රටේ රජවරුන්ගේ ඉතිහාසය ගැන අප බොහෝ කරුණු දන්නවා. රජවරුන්ගේ නම්ගොත් ද ඒ ඒ රාජධානි ගැන ද සවිස්තර ව රසවත් විදිහට අප අහල තියෙනවා. බුද්ධ ශාසනයේ ඉතිහාසය ද මේ රටේ ඉතිහාසයට බද්ධ වී තිබෙන්නේ ගහට පොත්ත වගේ. රජවරුන් ඒ ඒ කාලයේ පවත්වාගෙන ගිය පාලන තන්ත‍්‍රයන් ගැන අපට ඉතිහාස පොත්පත්වලින්, සෙල්ලිපිවලින්, ජනප‍්‍රවාදවලින් තමයි දැනගන්නට තිබෙන්නේ. ‘ධාර්මික පාලනයක්’ කියන සංකල්පය සෑම කාලයේ ම අපේ රාජ්‍යයක මූලික අංගයක්. ඉතිහාසයේ රාජ්‍ය පාලනතන්ත‍්‍රයට ‘ධාර්මික පාලනය’ බද්ධ වීමට බුදුරජාණන් වහන්සේගේ විශ්මිත හෙළිදරව්ව ඇතුළත් මේ ධර්මයයි හේතු වුණේ. බුදු දහමේ විස්තර කරන රාජ්‍ය පාලන විධි, බුදුරජාණන් වහන්සේ රජවරුන් උදෙසා කළ අවවාද අනුශාසනා, බුදුරජාණන් වහන්සේ වැඩසිටි කාලයේ හා අතීත බුදුවරුන් වැඩසිටි කාලයේ පැවති පාලන තන්ත‍්‍රයන් පිළිබඳ විස්තර ආදියෙන් අපේ අතීත පාලන ක‍්‍රමය පෝෂණය වුණා.

බුදු දහම පදනම කරගෙන පැවති රාජ්‍ය පාලනයක් ප‍්‍රායෝගික ව හා සාර්ථක ව වසර දහස් ගණනක් බාධක මධ්‍යයේ වුව ද ක‍්‍රියාත්මක කරන්නට අපේ පැරැන්නන් සමත් වුණා. අධාර්මික පාලනයක් පැවති කාලයේ, විදේශ ආක‍්‍රමණ පැවති කාලයේ පවා අපේ පැරැන්නන් සටන් කළේ මේ ධාර්මික පාලනය උදෙසා ම යි. බොහෝ මතවාද තිබුණ ද දෙපයින් නැඟී සිටින්නට අපට එක ම බලය වන්නේ බුද්ධ ශාසනය මුල්කොට පවතින ධාර්මික පාලනය යි. අන්න ඒ පාලනය සොයා යන්නේ කෙසේදැයි කතා කිරීමට දැන් කාලය පැමිණිලා. පහුගිය කාලේ උතුරු නැගෙනහිර ත‍්‍රස්තවාදය තුරන් කිරීමේ සටන අවසන් වුණා. යුද්ධයෙන් සමාජගත වූ ආදිනව දැන් අප ප‍්‍රායෝගික ව අත්විඳිනවා. බටහිර සුප‍්‍රකට දේශපාලන ක‍්‍රම මඟින් නැවතත් ධාර්මික පාලනයක් ඇතිකර ගැනීම නම් සංකල්පයක් ම විතරයි. පංච දුෂ්චරිතය ම සිදු කරමින් බොරුවෙන්, වංචාවෙන් රටක් පාලනය කරන ලෝක දේශපාලන ක‍්‍රම තුළ සංවර්ධනයකට වඩා අපට උරුම වන්නේ හානිකර හෙටක්. යුද්ධය නිමා වූ අපේ රටේ පාලන ක‍්‍රමය ධාර්මික පාලනයක් කරා ගෙන යන්නට රටවැසියන් ලෙස තම තමා විසින් කළ යුතු උතුම් වගකීමක් තියනවා. එය අද ඉටු නො කළහොත් අපේ අනාගතය අඳුරු වෙන බව ඉතිහාසය නැවත් නැවතත් උගන්වා තිබෙනවා. බුද්ධ වචනයේ ඇති ධාර්මික පාලනයක තතු අප හදාරා සිටීම මෙකල පාලනය යම් අයුරකින් හෝ හිතසුව පිණිස සකසා ගැනීමට ඉවහල් වේවි.

බුදුරජාණන් වහන්සේ චක්කවත්ති සීහනාද සූත‍්‍රයේ සක්විති රජවරුන් පිළිපදින සක්විති වත් ගැන දේශනා කොට තිබෙනවා. ‘දළ්හනේමි’ නම් සක්විති රජතුමාගේ පුත් කුමරා හට රාජ තනතුරු ප‍්‍රධානයකොට දින හතකට පසු පියා සතු චක‍්‍රවර්තී මාණික්‍යය අතුරුදන් වුණා. එය නැවත ලබාගෙන සක්විති තනතුර ලබා ගැනීමට සිදු කළ යුතු සක්විති වත් ගැන පිය රජතුමා මෙසේ කියා දුන්නා. ‘‘පුත‍්‍රය, නුඹ ධර්මයෙහි පිහිටා, ධර්මයට ම සත්කාර කරමින්, ධර්මයට ම ගරු කරමින්, ධර්මය ම ප‍්‍රිය කරමින්, ධර්මයට ම පුදමින්, ධර්මයට ම වඳිමින්, ධර්මය ධජය කරගෙන, ධර්මය ම අග‍්‍ර කරගෙන, ධර්මය ම ප‍්‍රධාන කොටගෙන, සිය අඹු දරුවන් සීලයේ පිහිටුවා, ඔවුනට කළ යුතු ධාර්මික ආරක්ෂාව සලසා දිය යුතු ය. සිය බලසේනාව ද ධාර්මික ක්ෂත‍්‍රියයන් ද බ‍්‍රාහ්මණ ගෘහපතීන් ද සීලයෙහි පිහිටුවා ආරක්ෂා කළ යුතු ය. ගම් නියම්ගම් ජනපදවාසීන් ද සිල් ගුණදම් පුරන මහණ බමුණන් ද සිවුපාවුන් හා කුරුල්ලන් ද ආදි සතුන් ද ජීවිත දානයෙන් ආරක්ෂා කළ යුතු ය. සිය රටෙහි අධාර්මික ක‍්‍රියා නො පවත්වන්නට කටයුතු කළ යුතු ය. රටේ ජීවත්වන දුප්පතුන්ට උපකාර කළ යුතු ය. පුත‍්‍රය, සිය රටෙහි රාගාදි කෙලෙස් දමනය කළ, සමනය කළ, දුරින් දුරු කළ යම් මහණ බමුණෙක් වෙත් ද කලින් කල උන්වහන්සේලා කරා ගොස් දැනගත් යමක් අකුසල් ද එය අත්හැරිය යුතු ය. යමක් කුසල් ද එය පිළිගෙන පැවැත්විය යුතු ය. පුත‍්‍රය, නිවැරදි සක්විති වත් මේවා ය”

බලන්න, වගකීම නිසි ආකාරයෙන් ඉටුකරන සැබෑ නායකයාට මහජන මතය විමසීමකින් තොරව ලෝකය ම දිනන්නට හැකි පිරිසිදු ක‍්‍රමයක් පවතින බව භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දුන්නා. එ් සක්විති රජ පදවිය යි.

දළ්හනේමි රජුගේ ඇවෑමෙන් රාජ පරම්පරා හතක් සක්විති පදවිය දැරුවා. අටවැනි රජු සක්විති වත් විමසුවේ නැහැ, ඉටු කළෙත් නැහැ. ඔහු දුප්පතුන්ට ධනය නො දුන් නිසා දිළිඳු බව පැතිරී ගියා. සොරකම ඇති වුණා. අවි ආයුධ පරිහරණය ඇති වුණා. ප‍්‍රාණඝාතය සිදු කරන්නට පටන් ගත්තා. ජනයාගේ ආයුෂ පිරිහුණා. වර්ණය ද පිරිහුණා. මිනිසුන්ගේ ආයුෂ අවුරුදු අසූ දහසක සිට හතළිස් දහසකට අඩු වුණා. බොරුකීමට පටන් ගැනීම නිසා මිනිස් ආයුෂ විසි දහසක් බවට පත් වුණා. කේලාම් කීමට පටන් ගත් නිසා දස දහසකට ආයුෂ අඩු වුණා. පරදාර සේවනයේ යෙදීමෙන් පන් දහසකට ආයුෂ අඩු වුණා.

තද ආශාව, ක්‍රෝධය යන දෙක අතිශයින් පැතිරුණා. මිථ්‍යා දෘෂ්ටීන් බොහෝකොට පැතිරී ගියා. මෙසේ අධර්ම රාගය, විෂම ලෝභය, මිථ්‍යා ධර්මය අතිශයින් පැතිරී ගියා. මව කෙරෙහි වරදවා පිළිපැදීම, පියා කෙරෙහි වරදවා පිළිපැදීම, භික්ෂූන් වහන්සේලා කෙරෙහි වැරදි ලෙස හැසිරීම, සිය පවුලෙහි වැඩිහිටියන්ට යටහත් නො වෙන බව යන මේ වැරදි පහ පැතිර ගියා. මේ ආකාරයට දුශ්චරිතය කරන්නට, කරන්නට ආයුෂ සියයක් දක්වා අඩු වුණා. බලන්න මේ ලෝකයේ සිදුවන අපූරු ධර්මතාවක් බුදුරජාණන් වහන්සේ හෙළි කළා.

මේ වන විට අපේ රටේ සම්මත ආයුෂ අවුරුදු 65- 75 ක් අතර නේ ද පවතින්නේ? ලෝකයේ ගුණ ධර්ම පිරිහීමත් ආයුෂ, වර්ණ, සැප, බල පිරිහීමත් අතර ඇති සම්බන්ධය හරිම විස්මිතයි නේ ද? බුදු නෙතින් දුටු අනාගත ලෝකයේ අපූරු හෙළිදරව්ව තමයි මේ…..

අනාගතයේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු දහයක් වෙනවා. අවුරුදු දහයක් පරමායුෂ ඇති කාලයේ විවාහ වෙන්නේ අවුරුදු පහෙන්. ඒ කාලය වෙන විට ගිතෙල්, වෙඬරු, තල තෙල්, මී, හකුරු, ලූණු යන මේවායේ රස නැති වී යනවා. අකුසල ක‍්‍රියා අතිශයින් පැතිරෙනවා. ඒ කාලයේ කුසල් යන නමවත් අහන්නට ලැබෙන්නෑ.

සත්වයන් තුළ ඔවුනොවුන් කෙරෙහි දැඩි කෝපය, දැඩි ව්‍යාපාදය, දැඩි ද්වේෂය, දැඩි වධක චිත්තය (මැරීමේ ආශාව) ඇති වෙනවා. අන්න ඒ කාලයේ සත් දවසක් මුළුල්ලෙහි ආයුධවලින් ඇන කොටාගෙන එකිනෙකා විනාශ වෙනවා. අප ජීවත් වෙන්නේ ඒ අඳුරු අනාගතයට යන පාරේ බව බුද්ධ වචනයෙන් ම තහවුරු වුණා නේ ද? රටේ වැඩිවන දුශ්චරිතය දැක දැක ම මේ රටාවේ ම ඉදිරියට යන්නට තරම් අප කෙතරම් පිරිහිලාදැයි හොඳින් විමසා බැලිය යුත්තක්.

අප දන්නවා ලිච්ඡවී රජ දරුවන්ගේ පාලනය ගැන භාග්‍යවතුන් වහන්සේ මහා පරිනිබ්බාන සූත‍්‍රයේ දේශනා කළා. අපරිහානී ධර්ම අනුගමනය කළ ලිච්ඡවීන් හට ගණ තන්ත‍්‍ර පාලනයක් හෙවත් මණ්ඩලයක් විසින් පාලනය මෙහෙයවීමේ ක‍්‍රමයක් තිබුණා. නිතර එක්රැස් වීම, සමඟි ව රැස්වීම, සමඟිව සාකච්ඡා කිරීම, සමඟිව විසිර යාම, පැනවූ නීති කඩ නො කිරීම, නො පැනවූ නීති නො පැනවීම, වැඩිහිටියන්ට ගරු කිරීම, කුල කාන්තාවන්ට හිරිහැර නො කිරීම, සාම්ප‍්‍රදායානුකූල ව ගරුසත්කාර කරන පූජනීය ස්ථානවලට ගරුකිරීම, පිටතින් ශ‍්‍රමණ බ‍්‍රාහ්මණයන් පැමිණි විට තමන්ගේ අය සේ ගරු සත්කාර කිරීම කියන මේවා සප්ත අපරිහානී ධර්ම යි. භාග්‍යවතුන් වහන්සේ අනුමෝදන් වූ ඒ පාලනය සමඟ අද තත්ත්වය සසඳා බලන්න. අප අද ප‍්‍රායෝගිකව මේ අපරිහානී ධර්ම තුළ හික්මෙනවාදැයි හිතන්නට කාලය ඇවිත්. අප වටහාගත යුත්තේ කවදා හෝ අපට හිත සුව පිණිස පරිසරයක් බිහිවනවා නම් ඒ සුචරිතයෙන් යුතු ධාර්මික පාලනයක් තුළින් බව යි.

බලන්න, කුසල්, අකුසල්, පින්, පව, යහපත අයහපත වටහගන්නේ නැතිව අනාදිමත් කාලයක සිට අප බල ගැන්වූ පාලනයන් නිසා බොහෝ දෙනාගේ ම දුසිරිත වැඩි වෙලා. ආයුෂ අඩු වෙලා. වර්ණය අඩු වෙලා. කායික මානසික සැපයත්, බලයත් පිරිහිලා. ධර්මයෙන් ඈත්වී ගිය පරිසරයක් ඇති රටකින් අපට ම කර ඇති හානිය හොඳින් තේරුම් ගත යුත්තක්. අධර්මයට ම සත්කාර සම්මාන කරන මේ යුගයේ බුද්ධ වචනයට මානනය පූජනය කොට කථා කරනවා කියන්නේ කෙතරම් දුලභ දෙයක්දැයි අප තේරුම් ගත යුත්තක්.

රටක් සමාජීය, ආර්ථික වශයෙන් මහා අගාධයකට ඇද දමපු බිහිසුණු ත‍්‍රස්තවාදී යුගයකට පසුව අපි ගොඩනංවන්න බලාපොරොත්තු වෙන ජාතික සහජීවනය කරා යන්නට ද මේ දැහැමි පාලන ක‍්‍රමවේදයේ සරණ හැර අන් සරණක් අප සතුව නැහැ. දිනෙන් දින යෝධ සංවර්ධන ව්‍යාපෘතීන් පණ නගන මේ පසුබිම ධර්මයෙන් පෝෂණය කළ හැකි නම් දස රාජ ධර්මයෙන් රට සුරැකි හෙළ රජ සමය යළි මේ බිම මත පිහිටුවන්නට අපට පුළුවන්. දිනන්නට නො හැකියැයි කී යුද්ධයකින් ජය ගත් රටකට, කරන්නට අපහසු යැයි සිතෙන මෙවන් වෙනසක් කරන්නට බැරිකමක් නෑ. එහෙම වෙන්නෙ, යුද්ධය දිනීම පිණිස යුද උපායන් අප සතු වුණා වගේ ම, ධාර්මික ව ම පාලනය වන රටක් බිහි කිරීම නම් වූ ආශ්චර්යවත් වෙනස කරන්නට උවමනා මඟ මැනැවින් පෙන්වා දෙන උතුම් සම්බුදු දහමත් අප සතුව තිබෙන නිස යි.

මේ වෙනස වෙනුවෙන් අපේ රට පෙළ ගැසුණහොත් ධාර්මික පාලනය මතු කලෙක සෑබෑවක් ම වන බව අපිට විශ්වාස යි.

සටහන
කාලිංග මහානාම