ආමිස පූජාවෙන් ද ප‍්‍රතිපත්ති පූජාවෙන් ද ලොව පිදුම් ලබන උත්තම මුනිදාණෝ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ම ය. එවන් පූජාවන්ගෙන් අග‍්‍ර වූ පින්ඵල නෙළාගැනීමට තරම් භාග්‍යවන්ත වන්නේ ඒ සමිඳුන් සරණ ගිය ශ‍්‍රාවකයන් ම ය.

සැදැහැ සිත් උපදවා ගෙන ගෞරවයෙන් කරන පූජාවන්ගේ ආනිසංස අපට කියන්නේ දෙව් සැප විඳින දෙවිවරුන් ය. විටක ඔවුන් පූජා කළේ එක කැවුමක් පමණි. තවත් විටක එක් උක් ගසක් පමණි. මහත් සැප ඇති, මහත් බල ඇති දිව්‍ය ආනුභාවයන් ලබන්නට තරම් ඒ පින මෝරා ගියේ කළ පූජාවත් සමඟ සිතේ පැහැදීමත් එක්වූ නිසා ම යි.

අග‍්‍ර වූ පිනක් කරන්නට අවස්ථාව උදාවන්නේ ද ඉතා කලාතුරකිනි. කල්ප සියයක් ඇතුළතත් බුද්ධ ශාසන අපට හමුවන්නේ අවස්ථා හතක දී පමණි. බුදු සසුනක දී ම මිස අබුද්ධෝත්පාද කාලයක අග‍්‍ර වූ පින්ඵල නෙළන්නට නො හැකි ය. බුද්ධ ශාසනයක් නැති විට තෙරුවන ගැන අසන්නට ලැබෙන්නේ ද නැත. තෙරුවන ගැන අසන්නටවත් නැති කලෙක අග‍්‍ර වූ පින් කෙසේ නම් රැස් කරන්න ද?

භාග්‍යවතුන් වහන්සේ වදාළේ ජීවමාන සම්බුදු රජුන්ට කරන පූජාවක් සේ සලකා කරන පූජාවන්ගේ සමවිපාක ඇති බවයි. කාලයකට සීමා වූ ධර්මයක් නො වන නිසා ඒ කරුණ මේ මොහොතටත්, අනාගතයටත් එපරිද්දෙන් ම වලංගු වේ. ඒ ලෙසට ම බුදුරජුන් ප‍්‍රමුඛ ආර්ය මහා සඟරුවනට දෙන දානය ද මහත්ඵල ය, මහානිසංස ය.

විකාල භෝජනයෙන් වැළකී දිවිහිමියෙන් සිල් රැකගෙන වාසය කරනා තථාගත ශ‍්‍රාවකයන් උදෙසා කළ හැකි සංඝෝපස්ථාන ම ය පූජාවෙකි, ගිලන්පස පූජාව. භාග්‍යවතුන් වහන්සේ විසින් ම අනුදැන වදාළ අෂ්ටපාන පූජාවන් ගැන අප අසා ඇත. මේ පානයන් අට ගැනත්, ගිලන්පස වශයෙන් සකසා ගත හැකි අනෙකුත් පානයන් ගැනත් සඳහන් වන්නේ විනය පිටකයට අයත් මහාවග්ග පාළිය නම් උතුම් ග‍්‍රන්ථයේ ය.

අපගේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතා මේ අයුරින් ඒ පිළිබඳ වදාළ සේක.

‘‘මහණෙනි, අඹ පැන්, දඹ පැන්, ඇටකෙසෙල් පැන්, මස්කෙසෙල් පැන්, මී පැන්, මිදි පැන්, ඕලූ පැන්, බොරලූදමුනු පැන් යන අටවැදෑරුම් පැන් අනුදනිමි. මහණෙනි, ධාන්‍ය ඵලරසය හැර සියලූ ඵලරස අනුදනිමි. මහණෙනි, පිසූ පලා කොළ රසය හැර දිය හා මුසුකොට මිරිකාගත් සියලූ කොළ රස අනුදනිමි. මහණෙනි, මීපුප්රසය හැර සියලූ මල්රස අනුදනිමි. මහණෙනි, උක්රසය (උක්ඉස්ම) අනුදනිමි”

එසේ නම් යම්තාක් පලතුරු ඇත් ද ඒ සියලූ පලතුරු යුෂදිය හා මුසුකර බුදුරජුන්ට පූජා කරගැනීමට අපට හැකියාව ඇත. ගිලන්පස, පූජා කිරීම සඳහා පහසුවෙන් හා ක්ෂණිකව සාදාගත නමුත් ගිලන්පස සැකසීමේ දී සැලකිය යුතු කාරණා කිහිපයක් ම ඇත.

පානය සකසන්නේ මිනිස් සමාජයේ වෙසෙනා අග‍්‍ර වූ පිරිස වන තථාගතයන් වහන්සේ ප‍්‍රමුඛ ආර්ය මහා සඟරුවන උදෙසා බැවින් පිරිසිදුකම ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතු වේ. ගිලන්පස සකසන ස්ථානයෙහි උඩුවියන් බැඳ තිබීම යහපත් ය. පානය සකසන පිරිස බුදුගුණ මෙනෙහි කරමින් වැඩයෙහි නිරත වීම පානය මනා ලෙසත්, ගෞරවාන්විත ලෙසත් සකසා ගැනීමට උදව් වේ. බොහෝ පලතුරු කෘත‍්‍රිම ව ඉදවීම වර්තමානයේ බහුල ව සිදුවන බැවින් ස්වාභාවිකව ඉදුන නැවුම් පලතුරු තෝරා ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතු වේ. පානය සැකසීමට යොදා ගන්නා ජලය උතුරවා නිවා ගැනීමෙන් අනතුරු ව පෙරා භාවිතය සුදුසු ය. අවශ්‍ය පමණට සීනි සහ ලූණු යොදා ගැනීමෙන් පසු පලතුරුවල කෙඳි ආදි කැබලි සහිත දේ ඉවත්වීම පිණිස නැවත පෙරාගත යුතු වේ. විශේෂයෙන් ම විකාලයේ දීත් පූජාවන බැවින් පානයේ කැබලි මුසු නො වීමට අතිශය විමසිලිමත් විය යුතු ය. වර්තමානයේ පරිභෝජනයට ඇති ආහාරයන්ගේ ගුණාත්මක බව පහළ ගොස් ඇති බැවින් ගුණාත්මක අතින් උසස් පලතුරු හා කොළ යුෂ තෝරා ගැනීම සුදුසු වේ. පානය සකසා ගැනීමෙන් අනතුරු ව ප‍්‍රසන්න වූ රසයක් තිබේදැයි පරීක්ෂා කිරීම වටී. එයින් ගිලන්පස ඉඳුල් නො වේ.

මුල සිට ම මසුරු මල දුරුකරමින් ඉතා ශ‍්‍රද්ධාවෙන් යුතු ව අප විසින් සකසා ගන්නට යෙදුණ ගිලන්පස පූජාකරගන්නා මොහොතේ දීත් එ් සිත එ් ආකාරයෙන් ම රැුක ගත ය. ලස්සන මල්කරුවෙක් ලස්සන ලස්සන මල් නෙළන්නා සේ ගෞතම බුදු සසුන තුළ අප විසින් කරන්නා වූ ආමිස පූජාවන් අතරට අෂ්ටපාන සහිත ගිලන්පස පූජාවෙන් ද පින් රැුස්කර ගෙන, ධර්මාවබෝධය පිණිස ම එ් පිනත් උපකාරී වේවා!යි අපි ප‍්‍රාර්ථනා කරමු.

– නදී –