අපි හිතමු, අපි මේ ජීවිතයේ බුලත් විටක් කන්න පුරුදු වුණා කියලා. බුලත් විට කෑම සසර පුරුද්දක් නෙවෙයිනේ. අපි යම් දවසක බුලත් විටක් හැපුවා. එ් හපන කොට එ්කට ආශාව ඇති වුණා. ඊට පස්සේ අපි බුලත් විටට පුරුදු වුණා. ඊට පස්සේ බුලත් විට නැතුව බෑ. එතකොට අපට පේනවා, යම් පුරුද්දකට ගිහාම එ්කට කයත් ඇබ්බැහි වෙනවා. සිතත් ඇබ්බැහි වෙනවා. එ් වගේ ම මනසත් පුරුදු වෙන දේට තමයි යන්නේ. එ් නිසා අපි ආනාපානසති ආදි භාවනාවක් වුණත් පුරුදු කරන්න ඕන මේ දේවල් සම්බන්ධයෙන් තේරුමක් ඇතුවයි.
මෛත්‍රී භාවනාව වගේ එ්වා ගැන බුදුරජාණන් වහන්සේ ‘යානිකතාය, වත්ථුකතාය, අනුට්ඨිතාය, පරිචිතාය, සුසමාරද්ධාය’ කියලා දේශනා කරලා තියෙනවා. එතැන ‘යානිකතාය’ කියන්නේ යානාවක් මෙන්. එ් කියන්නේ හැමතිස්සේ ම තමන් යන යන තැන පුරුදු කරගෙන ඉන්න ඕන කියන එකයි. ‘වත්ථුකතාය’ කියන්නේ එ්ක ප්‍රධාන දෙයක් කරගෙන ඉන්න ඕන කියන එක. ‘අනුට්ඨිතාය’ කියන්නේ තමන් එක්කම පවත්වන්න ඕන. ‘පරිචිතාය’ කියන්නේ මැනවින් ප්‍රගුණ කරන්න ඕන. ‘සුසමාරද්ධාය’ කියන්නේ ඉතා හොඳින් ප්‍රගුණ කරගන්න ඕන. මේ වගේ දේවල් කිරීම තුළ තමයි එ්කේ හැකියාව එන්නේ. ලෝකයේ ඕනෑ ම දෙයක් සම්බන්ධයෙන් එහෙමනේ නේ ද?
ජීවිතාවබෝධය ඉලක්ක කර ගත් එක ම ධර්මය
අපි විශේෂයෙන් ම දැනගෙන සිටිය යුතු එකක් තමයි, මේ වෙද්දි ලෝකයේ බටහිර රටවල භාවනාව කියලා එක එක දේවල් පුරුදු කරනවා. නමුත් අපට හරි පැහැදිලියි, එ් වාගේ බොහෝ විට තියෙන්නේ බොහෝ ම ළඟ ඉලක්ක. චූටි චූටි විජ්ජාවලට තමයි එ් දේවල් ඉලක්ක කරගෙන තියෙන්නේ. එහෙම නැතුව ජීවිතාවබෝධයක් පිණිස නෙවෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ යම් සීලයක් පැනෙව්වා ද, එ් සීලය පනවා තියෙන්නේ ජීවිතයට පිළිසරණ පිණිස ම යි. එ් වගේ ම යම් සමාධියක් පැනෙව්වා ද, එ් සමාධිය පෙන්වා දීලා තියෙන්නෙත් ජීවිතයට පිළිසරණ පිණිසයි. යම් ප්‍රඥාවක් පැනෙව්වා ද, එ් ප්‍රඥාව පනවා තියෙන්නෙත් ජීවිතයට පිළිසරණ පිණිස යි.
බුදුරජාණන් වහන්සේ ප්‍රථම භික්ෂූන් වහන්සේලා හැට නමට ධර්මය දේශනා කරන්න වඩින්න කලින් හරි ලස්සන ප්‍රකාශයක් කරනවා. ‘මහණෙනි, කරුණු හතරක් (අනනුබෝධා, අප්පටිවේධා) ප්‍රතිවේද නො කළ නිසා, අවබෝධ නො කළ නිසා ඔබටයි, මටයි සසරේ යන්න වුණා. එ් කරුණු හතර තමයි ආර්ය සීලය, ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව හා ආර්ය විමුක්තිය. නමුත් දැන් මේ හතර සාක්ෂාත් කරපු නිසා යම් දිව්‍ය හෝ මානුෂීය හෝ යම් බන්ධනයක් ඇද්ද එ්කෙන් මම නිදහස් වුණා. ඔබත් නිදහස් වුණා. එ් නිසා බොහෝ දෙනාගේ යහපත පිණිස මේ ධර්මය දේශනා කරන්න.’ එතකොට අපට හරි පැහැදිලියි, බුදුරජාණන් වහන්සේ යම් සීලයක් පනවා තියෙනවා නම් එ් සීලය පනවලා තියෙන්නේ කුමක් පිණිස ද? කියලා. එ් වගේ ම උන්වහන්සේ සමාධියක් ගැන විස්තර කරනවා නම් එ් සමාධිය විස්තර කරන්නේ කුමක් පිණිස ද? කියලා පැහැදිලි යි. එ් වගේ ම ප්‍රඥාව ගැන, විමුක්තිය ගැන දේශනා කරලා තියෙන්නේ කුමක් පිණිස ද? කියලා බොහොම පැහැදිලියි. බුදුරජාණන් වහන්සේ එ් හැම එකක් ම දේශනා කරලා තියෙන්නේ සංසාරයෙන් එතෙරවීම පිණිස යි.
අපි ගත්තොත්, ලෝකයේ විවිධාකාර ආගම් තියෙනවානේ. විවිධ දර්ශන, විවිධ මතවාද, විවිධ විග්රහ තියෙනවානේ. එ් මොනවා විස්තර කරමින් බැලූවත් පරිපූර්ණ වූ සීලයක් විස්තර කළේ බුදුරජාණන් වහන්සේ විතරයි. පරිපූර්ණ වූ සමාධියක් විස්තර කළේ.. පරිපූර්ණ වූ ප්‍රඥාවක් විස්තර කළේ.. පරිපූර්ණ වූ විමුක්තියක් විස්තර කළේ.. බුදුරජාණන් වහන්සේ විතරයි. මොකද සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට විතරයි එ් දේවල් හරි විදිහට ගෝචර වෙන්නේ. වෙන කෙනෙකුට එහෙම වෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා බාහිර ඍෂිවරුන්ට එක කොටසක් වගේ අහුවෙන්න පුළුවන් කියලා. නමුත් මේක පරිපූර්ණ වශයෙන් අහුවෙන්නේ නෑ. පරිපූර්ණ වශයෙන් අහුනොවෙන නිසා එ් අය ආර්ය මාර්ගයට වැටෙන්නේ නෑ. නමුත් අපගේ භාග්‍යවතුන් වහන්සේ ආර්ය මාර්ගය හැටියට ලෝකයට පෙන්වා වදාළේ තමන් වහන්සේ විසින් පරිපූර්ණ වශයෙන් සාක්ෂාත් කරපු දෙයක්.
උන්වහන්සේ ඉස්සර වෙලා ම බෝධි මූලයේ දී කල්පනා කළානේ, ‘මා විසින් ප්‍රගුණ නො කළ, සාක්ෂාත් නො කළ යම් සීලස්කන්ධයක් ඇද්ද, එ් සීලස්කන්ධය ප්‍රගුණ කිරීමට උපදෙස් ගත හැකි කවුරුවත් ලෝකයේ ඉන්නවා ද?’ කියලා. බැලූවාම උන්වහන්සේට තේරුණා, තමන් වහන්සේ තමයි සීලයෙන් පරිපූර්ණ. සමාධියත් එහෙමයි. ප්‍රඥාවත් එහෙමයි. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට මේ සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති කියන මේවා පෙන්වා දෙන්නේ එ් ඉලක්කය මුල්කරගෙනයි. එ් නිසා ලෝකයේ යම් කෙනෙකුට පරිපූර්ණ සීලයක් හොයාගන්න අවශ්‍ය නම් එ්ක තියෙන්නේ බුද්ධ දේශනාවේ පමණ යි. එ් වගේ ම පරිපූර්ණ සමාධියක් ගැන කතා කළත්, පරිපූර්ණ ප්‍රඥාවක් ගැන කතා කළත් එ් දේවල් තියෙන්නේ බුද්ධ දේශනාවේ පමණ යි. එ්කයි අපි පළමුවෙනි වැඩසටහනේ දී කිව්වේ අපි එ් දේවල් සම්බන්ධයෙන් හිතේ පැහැදීම ඇතිකර ගන්න ඕන කියලා.
සාමාන්‍යයෙන් ඉස්සර වෙලා ම ධර්ම ශ්‍රවණය කරන්නේ සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති මොකවත් නැති කෙනෙක්නේ. එ් කියන්නේ සාමාන්‍ය ජීවිත ගෙවන, කම්සුව අනුභව කරන, සාමාන්‍ය ලෝකයේ තියෙන දේවල් එක්ක මිශ්රවෙලා ඉන්න සාමාන්‍ය පෘථග්ජන කෙනෙක්නේ. පෘථග්ජන කෙනෙක් කියලා කියන්නේ ධර්ම මාර්ගයට ආපු නැති, ආර්යශ්‍රාවක භාවයට පත්නොවූ කෙනෙක් තමයි මේක ශ්‍රවණය කරන්නේ. එ් දේවල් ශ්‍රවණය කළාට පස්සේ එයාට යම් පැහැදීමක් ඇති වෙනවා. එ් විදිහට පැහැදීමක් ඇති වුණාට පස්සේ එයා මේක ප්‍රගුණ කරන්න පෙළඹෙනවා. එ් ප්‍රගුණ කරන්න පෙළඹීම මත තමයි එයා ආර්යශ්‍රාවක බවට පත්වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකයට ඉස්සර වෙලා ම මේ ධර්මය දේශනා කරන කොට ලෝකයේ ආර්ය සීලය ආරක්ෂා කරපු කවුරුවත් හිටියේ නෑ. ආර්ය සමාධිය සාක්ෂාත් කරපු කවුරුවත් හිටියෙත් නෑ. ආර්ය ප්‍රඥාව සාක්ෂාත් කරපු අය හිටියෙත් නෑ. එ් වගේ ම ආර්ය විමුක්තිය සාක්ෂාත් කරපු අය හිටියෙත් නෑ. එහෙම නම් එ් ඔක්කෝම ඇති වුණේ ධර්මය ශ්‍රවණය කළාට පස්සෙයි.
සීලය කුමක් පිණිස ද…?
දවසක් කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා, ‘‘භාග්‍යවතුන් වහන්ස, සීලය කුමක් අනුසස් කොට පවතී ද?” එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ‘‘සීලය පවතින්නේ විපිළිසර බව නැතිවීම පිණිස.” ‘විප්පටිසාර’ කියලා කියන්නේ විපිළිසර බව. ‘අවිප්පටිසාර’ කියලා කියන්නේ විපිළිසර බව නැතිකම. සාමාන්‍යයෙන් ධර්මය අවබෝධ නො කළ ඕනෑම කෙනෙකුට විපිළිසර බව කියන එක ඇති වෙන්න පුළුවන්. අපි ගත්තොත් කෙනෙක් පංචසීලය ආරක්ෂා කරගෙන ඉන්නවා කියමු. නමුත් එයා පංචසීලය ආරක්ෂා කරගෙන හිටියට එයාට එ් පිළිබඳ ව එච්චර තේරුමක් නෑ කියමු. එයා එ්කට සංවේදී නෑ කියමු. ඔන්න බැරිවෙලාවත් මෙයා මත්ද්‍රව්‍ය මොනවා හරි බිව්වා කියමු. එදාට මෙයාට ලොකු වේදනාවක් එනවා ‘අනේ මගේ අතින් සිල්පදයක්් කැඩුණා නේ ද?’ කියලා. එතකොට අපට පේනවා, එයා කලින් සතුටක් විඳලා තියෙනවා, නමුත් එයාට එ්ක තේරිලා නෑ. නමුත් එ් සිල්පදය කැඩුණු ගමන් එයා දුකට පත්වුණා. දුකට පත්වුණේ මොකද, කලින් එයාට සතුටක් තිබුණා. දැන් එ්ක නැතුව ගියා. එතකොට අපට මේකෙන් තේරෙනවා, සීලයෙන් හැම තිස්සේ ම විපිළිසර බව නැතිකරනවා. එ් විපිළිසර බව නැතිවීම සමාධියට අනුබලයක්. එ් අනුබලය සමාධිය වැඩෙන්න හරී උපකාරී වෙනවා. නැත්නම් අර විපිළිසර බව ආපු ගමන් හිත පසුබහිනවා. පසුබැහැපු ගමන් නීවරණ ආයෙමත් ඉස්මතු වෙනවා. නීවරණ ඉස්මතු වූ ගමන් එයාට සමාධිය කෙරෙහි තිබුණු කැමැත්ත, වුවමනාව නැතුව යනවා. වීරිය නැතුව යනවා. ඊට පස්සේ එයා එ්ක අත්හරිනවා. ඊට පස්සේ තමන් ම දන්නේ නෑ, සීල, සමාධි, ප්රඥාවලටත් ගරහන්න පටන් ගන්නවා. ‘‘ඕවා වැඩක් නෑ.. මොනවට ද ඕවා කරලා..?” කියලා කියනවා. අන්තිමට වෙන කෙනෙකුට හිත පහදවා ගන්න තියෙන අවස්ථාවත් නැතිකරලා දානවා. එහෙම තමයි සාමාන්‍යයෙන් මේ පුහුදුන් ලෝකයට වෙන්නේ. එහෙම නො වෙන්න නම් අපි ඉස්සර වෙලා ම බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි හොඳ පැහැදීමක් ඇතිකර ගන්න ඕන. එ් පැහැදීම මත තමයි අපි ඉස්සරහට යන්නේ. බුද්ධ ශාසනය වුණත් එහෙමනේ. ශාසනයේ තියෙනවා (අප්පසන්නානං වා පසාදාය) නො පහන් වූවන්ගේ පැහැදීම ඇති වෙනවා නම්, පැහැදුනුවන්ගේ පැහැදීම වඩා වැඩිවෙනවා නම් දියුණුව කරා යනවා කියලා. එ්ක කෘති‍්‍රම විදිහට කරන්න බෑ. එ්ක කරන්න තියෙන්නේ ධර්මයෙන් ම යි.
අපට මේ කය පිළිබඳ ව සිහිය පිහිටුවන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එ්ක නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නෑනේ. එ් වගේ ම අපට සිත ගැනත් හොඳ අවධානයෙන් ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊළඟට සැප, දුක්, උපේක්ෂා විඳීම් කියන මේවා අත්දකින්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. එ් වගේ ම පංච උපාදානස්කන්ධ, ආයතන නුවණින් විමසා බලන්න පුළුවන් හැකියාවක් තියෙනවා. නමුත් අපට මේ හැකියාව තියෙන බව බොහෝ විට අපි දන්නේ නෑ.
පටිච්ච සමුප්පාදය, නාමරූප, පංච උපාදානස්කන්ධ කියන්නේ වෙන විෂයක්. එ්ක අයිති වෙන්නේ විදර්ශනාවට. එ් නිසා විදර්ශනාවට අයිතිවෙන විෂය මේකට එකපාරට කලවම් කරගන්න හොඳ නෑ. අපි මෙහෙම උදාහරණයක් ගනිමු. ඔන්න කෙනෙක් බුද්ධානුස්සතිය හරි, මෛත්‍රිය හරි, ආනාපානසතිය හරි, නැත්නම් ධාතු මනසිකාරය හරි, එහෙමත් නැත්නම් වෙනත් මොකක් හරි මානසික අභ්‍යාසයක යෙදෙනවා කියමු. මෙයා එ් විදිහට මේ අභ්‍යාසයේ යෙදෙන්න යෙදෙන්න මෙයාගේ හිත පංච නීවරණයන්ගෙන් බැහැරවුණා කියමු. ඔන්න එතකොට හිතට චිත්ත එ්කාග්රතාවය ඇතිවෙනවා. එ් විදිහට පංච නීවරණ යටපත් වෙලා චිත්ත එ්කාග්රතාවය ඇතිවෙන කොට සමාධියක තියෙන ලක්ෂණ හිතට දැනෙන්න ගන්නවා. එ් කියන්නේ කය සැහැල්ලූ වෙනවා. සිත සැහැල්ලූ වෙනවා. ප්‍රීතිය හටගන්නවා. අමුතු සතුටක් එනවා. එතකොට මෙයා විදර්ශනා වඩන්න හදිස්සි වුණොත් වෙන්නේ එ්ක දියුණු කරගන්න තියෙන අවස්ථාව නැතිවෙලා යන එකයි. සමහර විට එයා ‘මට මේ සතුටක් ඇතිවෙලා.. මං මේකට ඇලෙන්න හොඳ නෑ..’ කියලා කල්පනා කරලා වඩන්න පටන් ගත්තු ගමන් ම ‘මේක අනිත්‍යයි..’ කියලා විදර්ශනාවට හරවගන්න හදනවා. ඊට පස්සේ වෙන්නේ සමාධියක් වැඩෙන්න තියෙන අවස්ථාව නැතුව යනවා. එ් විදිහට සමාධියක් වැඩෙන්න තියෙන අවස්ථාව නැතුව ගියොත් ඊට පස්සේ හරි විදිහට විදර්ශනාව වැඩෙන්නෙත් නෑ.
Recent Comments