අප මිනිස් ලොව ඉපිද සිටින්නේ ඉතාමත් සුළු කලකටයි. නමුත් මේ සුළු කාලය තුළ දී බොහෝ දේ කරන්නට තියෙනවා. එනිසා අපට සිතෙන්නේ ගොඩක් කාලය තියෙනවා කියලයි. නැහැ, ඇත්තෙන් ම අපට තියෙන්නේ සුළු කාලය යි. මේ සුළු කාලයේදී අප ලද මිනිස් ජීවිතයේ යම්කිසි සාර්ථකත්වයක් ලබාගන්න ඕනෑ. සැපවත් ලෙස ජීවිතය ගත කරන්නට ඕනෑ. පිං රැස්කර ගන්නටත් ඕනෑ. සතර අපායට නො වැටෙන සේ ජීවිතය රැකගන්නටත්, මරණින් මතු සුගතියේ උප්පත්තිය ලබන්නටත්, සසරින් එතෙර වන වැඩපිළිවෙලක් ඇති කරගන්නටත් ඕනෑ.
අඹු දරුවන් පෝෂණය කරමින් ගිහි ගෙදර වාසය කරන පිරිස කැමති විය යුතු කාරණා 5ක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා. එනම්,
1. ඔවුන් ඉඩකඩම්, මිලමුදල්, වතුපිටි, යානවාහන ආදි භෝග සම්පත් ලැබීමට කැමති විය යුතු ය
2. ජීවිතය පිළිබඳ ව අවබෝධයක් ලබමින් ප්‍රඥාවන්ත ව ජීවිතය ගත කිරීමට කැමති විය යුතු ය
3. ‘හොඳින් අධ්‍යාපනය ලබන්නේ’ යයි කැමති විය යුතු ය
4. ‘හොඳ රැකියාවක් කරන්නෙමි’යි කැමති විය යුතු ය
5. තමන් කරන රැකියාව අතර මඟ කඩාකප්පල් නො කර අනාගත අපේක්ෂාවන් ඉටු කරගන්නා තෙක් ම තෘප්තිමත් ව අවසානයක් දක්වා කරන්නෙමි’යි කැමති විය යුතු ය
(ඛත්තිය සූත්‍රය – අං. නි.)
ඉහත සඳහන් සියලූ අපේක්ෂා ඉටු කර ගැනීමට ගිහි ශා්රවකයන් කල්පනා කළ යුතු ය. රටක් තුළ නොයෙක් නොයෙක් රැකි රක්ෂා සිදු කරමින් ආදායම් උපයන විශාල පිරිසක් සිටිය ද එම රැුකියාවන් මුල් කොට තෘප්තියක්, සතුටක් ලබන පිරිස අල්ප ය. එයට ප්‍රධාන හේතු සාධකය වී ඇත්තේ පාරිශුද්ධ අරමුණක් තුළ තම රැකියාව රඳා නො පැවතී ම ය.
බොහෝ දෙනෙකු ආදායම් ඉපයීමට පෙලඹී සිටින්නේ මිථ්‍යා ක්‍රම අනුගමනය කොටගෙන ය. එනම් මත්ද්‍රව්‍ය හා මත්කුඩු වෙළෙඳාම, අවි ආයුධ වෙළෙඳාම, තමා විසින් සතුන් මරා මස් විකිණීම, කිරුම් මිනුම් මඟින් වංචා කිරීම, වැඩි මිලට බඩු විකිණීම, මිනිසුන් විකිණීම, වෙනත් අයගේ නම් දමා ලාභය තමන්ට හරවා ගැනීම, මිනිසුන් බිය වද්දා කප්පම් ගැනීම ආදි දේවල් ය. මිථ්‍යා ආජීවය කියා ධර්මයේ සඳහන් වන්නේ ද එය ම ය.
තමා කරන වෘත්තිය කුමක් වුවත් එමඟින් තෘප්තියක්, සතුටක්, සැනසීමක් ලැබීමට නම් සාධාරණ ක්‍රම මඟින් ආදායම් උපයාගත යුතු ය. ආදායම් උපයා ගැනීම හා ලාභ ලැබීම පමණක් රැකියාවේ මූලික අපේක්ෂාව නො විය යුතු ය. තම ආයතනයට, සමාජයට හා මුළු මහත් රටට ම යහපතක් සිදුවන ආකාරයට තම රැකියාව කළ යුතු ය. මෙසේ ධාර්මිකව උපයන ආදායමෙන් අඹුදරුවන් පෝෂණය කරමින් කර්මඵල අදහා ගෙන මුළු හදවතින් ම තෙරුවන් සරණ ගොස් සංසාර විමුක්තිය ගැනත් කල්පනා කරන අයට දෙවියන් පවා වඳින බව ධර්මයේ සඳහන් වේ.
බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ ධාර්මිකව රැකීරක්ෂා කර උපයන ආදායමෙන් සිත පහදවා ගෙන දන් දෙන තැනැත්තා දෙලොව ම ජය ගන්නා බවයි.
ධර්මානුකූල ව රැකීරක්ෂා කරමින් තමා උපයන මුදල කොටස් 04 කට බෙදිය යුතු ය.
1. පළමු කොටස ආහාරය සඳහා ය.
2. දෙවැනි කොටස ආදායම් මාර්ගයකට යොමු කළ යුතු ය.
3. තෙවැනි කොටස ද ආදායම් මාර්ගයකට යොමු කළ යුතු ය.
4. හතර වැනි කොටස ආපදාවක දී ගැනීමට තැන්පත් කර තබා ගත යුතු ය.
මෙසේ ධාර්මිකව රැකීරක්ෂා කරමින් ආදායම් උපයමින් සියලූ දෙනා කෙරෙහි මෛතී‍්‍රය සහගත ව කටයුතු කරන පුද්ගලයාට ජීවිතයේ සැඳෑ සමයේ දී තම ආදායම් ඉපැයූ ආකාරය, ජීවිතය ගත කළ ආකාරය පිළිබඳ ව විමසද්දී සතුටු වීමේ හැකියාව ඇත. අවාසනාවකට එබඳු වාසනාවක් රැකීරක්ෂා කරන බොහෝ පිරිසකට උදාවී නො මැත. අසරණ රෝගීන් කෙරෙහි කරුණාවක් නොමැති, පණ අදින රෝගීන් පසෙක දමා සිය මඩිය තරකර ගැනීමේ අටියේ නිරතුරු වැඩ වරණ හෙදියන්ට, දොස්තරවරුන්ට එම වාසනාව නැත. වැඩ කටයුතු මඟහරිමින් සේවය නො කර ආදායම් ලබන ඇතැම් සේවකයන්ට ද එම වාසනාව නැත. සේවකයන් කෙරෙහි කරුණාවක් නැති නිවාඩු දිනවල පවා අඩු මුදලට වැඩ ගන්නා සේවා යෝජකයන්ට එම වාසනාව නැත. පරණ කෑම නැවත රත් කර කර මේසයට යවන හෝටල් හිමි කරුවන්ට ද එම වාසනාව නො මැත. අසැබි වචන තෙපලමින් කරමින් ටියුෂන් දෙන දිසාපාමොක්ලාට ද එම වාසනාව නැත. හොරට බඩු කිරන, පරණ බඩු අලූත් ලේබල් දමා විකුණන කඩ හිමියන්ට ද එම වාසනාව නැත. අසභ්‍ය වීඩියෝ පට, පත්තර විකුණන, ඒවා නිෂ්පාදනය කරන පිරිසට ද එම වාසනාව උදාවී නො මැත. ‘විදෙස් රැකියාවන් ලබා දෙමි’ කියා මුදල් පැහැරගෙන යන වංචකයන්ට ද එම වාසනාව නැත. ‘වැඩි පොලියක් ලබා දෙනවා’ කියමින් මුදල් ලබා ගෙන මුදල් සියල්ල සොරකම් කරන මිනිසුන්ට ද මේ වාසනාව උදාවී නො මැත.
මේ හේතුවෙන් රැකියා නියුක්තිකයන්ට තම රැකියාව මුල් කොට ජීවිතයට සතුටක් ලැබීමේ, පින් දහම් රැස්කර ගැනීමේ අවස්ථාව මඟ හැරී ඇත. අවසානයේ රැකියාවෙන් ලැබී ඇත්තේ භවභෝග සම්පත් හා තම සිතට අසහනය, අසතුට ජනිත කරවන අකුසල් ගොඩක් පමණි.
තමා කරගෙන යන රැකීරක්ෂා ව්‍යාපාර කඩාකප්පල් වීමටත්, ලබා ඇති ධනය පිරිහීමටත් හේතුවන කාරණා මච්ඡරිය සූත්‍රයේ සඳහන් වේ.
1 නින්දාරාමතා – බොහෝ කොට නින්දේ ඇලී සිටීම, කම්මැලි ගතිය, රැකියාවක් කිරීමට ඇති අලස බව
2 සංඝණිකාරාමතා – පිරිසේ ඇලී ගැලී වාසය කිරීම, රැකියාව සිදුකිරීමට ඇති කාලයේ පිරිස් සමඟ එකතුවී විනෝද වෙමින් වැඩ කටයුතු මඟහැරීම.
3 දෝවචස්සතා – ධර්මයට කීකරු නැති බව, එනම් ධාර්මිකව රැකියාව කිරීමට, සිල්වත්ව ජීවත් වීමට, බුදු දහමෙන් නිර්දේශ කොට ඇති අවවාදවලට අකමැති වීම.
4 පාපමිත්තතා – තමාට සහ අන් අයට අයහපත පිණිස කටයුතු කරන බේබද්දන්, සොරුන් ආදි පාපමිත්‍රයන් ඇසුරු කිරීම, මිල මුදල් නාස්ති කිරීම.
මේ කටයුතුවලින් තොර ව එනම් නින්දේ ඇලී නො සිටීම, ධර්මයට කීකරුව ධාර්මිකව ආදායම උපයමින්, සිල්වත්ව ජීවිතය ගත කරමින් තමාගේ මෙන් ම අන් අයගේ ද යහපතට හේතුවන කලණ මිතුරන් ඇසුරු කරමින් කටයුතු කිරීම නිසා පුද්ගලයෙකුට භවභෝග සම්පත්වලින්, රැකී රක්ෂා කටයුතුවලින් දියුණු විය හැකි බව බුදුරජාණන් වහන්සේ පෙන්වාදී ඇත.
මෙසේ අවබෝධයෙන් යුතු ව සම්මා දිට්ඨියට පැමිණි පුද්ගලයාගේ ප්‍රධාන අරමුණ වනුයේ සීල, සමාධි, ප්‍රඥා දියුණු කොට සසරින් මිදීම ය. එ් සඳහා ඔහු හික්මිය යුත්තේ සීල, සමාධි, ප්රඥාවලින් යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ය. මෙබඳු උදාර අරමුණක් ඉටුකර ගැනීමට නම් පාරිශුද්ධ ජීවිතයක් තමා තුළ ඇතිකර ගත යුතු ය. එම නිසා ඔහු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පස්වෙනි අංගය වශයෙන් සැලකෙන සම්මා ආජීවයෙන් හෙවත් පිරිසිදු දිවි පැවැත්මකින් යුක්ත විය යුතු ය.
ඔහු මෙසේ පව් කරන, පවට අනුබල දෙන ජීවන රටාවක් තුළ සමථ විදර්ශනා වැඩිය නො හැකි නිසා ධාර්මිකව රැකී රක්ෂා කරමින්, වෙළෙඳාම් කරමින් ආදායම් උපයයි. එම නිසා තම රැකියාව මුල්කොට ඔහුට පී‍්‍රතියක් සතුටක් ලැබිය හැකි වේ. ඔහුගේ එක ම අරමුණ තම රැකියාවෙන් කෙසේ හෝ ආදායම් ඉපයීම නො ව රැකියාවේ වගකීම් ඉටුකරමින් ආයතනයටත් ජනතාවටත් හැකි උපරිම ආකාරයෙන් සේවය කරමින් ජීවිතයට පින් දහම් රැස්කර ගැනීම ය.
ඒ නිසා නිතර ම තම ආයතනයේ සේවකයන් කෙරෙහි ද, ස්වාමියා කෙරෙහි ද, තමාගෙන් සේවය ලබන පාරිභෝගිකයන් කෙරෙහි ද මෛතී‍්‍ර සහගතව කතාබහ කරන ඔහු ඒ සියලූ දෙනා කෙරෙහි ම මනසින් ද මෛතී‍්‍ර වැඞීමට පුරුදුවෙයි.
තම ආයතනයේ සේවකයන් මෙන් ම අනෙකුත් ආයතනවල සේවකයන් ද, පාරිභෝගිකයන් ද දුක්පීඩා විඳින අවස්ථාවල දී මේ අය දුකින් මිදෙනවා නම් කොච්චර හොඳයි ද? යන අදහසින් කටයුතු කරයි. ඔවුන්ට සහන සලසා දෙයි. එවිට ඔහු තුළ වැඩෙන්නේ කරුණාවයි.
එමෙන් ම තම ආයතනයේ සේවකයන්ගේ මෙන් ම අනෙකුත් ආයතනවල සේවකයන්ගේ ද, ගනුදෙනුකරුවන්ගේ ද, දියුණුව දැක සතුටු වෙයි. දියුණුවට අනුබල දෙයි. එවිට ඔහු තුළ මුදිතාව වැඩෙයි.
කර්මයට අනුව සැපදුක් උරුමකොට කර්මය ම දායාදය කොට සිටින සියලූ දෙනා කෙරෙහි ම මධ්‍යස්ථව බලා කටයුතු කරන විට පවතින්නේ උපේක්ෂාවයි.
තමන් ධාර්මිකව උපයාගත් ආදායමෙන් කර්මඵල සලකා පිනට දහමට යොදවමින් ‘‘තමන් මසුරු මලින් පීඩා විඳින ජනතාව අතර මසුරු මල බැහැර කළ ත්‍යාගශීලී කෙනෙක් නො වේ දැයි” සිතමින් සතුටු වේ. එවිට ඔහු තුළ වැඩෙන්නේ චාගානුස්සතිය යි. මෙසේ තම වෘත්තිය මුල්කොට භාවනා වඩමින් ජීවිතයට පින් දහම් රැස්කර ගැනීමට රැකියාවක නියුතු සියලූ දෙනාට ම හැකි ය. මෙසේ මෛතී‍්‍ර සහගත ව කටයුතු කරන විට,
1. රටට ජනතාවට ආදරය කරන රජයේ සේවකයන්,
2. පාරිභෝගිකයන් කෙරෙහි කරුණාවන්ත වෙළෙඳුන්,
3. මගීන්ට කරුණාව ඇති රියදුරන් හා කොන්දොස්තරවරු,
4. රෝගීන් කෙරෙහි කරුණාවන්ත වෛද්‍යවරුන්, හෙදියන්, රෝහල් සේවකයන්,
5. සේවකයන් හා ගනුදෙනුකරුවන් කෙරෙහි කරුණාවන්ත සේවා යොජකයන් ආදීන් බිහිවනු ඇත.
ඉහත සඳහන් බුද්ධානුශාසනාවන් ඉතා ම ගෞරවයෙන් පිළිගෙන ඒ අනුව රැකී රක්ෂා කරන බෞද්ධයෝ දිනෙන් දින ලෞකික ජීවිතයේ ඉහළට ම යති. එපමණක් නො ව ඔවුන් ධාර්මිකව ලෝකෝත්තර දියුණුව කරා ද යති. පරලොවදී සුගති ලෝකවල උපදී.
මේ ආකාරයට දෛනික ජීවිතයට බුදු සමිඳුන් වදාළ ධර්මය එක්කර ගනිමින් මේ ජීවිතය ඉතාමත් සාර්ථක කරගැනීමේ ඒ දුර්ලභ වාසනාව උදාවනු නො අනුමාන ය. මේ ජීවිතයේ දී සාර්ථක වූ ජීවිතය පරලොවදී සාර්ථක වීම කිසිවෙකුටත් වලකාලිය නො හැක. මෙම අකාලික වූ දහම ඔබේ ජීවිතයටත් ගළපාගැනීමේ වාසනාව උදා වේවා!
ජීවිකාවේ සටහන
අමල් කරුණාරත්න
Recent Comments