අපි සියල්ලෝ ම නිරන්තරයෙන් සිතින්, කයින් හා වචනයෙන් කර්ම රැස් කරමින් සිටින්නෙමු. එහෙත් කර්මයේ ස්වභාවය මේ යැයි හැම මොහොතේ ම ඉස්මතු කර පෙන්වන්නට කිසිවෙකුටත් නො හැකි ය. මන්ද ඒ ඒ මොහොතේ ම ඒ ඒ කර්මයට අදාළ ඵල ලැබෙන්නේ නැති නිසාවෙනි. නමුත් ඇතමුන් සිදු කළ ක්‍රියාවන්හි විපාක මේ ජීවිත කාලය තුළ ම, ඇස් පනාපිට ම දකින්නට ලැබේ. ගැල බැඳි ගොනුන් පසුපස දිවෙන ගැල් සක මෙන් කර්මය ද අප අත නො හැර අප සමඟ ම පැමිණෙන බව වඩාත් හොඳින් පෙන්වා දෙන්නට එවැනි සිදුවීම්වලින් ලැබෙන්නේ මහඟු උපකාරයකි. අප මේ කියන්නට යන දයානන්දගේ කථාවෙන් ද ‘කරන කලට මී පැණි සේ මිහිරි වූ ද විඳින කලට ගිනි සේ දැඩි වූ ද’ පාපී අකුසල කර්මයන්හි ස්වභාවය අපට මොනවට පසක් කර දෙයි.
දයානන්ද, කලකට ඉහත නම් සාර්ථක වගාකරුවෙකි. ඉතා සරුසාර වූ වතුපිටි ගණනාවක් ඔහු සතු වුණේ වගා කිරීමට ඔහු දැක්වූ සමත්කම්වල ප්‍රතිඵලයක් ලෙසට ය. අතමිට සරු වෙන විට ඔහු වටා රොක් වූ මහා පිරිසක් ද විණි. ඔවුන් අතර පොහොසතා ද බලවතා ද දක්ෂයා ද වූයේ දයානන්ද යි.
පෞද්ගලික වගාබිමක සුවිසල් වගාවක් පවත්වගෙන ගිය ඔහුට සිය වගාවේ ආරක්ෂාව වෙනුවෙන් නිරන්තර සෝදිසියෙන් සිටින්නට සිදු විය. නිතර දෙවේලේ වගාව මනාකොට නඩත්තු කරමින් ඔහු උත්සාහ කළේ හොඳ අස්වැන්නක් සහ හොඳ ආදායමක් උපයා ගැනීමට ය. අක්කර ගණනින් වගා කෙරුණු ඒ කාලයේ බහුල වූයේ සොර සතුරු උවදුරු නො වේ. වගාවට වැඩිපුර ම හානි සිදු කළේ වන සතුන් ය. ඒ අතරිනුත් පෙරමුණේ ම සිටියේ හිටි හැටියේ පැමිණ වගාවට කඩා වැදෙන වඳුරු රංචුවකි. මේ වඳුරු කරදරය නිසා දයානන්ද නිතර ම පසු වුණේ දැඩි කේන්තියකිනි.
ඒ කාලයේ වගා හානී මැඬ පැවැත්වීමේ අරමුණ ඇතිව වගාකරුවන් වෙත අවසර පත්‍ර ඇති ගිනි අවි නිකුත් කරන්නට පැවති රජය පියවර ගෙන තිබුණි. ‘ලයිසන් තුවක්කු’ ලෙස හඳුන්වනු ලැබූ මේ ගිනි අවියක් දයානන්දට ද හිමි විය. එසේ ම ඔහු ඉලක්කයට වෙඩි තැබීමෙහි ලා අති දක්ෂ වූ, ශූර වෙඩික්කරුවෙක් ද විය. එම නිසා සිය වගාව රැක ගන්නට තුවක්කුව භාවිත කිරීම ගැන දෙවරක් හිතන්නට තරම් උවමනාවක් දයානන්දට නො වී ය.
ඉලක්කය ගෙන වගා පාළුවෙකු බිම හෙළන්නට ඔහුට ගත වන්නේ එක මොහොතකි. වඳුරු රංචුව සමඟ බද්ධ වෛරයකින් බැඳී සිටි දයානන්ද උන්ගේ හිස කුඩුපට්ටම් වන පරිදි වෙඩි තබා උන් මරා දැමී ය. හිසට වෙඩි වැදී බිමට ඇද වැටෙන සගයා හැර දමා වඳුරු රංචුව පැන දුවද්දී දයානන්ද දිව යන්නේ බිම වැටී මරණ වේදනාවෙන් අඳෝනා හඬ නගන, මරු විකල්ලෙන් දඟලන, ගැහී ගැහී පණ නල රඳවා ගන්නට වෑයම් දරන අසරණ සතා දෙසට ය. පණ ගැහෙද්දී ම ඒ සතාගේ හම ගළවා දමා මස් කිරීම අරඹන දයානන්ද සිය දඩයම දකිමින් වින්දේ මහා සතුටකි.
එය එක් අතකින් ඔහුට සෙල්ලමක් බඳු විය. එසේ ම එය සෑම දිනක ම පාහේ හිත මිතුරන් හා එක්ව ? මැදියම තෙක් පවත්වනු ලබන මධුවිත පිරි සාදයන්ට යොදා ගත හැකි කටගැස්මක් පහසුවෙන් ලබා ගන්නට මාර්ගයක් ද විය. වගාවට හානි කළ ද නො කළ ද වඳුරන්ට දිනපතා ම සිදු වූයේ එකා දෙන්නා බැගින් දයානන්දට ගොදුරු වන්නට ය. මේ වෙඩික්කරුවාගෙන් හිස් කබල කුඩු වන්නට වෙඩි කද්දී උන් කොතරම් නම් වේදනාවකට, දුකකට පත් වන්නට ඇද්ද? ඒ දුක්ඛ වේදනාවන් ගැන හඬ නගා පවසන්නට වඳුරන්ට වචන තිබුණේ නැත. එසේ ම සිදු වූයේ කුමක් ද කියා සිතා ගන්නට හැකියාවක් ඔළුව සුණු විසුණු වී ගිය ඒ සතුන්ට ඉතිරි වී තිබුණේ ද නැත.
වගාකරුවෙකු ලෙස දයානන්දගේ ජීවිතය ගත වුණේ ඒ ආකාරයෙනි. තමන් කරන දෙය කෙරෙහි කිසිදු අකැමැත්තක් දයානන්දට නො තිබුණා පමණක් නො ව ඔහු එයින් මහත් වින්දනයක් ද ලැබුවේ ය. ඇරත් සෑම දිනක ම පාහේ එක් රැස් වුණ ඔහුගේ මිතුරෝ නො වරදවා ම දයානන්ද සතු වූ ඉලක්කයට වෙඩි තැබීමේ හැකියාව මහා ඉහළින් අගය කළහ. තම මිතුරන්ගේ ප්රශංසාවන් නිසා තව තවත් ආඩම්බර වූ දයානන්ද සෑම දිනක ම වඳුරු මසින් සාදය සරු කිරීමට කටයුතු කළේ ය.
බීමත් වූ පසු මිතුරන් අතරට පිවිස තමන් දඩයම කළ ආකාරය පුන පුනා කියන්නටත්, සතා මරු විකල්ලෙන් දඟලද්දී හම ගැසූ අයුරු පවසන්නටත් ඔහු දැක්වූයේ මහා රුචිකත්වයකි. තම දරුවන් පවා මේ දේවල් බලා සිටින බවවත්, මෙයින් ඔවුන්ට ලැබෙන්නේ වැරදි ආදර්ශයක් බවවත් දයානන්ද කිසි දිනෙක තේරුම් ගත්තේ නැත. මිතුරු සමාජයට ඔහු වීරයෙක් වූයේ ම මෙලෙස වඳුරන් දඩයම් කිරීමට තිබුණ හැකියාව නිසා ම ය. එදා රස කරමින් වඳුරු මස් ගිල දමමින් සුරා පානය කරද්දී මේ මිලේච්ඡ පාපයන්හි ප්‍රතිවිපාක කෙතරම් දරුණු විය හැකි ද? යන්න ඔවුන් කිසිවෙකුටත් මෙනෙහි නො වූ බව නිසැක ය.
එහෙත් පවක විපාක නො දෙන පරිදි සැඟවී සිටිය හැකි තැනක් අහසේ හෝ පොළවේ හෝ මුහුදේ හෝ නැත්තේ ම ය. කරන ලද දෙයෙහි විපාක පසුපසින් පැමිණීම වැළැක්විය හැකි කෙනෙක් ද නැත්තේ ය. දයානන්ද ද ඒ ස්වභාවයට මෙලොව දී ම ගොදුරු විය.
දිනක් සිය යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි දයානන්ද අනතුරකට බඳුන් විය. ඔහුගේ යතුරු පැදිය වෙනත් රථයක ගැටීමෙන් සිදු වූ මේ අනතුරෙන් දැඩි තුවාල ලද දයානන්ද රෝහලට ඇතුළත් කෙරිණි. ඒ වනවිටත් ඔහුට සිහිසන් තිබුණේ නැත. කෙසේ නම් සිහියෙන් සිටින්න ද? අනතුර නිසා ඔහුගේ හිස කුඩු පට්ටම් වී තිබුණි. ඔහුගෙන් වෙඩි කෑ වඳුරන්ගේ හිස කැඞී බිඳී ගියේ යම් ආකාරයකින් ද ඊට නො දෙවෙනි අයුරකින් දයානන්දගේ හිස ද කුඩු වී තිබුණි.
අප මේ සටහන තබන විටත් දයානන්ද සිහිසුන් ව, යන්ත්‍ර සූත්‍ර ගණනාවක පිහිටෙන්, දැඩි සත්කාර ලබමින් නො මැරී ජීවත් වෙයි. සිදු වූ දෙය හෝ සිදුවන දේවල් ඔහු දන්නේ නැත. ඔහු සිදු කළ පාපී ක්රියාවේ විපාක දිට්ඨධම්මවේදනීය ආකාරයෙන් මේ ජීවිතයේ දී ම අත් විඳින්නට සිදු වී ද? සැබැවින් ම කර්මය විපාක දෙන ස්වභාවය කෙතරම් නම් පුදුම සහගත ද? ඔහු වටා සිටිමින් ඔහුව අගය කළ මිතුරන්ට දැන් දයානන්දට උපකාර කළ නො හැකි ය. ඔහු උපයාගත් ධනයෙන් ද සෙතක් සැලසෙන්නේ නැත. දැන් ඔහු කෙතරම් නම් අසරණ ද?
දයානන්ද අපට සිහිපත් කර දුන්නේ බුද්ධකාලීන චුන්ද සූකර කථා ප්‍රවෘත්තිය යි. භාග්‍යවතුන් වහන්සේ ජේතවනාරාමයේ දම් සභා මණ්ඩපය තුළ කුසල්, අකුසල්, කර්ම, කර්ම ඵල පිළිබඳ මනාකොට පෙන්වා දෙමින් දේශනා පවත්වද්දී අල්ලපු වැටේ සිටි චුන්ද සූකර ඌරන් මරා දැමුවේ ය. ජේතවනාරාමයෙන් අම දම් ස්වර විහිදෙන විට යාබද වත්තෙන් ඌරන් මර බියෙන් නගන විලාප හඬ පැතිරෙන්නට විය. පසු කලෙක එදෙසින් නො නවත්වා ම ඌරන්ගේ මර හඬ නැගෙන්නට වූ විට ස්වාමීන් වහන්සේලා සිතුවේ උත්සවයක් වෙනුවෙන් චුන්ද දිගින් දිගට ම ඌරන් මරා දමමින් සිටින බව යි. එහෙත් සිදු ව තිබුණේ අනෙකකි. දැඩි ලෙස රෝගාතුර වූ චුන්ද මරණීය වේදනාවෙන් යුතු ව, මර බියෙන් තැති ගත් ඌරෙකු සේ ම කෑ මොර දෙන්නට පටන්ගෙන තිබුණි. ඔහු මිය ගියේ ඒ ආකාරයෙනි.
දයානන්ද ද අපට මුණ ගැසුණ නූතන චුන්ද කෙනෙකි. තවත් චුන්දලා ඕන තරම් අපට මුණ ගැසෙනු ඇත. මේ දුක් සහිත සසර පිරී ඇත්තේ එවැනි ශෝචනීය සිදුවීම්වලිනි. ඒ සියල්ලෙන් අප උගත යුත්තේ සුළුපටු පාඩමක් නම් නො වේ.
මනසින් උසස් වූ හෙයින් අපි මිනිසුන් වීමු. පෘථිවියේ වෙසෙනා අනෙකුත් සත්ව කොට්ඨාසයන්ට වඩා නුවණ මෙහෙයවා කල්පනා කොට වැඩ කටයුතු සිදු කිරීමේ හැකියාව අපට ඇත. එහෙත් එය එසේ වූ පමණින් සියලූ සත්වයන්ට හිමි පොදු ධර්මතාවයෙන් අප නිදහස් වන්නේ නැත. ඒ ධර්මතාවය නම් අනෙකක් නො වේ. සිත, කය, වචනය මෙහෙයවා අප රැස් කරන්නේ යම් කර්මයක් ද අපි ඒ කර්මය ස්වකීය දෙය කරගෙන සිටින්නෙමු; එය දායාදය කරගෙන සිටින්නෙමු; එය ම උත්පත්ති ස්ථානයත්, ඥතියාත්, පිළිසරණත් කරගෙන සිටින්නෙමු.
කර්මයේ ස්වභාවය සැබැවින් ම විස්මයජනක ය. කර්මයට දාස වූ මේ සත්වයන්ට, ස්වාමියා වූ කර්මයෙන් කවර මොහොතක කවර ආකාරයෙන් ගෙවීම් සිදුවේදැ යි සිතා ගන්නට නො හැක. උඳු වපුරා උඳු මිස අස්වැන්නට තල නො ලැබෙන බව නම් අපි දනිමු.
මේ එළඹ ඇත්තේ දුකින් මිදී සැප ඉපදවීම ගැන කථා කෙරෙන අවසාන අවස්ථාව විය හැකි ය. තණ අග රැඳි පිණි බිඳුවක් තරම් අවිනිශ්චිත වූ මේ ජීවිතයට පින් දහම්කොට, අවබෝධයෙන් ධර්මයේ හැසිරී රැකවරණ සලසා ගන්නට අප ප්‍රමාද විය යුතු නැත. එනිසා සියල්ලෝ සසරේ බියකරු ස්වභාවය හැඳිනගෙන අප්රමාදී ව වීර්යය වඩත්වා!
වෙනකක් පිණිස නො ව, නූපන් කුසල් ඉපදවීමත්, උපන් කුසල් වැඩි දියුණු කිරීමත්, නූපන් අකුසල් නූපදවීමත්, උපන් අකුසල් දුරු කිරීමත් පිණිස ම, නො පමාව වීර්යය කරත්වා!
කම්-ඵල සටහන
භාරත සූරියබණ්ඩාර
Recent Comments