පසෙකින් සුන්දර වන පෙත් ය… සුන්දර මල් ගොමු ය… තවත් පසෙක සොඳුරු දිය ඇලි ය… අහිංසක වන සිවුපාවන් ය… වෙහෙර විහාරාදිය තවත් පසෙක ය… අප ජීවත් වන්නේ සැබවින්ම සොඳුරු ලෝකයක ය.

නමුත් අප ජීවත් වන ලෝකයෙහි සාධාරණත්වයක් නැති සෙයකි. සැමවිට ම ඔබ අසාධාරණත්වය ඉදිරියේ අසරණ භාවයට පත්වූ බවක් සිහිපත් නො වන්නේ ද? මෙලොව මිනිසෙක්ව ඉපිද අසාධාරණයට එරෙහිව නැගී නො සිටි අයෙක්, යුක්තිය ඉල්ලා නො සිටි අයෙක් වෙයි නම් එය සැබවින්ම පුදුමයකි. සත්මහල් ප‍්‍රාසාදයේ සිට වීදියේ යාචකයා දක්වා වු මුළු මහත් ලෝකය ම තම තමන්ගේ අයිතිවාසිකම් උදෙසා සටන් වදිති… ඇතැම්හු වීදි බසිති, පෙළපාලි යති, වැඩ වර්ජන කරති, උපවාස කරති.

ඔබත් ඔබේ ජීවිතයේ කුමන අවදියක දී හෝ මෙවන් අවස්ථාවකට සහභාගි වි තිබෙන්නට පුළුවන. එසේත් නැති නම් මෙසේ සිතන්න… ඔබ කුඩා අවදියේ අම්මාගේ අතේ එල්ලී ගමන් බිමන් යන විට ඔබ කැමති ම කෑමක් ඉල්ලා රණ්ඩු කළ හැටි…, එය නො ලැබුණ විට හඬා වැටුණ හැටි…, ඇතැම් විට මහා සෙනඟ මැද බිම පෙරලෙමින් ඔබ හඬන්නට ඇත. එය ඔබේ අතට පත් වනතුරු ම ඔබේ ඉල්ලීම නතර කරන්නට එදා ඔබ කැමති වුයේ නැත.

යොවුන් වියට පැමිණි ඔබ ඔබේ සහකරුවා හෝ සහකාරිය තම අභිමතය පරිදි තෝරාගෙන දෙමාපියන්ගෙන් අවසර නො ලැබුණ කල්හි නො කා, නො බී සිටි අයුරු මතක නම්…? හඬමින්, වැළපෙමින් ඔවුන්ට චෝදනා කළ අයුරු මතක නම්…?

විශ්ව විද්‍යාලයේ දී, කාර්යාලයේ දී කණ්ඩායම් වශයෙන් ඔබ ඔබේ ඉල්ලීම උදෙසා සටන් කළ අයුරු මතක නම්…?

ඇතැමෙක් තමාට අභිමත දේ නො ලැබී ගිය විට අවසාන වශයෙන් කරනුයේ ජීවිතය නසා ගන්නට කෝච්චියට පැනීම ය, ගඟක මුහුදක පැනීම ය, ගෙල වැළ ලා ගැනීම ය, වස පානය කිරීම ය, වෙඩි තබා ගැනීම ය, ගිනි තබා ගැනීම ය. මේ කුමක් සඳහා ද…? තමාගේ ජීවිතයට සාධාරණයක් ඉටු කිරීම සඳහා ය. ඔබ කිසි දිනෙක ඔබට අයුක්තියක් සිදු වනවාට කැමති නැත.

එ්.. මෙලොව තමා වැඩියෙන් ම ආදරය කරන පුද්ගලයා තමා ම වන නිසා ය.

ඇත්තෙන්ම අපගේ ජීවිතවලට එල්ල වී ඇති අසාධාරණයට එරෙහිව අප නැගී සිටිය යුතු ය, සටන් වැදිය යුතු ය, යුක්තිය ජය ගත යුතු ය. ඊට පෙර අප අපගේ ජීවිතයේ ඇති සැබෑ ම වු අසාධාරණය කුමක්දැයි හොඳින් අවබෝධ කර ගත යුතු ය. මන්ද සටන් වැදීමට පෙර සතුරා කවුරුන්දැයි හොඳින් හඳුනා නො ගතහොත් තමාට හිතවත් පිරිස ද තමා අතින් ම පහර කා නැසෙන්නා සේ පැහැදිලිව ම සටන් වැදිය යුත්තේ කුමකට එරෙහිව යන්න අප වටහා නො ගන්නා තාක් අපගේ කඩු පහරවල් වදිනුයේ අප ඉතා දුර්ලභව ලද වටිනා මිනිස් දිවියට එරෙහිව ම වීම නිසා ය.

පටන් ගැන්මක්, අවසානයක් නො පෙනෙන ඝෝර සසරක වැටී, අප අනන්ත අප‍්‍රමාණ වු දුක් විඳිමු. විටෙක සෙම, සොටු ආහාර වශයෙන් ගන්නට සිදු වේ, විටෙක තණකොළ, පුන්නක්කු ආදිය ආහාරයට ගන්නට සිදු වේ. රස බොජුන් ආහාර වශයෙන් ලැබෙන්නේ කල්ප ගණනකට පසුව ය. මීටත් වඩා අසාධාරණයක් අපට තිබෙනවා යැයි ඔබ සිතනවා ද? තුන් ලොවක් නිවා සනසන්නට මෙලොවට පහළ වු බුදු ඇසටත් මේ ලෝක සත්වයා ගමන් කරන සසරෙහි පටන් ගත් ස්ථානයක් නො පෙනුණ කල්හි වීරිය ගත යුත්තේ මෙතරම් ම දීර්ඝ වු සසරින් එතෙර වීමට නො වේ ද?

ඇතැමෙක් වැළලී ගිය මිනී වළවල් යළි හාරමින්, ඇට කටු ගොඩ ගනිමින් එ් මිය ගිය පුද්ගලයාට පවා යුක්තිය ඉටු කිරීමට යයි සිතා වෙහෙසෙයි. මිය යාමට හේතු සාධක සොයයි. ඇට කටු ද දිරා ගොස් ය. එනමුදු කුඩා ඇට කැබලි හෝ පරීක්ෂණාගාරවලට යවා මරණයට හේතු සොයයි. එ් සාධරණය ඉටු කරන්නට සිතාගෙන ය.

දෙව් මිනිස් සත්වයන් වෙනුවෙන් සැබෑ ම සාධාරණය ඉටු කළ විමුක්තිදායකයාණන් වහන්සේ නම් අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ම ය. උන්වහන්සේ ඉපදීමට, මරණයට හේතුව සොයා ගත්තා පමණක් නොව, ඉපදීමෙන් මරණයෙන් නිදහස් වන අයුරු ද පිරිසිඳ දැක ගත්හ.

මේ ලෝක සත්වයා දුක් විඳින බව උන්වහන්සේ අවබෝධ කර ගත් සේක, දුකට හේතුව වු තණ්හාව ප‍්‍රහාණය කළ සේක, දුකෙහි නිරෝධය සාක්ෂාත් කළ සේක. දුක නැති කිරීමෙහි මඟ නම් වු ආර්ය අෂ්ටාංගික මාර්ගය ප‍්‍රගුණ කළ සේක. එසේ ම උන්වහන්සේ මේ ගම්භීර වූ චතුරාර්ය සත්‍ය ධර්මය මුළු මහත් ලෝකයට ම දේශනා කර තිබියදීත්, එ් උතුම් දහම රතු පලසක් මැද වු නීල මාණික්‍යක් සේ දිදුලමින් පවතිද්දීත් අන්ධයන්, බාලයන් සේ අප බාහිර ලෝකයෙන් ඉල්ලා සිටින්නේ මොනවා ද?

මොහොතක් සිතන්න… මතක ද ඔබට, ඔබ තදින් ම අසනීප වුණු දිනය…? ඔබට කිසිවක් කන්නට බැරි ය, ඔබේ ආදරණීයයන් ඔබ අසලට පැමිණ මොනවා හෝ කවන්නට, පොවන්නට වෙහෙසෙයි. නමුත් ඔබට කිසිවක් කන්නට බැරි ය, ඔබ වැසිකිළි කැසිකිළි කරන්නට පවා ගියේ කාගේ හෝ අතක එල්ලීගෙන ය. ඔබ ආදරයෙන් රැක බලා ගත්, කැමති කැමති දේ කවා පොවා, සුවඳ විලවුන් ගල්වා කිසිදු අඩුපාඩුවක් නො කර ආදරයෙන් සැලකූ, ඔබගේ යයි සිතා සිටි ඔබේ කය ම ඔබට අවශ්‍ය ආකාරයට පවත්වාගන්නට නො හැකි වු දිනයක් පැමිණි බව එදින ඔබට සිතුණා ද? ලෝකයේ ඇති සියලූ දේ දිනා ගැනීමට වෙහෙසෙද්දී ඔබගේ ම යැයි සැලකූ එ් කය ම ඔබට එරෙහිව නැගි සිටියා නො වේ ද? එසේ නම් අප බාහිර ලෝකයෙන් කුමක් අපේක්ෂා කරන්න ද?

අප සරණ ගිය එ් ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ‘ලෝකය’ වශයෙන් ගෙන හැර දැක්වූයේ මේ බඹයක් තරම් වු ‘කය’ ම ය. අවබෝධ කරන්නට යයි වදාළේ මේ කය ම ය. නිදහස් වන්නට යයි දේශනා කොට වදාළේ ද මේ ශරීරයෙන් ම ය.

මේ ජීවිතය නම් ඇස නම් වු ඉන්ද්‍රියේත්, කන නම් වු…, නාසය… දිව… කය… මනස… නම් වු ඉන්ද්‍රියන්ගේත් ක‍්‍රියාකාරීත්වයකි. ඔබ විටෙක දිගැසිය ලෙස නම් ලබයි. එ් ඔබේ ‘ඇස’ නිසා ය. ඇතැමෙක් මුවැත්තිය කියා ද… තවකෙක් කිඳුරිය කියා ද වර්ණනා කළේ ඔබේ සොඳුරු ‘ඇස’ නිසා ය. නමුත් මෙතුවක් කාලයක් සතර අපායත් මහ ගෙදර කොට ගත් සසරෙහි ඔබව රැුගෙන ආවේ ද මේ ඇස ම ය. එසේ නම් මෙලොව ඔබට ලොකු ම අසාධාරණය කර ඇත්තේ මේ ‘ඇසයි’. ඔබ නැවතත් මේ ඇස ම පතනවා ද? කැමති කැමති දෙය දකිමින්, එ් එ් රූප සතුටින් පිළිගනිමින්, නිමිති – අනු නිමිති ගනිමින්, මනසිකාර කරමින්, එ් තුළ බැස ගනිමින් ඇස ඔබ වෙනුවෙන් කළේ සුළුපටු අයුක්තියක් නම් නො වේ.

ඔබ බුද්ධිමත් නම් ඔබ ඇසෙන් නිදහස් වීමට තීරණය කරනු නො අනුමාන ය. ඇසෙන් නිදහස් වීමට නම් ඇස අවබෝධ කළ යුතු ය. රෝගියෙකු හඳුනාගැනීමට වෙදැදුරෙකු මනා කොට රෝගියා පරීක්ෂා කරන්නා සේ, මෝටර් රථයේ දෝෂයක් හඳුනා ගැනීමට මෝටර් රථ කාර්මිකයා එය හොඳින් පිරික්සන්නා සේ, ඇස අවබෝධ කිරීමට නම් ධර්මයට අනුව ම එහි හට ගැනීම, පැවැත්ම, නැතිවීම හොඳින් ‘දැන ගත යුතු ය’. ඉන් පසු නුවණින් විමසා එය ‘දැක ගත යුතු ය’.

අපගේ බුදුරජාණන් වහන්සේ යථාර්ථය අවබෝධ කිරීමේ මෙහෙයුමට මඟ දේශනා කොට වදාළ සේක. තම ශ‍්‍රාවකයන් මනා කොට හික්මවූ සේක.

‘‘පින්වත් භික්ෂුව එන්න, ඔබ දැන් ඇස, කන් ආදි ඉන්ද්‍රියන් රැුකගන්නට ඕන. ඇසින් රූපයක් දැක්කට පස්සේ එ් ඇස අසංවර වෙලා තිබුණොත්, ආශාව, තරහ ආදි අකුසල ධර්ම ඇති වෙනවා. අන්න එබඳු අකුසල් ඇතිවෙන කිසි සටහනක් ගන්න එපා. එ් සටහනක කොටසක්වත් ගන්න එපා. අකුසල ධර්ම ඇති වෙන්න ඉඩ නො දී ඇස රැකගන්න… ඇස හොඳින් සංවර කරගන්න.”
(ගණක මොග්ගල්ලාන සූත‍්‍රය – ම. නි.)

කන, නාසය, දිව, කය, මනස යන ඉන්ද්‍රියන් ද ඇසෙහි නිවුන් සහෝදරයන් සේ ය. ඊටත් වඩා සමාන ය. එම ඉන්ද්‍රියන් මඟින් සිදු වන්නේ ද භවයක් සකස් වීමට අවශ්‍ය කාරණා සකස් කරමින් අප සසරෙහි ම රඳවා ගැනීම ය. බුදුරජාණන් වහන්සේ නමකගේ බුද්ධ ශාසනයක් පවත්නා යුගයක ඉපිද එ් ධර්මය ශ‍්‍රවණය කරන්නට වාසනාව ලද්දවුන් වශයෙන් අප වහ වහා උත්සුක විය යුත්තේ මේ සියල්ලෙන් නිදහස් වීමට ය.

මගේ යයි සිතා සිටින ඇස, කන, නාසය ආදි ඉන්ද්‍රියන් පවා මගේ වසඟයේ තබ ගන්නට බැරි කල අප මුළු ලෝකය ම අපට රිසි අයුරින් පවත්වන්නට උත්සාහ දැරීම කෙතරම් අරුත් සුන් දෙයක් ද? එකල බුදුරජාණන් වහන්සේගේ සැබෑ ශ‍්‍රාවකයෝ මෙය අවබෝධයෙන් දැන සිටියහ. ඔවුහු බාහිර ලෝකයෙන් සරණක් අපේක්‍ෂා නො කළහ.

බිම්බිසාර රජු අනේක දුක් විඳිමින් සිර කුටියට වැදී සිටිය දී කිසිවෙකුගෙන් උදව්වක්, පිළිසරණක් බලාපොරොත්තු නො වූයේ ය. තමාගේ ම රුධිරයෙන් උපන් දරුවා තමාට හිරිහැර කරද්දී ද කිසිවෙකුට චෝදනා නො කළේ ය. තමාව දූපතක් කොට ගෙන මරණින් මතු සුගතිගාමී වුයේ ය.

සාමාවතී කුමරිය ඇතුළු පන්සියයක් පිරිස නිකරුනේ ගින්නෙන් දැවෙද්දී ද කිසිවෙකුටත් චෝදනා නො කළහ. ධර්මය ම පිළිසරණ කොට ගෙන සසර ගමනට රැකවරණයක් සලසා ගත්හ.

බුදු සමිඳු දෙසූ එ් උතුම් ධර්මස්කන්ධය තවමත් විවෘතව තිබෙන කල්හි, ජීවිතයේ සැබෑ ම අසාධාරණය කුමක් දැයි තේරුම් ගන්නට නුවණ තිබිය දී පමා වන්නට තවත් කාරණාවක් තිබේ ද?

කෑම බීම ටිකක් වෙනුවෙන්, ඇඳුම් කෑල්ලක් වෙනුවෙන්, කලින් කලට වෙනස් වෙන මිල මුදල් වෙනුවෙන් සටන් කරමින් නිකරුනේ කාලය ගෙවා දමනවා ද? ලද ක්‍ෂණ සම්පත්තිය අහිමිව යන්නට පෙර අසාධාරණ සසරින් නිදහස් වනවා ද? තීරණය බුද්ධිමත් ඔබ සතු ය.

සටහන
ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ සංවර්ධන නිලධාරීනී
තේජා දිල්රුක්ෂි දයාරත්න