‘ගුරු තරුව’ කියලා හඳුන්වන තාරකාවක් ගැන ඔබත් අහලා තියෙනවා නේ ද? මේ තාරකාව දීප්තිමත්; අනෙක් තාරකාවන්ට වඩා පැහැදිලියි, විශාලයි… පුංචි පුංචි තරු මල්වලට පාර කියන ගුරුවරයෙක් වගේ තමයි මේ ගුරු තරුවත් බැලූ බැල්මට ම පෙනෙන්නේ… ගුරු තරුව ගැන කථා කරන්න තමයි අපි ඔබත් එක්ක විසිවන සියවසේ අන්තිම අවුරුද්දට යන්නේ…

1999 වසරේ එක්තරා දිනයක, එක්තරා පාසලක කොට බිත්තිවලින් වටවුණු පන්ති කාමරයක ලී මේසයක් ළඟ තිබුණු ලී පුටුවක කොණ්ඩ කරල් දෙකක් හොලව හොලව පුංචි ගැහැනු දරුවෙක් වාඩි වෙලා හිටියා. සිංහල ගුරුතුමා ෆයිල් කවර කිහිපයකුත්, පොත් මිටියකුත් අතින් අරන් පන්ති කාමරේ දිහාවට එනවා දැකපු හැටියේ පුංචි දැරිවි කලබල වුණා.

ගුරුතුමා ඊයේ රචනාවක් ලියාගෙන එන්න දුන්නා. ඒත් මේ දැරිවිට කවදාවත් නැතිව මේ වැඩේ අමතක වුණා. දැන් ගුරුතුමා දැක්කට පස්සෙයි රචනාව ගැන මතක් වුණේ. කැත ම කැත අත් අකුරු තිබුණත් ලස්සන ම ලස්සන රචනා ලියන තමන්ට ගුරුතුමා ගොඩක් ආදරෙයි කියලා දැරිවි දන්නවා. ඒත් ගුරුතුමා ගොඩක් සැරයි… දැන් රචනා බලන්න ගත්තොත්…?

හැමෝ ම නැගිටලා අත් එකතු කරලා ‘‘ආයුබෝවන්” කියද්දි හිතේ තිගැස්මෙන් හිටපු දැරිවිත් අඩමානෙට වගේ ආයුබෝවන් කියලා ගුරුතුමාට නො පෙනෙන්න වගේ ඉක්මණින් ඉඳගෙන පුටුවට ම මිරිකුණේ වැරැද්ද වහගන්න. ඒත් ගුරුතුමාටත් ඉස් ඉස්සෙල්ලා ම මතක් වුණේ රචනාවමනේ… දැන් මොනවා කරන්න ද? දැරිවි තවත් ගුලි ගැහුණා. ඒත් ගුරුතුමාගේ ඇස්වලින් හැංගෙන්න පුළුවන්කමක් නෑ. ලස්සන රචනාවක් තියෙනවා කියලා ගුරුතුමා විශ්වාස කළේ මේ දැරිවිගේ පොත ගැනයි. නම කියලා ගුරුතුමා ඇයට කථා කළා.

‘‘පුතේ… නැගිටලා පන්තියට ම ඇහෙන්න කියවන්නකෝ ඔයාගෙ රචනාව …”

දැරිවිට හීන්දාඩිය දැම්මා. රචනාව ලිව්වෙ නෑ කිව්වොත් ගුරුතුමා සැර කරයි, දඬුවම් කරයි කියලත් හිතුණා. වෙන කරන්න ම දෙයක් නැති තැන පොතත් අරන් හිට ගත්තා. පොත පෙරළා ගත්තා. මාතෘකාවට ගළප ගළපා ඇය දැන් රචනාවක් ගොත ගොතා කියවනවා….

ගුරුතුමාට වෙනස එකපාරට ම තේරෙන්න ඇති. වෙන දවස්වල වගේ නෙමෙයි, අද මේ සිසු දියණියට ව්‍යාකරණ වරදිනවා, වචනත් පැටළෙනවා, ගොත ගැහෙනවා…. විනාඩි දෙක තුනක් රචනාව ගොත ගොතා කියවන්න දැරිවියට ඉඩ හැරලා ගුරුතුමා ඇගේ ළඟට ආවා.

‘‘කෝ පුතේ රචනාව?”

ඇය ස්වභාවයෙන් ම විසල් දෙනෙත් තවත් ලොකු කරගෙන බය භිරාන්ත වෙලා ගුරුතුමා දිහා බලන් හිටියා… හුස්මත් නො වැටී නතර වුණා කියලයි ඇයට හිතුණේ. ගුරුතුමා ඇගේ පොත අතට ගත්තා. පෙරළලා බැලූවා. මාතෘකාව විතරක් ලියලා තිබුණ රචනාව දැකලා, පොත වහලා දැරිවියට ඉඳගන්න කිව්වා.

‘‘රචනා පස්සෙ බලමු” කියලා ගුරුතුමා පාඩම ඉගැන්නුවා. දැරිවිට හරි පුදුමයි ගුරුතුමා ඇයි නො බැණ්නෙ කියලා. ඇය පාඩම පුරාවට ම ඒ ගැන කල්පනා කළා. පීරියඞ් එක ඉවර වෙලා පන්ති කාමරයෙන් එළියට යන ගමන් ගුරුතුමා දැරිවියට කථා කළා. ඇයත් පස්සෙන් ම වැටුණා. පන්තියෙන් එළියට ගියාට පස්සේ ගුරුතුමා දැරිවිගේ හිස අතගාලා මෙහෙම කිව්වා.

‘‘පුතා ගොඩාක් දක්ෂ ළමයෙක්. පුතාට හොඳ අනාගතයක් තියෙනවා… ආයේ කවදාවත් ගෙදර වැඩ අතපසු කරන්න එපා. හොඳට ඉගෙනගෙන හොඳ තැනකට යන්න. රටට හොඳක් කරන්න. අපිටත් සන්තෝෂයිනේ එතකොට. දැන් පන්තියට යන්න.”

තාත්තෙක් වගේ දයාබර වුණ අන්න ඒ උතුම් ගුරුතුමා නිසා තමයි අද ඔබ මේ ලිපිය කියවන්නේ… එදා අට වසරෙ පන්ති කාමරයකට වෙලා රචනාවක් ගොතලා කියපු මම අද ඔබත් එක්ක සාරවත් වූ දෙයක් කථා කරන්නේ ඒ ගුරුතුමා එදා මට කළ යුතු දේ මොකක් ද කියලා නිවැරදිව ම තෝරා බේරා දුන් නිසයි… ඒත්… තමන්ගේ ගුරු දිවියේ විපුල ඵල අද සමාජයට යහපත සලසනවා දකින්න ඒ ගුරුතුමා ජීවතුන් අතර නෑ… මගේ සිංහල ගුරුතුමාටත්, උත්තරීතර ගුරු වෘත්තියටත් හිස නමමින් අද අපි, අපි හැමෝගෙ ම දෙවන මාපියන් වන දිසාපාමොක්වරුන් ගැන කථා කරමු.

සිප් කිරි පොවනා මව්කිරි උල්පත…

දිසාපාමොක් ආචාර්යවරුනටත්, තක්ෂිලාවටත් අතීත සමාජයේ හිමිවුණේ ඉහළ පිළිගැනීමක්. රාජ්‍යය විචාරන්නට සර්වප‍්‍රකාරයෙන් ම සුදුස්සන් බවට පත්කරමින් රාජ රාජ මහාමාත්‍යාධීන් හට ශිල්ප ශාස්ත‍්‍ර කියා දුන් ඒ දිසාපාමොක් ආචාර්යවරුන්ට රජ සිටු මැතිවරු පවා සිරස නමා ගෞරව කළා. ගුරු සිත නො රිදවා අකුරු උගත්තා වූ යමෙක් වන්නේ නම් නිසැකව ම ඒ කෙනා සිප් සයුරේ ආශීර්වාද ලද්දෙක් වෙනවා. අතීතයේ සිසුන් දිසාපාමොක් ආචාර්යවරයා හට ආවතේව කරමින්, වත් පිළිවෙත් ඉටු කරමින් එහි ම නැවතී සිප් සතර හැදෑරුවා. හික්මීමකින් යුතු සංවර දිවි පැවැත්මක් පුහුණු වෙන්නට තක්සලාවේ ජීවිතය සිසුන්ට උපකාරී වුණා. නැවතත් සිය දෙමාපිය හිතවතුන් කරා ඔවුන් නික්ම ගියේ වුවමනා පරිදි සියලූ ශිල්පයන් ප‍්‍රගුණ කළාට පසුව යි. ගුරු ගෙදර රැඳෙන මුළුමහත් කාලය පුරාවට ම සිසුනට මව වුණේත්, පියා වුණේත්, හිතවතා වුණේත්, නෑදෑයා වුණේත්, ගුරුතුමා වුණේත් දිසාපාමොක් මහැදුරුතුමා ම යි…

බෝසත් දිසාපාමොක්වරුනේ….

කල්ප ගණන් අතීතයක් ඇති බෝසතාණන් වහන්සේගේ චරිතය පුරා අප අසන දකින ඒ දිසාපාමොක් ආචාර්යවරුන්ගේ උත්තරීතර ගතිගුණ නූතනය වනතුරුත් ජීවමානව පැවතීම මොන තරම් පුදුම සහගත ද? අදටත්, නිවසින් නික්මයන දරුවෙකු ස්වකීය ජීවිතය ගැන වැඩිපුර ම කැපකිරීම් සිදු කරන තැනකට යනවා නම් ඒ ගුරු ඇදුරන්ගේ සෙනෙහස ඉතිර පැතිර ගිය පාසල වෙතටයි.

රටට හිතැති පුරවැසියන් බිහි කරන ක්ෂීර උල්පත තමයි පාසල… වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිඥයන්, කළමනාකරුවන්, ගණකාධිකාරීවරුන්, ලේඛකයන්, කලාකරුවන්, මාධ්‍යවේදීන්, ආරක්ෂක අංශ නිලධාරීන් ආදි රටට සේවය සලසන සෑම අංශයක ම දීප්තිමත් පුරවැසියන් රටට තිළිණ කිරීමේ ප‍්‍රමුඛතම කාර්යභාරය ඉටු වෙන්නේ පාසලින්. තම තමන්ට හැකි පමණින් දෙමාපියන් තම ලෙයින් උපන් දරුවන්ගේ නැණ – ගුණ වර්ධනය කරනකොට ගුරු දෙමාපියන් වඩාත් ක‍්‍රමවත් ව ඒ කෙරෙහි ම යොමු වූ වැඩපිළිවෙළක් ලෙසින් සිය වෘත්තීය කාර්යභාරය ඉටු කරනවා.

එක වසරට භාර දෙන්න දරුවෙක් පාසලට රැුගෙන යන අම්මලා තාත්තලා මොන තරම් අසරණ වෙනව ද? ඔවුන් ආපසු එන්න සූදානම් වෙනකොට දරුවා ඇවිත් ඇඟේ එල්ලෙනවා, අඬනවා, ‘‘අනේ මාවත් අරන් යන්න” කියනවා. දරුව අඬනකොට දෙමව්පියොත් කිරි සුවඳ විඳ විඳ හදපු වඩපු දරු පැටියව පාසලේ තනි කරලා ගෙදර එන්නේ කඳුළුත් එක්ක. ඒත් ටික දවසක් ගතවෙනකොට ඒ දරුවට ගෙදර ඇවිත් ‘ටීචර්’ ගැන, ‘සර්’ ගැන කියන්න විස්තරයක් තියෙනවා. ඕනම දෙයක් වඩාත් තහවුරු කරන්න වුවමනා වුණාම ‘ටීචත් එහෙම කිව්වා’ කියලා කොටසකුත් කථාවට එකතු කරන දරුවො ඔබටත් මුණ ගැහිලා ඇති.

මාපිය සෙනෙහස වැනි සෙනෙහසකින්…

දින කිහිපයක් ගත වෙනකොට පුංචි හිතේ ලොකු තැනකට එන්න ගුරු මාපියන්ට හැකි වෙනවා. සමහර වෙලාවට අම්මට, තාත්තට නො කියන දේ පවා ගුරු මාපියන් සමඟ බෙදා ගන්න දරුවෝ පෙළඹෙනවා. ඒ කියන්නේ පාසල තුළ යාන්ත‍්‍රික ඉගෙනුම් – ඉගැන්වීම් ක‍්‍රියාවලියකට වඩා බොහෝ දුර ගිය සෙනෙහෙබර ගුරු – සිසු සබඳතාවයක් පවතිනවා. අම්මගේ තාත්තගේ අතේ එල්ලිලා, අඬ අඬා පාසලට යන එක ප‍්‍රතික්ෂේප කළ දරුවා එයින් වසර දහතුනකට පසුව පාසලෙන් එළියට එන්නෙත් අඬ අඬා… අම්මා, තාත්තා තරම් ම සෙනෙහෙබර වුණ, ළබැඳි වුණ පාසලත්, ගුරු මාපියනුත්, හිතවත්කම් ගොඩ නඟපු සහෝදර කැලත් හැර දමා නික්මෙන්න තිබෙන අකැමැත්ත කඳුළු වෙලා සියල්ලන්ගේ ම නෙතු තෙත් කරනවා නේ ද?

දරුවන් හදන, වඩන දෙමාපියන්ට දරුවන් මොන තරම් නම් ණයගැති ද? තථාගතයන් වහන්සේ වදාළේ අවුරුදු සියයක් මුළුල්ලේ මාපියන් දෙදෙනා දෙවුරේ තබාගෙන උපස්ථාන කළත් ඒ ණය ගෙවා නිම කරන්න බෑ කියලයි. ඒ තරම් ම නො වුණත්, ඒ වගේ ම ණයක් අපේ නෙත් පාදන, සමාජයට යහපත් පුරවැසියන් ලෙස දරුවන් යොමු කරන්නට මහා බරක් උසුලන ගුරුවරුන් විෂයෙහිත් පවතිනවා ඇති නේ ද? වර්තමානය වනවිට යම් යම් ගැටලූකාරී ස්වභාවයන් දකින්නට ලැබුණත් එදා සේ ම අදත්, ඒ වාගේ ම හෙට දවසෙත් ගුරු වෘත්තිය කියන්නේ පිනෙන් පිරී ගිය පූජනීය වෘත්තියක්.

‘ගුරු සිත නො රිදවා
වේලාව නො වරදවා
බැති පෙම් උපදවා
අකුරු උගනී කුමරු සොඳවා’

යනුවෙන් අතීත පඬිවරුන් කවියට නැගුවේ මේ අපූරු ගුරු – සිසු සම්බන්ධතාවය යි. හුනස්නෙන් නැඟී සිට ආචාර කිරීමෙන් ද දෙමව්පියන් සේ සලකා උපස්ථාන කිරීමෙන් ද හොඳින් ඇහුම්කන් දීමෙන් ද උගන්වන දෙය මැනැවින් ඉගෙන ගැනීමෙන් ද අප විසින් ගරු කළ යුතු පිරිසක් තමයි ගුරු දෙමාපියන්.

නමස්කාර කළ යුතු දකුණු දිශාව

ගුරු වෘත්තිය යනු පිනෙන් පිරී ගිය දෙයක් බව අප පෙරත් සටහන් කළා. තිලෝගුරු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත‍්‍රයේ දී පෙන්වා වදාළා දකුණු දිශාව යැයි සලකා නමස්කාර කළ යුත්තේ ගුරුවරුන්ට බව. ගුරුවරයන් විසින් සිසුන් විෂයෙහි ඉටුකළ යුතු යුතුකම් ද සිඟාලෝවාද සූත‍්‍රයේ සඳහන් වෙනවා.

ඔවුහු දරුවන් හික්මවත් ම ය…

ඉන් පළමුවැන්න තමයි, ‘සුවිනීතං විනෙන්ති’ – සිසුවා මනා ලෙස හික්මවීම. මේ කාරණය සම්බන්ධයෙන් දෙමව්පියන්ටත් වඩා හැකියාවක් ගුරුවරුන් සතු බව නො රහසක්. පවුලක නම් දරුවෝ හතර පස් දෙනෙකුට වඩා නො සිටින නිසාවෙන් දෙමව්පියන්ට ගනුදෙනු කරන්න වෙන්නෙත් එකිනෙකට වෙනස් චර්යා රටාවන් හතර පහක් සමඟ පමණයි. ඒත් ගුරුවරුන්ට….? එක එක විදිහෙ දක්ෂතා තියෙන, විවිධ ආකාරයේ දුර්වලකම් තියෙන, විවිධ දේවල් ප‍්‍රිය කරන, විවිධ ගති ස්වභාවයන් පෙන්වන දරුවන් හතළිහක් පණහක් සමඟ එක පන්ති කාමරයක් තුළ කටයුතු කරන්න සිදුවෙනවා. ඒ වගේ දරුවන් තුන් හාරසීයක් සමඟ ඉගෙනුම් – ඉගැන්වීම් ක‍්‍රියාවලියක නියැළෙන එක පහසු වැඩක් ද? ඒත් ඒ දුෂ්කර කර්තව්‍යය ගුරුවරු ජයගන්නේ පුදුමාකාර විදිහට. තම සිසු දරුවන් එකිනෙකා සතු දක්ෂතා, දුර්වලතා වෙන් වෙන් වශයෙන් තෝරා බේරාගෙන, ඒ ඒ දෙයට වෙන් වෙන් වශයෙන් පිළියම් යොදමින් ඉගෙනුම් ක‍්‍රියවලියත් නිසි ලෙසින් ඉටු කරන එක ම මහා පිනක් නේ ද?

මනා කොට සිප් සතර සදත් ම ය…

දෙවැන්න තමයි ‘සුග්ගහිතං ගාහාපෙන්ති’ – ගුරුවරයා සිසුවාට හොඳින් ඉගැන්විය යුතුයි. මේ කාරණයේ දී සිසුන්ගේ විවිධාකාර බුද්ධි මට්ටම් ග‍්‍රහණය කරගනිමින් ඒ සියල්ලට ම ආමන්ත‍්‍රණය කළ හැකි ඉගෙනුම් ක‍්‍රමවේදයක් භාවිත කරන්නට ගුරුවරයාට සිදු වෙනවා. වෙනස් වූ රුචි අරුචිභාවයන් ඇති දරුවන් සියල්ලගේ ම සිත් තුළට කා වදින ආකාරයට ඉගැන්වීමේ යෙදෙන එක මොන තරම් අසීරු ද? ඒත් ගුරුවරුන් ඒ දේ ප‍්‍රශංසනීය ආකාරයෙන් ඉටු කරනවා. එකිනෙකා අනාගතයේ ඉටු කළ යුතු සමාජයීය කාර්යභාරය සඳහා මනා හැඩගැසීමක් සිදුකරන්නේ ගුරුවරුන් විසින්.

සියලූ දෙය නො සඟවා බෙදත් ම ය…

තුන්වෙනි කාරණය තමයි ‘සබ්බං සිප්ප සුතං සමක්ඛායිනෝ භවන්ති’ – ගුරුවරයා තමන් දන්නා වූ සියලූ ශිල්පයන් නො සඟවා සිසුන්ට කියා දිය යුතුයි. ගුරු මුෂ්ටි තබා නො ගන්නා ගුරුවරුන් නිසා පරපුරෙන් පරපුරට දැනුම අඩුවක් නො වී සම්පේ‍්‍රෂණය කෙරෙනවා. අතීතයේ පැවති යම් වූ ශිල්පයක් අද වනවිට නො පවතින්නේ නම් එය කාරණා දෙකක් නිසා සිද්ධ වූවක්. ගුරුවරයා උගන්වන දෙය ශිෂ්‍යයා මනා කොට ඉගෙන නො ගත්තේ නම්, එ් වගේ ම ගුරුවරයා එය මනාකොට ඉගැන්වූයේ නැති නම් ශිල්පීය දැනුම ක‍්‍රමයෙන් අහිමි වී යනවා. ස්වකීය ඥාන සම්භාරය එලෙසින් ම සිසු දරුවන්ට උරුම කරදෙන ගුරුවරුන් හරියට මහා කරුණා සිතැති, මෙත් සිතැති දෙමව්පියන් වගෙයි. සියලූ දායාදයන් සිසු දරුවන්ට පවරන්න තරම් නිර්ලෝභී විය හැක්කේ මාපිය සෙනෙහසින් යුතුව ම ඔවුන් දෙස බලන ගුරුවරුන්ටයි.

මැණික ඔපදා අගය නගත් ම ය…

‘මිත්තාමච්චේසු පටියාදෙන්ති’ – සිසුන් තම හිතවතුන්ට හඳුන්වාදීම හතරවන කාරණය යි. මේ හැඳින්වීම සිදු කෙරෙන්නේ සිසුන් එකිනෙකා දක්වන දස්කම් මත පදනම් වෙමින්. කිසිම ඔපයක් නැති මැණික් ගලක් කපා ඔපමට්ටම් කොට එයට මහා වටිනාකමක් ඇති කරවන දක්ෂ මැණික්කරුවෙක් තමයි ගුරුවරයා කියන්නෙත්. ඒ ඒ මැණික්වලට වැඩිම වටිනාකම් ලැබෙන ආකාරයට සමාජය හා මුහු කිරීමට, ගුරුවරයා එය ස්වකීය යුතුකමක් ලෙස සලකා කටයුතු කළ යුතුයි.

හැමකල්හි රැකවරණ සදත් ම ය…

පස්වන කාරණය වන්නේ ‘දිසාසු පරිත්තානං කරොන්ති’ – සිසුන් ඇසුරු කරන්නන් කෙරෙහි අවධානයෙන් සිටීම යි. දරුවෙකුට රැකවරණය සැලසීමේ දී මේ කාරණය බොහෝ ම වැදගත්. පන්ති කාමරය තුළ දරුවාගේ චර්යා රටාවන් වෙනස් වීම හරහා වුණත් අවධානයෙන් සිටින ගුරුවරයෙකුට යම් යම් පූර්ව නිගමනයන්ට එළඹෙන්නට පුළුවන්. පසුගිය කාලයේ වරින් වර වාර්තා වූ පුවත්වලින් සිසුන් ගැන අවධානයෙන් සිටි ගුරුවරුන් නිසාවෙන් ඇතැම් අපචාරයන් නීතියේ රැහැනට හසු වූ ආකාරය හෙළිදරව් වුණා. තාක්ෂණික පහසුකම් ඉහළ, මාධ්‍ය අවිනයත් ඉහළ, දුරාචාරයන් ක‍්‍රමයෙන් හිස ඔසවන සමාජයක බුද්ධියෙන් විමසා බැලීමට වඩා චිත්ත ආකර්ෂණයට ඇලූම් කරන දුවා දරුවන් අපචාරයන්ට ද අපරාධයන්ට ද ලෙහෙසියෙන් ගොදුරු වන්නට පුළුවනි. ඒ නිසා මේ සෑම දරුවෙක් ම තම ලෙයින් උපන් දරුවන් සේ ම සලකා රක්ෂාවරණය සලසා දෙන්න පෙළඹෙන, ඇප කැපවන ගුරුවරුන් මුළුමහත් ජාතියට ම වාසනාවක්… ඛේදජනක සිදුවීම්වලින් සමාජය යම් තරමකින් දුරස් වී ඇත්නම්, උවදුරුවලින් නිදහස් වී ඇත්නම්, ගුරු – දෙගුරුන්ගේ මනා අවධානයත් ඒ කෙරෙහි ප‍්‍රබල බලපෑමක් ඇතිකර තිබෙනවා.

මේ කාරණා පහ වගකීම් ලෙස නො දක්වා යුතුකම් ලෙස දැක්වීමෙන් ම ජීවිතයට බද්ධ වූ ගුණධර්මයන් ලෙසින් ඒවා දියුණු කරගෙන පුණ්‍ය සම්භාරයක් රැස්කිරීමේ ඉඩකඩ වඩාත් තීව‍්‍ර වී තිබෙනවා. විෂය නිර්දේශයකට අනුව යමින්, තරගකාරී අධ්‍යාපන ක‍්‍රමයක් තුළ මෙවන් යහසම්බන්ධතාවයන් ගොඩනැඟීම ගුරු – සිසු දෙපාර්ශවයට ම දුෂ්කරයි. එහෙත් එය කළ නො හැක්කක් නො වෙයි….

පින් වැඩෙන පින්බිමකි ගුරු දිවිය…

දරුවන් ගුණධර්මයන්ගෙන් පෝෂණය කිරීමෙන් දෙමව්පියන් යම්තාක් පින් රැස් කරනවා ද ඒ පින ඒ ආකාරයෙන් ම රැස් කරගන්නට ගුරුවරුන්ට පුළුවන්. විෂය දැනුමට සමගාමී ව ගුණ සුවඳින් සිසු ජීවිත පිරවීම ඔවුන්ට කළ නො හැක්කක් නෙවෙයි.

සිය රාජකාරිය නිසි ලෙස ඉටු කිරීමෙන්, නියමිත විෂය කරුණු මනා කොට නිසි කාලයේ දී ඉගැන්වීමෙන් වගේ ම සිසු දරුවන්ගේ ගැටලූකාරී තත්ත්වයන් මානූෂීය ව සලකා බැලීමෙනුත් ගුරුවරුනට බොහෝ පින් රැස් කරගන්නට පුළුවන්.

මුදල මත බොහෝ දේ තක්සේරු වන සමාජයේ අධ්‍යාපනයත් මුදල් මත තීරණය වීම කණගාටුදායක කරුණක්. එහෙත් සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර ශ්‍රීමතාණන්ට පුණ්‍යානුමෝදනා වන්නට අපේ රටේ නිදහස් අධ්‍යාපන ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක වන නිසා ඇති හැකියවුන්ට වගේ ම නැති බැරියවුන්ටත් අධ්‍යාපනයේ සම අයිතියක් ලැබී තිබෙනවා. ඒ උත්තරීතර සමානාත්මතා ගුණයට ගරු කරනා ගුරුවරුන් කිසිසේත් ම පාසල තුළ සිය වෘත්තීයමය ජීවිතය අවතක්සේරුවකට ලක් කරන්නේ නැහැ. සම අධ්‍යාපන අයිතියේ ඇති මහානීය භාවය වටහා නො ගත් විටයි පාසලේ උගන්වනවාට වඩා හාත්පසින් ම වෙනස් සහ උසස් ලෙස උපකාරක පන්තියේ දී උගන්වන්නට ඇතැම් ගුරුවරුන් පෙළඹෙන්නේ. සුළුතරයක් වූ ඒ අයත් අධ්‍යාපන වැඩපිළිවෙළ තුළ තමන්ට පින්පෙත් පුරා ගත හැකි ආකාරය වටහා ගන්නවා නම් සුවහසක් දුවා දරුවනගේ දෙලොව ඇස් පාදන අතරේ ම තමන්ගේ දෙලොව යහපත සලසා ගැනීමේ සුගති මඟ ස්වකීය රාජකාරිය තුළ ම ඔවුන් විවර කරගෙන අවසන්…

වේවැල් කෝටු නාරං සියඹලා අතූ…

ගුරු වෘත්තිය ගැන කථා කරන විට දඬුවම් පැනවීම ගැනත් කථා කරන්න වෙනවා. සිසුන්ගේ වරදක් නිවැරදි කරන්නට තරයේ අවවාද කිරීමේ පටන් කෝටු පහර දීම දක්වා දඬුවම් ඈත අතීතයේත් භාවිත වුණා. තිලමුට්ඨි ජාතකයේ දී බෝසත් දිසාපාමොක්තුමා බ‍්‍රහ්මදත්ත කුමරුට පහර ගසා දඬුවම් දුන්නා. ඒ දුගී ස්ත‍්‍රියකගේ තල, මිට බැගින් තෙදිනක් ම සොරා ගැනීමේ වරදට. ඒ දඬුවම නිසා කුමරුට දිසාපාමොක්තුමා ගැන වෛරයක් ඇති වුණා. කුමරු රජ බවට පැමිණි පසු සූදානම් වුණේ දිසාපාමොක්තුමාට රාජ දඬුවම් පමුණුවන්නයි. එහෙත් එදා තදින් දඬුවම් නො කරන්නට සොරෙකු මිස රජෙකු බිහි නො වන බව තේරුම් කරදුන්නාට පසු රජු වටහා ගත්තා, ඒ දඬුවම් කිරීම යහපත උදෙසා මිස අහිතකින් කළ දෙයක් නො වන බව… දෙමාපියන් දරුවන්ට දඬුවම් පමුණුවන්නේ දරු සෙනෙහස නිසයි, දරුවන්ට අයහපතක් වනු දකින්නට ඔවුන් අකැමති නිසයි. ගුරුවරුනුත් එසේ ම යි…!

අපේ පාසල් සමයේ පන්ති දෙකක සිසුන් අතර ගුටිබැට හුවමාරුවක් වුණා. කෙතරම් අවවාද කළත් මේ දෙපිරිස යළි යළිත් ආරවුල් ඇති කරගත්තා. අන්තිමේ විදුහල්පතිතුමා කළේ ඒ හැම දෙනාට ම එළව එළවා ලොකු කෝටුවකින් පහර දුන් එකයි. එතුමාගේ පුතත්, ගුරුවරුන්ගේ දරුවනුත්, ව්‍යාපාරිකයන්ගේ හා සමාජයේ පිළිගත් තනතුරු හෙබවූවන්ගේ දරුවනුත් එදා ලේ මතු වනතුරු ගුටි කෑවා.

අද ඔවුන්ගෙන් අයෙක් ලෙෆ්ටිනන්වරයෙක්. අයෙක් නීතීඥයෙක්. බොහෝ දෙනෙක් ගුරුවරු. ඇතැම් අය පරිපාලන සේවයේ. තවත් අය ආරක්ෂක අංශයේ. වරෙක අප හමුවී ඒ සිදුවීම මතක් කළ විට ඔවුන් සිනාමුසුව පැවසුවේ ‘‘එදා සර් එහෙම නො කරන්න අද අපි මැරුණු තැන්වල ගසුත් පැළ වෙලා. සර් නිසයි අපි අද මෙහෙම තැනක ඉන්නේ. සර් ඉන්න දිහාවට හැරිලා හැමදා ම වැන්දත් මදි.” කියලයි….

ගුරු මාපියවරුන් සිසුන්ගේ ජීවිත තුළ ගුරු දෙවිවරුන් වන්නේ සුදුසු තැන සුදුසු ලෙස අයහපත පිටු දකිමින්, යහපත සලසන්නට ඔවුන් වග බලා ගන්න නිසයි. දරුවන්ගේ හැකියා – නො හැකියා තේරුම් ගත්ත, දරුවන්ගේ යහපත වෙනුවෙන් දිවි දෙවෙනි කරගත් මෙහෙවරක නියැළෙන ඒ සියලූ ගුරු දෙවිවරුන්ට ජාතියේ ප‍්‍රණාමය හිමි විය යුතු ම යි…

අසිරිමත් ගුරු තරුව…

රත්න ශ්‍රී විජේසිංහ කිවිඳාණන්ගේ ‘තරු ලකුණ’ කවි පොතේ කවියකින් අප මේ ලිපිය හමාර කරන්නේ මිය ගිය ද නො සිඳී ලොවට යහපත සදනා එළියෙන් දිදුලන්නට, එයින් දෙලොව යහපත සලසා ගන්නට සියලූ ගුරු මාපියවරුන්ට වාසනාව ලැබේවා යන ප‍්‍රාර්ථනාව ද ඇතිවයි…

‘සිඳී ජීවය මහලූ බවට පත්
පරඬලා තණ පත්හි
පිනි පොකුරු පල දරන උදෑසන
සැඟව යයි ගුරු තරුව
අරුණු රේඛා අතර
අවට තරු මඬුලූවල
එළිය වැගිරෙයි තවම
වන හිසට
බොහෝ නෙත් පහන් කොට
මග කියා
නො කියා ම බැසගිය,
ඇතැම් තරුවක් දැනට මිය ගොසින් විය හැකි ය
එහෙත් නො සිඳී ගලයි එහි එළිය.’

-සිසුවියක්-