ආනාපානසතිය සියල්ලෝ ම අනිවාර්යයෙන් ම කළ යුතු යි කියලා නීතියක් නෑ. අපි එ්ක ආරම්භයේ දී ම තේරුම් ගත යුතු කාරණාවක්. නැත්නම් අපි හැම තිස්සේ ම ආනාපානසතිය ම ඉස්මතු කරන නිසා සමහර කෙනෙක් හිතන්න පුළුවන් ආනාපානසතිය අනිවාර්යයෙන් ම කළ යුතු ම යි කියලා. අපි එ්ක ඉස්මතු කරන්නේ එය පොදුවේ ගන්න තියෙන කාරණයක් නිසා. ආනාපානසතියේ දී බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ‘(සෝ සතෝ ව අස්සසති) ඔහු සිහියෙන් හුස්ම ගනී. (සතෝ ව පස්සසති) සිහියෙන් හුස්ම හෙලයි. (දීඝං වා අස්සසන්තෝ දීඝං අස්සසාමීති පජානාති) එ් වගේ ම දීර්ඝව ආශ්වාස කරද්දී දීර්ඝව ආශ්වාස කරන බව දැනගනියි. (රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති) කෙටියෙන් ආශ්වාස කරද්දී කෙටියෙන් ආශ්වාස කරන බව දැනගනියි.
එහෙම නම් අපට පේනවා, දීර්ඝව ආශ්වාස කිරීමකුත් තියෙනවා, දීර්ඝව ප්‍රශ්වාස කිරීමකුත් තියෙනවා. එ් වගේ ම කෙටියෙන් ආශ්වාස කිරීමකුත් තියෙනවා, කෙටියෙන් ප්‍රශ්වාස කිරීමකුත් තියෙනවා. අපි දන්නවනේ ආශ්වාස කියලා කියන්නේ හුස්ම ඉහළ ගැනීම. ප්‍රශ්වාස කියලා කියන්නේ හුස්ම පහළ හෙලීම. සාමාන්‍යයෙන් ටිකක් මහන්සි වුණා ම හුස්ම ඉහළ, පහළ ගන්න එක වේගයෙන් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් එ්ක සාමාන්‍ය විදිහට ම සිදුවෙනවා. නින්ද යාගෙන එන අවස්ථාවක නම් හුස්ම රැල්ල බොහොමත් ම සාමාන්‍ය වෙලා යනවා. භාවනාවට යෙදුණට පස්සේ භාවනාව තුළ ආශ්වාස, ප්‍රශ්වාස සිහියෙන් කරන්න පටන් ගත්තා ම අපට ඉස්සර වෙලා ම අහුවෙන්නේ මෙන්න මේ වෙනස්කමයි. එ් කියන්නේ සිහියෙන් හුස්ම ගන්නවා, සිහියෙන් හුස්ම හෙලනවා. ඉස්සර වෙලා පුහුණු වෙන්නේ ඕකයි. එතකොට සිහියෙන් හුස්ම ගන්නවා, සිහියෙන් හුස්ම හෙලනවා කියන ඔය කාරණය කරගෙන යනකොට ඊට පස්සේ එයාට දිග හුස්මක් ගත්තා ද, දිග හුස්මක් හෙලූවා ද, කෙටි හුස්මක් ගත්තා ද, කෙටි හුස්මක් හෙලූවා ද කියන කාරණාව තේරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ තියෙන්නේ (සබ්බකායපටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති) සියලූ කය තේරුම් ගනිමින් ආශ්වාස කරනවා කියලා හික්මෙනවා. (සබ්බකායපටිසංවේදී පස්සසිස්සාමීති සික්ඛති) සියලූ කය තේරුම් ගනිමින් ප්‍රශ්වාස කරනවා කියලා හික්මෙනවා.
මේ ‘සබ්බකාය’ කියන වචනය එක එක ආචාර්ය සම්ප්රදායවල එක එක විදිහට විස්තර වෙනවා. සමහර අය ‘සබ්බකාය’ කියන එක තෝරන්නේ නාසයෙන් හුස්ම ගත්තා ම හුස්ම යන හැටි බලලා නාභිය ළඟින් ඉවර වෙන තෙක්ම බලන්න ඕන කියලයි. ඊට පස්සේ ආයෙමත් නාභිය ළඟින් පටන් ගෙන එළියට එනවා බලන්න ඕන කියනවා. තවත් සමහර සම්ප්‍රදායයන්වල ඊට වෙනස් දෙයක් උගන්වනවා. විශේෂයෙන් ම එ්ක තියෙන්නේ අභිධර්ම පිටකයේ. එහි සඳහන් වෙන්නේ සිහිය නාසිකාග්‍රයේ (නාසය අග) තබාගත යුතු යි කියලයි. ‘නාසිකාග්‍රයේ’ කියන වචනය ම එහි සඳහන් වෙනවා. ගොඩක් දෙනෙක් එතැන දී පැටලෙන්නේ එයා හිතනවා හිත තියෙන්න ඕන නාසිකාග්‍රයේ කියලා. නමුත් අපි එතැනට ගත යුත්තේ හිත නෙවෙයි, අවධානයයි. සමහර කෙනෙකුට අවධානය එතැනට යොමුකර ගන්න ගියොත් ප්‍රායෝගිකව ප්‍රශ්නයක් එනවා. මොකද අපට අවධානය යොමුකර ගන්න වෙන්නේ හිතෙන්නේ. එ් නිසා සමහර අය සිහිය එතැනට ගන්න ඇස් දෙක ළංකරනවා. ඊට පස්සේ ඔන්න ඔළුවෙ කැක්කුම එනවා, ඇස් කැක්කුම එනවා, ඔළුව තදවෙනවා කියනවා. එ්ක වෙන්නේ කයට වීරිය ගන්න යෑම තුළ. නමුත් එ්ක කරන්න තියෙන්නේ කයට වීරිය අරගෙන නෙවෙයි, සිතට වීරිය අරගෙන. නමුත් බොහෝවිට වෙන්නේ අවධානය යොමුකර ගැනීම පිණිස සිහිය පිහිටුවා ගන්න ගිහිල්ලා ඇස් දෙක ළංකර ගන්නවා. එ් කියන්නේ කළු ඉංගිරියා දෙක ළංකර ගන්නවා. එහෙම කරන්න අවශ්‍ය නෑ. අපි කියමු ඇස් දෙක වහගත්තා කියලා. ඇස්දෙක වහගෙන අවධානය යොමු කරගෙන හුස්ම රැල්ල ගැන කල්පනා කළා ම එයාට හුස්මේ ආරම්භයේ සිට ඉවර වෙනකම් ම සිහියේ තියාගන්න පුළුවන්.
ඊළඟට ‘සබ්බකායපටිසංවේදී’ කියලා තියෙනවානේ. එ් කියන්නේ ආශ්වාස, ප්‍රශ්වාස ගොරෝසුවට දැනෙනවා. එ් කියන්නේ සාමාන්‍යයෙන් තියෙන ආශ්වාස, ප්‍රශ්වාසවලට වඩා ගොඩාක් ප්‍රකට වෙනවා. එ් විදිහට ප්‍රකට වුණා ම තමයි සම්පූර්ණ ආශ්වාසය තේරෙන්නේ. එතකොට තමයි සමහරු කියන්නේ ලොකු බටේකින් හුස්ම ගන්නවා හෙලනවා වගේ තේරෙනවා කියලා. එ් වගේ ම වතුර පාරක් යනවා එනවා වගේ තේරෙනවා කියලත් කියනවා. එ් කියන්නේ අරමුණ මෙනෙහි වන ආකාරය. එ්කට තමයි සමහර කෙනෙක් නිමිත්ත කියන්නේ.
ඊළඟට තියෙනවා (පස්සම්භයං කායසංඛාරං අස්සසිස්සාමීති සික්ඛති) එතැනදි ‘කායසංඛාර’ කියලා වචනයක් මුණගැහෙනවා. එ් කියන්නේ ආශ්වාස, ප්‍රශ්වාස කරද්දී කාය සංස්කාරය සංසිඳුවනවා කියන එකයි. මේක කෙනෙකුට පැටලෙන්න පුළුවන් තැනක්. එ් කියන්නේ මේ විදිහට සිහියෙන් යුක්තව ආශ්වාස, ප්‍රශ්වාස කරගෙන යනකොට දීර්ඝව හුස්ම ගන්නවා, දීර්ඝව හුස්ම හෙලනවා තේරෙනවානේ. එ් වගේ ම කෙටියෙන් හුස්ම ගන්නවා, කෙටියෙන් හුස්ම හෙලනවා තේරෙනවා. ඉතින් එයාගේ සිත ටික ටික බාහිර අරමුණුවලට යන්නේ නැතුව ආශ්වාස, ප්‍රශ්වාස අරමුණේම රැඳිලා තියෙනවා නම් එ් රැුඳිලා තිබීම හේතුවෙන් ම මේක ප්‍රකට වෙන්න ගන්නවා. එ් කියන්නේ හුස්ම පාර හොඳට තේරෙන්න ගන්නවා. මේ විදිහට තේරෙන්න ගන්න එක දීර්ඝවත් වෙනවා, කෙටියෙනුත් වෙනවා. එ් වගේ ම එකපාරට නො දැනී යන්නත් පුළුවන්. නො දැනී ගියාම අපට තේරෙන්නේ ආශ්වාස, ප්‍රශ්වාස නෑ වගේ. එ් කියන්නේ ආශ්වාස, ප්‍රශ්වාස තියෙනවා කියලා හොයන්න බෑ. කෙනෙකුට මේ වගේ වෙන්න පුළුවන්. එහෙම වුණොත් එයා හිතන්න පුළුවන් භාවනාවේ එ් කොටස සම්පූර්ණයි කියලා. නමුත් එ්ක සම්පූර්ණවීමක් නො වෙයි. ඊට පස්සේ එයාට පොඩි ප්‍රශ්නයක් වෙනවා. එ් තමයි සිහිනුවණ පවත්වන ස්වභාවය සැඟවෙනවා. සැඟවුණා ම ඉන් එහාට මුකුත් වඩන්න බෑ. එතැනින් ම එ් භාවනාව අඩාල වෙනවා. එතැන සැඟවෙනවා කියන්නේ නො දැනී යන්න පුරුදු කරනවා කියන එක. දැන් එයාට එ්ක පහසුයි. ඊට පස්සේ කයත් ටික ටික නො දැනී යන්න ඉඩ තියෙනවා. එතකොට එයා කය ගැන දන්නෙත් නෑ. නින්ද ගියා වගේ මුකුත් දන්නේ නෑ. එතකොට එයා මේක දියුණුවක් කියලා එ්කටත් රැවටෙන්න පුළුවන්. එ්කත් දියුණුවක් නෙවෙයි.
අපි හිතමු කෙනෙකුට ආශ්වාස, ප්‍රශ්වාස කරගෙන යනකොට ආශ්වාස, ප්‍රශ්වාස සම්පූර්ණයෙන් දැනෙන්නේ නැතුව ගියා කියලා. දැනෙන්නේ නැතුව ගියාම එයා කරන්න ඕන දැනෙන්නේ නැති එක ගැන මෙනෙහි කරන්නේ නැතුව ආශ්වාස, ප්‍රශ්වාස කලින් මෙනෙහි කළේ යම් විදිහකින් ද එ් විදිහට ම ‘ආශ්වාසයක්.. ප්රශ්වාසයක්..’ කියමින් ආයෙමත් මෙනෙහි කිරීමයි. එ් නිසා මේකේ පැටලෙන්න කිසි ම දෙයක් නෑ. අපට තේරුම් ගන්න තියෙන්නේ මේ වගේ දෙයක් සිද්ධ වෙන්න පුළුවන් කියලා විතරයි.
එ් වගේ ම සමහර කෙනෙකුට ආශ්වාස, ප්‍රශ්වාස කරගෙන යනකොට ඔය විදිහට ගොරෝසුවට තේරෙන්න ගන්නවා. ඊට පස්සේ එ්ක සියුම් වෙලා එකපාරට වෙච්ච දෙයක් නැතුව යනවා. එතකොට එයා කලබල වෙනවා. කලබල වූ ගමන් හිත උද්දච්චයට වැටෙනවා. උද්දච්චයට වැටුණු ගමන් ආයෙමත් ආශ්වාස, ප්‍රශ්වාස තේරෙන්න පුළුවන්. හැබැයි කලින් විදිහට වෙන්නේ නෑ. මොකද ඊට පස්සේ හිත සැලෙනවනේ. එ් වගේ නො වෙන්න නම් වේලාසනින් මේ වගේ කරුණු කාරණා දැනගන්න ඕන.
අපි කියමු කෙනෙකුට එ් විදිහට ආශ්වාස, ප්‍රශ්වාස නො දැනී ගියා කියලා. එතකොට එයා ආයෙමත් ‘ආශ්වාසයක්.. ප්රශ්වාසයක්..’ කියමින් මෙනෙහි කරන්න ඕන. එතකොට එයාගේ අවධානය කලින්ට වඩා ගැඹුරට යනවා. එ් කියන්නේ කලින් මෙනෙහි කළේ ප්‍රකට වූ දෙයක්නේ. නමුත් දැන් මෙනෙහි කරන්නේ ප්‍රකට නො වන දෙයක්. එ් කියන්නේ දැන් මෙනෙහි කරන්නේ ප්‍රකට නො වූ දෙයක් ප්රකටවීම පිණිස. එතකොට බොහොම සියුම්ව ආයෙමත් මෙනෙහි වෙන්න පටන් ගන්නවා. එතැන තමයි අල්ල ගන්න ඕන තැන. මොකද එතැන තමයි සමාධිය වැඩෙන්න උදව්වෙන තැන.
රහතුන්ගේ ධර්ම සාකච්ඡා
විශාඛ කියන උපාසකතුමාත්, ධම්මදින්නා කියන භික්ෂුණියත් (මේ දෙන්නා ගිහි ජීවිතයේ ස්වාමියා හා භාර්යාව) සිදුකරන ධර්ම සාකච්ඡුාවක් ‘චූලවේදල්ල සූත්‍රය’ කියලා මජ්ඣිම නිකායේ සඳහන් වෙනවා. එ් වෙනකොට විශාඛ උපාසකතුමා අනාගාමී වෙලයි හිටියේ. ගිහි ජීවිතයේ බිරිඳ වෙලා හිටපු ධම්මදින්නා අරහත්වයට පත්වෙලා හිටපු භික්ෂුණියක්. වේදල්ල කියලා කියන්නේ ප්‍රශ්නෝත්තර සාකච්ඡුාව. එ් කියන්නේ එක්කෙනෙක් ප්‍රශ්නයක් අහනකොට අනිත් එක්කෙනා උත්තර දෙනවා. එහෙම නම් අපට පේනවා, රහතන් වහන්සේලාත් ධර්ම කතාවේ යෙදිලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි ධර්ම සාකච්ඡා කරන්නේ නො දන්නා දෙයක් ගැන අහගන්නනේ. එ් නිසා සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් ‘රහතන් වහන්සේලා ධර්ම සාකච්ඡා කරන්නේ මොකෝ..? ධර්මය පිළිබඳ ව සැකයක්වත් ඇවිල්ලා ද…?’ කියලා. එහෙම නෙවෙයි, උන්වහන්සේලා එ් විදිහට ධර්ම සාකච්ඡා කරන්නේ අන්‍යයන්ගේ හිතසුව පිණිසයි.
එතැන දී ධම්මදින්නා භික්ෂුණිය හරි ලස්සනට ආශ්වාස, ප්‍රශ්වාස ගැන විස්තර කරනවා. එ් කියන්නේ අපි හුස්ම ගැනීම, හෙලීම කරන්නේ ශරීරයකනේ. ශරීරයක් තුළ තමයි හුස්ම ගන්නේ, හුස්ම හෙලන්නේ. එතැන ශරීරය කිව්වේ කය. එ් කියන්නේ කයත් සමඟ හුස්ම ගැනිල්ලත්, හුස්ම හෙලීමත් බැඳිලා තියෙනවා. එ් විදිහට කයත් එක්ක බැඳී තියෙන නිසයි (කායපටිබද්ධ නිසයි) ආශ්වාස, ප්‍රශ්වාස දෙකට ‘කාය සංස්කාර’ කියලා කියන්නේ. ඊළඟට හඳුනාගැනීමයි, විඳීමයි කියන දෙක (සඤ්ඤා, වේදනා) සිතත් එක්ක බැඳිලා තියෙනවා. එ් නිසා ‘චිත්ත සංඛාර’ කියලා කියනවා. එ්කයි ‘චිත්තසංඛාර පටිසංවේදී’ කියලා තියෙන්නේ. එ් කියන්නේ සමාධියක් වැඩුණට පස්සේ එයාට එ් සමාධිය තුළ පීති, සුඛ ආදී වශයෙන් දැනෙන්නේ විඳීමනේ. එ්වා චිත්ත සංඛාර. තව දුරටත් සමාධිය දියුණු කරද්දී එ්වා තවදුරටත් ප්‍රකට වෙන්න ගන්නවා. ඊට පස්සේ සිතට සංවේදී වෙන එ්වත් ටික ටික අඩුවෙලා යනවා. හතරවෙනි ධ්‍යානය වෙනකොට තනිකරම තියෙන්නේ උපේක්ෂාවනේ. එතකොට අපට තේරෙනවා, ශ්රාවකයා මේ එකක් එකක් ගානේ අත්දකිනවා. එතකොට සඤ්ඤා, වේදනා දෙකට චිත්ත සංස්කාර කියලා කියන්නේ සිත හා බැඳී තියෙන නිසයි. ඊළඟට අපි යමක් කියන්න ඉස්සර වෙලා මනසින් කල්පනා කරනවනේ. එ් කල්පනා කරන එක තමයි අපි කියන්නේ. එ්කට ‘වචී සංඛාර’ කියලා කියනවා. වචී සංස්කාර කියන්නේ විතක්ක, විචාරවලට. ශ්රාවකයා මේ එකක් එකක් ගානේ අත්දකිනවා. වචී සංස්කාර උපයෝගී වෙන්නේ ප්‍රථම ධ්‍යානය දක්වා පමණයි. දෙවෙනි ධ්‍යානයට යන්නේ වචී සංස්කාර නිරුද්ධ වීමෙන්. නමුත් මනසිකාරය දිගට ම තියෙනවා. ඔබට මතක ද මම කිව්වා, නො දැනීයාමක් ගැන. එ් නො දැනීයාමේ අවාසිය තමයි එතැන් පටන් මනසිකාර කරන්න බැරිව යනවා. ඊට පස්සේ මනස එ්කට ම පුරුදු වෙනවා.
පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ
Recent Comments