මේ එළඹුනේ මැදින් පුන් පොහොය දවස. අපගේ ශාස්තෘ වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසි දහසක් පමණ වූ භික්ෂු සංඝයා වහන්සේලා පිරිවරාගෙන තමන් වහන්සේගේ ජාතභූමිය වූ කිඹුල්වත් පුරයට වැඩම කිරීම ආරම්භ කළේ අද වන් උතුම් පුන් පොහෝ දවසකයි. ලෝකාර්ථචර්යාවේ යෙදෙමින් ස්වකීය ඥාති වර්ගයාට අර්ථයෙන් ධර්මයෙන් සංග‍්‍රහ කිරීම පිණිස ම යි උන් වහන්සේ එසේ වැඩම කොට වදාළේ. මේ උතුම් පුන් පොහොය දවසේ දී එ් තථාගතයන් වහන්සේගේ බුද්ධ භාෂිතයෙන් ම දෙව් මිනිස් ලෝකයට යහපත පිණිස අර්ථයෙන් ධර්මයෙන් සංග‍්‍රහ කිරීමට හැකි වීම අපගේත් වාසනාවක්…!

බොහොම සිහි නුවණින් යුතුව භාවිතයේ යෙදවිය යුතු දෙයක් තමයි, ‘වචනය’ කියන්නේ… වචනයක් වෙලා අපේ මුවින් එළියට එන විතර්කයට අපව කල්පයක් සුගතියට යවන්නටත්, කල්පයක් දුගතියට යවන්නටත් පුළුවනි. වචනයෙන් සිදු විය හැකි නිරයගාමී අකුසලයක් තමයි, ‘අභූතයෙන් චෝදනා කිරීම’; හේතු රහිතව චෝදනා එල්ල කිරීම. බුද්ධකාලීනවත් මේ අකුසලය දකින්නට ලැබුණා. ඉතින් අද කාලය ගැන කවර කථා ද?
වචනය ගැන පරිපූර්ණ වශයෙන් උපදවාගත් අවබෝධයකින් යුතුව ම යි සම්බුදුරජාණන් වහන්සේ අපට වචී සංවරය පුරුදු පුහුණු කිරීම අනුදැන වදාළේ. සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුව මඬලින් පිට වුණු සෑම වචනයක් ම ලොවට යහපත සලසන්නා වූ සත්‍ය වචනයක් ම යි. එ් වගේ ම උන් වහන්සේ එ් යහපත ම සලසන සත්‍ය වචන පවා දේශනා කොට වදාළේ සුදුසු කාලයේ දී ම යි. අප සරණ ගියේ එසේ පරිපූර්ණ වූ අවබෝධයකින් යුතු ව ම වචී සුචරිතයේ චරණයන් ප‍්‍රකට කළ ශාස්තෘන් වහන්සේවයි. එහෙත් අප අද වචන භාවිතයේ යොදවන්නේ එවන් වූ උත්තම ශාස්තෘන් වහන්සේනමක් සරණ යන්නට ලැබුණ අතිශය දුර්ලභ භාග්‍යය තත් ආකාරයෙන් ම සුන්දර ලාභයක් බවට පත් කරගෙන නෙවෙයි.

තවත් කෙනෙක් ගැන හෝ තවත් දෙයක් ගැන අප ප‍්‍රකාශ කරන වචනය සත්‍ය වචනයක් ම විය යුතු යි. එසේ නැතිව හරිහැටි කරුණු නො දැන, නො විමසා, නොපහන් සිතින් අප පිට කරන වචනයක් අන් අයෙකුගේ ඇති ගුණ මකා දමන්නේ නම්, නැති ගුණ ප‍්‍රකට කරන්නේ නම්, පැසසිය යුතු තැන අපහදවන්නේ නම්, අපැහැදිය යුතු තැන පසසන්නේ නම්, නො කියූවක් කියූ බව දක්වන්නේ නම්, කියූවක් නො කියූ බව දක්වන්නේ නම් අප එ් වචනයෙන් කරන්නේ අභූත චෝදනාවක්.

සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේ දී ම ඇතැම් පිරිස් අභූතයෙන් උන් වහන්සේටත්, ශ‍්‍රාවකයාණන් වහන්සේලාටත් චෝදනා කළා. සම්බුදුරජාණන් වහන්සේ නො වදාළ දෙයක් වදාළ බව කියමින් මිථ්‍යා මතයක් ප‍්‍රකාශ කරන්නට යෙදුණ කේවට්ටපුත‍්‍ර සාති භික්ෂුවගේ පුවත ඔබත් අසා ඇති. එ් භික්ෂුව, ”භවයෙන් භවයට සැරිසරා යන්නේ එක ම විඤ්ඤණයක් මිස වෙන දෙයක් නො වෙයි. භාග්‍යවතුන් වහන්සේ එ් විදිහට වදාළ ධර්මය මා දන්නවා” යනුවෙන් ප‍්‍රකාශ කළා. නුවණැති සබ‍්‍රහ්මචාරීන් වහන්සේලා මේ කාරණය අසා, භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ විඤ්ඤණය පටිච්චසමුප්පාදය තුළ හටගත්ත එකක් බව සිහිපත් කර දෙමින් භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා නො කරන්න යැයි ඉල්ලා සිටියා. මහා තණ්හාසංඛය සූත‍්‍රය (තණ්හාව ගෙවා දැමීම ගැන වදාළ විස්තරාත්මක දෙසුම – ම. නි. – මූල පණ්ණාසකය) දෙව් මිනිස් ලෝකයට අසන්නට ලැබුණේ මේ සිදුවීම පදනම් කරගෙනයි.

එ් වගේ ම ගෞතම සම්මා සම්බුද්ධ රාජ්‍යයේ ධර්ම සේනාපති වූ සාරිපුත්ත මහ රහතන් වහන්සේටත්, ධර්ම පුරෝහිත වූ මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේටත් අභූතයෙන් චෝදනා නැගූ අවස්ථා අපට ධර්මයේ මුණ ගැසෙනවා. භාග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණි කෝකාලික භික්ෂුව ”ස්වාමීනී, සාරිපුත්ත මොග්ගල්ලානයෝ පවිටු ආශා ඇත්තෝ ය. පවිටු ආශාවන්ගේ වසඟයට ගියාහු ය.” යනුවෙන් ප‍්‍රකාශ කළා. නිකෙලෙස් හදැති මහා මුනිවරයාණන් වහන්සේලා දෙනමකට මෙසේ චෝදනා නැගීමෙන් කෝකාලික භික්ෂුව මහත් වූ අනතුරකට පත් වන බව දුටු සම්බුදුරජාණන් වහන්සේ ”කෝකාලික, එසේ කියන්නට එපා. කෝකාලික, එසේ කියන්නට එපා. කෝකාලික, සාරිපුත්ත මොග්ගල්ලානයන් පිළිබඳව සිත පහදා ගනුව. සාරිපුත්ත මොග්ගල්ලානයෝ සුපේශලයෝ ය.” කියා වදාළා. තුුන් වරක් එසේ චෝදනා නැගෙන විට එ් තුන් වර ම සම්බුදුරජාණන් වහන්සේ මේ කාරණය වදාළා. එය පිළිනොගත් කෝකාලික භික්ෂුව අතිශය දරුණු කුෂ්ඨ රෝගයකට ගොදුරුව එදින ම රාත‍්‍රියේ මිය ගොස් පදුම නම් නිරයේ උපන්නා. මේ කාරණය අරබයා සම්බුදුරජාණන් වහන්සේ ඉතා සුන්දර ධර්ම පර්යායකින් ලෝකයට සංග‍්‍රහ කරනු ලැබුවා.

‘‘අඥාන තැනැත්තා පාපී වචනයන්ගෙන් බැණීම නම් වූ ආයුධයෙකින් තමාවත් වනසා ගන්නේ ද එ් පවිටු පුද්ගලයා උපදින විට ම ඔහුගේ මුවෙහි දරුණු වචනය නැමැති කෙටේරිය උපදින්නේ ය.
යමෙක් නින්දා ලැබිය යුත්තා හට ප‍්‍රශංසා කරයි ද ප‍්‍රශංසා ලැබිය යුත්තා හට නින්දා කරයි ද එ් තැනැත්තා තම මුවින් පව් රැුස් කරන්නේ ය. එ් පාපයෙන් සැපක් නො විඳින්නේ ය.”
(කෝකාලික සූත‍්‍රය – අං. නි.)

ඔන්න ඔය විදිහට කටේ කෙටේරියක් තබාගෙන වටේට ම කොට කොටා යන පිරිස් ඔබටත් මුණ ගැහිලා ඇති. එවන් පිරිස් ම යි ලෝකයේ බහුල… ෆේස්බුක් වැනි සමාජ වෙබ් ජාලවලත්, නොයෙක් විද්‍යුත් ශ‍්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය තුළත් මේ කෙටේරි පහරවල් සුලබව දැකගන්නට පුළුවනි. නිවැරදි භාවය පිළිබඳ වගකීමක් නොමැතිව හිතුමතේ හෝ අසන්නට ලැබුණු පමණින් හෝ යම් යම් කාරණා සමාජගත කරවන – එසේ සමාජගත වන කාරණා තරයේ ග‍්‍රහණය කර ගනිමින් මතවාදයන්ට බැඳී යන මේ සමාජය අලූත් ආරක සාංසාරික අර්බුදයන් ඇති කර ගන්නවා. මෙසේ අභූතයෙන් චෝදනා නැගීමේ විපාකයන් සුළුපටු නැහැ.

එසේ අභූතයෙන් චෝදනා නගන, ආර්යෝපවාදයේ යෙදෙන පිරිස් මේ ආකාර එකොළොසෙන් එකදු හෝ විපත්තියකට පත් වනවා.
1. අවබෝධ නො කළ ධර්මය, අවබෝධ කරන්නට නො හැකි වෙනවා.
2. උපදවා ගත් යම් ධ්‍යාන ආදි ධර්මයක් තිබෙනවා නම්, එය පිරිහී යනවා.
3. තමා තුළ දහම දියුණු කර ගන්නට ලැබෙන්නේ නැහැ.
4. ධර්මය අවබෝධ කළා කියා අධිමානයට හෝ පත් වෙනවා.
5. නිවන් මෙඟහි සිත් අලවා වාසය කරන්නට නො හැකි වෙනවා.
6. කිලිටි භාවයට පත් වන අයුරින් කිසියම් සිල් පද හෝ හානි කර ගන්නවා.
7. (පැවිදි අයෙක් නම්) සිවුරු හැර ගිහි වෙනවා.
8. දරුණු රෝගාබාධයක් හෝ වැළඳෙනවා.
9. උමතු භාවයට හෝ පත්වෙනවා, නො එසේ නම් සිත වික්ෂිප්ත වීමකට පත් වෙනවා.
10. සිහි මුළා වෙලා කළුරිය කරනවා.
11. මරණින් මතු මහත් දුක් ඇති නිරයේ උපදිනවා.
(ව්‍යසන සූත‍්‍රය – අං. නි. – එ්කාදසක නිපාතය)

සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ඉතාම නිවැරදිව ම යි ධර්ම විනය දේශනා කොට තිබෙන්නේ. එ් ධර්මය එ්කාන්තයෙන් ම ස්වාක්ඛාතයි. තමන්ගේ දෘෂ්ටිවලින්, නොයෙක් මතවලින් එ් ධර්මය යටපත් කරන්න එපා. එසේ කරන්නට ගියහොත් ඉහත පෙන්වා දුන් පරිදි නොයෙක් දුක් උපදවන, බිහිසුණු දුක් උපදවන අනතුරුවලට පත් වන්නට සිදු වනවා.

අභූතයෙන් චෝදනා කිරීමේ ආදීනවයන්ට බිය උපදවා ගන්නා ශ‍්‍රාවකයා එ් අකුසලයෙන් වැළකී සිටීමට මහත් වූ කැමැත්තක්, මහත් වූ වීරියක් උපදවා ගත යුතුයි. සිහි නුවණින් යුතුව ම අභූතයෙන් චෝදනා කිරීමෙන් වැළකිය යුතුයි.

පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිරිස් මැද දේශනා කොට වදාරා යළි සම්බුදුරජාණන් වහන්සේ අබියසට වැඩම කොට තමන් වහන්සේ වදාළ දහම් කරුණු ප‍්‍රකාශ කරනු ලැබූ අවස්ථා තිබෙනවා. එ් ධර්ම පර්යායන් පැවසීමෙන් තමන් වහන්සේ සම්බුදුරජාණන් වහන්සේට අභූතයෙන් චෝදනා කර තිබේ ද යන්නත් උන් වහන්සේලා විමසනු ලබනවා. එ් අවස්ථාවල සම්බුදුරජාණන් වහන්සේ උන් වහන්සේලාගේ දම් දෙසුම් සතුටින් අනුමෝදන් වෙනවා.

‘‘සාදු! සාදු! පින්වත් භික්ෂුව, ඔය කාරණය තථාගතයාණන් වහන්සේගෙන් විමසනු ලැබූවත් තථාගතයාණන් වහන්සේ පිළිතුරු දෙන්නේත් ඔය ආකාරයෙන් ම යි…!”

ශාස්තෘන් වහන්සේ යමකට පිළිතුරු දෙන ආකාරයෙන් ම එයට පිළිතුරු දෙන්නට යම් ශ‍්‍රාවකයෙකුට හැකි වන්නේ ශාස්තෘන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදීම ඇතිව එ් අවබෝධය දරා ගැනීමෙන් ම යි. එ් ශ‍්‍රාවකයා කිසිදු විටෙක ශාස්තෘන් වහන්සේට අභූතයෙන් චෝදනා කරන්නෙක් වන්නේ නැහැ.

‘මම ශ‍්‍රාවකයා වෙමි, තථාගතයාණන් වහන්සේ මාගේ ශාස්තෘන් වහන්සේ වන සේක…! මම කිසිවක් නො දනිමි. තථාගතයාණන් වහන්සේ සියල්ල දන්නා සේක…!’ කියා දරා සිටින කෙනා තථාගතයාණන් වහන්සේගේ වචනය ඉක්මවා යන්නේ නැහැ. එ් පුද්ගලයා අවබෝධයක් නො ලබා සිටිය දී ‘අවබෝධ කළා’ කියා සිතන්නේ නැහැ. අන්න එ් කෙනා ම තමයි තථාගතයාණන් වහන්සේගේ අවබෝධය ම ප‍්‍රකාශ කරන්නේ, එ් අවබෝධයට අනුකූල – ගැළපී යන දෙයක් පමණක් ම ප‍්‍රකාශ කරන්නේ. එ් ආකාරයෙන් ශාස්තෘන් වහන්සේ වදාළ ධර්මයට, අර්ථයට ගැළපෙන දේ ම පමණක් වචන බවට පත් කර ගැනීමෙන් අප අභූතයෙන් චෝදනා කරන්නන් වීම වැළැක්වෙනවා. එසේ අප ඇත්ත පමණක් ම කථා කරන, භූතවාදී වන උතුම් පුරුෂයෙක් බවට පත් වන්නේ ආර්යකාන්ත සීලය තුළ පිහිටි විටයි. එ් කියන්නේ, අභූතයෙන් චෝදනා කිරීම කියන අකුසලයෙන් අප සහමුලින් ම නිදහස් වුණා වන්නේ සෝතාපන්න මාර්ග ඵලය සාක්ෂාත් කළ විටයි. එ් තාක් අපත් අභූතයෙන් චෝදනා කරන්නන් වීමේ අනතුරෙන් නිදහස් වන්නේ නැහැ.
අභූතවාදී නො වී භූතවාදී වීම මහා පින් අස්වැන්නක් නෙළා දෙන පුණ්‍ය සම්පතක්.

‘‘තථාගතයන් වහන්සේ සුදුසු කාලයේ දී කථා කළ යුතු දේ කථා කරනවා (කාලවාදී). ඇත්ත දේවල් ම කථා කරනවා (භූතවාදී). අර්ථවත් දේ ම කථා කරනවා (අත්තවාදී). ධර්මය ම කථා කරනවා (ධම්මවාදී). හික්මෙන දෙයක් ම කථා කරනවා (විනයවාදි). නිධානයක් බඳු වූ වටිනා වචන කථා කරනවා (නිධානවතිං වාචං භාසිතා).”
(ලක්ඛණ සූත‍්‍රය – දී. නි. – පාථික වර්ගය)

සසරේ බොහෝ කාලයක් මෙසේ වචනය පුරුදු පුහුණු කළ නිසා එහි ආනිශංසය වූයේ මේ ලෝකයේ කිසි කෙනෙකුට අකුසලයකින් උන් වහන්සේව මැඬලන්නට නො හැකි වීමයි. සිහ රජෙකුගේ වැනි බබළන තෙද උන් වහන්සේට ලැබුණෙ එ් නිසයි.

එ් ශාස්තෘන් වහන්සේව සරණ ගිය අපට ද උන් වහන්සේ ව ගෞරවයෙන් ඇසුරු කරන්නට ලැබේවා! කිසිදු අකුසලයකින් මැඬලිය නො හැකි නිකෙලෙස් හද මඬලක් දරා ගන්නට අප සියලූ දෙනාට ද වාසනාව ලැබේවා!

රැස් වූ සියලූ පින් උපකාර කළ සියලූ දෙනාට අනුමෝදන් වෙත්වා!

සටහන
උදුලා පද්මාවතී