ගොරෝසු මිහිහෙක්

මනුෂ්‍යයෙකු විසින් සිදු කරනු ලැබිය හැකි මහා සාහසික අපරාධ පහක් අප ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ආනන්තරීය පාපකර්ම ලෙස අනුදැන වදාළ සේක. මව මැරීම, පියා මැරීම, බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ සිරුරෙන් ලේ සෙලවීම, රහතන් වහන්සේ කෙනෙකු මැරීම සහ සංඝ භේදය යන නිමක් නැති නිරා දුක් දෙන පවක් මිනිසෙකු අතින් සිදුවීම කෙතරම් අවාසනාවන්ත ද? කර්මය සහ එහි විපාකය නිර්ණය කිරීම අපි චේතනාවට ම භාර කරමු. හරියට ම වයස අවුරුදු හතළිහක් වන ඉසුරු මට පෙනුනේ අවුරුදු 32ක 33ක තරුණයෙකු මෙනි. අඩි හයකට කිට්ටු උසකින් ද ඊට සරිලන මනා ව වැඩුණු දේහයකින් ද හෙබි කළු පැහැති සමකින් යුතු ඔහු මොණරාගල ප‍්‍රදේශයේ දුෂ්කර ගම්මානයක කටුක දිවි පෙවතකට හුරු පුරුදු වූ කෙනෙකි. මුහුණේ සිනහ පොදක්වත් නැති ඔහු මුල දී මට මුහුණ දුන්නේ බියකින් හා සැකයකින් මෙනි. මගේ මෙහෙවර කියා දී තරමක අපහසුවෙන් ඔහු කථා කරවීමි. ‘‘මොකද වුණේ?” යන මගේ ප‍්‍රශ්නයට ඉසුරුගේ පිළිතුර වුණේ ‘‘දැන් කරන්න දෙයක් නෑ මහත්තයා. කරපු වරදට මම දඬුවම විඳිනවා.”

මව් සෙනෙහස හා කෙලෙසුන මිනිස්කම
දස මසක් මුළුල්ලේ අනේකවිධ දුක් පීඩා අත්විඳ තම ලේ කිරට හරවා, කවා පොවා නාවා, ගිලන් වූ කල සුවපත් කරවා හරි හැටි නිදි නැති ව රැය පහන් කරමින් අප ඇති දැඩි කරන්නේ අම්මා ය. ආදරයෙන් හදා වඩා තමා ම ලොකු මහත් කළ තම කුසින් මෙලොවට බිහි කළ තම පුතු අතින් ඝාතනය වන්නට තරම් අවාසනාවන්ත වන මවක් මේ පුවතේ දී අපට අසන්නට ලැබේ. ඒ ඉසුරුගේ අම්මා ය.

මුල හොඳ නැද්ද?
‘‘මහත්තයා, අපි පවුල් දෙකක දරුවෝ. ලොකු පවුලක්” ඉසුරු කථාව ඇරඹී ය. තම මව කිසියම් පුද්ගලයෙකු සමඟ විවාහක ව සිට ඔහුගෙන් දරුවන් හතර දෙනෙකු ලබා සිටිය දී වෙනත් පුද්ගලයෙකු සමඟ රහස් සම්බන්ධයක් ඇති කරගෙන ඔහු සමඟ පැනගොස් තවත් දරුවන් සය දෙනෙකුගේ ද මවක් වූ බව ඉසුරු කියයි. කලින් පවුලෙන් පුතුන් දෙදෙනෙකුත් දියණියන් දෙදෙනෙකුත් දෙවැනි පවුලෙන් පිරිමි දරුවන් තිදෙනෙකු සහ ගෑනු දරුවන් තිදෙනෙකුත් තම මවට ලැබුණු බවත්, දරුවන් දස දෙනාගෙන් තමා බාල ම පිරිමි දරුවා වූ බවත් නංගිලා දෙදෙනෙකුගේ අයියා බවත් පැවසී ය. දරුවන් දස දෙනා ම වැඞී ඇත්තේ ඉසුරුගේ පියාගේ සෙවණ යටතේ ය. කෙසේ වුවත් කලින් පවුලේ පියා ඔහුගේ දරුවන් සතර දෙනාට දේපල දායාද කර දුන් බව කියන ඉසුරු, දස දෙනාගෙන් වැඩිමහල් අයියාට කුඹුරක් මෙන් ම අක්කර දෙකක ගොඩ ඉඩමක් ද ලැබී ඇත.

නැන්දා – ලේලී ගැටුම
තම කුඩා කාලයේ විස්තර සිහිපත් කළ ඔහු කීවේ තමාට කිසි ම පාසල් අධ්‍යාපනයක් නො ලැබුණු බවයි. ඒ නිසා ඔහුට හරිහැටි ලියන්නට කියවන්නටවත් නො හැකි ය. ඒ නිසා කුඹුරු ගොවිතැන හැරුණ විට වෙනත් ජීවනෝපායක් ඉසුරුට හිතන්නට නො හැකි විය. තමා ළඟ වැඩිමහල් අයියා තනිකඩයකු ව ජීවත් වුණ අතර සෙසු නව දෙනා ම විවාහ වී පවුල්කාරයින් වී සිටිති. ඉසුරු තනිකඩ අයියාත් සමඟ කුඹුරු වැඩ කරමින් මහ ගෙදර ජීවත් විය.

1988 වර්ෂයේ දී තම මවගේ සහ අක්කලාගේ දැඩි උනන්දුව පිට යාබද ගම් ප‍්‍රදේශයකින් තරුණ කාන්තාවක් ඉසුරුට විවාහ කර දුන්නේ ය. මේ විවාහයෙන් ඉසුරුට පුතෙකු ද දුවක ද ලැබුණි. මහ ගෙදර එකට ජීවත් වන නැන්දා සහ ලේලි අතර ගැටුම් ඔහුට මහත් හිසරදයක් විය. ‘‘අම්මා එක්ක කෙනෙකුට ලේසියෙන් ඉන්න බැහැ. හොඳට මඟුල් කාලා කැන්දගෙන ආ ලේලි සමඟ අඬ දබර වීම මට රිස්සුවේ නැහැ” ඉසුරු කියාගෙන ගියේ ය. ලැබුණු ආදායම පවුලේ වියදමට ප‍්‍රමාණවත් නො වුණ නිසා අඟ හිඟකම් ද ඉසුරුට දැනෙන්නට විය. අම්මාගේත් බිරියගේත් ආරවුල්වලට තමා මැදිහත් වුණොත් විය හැකි අනතුර ගැන සිතූ ඔහු නිවසින් පිට වී යාමට තීරණය කළේ ය. ඒ අනුව 2004 වර්ෂයේ දී කොළඹ රක්ෂාවකට පැමිණි ඉසුරු මේසන් අත් වැඩ දෙමින් ගමේ දී ලැබූ ආදායමට වඩා වැඩි යමක් උපයා ගත්තේ ය. මාස තුන හතරක් නගරයේ වැඩ කළ ඔහු මුදල් ටිකක් ද ඉතිරි කර ගෙන ගියේ අම්මාටත් බිරියටත් දරුදෙදෙනාටත් තෑගි බෝග ද රැගෙන ය.

පවුලත් කලඹයි
අම්මා සමඟ ආරවුල් කර ගත් තම බිරිය දරුවන් දෙදෙනා ද කැටි ව තමාටත් නො දන්වා දෙමාපියන්ගේ නිවසට ගොස් සිටියේ ය. දරුවන්ට දැඩි ලෙස ආදරය කළ ඉසුරු වහාම ගියේ තම බිරිඳත් දරුවනුත් දැක බලා ගෙන ඔවුන් කැඳවාගෙන නැවත මහ ගෙදරට ඒමට ය. නැන්දම්මා සමඟ දැඩි ව උරන වී සිටි බිරිය ඉසුරුගේ නිවසට යළි පැමිණීම එකහෙළා ප‍්‍රතික්ෂේප කළා ය. ඇවිටිලි කළත් කිසිදු පලක් නො වී ය. ආපසු හැරී ආ ඔහු සතියකට පසු නැවත ද ඒ උත්සහය ගත්තේ ය. සපල නො වූ තැන තවත් වතාවක් ද ඒ සඳහා බිරිඳ හමුවන්නට ගියේ ය. හිත දැඩිකර ගත් ඉසුරු තවත් තම බිරිය වුවමනා නැතැයි අත්හැර දැමී ය. ඉදහිට දරුවන් බැලීමට ගොස් මුදල් ටිකක් දී ආවත් භාර්යාව සමඟ කිසිදු කථාවක් ඔහුගේ නො වී ය. කොළඹ රැකියාව ද අත්හැර දැමූ ඔහු මහගෙදර ඉඳිමින් ම ගමේ කුලී වැඩ හා ගොවිතැන් වැඩ කොට ජීවත් විය. ඉසුරු මත්පැනට ක‍්‍රමයෙන් ඇබ්බැහි වුණේ ජීවිතයේ පැහැදිලි ඉදිරි මඟක් පෙනෙන්නට ද නො වූ නිසා ය. තරමක කලකිරීම් ස්වභාවයක් තිබුණත් තමා මානසික ව නො වැටෙන්නට ඉටා ගත් බව ද කියයි.

අයියා නැති කළ සහෝදරකම
ඉසුරු පවසන අන්දමට පවුල් දෙකේ ම ලොකුම අයියා ටිකක් කපටි ය. තම කුලූඳුල් දරුවා නිසා ඔහුට කාටත් වඩා අම්මා ආදරය දක්වා ඇත. අයියාගේ පියා ඔහුට දී තිබුණු කුඹුරු දෙකත් ගොඩ ඉඩමත් විකුණා දැමූ මේ ලොකු අයියා හිමින් හිමින් තමන්ගේ මහ ගෙදරට රිංගා ගන්නට මාන බැලූ බව ඉසුරු කියයි. ‘‘අපි පදිංචි ඉඩම අක්කරයක එකක්. ඒක දෙකට වෙන් කරපු අම්මා ගෙදර පිහිටි පහළ අක්කර භාගය මට ලියා දීලා උඩහ අක්කර භාගය ලොකු අයියාට ලිව්වා. මම තදින් ම විරුද්ධ වුණා. නැති කෙනෙක්ට නම් කමක් නෑ. තමන්ගේ දේවල් විකුණලා අපේ තාත්තාගේ දේවල්වලින් බුක්තියත් ගන්න එන එක වැරදියිනෙ. ‘‘එයාට දුන්නු උඩහ කෑල්ලේ ගෙයක් හදාගෙන අයියා පවුලත් එක්ක පදිංචි වුණා.” ඉසුරු කියාගෙන ගියේ කෝපයෙනි. ඉසුරු මත්පැනින් මත් වූ විට අයියා සමඟ නිතර නිතර කෝලාහල කරන්නට පටන් ගත්තේ ය. විරසකය දැන් විවෘත ය.

කෙලෙසුණු මිනිස්කම
දිනක් දවසේ මහන්සි වී කුඹුරු වැඩ අවසන් කළ ඉසුරු වැඩිපුර මත්පැන් බී ගෙදර පැමිණියේ ය. අම්මා පිසූ බත් මාළු ටිකත් පිඟානට බෙදාගෙන එළිපත්තේ කොටයක් උඩ වාඩි වී බුදින්නට පටන් ගත් ඉසුරුට තම නිවස දෙසට පියමන් කරන අයියා දැක මහත් කෝපයක් ඉපදුනි. අයියාගේ මුහුණ බලා ‘තුඃ’ කියා කෙළ ගැසූ විට අයියා, ‘‘අදත් කට ගොන්නක් බීගෙන ඇවිත් නේ දැ”යි අසා ඇත. ‘‘මගේ බීම තොට මොකටදැ” යි ඇසූ ඉසුරු බත් පිඟාන පසෙකට වීසි කොට අයියා සමඟ බහින් බස් වීමට එළියට පැන්නේ ය. අම්මාත් එළියට අවුත් ආරවුලට මැදිහත් විය. අම්මා අයියාගේ පැත්තේ බව ඉසුරු දනී. ඉන් අම්මා සමඟ ද ඉසුරුගේ කෝපය වැඩි විය. ඉසුරු කියන විදියට නම් තමාගේ ඉඩම් ද කොල්ල කාගෙන තවත් තමන්ට ඔච්චම් කරන්නට ඒම නිසා අයියා කෙරෙහි ඇති වූ දැඩි කෝපය නිසා අතට හසු කරගත් යකඩ පොල්ලකින් දෑත ඔසවා අයියාගේ හිසට ගැසූ බවයි. ඒත් අයියා බේරා ගැනීමට මැදට පැන්න අම්මාගේ හිසට යකඩ පොලූ පහර වැදී එතැන ම අම්මා මිය ගොස් වැටුණ බව ඔහු කියයි. සැබැවින් ම ඔහු පහර ගැසුවේ අම්මාට ද නැතිනම් අයියාට ගැසූ පහර අම්මාට වැදුණා ද යන්න දන්නේ සැබවින් ම ඔහු පමණි. නඩුවේ එක ම සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරු වූ අයියා එක හෙලා සාක්ෂි දෙමින් කියා ඇත්තේ කෝපාවිෂ්ට වූ ඉසුරු බහින් බස් වී අම්මාගේ හිසට චේතනාන්විත ව ම යකඩ පොල්ලෙන් ගැසූ බවයි. ඒ ගැන විනිශ්චයක් දීමට අපි සමත් නො වෙමු. වෙනස් වන එක ම දෙය නම් චේතනාන්විත ව ඔහු තම ඝාතනය කළා ද? නැතිනම් අයියාට ගැසූ පහර මවට වැදී ඇය මැරුණා ද යන්නයි. ඒ කෙසේ වෙතත් තමා ආදරයෙන් හදා වඩා එදා දවසේත් කෑම වේල උයා පංගුව බෙදා දුන් අම්මා තම පුතා අතින් මරුමුවට පත් වී ඇත.

දෙලොව දී ම පිරිහෙයි
‘‘මගේ අතින් නේ ඒ දේ සිද්ධ වුණේ. ඒ නිසා පහළ උසාවියේ දීත් මහාධිකරණයේ දීත් මම වැරදිකාරයා කිව්වා. මම කළේ නෑ කියන්නට ගියේ නෑ. මම ඇපෑල් ඉල්ලූවේත් නැහැ.” ඉසුරු කීවේ ය. වරද භාර ගත් නිසා ඉසුරුට අවුරුදු විස්සක සිර දඬුවමක් නියම වී ඇත. තීන්දුව ලැබුණේ පසුගිය මාසයේ ය. මුළු දඬුවම ම ගෙවීමට ඉතිරි ව ඇත.

අම්මාගේ මරණය ගැන සිතන්නේ කුමක් ද? දැන් ඒ ගැන දුක් වනවා දැයි මා ඇසූ ප‍්‍රශ්නයට රකුසු කර ගත් මුහුණින් යුතු ව ඔහු කීවේ ‘‘නැහැ මම ඒ ගැන හිතන්නේ නැහැ. ඒ ගැන හිතුවොත් මම මානසික ව වැටෙනවා. ඒකට මම ඉඩ තියන්නේ නැහැ” යනුවෙනි.

මෙලොවින් සමු ගන්නා ඉසුරුට නිරය මඟ හරින්නට නම් කිසිදු මාවතක් තිබේ ද යන්න දන්නේ ඔහුගේ කර්ම චේතනාව පමණි. ලොව්තුරා බුද්ධ ශාසනයේ ඍද්ධි ලාභීන් අතරින් අග‍්‍ර වූ මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේට පවා පෙර සසරේ සිදු වූ මෙබඳු වරදක් නිසා අනේකවිධ දුක් අත් විඳින්නට සිදු විය.

දහමේ ආලෝකය අහිමි වීම
අවාසනාවක මහිම! ඉසුරුට ආගම දහමක් ගැන කිසිදු හැඟීමක් නැත. උපතින් ම බෞද්ධයෙකු වුවත් කුඩා කාලයේ දී වුව ද කාබී ජීවත් වුණා මිස ලොව්තුරා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ගැන අල්ප මාත‍්‍රයක දැනුමක් හෝ හැඟුමක් ඔහුට නො වී ය. ඔහුට ඉතා සරල පිළිතුරක් තිබුණි. ‘‘ආගම ගැන මට හැඟීමක් නැහැ. මම අකුරු දන්නේ නැති නිසා ආගම ඉගෙන ගන්නත් බැහැ. මට අධ්‍යාපනයක් නෑනේ. දෙමව්පියෝවත් අපි ව ආගම ධර්මයකට අනුව හදා වඩන්නට උත්සහයක් ගත්තේ නැහැ” යනුවෙනි.

(සියලූ නම් ගම් මන:කල්පිත ය.)

සටහන
තරුණ කටයතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්
නීතිඥ සිරිපාල විරිතමුල්ල