කුඹුරක අස්වැන්නක් ලබන්නට අප වැය කරන දේ කොතෙක් ද? ධනය, කාලය, ශ්‍රමය කැපකොට එහි අස්වැන්න ලබන මොහොතේ දී ඒවා සිදුරු සහිත මලූවල ඇසුරුවොත් සිදුවන්නේ කුමක්ද…? අවාසනාවකි… ධනය, කාලය, ශ‍්‍රමය කැප කරමින් අප කරනා ඇතැම් පින් අපතේ යන්නේ ද කුඹුරේ අස්වනු ගෙට ගන්නට පෙර ම අපතේ යන්නා සේ ය. වටිනා අවස්ථාවකැයි සිතා පින් රැස් කර ගන්නට වෑයම් කළ ද අපගේ ජීවිතවල ම පවතින ඇතැම් සිදුරු නිසා, මහත් පිනක් වෙනුවට අවසානයේ ඉතිරි වන්නේ කුඩා පිනකි. රැස් කර ගන්නා සෑම පිනක් ම බලවත් පිනක් බවට පත් කර ගැනීමට තරම් අප දක්ෂ මෙන් ම උපක්‍රමශීලී විය යුතු ය.

මරණයට ගෙන යන ගවයෙකු සේ අප ද දිනෙන් දින ළං වන්නේ මරණයට ය. සුගතියේ දොර එක් පසෙක ද සතර අපායේ දොරටු තවත් පසෙක ද විවෘතව ඇත. යා යුතු ඉසව්වට මඟ සකසා ගත යුත්තේ අප විසින් ම ය. පුණ්‍ය මාවත සුගතියට ඇති පැහැදිලි ම මාවතයි. අප පින් රැස් කර ගන්නට සූදානම් වන බොහෝ විට සිතට එන ලෝභය, ද්වේෂය, මෝහය, ඉරිසියාව, ගුණමකුකම, කළ ගුණ නොදත්කම, මසුරුකම, මාන්නය වැනි අකුසල් සිතිවිලි මඟ අවුරන කටු පඳුරු සේ ය; ගල් බොරළු සේ ය. භයානක මඩ ගොහොරු සේ ය. ඒවා මඟ හරිමින් සුන්දර පිනක් ජීවිතයට ළඟා කර ගැනීමට නම් අප භාග්‍යවතුන් වහන්සේ වදාළ දහමට කීකරු විය යුතු ය.

සුපේෂල හද මඩලක උපන් මහා කරුණාවෙන් අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැපයට කියන්නා වූ තවත් නමක් වේ නම් ඒ ‘පින’ යයි පවසා වදාළේ අප කෙරෙහි වූ අපමණ දයාවෙන් යුක්තව ම ය. සුළු පිනක් යයි සිතා අත් නො හැර සියලූ පින් අප කරා ළඟා කර ගත යුතු යයි අප උගත්තේ ඒ උත්තම මුනි දහම තුළිනි.

මේ සටහන ඔබට කියවන්නට ලැබෙනුයේ දන් දීමෙන්, සිල් රැකීමෙන්, බණ භාවනා කිරීමෙන් ජීවිතය මේ වන විටත් පිනෙන් පිරී ඉතිරී ඇතැයි ඔබ සිතන මොහොතක විය හැකි ය. එපමණක් නොව ඔබ වෙහෙර විහාර පිළිසකර කිරීමට කෙතරම් මුදල් පරිත්‍යාග කර තිබේ ද? සහභාගි වූ ශ‍්‍රමදාන කටයුතු ගණනින් කිව හැකි ද? කෙතරම් චෛත්‍ය වන්දනා කර තිබේ ද? බෝධි පූජා… බුද්ධ වන්දනා… රැස් කර ගත් පින් කෙළවරක් නැති තරම් ය. ඒ ඔබ ඔබගේ පිනට නො දැනුවත්කමෙන් දුන් තක්සේරුව යි. නමුත් සැබෑ ලෙස ම ඒ සෑම මොහොතක දී ම පරිපූර්ණ වශයෙන් ඔබගේ ජීවිතයට පිනක් රැස්වූවාදැයි පසු විපරම් කිරීම යහපත පිණිස පවතින්නේ ය.

අපට ඇති ලොකුම බාධාව නම් ‘පින’ අතරතුර ‘මම’ ඉස්මතු කර ගැනීමට උත්සාහ දැරීම ය. මෙය හොඳින් පිරික්සා බලන තුරු එය අප සිත තුළ තිබෙන බව වත් අපට නො පෙනේ. මොහොතක් සිතන්න, ඔබ ශ‍්‍රමදානයකට ගිය විට මුලින් ම බලන්නේ පැමිණ සිටින්නේ කවුරුන් ද?, නො පැමිණ සිටින්නේ කවුරුන් ද? කියා නො වේ ද? එය පසෙක තබා කරන්නට ඇති වැඩ කොටස සොයා බලන්නේත්, අන්‍යයන් කරන තුරු නො සිට තමාගේ කටයුත්තක් යයි සිතා එය මනා කොට අවසන් කර සතුටු වන්නේත් අතලොස්සකි. එපමණක් නොව ‘මම විතරයි හැමදාම ශ‍්‍රමදානෙට එන්නේ… මට විතරයි ශාසනික ඇල්මක් තියෙන්නේ’ යයි සිතමින් තමාට ම ලකුණු දා ගත් අයුරු ඔබට මතක ද? ඉන් නො නැවතී… කවුරුන් හෝ සමග එක්ව මෙසේ ද ඔබ කියන්නට ඇත. ‘‘අනේ මේ පිනක වටිනාකම තේරෙන්නේ නැති හැටි… බුද්ධ ශාසනයක් ලැබුණු මොහොතේවත් පිනක් කර ගන්න දන්නේ නෑනේ…” හොඳින් විමසා බලන්න, සැබැවින් ම ඔබට අවශ්‍ය වූයේ තමා ව ඉස්මතු කර දැක්වීමට නො වෙ ද කියා.

‘‘හොඳට පින් දහම් කරන කෙනා තමයි මෙලොව දී සතුටු වෙන්නෙ. පරලොව දීත් සතුටු වෙන්නෙ ඔහු ම යි. දෙලොව දී ම ඔහු සතුටු වෙනවා. මං ගොඩක් පින් කරගත්තා කියලා සතුටු වෙනවා. සුගතියේ ඉපදුණාට පස්සේ ගොඩක් සතුටු වෙනවා.”
(ධම්ම පදය )

භාග්‍යවතුන් වහන්සේගේ දහම තුළ සුගති රැකවරණය පිණිස පින පිළිබඳ ව දේශනා කොට වදාළ බව සැබවි. නමුදු එම උතුම් දහමෙහි කෙළවර අමෘතය බඳු වූ නිර්වාණය ම ය. එබැවින් පිරිසිදු ශ්‍රී සද්ධර්මය මුණ ගැසුන මේ මොහොතේ නුවණ හසුරුවමින් පින් රැස් කර ගැනීමට අප කල්පනාකාරී විය යුතු ය. එපමණක් ද නො ව එය ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට ඉවහල් කර ගැනීමට තරම් ප‍්‍රබල පිනක් බවට පත් කර ගත යුතු ය.

උතුම් මුනි දහමෙහි හැසිරීම වර්තමාන සමාජය තුළ දුෂ්කර කටයුත්තකි. පින ඒ සඳහා අත් වාරුවක් කරගත යුත්තේ එහෙයිනි. දුෂ්කර පර්වතයක් තරණය කිරීමට ශක්තිමත් අත් වැටක් අවශ්‍ය ය. නැතිනම් පර්වතය මුදුනට නැග ගන්නට නො ලැබෙනවා සේ ම ආපසු පෙර සිටි තැනට ම වැටෙන්නට ද ඉඩ ඇත. එසේ ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම වැනි දුෂ්කර ඉලක්කයක් කරා යාමට අපගේ පින ද ශක්තිමත් කර ගත යුතු ය. ඔබ බොහෝ දුෂ්කරතා මධ්‍යයේ වුව ද ළඟා කර ගන්නා පින තුළ ‘මම’ සෙවීම නතර කළ දින ඔබ ශක්තිමත් පිනක උරුමකරුවෙකු වනු ඇත.

අපගේ පෙර බොදු උපාසක පිරිස් නිරන්තරයෙන් තම ජීවිත පිනෙන් පුරවා ගැනීමට උපක‍්‍රමශීලී වූ බව පෙනේ. ඒ තුළ ගැබ්ව ඇත්තේ අහිංසකත්වයේ ඡායාවකි. ‘මම’ ඉස්මතු කිරිමේ වුවමනාවක් නො තිබු සේ ය. ඒ සෙවණැල්ලේ පහස අප ලද යුතු ම යුගය මෙය බව මට හැෙඟ්. එක් ගම් පියසක මා දුටු සුන්දර දසුනකි. එනම් ගෙවත්තෙහි පොල් ගස් කිහිපයක් වන අතර එක් ගසක ‘පින්’ කියා සටහන් කර තිබේ. එයට කියන්නේ ‘පින් පොල් ගස’ කියා ය. එහි එලදාව ගෙදර ප‍්‍රයෝජනයට නො ගන්නා අතර එම ගසට සත්කාර කරනුයේ ද එය පිනට වෙන් කළ ගසක් යන සිතිවිල්ල ඇතිව ය. දානයක් සකසන විට එයට පොල් සැපයෙන්නේ පින් පොල් ගසෙනි. ඇතැම් විට ගමේ විහාරස්ථානයේ අවශ්‍යතාවයකට මුදල් වුවමනා වු විට ගමේ සියලූ ම ගෙවතුවල ‘පින් පොල්’ කඩා විකුණා මුදල් ගෙන එ් සඳහා යොදවයි. කෙතරම් අහිංසක, අව්‍යාජ, සුපින්වත් වෑයමක් ද?
එ් නිවෙස්වල ම මුළුතැන්ගෙයි තිබු ‘මිටි හාල් මුට්ටිය’ පිළිබඳ ව සටහනක් නො තබා ම බැරි ය. සහල් ගැනීමට පෙර නෑඹිලියට ගත් හාල්වලින් මිටක් ගෙන හැම විට ම කුස්සියේ වෙනම තබා ඇති මුට්ටියකට දමයි. මෙය නමින් ‘මිටි හාල් මුට්ටිය’ වේ. මට සිහි වන්නේ බුදුරජාණන් වහන්සේ අපට සෑම විට ම ‘‘දන් දීම පිණිස සෝදා ගත් අත් ඇතිව සිටින්නට” දේශනා කළ බව ය. එකල අපේ මව්වරුන්ට වුවමනා වුයේ කාට හෝ පෙනෙන්නට යමක් දීමට නො ව, ප‍්‍රසිද්ධ වන්නට නො ව, නම කියවා ගන්නට ද නො ව, නිවසට ඉල්ලාගෙන පැමිණෙන කාට හෝ ‘‘නෑ.. බෑ..” නො කියා යමක් දෙන්නට ය. සැබවින් ම මොවුන් සෑමවිට ම දන් දීම සඳහා සෝදා ගත් අත් ඇතිව සිටියහ. අද අපට බොහෝ විට නිවසේ දොරකඩ ළඟට පැමිණෙන මෙවන් පින ද මග හැරී යන්නේ අපගේ සිත සුන්දර එකක් කර ගන්නට අප අපොහොසත් වීමේ ප‍්‍රථිඵලයක් වශයෙනි.

පිනක් කර ගන්නට ඉඩක් ලද මොහොතේ දී අන් අය හෙලා දකිමින් තමා ඉස්මතු කර පෙන්වීමෙන් අත් වෙන වාසියක් නම් නැත්තේ ම ය. ඉන් සිදු වන්නේ පින තව තවත් දුබල වීම ය. අන් අයගේ පින සුළු කොට සලකා පහතට හෙලා කතා කරන අප අපගේ පින ම ඉස්මතු කරමින් පෙන්වීමට කැමති නො වේ ද? අන් අයගේ ගුණ මකා දමන්නේ ද ඒ හේතුවෙනි.

ඛුද්දක නිකායට අයත් පේතවත්ථු-විමානවත්ථු නම් උතුම් ග‍්‍රන්ථ රත්නයේ එක් පේ‍්‍රතයෙක් තමාට සුන්දර සිරුරකුත්- ඌරකුගේ කටකුත් ලැබීම පිළිබඳ මෙසේ විස්තර කරයි.

‘‘මං කයින් සංවර වෙලා හිටියා.. නමුත් වචනයෙන් අසංවර වෙලයි හිටියේ. පින්වත් නාරද ස්වාමීන් වහන්ස, ඔබට පෙනෙන මේ ලස්සන පැහැපත් ශරීරය ලැබුණේ කයෙන් පින් කිරීම නිසයි. පින්වත් නාරද ස්වාමීන් වහන්ස, දැන් ඔබ වහන්සේ ම මේ ශරීරය දැක්ක නෙව, දැන් මං ඔබට කියන්නේ මේකයි. වචනයෙන් පවු විතරක් කර ගන්නෙපා. ඌරු කටක් නම් තියෙන කෙනෙක් වෙන්න එපා…”

අවබෝධයෙන් ම පින් රැස් කර ගන්නට තිබෙන අවස්ථාව මඟ හැරගෙන අනුන්ගේ ගුණ මකමින් අප අත් කර ගන්නට සැරසෙන්නේද මෙවන් ඉරණමක් ම මිස වෙන කුමක්ද?

නිරන්තරයෙන් අප අන්‍යන්ගේ ගුණ ම දැකීමට පුරුදු විය යුතු ය. දුතිය ආඝාතපටිවිනය සුත්‍රයේ දී සාරිපුත්තයන් වහන්සේ දේශනා කොට වදාළේ පාංශුකූල සිවුරු සකසා ගැනීමේ දී, ඉවත ලන රෙදි කැබලි අහුලාගෙන භාවිතයට ගත නො හැකි කොටස පයින් පාගා ඉවත් කර ප‍්‍රයෝජනවත් කොටස පමණක් ගන්නා සේ පුද්ගලයන්ගේ දුර්ගුණ නො සිතා ඔහු සතු යහපත් ගුණ ම සිහි කළ යුතු බවයි. මෙසේ සෑම විට ම ජීවිතයේ අංගයක් කොට සිතමින් අන්‍යන්ගේ ගුණ ම දැකීමට පුරුදු වන්නේ නම් අප කරන සෑම පිනක් ම සුපහන් සිතකින් යුතුව කරන පිනකි.

මුගලන් රහතන් වහන්සේ දෙව්ලොව චාරිකාවේ වඩින විට සුන්දර දිව්‍ය විමානයක් දැක එම දෙව්දුවගෙන් එහි උපන් පුණ්‍ය විපාකය විමසා සිටි කල්හි ඇය පවසා සිටියේ බුදුරජුන්ට පුර්වාරාමය කරවු ඇගේ යෙහෙළියගේ එම පින දැක සංතෝෂයට පත්ව ඒ පින අනුමෝදන් ව මරණින් මතු මෙවන් වු විපාක ලද බවයි.

ඇය එම අවස්ථාවේ තමන්ගේ හිත රැක ගැනීමෙන් ලැබු ප්‍රතිඵලය එයයි. අපට ද අන් අයගේ යහපත් කටයුතු දැක සංතෝෂයට පත් විය හැකි ය. එවිට අපට ද එම පිනෙහි සම විපාක ලැබෙන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ සේක.

මොහොතින් මොහොත ආයුෂ ගෙවී ගොස් අප ළං වනුයේ මරණයට ය. කෙස්, දත්, දිරාපත් වෙමින් පවති. හම රැළි වැටෙමින් පවතී, නොයෙක් ව්‍යාධීන් නමැති කුරුල්ලෝ මේ කයෙහි බිජු දමමින් පවතී. ජරා මරණ ඉදිරියේ මෙවන් වු අසරණ බවකට පත්ව සිටින අප අනුන්ගේ ගුණ මකමින් කරනුයේ කොතරම් විහිළුවක් ද?

අපගේ නම හඬ නගා කියන්නට වුවමනා නැත. අන් කිසිවෙක් දැන ගන්නට වුවමනා නැත. සියල්ලන්ට ම වඩා ඉහළින් ඉන්නට වුවමනා නැත. භයානක සසර ගමනක වැටී අසරණ ව සිටින අපට අවශ්‍ය වන්නේ සරණක් සලසා ගැනීම ය. කරන සෑම පිනක් ම එ් සඳහා උපකාර වේවා! යන අදහසින් ම පින් කරන්නේ නම් ඉහත කී සියල්ල පුහු දේ බවට ඔබ තුළින් ම පෙනී යන්නට පටන් ගනු ඇත.

සවන් සැනසෙන අමා දම් බිඳු
දිනෙන් දින සවනත වැකේවා..!
ඔබත් සුපසන් සිතක් ලැබගෙන
පිනෙන් සතුටුව නිවීයේවා..!

සටහන
ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ සංවර්ධන නිලධාරී
තේජා දිල්රුක්ෂි දයාරත්න