්න බැහැ. නුවණ තියෙන අය ඉන්නවා. ‘‘පඤ්ඤයස්සං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස” මේ ධර්මය නුවණින් කල්පනා කරන ප‍්‍රඥවන්තයන්ටයි, නුවණ නැති අයට නො වෙයි. මේ කාලෙ එ් විදිහේ ප‍්‍රඥවන්තයෝ මහා හුඟක් ඉන්නවා කියලා හිතන්න බැහැ. අබ ඇටයක තරම්වත් නුවණක් අපිට තියේ නම් අපිට මේ ධර්මයේ තියෙන ධර්ම කාරණා තේරුම් ගන්න පුළුවන් වෙයි. එනිසා ලැබුණු මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතයේ දී නුවණ තියෙන ප‍්‍රඥවන්ත පිරිසක් හැටියට උතුම් පිරිසිදු බුද්ධ භාෂිතය හදාරන්න, තේරුම් ගන්න, පිළිගන්න, කල්‍යාණ මිත‍්‍රයා හඳුනාගන්න අප හැමට ම වාසනාව උදාවේවා! කියල අපි හිතමු.
‘‘පින්වත් මහණෙනි, කුසලය වඩන්න, කුසලය වඩන්න පුළුවනි. ඉදින් කුසලය කියන්නේ වඩන්න බැරි දෙයක් නම් මා මේ විදිහට ‘පින්වත් මහණෙනි, කුසලය වඩන්න’ කියලා කියන්නෙ නැහැ. යම් විදියකින් මේ කුසලය වඩන්න පුළුවන් නිසා තමයි පින්වත් මහණෙනි මා මේ විදිහට කියන්නෙ, ‘පින්වත් මහණෙනි, කුසලය වඩන්න’ කියලා.
කුසලය වැඩුවහම එය අයහපත පිණිස, දුක පිණිස හේතු වෙනවා නම් මා මේ විදිහට ‘පින්වත් මහණෙනි, කුසලය වඩන්න කියලා කියන්නේ නැහැ. පින්වත් මහණෙනි, යම් විදිහකින් කුසලය වැඩුවහම එ්ක යහපත පිණිස ම සැපය පිණිස ම හේතු වෙනවා. අන්න එ් නිසා තමයි මා මේ විදිහට කියන්නේ, ‘පින්වත් මහණෙනි කුසලය වඩන්න’ කියලා”
( අංගුත්තර නිකාය)
මහාමේඝ 2015 වෙසක් කලාපය
WWW.MAHAMEGHA.LK
පිනක සටහන
ජේ. පී. මහේෂ් චාමල්
Recent Comments