මඟ හරින්නට අසීරු උපද්‍රව ළඟා වීම අප ජීවිතවල නො වැළැක්විය හැකි අංගයකි. බොහෝ ඒවා අප පෙර භවයන්හි දී රැුස් කරන ලද කර්මයන්ගේ විපාක ලෙස අප කරා එනු ඇත. ඇතැම් පුද්ගලයන් හඹාගෙන අවුත් අපට සතුරුකම් කළ කාල වකවානු නිසා අප දැඩි පීඩාවන්ට පත්වී සිටිය බව ඔබට සිහි ගැන්විය හැකි ය. කිසිදු හේතුවක් නොමැති ව වෛර බැඳගෙන ඔබ පසුපස හිරිහැර කරමින් හඹන සතුරන් මේ මොහොත වනවිටත් ඔබට සිටින්නට පුළුවන. ඇතැම් විට එකම පවුලේ ඉපදී, එකට හැදී වැඩුණු, ලොකු මහත් වූ සහෝදර සහෝදරියන්, ඥාතීන් පෙර පතාගෙන ආ වෛරක්කාරයන් ලෙස හැසිරෙන අවස්ථා අපට නුපුරුදු ඒවා නො වේ. පාරමී පිරූ අපගේ මහ බෝසතුන් පසුපස ලූහු බඳිමින් පැමිණ, සම්බුද්ධත්වයට පත් වූ අවසන් භවයේ දී පවා අප භාග්‍යවතුන් වහන්සේට නා නා විධ සතුරුකම් කරන්නට ගිහි ව සිටිය දී මස්සිනා වූ දේවදත්ත වෙර දැරූ ආකාරය සම්බුද්ධ චරිතයෙන් දැක ගත හැකි ය. හඹාගෙන එන සතුරන් හඳුනාගෙන, ඔවුන් ඉදිරියේ අමාරුවේ නො වැටෙන්නට නම් අප සිහිබුද්ධිය මෙහෙයවාගෙන ඉවසීමේ ප‍්‍රතිපදාව පුරුදු කිරීමට අවශ්‍ය වේ.

ගොඩ නැගෙන පවුල
කරුණාවන්ත බන්ධනාගාර නිලධාරීන්ගේ අවසරය ඇති ව අද මා හමු වන්නේ මේ වනවිටත් යන්තම් අවුරුදු තිහක් වයසැති ප‍්‍රසන්න තරුණයෙකි. අවාසනාවක් ද? වාසනාවක් ද? ඔහු හිරගෙදර සිටින්නේ තනිව ම නො වේ. ඒ බන්ධනාගාරයේ එකම වාට්ටුවේ වෙනත් කාමරයක ඔහුගේ පියා විලියම් ද හිරබත් කන නිසයි. තාත්තාත්, පුතාත් දිනපතා එක ම හිරගෙදර එක ම වාට්ටුවේ හිඳ හමු වුණත්, කථා බහ කරන්නට ඉඩක් ලබා ගත්තත් අත් විඳින්නේ මහා දුක් කරදර රාශියකි. රටට ජාතියට සේවාවක් කරමින් පවුලක් තුළ සතුටින් ජීවත් විය යුතු ව තිබුණ, එහෙත් එකොළොස් අවුරුදු බරපතළ සිර දඬුවමක් අත්විඳින මේ තරුණයා නිශාන්ත ය. අක්කලා තුන් දෙනෙකු සහ නංගිලා තුන් දෙනෙකු අතර වූ පවුලේ එකම පිරිමි දරුවා නිශාන්ත විය. දවස පුරා ඇඟ පත වෙහෙසා මේසන් වැඩ කොට උපයා ගත් සොච්චම නව දෙනෙකුගෙන් යුත් පවුල රැක ගන්නටවත් ප‍්‍රමාණවත් නො වුණි.

නිශාන්ත පාසලට ආයුබෝවන් කියයි
පිය උරුමයෙන් විලියම්ලාට අයිති වී ආ අක්කර කාලක් තරම් ඉඩමේ පවුල් තුනක් ගෙවල් තුනක් තනාගෙන ජීවත් වූහ. අනෙක් නිවෙස් දෙකෙහි ජීවත් වුණේ විලියම්ගේ මල්ලී සහ නංගී ය. මේ පවුල් තුන ආදර්ශවත් ලෙස සමගියෙන් කල් ගෙවූහ. අවුල් වියවුල් කිසිවක් නො වී ය. ගමේ පාසලේ ඉගෙන ගන්නා නිශාන්ත පාසල් හැර කෙළින් ම යන්නේ යාබද ව තිබූ නැන්දාගේ ගෙදරටයි. එක අතකින් ඉගෙනීමට දක්ෂකමක් නොමැති වීම නිසා නිශාන්තට පාසල් අධ්‍යාපනය එතරම් සිත් ගන්නා සුළු එකක් නො වී ය. අනෙක් අතට තාත්තාගේ පවුල් බරින් කොටසකට උර දෙන්නට සිතූ නිශාන්ත නව වැනි පන්තියේ දී පාසැලට ආයුබෝවන් කියා තාත්තා සමග මේසන් වැඩ ඉගෙන ගන්නට ගියේ ය. දැතේ වැඩට දක්ෂකම් පෑ නිශාන්ත කොලූවා ඉතා ඉක්මණින් හොඳින් වැඩ දන්නා මේසන් බාස් උන්නැහේ කෙනෙකු විය. තාත්තා සහ පුතා තම වෘත්තීය ගමන් මඟ වෙනස් කළේ එතෙක් කළ කුලී මේසන් වැඩ නවත්වා මේසන් කොන්ත‍්‍රාත් ගන්නට පටන් ගැනීමෙනි. ක‍්‍රමයෙන් පවුලේ ආර්ථිකය වැඩි දියුණු වූ අතර ගෙදර සතුට ද මතු වී එන්නට විය. කුඩාවට තිබුණ ගේ දොර වැඩි දියුණු කොට ප‍්‍රියමනාප නිවසක් තනා ගන්නට ද ඔවුන්ට හැකි විය.

චාන්දනීගේ අමන තීන්දුව
වැඩි දවසක් ගෙවුණේ නැත. ගෙදර අර්බුදයක් පැන නැගුණේ නිශාන්තට ළඟ ම වැඩිමහල් සොහොයුරිය චාන්දනී යාබද ගමේ පදිංචි සමන්ත නම් තරුණයෙකු සමග පේ‍්‍රම සම්බන්ධයක් ඇති කරගෙන බව ගෙදරට ආරංචි වීමෙනි. සමන්ත හැඩරුව ඇති අක්කා සමග මිතුරු වූයේ ඇය පාසල් යද්දී ම ය. සමන්ත කල්ක‍්‍රියාවෙන් අයහපත් පුද්ගලයෙකු බව දන්නා විලියම් සහ බිරිය තම දියණියගේ පෙම් සබඳතාවයට බලවත් සේ විරුද්ධ වූහ. ඒ වනවිටත් සමන්ත මිනීමැරුම් නඩුවක සැකකරු වී රිමාන්ඞ් භාරයේ සිට ඇප පිට පැමිණ සිටි කෙනෙකි. මත්පැන්, දුම්වැටි මෙන් ම මත්ද්‍රව්‍ය ද පාවිච්චි කළ ඔහු හැම දුෂ්චරිතයක ම නියැළුණු කෙනෙකු ලෙස ගම් ප‍්‍රදේශයේ කවුරුත් දැන සිටියහ. පෙමින් අන්ධ වූ නිශාන්තගේ අක්කා දාසය හැවිරිදි වියේ දී ම සමන්ත සමග පැන ගියා ය. දින ගණනක් ආගිය තැනක් නැති ව සිට මාසයකට පමණ පසු ව ගම කිට්ටුවට පැමිණ සිටි ඔවුන් අල්ලා ගැනීමට වැඩිහිටියෝ සමත් වූහ. වෙනත් කළ හැකි දෙයක් නො වූයෙන් ළාබාල දියණිය සමන්තට නීතියෙන් විවාහ කර දුන් අතර අලූත් ජෝඩුව සමන්තගේ ගෙදර පදිංචියට ගියහ. වැඩි කලක් නො ගොස් ම සමන්තගේ ගෙදර චාන්දනීට ප‍්‍රියමනාප ස්ථානයක් නො වූයේ සමන්තගේ මවගේ වෙනස්කම් නිසා ය. ළාබාල වියේ දී ම චාන්දනී ගැබ්බර වූ අතර දරා ගැනීමට අපහසු වූ ඒ අත්දැකීම අතරේ ඇයට සමන්තගෙන් ද ගුටි බැට එල්ල විය.

අවුලෙන් අවුල
‘වැලට ගෙඩිය බරක් නො වේ ය’ කියූ විලියම් තමන්ගේ දියණිය ගෙදරට ගෙන්වා ගත්ත ද ඇය සමඟ ආ සමන්ත තවත් ගැහැනු දරුවන් පස් දෙනෙකු ඉන්නා තම නිවසේ තබා ගැනීමට ඔහුගේ වැඩි සතුටක් නො වී ය. මහ ගෙදරට ටිකක් කිට්ටුව ඉඩමේ පහළට වෙන්නට පොඩි කාමරයක් සහිත ගෙයක් තනා, ඇයත් සමන්තත් එහි පදිංචි කෙරිණි. සමන්තගේ ආවේණික ගති ලක්ෂණ ඉස්මතු වන්නට පටන් ගැනුණි. දිනපතා ම මත්පැන් පමණක් නො ව මත්ද්‍රව්‍ය ද පාවිච්චි කොට ගෙදර එන සමන්ත ගැබිණියක වූ චාන්දනීට නොයෙකුත් වද හිංසා කරන්නට පටන් ගත්තේ ය. චාන්දනී සිටියේ හැඬූ කඳුළෙනි. මෙය විලියම්ටත්, පවුලේ සෙසු සාමාජිකයන්ටත් බරපතළ ප‍්‍රශ්නයක් විය. තම දියණියට ඇණුම් බැණුම් මෙන් ම කෙස් වැටියෙන් ඇද බිම දමාගෙන පහර දෙනවා දකින විට විලියම්ලා ඇඬූ කඳුළෙන් කීවේ ‘‘අනේ දුවේ හිතුවක්කාරකමට උඹ කරගත්ත දේ” කියා ය.
චාන්දනීට ද ජීවිතය තිත්ත වුවත් ඉවසා සිටියේ ලැබෙන්නට සිටි දරුවා පිළිබඳ ව පුංචිකමට තබා තිබුණු බලාපොරොත්තු නිසා ය. සිඟිති පුතෙකු ද ලැබුණි. ඒ හරහාවත් සමන්ත හොඳ මිනිසෙකු බවට පත් කරගන්නට විලියම් වෑයම් කළේ ය. තමන්ගේ ගෙදරට අඩුපාඩු තිබුණත් දුවගේ ගෙදරට හාල් පොල් ටිකක් දිනපතා ගෙනැවිත් දීමට අමතක නො කළ විලියම් තම බෑණා තමා වෙත අවනත පුද්ගලයෙකු බවට පත් කරගැනීමේ චේතනාවෙන් දුම්වැටි දෙකක් සාක්කුවේ දමාගෙන ඇවිත් හොර රහසේ දීමට ද පුරුදු වී සිටියේ ය. සිහි කල්පනාවෙන් සිටින විට කරදරයක් නැතත් සමන්ත මත්පැන් පානය කළවිට හැසිරෙන්නේ තිරිසනෙකු මෙන් ය.

නරකෙහි හොඳක් නැත
මේ අතර සමන්තගේ අම්මා තමාට විවාහක දරුවන් සිටිය දී වුවත් සැමියා අත් හැර දමා වෙනත් පුරුෂයෙකු සමග දීග කන්නට වූවා ය. කළ වරදෙහි ආදීනව වැඩි වැඩියෙන් මතු වන්නට වූයේ සමන්තගේ එක ම නැගණිය අජන්තාට අලූත් බාප්පාගෙන් අතවර වන්නට පටන් ගැනීම නිසා ය. වරදක ඍජු විපාක මෙන් ම අතුරු විපාක ද පුද්ගලයන් පෙළන බවට මෙය හොඳ ම නිදසුනකි. මේ ගැන සමන්තගේ මව විලියම්ට ඇඬූ කඳුළින් කියූ විට ඔහුගේ සිත උණු විය. ‘‘මට තවත් කෙල්ලෝ පස් දෙනෙක් ඉන්නවා. අජන්තා මට වැඩියක් නැහැ. මෙහෙ එවන්න.” යැයි විලියම්ගෙන් විසඳුමක් ලැබුණි. අජන්තා විලියම්ගේ මහ ගෙදර වාසයට පැමිණියා ය.

මෙල්ල නො වූ සමන්ත
දරු පැටියා ටික ටික වැඩෙද්දී සමන්ත දවල් කාලයේ සිකියුරිටි රැකියාවක් ලබා ගත්තේ ය. හැන්දැවට වැඩ ඇරී ඔහු ගෙදර එන්නේ කටගොන්නක් බීගෙන ය. මේ වනවිට තත්ත්වය වඩාත් බැරෑරුම් අතට පෙරළී තිබුණේ සමන්ත තම ගොරහැඩි බව ගෙදරින් පිටතටත් පතුරන්නට වීම නිසා ය. අහල පහළ අය සමග ද සණ්ඩු සරුවල් කරන්නට පටන් ගත් සමන්තගෙන් විලියම්ටත්, පවුලේ අයටත් මහත් හිරිහැර ගෙන දෙන්නට විය. වරෙක නිශාන්තගේ අම්මාට ආයුධයකින් කරන ලද පහර දීමක් නිසා ඇය දින ගණනක් රෝහල්ගත වී සිටියා ය. දැඩි නීති ක‍්‍රියාමාර්ගයක් නො ගෙන ඔවුන් එය ඉවසා දරා ගත්තේ තම දියණිය චාන්දනී ගැන සිතා ය.

බේරෙන්නට බැරි විය
2002 වර්ෂයේ එක්තරා දිනයක අරක්කු, ගංජා ආදි මත්ද්‍රව්‍ය පානය කොට ගෙදර පැමිණි සමන්ත මුලින් ම කෙස්වැටියෙන් අල්ලා බිම ඇදගෙන ගියේ ඔහුගේ බිරියයි. ඒ ගැන ලතෝනි දී කෑ ගැසූ ඇගේ අම්මා දෙසට හැරුණු සමන්ත පොල්ලක් අමෝරා ගෙන ආවේ යක්ෂයෙකු පරිද්දෙනි. සමන්තගේ නිවසත්, විලියම්ගේ නිවසත් අතර පොල් ගසක් යට මහා කෝලාහලයකි. අසරණ වූ චාන්දනීට විලාප දෙනවා විනා කරගත හැකි කිසිවක් නො වී ය. ඉන්පසු මරු විකාරයෙන් මෙන් සමන්ත හැරුණේ විලියම් දෙසට ය.

පරුෂ වචනයෙන් බැණ වදිමින් මාමණ්ඩිය පසු පස ලූහුබැඳ ගිය සමන්ත නැවතුණේ විලියම්ගේ ඉස්තෝප්පුවේ ය. වෙරිමරගාතේ උදලූ මිටක් වනමින් පැමිණි සමන්ත මෙල්ල කොට තල්ලූ කර දැමීමට විලියම් සමත් වුවත් ඔහු ඉන් වැළකුණේ නැත. විලියම්ගේ ඇෙඟ් එල්ලූණු සමන්ත ඔහු සමඟ පොර බදා බිම හෙළුවේ ය. යට වූ විලියම්ගේ ඇඟ උඩ හිඳ ගත් සමන්ත ඔහුගේ ගෙල මිරිකන්නට පටන් ගත්තේ ය. මේ මහා කාලගෝට්ටිය ඇසුණු, ඉඩමේ ම නිවසක පදිංචි ව සිටි විලියම්ගේ මල්ලී දිව එද්දී තම සහෝදරයා මරණය අභිමුඛ ව සිටින බව වටහා ගත්තේ ය. නිශාන්ත කියන ආකාරයට අසල තිබුණු උදලූ මිට අමෝරා ඔහුගේ බාප්පා සමන්තට ගසා ඇත. හිසට වැදුණු පොලූ පහර නිසා සමන්ත මැරී වැටී ඇත. කිසිවක් කර කියා ගත නො හැකි ව මේ සියල්ල නො සන්සුන් ව බලා සිටියේ ඒ වනවිට නිවසේ නවාතැන් ගෙන සිටි සමන්තගේ සොයුරිය අජන්තා ය. සෙසු සියලූ දෙනා පවුලේ ඇතුළත සාමාජිකයන් ය.

සාක්ෂියක බලගතුකම
අජන්තාගේ සාක්ෂිය මෙම අපරාධය පිළිබඳ නඩුවේ දී බලගතු ම සාක්ෂිය විය. නිශාන්ත දිවුර දිවුරා මට කියූ ආකාරයට තමා ඒ වනවිට වැඩට ගොස් ය. නිවසේ සිටියේ ද නැත. එය සත්‍යය නම් ඔහු මේ කිසිවක් ගැන නො දන්නා අහිංසකයෙකි. සියලූ සාක්ෂි අභිබවා බලගතු වූ අජන්තාගේ සාක්ෂියෙන් එක දිගට ම කියා ඇත්තේ තම අයියා මැරීමට සතර දෙනෙකු හවුල් වූ බවයි. ඒ විලියම්, ඔහුගේ බිරිය, ඔහුගේ සොහොයුරා හා නිශාන්ත ය. විලියම් පොර බදමින් කලහ කර ඇත. නිශාන්ත කියන ආකාරයට පොලූ පහර ගසා ඇත්තේ තම බාප්පා ය. එහෙත් පළාත පත්තුවක නො සිටි තමා ද ඇතුළු හතර දෙනෙකු මෙයට පැටලූවේ අජන්තා ය. එයට හේතුවක් දක්වන්නට ද ඔහු අසමත් ය. නිශාන්තගේ කියමනේ සත්‍ය අසත්‍යතාව පිළිබඳ නිගමනයක් කිරීම මගේ වගකීම නො වේ යැයි සිතමි. කෙසේ හෝ සමන්ත මැරීමේ චෝදනාවට විලියම්, ඔහුගේ බිරිය, ඔහුගේ සොහොයුරා සහ පුතා නිශාන්ත චුදිතයන් බවට පත් වූහ. අවාසනාවකට මෙන් නඩු විභාගය අතරතුර දී විලියම්ගේ මල්ලී අනතුරකින් මිය ගියේ ය. දීර්ඝ නඩු විභාගයකින් පසු ව එකම පවුලේ තාත්තාත්, අම්මාත්, පුතාත් සාවද්‍ය මනුෂ්‍ය ඝාතන වරදට වැරදිකරුවන් වී එක් එක්කෙනා බරපතළ වැඩ සහිත සිරදඬුවමකට ලක් වූහ. අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළත් එයින් ද වැරදිකරු වූ ඔවුන් තිදෙනාට ම අවුරුදු එකොලහ බැගින් නියම කරන ලද සිර දඬුවමෙන් මේ වනවිට අවුරුදු තුනක් ගෙවී අවසන් ය.

බන්ධනාගාරය තුළ අම්මා මරුට
බන්ධනාගාරගත වී අවුරුද්දකින් පමණ නිශාන්තගේ අම්මා මිය ගියා ය. දැනට නිශාන්තත්, තාත්තාත් සිරබත් කති. නිශාන්තගේ පවුල ම අනතුරේ ය. පවුලේ සොයුරියක් විවාහ කරගත් තරුණයා මෙලොව නැත. පවුලේ හතර දෙනෙක් තම ජීවිතවල හොඳ ම කාලය තුළ බන්ධනාගාරගත වූහ. පවුල ම සී සී කඩ යන සේ විසිරුණු මේ අභාග්‍යය ආරම්භ වුණේ දෙමාපියන්ගේ බසට අකීකරු ව නො හොබිනා පුද්ගලයෙකු සමග චාන්දනී පැන යාමත් එක්ක ය. ඉන් පසු ඇය විඳි දුක්ගැහැට අපමණ ය. සමන්ත තවත් ජීවත් වුණා නම් ඇයගේ ඉරණම කුමක් විය හැකි ව තිබුණි ද? නිශාන්තගේ අම්මාත්, බාප්පාත් අද වනවිට මිය ගොස් ය. ඒ මරණ දෙක ද මේ සමස්ත සිද්ධි දාමයේ ම ප‍්‍රතිඵලයන් ය.

විෂම චක‍්‍රයක් ද?
අගහිඟකමත්, ඒ නිසා ම අධ්‍යාපනයක් නිසි ලෙස නො ලැබීමත්, ඒ නිසා ම අමන තීරණවලට එළඹීමෙන් ඇති කර ගන්නා විෂම චක‍්‍රයත් නිසා මීට සමාන කරදරවලට පැටලෙන පවුල් කොතෙකුත් අද සමාජයේ ඇත. දහමට අනුව නම් මේ සියල්ල ගුණ දහමත්, ප‍්‍රඥාවත් මඳකම නිසා උදා කරගත් අභාග්‍යයන් ය. හොඳ මෙයයි, නරක මෙයයි යන්න වටහා ගන්නට තරම් බුද්ධියක් චාන්දනීට නො වී ය. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන් බිඳක්වත් කුඩා කල සිට ස්පර්ශ කර ගන්නට ඇයට වාසනාව නො මැති විය. පවුල් කීයක් අනාථ වී ද? විලියම්ගේ පවුල, චාන්දනීගේ පවුල, බාප්පාගේ පවුල සී සී කඩ විසිරී ඇත. නිශාන්ත කියන දෙය සත්‍යයක් නම් කිසිදු වරදක් නො කළ තමා මේ දුක විඳින්නේ නිරපරාදේ ය. ඔහු වඩාත් තැවෙන්නේ දරුවන් හත් දෙනෙකු බිහිකොට ගොඩනගන්නට වෙර වෑයම් කළ තම අම්මා මුළු ජීවිත කාලය පුරා ම දුකෙන් කාලය ගත කොට, ලොකු මහත් වූ දරුවන්ගෙන් සැලකීමක් ලබන්නට නිසි කාලයේ දී චිත්ත පීඩාව නිසා ම රෝගි වීමෙන් මියයාම පිළිබඳවයි. කඳුළු බිඳුවක් පිස දමමින් ඔහු කීවේ අම්මාගේ දේහයට ගෞරව දක්වන්නට තමාත්, පියාත් එකට දැත් බැඳ දැමූ මාංචු සහිත ව බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ ගෙදර ගෙන ගිය බවයි.

පරලොව දී විපාක
මියගිය තුන්දෙනා මෙලොව වශයෙන් විඳි දුක් අපමණ බව අපට වටහා ගත හැකි ය. එමතු නොව, මේ වනවිටත් සමන්ත තමන් කළ පාපකර්මයන්ගේ විපාක නිරා දුක් ලෙස අත්විඳිනවා නිසැක ය. නිශාන්තගේ මියගිය මව සහ බාප්පා කවර නම් චිත්ත පීඩාවකින් දැස් පියා ගන්නට ඇති ද? එසේ නම් අද ඔවුන් කොතැන විය හැකි ද? එදා පටාචාරාවන්ට වූ විපත මෙන් මේ විපත කියා පිළිසරණක් ලබා දෙන්නට ලොවුතුරා බුදුන් වහන්සේ මිස කවරෙකු සමත් වේ ද? කුඩා කල සිට දරුවන් ගොඩනගන දෙමාපියන් තම දරුවන් නැණ නුවණින් මෙන් ම ගුණ දහමින් ද පරිපූර්ණ ව තැනීමේ වගකීම මේ පුවතින් ගම්‍ය වේ.

(සියලූ නම් ගම් මන:කල්පිත ය.)

සටහන
තරුණ කටයතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්
නීතිඥ සිරිපාල විරිතමුල්ල