අපි පුංචි ම කාලෙ, යන්තම් බහ තෝරන්න පුළුවන් කාලේ, යමක් කමක් තේරුම් ගන්න පුළුවන කාලේ, අපේ අම්මලා තාත්තලා, වැඩිහිටියෝ අපෙන් ඇසුවා පුතා ලොකු වුණා ම කවුරු වෙන්න ද කැමති කියලා. පුංචි ම කාලේ වැඩිහිටියන් අපට අරමුණක් හොයලා දුන්නා. දවසින් දවස එ් අරමුණු කරා ළඟා වෙන්නට වුවමනා කරුණු කාරණා සියල්ල ටිකෙන් ටික සපුරා ගන්නටත් අපව උනන්දු කරවනවා. එ් උනන්දු කරවීම නිසා ම දරුවන් කල්පනා කරනවා, ‘‘මම කෙසේ හෝ මගේ අරමුණට ළඟා වෙනවා. මම ජීවිතය ජය ගන්නවා” කියලා.

එ් නිසා ම පුළුවන් තරම් මුදල් වියදම් කරමින්, දිවා රාත‍්‍රී වෙහෙසෙමින් අධ්‍යාපන කටයුතු – රැකියාවන් සිදුකරනවා. තම අරමුණට ළඟා වෙනවා. නමුත් ලෙඩ, දුක්, පීඩා, ජීවිතයට එළඹෙන විට එ්වා දුරු කර ගැනීම පිණිස යම් යම් ඇදහිලි, විශ්වාස, පුදපූජා ආදිය සිදු කරමින් එ් එ් අවස්ථාවට අනුකූලව කටයුතු කරනවා. එ් කරදර, පීඩා සමනය වූ විට නැවතත් පෙර පරිද්දෙන් දිවි ගෙවනවා.

මිනිස් ලොව බොහෝ පිරිසකගේ ජීවිතය ගත වන්නේ මේ අයුරින්. වයසට ගිහින් ලෙඩ වෙලා මියැදෙන ජීවිතයක් උරුම කර ගත් මිනිසුන් තම ජීවිතයට රැස් කරගෙන ඇති දේ බඩු භාණ්ඩ, යාන වාහන, ජනප‍්‍රියත්වය, මිල මුදල් ආදිය නිසා ම තක්සේරුවකට පැමිණෙනවා, ‘මම ජීවිතය ජය ගත්තා’ කියලා.

නමුත් ඇත්තෙන් ම ලැබූ ජීවිතය ජය ගැනීම යනු මෙපමණක් ද?

‘‘අත්තාභවේ ජිනං සෙයෙන් – යා චායං ඉතරා පජා
අත්ත දස්තස්ස පෝසස්ස – නිච්චං සඤ්ඤතචාරිනෝ”
තේරුම- ඇත්ත වශයෙන් ම තමන්ව ජය ගැනීම ම යි උතුම් වන්නේ. අනික් ජනයා මොන දේවල්වවලින් ජය ගත්තත් එ්කෙන් වැඩක් වෙන්නෙ නෑ. තමාව දමනය කරගෙන නිතර ම ඉන්ද්‍රිය සංවරයෙන් සිටින පුද්ගලයාට ම යි ජයග‍්‍රහණය ලැබෙන්නේ.
(ධම්ම පදය)

භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් ගාථාව දේශනා කොට වදාරන්නේ එක්තරා බ‍්‍රාහ්මණයෙක් අරභයා ජේතවන අසපුවේ දී.

ඉපදීමත්, ඉපදීමට හේතුවත් ප‍්‍රත්‍යක්ෂ ලෙසින් ම අවබෝධ කොට වදාළ ධම්මස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ ශ‍්‍රාවකයන් හට දේශනා කොට වදාළේ ජීවිතය ජය ගැනීම යනු ‘ජීවිතය’ අවබෝධ කොටගෙන සසරින් නිදහස් වීම ලෙසට යි.

පෘථග්ජන මිනිසා විසින් ම පනවා ගන්නා ලද ජයග‍්‍රහණයේ මිනුම් කරා විවිධ අයුරින් ළඟාවීමට උත්සාහ දරන දුගතිගාමී මාවතක යි බොහෝ මනුෂ්‍යයන් ගමන් කරනුයේ. හොඳින් සිතන්න, තමාට කුමන වටිනා දෙයක් ලැබුණ ද මරණයේ දී එ් සියල්ල අතහැර දැමිය යුතු නො වේ ද? මරණින් මතු ජීවිතය කරා අප රැගෙන යන්නේ මේ ජීවිතයේ දී එක් රැුස්කර ගත් වස්තූන් නොව රැස්කර ගත් පින සහ උපදවා ගත් ගුණ ධර්මයනුයි.

ගුණධර්මයන් සහ පින් මනා ව වැඩෙනුයේ සම්මා සම්බුද්ධත්යට පත් ව උතුම් අරහත්වය සාක්‍ෂාත් කොටගත් ශාස්තෘන් වහන්සේ තමන්ගේ අවවාද අනුශාසනා පිළිපැදීමෙන් ම පමණයි. එනම් කලාතුරකින් ලොව පහළ වන්නා වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේනමකගේ උතුම් ධර්ම දේශනා ශ‍්‍රවණය කොට නුවණින් විමසීමෙන් ම මිසක සසරට බැඳීම පිණිස ම පවතින්නා වූ විවිධ මතවාද, ඇදහිලි, විශ්වාස ආදිය පිළිපැදීමෙන් නො වෙයි.

බුදු සසුනක පිහිට ලබන ශ‍්‍රාවකයාගේ අරමුණ වන්නේ ‘නිවන’ සාක්‍ෂාත් කොට ගැනීමයි. සසරින් එතෙර වීම අරමුණු කොට ගෙන ය ඔවුන් ගුණදහම් වඩනුයේ, පින් රැස් කරනුයේ. නිවන කරා වැටී ඇති සොඳුරු මාවත නම් උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළමු මාර්ග අංගය වන්නේ සම්මා දිට්ඨියයි. සම්මා දිට්ඨිය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ මා චත්තාරීසක සූත‍්‍රයේ දේශනා කොට වදාරා ඇත්තේ මෙපරිද්දෙන්.

‘‘මහණෙනි, කුමක් ද සම්මා දිට්ඨිය කියන්නේ. සම්මා දිට්ඨිය ආකාර දෙකකින් යුක්තයි. එ් තමයි කෙලෙස් සහිත, පිනට නැඹුරු වෙලා තිබෙන, විපාක පිණිස නැවත නැවත කර්ම සකස් කරලා දෙන සම්මා දිට්ඨිය. ‘දුන් දේ විපාක ඇත. සේවා කටයුතුවල විපාක ඇත. පුද සත්කාරවල විපාක ඇත. මේ ලෝකයේ සැප, දුක කියලා කර්මයක් හෝ කර්ම ඵලයක් හෝ ඇත. මව, පියා කියල විශේෂ වූ පුද්ගලයන් ඇත. මෙලොව, පරලොව කියා දෙයක් ඇත. ඕපපාතිකව උපදින සත්වයන් ඇත. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසිලා මේ මාර්ගය ජයගත් උතුමන් ඇත. ’කියලා විශ්වාස කරනු ලබනවා. කෙලෙස් සහිත පින උපද්දවා දෙන සම්මා දිට්ඨිය මෙයයි.

පින්වත් මහණෙනි, කුමක් ද ආර්ය වූ, කෙලෙස් හට නො ගන්නා වූ, ලෝකයෙන් එතෙර කරවන එ්කායන මාර්ගය? පින්වත් මහණෙනි, ආර්ය වූ සිත් ඇති, අනාශ‍්‍රව සිත් ඇති, ආර්ය මාර්ගයෙන් යුක්ත වූ, ආර්ය මාර්ගය ප‍්‍රගුණ කරන කෙනෙකුගේ යම් ප‍්‍රඥවක් ඇත් ද ප‍්‍රඥා ඉන්ද්‍රියයක් ඇත්ද ප‍්‍රඥා බලයක් ඇත්්ද ධම්ම විචය සම්බොජ්ඣංගයක් ඇත්ද සම්මා දිට්ඨි මාර්ගයක් ඇත්ද මෙයට කියන්නේ, ආර්ය වූ ආශ‍්‍රව රහිත වූ ලෝකෝත්තර මාර්ග අංගයක් වූ සම්මා දිට්ඨිය කියලයි”

‘‘වජ්ජංච වජ්ජතෝ ඤත්වා-අවජ්ජං ච අවජ්ජතෝ
සම්මාදිට්ඨි සමාදානා-සත්තා ගච්ඡුන්ති සුග්ගතිං”
තේරුම – වැරදි දේ වැරදි හිටියට දැනගෙන නිවැරදි වූ ධර්මය නිවැරදි දේ හැටියට දැනගෙන සම්මා දිට්ඨිය පුරුදු කරන සත්වයන් සුගතියේ තමයි උපදින්නේ.
(ධම්ම පදය)

මේ උතුම් ගාථා රත්නය අනුව, සම්මා දිට්ඨිය ඇතිකර ගැනීමට නම් වැරදි දේ වැරදි දේ හැටියටත්, නිවැරදි දේ නිවැරදි දේ හැටියටත් ප‍්‍රඥවෙන් අවබෝධ කර ගත යුතුයි. උතුම් ධර්මය අනුව නුවණින් කල්පනා කළ යුතුයි. එ් අනුව නුවණ මෙහෙයවා ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගෙන සීල සමාධි ප‍්‍රඥා පිළිවෙළින් දියුණු කර ගත යුතුයි.

එ් සියල්ලට ම පළමුව සිදු කළ යුතු පූර්ව කටයුත්තක් තිබෙනවා. එනම් උතුම් තිසරණ පමණක් සරණ කොට ගත් ආර්ය ශ‍්‍රාවකයෙකු බවට පත් වීම යි.

උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇරඹෙන්නා වූ තිසරණය නම් ද්වාරය ආකාරවතී ශ‍්‍රද්ධාව නම් වූ යතුරින් විවර කොටගෙන නොපමාව සුන්දර වූ දහම් මඟට පිවිසීමට නුවණැති කිසිවෙකු හෝ පමා නො වෙත්වා…!

මහාමේඝ 2015 මැදින් කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
උත්පලා නඳුනි ලියනගේ