ධර්ම දායාදය වෙනුවෙන් සුපින්වත් දරුවන් මනුලොවට පමුණුවන උතුම් වැඩපිළිවෙළක් ගැන කථා කර කර හිටපු අපේ අද සටහන ඒ දුවත් පුතාත් ලොව්තුරු සම්බුදු සෙවණේ හැදෙන ‘හොඳ දරුවෙක්’ කරන්නේ කොහොම ද? කියන එක ගැනයි.
සුදු පුතා, ලොකු පුතා, පොඩි පුතා, මගෙ පුතා, රත්තරං පුතා, උක්කුං පුතා…. කියලා නොයෙකුත් නම්වලින් අපි දරුවන් ව හඳුන්වන්නේ, වර්ග කරන්නේ ආදරේට. අපි සරණ ගියපු තථාගතයන් වහන්සේත් දරුවන් ව වර්ග කළා. ඒ අතිජාත, අනුජාත සහ අවජාත දරුවන් ලෙස.
අතිජාත දරුවන් කියන්නේ ගුණ ධර්මයන්ගෙන්, ධන ධාන්‍යයෙන්, කල්‍යාණ කීර්ති රාවයෙන් දෙමව්පියන්ට වඩා දියුණු වන, ඉදිරියෙන් සිටින දරුවන්. දෙමාපියන් හා සමානව ම ගුණ නුවණින්, ධන ධාන්‍යයෙන්, කීර්තියෙන් වැඩෙන දරුවන් අනුජාත දරුවන් ලෙසින් හඳුන්වනවා. සුජාත නො වන දරුවන් අවජාත දරුවන් කියලා සමාජය හැඳින්වුවාට තථාගතයන් වහන්සේ අවජාත දරුවන් ලෙස පෙන්වා දෙන්නේ දෙමාපියන්ගේ නාමයටත් නින්දා, අපහාස, කැළැල් සිදුවන ආකාරයට හැසිරෙමින් දෙමව්පියන්ගේ කල්‍යාණ කිර්තියත් විනාශ කරලා, තමනුත් විනාශ වෙන දරුවන්ටයි.
ඔබේ පුතා ව අතිජාත දරුවෙක් කරන්න තමයි අපි මේ මඟ කියන්නේ.
භාග්‍යවතුන් වහන්සේ දෙමව්පියන් ව මේ ආකාරයට හඳුන්වා දෙනවා. ‘අපාදකා’ – දරුවන් ව ලෝකයට බිහි කරනවා. ‘පෝසකා’ – දරුවන් ව පෝෂණය කරනවා. ‘ලෝකස්ස දස්සේතාරා’ – ලෝකය හඳුන්වා දෙනවා. මේ ආකාරයෙන් දරුවන් කෙරෙහි පවතින දෙමාපියන් දරුවාට ලෝකය හඳුන්වා දීමේ දී ඒ දරුවාගේ ජීවිතයේ අතිශයින් වැදගත් කේන්ද්‍රස්ථානයක් සනිටුහන් කරනවා.
ඔබේ දරුවා දෙමව්පියන්ට කීකරු, දෙමව්පියන් තේරුම් ගනිමින් හැදෙන. වැඩෙන දරුවන් බවට පත් කර, කලණ මිතුරන්ගේ ඇසුර නිබඳ ව ම ලබා දී, දෙමාපියන්ගේ ගෞරවය ඔප් නන්වන දරුවන් බවට පත් කර ගැනීමේ යහපත් අපේක්ෂාව මේ උත්තුංග මෙහෙවර ආරම්භයේ දී ම ඔබ සතු විය යුතු යි.
තමන් දෙමව්පියන් ලෙසින් ගුණ දහමින් පෝෂණය වී සිටින ආකාරය ඔවුන්ට දකින්න සලස්වන අතරේ ම ගුණ ධර්ම පෝෂණය කර ගැනීම ගැනත්, සත් ඇසුර සහ අසත් ඇසුර තෝරා බේරාගෙන කටයුතු කිරීම ගැනත් දරුවන්ගේ ඇස පෑදවීම ඔබට භාරයි.
ඔබේ සමීපයේ මේ හැදී වැඩෙන්නේ මව්කුසයේ සිටිය දී ම තෙරුවන් සරණ ගිය දරුවෙක්. යාන්තම් බහ තෝරන වයසෙදි ම අම්මා, තාත්තා, පවුලේ අය වගේ ම භාග්‍යවතුන් වහන්සේවත්, සංඝයා වහන්සේලාවත් ඔබේ දරුවට හුරු පුරුදු බවට පත් කරවන්න ඕනේ. සම්බුද්ධ ප‍්‍රතිමාවක් දුටු පමණින් දෑත එක්කර වන්දනා කරන, මුදු මොළොක් හඬින් ‘‘සාදු…!!!” කියන දරු සිඟිත්තන් ඔබ ඕන තරම් දැක ඇති. ඒ හුරුව ලා බාල අවධියේ දී ම ලබා දෙන්නට වගේ ම දැනුම් තේරුම් එන වයස වෙන තුරු ම පවත්වා ගන්නත් වගකීම තිබෙන්නෙ ඔබට ම යි. ඉන් ඉදිරියට ඔවුන් එය නිතැතින් ම සිදු කරනවා.
බහ නො තෝරන වයසේ සිටිය දී ම දරුවාට යහපත් වූ, ප‍්‍රිය වූ වචනයෙන් නිතර කථා කිරීම ඔබ කළ යුතු වෙනවා. නිරතුරු ඔබේ ළතෙත් ඇසුර දරුවාට ලබා දෙන්න. ඔබ බහ තෝරා දුන් ආකාරය ජීවිත කාලයක් පුරාවට බස මනාව හසුරුවන්නට ඔවුන්ට නිසි මාර්ගෝපදේශනයක් බවට පත් වෙනු ඇති.
දරුවෙක් ව ලොකු මහත් කරන ඔබ කිසිසේත් අමතක නො කළ යුතු කාරණාවක් තමයි දරුවා බොහෝ දේවල් ඉගෙන ගන්නේ ඔබෙන් බව… ඔබ ඇවිදින, කථා කරන, අසුන් ගන්නා ආදි සෑම ඉරියව්වක් ම දරුවා සමාජානුගත කරවීමේ පූර්ව ආචාර්යවරුන් ලෙසිනුයි පවතින්නේ. අන්න ඒ දේ ම තමයි ඔබේ දරුවා ගුණ නැණ බෙලෙන් යුතු දරුවෙකු බවට පත් කිරීමේ වැදගත් ම කාර්යභාරය ඉෂ්ටසිද්ධ කරන්නේ.
ඔබ වැඩිහිටියන්ට, පූජ්‍ය පක්ෂයට කොන්ද භාගෙට නවා වන්දනා කර, දරුවන්ට දණ ගසා, පසඟ පිහිටුවා වන්දනා කරන්නට කියා වචනයෙන් අවවාද කිරීමට වඩා ආදර්ශයෙන් ම එය පෙන්වා දීමයි කළ යුත්තේ. එහෙම නො වුණොත් ඔබේ පාලනය යටතේ සිටිය දී දණ නවා වන්දනා කළාට කරදඬු උස් මහත් වන විට ඔබේ කොන්ද නැමුණ තරම්වත් ඔවුන් නො නැමෙනු ඇති. මොකද මේ මේ පාර්ශ්ව අතිශයින් ගරු කටයුතුයි, වන්දනීයයි, පූජාවන්ට සුදුසුයි කියන ආකල්පයට වඩා ඔවුන්ගේ මතකයේ රැුඳෙන්නේ අපේ අම්මා, තාත්තා එකල පවා වුවමනාවට, එපාවට මෙන් කළ දෙය අප ද එලෙස ම කිරීමේ වරදක් නැති බව වීම නිසයි.
ඒ නිසා ඔබේ දරුවා ව අවවාදයෙන් හික්මවන්නට පෙර ආදර්ශයෙන් ඉගෙන ගැනීමේ අවස්ථාව දරුවාට ලබා දීම සිදු කරන්න. ඔබ පසඟ පිහිටුවා ශ‍්‍රාවක සඟ රුවන නැමදීමෙන් අරුත් ගැන්වෙන යටහත්භාවය, නම්‍යශීලීභාවය හා සඟ රුවනේ උත්තරීතරත්වය ඔබේ සිතුවිලිවල පහන් ප‍්‍රසාදයක් ජනිත කළා නේ ද? ‘තුනුරුවනට වඩා උතුම් කෙනෙක් මට නැතේ…’ කියන හැඟීම ඒ වන්දනාවෙන් පවා තීව‍්‍ර වුණා නේ ද? ඒ සිතුවිල්ල ම මාන්නයෙන් තොර ව ධර්මයේ හැසිරීම පිණිස පවතිනවා. ඔබ එසේ කරන බව දකින ඔබේ දරුවා එය ඒ ආකාරයෙන් ම අනුගමනය කරන බව සැකයක් නැහැ.
යාන්තමින් බහ තෝරන අවධියේ සිට ම දරුවාට යම් යම් වගකීම් භාර දෙන්නටත් අමතක කරන්න එපා. දිනපතා බුද්ධ වන්දනාවට දරුවන් ව සක‍්‍රීය ව දායක කර ගන්න. වන්දනාව සූදානම් කිරීමේ සුන්දර වගකීම ඔවුන් අතට පත් කරන්න. දෑත් දෙපා මුහුණ දොවා පිරිසිදු වී, සුවඳ මල් නෙළාගෙන, පිරිසිදු සිසිල් පැන් සකසා ගෙන භාග්‍යවතුන් වහන්සේට පුද දීම ඔවුන් ඉමහත් සතුටින් සිදු කරන අතරේ අප එලෙසින් තථාගතයන් වහන්සේ ව පුද දෙන්නේ ඇයි කියන එකත් ඔවුන්ට පහදා දෙන්න. අපමණ බුදු ගුණ ගැන ඒ ළමා ළපටි සිත් සතන් පහදාලන්න. ජීවිත කාලය පුරාවට ම තථාගතයන් වහන්සේ ව ශාස්තෘත්වයේ තබාගෙන කටයුතු කිරීමේ අති දුර්ලභ, මහානීය වාසනාව ඔවුන්ට සැලසෙන්න මූලික පදනම ඒ තුළින් සකස් වෙනවා. ඔබේ දරුවා අතිජාත දරුවෙකු කරන්නට ඊටත් වඩා මඟ පෙන්වීමක් තුන්ලොවේ කොතැනින්වත් සොයා ගන්නට නැහැ. බුද්ධ වන්දනාව අවසන ඔවුන්ගේ ළමා මනසට ගෝචර වන සුන්දර ධර්ම අවවාදයක් ලබා දෙන්න. එය මතක තබා ගන්නට ඔවුන් ව දිරි ගන්වන්න. ඒ අනුව කටයුතු කිරීම සෑම මොහොතක ම අගය කරන්න.
ගස් වැල් වැවීමේ, පිරිසිදුව සිටීමේ අගය ඔවුන්ට පහදා දෙන්න. ‘‘මෙහෙම කරන්න… අරෙහෙම කරන්න…” කියනවාට වඩා ‘‘මෙහෙම කළොත් මේ හොඳ දෙය සිදුවනවා…” කියා පහදා දීම, ක‍්‍රියාවෙන් ඔප්පුකොට පෙන්වීම ඔවුන්ගේ සිත් ආමන්ත‍්‍රණය කරන්නට සුදුසු ම ක‍්‍රියා මාර්ගය බවට පත්වනු ඇති. තමන්ගේ අතින් මල් පැළයක් වවා, සාත්තු කර එහි පිබිදෙන මල්වලින් තථාගතයන් වහන්සේට පූජා පවත්වා අග‍්‍ර ලෙස සතුටුවීමේ අවස්ථාව දරුවන්ට ලබා දීමට ඔබ මුල් වෙන්න.
ඒ වගේ ම ඔබේ දරුවාගේ ජීවිතයේ සමීපතමයා බවට ඔබ නිරන්තරයෙන් පත්විය යුතු වෙනවා. ඔබටත් වඩා සමීප මිතුරන් දරුවාට නො සිටිය යුතු යි. අප එසේ කියන්නේ මේ සමාජය කෙලෙස් මලවලින් කිලිටි ව ඇති තැනක් නිසාවෙන් සහ පාපී දේවල්වලට ඔබේ දරුවා ඇද වැට්ටවීමේ උපක‍්‍රම සෑම තැන්හි ම ක‍්‍රියාත්මක වන නිසාවෙන්. කවර දෙයක් වුණත් ඔබ හරහා දරුවාට සම්පේ‍්‍රෂණය කරවීම ඉතා වැදගත්. ඒ ඒ දේවල්වල ඉවත් කළ යුතු දෑ සහ ඒවාට එක් කළ යුතු දෑ තීරණය කිරීම ධර්මයේ හැසිරෙන, ධර්ම අවබෝධයකින් යුතු දෙමව්පියන්ට සිදු කළ හැකි යි. එය ඔබට ගැටලූවක් වන අවස්ථාවක කලණ මිතුරන්ගේ ආර්ය අවවාදයන් ලබා ගැනීමට පුළුවන්.
උදේ සවස ඔබේ පා නමැද ආශීර්වාද සලසා ගන්නට පුරුද්දක් දරුවන් තුළ ඇති කරන්න. ඔබත් නිරන්තරයෙන් පූජක හා වැඩිහිටි උතුමන් පුද දීමෙන් මනා ආදර්ශයන් සැපයීම සිදුවිය යුතු ම යි.
තවත් විශේෂිත ම දෙයක් තමයි ඔබේ දරුවාගේ නිපුණතා වර්ධනය. නූතනයේ පුතාලට කැත්ත, උදැල්ල, පොරොව අතිශයින් ආගන්තුක වන ආකාරයට ම දියණිවරුන්ටත් මුළුතැන්ගෙය, මහන මැෂිම නුහුරු නුපුරුදුයි. හදිසියේ විදුලි බුබුලක් මාරු කරන්නට වුණත් නො හැකි තරමට ඔවුන් කුසලතාවයන්ගෙන් දුර්වලයි. පොතේ පතේ වැඩ වගේ ම ගෙදර දොරේ එදිනෙදා කටයුතුත් ප‍්‍රවේශමන් සහ නිසි ආකාරයෙන් සිදු කිරීමේ අතිශය වටිනා ප‍්‍රායෝගික දැනීම සහ භාවිතය කුඩා වයසේ දී ම දරුවාට ලබා දිය යුතු යි. පිරිමි දරුවෙක් නම් තාත්තා සිදු කරන දෛනික ක‍්‍රියාකාරකම් ගැන ඔහුට උගන්වන්න තාත්තා මුල් විය යුතු වෙනවා. වත්තෙ පිටියෙ වැඩවලදි ඔබේ හොඳ ම අත් උදව්කාරයා විය යුත්තේ ඔබේ දරුවා. ඒ වගේ ම උයන පිහන කටයුතුවලදි ඔවුන්ගේ සහයෝගය ලබා ගන්න. ලූනු ගෙඩිය සුද්ද කිරීම ඔවුන්ට භාර දෙන්න. ගෙදර කෑම වේල සකස් කිරීම තුළ ඔවුනුත් යම් කාර්යභාරයක් ඉටු කරන බවත්, එය දෙමව්පියන්ට ඉමහත් උපකාරයක් බවත් ඔවුන්ට ඒත්තු ගන්වන්න.
හැකි සෑම මොහොතක ම ඔවුන්ගේ දායකත්වය නිසි ලෙස අගය කරන්න. සුළු හෝ වැරැද්ද ප‍්‍රතික්ෂේප කරන්න. දඬුවම් ලබා දීම නො කළ යුතු බව දැන් දැන් කියවුණත් සිනහ මුවකින් වුණත් සිහිපත් කළ යුතු දෙය තමයි දඬුවම් නො ලැබෙන්නට අද වන විට මා නම් මීට වඩා අතිශයින් පහත් තැනක සිටිය යුතු බව. ද්වේෂය නිසා නො වෙයි, දරුවන් ගැන ඇති කරුණාව නිසා වුවමනා තැන්වලදි ඔවුන්ට දඬුවම් කිරීමට සිදු වේවි. දඬුවමක් දුන් මොහොතේ දී ම දරුවා සනසවන්න නම් එපා. පසුව දරුවාගේ නො රිස්සුම ඉවත් වූ විට දඬුවම් ලබා දුන්නේ වරද නිවැරදි කරන්නට බවත්, තරහක් නිසා නො වන බවත් සෙනෙහසින් කියා දෙන්න. එවැනි වැරදිවලින් තමාටත්, සමාජයටත් සිදුවන හානිය පෙන්වා දෙන්න. භාග්‍යවතුන් වහන්සේගේ දරුවන් වැරදිවලින් අත්මිදෙන්නට වෙර දරන, ඒවායින් අත්මිදෙන පිරිසක් බව අවධාරණය කරන්න.
වර්තමාන සමාජ ක‍්‍රමය තුළ ඔබත් බොහෝවිට අතිශයින් කාර්යබහුල, අවිවේකී අයෙක් වන්නට පුළුවන්. මෙලොව එළිය දකින තුරු ඔබ මහත් සෙනෙහසින් මඟ බලාගෙන සිටි ඔබේ දරුවා දිවා කාලය මුළුල්ලේ ඔබේ උණුසුමෙන් දුරස් ව වැඩිහිටියන් සමීපයේ හෝ සුරැකුම් භාරයේ හැදී වැඩෙනවා වන්නට පුළුවන්. ඔබේ මුළුමහත් කැපකිරීම් සිදුවන්නේ ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් බව ඇත්තක්. එහෙත් ඔබේ දරුවන්ට ඔබ ළඟ නැති අඩුව නො දැනේ ය කියා සිතන්නට එපා.
සවස් කාලය එළඹෙන විට ඔවුන් නො ඉවසිල්ලෙන් මඟ බලා සිටින්නේ අම්මාගෙත්, තාත්තාගෙත් මුහුණු දැක බලා ගන්න. ඒ උණුසුමේ හුරතල් වෙන්න. දහවල් කාලය පුරාවට ඔවුන්ගේ ලෝකයේ ඒකරාශී වුණ කතා මල්ල ඔබත් එක්ක බෙදා ගන්න. ඒ නිසා ඔබේ මහන්සිය නො සලකා හැරලා ඔවුන් වෙනුවෙන් ඉතා වටිනා කාලයක් වෙන් කරන්න වගකීමක් ඔබට තිබෙනවා. වෙහෙස නිසාවෙන් ඔබ දරුවාගෙන් දුරස් වුවහොත්, ඒ ගැන වැටහීමක් නැති ඔබේ දරුවා ඔබ ගැන අමනාපයට පත් වන්නටත්, ඔබ හා දරුවා අතර සමීප සබඳතාවය බිඳ වැටෙන්නටත් එය ම හේතු වන්නට පුළුවන්.
පොතපතේ දැනුම දරුවාට ලබා දීමේ දී වගකිව යුතු මෙහෙවරක් ඉටු කරන්නේ ගුරුවරුන්. එහෙත් පවතින අධ්‍යාපන රටාව නිසාවෙන් විෂය පථයට එහා යන ප‍්‍රායෝගික දැනුමක් දරුවන්ට අධ්‍යාපනය හරහා අග‍්‍ර ආකාරයෙන් නො ලැබෙන බව රහසක් නෙමෙයි. ඇරත් ඒ දැනුම පාසලෙන් ම ලබා දිය යුතු යි කියන තැන ඔබ කිසිසේත් ම සිටිය යුතුත් නැහැ. ඒ නිසා සරුංගල් උඩ යවන කාලයට නිවසේ දී ම ඔබේ දරුවාට සරුංගලයක් හදා දෙන්නත්, හදන හැටි කියා දෙන්නත් අමතක කරන්න එපා. වෙසක් කූඩුව ඔබේ දරුවා සමඟ නිවසේ දී ම නිර්මාණය කර ගන්න. කෝම්පිට්ටු හදන්න, සෙල්ලම් බත් උයන්න, ඒ උයන සෙල්ලම් බතින් හිත මිතුරන්ට සංග‍්‍රහ කරන්න, බෙදා හදාගෙන සුහදශීලීව කටයුතු කරන්න ඔබේ දරුවාට ඉඩ දෙන්න. කොස්කොළ ඔටුන්නක් හදාගෙන රජ වෙන ඔබේ දරුවා ව අගය කරන්න.
වැලි ටිකක්වත් පයට පෑගෙන්න නො දී ඔබේ දරුවා ව ලොකු මහත් කරනවාට වඩා ස්වභාවික පරිසරයට වඩාත් සමීප වෙමින් ඔබේ දරුවාට වැඩෙන්න ඉඩ හැරීම හරහා සොබා දහමටත් පණ සේ ම ආදරය කරන සොඳුරු හිතක් ඇති සොඳුරු මිනිසෙක් ලොවට දායාද කරන්න උපකාරී වෙනවා.
පුංචි කාලයේ ඉඳන් ම දරුවාට කියා දිය යුතු වැදගත් ම පාඩම් දෙකක් තමයි පිළිවෙළ සහ පරිස්සම. ඇඳුම්, පැලඳුම්, සෙල්ලම් බඩු පවා පිළිවෙළට තබා ගත යුතු බව ළමා වයසේ දී ම කියා දෙන්න. ඒ වගේ ම ප‍්‍රවේශම් විය යුතු තැන්, පුවේශම් විය යුතු ඇයි යන කාරණාත් තේරුම් කර දෙන්න. මෙවැනි දේවල් ඍජුව කියනවාට වඩා නිර්මාණාත්මක කතන්දර ස්වරූපයෙන් ඉදිරිපත් කිරීම ළමා මනස ඔබ වෙත නතු කර ගන්නට ඉතාමත් හොඳ පදනමක් සකස් කර දෙනවා. අපේ ළමා කාලයේ දෙමව්පියෝ, වැඩිහිටියෝ කියා දුන්න ජාතක කතා, ජනකතා අපේ මතකයේ තවම තියෙනවා නේ ද? අනෙක් බොහෝ දේවල්වලට වඩා අපට මතක තියෙන්නෙත් ඒ කවි කතන්දර ම යි නේ ද? ඒ නිසා ඔබේ දරුවා ව එවන් වූ හරවත් කතා සම්ප‍්‍රදායකින් පෝෂණය කරන්නට පසුබට වෙන්න එපා. අප සිතනවාටත් වඩා උසස් ආකාරයෙන් යම් යම් අවස්ථාවල ඒ කතා මූලික අවවාදයන් ජීවිත යහපත් කරවීමේ කාර්යභාරය ඉටු කරනවා.
ඔවුන්ගේ මිතුරන් ගැන විශේෂයෙන් සොයා බලන්න. ඒ මිතුරන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඔබේ සමීප හිතවතුන් බවට පත් කර ගැනීමෙන් ඔබේ දරුවා වටා විශාල ආරක්ෂක ජාලයක් ඇති වෙනවා. එයින් ඔබේ දරුවා නො මඟට යෑමේ ඉඩ බොහෝ සෙයින් අවම කෙරෙනවා.
සිල්ලර ගණනට තාක්ෂණය භාවිත කළ හැකි අන්තර්ජාල යුගයක් දැන් අප සිටින නිසා ඔබේ දරුවා ඔබට වඩා බොහෝ කලින් සහ පහසුවෙන් අන්තර්ජාලයට සහ ජංගම දුරකතනයට පුරුදු වන බව නිසැකයි. ඔවුන්ගෙන් ඒ දේවල් ඉවත් කොට දැඩි තහංචි පනවනවාට වඩා ඒ ගැන අවදියෙන් සිටිමින් තාක්ෂණය අවභාවිතයෙන් වළකින්නට මඟ පෙන්වීම හා දැනුවත් කිරීමයි වඩා වැදගත්. කුඩා කල පටන් ම ධර්මයේ හැසිරීම පුරුදු කරවා, පවට බය සහ පවට ලැජ්ජාව කියන දේව ධර්මයන්ට අනුකූල ව ජීවත් වෙන්න ඔබ දරුවාට පුරුදු කර තිබීම මෙතැන දී ඔබට ඉමහත් පහසුවක් වනු ඇති.
ඔබේ දරුවාගේ සහජ හැකියාවන් හඳුනා ගැනීමත් කළ යුතු යි. ඔහු හෝ ඇය තුළ ඔබට වුවමනා වෘත්තිකයා දකිනවාට වඩා ඔහු හෝ ඇය තුළ සිටින වෘත්තිකයා දිරිමත් කිරීම මාපිය – දූදරු සියල්ලන්ගේ ම අපේක්ෂාවන් සඵල කරවන්නට උපකාර වන බව නිසැකයි.
දරුවන් පවින්, අයහපතින් මුදවා ගැනීමත්, යහපතෙහි යෙදවීමත්, සුදුසු කාලයේ දී ශිල්ප ශ‍්‍රාස්ත‍්‍ර ඉගැන්වීමත්, සුදුසු කාලය පැමිණි විට ආවාහ විවාහ කටයුතු සිදු කර දීමත්, සුදුසු කාලයේ දී දරුවනට දේපළ පවරා දීමත් දෙමව්පියන්ගේ යුතුකම්. ශිල්ප ශ‍්‍රාස්ත‍්‍ර ඉගැන්වීමේ දී ධර්මයෙන් පන්නරය නො ලද උගත්කම කිසිසේත් ගරු කටයුතු නො වන වගත් සිහි තබා ගෙන කටයුතු කළ යුතු වෙනවා. හික්මීමෙන් තොර අධ්‍යාපනය අපරාධයන්ට ආයුධයක් බව බටහිර විද්වතුන් කියා සිටිනවා. එහෙත් ඒ හික්මීම, විනය ලැබෙන්නේ කවරකින් ද කියා ඔවුන්ට පැහැදිලි මතයක් නැහැ. වරදින් අප මුදවන හික්මීම ඇති කරවන්නට සමත් වන්නේ අයහපත පිටු දකින, යහපත ම අගයන සම්බුදු දහම ම මිස අනෙකක් නම් නෙමෙයි. ඒ නිසා තෙරුවන් සරණ හැර සරණක් ලොව කොතැනකවත් නැති බව ඔබේ දරුවාගේ හැඟීම් තුළ නිදන්ගත කරවන්න.
පළමු පියවරෙන් ම සම්බුද්ධ ශාසනයට පූජා කෙරුණු, තිසරණයට භාර කෙරුණු ඔබේ පුතා, ‘හොඳ දරුවෙක්’ කියන සොඳුරු විවරණය ලබා දෙන්නට වාසනාවන්ත වුණ අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් වන්නට නිසැකයෙන් ම ඔබටත් පුළුවන්…!
මෙම ලිපිය පිළිබඳ ඔබේ අදහස් අපට SMS කරන්න
071 018 94 30
සටහන
භාරත සූරියබණ්ඩාර
Recent Comments