තිලොවග සම්මා සම්බුදු සමිඳු නමින් මේ ලොව මත බිහි වූ අති වන්දනීය ‘ප‍්‍රථම චෛත්‍ය රාජයාණන්’ උතුරින් වැඩ සිටිය දී, ඒ සිරිමතුන්ගේ උත්තමාංගයේ ‘ශ‍්‍රී ලලාට ධාතූන් වහන්සේ’ දකුණු පසින් වැඩහිඳින යම් පින්බර බිමක් මේ සක්වළ වේ ද ඒ ‘කෝටි ආරාම පත්තුවයි’.

අතීතයේ ආරාම කෝටියක් තිබූ නිසා ම ‘කෝටි ආරාමය’ ලෙස හැඳින්වූ නාමය අද ද එලෙසින් ම පැවතීම බුද්ධාලම්භන ප‍්‍රීතියක් ඇති කරවන කරුණකි.

අන්‍ය ජාතිකයින් මෙම ප‍්‍රදේශය හඳුන්වන්නේ ද ‘කොට්ටි ආරම්’ කියා ය. ස්වාභාවික සම්පතින් සුපෝෂිතව ලොව පුරා ‘ත‍්‍රිකුණාමලය’ ලෙස ප‍්‍රකටව පවතින්නේ ද මේ පින්බර වන්දනීය භූමියයි.

ඒ සම්මා සම්බුදු සමිඳුන් බුද්ධ රාජ්‍යයට පත් වූ පසු ලත් ප‍්‍රථම දානය පිදීමේ උතුම් පින් ඵල ලද ‘තපස්සු භල්ලූක’ යන වෙළඳ සොහොයුරෝ සිය වෙළඳ චාරිකාවේ වටිනා ම ස්ථානය කරගත්තේ මේ පින්බර ‘ධර්මරාජ භූමිය’ ම වීම අප ලත් භාග්‍යයකි. ගිරිහඬු සෑ රදුන් නිමවුණේ මෙබිමට උතුරු කෙළවරේ වූ කඳු ගැටයක් ‘සිරි සමනොළ සිරස’ තරමට ම වන්දනීය, පූජනීය ස්ථානයක් බවට පත් කරමින්, අනාගත බුදු කල්පයන්හි පවා කියැවෙන පුණ්‍ය සුගන්ධයක් මේ බිමට එක් කරමින් ය.

බටහිරින් බොහෝ නටඹුන් නගර සඟවා ගත් වන රක්ෂිතයක් වූ ප‍්‍රාචීන කඳු වැටියයි, දකුණේ සෝමාවතිය නම් වූ පින්බර භූමියත්, උතුරෙන් කෝකිලායි කලපුවත්, නටඹුන් වූ වෙහෙරත්, නැගෙනහිරින් මහා සයුරත් සීමා කරගත් මේ පූජනීය භූමිය ඉඳුරා ම සඟවාගෙන සිටින්නේ කෝටි සංඛ්‍යාත වූ අතීත රහතුන් හට නිවාස වූ අති පූජනීය පුරවරයක සුන්දර රහසයි.

අතීතයේ අප රටේ දරුවන් තිස් දෙනෙකු පමණ පවා සිටි පවුල් සහිත යුගයක් තිබුණා යැයි පැවසුවහොත් බොහෝ දෙනා නො පිළිගනු ඇත. එහෙත් ඒ තරම් දරුවන්ට පුණ්‍යවන්ත සිංහල බෞද්ධ උපත් ලබා දීමට සිය කුස ඉඩ දුන් ඒ අති පුණ්‍යවන්ත මව්වරුන් නිසා ම මේ කෝටි ආරාමයේ එක පසෙක එදවස දිස් වූයේ තෙරක් නො පෙනෙන නිවාස ලක්ෂ ගණනක වහල පෙළක් පමණි. උදේ අනුරාධපුරයෙන් වහලට නැගි කුකුළු රංචුව වහලින් වහලට පැන ගොස් සවස පොළොන්නරුවෙන් බිමට බැස්සේ මේ සුන්දර පුරවරය ඔස්සේ ගමන් කරමින් ය.

එවන් යුගයක එක් වෙහෙරක වැයූ හේවිසියේ හඬ ඇසෙන හතර කෙළවරේ විහාර හතරක් ලෙස ආරාම කෝටියකින් යුගන්ධිත වූ මේ සුරම්‍ය පුරවරය අරහත් ධජයන්ගෙන් බැබළුණු ආකාරය පිළිබඳ ව සද්ධර්මාලංකාරය ඇතුළු අතීත ග‍්‍රන්ථවලින් මනාව හෙළි වේ.

සද්ධර්මාලංකාරයේ ‘ශ‍්‍රද්ධා තිස්ස’ වර්ගයට අයත් එක් කථාවක මහවැලි ගඟ අසල දී එක් සිටු දුවක එක දිනක දී පමණක් දස දහසක් රහතන් වහන්සේලාට දන් දුන් අවස්ථාව එයට උදාහරණයකි.

අද ද මේ ප‍්‍රදේශය පුරා දක්නට ඇත්තේ ඒ අතීත නටඹුන් ය.

හේමමාලා හා දන්ත කුමරුන් අති උතුම් වාම ශ‍්‍රී දළදා වහන්සේ වැඩමවා වදාළේ මේ බිම හරහා ය. අප රටෙන් උපසම්පදාව තුරන් වූ යුගයක සියම් රටින් උපසපන් හිමිවරුන් සිරිලකට වැඩමවා වදාළේ මේ පින්බිම ඔස්සේ ය. පූජනීය රුවන්වැලි සෑ රජුන් තැනීමට තඹ මතු වූ ඓතිහාසික ‘තඹගම’ අද ‘තඹලගමුව’ ලෙස වහරයි.

බැලූ බැලූ දසත ශ‍්‍රද්ධාවන්තයන්ට සිත් පහදා වන්දනා කළ හැකි තරම් උත්තම ගුණයෙන් සපිරි පුණ්‍යවන්ත සිද්ධස්ථාන මෙතරම් පවතින වෙනත් බිමක් මේ සිරිලක තවත් ඇත්දැයි සිතෙන තරමට ම කෝටි ආරාමය බොදු උරුමයන්ගෙන් පොහොසත් ය.

කාලිංග මාඝගේ ආක‍්‍රමණයෙන් පසු ප‍්‍රදේශයේ සියලූ වැව් විනාශ කිරීමත්, වෙහෙර විහාර බිඳ මංකොල්ල කෑමත් නිසා අරාජික වූ මේ ප‍්‍රදේශයන් රූස්ස වනාන්තර වී, වැසී පැවතුණි. එහෙත් කිසිදා සඟවාලිය නො හැකි බුදු ගුණ මහිමය හමුවේ සේරුවිල, තිරියාය, වේළුන්නාව, වෙල්ගම් වෙහෙර, ප‍්‍රාචීන පබ්බතය, සමුදුරුගිරි වෙහෙර ආදි ස්ථාන තව දුරටත් වසන්ව නො පැවතී ලොවට නිරාවරණය වූයේ උතුම් සත්පුරුෂයන්ගේ ම පිනට ය.

ලොවේ ඇති සියල්ල අනිත්‍ය බව සැබෑ ය. සංඛතයන්ගෙන් තැනූ වෙහෙර විහාර ද නැති වී යාමේ ස්වභාව සහිත බව සැබෑ ය. එහෙත් සද්ධර්මය අවධි වන මෙවන් පුණ්‍යවන්ත යුගයක සියලූ සැදැහැ සිත් මේ පුණ්‍ය පුරවරයේ නිවන් දොරටු වෙත යොමු වන්නේ නම් ‘ඒ දාගැබ් වෙහෙර විහාර’ යළි පින් ඵල වපුරනා භූමි බවට පත්වීම ඒකාන්ත ය.

ශ‍්‍රද්ධාව පැතිරෙන විට නීවරණ සන්සිඳීමත්, මෛත‍්‍රිය පැතිරෙන විට ද්වේෂය අඩපණ වීමත්, උතුම් වූ මහ දන් පවත්වන විට ලෝභය සිඳී යාමත් සිදු වන බැවින් ධර්මාවබෝධයට ඉඩ නො ලැබ වරදට, පවට පෙළඹුණු අය වෙහෙර විහාර රකින ගුණ පුරණ, නිවනට මඟ සදන අය බවට පත් වනු ඇත.

තවමත් මේ පවතින්නේ සිරි ගෞතම සම්බුද්ධ රාජ්‍යයයි. එබැවින් සෑම බෞද්ධ මව් කුසක ම සසුනට පිදෙන පුත් රුවන බිහි වේවා! අතීත රහතුන්ගේ සෙවණ නිසා වී පැදුරක්වත් වියළීමට ඉඩක් නො වූ මේ පින්බිම යළි අරහත් ධජයෙන් බැබළේවා! ඇස යන යන තැන වෙහෙරක් පෙනේවා! යන්න අපගේ පින්බර පැතුමයි.

කාලයේ වැලි තලාවෙන් වැසුණු, ද්වේෂයේ කුළු පහරින් බිඳුණු ඒ අඳුරු යුගය නිමා කර දැමීමේ කාලය එළැඹ ඇත. එබැවින් ඉදිරියේ දීත් එ් උත්තම පුණ්‍ය භූමි සිසාරා මේ සදහම් මහාමේඝය ගලා යනු නිසැක ය.

සටහන
අනුරසිරි කෝට්ටේගොඩ