මෙවර අපරාධයක තීන්දුව ලිපිය ලියන්නට බන්ධනාගාරයට නො ගිය මා කල්පනා කළේ අතීතයේ මුළු රට ම කැළඹූ අපරාධයක් පිළිබඳ ඔබට දැනගන්නට නො ලැබුණු තොරතුරු ටිකක් සැකෙවින් ගෙන හැර දක්වා පුද්ගලයන් ගන්නා තීරණ ධාර්මික එ්වා නො වුවහොත් ඉන් වන විපාක කියා පෑමටයි. ‘පෝලින් ඩි කෲස් නඩුව’, ‘කිරඹකන්ද නඩුව’ ආදි නම්වලින් හඳුන්වනු ලැබූ නඩු විභාගයේ ප‍්‍රස්තුතය වූ කිරඹකන්ද දරුවාගේ ඝාතනය පිළිබඳව ඇතැම් විට වැඩිහිටියන්ට යන්තම් සේයා මතකයක් නංවා ගත හැකි වුවත් වත්මන් පරපුරේ වැඩි දෙනෙකු එ් ගැන අසාවත් නැති ව ඇත. රත්මලාන ශාන්ත රීටා පාරේ, ශාන්ත රීටා දේවස්ථානයේ ළිඳක වැටී රාම්දාස් ගෝඨාභය කිරඹකන්ද නැමති 11 හැවිරිදි පාසල් සිසුවා 1966 පෙබරවාරි මස 07 දින මිය ගොස් තිබීම පිළිබඳ පුවත අද තරම් මාධ්‍යයන් ප‍්‍රචලිත නො වූ කලක වුවත් රට පුරා ම මහත් සංවේදී පණිවිඩයක් ගෙන ගියේ ය.

සුල-මුල

අලෙවි සංවර්ධන දෙපාර්තමේන්තුව, යුද හමුදාව ආදි රාජ්‍ය ආයතනවලට මෙන් ම විශාල පෞද්ගලික ආයතනවලට ද මාළු සැපයීම් කළ නුගේගොඩ පොහොසත් මුදලාලි කෙනෙකු වූ එලියස් අප්පුහාමිගේ බාල පුතා දොන් බෝධිපාල කිරඹකන්ද නම් විය. පාසල් ගමන අත්හැර පියාගේ ව්‍යාපාරයට එක් වී ඔහුගේ මරණින් පසු 1949 දී ඊට උර දුන් බෝධිපාල වසර ගණනක් සාර්ථකව කරගෙන ගියේ ය. එකළ පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන්ගේ නිවාසය වූ ‘ශ‍්‍රාවස්තියේ’ (කෞතුකාගාරය ආසන්නයේ වර්තමානයේ බස්නාහිර පළාත් සභාව පිහිටි ගොඩනැගිල්ල) භෝජනාගාරය භාර ව කටයුතු කළ නන්දසිරි සමග මිතුරු වූ බෝධිපාල නොබෝ කලකින් ඔහුගේ අනියම් බිරිඳ වශයෙන් සිටි ජෙසී ප‍්‍රනාන්දු සමග ඇසුරට පත් විය. මේ අතරතුර ගැබිණියක් වූ ජෙසීට දියණියක ලැබුණි. පසුව ජෙසී විවාහ කර ගත් බෝධිපාල කුඩා දියණිය ද ගෙන ගොස් පවුල් ජීවිතය ආරම්භ කළේ ය. පාගොඩ, නුගේගොඩ, තලවතුගොඩ, අත්තිඩිය, ගල්කිස්ස ආදි විවිධ ප‍්‍රදේශවල ජීවත් වූ මේ පවුල අවසානයේ දෙහිවල කවුඩාන පාරේ අංක 5 දරන නිවසේ කුලියට පදිංචියට ආවේ ය. ගල්කිස්ස චක්කින්දාරාම පාරේ පදිංචි ව සිටි නිවසෙන් ඔවුන් පළවා හැර ඇත්තේ කිරඹකන්ද පවුලේ අශීලාචාර හැසිරීම් නිසා කෝපයට පත් ප‍්‍රදේශවාසීන් රාත‍්‍රි කාලයේ නිවසට ගල් ගැසීමෙන් පසුව ය. ඔවුන්ට තවත් දියණියක් ද ඝාතනයට ලක් වූ පුතු වූ රාම්දාස් ගෝඨාභය ද ලැබුණි. එකල දුර්ලභ පහසුකමක් වූ දුරකථනයක් ද ලබාගෙන ඉතා සංවිධානාත්මක ව ඔවුන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන්, පොලිස් ප‍්‍රධානීන්, ව්‍යාපාරිකයන් නිතර ගැවසෙන තිප්පොළක් විය. ගණිකා නිවාසය නඩත්තු කිරීමට අමතර ව ජෙසී ද ගණිකාවකගේ භූමිකාව රඟ පෑවා ය. ප‍්‍රදේශවාසීන්ගේ විරෝධය එහි යන එන ප‍්‍රබලයන්ගේ බලවත් අත්වලින් වැසුණි.

අකීකරු දියණියක්

පවිටු කර්මාන්තයක නිරත වී ලජ්ජා බය දුරු වූ කෙනෙකු එවැනි ම තවත් නරකක් කිරීමට පෙළඹීම පුදුමයට කරුණක් නො වේ. බෝධිපාලට පෝලින් ඩි කෲස් නමැති ළාබාල ගැහැනිය හමු වූයේ මේ වකවානුවේ ය. කතෝලික භක්තික බර්ගර් පවුලක් වූ ඩි කෲස් පවුලේ දෙවැනි දරුවා වූ පෝලින් කලක් කඳාන ශාන්ත සෙබස්තියන් කන්‍යාරාමයේත්, පසු ව දෙහිවල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේත් ඉගෙනුම ලැබූවත් ඉගෙනුමට වඩා ප‍්‍රකට ව ආවේ ඇයගේ කාමුක ජීවිතයයි. මත්පැන් භාවිතය සහ සණ්ඩු සරුවල්වලින් ගහන කෲස් පවුලේ නිවස ‘ආණ්ඩු මට්ටුවක්’ නොමැති තැනක් විය. දියණියක් ලෙස මහමඟ ගෙන යන්නට පුළුවන් එකියක ලෙස පෝලින් හදා ගන්නට ඇයගේ දෙමාපියන් ගත් උත්සාහයන් අසාර්ථක වූ අතර පෝලින් කැමති පිරිමින් නිවසට ම ගෙන්වාගෙන විළි බියක් නොමැතිව කළ හැසිරීම් පාලනය කර ගැනීමට කිසිවෙකුටත් නො හැකි විය. වයස අවුරුදු 17 පමණ වන විට ම ඇය මහමගට බැස විවාහකයන්, දික්කසාද වූ පුද්ගලයන්, ව්‍යාපාරිකයන්, රජයේ නිලධාරීන්, පොලිස් නිලධාරීන් පිනවූ අබිසරු ළඳක් බවට පත් විය.

මේ අතුරතුර ඇයට හමු වූ නුවර ප‍්‍රදේශයේ හැරී ස්පෙල්ඞ්වින්ඞ් නමැත්තෙකු සමග ස්ථීර ආදර සම්බන්ධයක් ඇති විය. ඔහු සමග ද රිසි සේ නිදැල්ලේ හැසිරුණත්, ඔවුන් අතර හුවමාරු වූ ලිපිවලින් පෙනී ගියේ දෙදෙනා අතර ස්ථීර ආදරයක් පැවති බවයි. කෙසේ වුවත් 1964 අවසාන භාගයේ දී තිදරු පියෙකු වූ බෝධිපාල කිරඹකන්ද හමු වීමෙන් පෝලින්ගේ ඉරණම වෙනත් අතකට හැරුණි. මෙම අප‍්‍රසන්න චර්යා රටාව අතරතුර ඇයගේ නිවසට ප්ලිමත් මෝටර් රථයෙන් එන්නට පටන් ගත් කිරඹකන්ද ඇයට වඩ වඩාත් ළං විය. මේ අතරතුර ඇයට පියෙකු නැති දරුවෙකු ලැබුණු අතර, දරුවා මොරටුව කන්‍යාරාමයකට භාර දී ඇත. මේ සිද්ධි මාලාවත් සමග ක‍්‍රමයෙන් හැරී ඈත් කළ පෝලින්, බෝධිපාල විවාහ කර ගැනීමේ අභිලාෂයක් ඇති කර ගත්තා ය. එය නඩුවේ දී අනාවරණය වූයේ ඇය මුස්ලිම් ආගම වැළඳගෙන බෝධිපාල හා විවාහ වීමට උත්සාහ ගැනීමෙනි. විස්මය එළවන ලෙස පෝලින්ට ආකර්ෂණය වූ බෝධිපාල තම බිරියගෙන් දික්කසාද වී ඇය විවාහ කර ගන්නා බවට පොරොන්දු විය. විවෘත ව ම ගෙන ගිය පෝලින්ගේ සම්බන්ධය නිසා කිරඹකන්ද ගෙදර නිමක් නැති සණ්ඩු සරුවල් ය. එ්වා දුරදිග ගියේ 1965 නොවැම්බර් මාසයේ දී ජෙසී විසින් බෝධිපාලට එරෙහි ව දික්කසාද නඩුවක් පැමිණිලි කිරීමෙනි. මේ අතර පෝලින්ගේ පියාගෙන් ද බෝධිපාලට දැඩි බලපෑමක් එල්ල වූයේ කෙසේ හෝ ඉක්මනින් තම දියණිය විවාහ කර ගන්නා ලෙස බල කිරීමෙනි. එතරම් හැඩරුව ඇති කෙනෙකු නො වූව ද පෝලින් පිරිමින් ඇද බැඳ ගන්නා සරාගි කෙනෙකු ලෙස විස්තර කර ඇත. ඇඟට ඇලෙන ලෙස ඇඳි ඇඳුම්, ගැට ගසා පිටුපසට හෙළුෑ ‘පෝනි ටේල්’ කොණ්ඩය ආදිය මඟින් ඇය මෙසේ වෙස් ගන්වාගෙන ඇති බව ද කියවේ. මේ කාලය වන විට පෝලින් සිටියේ තම දෙමාපියන් කුලියට ගෙන පදිංචිව සිටි දෙහිවල සත්වෝද්‍යානය පිටුපස ගල්වල පාරේ නිවසක ය. තම සැමියාගේ ඔත්තු බලා ගැනීම සඳහා ඔහු සමග නිතර රාම්දාස් ගෝඨාභය යැවීමට ජෙසී උත්සාහ කළා ය. පියා සමග ඔහු කීප වතාවක් පෝලින්ගේ ගෙදර ගොස් ඇති බැවින් ඇය ඔහු හොඳින් හඳුනාගෙන සිටි අතර තම සම්බන්ධතාවලට ඔහුගෙන් අවහිරයක් නැති බව ද වටහාගෙන තිබුණි.

කිසිවෙකු ඇසින් නො දුටු ඝාතනයක්

රාම්දාස් ගෝඨාභය ගල්කිස්ස හේන පාර විද්‍යාලයේ 4 වැනි ශ්‍රේණියේ උගනිමින් සිටි අතර 1965 පෙබරවාරි 07 දින සුපුරුදු පරිදි පාසැල් ගොස් ඇත. පෙරළා නිවසට නො ගිය මේ දරුවාගේ සිරුර හේන පාර ආසන්නයේ මුහුද දෙසට ඇති ශාන්ත රීටා දේවස්ථානයේ ළිඳෙහි පාවෙමින් තිබී පසුදින උදේ හමු වී ඇත. මරණ පරීක්ෂණයේ දී දියේ ගිලීමෙන් වූ මරණයක් බවට තීරණය වූවත් ඔහු ඝාතනය කරනවා හෝ කෙනෙකු විසින් ළිඳට දමනවා හෝ කිසිවෙකු දැක නැත. එ් නිසා ඉහත කී පසුතලය මත එකතු කර ගත් පරිවේශනීය සාක්ෂි මඟින් ගොනු කළ කරුණු මත පෝලින් ඩි කෲස් සහ බෝධිපාල කිරඹකන්දට එරෙහි ව මිනී මැරීමට කුමන්ත‍්‍රණය කිරීම සහ මිනී මැරීමේ චෝදනා මත නඩු පැවරුණි. නඩුවේ දී පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දීමට 59 දෙනෙකු නම් කොට තිබුණු අතර ඉන් 40 දෙනෙකුගේ සාක්ෂි විභාග කෙරුණු අතර දීර්ඝ නඩු විභාගයක් පැවැත්විණි. එම සාක්ෂිකරුවන්ගේ සාක්ෂි ද පෝලින්ගේ දිනපොතේ සටහන් ඇතුළු වෙනත් සාක්ෂි ද ගොනු කර ගනු ලැබුවේ පහත සඳහන් සිද්ධි මාලාව ඇසුරෙනි.

– 1966. 12. 07 වන දින උදෑසන පෝලින් ඩි කෲස් බෝතලයක් වැනි දෙයක් අඩංගු පාර්සලයක් රැුගෙන ඇයගේ නිවසේ සිට ගල්වල පාර දිගේ ගමන් කොට ඇත.
– එසේ ම රොහාන් වික‍්‍රමසිංහ නමැති මිත‍්‍රයා සමග ගෝඨාභය දෙහිවල කවුඩාන බස් නැවතුමේ සිට ගල්කිස්ස හේන පාර පාසලට බස් රියකින් ගොස් ඇත.
– උදෑසන පෝලින් පාසල අසලට පැමිණ චිත‍්‍රපටයක් බැලීමට යැයි කියා ඔහු පාසලට යා නො දී ගාලූ පාර දෙසට කැඳවා ගෙන යාම.
– උදේ 8.00ට පමණ පෝලින් සහ ළමයා ශාන්ත රීටා පල්ලිය භූමියේ සැරිසරනු එහි සේවකයෙකු වූ ඇල්බට් පෙරේරා නමැත්තා දැක ඇත.
– ඊට ටික වේලාවකට පසුව දිනපතා පල්ලියට එන බැතිමතෙකු වන රෝලන්ඞ් නමැත්තා පෝලින් පල්ලිය ඇතුළේ බංකුවක වාඩි වී සිටි බවත්, ළමයෙකු අසනීපයෙන් පසු වන්නාක් මෙන් ඇයගේ සිරුරට හිස ගසාගෙන හේත්තු වී සිටි බවත් දැක තිබීම.
– දිවා විවේක කාලය තුළ දී ගෝඨාභය සහ පෝලින් පාසල් ඉඩමට නැවත පැමිණ තිබීම.
– දවල් නැවතත් දෙදෙනා ම පල්ලිය ඇතුළේ සිටිනු දැක ඔවුන්ට පිටව යන ලෙස ඇල්බට් පෙරේරා නමැත්තා පැවසීම සහ එවිට තමා සිටින්නේ ස්වාමි හමු වී උප්පැන්න සහතිකයේ පිටපතක් ලබා ගැනීමට බව පැවසීම.
– පල්ලියේ ළිඳ ළඟ පෝලින් සහ ගෝඨාභය සිටිනු දෙදෙනෙකු ම දැක තිබීම.
– සවස දෙහිවල පින්වත්ත පන්සල අසල දී පෝලින් පාසල් බෑගයක් රැගෙන යනවා දෙදෙනෙකු විසින් ම දැක තිබීම.
– පාසල් බෑගය නොමැති ව සවස පෝලින් ඇයගේ නිවස දෙසට යනු අසල්වැසියෙකු විසින් දැක තිබීම.
– ගල්වල පාරේ වෙසෙන හෙලන් අල්විස් නමැත්තිය තම වත්තෙහි වැට අද්දර විසි කර තිබුණු ළමයාගේ පොත් බෑගය අහුලාගෙන භාර දීම (පොත් බෑගය තුළ ඔහුගේ සෙරෙප්පු දෙක ද තිබී ඇත.)
– පසු දින උදයේ රාම්දාස්ගේ සිරුර එකී ළිඳෙහි තිබී හමු වීම.
– ඊට සති කීපයකට පෙර කළුබෝවිල රෝහලට ගිය පෝලින් තමාට නින්ද නො යාමේ ආබාධයක් ඇති බව පවසා නිදි පෙති ලබා ගැනීම.

ගොනු කර ගත් මේ සිද්ධි මාලාව ඇසුරෙන් එළඹි අනුමිතින් වී ඇත්තේ කිසියම් කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් ලෙස අතරමග රැක සිට පෝලින් විසින් පාසලට එමින් සිටි රාම්දාස් කැඳවාගෙන ගොස් එ් අවස්ථාවේ වැඩිපුර මිනිසුන් නො ගැවසෙන ශාන්ත රීටා පල්ලියේ ගැවසෙමින් සිට ඔහුට නිදිමත ඇති වන ආකාරයට යම් දෙයක් ශරීරගත කොට නිද්‍රාවට හෝ සිහි මඳ ගතියට පත් කර ළිඳට තල්ලූ කළ බවයි. පසු ව ඔහුගේ සෙරෙප්පු දෙක පොත් බෑගය තුළට දමාගෙන ගොස් ඇය තම නිවසට යන පාරේ අද්දර වැටකින් ගෙවත්තකට විසි කොට නිවසට ගොස් ඇති බවයි. අපරාධකරුවෙකුගේ පෙර හැසිරීම් සහ පසු හැසිරීම් ආශ‍්‍රයෙන් අපරාධ විද්‍යානුකූලව ගොනු කර ඇති මෙම සිද්ධි මාලාව සාක්ෂි මඟින් ඔප්පු කිරීමෙන්, ජූරි සභාවක් ඉදිරියේ විභාග වූ නඩුවේ දී වැරදිකරු වී පෝලින් ඩි කෲස්ට මරණීය දණ්ඩනය නියම විය. සම අපරාධකරුවා ලෙස නම් කෙරුණු දෙවැනි විත්තිකරු බෝධිපාල කිරඹකන්ද නඩුව අතරමග දී නිදහස් කෙරිණි. අපරාධ අභියචනාධිකරණයේ දී පෝලින්ට සහනයක් සේ නඩුව නැවත විභාග කිරීමට තීන්දු කෙරුණත්, අභියාචනාධිකරණය හා ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ඇය වැරදිකරු කරන ලද තීන්දුව ම අනුමත කෙරුණි. එම නඩු තීන්දුවට එරෙහි ව බි‍්‍රතාන්‍යයේ ප‍්‍රිවි කවුන්සලයට අභියාචනයක් කෙරුණු අතර පරිවේශනීය සාක්ෂි වුවත් එ්වායේ ප‍්‍රබලකම මත ඇයගේ අභියාචනය ප‍්‍රිවි කවුන්සලයෙන් ද නිෂ්ප‍්‍රභා කරනු ලැබීමෙන් පසු ව පෝලින් ඩි කෲස්ට මරණීය දණ්ඩනය නියම කෙරුණි. කෙසේ වුවත් එවකට සිටි අග‍්‍රාණ්ඩුකාරවරයාගේ තීරණයෙන් 1969 වර්ෂයේ දී ඇයගේ මරණීය දණ්ඩනය ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවමක් බවට පරිවර්තනය විය.

නො දැහැමි තීන්දුවල විපාක

බෝධිපාල මුල් අවස්ථාවේ සිට ම ගත් තීරණත්, පෝලින් මුල සිට ම ගත් තීරණත් කොපමණ දුක් විපාක ගෙන දෙන එ්වා බවට පත් වීමට මුල් වී දැයි සිතා බැලීම වටී. නූතන කළමනාකරණ විද්‍යාඥයන්ට මෙතෙක් ග‍්‍රහණය නො වූ මූලධර්ම මාලාවක් තීරණ ගැනීමේ දී අනුගමනය කළ යුතු බවට භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට ඇත. එනම් කෙනෙකු තීරණයක් ගැනීමේ දී එය ඡුන්ද, ද්වේෂ, මෝහ, භය යන දෝෂයන්ගෙන් තොර විය යුතු බව දහමේ සඳහන් ය. මෙම සිද්ධි මාලාව තුළ ම මේ අය තිබුණු දැඩි ආශාව, තණ්හාව, පක්ෂග‍්‍රාහී බව, ආත්මාර්ථකාමය ද; තරහ, ක්‍රෝධය, ද්වේෂය, ව්‍යාපාදය ද; සත්‍යය වටහා ගැනීමට තරම් ප‍්‍රඥාවක් නොමැතිකම ද; එකිනෙකාටත්, සමාජයටත් භයෙන් යුතු ව කටයුතු කිරීම ද අඩුවක් නැති ව දකින්නට ලැබුණි.

පසුබිම කිලිටි වූවොත්…

පෝලින්ගේ මෙන් ම බෝධිපාලගේත් පසුබිම කිලිටි වූ එ්වා බවත්, නොදැහැමි පිළිවෙත් තුළින් යහපතක් සිදු නොවන බවත් මෙම ලිපිය මුල දී කියවාගෙන එද්දී ම ඔබට වැටහෙන්නට ඇත. එ් තුළ ම නො සන්සිඳෙන ආශාවන් තෘප්ත කර ගැනීමට අන්තයට ගිය අගතිය මාර්ගය ම කර ගැනීම නිසා මේ පවුල් විනාශ මුඛයට පත් වූ ආකාරය අපට පැහැදිලි වේ. ඉතා පාපී ලෙස පරදාර සේවනය කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස කිසිවෙකුට වරදක් නො කළ අහිංසක දරුවෙකුගේ ජීවිතය අකාලයේ නැති විය. එසේ කිරීමෙන් ඔවුන්ට ද සිත් සේ ජීවත් වීමට හැකි වේ ය යන්න සිතීමත් මුළාවකි. කරුමයක මහත, එසේ සිතා ඔවුහු විපතෙහි වැටෙති. එ් මෙලොව දී ය. පරලොව දී කවර තරමේ දුර්විපාක අත් විඳින්නන් බවට පත් වේවි ද?

විවාදයට තුඩු දුන් තීන්දුවක්

ඔබ වෙත ගෙන ආවේ දීර්ඝ නඩු විභාගයක දී අනාවරණය වූ කරුණු සමහරකි. පොතක් ලියන්නට තරම් දෑ ඇති මෙම කාරණයට අදාළ තොරතුරු ඉතා සැකෙවින් සම්පිණ්ඩනය කොට ඉදිරිපත් කිරීමේ දී යම් යම් ඌනතා ඇති වන්නට ද ඇත. කෙසේ වෙතත් පසු ව මෙම නඩුව පිළිබඳ ව විවරණයන් සිදු කළ විද්වත් නීතිවේදීන් මෙම මිනීමැරුම පෝලින් විසින් කරන ලද්දක් ම දැයි සැක පහළ කළ අතර ඇයට මරණීය දණ්ඩනය නියම කිරීම සාධාරණ නොවන බවට ද මත පළ කොට ඇත. මේ අපරාධයට නිසැක ව ම යම් දායකත්වයක් පෝලින්ගෙන් ලැබුණු බව තහවුරු වුවත් එය ඇය තනි ව කළ දෙයක් නොවන බව සිද්ධි මාලාවේ ඇති ඇතැම් හිදැස් තැන් දක්වමින් නෛතික දෘෂ්ටිකෝණයකින් විග‍්‍රහ කරන නීති විශාරදයන් පසු ව අදහස් දක්වා ඇත්තේ මේ අපරාධයට අනාවරණය නො වූ තවත් දෑත් ද හවුල් වී ඇති බවට සැක පහළ කරමිනි. ගොනු වූ පෙර තොරතුරුවලට අනුව ගෝඨාභය මරා දැමීමට සැබෑ වුවමනාවක් සහ චේතනාවක් පෝලින්ට තිබුණේ ද යන්න පිළිබඳ ව නිසැක නිගමනයකට එන්නට හැකියාවක් නොමැති බව එකී මතවලින් අවධාරණය කෙරුණි.

රාග ගින්නෙන් අළු නො වෙමු

රාගය ගින්නක් බවත්, එ් ගින්නේ දැවීම තැවීම ඇති කරවන බවත්, හසු වන ඕනෑ ම දවා අළු කර දමන්නට ගින්නට හැකි බවත් මෙම අභාග්‍ය සම්පන්න කථාව තථාගත මුනි දහම තුළින් බලන කාට වුව ද පසක් වනු ඇත. අතීතයේ වැලි තලාවෙන් වැසී ගිය, මීට දශක පහකට පෙර කොළඹ නගරය ආසන්නයේ සිදු වූ මෙම සිද්ධි මාලාවට නොදෙවෙනි බිහිසුණු විපත් අද ද රාගය මුල් වී සිදු වෙයි. මේවා නිසා වටිනා ජීවිත අහිමි කොට, දේපළ ද විනාශ කොට සියල්ල අළු කර දැමීමට සමත් වෙයි. නො සන්සිඳෙන රාගය මෙලොව දී අනේකවිධ කායික මානසික පීඩාවන්ට අත් විඳීමටත් පරලොව දී කල්ප ගණන් දුක් විඳීමටත් හේතු වන සැබැවින් ම දරුණු අකුසල මූලයකි.

(සියලූ නම් ගම් මන:කල්පිත ය.)

සටහන
තරුණ කටයතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්
නීතිඥ සිරිපාල විරිතමුල්ල