දෙව් මිනිසුන් කෙරෙහි මහත් කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් දහම් මඟ හා දැහැමි ජීවන පිළිවෙත පසුගිය දශක හතරක පමණ කාලයක් තිස්සේ සිංහල ජන සමාජයෙන් තුරන්ව පැවැති අයුරු එම කාල පරිච්ඡේදය සියුම් ලෙස විමසුමට හසුකිරීමෙන් පෙනී යයි. නිර්මල බුදුදහම තේරෙන බසින් පැහැදිලි කර දුන් භික්‍ෂූන් වහන්සේ කෙමෙන් සහ සෙමෙන් නවීනත්වයට ගොදුරු වූහ. අකාලික බුදු වදන යුගාසන බණ, කවි බණ, විරිදු බණ, කාලීන බණ ආදී වශයෙන් හඳුන්වාදෙමින් උතුම් දහම් මඟ බුදු වදනින් බැහැර වූ විලාසිතා මඟකට හැරවිණි. අපිස් දිවි පෙවෙත බැහැර කළ යතිවරු ලාභ ලෝභ කිත් යසස් පසුපස හඹා ගියහ. උපකාරක පන්ති, පරිගණක පුහුණු පාඨමාලා, කරාටේ පන්ති පවත්වන මුදල් උපයන මධ්‍යස්ථානයන් බවට විහාරස්ථාන පත්විය. උවැසියෝ බෝධිය වටා රැස්වී එහි ශාඛාවන්හි නොයෙක් පාඨ ලියූ කොඩි බැනර් එල්ලමින් පඬුරු ගැටගසමින් සෙත් ශාන්ති පැවැත්වූහ. විහාරස්ථානයෙන් ඈත් වූ ඇතමකු මූලධර්මවාදී අන්‍යාගමිකයන් විසින් රවටා ගන්නා ලදී. සෙස්සන්ගෙන් වැඩි දෙනෙක් ඉව බව නැති ජීවිත ගත කරන්නෝ වූහ.

මෙවන් අර්බුදයකට ලක්ව සිටි බෞද්ධ ජන සමාජය තුළ මෑත කාලයේ ධර්ම ප‍්‍රබෝධයක් ඇති වූයේ මහමෙව්නා භාවනා අසපු හරහා ය. වර්තමානයේ දිවයින පුරා පිහිටි මහමෙව්නා අසපු කරා පියනගන ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව ගැඹුරු ධර්ම කාරණා සරල සිංහල බසින් අසමින් දිනෙන් දින දහම් දැනුමෙන් පරිණත වෙමින් සිටිති. උතුම් ධර්මාවබෝධය අරමුණු කොට ගත් මේ පුණ්‍යවත් ජනකායගේ වන්දනාමාන සඳහා අසිරිමත් දාගැබ්, බෝ මළු හා විහාර මන්දිර රැසක් සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් මහමෙව්නා අසපු තුළ ඉදිකරන ලදුව සැදැහැතියන්ගේ අප‍්‍රමාණ පූජෝපහාරයට පාත‍්‍ර වෙමින් පවතී. වසරක් වැනි කෙටි කලක දී මේ සියලූ පුණ්‍ය සංකේත පාදුර්භූත වූයේ මහමෙව්නා වාසී භික්‍ෂුන් වහන්සේලාගේ පුණ්‍ය මහිමයත්, අධිෂ්ඨාන ශක්තියත්, සැදැහැවත් ජනතාවගේ කැප වීමත්, දෙවියන්ගේ ආශිර්වාදයත් නිසා ම ය. මේ අතුරෙන් පොල්ගහවෙල මහමෙව්නා අසපු මූලස්ථානයේ ගොඩනැංවූ ‘සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාව’ නූතන යුගයේ බිහිවූ අසදෘෂ මහා විහාර කර්මාන්තයයි.

අතීතයේ සිට ම විහාරාරාම ගොඩනැගුනේ බුදුරජාණන් වහන්සේගේ මෙන් ම සංඝයා වහන්සේලාගේ වැඩ වාසයට හා ආගමික පිළිවෙත් පිරීමට යෝග්‍ය අයුරිනි. බුද්ධ පරිනිර්වාණයෙන් පසුව උන්වහන්සේ උදෙසා අතිශය පූජනීයත්වයෙන් යුතු සුගන්ධ කුටියක් සංඝාරාමයක වෙන් කොට තැබීම අනිවාර්ය චාරිත‍්‍රයක් විය.

සැවැත් නුවර ජේතවනාරාමයට බුදුරජාණන් වහන්සේගේ සුගන්ධ කුටිය හා දම්සභා මණ්ඩපය හැරුණු විට සංඝයා වහන්සේලා උදෙසා ඉදිකළ කුටි, සන්නිපාත ශාලා, ගබඩා කාමර, අග්නි ශාලා, ජන්තාඝර හා පොකුණු ඇතුළත්ව තිබූ බව චූලවග්ගයෙහි සඳහන් ය. ඒ බව පුරා විද්‍යා ගවේෂණ මගින් ද තහවුරු කරගෙන ඇත. බුද්ධ කාලීනව ඉදි කෙරුණු රජගහනුවර වේළුවනාරාමය, සැවැත්නුවර ජේතවනාරාමය හා ජීවකාරාමය, බරණැස ඉසිපතනාරාමය, විසාලා මහනුවර කූටාගාර ශාලාව ආශ‍්‍රිත විහාරාරාම, කෝසම්බියෙහි ඝෝෂිතාරාමය හා කුක්කුටාරාමය, කපිලවස්තු පුරයෙහි නිග්‍රෝධාරාමය ආදී සුවිසල් විහාරයන්හි නටබුන් ද පුරා විද්‍යා කැණීම්වලින් මතුකරගෙන තිබේ.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව බුදුරජාණන් වහන්සේ උදෙසා ඉදිකරන ලද විහාර මන්දිර කැපකොට පූජා කරන ලද්දේ සංඝයා වහන්සේට ය. මෙවන් පූජාවක් ලංකාවේ දී ප‍්‍රථම වතාවට සිදු කෙරුණේ මිහිඳු මහ රහතන් වහන්සේ ප‍්‍රමුඛ ධර්ම දූතයන් වහන්සේලා උදෙසායි. එම පූජනීය ගොඩනැගිලි නම් කෙරුණේ ‘ප‍්‍රාසාද’ යනුවෙන් බව පවසන මහාචාර්ය පරණවිතානයන්, රජවරුන්ගේ හා ප‍්‍රභූන්ගේ මන්දිරවලට යෙදූ එම නාමය ම සඟ සතුකොට පිදූ විහාර මැදුරුවලට ද යෙදූ බව සනාථ කරයි. එසේ නම් ‘ප‍්‍රාසාද’ යනු මාළිගාව හැඳින්වීමට යෙදූ පර්යාය පදයකි. දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින ප‍්‍රාසාදය හෙවත් විහාර මන්දිරය ආදි යුගයේ හඳුන්වන ලද්දේ ‘දළදා මාළිගාව’ යන නමිනි. ඒ අනුව තෙරුවන උදෙසා ඉදිකරන ප‍්‍රාසාදයන් සඳහා වර්තමානයේ මහමෙව්නා අසපුව විසින් සම්භාවිත ‘සම්බුද්ධරාජ මාළිගාව’ යන නාමය යෙදීම අත්‍යන්තයෙන් ම යෝග්‍ය වන්නේ ය.

මහාචාර්ය පරණවිතානයන්ගේ පහත දැක්වෙන විවරණය විමසා බැලීමේ දී පූර්වෝක්ත නිගමනය සනාථ වනු ඇත.

‘මඟුල් උයනේ පිහිටි රාජකීය ප‍්‍රාසාදය මිහිඳු මාහිමිපාණන් වහන්සේගේ වාසස්ථානය විය. නගරය තුළ පිහිටි ඇමති කෙනෙකුගේ මැදුරක් සංඝමිත්තා මහ තෙරනියන්ගේ වාසය සඳහා පූජා කරන ලද බව සඳහන් වෙයි. මෙයින් පෙනෙන්නේ එකල පැවැති සංඝාරාමයන් නිර්මාණය අතින් උසස් පෙළේ ගිහියන්ගේ ගෙවලට වෙනස් නො වන බව ය. අවුරුදු දහසකට වැඩි කාලයක් මුළුල්ලේ භික්‍ෂුන් වහන්සේලා අනවරතයෙන් වාසය කළ අනුරාධපුරයේ සංඝාරාමවල පැරණි ගොඩනැගිලි වෙනුවට අලූත් ගොඩනැගිලි නිතර ම තනන ලද්දේ ය.’
(ලංකා ඉතිහාසය: 1984, 249 පිටුව)

අනුරාධපුරයේ මහා විහාරය සැලසුම් කරන්නට ඇත්තේ දඹදිව විහාරාරාම පුර්වාදර්ශයට ගෙන විය යුතු ය. ලක්දිව මහාමේඝ වනෝද්‍යානයෙහි මුල් ම සංඝාරාමය වූ එම සම්බුද්ධරාජ මාළිගය ඉදි වූයේ මිහිඳු මහ රහතන් වහන්සේගේ මූලික මගපෙන්වීමට අනුව ය. ආරාම සැලැස්ම පිළියෙල වූයේ සිංහ වික‍්‍රීසිත ශෛලියට අනුව බව මහා බෝධි වංශයෙහි විස්තර වෙයි:

‘මහමෙව්නා උයන්හි යම් සේ සිංහයාගේ වාලධිය කෙළවර වැදගත් තැන බෝධි ගෙය වේ ද දකුණු පස පිහිටි තැන නාගපනාකාර වූ මහා ප‍්‍රාසාදය වේ ද වම්පස පිහිටි තැන සන්නිපාත ශාලාව වේ ද නාභි ස්ථානයෙහි ධාතු ගෙය වේ ද වමෑලෙහි රාශි මාලකය වේ ද දකුණත පිහිටි තැන භෝජන ශාලාව වේ ද වම් අත පිහිටි තැන බුබ්බුලාකාර වූ රත්නමාලී චෛත්‍යය වේ ද ග‍්‍රීවය පිහිටි තැන කණ්ඨ නම් පුෂ්කරණිය වේ ද කර පෙරලා දකුණැලයෙන් බලන්නහුගේ දෘෂ්ටිය හුණු තැන මහ පිළිම ගෙය වේ ද එපරිද්දෙන්ම සිංහ වික‍්‍රීත කොට රහතුන්ගේ වාසයට යෝග්‍ය වූ විහාරය මහා විහාරය වේ.’
(මහා බෝධි වංශය – වේරගොඩ අමරමෝලී සංස්කරණය 36පිටුව)

අනුරාධපුරයේ විහාරාරාමවලට අනුබද්ධව ඉදිකරන ලද ප‍්‍රාසාද විශාල වූත් මහල් කිහිපයකින් යුත් වූත් ඒවා විය. සංඝයා වහන්සේලාගේ විනය කර්ම හා පොහොය කිරීම් උදෙසා උපෝසථඝර නම් වූ සුවිසල් ගොඩනැගිලි සංකීර්ණයක් තැනූ බැව් වංශකතාවලත්, ශිලා ලේඛනවලත් නොයෙක් තැන සඳහන් වේ. දුටුගැමුණු රජතුමා විසින් ඉදිකරන ලද ලෝහ මහා ප‍්‍රාසාදය එවැන්නකි. එය නව මහල් ගොඩනැගිල්ලක් ලෙස පැවැතුන බැව් සනාථ කොට ඇත. එහි එක් මහලක පමණක් වා කවුළු සියයක් පැවැති අතර සම්පූර්ණ ප‍්‍රාසාදය ම කුටි දහසකින් සමන්විත වූ බැව් කියැවේ. එකල ලෝවා මහා පාය කොතරම් උසට තිබුණේ ද යත්, යොදුන් තුනක් දුරින් මහ මුහුදට පවා එහි වහල කොටස දිස්වු බව පැවැසේ.

අනුරාධපුරයේ වැඩ විසූ භික්‍ෂූන් වහන්සේලාට භාවනා කිරීම සඳහා ඉදිකරන ලද නේවාසික ගොඩනැගිලි ‘පධානඝර’ නමින් හැඳින්විණි. මෙම පධානඝර උස් ගඩොල් ප‍්‍රාකාරයකින් වටකොට තැනූ ද්විත්ව වේදිකාවකින් හා ඇතුළු මළුවකින් සුසැදුනේ ය. එකී ඇතුළු මළුව ‘චඩේකමන ගෙහ’ නමින් හැඳින්විණි. පශ්චාත් අනුරපුර සමයේ ඉදිකරන ලද සම්බුද්ධරාජ මාළිගා ‘අධිෂ්ඨානඝර’ නම් විය. මහල් කිහිපයකින් සුසැදි මෙම අධිෂ්ඨානඝරයන්ට නැගීම සඳහා සිව් දෙසින් පිය ගැට පෙළවල් පැවැති බව නෂ්ටාවශේෂවලින් පෙනී යයි.

ඉහත විස්තර කෙරුණු ගොඩනැගිලි හැරුණු විට බුදුරජාණන් වහන්සේ උදෙසා ම ඉදිකෙරුණු සුවිශේෂ සම්බුද්ධරාජ මන්දිර වූයේ දළදා මාළිගා ය. දකුණු ශ‍්‍රී දළදා වහන්සේ ලංකාවට වැඩම කරවන ලද පසු සිරි මේඝවර්ණ රජතුමා විසින් ඉදිකරන ලද සුවිසල් මැදුර ‘ධම්ම චක්ක ගේහ’ යනුවෙන් නම් කොට ධාතූන් වහන්සේ එහි තැන්පත් කරන ලදී. ධර්මයේ සංකේතයක් වූ ධර්ම චක‍්‍රයෙන් එය ශෝභමාන කළ බව සඳහන් ය. මහානාම රජුගේ කාලයේ දී චීනයට ගිය සිංහල බෞද්ධ දූත පිරිස මේ දළදා මාළිගාවේ ආකෘතියක් චීන අධිරාජ්‍යයාට පිරිනැමුවේ එහි මහනීය බව නිසා විය හැකි ය.

දඹදිවත් ලක්දිවත් පැරණි යුගයේ ඉදිකරන ලදුව බුදු සසුනට පූජා කළ මේ සියලූ ම සම්බුද්ධ මන්දිර ස්වභාවික පරිසරයට අනුරූපව නිර්මාණය කොට තිබීම, පැරණි වාස්තු විද්‍යා ශිල්පීන්ගේ ශ‍්‍රද්ධා භක්තිය මෙන්ම විශේෂ කුසලතාව ද හෙළි කරයි. මේ සඳහා ඔවුන්ට උපදෙස් ලැබුණේ මහා සංඝයා වහන්සේගෙනි. මෙම සම්බුද්ධරාජ මාළිගා ගෘහ නිර්මාණාත්මක අංශයෙන් ද ඊට අනුරූප ස්වභාවික පරිසර සංරක්‍ෂණ ක‍්‍රියා පිළිවෙතින් ද අනූන ය. ඒ සියල්ලේ උතුම් අරමුණ වූයේ භික්‍ෂුන් වහන්සේලාට භාවනා කිරීමටත් ආගමික වත් පිළිවෙත් ඉටු කර ගැනීමටත්, ගිහි පිංවතුන් තුළ තෙරුවන කෙරෙහි නො සැලෙන ශ‍්‍රද්ධාවක් ඇතිකිරීමටත් ඉන් බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සාක්‍ෂාත් කර ගැනීමටත් අවස්ථාව සැලසීමයි.

උතුම් සම්බුද්ධත්වයෙන් වසර දෙදහස් හයසියයක් ගෙවුණු කල්හි පොල්ගහවෙල මහමෙව්නා අසපු මූලස්ථානයේ ඉදි කළ සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාව ඉහත කී අංග සියල්ලෙන් ම සමූපේත වූ විස්කම් නිමැවුමකි. මෙම අති විශිෂ්ඨ බුද්ධෝපහාරමය නිර්මාණය වූ කලී බුද්ධ කාලීන යුගයේ හා තදාසන්න වකවානුවේ සුවිසල් ආරාම ගොඩනැගිලි ඉදි කිරීමේදී භික්‍ෂුන්වහන්සේ ගේ සංකල්පනාවන්ට එක්වූ දිව්‍යමය ශක්තිය පුනර්ජීවය ලැබීමක් වැන්න. විචිත‍්‍ර කැටයමින්, මල්ලියකමින්, අනේක විධ වූ ප‍්‍රතිමා කර්මයන්ගෙන් සමලංකෘත වූ මෙම සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාව වන්දනාමාන කරන කෙනෙකු සිත තුළ පහළ වනුයේ විශ්මය නො ව අසීමිත වූ ශ‍්‍රද්ධා භක්තිය ම ය.

මාළිගා පුරාණයේ සටහන
දයාපාල ජයනෙත්ති