කොහෙත්ම කථා නොකර සිටින විට හරි, බොහෝ කථා ඇති තැනක ඉතාමත් ම අල්ප වශයෙන් පමණක් කථා බස් කරන විට හරි එ් චර්යා ධර්මය හඳුන්වන්න භාවිත කෙරෙන වචනය තමයි ‘මුනිවත’ කියන්නේ… මුනිවත අපට නුහුරු නුපුරුදු නො වුණට, ‘නිහඬව සිටීම’ අරුත් ගන්වන්නට මේ වචනය යොදා ගැනීමේ ආරම්භය ගැන අප බොහෝ දෙනෙක් දන්නේ නැහැ. මේ වචනය පාරිභාෂික වාග් මාලාවට එකතු වීමේ නිදාන කථාව අප සරණ ගිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමනාව වැඩ සිටි කාලයට ම දිව යනවා…

තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ශාසනික ඇවතුම් – පැවතුම්, ශික්ෂා පද ආදි සම්මතයන් පැනවුණේ සුදුසු කල් යල් එළඹියාට පසුව බව අප කවුරුත් දන්නවා. දෙසැටක් මිථ්‍යාදෘෂ්ටි පැතිරී තිබුණු දඹදිව මේ අසහාය ධර්ම සම්ප‍්‍රදාය ව්‍යාප්ත වන විට පිනැති – නැණැති මිනිසුන් බොහෝ ම ආදර ගෞරවයෙන් සම්බුදු දහම තම තමන්ගේ ජීවන සම්ප‍්‍රදාය බවට පත් කර ගත්තා. ඔවුන් විසින් අනෙක් සියලූ ධර්මයන් අතරින් සුවිශේෂී කොට දකින්නට යෙදුණු මේ දහමට බොහෝ සත්කාර ලැබෙන්න, ලැබෙන්න අන්‍ය ධර්මයන් සත්කාරයන්ගෙන් පිරිහුණා. ලාභ සත්කාරයන්ගෙන් පිරිහුණු එ් අන්‍ය තීර්ථකයන් සෑම විට ම උත්සාහ කළේ සම්බුද්ධ ශාසනයේ අඩුලූහුඬුකමක් දක්වා තමන් වෙත ජනතා ආකර්ෂණය යොමු කර ගන්නටයි. එ් වගේ ම, ගම්භීර ධර්මය අවබෝධ කර ගන්නට තරම් මෝරා ගිය ප‍්‍රඥවක් නො තිබුණු ජනතාව කළේ සෑම විට ම ගෞතම සම්බුදු සසුනේ ශ‍්‍රමණයන් වහන්සේලා සහ අන්‍ය තීර්ථකයන් සසඳා බැලීමයි…

අන්‍ය තීර්ථක පිරිස් තමන්ට දන් පැන් ලැබෙන විට එ් දන් පැන් පුදන ජනයාට භව බෝග සම්පත්, ධන ධාන්‍යය, ආයුෂ, සැප ලැබේවා ආදි වශයෙන් සෙත් පැතීම් සිදු කරනවා. තමන්ට ආශීර්වාදාත්මකව කියන මේ සෙත් පැතීම්වලට බොහෝ ජනයාත් ප‍්‍රිය වුණා. සම්බුද්ධ ශාසනයේ ආරම්භක අවධියේ දන් පැන් පිළිගෙන පුණ්‍යානුමෝදනා කිරීම්, දහම් දෙසීම් සිදු කෙරුණේ නෑ. එ් තථාගත ශ‍්‍රාවකයන් වහන්සේලා කවුරුන් හෝ විසින් විමසනු ලැබුවහොත් පමණක් ධර්මය දේශනා කළා.

එක් දවසක ජනයා විසින් තථාගත ශ‍්‍රාවකයන් වහන්සේලාට දන් පැන් පිළිගන්වන්නට යෙදුණා. දන් පිළිගත් උන් වහන්සේලා නිහඬව ම ආපසු ගමනට පිටත් වුණා. එ් මොහොතේ නොසන්සුන් වූ ජනයා දෝෂාරෝපණය කරන්නට වුණා.

‘‘අනේ මුන් වහන්සේලා අපට කිසිවක් කියා සෙත් පැතුවේ නැහැ නෙව. තීර්ථකයෝ නම් මෙහෙම නැහැ. අපට කොතරම් ආශීර්වාද කරනවා ද? මුන් වහන්සේලා දානේ අරගෙන නිහඬව ම ගියා නෙව…”
පින්වත් ස්වාමීන් වහන්සේලා මේ කාරණය සම්බුදුරජාණන් වහන්සේට සැල කළා. එවිට උන් වහන්සේ ශාසනයේ අභිවෘද්ධිය පිරිසිඳ දකිමින් දන් වළඳා අවසන දහම් දෙසීම්, පුණ්‍යානුමෝදනාවන් සිදු කිරීම් අනුදැන වදාළා. එ් ආකාරයෙනුයි අද දක්වා ම පැවත එන පරිදි දන් පිළිගැනීමෙන් පසු තථාගත ශ‍්‍රාවකයන් වහන්සේලා අනුමෝදනා දහම් දෙසීම සිදු කිරීම ඇරඹුණේ.

ගෞතම සම්මා සම්බුදු සසුනේ මුල් කාලයේ පැවිදි භාවය ලැබූ බොහෝ ශ‍්‍රාවකයන් වහන්සේලා කෙටි කලකින් ම සියලූ කෙලෙසුන් නසා අරහත්වයට පත් වූවා. ඛීණාස‍්‍රව වූ එ් උතුම් රහතන් වහන්සේලාගේ මුවින් අසිරිමත් දම් දෙසුම් සිදු කෙරෙන විට, උතුම් ශ්‍රී මුඛ භාෂිත බුද්ධ වචනය ම ඉස්මතු කෙරෙන විට එ් අමා දම් ඔසු වැළª දෙව් මිනිස් ලෝකයා අප‍්‍රමාණ සතුටට පත් වුණා. ධර්මය ම විවෘතව බබළද්දි, එ් උත්තම දහම් සේවනයෙන් තම තමන් වහන්සේලා සදාතනික ව සුවපත් වූ ආකාරය හෙළි වෙද්දී එ් සද්ධර්ම ආනුභාවයන් ගැන දෙව් මිනිසුන් අපමණ ප‍්‍රසාදයට පත් වුණා. එ් පැහැදීම නිසාවෙන් ම තථාගත ශ‍්‍රාවකයන් වහන්සේලා උදෙසා දන් පිළිගැන්වීම්, දාන ආරාධනාවන් බහුල වුණා.

එවිට තීර්ථක පිරිස්වල ප‍්‍රත්‍යලාභයන් පිරිහුණා. මේ පිරිහීමට හේතු වූයේ තථාගත ශ‍්‍රාවක පිරිස් දන් පැන් පිළිගැනීමෙන් පසුව දහම් දෙසීම බව තේරුම් ගත් තීර්ථකයෝ එයට ගරහන්නට පටන් ගත්තා.
‘‘ශ‍්‍රමණ ගෞතමයන්ගේ ශ‍්‍රාවකයෝ මොකද මේ ඝෝෂා කරන්නේ? මොනවද ඔය කියවන්නේ? දානේ වැළඳුවා නම් එතැනින් යන එක නෙව තියෙන්නේ… තව මොකට ද කියව කියව ඉන්නේ?
අනේ අපි නම් ඔය වගේ නැහැ නෙව… අපි සැබෑම මුනිවරු… මුනි දහම කියන්නේ නිහඬව සිටීමයි. අපි එ් මුනි දහම රකින උදවිය නෙව. අපි නම් නැහැ ඔහොම කෑ ගගහ යන්නේ. කවුරු කවුරුත් මේක තේරුම් ගන්න ඕනේ….”

ඔන්න ඔය විදිහටයි ‘මුනිවත’ කියන්නේ ‘නිහඬව සිටීම’ කියා අර්ථයක් එක් වුණේ. ඇත්තට ම එ් වචනය තීර්ථකයන් විසින් තමන් හැසිරෙන චර්යාව හඳුන්වා දෙන්නට භාවිත කරන ලද්දක්.

මේ අරුත්සුන් අර්ථ දැක්වීම ඇසූ, තුන් ලොවට ම මහා මුනි වූ අපගේ සම්බුදුරජාණන් වහන්සේ මේ කරුණ වදාළා.

‘‘පින්වත් මහණෙනි, නිශ්ශබ්දව සිටීමෙන් මුනිවරයෙක් වෙන්නේ නෑ. කෙනෙක් නොදන්නාකමටත් කථා නොකර ඉන්න පුළුවනි. කෙනෙක් අවියත් බව නිසාත් කථා නොකර ඉන්න පුළුවනි. කෙනෙක් තමන් දන්නා දේ තව කෙනෙක් දැන ගනීවි කියන මසුරුකම නිසාත් කථා නොකර ඉන්න පුළුවනි.

මුනිවරයා කියන්නේ එබඳු කෙනෙක් නොවෙයි… යම් කෙනෙක් හොඳින් අකුසල් කිරා මැන අකුසල් බැහැර කරනවා නම්, කුසල් වැඩි දියුණු කර ගන්නවා නම්, පව් සන්සිඳවනවා නම් අන්න එ් කෙනාටයි මුනිවරයා කියන්නේ…”

එ් තමයි ආර්ය වූ මුනිවත. ‘මුනිවත රකිනවා’ කියා කථා බස් නොකර සිටින තීර්ථක පිරිස් දඹදිව තවමත් සිටිනවා. අප අතරත් එවැනි පිරිස් සිටිනවා නේ ද? ඉතින්, මුනිවත රකින්නට පෙර, අප එ් රකින්නේ තීර්ථක අනාර්ය මුනිවත ද නැති නම් ආර්ය මුනිවත ද යන්න ගැන සිහි නුවණින් සිතා බැලිය යුතු ම වෙනවා..

ආර්ය වූ මුනිවත රකිනා මුනිවර දැහැනක අසිරිය අප සිත් සතන්වලට ද දැනේවා!!!

***************************************
උපදින කෙලෙස් නසනා – යළි නොමසදනා
යළි කිසි කෙලෙස් හට ගන්නට-ඉඩ නො දෙනා
සලකති එබඳු උතුමන් – ‘මුනිවරු’ ලෙසිනා
ඉසිවරයෙකි හෙතෙම ලොව – නිවන ම දකිනා

පවතින සියලූ ජීවිත ගැන හඳුනගෙන
එ් ජීවිතවලින් කිසිවක් නො පතමින
ගිජු බව අතහැරිය කිසිවක ගිජු නොවන
රැුස් නොමකරති ‘මුනිවරු’ පරතෙර වඩින

හැම දෙය දිනුව හැම දෙස ඇති තතු දකින
නුවණැති හෙතෙම කිසි තැනකට නොම ඇලූන
හැම දෙය අතහැරිය කෙලෙසුන්ගෙන් මිදුන
නුවණැති දනෝ ඔහු හඳුනති ‘මුනි’ ලෙසින

වැටහෙන නුවණ බල ඇති සිල් ගුණය ඇති එකඟ ව සිත ද ඇලෙන දැහැනේ සිහිය ඇති දුරු කොට කෙලෙස් හුල් පිරිසිදු සිත පැවති මොහු හට නැණැති අය ‘මුනිවරයා’ කියති

දහමේ පිහිටි නො සැලෙන ඇද ගති නැතිව
වරදක නො බැඳෙමින් පව් පිළිකෙව් කෙරුව
හොඳ හා නරක විමසන නිති නුවණැතිව
හඳුනාගනිති ‘මුනිවරයෙකු’ ලෙස මොහු ව

දැනගෙන ලොවේ පවතින ඇති තතු දකිනා
සිඳ සැඩ සමුදුර ද එතෙරට යන පිහිනා
දුරු කොට කෙලෙස් හැම භව ගැට සිඳ දමනා
මොහු ගැන නැණැති දන හඳුනති ‘මුනි’ ලෙසිනා

(සුත්ත නිපාතයේ මුනි සූත‍්‍රයෙනි.,)

ඇසුර – අති පූජනීය කිරිබත්ගොඩ ඤණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත
‘අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය – 19’, ‘අපේ බුදු සමිඳු තවම වැඩ වෙසෙති’.

සටහන
කලණ ගංගානාථ