එ් මාගේ පාසල් සමයයි.

පන්තිභාර ගුරුතුමා පන්ති කාමරයට ඇතුළු වූයේ සුපුරුදු සිනහවෙන් මුව සරසාගෙන ය. පොත් මිටිය ගුරුතුමාගේ සුරතේ වූ අතර වමතේ වූයේ තණකොළ ගසකි.

අප අසුන්වලින් නැගිට දෑත් එක්කර ‘‘ආයුබෝවන්” කියා ගුරුතුමා පිළිගත්තේ සිත්වල විමතියක් ද ඇති ව ය. ‘පාඩමට කුමට ද තණකොළ ගසක්?’

මොහොතකින් අපේ විස්මය නිම විය. ගුරුතුමා තණකොළ ගසෙන් කියාදුන්නේ පාසල් සමයට පමණක් නො ව මුළුමහත් ජීවිතයට ම අගනා වූ පාඩමකි.

‘‘හිතන්න…. මහා වැස්සක් වහිනවා… එ් එක්කම කුණාටු හුළඟකුත් එනවා. වැස්ස වැඩිකමට ගංවතුරකුත් එනවා.

හුළඟයි, ගංවතුරයි හින්දා ගස්වැල්වලට මොකද වෙන්නේ?

ලොකු ගස් හුළඟට කඩන් වැටෙනවා. වතුරට යට වෙනවා. මෙන්න මේ තණකොළ ගහ වගේ පොඩි ගසුත් වතුරට යට වෙනවා…

හුළඟයි, වැස්සයි නැවතෙනවා. දවස් දෙක තුනකින් ගංවතුරත් බැහැලා යනවා. ඊටපස්සේ පුතේ ආපහු නැගිටලා පණ ගහලා ජීවත් වෙන්න පණ තියෙන්නේ අර රූස්ස ගස්සවලට ද?, නැති නම් මෙන්න මේ වගේ පුංචි ගස්වලට ද?”

‘‘පුංචි ගස්වලට.” අපි දෙපාරක් නො සිතා ම උත්තර දුන්නෙමු.

‘‘ඔව් පුතේ, මේ වගේ පුංචි ගස් තමයි නැගිටින්නේ… එ් ඇයි?”

පංති කාමරයෙන් නොයෙකුත් පිළිතුරු ඇසෙන්නට විය. එ් සියලූ පිළිතුරු සාරාංශගත කළ කල්හි මෙවැනි පොදු පිළිතුරක් අප සතු විය.

‘‘ලොකු ගස්වලට අරටුවක් තිබුණට මේ වගේ පොඩි ගස්වලට අරටුවක් නැති නිසයි….”

‘‘ඉතින් දරුවනේ, අරටුව කියන්නේ වටින දෙයක්නේ… සවි ශක්තියක් තියෙන දෙයක්නේ… එහෙම නේ ද? ඉතින් එ් හයියෙන් නැගිටින්න පුළුවන් වෙන්න ඕනෙනෙ….”

අපි නිරුත්තර වීමු.

‘‘හොඳයි… ගස් කථාව අයින් කරන්නකෝ. මනුස්සයෙක් ඕනෙම අභියෝගයකට කෙළින් ඉන්නවට අපි කියන්නේ ‘හොඳ කොන්දක්’ තියෙනවා කියලා. එ් කොන්ද හරියට ගහක අරටුවක් වගේ වුණොත් යම් තැනකදි මොකද වෙන්නේ?”

‘‘නැගිටින්න බැරි විදිහට කඩන් වැටෙනවා.”

අපි පිළිතුරු දුන්නෙමු.

‘‘ඔව් පුතේ… ආයෙ පණ ගහන්න බැරි විදිහට ම කඩන් වැටෙනවා. දූලා, පුතාලා කැමති ද ඔයගොල්ලන්ට එහෙම වෙනවට?”

‘‘නෑ..!” අපි එකහෙළා පැවසීමු.

‘‘එහෙනම් ඔයගොල්ලෝ අරටුවක් වගේ වටින විදිහට ජීවිතය ගොඩ නගද්දි අරටුවට තිබුණෙ නැති, එ්ත් මෙන්න මේ පුංචි තණකොළ ගහට තිබුණ එක ම එක ගුණයක් හොඳට වර්ධනය කරගන්න ඕනේ.

එ් ගුණය තමයි පුතේ, නම්‍යශීලී බව… නැමෙන්න ඕන තැනදි නැමුණොත්, නැගිටින්න ලැබුණ හැටියේ නැගිටින්න ඔයාලට පුළුවන්. එහෙම නො වුණොත් ආයෙ නැගිටින්න බැරි විදිහට පහර වදිනවා ම යි…”

එදා අපි එ් අවවාදය මැනවින් දරාගත්තෙමු. අද වනවිට අප අතර සිටි කී දෙනෙකුට මෙය මතකදැයි මා දන්නේ නැත. එකී අවවාදයේ මහරු බව මට මෑතක දී යළිත් සිහිපත් වූයේ දකින්නට ලැබුණු පුවත්පත් වාර්තාවක් නිසා ය.

‘‘ශ්‍රී ලංකාවේ දිනකට දික්කසාද වීම් 400ක්.”

මේ, එ් පුවත්පත් වාර්තාවේ තේමාවයි…. එ් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වගකිව යුතු දෙපාර්තුමේන්තුවක් හරහා කළ හෙළිදරව්වකි.

ළතෙත් දයා ගුණයන්ගෙන්, ආදරයෙන්, රැකවරණයෙන් පිරීතිරී යා යුතු සෙනෙහසේ කැදැල්ල මෙසේ කැඞී බිඳී විසිරී යාම පිටුපස ඇත්තේ ද නො නැමෙන, දැඩි ස්වභාවයන් ය; අනවබෝධයන් ය.

කිරි රස දන්නෝ මවු හඳුනන්නෝ ය. බත් රස දන්නෝ කෙත හඳුනන්නෝ ය. මෙලෙසින් ම, පවුල නම් වූ සෙනෙහස් කැදැල්ලේ අගය දන්නෝ එය සුරක්ෂිත කරවීමේ අවශ්‍යතාවය හඳුනන්නෝ ය. එහෙත් දිනෙන් දින අපට අසන්නට දකින්නට ලැබෙන්නේ අනාරක්ෂිත වීම් මිස සුරක්ෂිත වීම් නො වේ…. එහි අර්ථය නූතන පරපුර පවුල් සංස්ථාවේ අගය නො දන්නා බව ද..?

ඉහත කී වාර්තාවෙන් වැඩි දුරටත් හෙළිදරව් කෙරුණේ දික්කසාදය සඳහා නඩු පැවරීම් සේ ම විවාහයෙන් වසරක් ගෙවෙන්නටත් පෙර දික්කසාදයට යොමු වීම් ද ඉතා ශීඝ‍්‍රයෙන් ඉහළ යන බවයි. මේ සියල්ල හරහා පෙනී යන්නේ සෙනෙහසේ නවාතැන වත්මනේ ගිනිගෙයක් බවට අති බව නො වේ ද?

පවුල යනු, මහා සමාජයක් බිහි කරන මූලික තැනුම් එ්කකයයි. දෙමව්පිය දූ දරු සබඳතාවයන්ගෙන් පිරී ගත් මේ එ්කකය නිරවුල් වන තරමට, සුවදායී වන තරමට සමාජය ද නිරවුල් සහ සුවදායි විය යුතු ය. සමාජ අර්බුද යනු යහපත් පවුල් ජීවිතයේ දෙදරීම් ඔඩු දුවා සමාජගත වීමකි. මන්ද, යහපත් පවුල තුළ එකිනෙකා ප‍්‍රිය ඇසින් දකිමින්, ප‍්‍රිය වචනයෙන් සංග‍්‍රහ කරමින්, යහපත ම සිදු කරමින් සෑම කල්හි ම කටයුතු කිරීම සිදුවන නිසා ය. එවන් පවුල් වටපිටාවක දුරදිග නො බලා හිටිහැටියේ තීරණ ගැනීමක් හෝ එ් ක්ෂණික තීරණ එලෙසින් ම ක‍්‍රියාත්මක කිරීමක් සිදුවන්නේ නැත. ආවේගශීලී වන්නේ හෝ ආවේගයන් ඇති වුව ද එ්වා පිට කරන්නේ හෝ නැත. පවුලේ යහ පැවැත්මට බාධා පමුණුවන නිදහසක් තනි තනිව සොයා යන්නේ ද නැත.

එහෙත් නූතනයේ දකින්නට ලැබෙන්නේ මේ යහපත් පවුල් පරිසරය නො වේ. තමන් කියන්නේ කුමක් ද?, එය ම නිවැරදි යැයි සිතාගෙන සිටින එක් අයෙක් පමණක් පවුලක සිටිය ද එය අර්බුදයකි. මන්ද එවිට අන් අදහස් ගරු කිරීමක්, සියලූ අදහස් සලකා බලා හොඳ ම දෙය ක‍්‍රියාත්මක කිරීමක් සිදුනොවන නිසා ය. එක් අයෙක් නිසා එසේ වූ කල්හි, පවුලේ සියලූ දෙනා එ් මතය ම දරන්නෝ නම් නිවස තුළ නිරන්තරයෙන් ගිනි ඇවිළෙන බව නිසැක ය.

නිවසක කටයුතු මනා කොට මෙහෙයවන්නට මනා පෞරුෂයක් වුවමනා ය. එතුළ ඇත්තේ හරි වේවා, වැරදි වේවා තම මතය කෙසේ හෝ ක‍්‍රියාවට නැංවීම නො ව පොදුවේ සියල්ලන් එකතුව මෙහෙයවන පවුල් එ්කකය නිවැරදි මෙඟහි ගමන් කිරීම ගැන අවධානයෙන් සිටිමින් සුළු හෝ අයහපතක් සිදු වීම වළක්වාලීමට ඇති හැකියාවයි. පවුල තුළ තම තමන් සතු භූමිකාව කවරක් වුව ද එහි දී ක‍්‍රියාත්මක විය යුතු මෙන් ම නිහඬ විය යුතු අවස්ථාවන් ද එළඹෙනු ඇත. නිහඬ විය යුතු තැන කථා කිරීමෙන් හෝ කථා කළ යුතු තැන නිහඬවීමෙන් ඵලක් නැත. එසේ ම ‘‘මට වුවමනා විදිහට මිස මේ ගෙදර වැලි කැටයක්වත් හෙළවෙන්න බෑ.” කියා දරදඬු වීමෙන් ද ඵලක් නැත. එ් දැඩි බව, තද බව යම් කලක් පවුල තුළ බලය පතුරුවා හැරිය ද කිසියම් හෝ මොහොතක නො නැගිටින්නට එයට පහර වදිනු ඇත. එ් පහර ඛේදජනක ලෙස පවුල විසිරී යාමක් දක්වා ම බරපතළ විය හැකි ය.

පවුලේ සියලූ දෙනා එක්ව හිඳ ආහාර ගත්, සියලූ දෙනා එක්ව කථා බහ කළ, සියලූ දෙනා ම පවුුලේ කටයුතු සංවිධානය කළ පරිසරයක් මෑත අතීතයේ ද අප සතු විය. මව, පියා එක්ව පවුලේ දෛනික විය හියදම් පවා සලකා බලමින්, දුවා දරුවන් එකිනෙකා වෙනුවෙන් විශේෂ අවධානය යොමු කරමින් පවුලේ අභිවෘද්ධියට ඇප කැප වූයේ ප‍්‍රබන්ධ කථා තුළ පමණක් නො වේ; අප සතුව එවන් පවුල් පසුබිම් ඕනෑ තරම් තිබුණි.

විවාපත් වූ යුවළක් භෞතික දියුණුව සලසාගන්නා අතරේ ම දුවා දරුවන් ලබමින්, ඔවුන් උස්මහත් කරමින් පරපුර ඉදිරියට ගෙන ගියහ. අද මෙන් එදවස ද ‘එක දරුවෙක් මදෑ’ කියා අපේ දෙමව්පියන් සිතුවා නම් අප බහුතරය අද මෙහි නැත. පවුල යනු ගේ දොර පමණක් නොව මව, පියා, දුවා දරුවන් සමඟින් වැඞී වර්ධනය වන මහා වෘක්ෂයක් බව එකල ඇත්තෝ දැන සිටියහ. ඵලබර වූ එ් පවුල නම් වෘක්ෂය රටට ද ජාතියට ද දහමට ද සුජාත පිරිවර සේනා ඇති කරන්නට සමත් විය. රට, ජාතිය, ආගම සුරක්ෂිත කරමින් සෙවණ සැලසූ එ් මහා පවුල් වෘක්ෂය අද කේඬෑරි වී, මලානික වී, කඩා වැටීම රට, ජාතිය, ආගමේ අනාගත පැවැත්මට ඇති ප‍්‍රබලතම තර්ජනය නො වන්නේ ද?

අප සෑම සියලූ දෙනා ම පවුල් එ්කකයක සාමාජිකයන් ය. පවුල තුළ අපේ මූලික වගකීම එය සුරක්ෂිත කරගැනීම මිස අනෙකක් නො වේ. එහි සුරක්ෂිතභාවය තීරණය වන්නේ එකිනෙකා කෙරෙහි ගරු සරු ඇතිව, එකිනෙකාගේ යහපත වෙනුවෙන් සිදු කරන කැපවීම් ඇතිව, දහමට අනුව පැවතෙන ජීවන රටාවන් ඇතිව ජීවත් වීම තුළිනි.

විවාපත් වූ පසු පවුල් දෙකක් තුළ ඇති වූ එ් නෑදෑ සබඳතාවය වඩ වඩාත් වර්ධනය කරගත යුතු ය. එකිනෙකාගේ අඩු පාඩු නො සෙවීමත්, එකිනෙකාගේ ඇති ගුණ ම කියමින් ඔවුන් අතර ගරු බුහුමන් සහිත වූ සමීප ඇසුරක් ගොඩනැංවීමත් එ් යුවතිපතීන්ගේ වගකීමකි. ස්වකීය සුව පහසුව අත් හරිමින්, පවුලේ සුරක්ෂිතභාවය වෙනුවෙන් කැපවීම් කළ හැකි ස්වාමියෙක්, භාර්යාවක් යනු සොඳුරු පවුලක් ගොඩනැගීමේ පුරෝගාමීන් ය. ගැටුම්, හැල හැප්පීම් අභිමුව එකට එක කරනු වෙනුවට සන්සිඳෙනතුරු ඉවසීමත්, අනතුරුව මෙත් කරුණා ගුණයෙන් යුතුව ම වරද නිවැරදි කිරීමත් කළ යුතු ය. හරියට දරුණු වැසි කුණාටු හමුවේ හිස නමා එය පහව ගිය පසු යළි හිස ඔසවන, නම්‍යශීලී ගුණයෙන් යුතු තණකොළ ගසක් සේ ය…

පවුල් ජීවිතය තුළ පළමු ගැටුම ඇතිනොකරගන්නේ නම්… නැතහොත් එක ම වරද දෙවරක් සිදුවන්නට ඉඩ නො දෙන්නේ නම්… සතුටින් දිවි ගෙවන දෙමාපියන්, දුවාදරුවන්, නෑදෑ හිතමිතුරන් සහිත සොඳුරු පවුලක වාසනාවන්ත හිමිකරුවෙකු වන්නට කිසිවෙකුටත් අපහසු නැත.

ගිහිගෙයින් නික්ම හංසරාජයන් සේ සැහැල්ලූ සිතින් පිළිවෙත් පිරීමේ වාසනාව සියල්ලන් ලබන්නේ නැත. එකී වාසනාව නො ලබන්නේ නම් ගිහි ජීවිත තුළ හිඳිමින් පිළිවෙත් රකිමින්, සෙනෙහසේ බැඳීම් සුරකිමින්, මහා පවුල් වෘක්ෂයක් ගොඩනැගීම කළ යුතු ය. රට, ජාතිය, ආගම සුරැකීම වෙනුවෙන් සුජාත ආයෝජනයක් බවට එය මතු කලෙක පත් වන්නේ ම ය.

සටහන
කලණ ගංගානාථ