‘කැලේ මාරු වුණාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නෙ නැහැ’ කියන්නේ බොහොම ජනප‍්‍රිය කතාවක්. මේ කතාවේ එක වැරැද්දක් තියෙනවා කියන එක මං දැන ගත්තේ කොටියයි, දිවියයි වෙන්කරල හඳුනා ගත්ත දවසේ.

වැරැද්ද මේකයි. කැලේ මාරු වුණා ම මාරු වෙන්න හෝ නො වෙන්න කොටියට පුල්ලි නැහැ…! කොටියට තියෙන්නේ වයිරම්. දිවියට තමයි පුල්ලි තියෙන්නේ…!

ලෝකෙ වටේ යන මේ ගමනෙදි ඒ කතාව අපි පැත්තකින් තියමු. කැලේ මාරු වුණ පමණින් කොටියා දිවියෙක් නො වුණට මොකද ඔන්න මනුස්සයෙක්, දිවියෙක් වෙලා… හෙමින් සීරුවේ වෙස් මාරු කර ගත්ත මේ මිනිස් දිවියා හෙවත් ‘මැනිමල්’ (Man+Animal=Manimal) ට දැන් වයස අවුරුදු හතළිහක්. වයස අවුරුදු විස්සේ දී තමයි ඔහුට දිවියෙක් වෙන්න ම ඕනෙ කියන ආශාව ඇති වෙලා තියෙන්නේ.

‘ලැරී ද ලෙපර්ඞ්’ (Larry The Leopard) නාමයෙන් කා අතරත් ප‍්‍රසිද්ධ මේ මිනිස් දිවියාගෙ සැබෑ නම ලාන්ස් බි‍්‍රස්ක්. ඔහු ඇමෙරිකාවේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ වැසියෙක්. ඒ වගේ ම වෘත්තියෙන් පච්ච ශිල්පියෙක්. මේ වෘත්තීය දැනුමත් මිනිස් දිවියෙකු බවට පත් වීමේ දී ඔහුට බොහෝ සෙයින් උපකාරී වී තිබෙන බව බැලූ බැල්මට ම පෙනී යනවා. අවුරුදු විස්සේ දී සිරුර පුරා දිවියෙකුගේ ආකාරයෙන් පුල්ලි පච්ච කොටා ගැනීමෙන් තමයි ඔහු කුඩා අවධියේ පටන් ආශාව වී තිබුණ මිනිස් දිවියා බවට පත් වුණේ.

ඔහු විශ්වාස කරන්නේ තමන් අර්ධ මිනිසෙක් සහ අර්ධ දිවියෙක් කියලයි. ඔහු ඇවිදින්නේත් දිවියෙකුගේ සුඛනම්‍ය, උපක‍්‍රමශීලී හා තීක්ෂණ ලීලාවෙන්. දිවියෙකු ලෙස වෙස් වලා ගැනීමෙන් ඇති වූ මෙම ප‍්‍රතිරූපය ඔහුට ගන අන්ධකාරයේ වුවත් පෙනීම ලබා දෙන්නට සමත් වූ බව ඔහු පවසනවා. එසේ ම රාත‍්‍රි කාලයේ දඩයම් කිරීමට හැකි වීම සහ වේගයෙන් දිවීමට හැකිවීම යන බලයන් ඔහුට ලැබුණේ දිවියෙකු වීම නිසා බවයි ඔහුගේ අදහස.

ඔහු එක්දරු පියෙක්. ඔහුගේ කුඩා දියණියට බැලූ බැල්මට තම පියාණන් ව පෙනී යන්නේ කාටුන් චරිතයක් ලෙස විය යුතු යි. එහෙත් යම් දවසක මේ කාටුන් සෙල්ලමේ සමබරතාවය බිඳී ගොසින් මනුෂ්‍යයා වෙනුවට කැලෑ දිවියා ඉස්මතු වුණොත් නම් මේ මිනිස් දිවියා ගැන තීරණයක් ගන්න බලධාරීන්ට සිදු වෙයි. ඒ දේවල් ඔබාමා පාලනයට ම භාර දීලා මේ පුදුම සහගත චරිත ස්වභාවය අපි වෙනස් ඇසකින් කියවමු.

ලාන්ස් බි‍්‍රස්ක් හෙවත් නූතන මිනිස් දිවියා මේ ආකාරයෙන් තිරිසන් සතෙකුගේ ස්වරූපය තමන්ට ආරෝපණය කර ගන්නට මහත් කැමැත්තක් දක්වන්නේත්, කැප කිරීමක් සිදු කරන්නේත් ඇයි? මේ ගැන ඔහුවත් ඇතැම් විට නො සිතනවා වන්නට පුළුවන්. හැරත් ඔහු නිරන්තරයෙන් කියා සිටින්නේ මෙය කුඩා කල පටන් ඔහුගේ ආශාව බවයි.

ලෝ ප‍්‍රකට ටාර්සන් කතා මාලාව ගැන ඔබ අසා ඇති. ටාර්සන් නම් මිනිස් දරුවාට ඉතා කුඩා අවධියේ දී ම දෙමව්පියන් අහිමි වෙනවා. එයින් පසු ව ඔහු ව හදා වඩා ගන්නේ වඳුරු මවක්. ඇයට වඳුරු පැටවා අහිමි වී සිටිය දී හමු වුණ මේ මිනිස් දරුවා ව ඇය පුත‍්‍ර තනතුරේ තබාගෙන ඇති දැඩි කරනවා. වඳුරන්ගේ සෑම හැසිරීමක් ම, චර්යාවක් ම මේ දරුවත් පුරුදු වෙනවා. එපමණක් නො වෙයි, ඔහුට වඳුරු භාෂාවත් හොඳට පුළුවන්. එහෙම හිටපු ටාර්සන්ටවත් වඳුරෙක් වගේ ජීවත් වෙන්න ඕනේ කියල හිතුණෙ නැහැ. ප‍්‍රබන්ධයක දී වත් සිදු නො වුණ එවන් දෙයක් සැබෑවට ම මිනිස් දිවියා හරහා එළි දකින්නේ ඔහු කුඩා කාලයේ පටන් දිවියන් ඇසුරේ හැදිලා වැඩිල නිසාවත්, දිවියන්ගේ ඇසුර ඔහු සුලබ ව ලබන නිසාවත් නෙමෙයි. කොටින් ම මෙලෙස දිවි වෙස් ගැනීමට ඔහුට දෙමව්පියන්ගේ අවසරය ලැබිලත් නෑ. මේ ගැන දෙමව්පියන්ගේ පවතින දැඩි නො කැමැත්ත නිසා අදටත් ඔවුන් දෙගොල්ල අතරේ සමීප සබඳතාවයක් නැහැ. එහෙම නම් මිනිසෙක් ලෙස දිවි ගෙවීම අගය කරන සමාජයක හැදුණු වැඩුණු ඔහු මේ ආකාරයෙන් මිනිස් දිවියෙක් බවට පත්වන්නට දැඩි ලෙස පෙළඹ වූ කාරණය මොකක් වෙන්න ඇති ද?

ඔන්න ඔය ප‍්‍රශ්නයට උත්තරය හොයන්න මීට වසර 2557කට එහා අතීතයට ගමන් කරන්න අපට සිද්ධ වෙනවා. සාමාන්‍ය මිනිසාට ඉන්ද්‍රියගෝචර නො වන සහ ප‍්‍රඥගෝචර නො වන, විශේෂ ඤණයකින් ම, විශේෂ අවබෝධයකින් ම දැක ගත යුතු, දැන ගත යුතු මේ කාරණා ලෝකයට හෙළිදරව් කළ මහා ප‍්‍රඥලෝකය ජීවමාන ව ලොව එකලූ කළ යුගය තමයි ඒ. කාලත‍්‍රය විනිවිද දකිනා විශිෂ්ට ප‍්‍රඥාවකින් හෙබියා වූ තථාගතයන් වහන්සේගේ අවබෝධයට නමස්කාර වේවා! උන්වහන්සේ විසිනුයි අතැර නො හැර අප පවත්වාගෙන එනු ලබන සංසාර පුරුදු ගැන අපූරුවට පෙන්වා වදාළේ.

තථාගතයන් වහන්සේ ජීවමාන ව වැඩ සිටි ඒ කාලයේ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් අධික ලෙස දන් වළඳමින් වාසය කළා. මේ අසාමාන්‍ය, අධික වැළඳීම ගැන අනෙක් ස්වාමීන් වහන්සේලා පුදුමයට පත් වුණා. ඒ පුවත සැල කෙරුණු මොහොතේ තථාගතයන් වහන්සේ වදාළේ මේ ස්වාමීන් වහන්සේ ආත්ම භව පන්සියයක් මුළුල්ලේ එක දිගට ම ඇතෙකු වශයෙන් ඉපිද ඇති බවයි. ඒ සසර පුරුද්ද නිසයි උන්වහන්සේ අධික ලෙස දන් වළඳන්නේ.

තවත් ස්වාමීන් වහන්සේ නමක් වැළඳු ආහාරය වමාරනවා. බුදු නුවණින් පෙන්වා වදාළේ මෑතක දී ගව යෝනියෙන් චුත වී ඇති ඒ ස්වාමීන් වහන්සේ පෙර පුරුද්ද අනුව ගත් ආහාරය වමාරන බවයි… ඒ ආකාරයට ම සසරේ බොහෝ වාරයක් වඳුරු යෝනියේ උපන් පුරුද්ද නිසාවෙන් මහ මඩ වළක් මුණ ගැසුණ විට එයට උඩින් පැන යන සහ කුඩා මළ වළක් මුණ ගැසුණ විට එහි බැස යන ගති ස්වභාවයක් පෙන් වූ තෙරුන් වහන්සේ නමක් සම්බන්ධ පුවතත් අපට මුණ ගැසෙන්නේ බුද්ධ කාලීනව ම යි…

ඔය ආකාරයට ම ධර්මය අසන්නට පැමිණ සසර පුරුදු ඉස්මතු කර පෙන්වූ උපාසකවරු පස් දෙනෙක් ගැනත් ධර්මයේ කියැවෙනවා. ඒ පස් දෙනාගෙන් එක් අයෙක් තථාගතයන් වහන්සේ අභියස හිඳගෙන නිදා වැටුණා. තව කෙනෙක් ඇඟිල්ලෙන් බිම ඉරි අඳින්න පටන් ගත්තා. තවත් කෙනෙක් ළඟ තිබූ ගසක අත්තක් සොලවන්නට පටන් ගත්තා. එක්කෙනෙක් අහස දෙස විමසිල්ලෙන් බලන්නට පටන් ගත්තා. අනිත් කෙනා පමණක් ධර්මයට ම සිත නතු කරගෙන අසාගෙන සිටියා.

මේ පස් ආකාර චර්යාවන් ගැන ආනන්ද තෙරුන් වහන්සේ විමසූ විට තථාගතයන් වහන්සේ වදාළේ ධර්ම ශ‍්‍රවණය පසෙක ලා නිදා ගත් තැනැත්තා ආත්ම භාව පන්සියයක් මුළුල්ලේ එක දිගට ම සර්ප යෝනියේ ඉපිද දරණ ගසා ඒ මත හිස තබා නිදා ගත් පුරුද්දට ම දැනුත් නිදනා බවයි. ඒ ආකාරයෙන් ම ගැඩවිල් පණුවෙකු ව ඉපිද බිම හාරනා පුරුදු තිබූ තැනැත්තා බිම ඉරි ඇඳීමත්, වඳුරෙකු ව ඉපිද අතු සොලවමින් හුන් තැනැත්තා අත්ත සෙලවීමත්, නැකැත් තරු බලන පුරුදු තිබූ තැනැත්තා අහස බැලීමත් සිදු කර තිබුණා. ආත්ම භාව පන්සියයක් මුළුල්ලේ වේද මන්ත‍්‍ර හදාරණ බ‍්‍රාහ්මණයෙක් ව ඉපිද පුරුදු තිබූ තැනැත්තා ඒ පුරුද්ද අනුව ම මනා කොට ධර්මයට සවන් යොමු කර තිබුණා.

සර්වඥතා ඤණයෙන් පිරිසිඳ නො දකින්නට අප කාටවත් ඒ දේවල් සිතීම් මාත‍්‍රයකටවත් හසු කර ගන්නට බැහැ නේ ද? මිනිස් දිවියා ගැනත් මෙවැනි ම පසුබිම් කථාවක් තිබෙනවා වන්නට බැරි යැයි කාට නම් කිව හැකි ද?

මේ මිනිස් දිවියාට සසරේ බොහෝ කාලයක් දිවියෙකු ලෙස උපන්නා වූ පුරුද්දක් ඉස්මතු වී මෙවැනි අභිචාර ජීවන රටාවක් ප‍්‍රිය වූවා වන්නට පුළුවන්. පිටු දකින්නට අසමත් වුණ ඒ පුරුද්ද විසින් මතු අත්භවයක ඔහු ව සැබෑවට ම දිවියෙක් ලෙස උපද්දවන්නට කොහෙත් ම බැරිකමක් නෑ. දැනටමත් ඔහුගේ සිතුවිලි සකස් වී තිබෙන්නේ දිවියෙකු ලෙස දිවි ගෙවීමටයි. ඉතින් මරණින් මතු?

ඔබට මතක ඇති සේනිය සහ පුණ්ණ දෙදෙනාගේ කථා වස්තුව. මේ සිද්ධිය කියැවෙන්නෙ මජ්ඣිම නිකායේ කුක්කුරවතිය සූත‍්‍රයේ.

පුණ්ණ සිටියෙ ගව ව‍්‍රතය සමාදන් වෙලා. ඒ කියන්නේ සෑම ආකාරයකින් ම ගවයෙකු ලෙස ක‍්‍රියා කරනවා. සේනිය සමාදන් වෙලා සිටියේ සුනඛ ව‍්‍රතය. හැසිරීම් රටා සුනඛයෙක් වගෙයි.

මේ දෙදෙනා තථාගතයන් වහන්සේ සමීපයට ඇවිත් ඔවුන් එකිනෙකා මේ ආකාර ව‍්‍රතයන් සමාදන් වී සිටින බව පවසා ඔවුන්ගේ පරලොව ජීවිත කවර ආකාර වේදැයි විමසා සිටියා. තථාගතයන් වහන්සේ තෙවරක් ම එයට පිළිතුරු දීම ප‍්‍රතික්ෂේප කොට වදාළා.

තවදුරටත් විමසා සිටි නිසා තථාගතයන් වහන්සේ එකී ව‍්‍රතයන් සමාදන් වීමේ විපාක වදාළා. උන්වහන්සේ දේශනා කළේ යමෙක් සුනඛ ව‍්‍රතය, සුනඛ සීලය, සුනඛ සිත, සුනඛ ආකල්ප වඩනවා නම්, පරිපූර්ණ ව නිරතුරු ව වඩනවා නම් ඔහු කය බිඳී මරණින් මතු සුනඛ ලෝකයේ උපදින බවයි. ඒ ආකාරයෙන් ම යමෙක් ගව ව‍්‍රතය, ගව සීලය, ගව සිත, ගව ආකල්ප වඩනවා නම්, පරිපූර්ණ ව නිරතුරු ව වඩනවා නම් ඔහු කය බිඳී මරණින් මතු ගවයන්ගේ ලෝකයේ උපත ලබන බවයි. එතකොට ලැරීට මක් වෙයි ද…?

අනවරාග‍්‍ර සසර පුරාවට අප ව ඇද දමා තිබෙන අනතුර සුළුපටු නැහැ නේ ද? දුර්ලභ මිනිසත් බවත්, අති දුර්ලභ සම්බුද්ධ ශාසනයත් එක වර ම මුණ ගැසී අති උතුම් ක්ෂණ සම්පත්තිය උදා වුණ මේ මොහොතේ අප තව දුරටත් සසරේ පුරුදු පරිද්දෙන් ම ප‍්‍රමාද විය යුතු ද? ජරා, ව්‍යාධි, මරණයන්ට සදාකල්හි ම අප ව යට කරගෙන යෑමට ඉඩ තැබිය යුතු ද?

මේ දේවල් ගැන අන් කවරදාටවත් වඩා සිතා බලන්නට සුදුසු ම කාලය තමයි මේ එළඹ තිබෙන්නේ. මේ කාරණයත් සමඟ ම තවත් පුංචි, එහෙත් වැදගත් කාරණයක් ඔබට කියන්න ඕනේ.

ඔබේ කුඩා දරු සිඟිත්තාත් කාටුන් චරිතයන්ට ප‍්‍රිය කරනවා වන්නට පුළුවන්. විශේෂයෙන් ම ඒ දකින සතුන් ලෙස ඔවුන් රඟපානවා, හැසිරෙනවා වන්නට පුළුවන්. ඔවුන්ගේ ළමා මනසේ නො මැකෙන අයුරට චිත්ත රූප මවන්නට සුන්දර යැයි පෙනී යන ඒ සත්ව ලෝකය සමත් වනවා නේ ද? ඉතා ම උපක‍්‍රමශීලී ව ඒ ගැන ළමා සිත්හි ඇතිවන ආශාව වෙනස් කිරීම වැදගත්. මොන තරම් සුන්දර ලෙස පෙනී ගියත් ඒ දුක් බහුල වූ, පීඩා බහුල වූ තිරිසන් අපාය බව ඔවුන්ට පහදා දෙන්න. එහි වැටෙන්නට, ඇලෙන්නට, ගැලෙන්නට නො ව සදහට ම එයින් නිදහස් වන්නට අප උත්සාහ කළ යුතු බව කියා දෙන්න. ඒ වෙනුවෙන් ගත යුතු එක ම මඟ සම්මා සම්බුදු මඟයි යන විශ්වාසය ඔවුන් තුළ ඇති කරවන්න.

මෙතැනින් කිසිසේත් ම පහළට නො වේ; ඉහළට වන්නට… එතැනින් ද නො නැවතී පහළින් ද මෙතැනින් ද ඉහළින් ද සදහට ම නිදහස් වන්නට සියලූ දෙනාට භාග්‍යය උදා වේවා!

තෙරුවන් සරණයි!