පීනස (Rhinitis)
පීනස… වර්තමානයේ බොහෝ පිරිස් පීඩා විඳින රෝගී තත්වයක්.
1. වෛද්‍යතුමනි, පළමුවෙන්ම අපි දැන ගන්න කැමතියි පීනස කියන්නෙ මොන වගේ රෝගී තත්ත්වයක් ද පීනස රෝගයේ රෝග ලක්‍ෂණ මොනවා ද කියලා.
පීනස යනුවෙන් හදුන්වන්නේ පාරම්පරිකව හෝ පාරම්පරික නොවන ලෙස ඇතිවන ආසාත්මිකතාවයක්. මෙම රෝගී තත්ත්වයේ දී නාසය හා නාසයට සම්බන්ධ කෝටරක වැනි කොටස් වල බිත්ති ඉදිමීම හා ඒවා ආශ්‍රිතව වැඩිපුර ශ්‍රාවයන් පිටවීම සිදුවෙනවා. මෙම රෝගී තත්ත්වය සමහර රෝගීන්ට එක් කාලයකට පමණක් ඇති විය හැකි (Seasonal Rhinitis) අතර සමහර රෝගීන්ට දීර්ඝ කාලයක් පුරා (Perennial Rhinitis) පැවතිය හැකියි.
මෙම රෝගයේ රෝග ලක්‍ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකියි. සමහරෙකුට නාසය සිරවීම ප්‍රධාන රෝග ලක්‍ෂණය ලෙස හදුනාගත හැකි අතර සමහරෙකුට නිතර කිවිසුම් යාම ප්‍රධාන රෝග ලක්‍ෂණය විය හැකියි. මීට අමතරව නාසය කැසීම, නාසය ඉදිමීම, නාසයෙන් සොටු දියර ගැලීම, උගුර කැසීම, නිතර උගුර පෑදීමට සිදු වීම, ඇස් කැසීම, ඇස් රතුවීම සහ සම කැසීම වැනි රෝග ලක්‍ෂණ මෙම රෝගීන් තුළ දැකිය හැකියි. මෙම රෝග ලක්‍ෂණ එකක්, කිහිපයක් හෝ සියල්ලම ඔවුන් තුළ අඩු වැඩි වශයෙන් හදුනාගත හැකියි. මෙම රෝගීන්ට පීනස රෝගයට අමතරව ඇදුම රෝගය හා සමේ දද ඇති වීමට ද හැකියාවක් තිබෙනවා. මෙයින් එක් රෝගයක් පළමුව ඇති වී පසුව අනෙක්වා ඇති වන අවස්ථා තිබෙනවා.
2. ඒ වගේම වෛද්‍යතුමනි, අපට පැහැදිලි කර දෙන්න පීනස් රෝගය යම් අයෙකුට වැළඳීමට හෝ රෝගී තත්ත්වය වැඩි වීම කෙරෙහි බලපාන සාධක.
මෙම රෝගයෙන් වැඩිපුර පීඩා විඳින විශේෂිත වයස් සීමාවන් තියෙනවාද?
මෙම රෝගය සමහරෙකුට පාරම්පරිකව වැළදෙන රෝගයක්. මවට හෝ පියාට මෙම රෝගී තත්ත්වය ඇත්නම් දු දරුවන්ට එය ඇති වීමේ අවදානමක් තිබෙනවා. එසේම එක් සහෝදරයෙකුට හෝ සහෝදරියකට මෙම රෝගී තත්ත්වය වැළදී ඇත්නම් අනෙකුත් සහෝදර සහෝදරියන්ටත් මෙම රෝගය වැළදීමේ වැඩි හැකියාවක් පවතිනවා. එසේ වුවත් මෙය සෑම විටම පරම්පරාගතව වැළදෙන රෝගී තත්ත්වයක් මත් නොවේ.
රෝගය වැළදීමට, රෝග ලක්‍ෂණ මතු වීමට හෝ ඒවා උත්සන්න වීමට විවිධ සාධක බලපාන්න පුළුවන්. අධික ශීතල, අධික රස්නය, ඉහළ පරිසර ආර්ද්‍රතාවය එසේත් නැතිනම් ජල වාෂ්ප වැඩි බව, වැසිබර පරිසර තත්ත්ව වැනි කාළගුණ විපර්යාස මේ සඳහා සෘජු ලෙසම බලපානවා. අප ගන්නා ආහාර වර්ග මේ කෙරෙහි බලපාන තවත් සාධකයක්. ශීත කළ ආහාර වර්ග, ශීත කළ පාන වර්ග හා තැඹිලි සෑම රෝගියෙකුටම අහිතකරව බලපාන අතර අන්නාසි, තක්කාලි, අච්චාරු, බිත්තර, කිරි, රටකජු, වර්ණ ගැන්වූ පැණි බීම වැනි ආහාර පාන වර්ග එක් එක් රෝගියාට වෙන් වෙන් වශයෙන් බලපාන්නට පුළුවන්. එමෙන්ම බූල් සහිත රෙදි, කාපට්, විසිතුරු භාණ්ඩ, මදුරු දැල්, ඇඳ ඇතිරිලි වල පවතින දුවිලි සෑම රෝගියෙකුටම පාහේ අහිතකර ලෙස බලපෑ හැකිය. දුම් වැටි වලින්/දර ලිපෙන් ඇතිවන දුම, සුවඳ විලවුන් වර්ග, මදුරු නාශක දඟර වලින් ඇති වන දුම මේ සඳහා බලපාන තවත් සාධක කිහිපයකි. විදුලි පංකා සහ වායු සමීකරණත් මේ තත්ත්වය කෙරෙහි සෘජුවම බලපානවා. රාත්‍රීයට දිය නෑම පීනස ඇති වීම හෝ උත්සන්න වීම කෙරෙහි බලපාන තවත් කරුණක්. මීට අමතරව එක් එක් පුද්ගලයෙකුට පමණක් බලපාන විශේෂිත වූ සාධකත් හදුනාගත හැකි අවස්ථා තිබෙනවා.
සාමාන්‍යයෙන් ඕනෑම වයස් සීමාවක කෙනෙකුට මෙම රෝග තත්ත්වය වැළඳිය හැකි නමුත් ළමුන් තුළ මෙම රෝග තත්ත්වය බහුල ලෙස දැක ගත හැකිය. ශ්‍රි ලංකාවේ ළමුන්ගෙන් 30-40% වැනි අධික ප්‍රතිශතයකට මෙන්ම වැඩිහිටියන්ගෙන් 10-20% වැනි ප්‍රතිශතයකට මෙම රෝගය වැළඳී තිබෙනවා.
3. විශේෂයෙන් බණ භාවනා කටයුතු, අධ්‍යාපනික කටයුතු ආදියෙහි නිරත වන්නට උදෑසනින් අවදි වීම සිදු වෙනවා. මෙසේ උදෑසනින් අවදි වීම පීනස් රෝගී තත්ත්වය කෙරෙහි බලපාන්නේ කුමන ආකාරයෙන් ද?
සාමාන්‍යයෙන් උදෑසන කාලයේදී පරිසර උෂ්ණත්වය අඩු මට්ටමක පවතින නිසා පීනස රෝගය ඇති වීමේ අවදානමක් ඇති කෙනෙකුට එය වැළඳීමට හෝ පීනස රෝගියෙකුට රෝග ලක්‍ෂණ උත්සන්න වීම කෙරෙහි උදෑසන අවදිවීම සමහර විට බලපාන්නට පුළුවන්. නමුත් එසේ අවදි විය යුතු අය විශේෂ සුදානම් වීමක් වුවහොත් එයින් වැලකිය හැකියි. ශරීරය උණුසුම්ව තැබිය හැකි ඇඳුම් ඇඳීම, දොර ජනෙල් වසා තැබිම, පිණි වැටෙන පරිසරයේ ගමන් නොකිරීම, උණුසුම් පාන වර්ග භාවිතා කිරීම, හැකිනම් කාමර උණුසුම්ව තබන උපකරණ (Heaters), උඳුන් පාවිච්චිය වැනි ක්‍රම තුලින් ඔවුනට රෝගය වැළඳීමේ හෝ රෝග ලක්‍ෂණ උත්සන්න වීමේ ඇති හැකියාව අවම කර ගත හැකියි. මීට අමතරව ඒ සඳහා තිබෙන ඖෂධ වර්ග වෛද්‍ය උපදෙස් අනුව ක‍්‍රමානූකූලව භාවිතයෙනුත් ඔවුනට වඩාත් ආරක්‍ෂාකාරී විය හැකියි.
4. එසේම වෛද්‍යතුමනි, පීනස නිට්ටාවට සුව කළ හැකි රෝගයක් ද? මෙම රෝගය සුව කර ගැනීමට භාවිතා වන ප‍්‍රතිකාර විධි මොනවාද ?
මෙය නිට්ටාවට සුව කළ හැකි රෝගයක් නොවේ. නමුත් අපේ ජීවන රටාව නිසියාකාරව සකසා ගැනීම තුලින් මෙම රෝග ලක්‍ෂණ උත්සන්න නොවී සමනය කර ගැනීමට හැකියාව ලැබෙනවා.
අප ජීවත් වන නිවස හා ගෙවත්ත පිරිසිදුව තබා ගත යුතු අතර නිවස තුළ වියළි පරිසරයක් තිබිය යුතුයි. විශේෂයෙන්ම නිදන කාමර වල ඇඳ ඇතිරිලි, කොට්ට මෙට්ට, මදුරු දැල් ආදිය වියළි ඒවා විය යුතු අතර නිතර දුවිලි ගසා, සෝදා අවුවේ වේලා තැබිය යුතුයි. බූල් සහිත රෙදි පාවිච්චියෙන් වැලකීමද සුදුසුයි. එසේම නිවස තුළ තෙතමනය පැවතුනහොත් ඒ මත දිලීර වර්ග වර්ධනය වීමෙන් වෙනත් ශ්වසන ආබාධ පවා ඇති විය හැකියි. මේ නිසා වියළි පරිසරයක් පවත්වා ගැනීම ඉතා වැදගත්. මීට අමතරව අප ජීවත් වන නිවස හා ගෙවත්තට හොඳින් හිරු එළිය, වාතාශ‍්‍රය ලැබෙන ලෙස සකසා ගත යුතුයි. දුම්පානය කරන අය එම පුරුද්දෙන් මිදීම තමාට මෙන්ම අන් අයටත් මෙම රෝගයෙන් වැලකීම සඳහා කරන මහඟු උපකාරයකි. නිවස තුළ දර ලිපේ දුම් එකතු නොවන ආකාරයට සකසා ගත යුතුයි. නිවසේ හෝ රාජකාරී කරන ස්ථානයේ විදුලි පංකා සහ වායු සමීකරණ කරන යන්ත‍්‍ර අවම වශයෙන් භාවිතා කළ යුතුයි. එක් එක් රෝගීන් තමන්ට නුසුදුසු වන ආහාර පාන වර්ග නිසියාකාර ලෙස තේරුම් ගෙන ඒවායින් වැලකිය යුතුයි.
දිය නෑම පෙ.ව. 11.00 සිට ප.ව. 2.00 අතර කාලය තුළ සිදු කිරීම වඩාත් යෝග්‍ය වන අතර පැහැබර වියළි කාළගුණයක් ඇති දින වලට පමණක් එය සීමා කළ යුතුයි. මීට අමතරව නිසියාකාර ලෙස වෛද්‍ය උපදෙස් වලට අමතරව වෛද්‍ය ප‍්‍රතිකාර ගත යුතුයි. මෙහිදී එක් කාලයකට පමණක් වැළදෙන පීනස් රෝගය (^Seasonal Rhinitis& ඇති රෝගීන්ට එම කාල සීමාව තුළදී පමණක් ඖෂධ වර්ග ලබා දිය යුතු අතර, දීර්ඝ කාලීනව පවතින පීනස ^Perennial Rhinitis& වැළදී ඇති රෝගීන්ට එම ඖෂධ වැඩි කාලයක් ලබා දිය යුතු වෙනවා. රෝග ලක්‍ෂණ සුව අතට හැරීමත් සමඟම ඖෂධ අඩුකර නවතා දැමිය හැකියි.
5. පීනස් රෝගීයෙකු නිසියාකාරව ප‍්‍රතිකාර නොගතහොත් කුමන සංකූලතාවන් ඇති විය හැකිද?
මෙම රෝගයට නිසියාකාරව ප‍්‍රතිකාර නොගතහොත්, ප‍්‍රවේශම් නොවුනහොත් එම රෝගීන්ගේ නාසය සහ මුහුණ ඉදිමීම, හා නාස් කුහරය වැසීයාම සිදු විය හැකි අතර එවිට මුඛයෙන් හුස්ම ගැනීම සිදු විය හැකියි. ඒත් සමඟ ම නාසය සහ කෝටරක වෛරස් හා බැක්ටීරියා ආසාදන වලට ලක් විය හැකි අතර එමඟින් දීර්ඝ කාලීනව පවතින කෝටරක ප‍්‍රදාහය ^Chronic Sinusitis& වැන රෝග තත්ව ඇති විය හැකියි. මෙමගින් කාලයක් පවතින හිසරදයක් පැවතීමේ හැකියාවක් තිබෙනවා. කුඩා ළමුන්ට විශේෂයෙන්ම මෙම රෝග තත්වය උග‍්‍ර වන අවස්ථා වලදි උගුරේ ආසාදන ඇති විය හැකියි. කටහඬ වෙනස් වීම, නිතර උගුර පෑදීමට සිදු විම, පෙනහලූ වල ආසාදන, මුහුණ දුර්වර්ණ වීම, මුහුණේ පැහැය වෙනස් වීම සහ මුහුණේ ස්වරූපය වෙනස් වීම වැනි සංකූලතාද මැද කන ආශි‍්‍රත ආසාදන ඇතිවීම නිසා කන් ඇසීමේ දුර්වලතාද පසුකාලීනව අපට දැක ගත හැකි වන අතර, මෙම තත්ත්වයන් අධ්‍යාපනය ලබන ළමුන්ගේ අධ්‍යාපන කටයුතු වලට පවා අහිතකර ලෙස බලපානවා. මේ නිසා මේ සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් වීම තුලින් රෝග ලක්‍ෂණ නැවත නැවත ඇති විම වලක්වා ගැනීම සහ රෝගයෙන් පීඩා නොවිඳ නීරෝගී සම්පන්න ජීවිතයක් ගත කළ හැකි වෙනවා.
මහනුවර ශික්‍ෂණ රෝහලේ ස්වසන රෝග විශේෂඥ වෛද්‍ය දුශාන්ත මැදගෙදර සහ පේරාදෙණිය ශික්‍ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සහ නිර්වින්දන අංශයේ වෛද්‍ය අජිත් පී. මහවිතාන
Recent Comments